සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 35

එක් පැත්තකින් හිමිව තිබු අත්‍යාවශ්‍යම දේවල් අහිමිවීම, (අහිමිවීම පිළිබඳව පසුගිය සතියේ අවධානය යොමුකළා), ඒ හිමිව තිබු සේවාවන්, අහිමිවීම නිසා ඇතිවන කායික අපහසුතා බරපතලයි. ඊලඟට, ඒ වෙනුවට විකල්ප මොනවාද කියා සිතන්න මනසට භාරදුන්නාම මනස පත්වන අර්බුදය. වර්තමාන වශයෙන් එක් කායික අර්බුදයක් තමා, මේ ජීවත්වෙන්න තිබුණු අත්‍යාවශ්‍යම කියා කවුරුත් පිළිගත් සේවාවන් අඩුවීම හා අහිමිවීම නිසා කායිකව දැනෙන අපහසුතා. ඊලඟට ඒ අහිමිවීම පිළිබඳ ගැටලුව විසඳාගන්නේ කොහොමද කියා විසඳුම් සොයන්න භාරදෙන මනස පත්වන ආතතිය සහ අසරණ බව. එමෙන්ම විකල්ප සොයාගෙන යන්න නැවත ශරීරයට තමා දුක් විඳින්න වෙන්නේ. ශරිරය දෙවතාවක් දුක් විඳිනවා. මේ කාරණය හොඳට පේනවා උදාහරණ අවශ්‍ය නෑ. නැතිකම නිසා දුක් විඳිනවා. විකල්ප සොයාගෙන පාරවල් ගානේ සිටගෙන ඉන්න වුණාම විඳින්න වෙන දුක. ඊලඟට මේගැන සිතන විට, විසඳීම් සොයන්න මනසට භාරදුන්නාම ඒ මනස මොනතරම් අසරණ වෙනවාද? පීඩනයකට පත්වෙනවාද? ආතතියකට ලක්වෙනවා මෙය මෙතනින් ඉවර වෙන්නේ නෑනේ. ඊලඟට ඉස්සර තිබුණා, අහිමිවන්නේ කලින් හිමිව තිබුණු දේනේ. කලින් හිමිව තිබු ඒ අතීතය ගැන සිතන විට ඇතිවන පසුතැවිල්ල, සතුටට වඩා වැඩියෙන් දැනෙන්නේ පසුතැවිල්ල. තිබිලා නැති කරගත්තා වගේ හැඟීමක්. මුලිනුත් තිබුණේ නැත්නම් පසු තැවෙන්න හේතුවක් නෑ. නමුත් තිබී විහින් නැති කරගත්තා වැනි හැඟීමක් නිසා අතීතය මතක් වෙනවිට පසුතැවීමක් ඇතිවෙනවා. එයත් මානසිකව විඳිනවා.
දිගටම කියවන්න

කියවූ ගණන : 38     දිනය : 2022-06-22

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 34

ජීවත් වෙන්න අවශ්‍ය දේවලුයි, සිහිකල්පනායි අතර ජීවත් වෙන්න අත්‍යාවශ්‍යයි කියා සිතු සමහර දේවලුත් අපට අහිමි වෙමින් අහිමි වෙමින් යනවා. විදුලි බලය අහිමි වෙමින් යනවා. “කොහොමද විදුලිය නැතිව ඉන්නේ, ඉන්න බෑ” වගේ තිබුණා නමුත් ඉන්න පුළුවන්. “ඉන්ධන නැතිව ඉන්නේ කොහොමද?” ඒත් ඉන්නවා. ඉන්ධන නැතිවත් ඉන්නවා. ගෑස් නැතිවත් ඉන්නවා. ඒ ඉඳිල්ල මොනවගේ ඉඳිල්ලක් ද කියා තීරණය කිරීම වෙනම කාරණයක්, නමුත් ඉන්නවා. මේ තමා දෙවෙනි කාරණය.පළමු කාරණය ඕනෑම දෙයකින් සැනසිල්ලක් සැපක් විඳින්න සිහිකල්පනාව ඕනේ. ජීවිතයට මොනදේ අත්‍යාවශ්‍ය වුණත් ඒ අත්‍යාවශ්‍ය දේවල් පවා අහිමිවී යන්න පුළුවන්. යාළුවන් මිත්‍රයන් අහිමි වෙන්න පුළුවන්. රැකියා අහිමි වෙන්න පුළුවන්. ගෙවල්-දොරවල්, යාන-වාහන, අහිමිවෙමින් යනවා නැතිවම බෑ කියා සිතා සිටි දේවල් අහිමිවෙමින් යනවා. ජීවිතය පවතිනවා. නමුත් සිහිකල්පනාව නැතිවුණොත් නම් තත්වය බරපතලයි. එය ගෑස් නැතිවුණාට වඩා, පෙට්‍රල් නැතිවුණාට වඩා, විදුලිය නැතිවුණාට වඩා, බෙහෙත් නැතිවුණාට වඩා, රට නැතිවුණාට වඩා, තත්වය ඉතාම බරපතල වෙනවා සිහිකල්පනාව, සිහිබුද්ධිය නැතිවුණොත්. ඒ නිසා අන්තිමටම නැතිකරගත යුතු දේ තමා සිහිබුද්ධිය. ඉන් මෙහා අනිත් ඕන දෙයක්, හිතාමතා නැති කරගන්නා දේ සහ අපේ පාලනයෙන් තොරව අහිමිවන දේවල්.
දිගටම කියවන්න

කියවූ ගණන : 103     දිනය : 2022-06-15

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 33

සියල්ල තිබී සිහිබුද්ධිය නැතිවුණොත් ඒ කිසිවකින් මෙලෝ ප්‍රයෝජනයක් ගන්න බෑ. ධනය තියෙනවා සිහිබුද්ධිය නෑ. දැනුම තියෙනවා සිහිබුද්ධිය නෑ. බුද්ධිය තියෙනවා සිහිබුද්ධිය නෑ. බලය තියෙනවා, පිරිවර ඉන්නවා, නිරෝගිකම තියෙනවා, ඇස පේනවා, කන ඇසෙනවා, කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්, සිතන්න පුළුවන්, සැලසුම් කරන්න පුළුවන්, මේ සියලුම හැකියාවන් තිබුණත් සිහිබුද්ධිය නැතිනම් මේ හැම හැකියාවකින්ම සහ සෑම සම්පතකින්ම කරගන්නේ විනාශයක්, තමන්ටත් අනිත් අයටත්. එක්කෝ එදා එදාම විනාශ වෙනවා, විනාශ කරගන්නවා. නැතිනම් හෙටවන විනාශය නොදැන නොදැක, සිහිබුද්ධියක් නැතිකම නිසා එය දැනගන්නට දැකගන්නට තරම් අනාගත දැක්මක් නැතිව වර්තමානයට රැවටෙනවා. වර්තමානයේ ලැබෙන, වර්තමානයේ තිබෙන යස ඉසුරුවලට රැවටෙනවා, බලයට රැවටෙනවා, සම්පත්වලට රැවටෙනවා, වර්තමාන නිරෝගිකමට රැවටෙනවා, වර්තමාන දැනුමට, උගත්කමට, බුද්ධියට රැවටෙනවා, වර්තමාන පිරිවරට රැවටෙනවා. එසේ රැවටී අනාගත දැක්මක් නැතිකම නිසා, හෙට අපාය අද හදාගන්නවා. හෙට අපායක් කරගන්නේ අද, හෙට නොවේ අද.
දිගටම කියවන්න

කියවූ ගණන : 264     දිනය : 2022-06-08

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 32

අප කරන කියන දේවල් කරන්නේ කියන්නේ පුරුද්දට, කෙරෙන්නේ පුරුද්දට, සිතෙන්නේ පුරුද්දට. හොඳ හෝ නරක කියවෙන්නෙත් පුරුද්දට. අප නිදහස් නෑ. පුරුදු විසින් නම් තීරණය කරන්නේ කළයුත්තේ කුමක්ද කියා ඒ දෙය හොඳ වුණත් නරක වුණත් අප නිදහස් නෑ. නිදහස් නැති බව අපට වැටහී තිබෙනවාද? පුරුදුවල අප සිරකරුවෙකු බව, ස්වාධීන නැති බව. ඒ වගේම යම් යම් අවස්ථාවලදී අපට වෙනත් යමක් කරන්නට සිතෙනවා, කරන්න ඕනේ කියන හැඟීම ඇතිවෙනවා. එනමුත් අර පුරුදු බලවත් වැඩි නිසා හැමදාම යන විදිහට දේවල් සිදුවෙනවා. හැමදාම පුරුද්දට අනුව සිදුවන දේවල් වෙනවා. අපට වෙනස් කරගන්න අමාරු බව වැටහී තිබෙනවාද? මේ කාරණය තමා වැදගත්, ඒ අප කථා කළ මුලපිරූ වැඩසටහනින්, පුරුද්ද විසින් දක්කනු ලබන සත්ත්ව කොට්ඨාශයක් බව.
දිගටම කියවන්න

කියවූ ගණන : 86     දිනය : 2022-05-31

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 31

සසර දික්වන ලෙසත්, සසර විපත්තිදායක වන ආකාරයටත්, ජීවත් වෙන්න පුළුවනි. එමෙන්ම සසර කෙටිවන ආකාරයට සහ සසර නවතින ආකාරයටත් ජීවත් විය හැකියි. මෙයින් පැහැදිලි වෙනවා ජීවත්වීමයි සංසාරයේ යෑමයි එකක් නොව දෙකක් බව. ජීවත් වුණොත් සසර දික්වෙනවා නම් කොහොම ජීවත් වුණත් සසර දික්වෙනවා. එහෙම නම් ඉතින් හොඳම විසඳුම තමා ජීවත් නොවී සිටීම. ජීවත් නොවී සිටියා කියා සසර නවතින්නේ නෑ. සංසාරය නිරෝධ වෙන්නේ නෑ,. සසර හා දිවිය යන මේ දෙක, එකක් විදිහට තේරුම් ගැනීම නිසා, කළයුතු දේ බොහෝවිට කෙරෙන්නේ නෑ, නොකළයුතු දේ තමා කෙරෙන්නේ. හැබැයි මේ දෙක දෙකක්. සසර යෑමයි, දිවි පැවැත්මයි දෙකක්. සංසාර පැවැත්මයි, දිවි පැවැත්මයි එකක් නොවෙයි දෙකක්. එකක් කරගන්නත් පුළුවන් නමුත් දෙකක්. යම් ආකාරයකට සසර දික්වෙනවාද ඒ ආකාරයට දිවි පැවැත්ම කරගන්න පුළුවන්. එමෙන්ම සසර කෙටි වන ආකාරයටත් දිවි පැවැත්ම හසුරුවා ගන්න පුළුවන්, දිශාගත කරන්න පුළුවන්. ඒ දෙකම තියෙන්නේ ජීවත්වන ආකාරය අනුව. සසර හැදෙනවාද, හැදුණු සසර දික් වෙනවාද, සසර ඇදෙන්නේ නැද්ද, කෙටි වෙනවාද? මේ කාරණා තුන හතරම රඳා පවතින්නේ, ජීවත් වෙන ආකාරය අනුව.
දිගටම කියවන්න

කියවූ ගණන : 128     දිනය : 2022-05-18

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 30

ඉතිහාසයට ගිහින් බැලුවොත් මානව ඉතිහාසයේ කිසිදු ගැටලුවක්, ප්‍රශ්නයක්, නොතිබුණු එක අවුරුද්දක් සොයා ගන්නට ලැබෙන එකක් නෑ, කිසිම ඉතිහාස පොතක. මොනම රටක් ගැන, මොනම ගෝත්‍රයක් ගැන, මොනම සංස්කෘතියක් ගැන ලියු ඉතිහාස පොතක එය නොලියවී ඇත්තේ කිසිම ඉතිහාසඥයෙකුගේ අතපසුවීමකින් නොවේ. එය යථාර්තය වන නිසා. කුමක්ද යථාර්තය? විවිධ ගැටලු තිබුණා. බොහෝ දෙනෙකු සිතනවා අතීතය බොහෝම හොඳයි, අතීතය කිසිම ගැටලුවක් නෑ, වර්තමානය තමයි ප්‍රශ්නේ. අතීතයේ වෙනම ගැටලු තිබුණා. හුඟක් එහා අතීතයට ගියාම හරි භයානක සත්තු හිටියා. ඉතින් එහෙම කාලෙක ඒ සතුන්ට අහුවෙනවා. ඒ සතුන් මිනිසුන්ව ආහාරයට ගන්නට ඇති. අනාගතයේ සිහිනයක් ගැන‍, කේතුමති රාජධානියක් ගැන ලස්සන සිහිනත් තිබෙනවා. අතීත පුරාවෘත්තයි, අනාගත සිහිනයි මැද වර්තමානය මිරිකිලා පීඩාවට පත්වෙලා.
දිගටම කියවන්න

කියවූ ගණන : 116     දිනය : 2022-05-11

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 29

හිතවතුනි, ජීවත්වීම කෙසේ වෙතත් ජීවිතය ගැටගසා ගැනීම පිළිබඳ විශාල ප්‍රයත්නයක් ගන්නට, දරන්නට සිදුව තිබෙන කාලයක භාවනාවත් ගැටගහ ගන්නට සිදුවුනොත් එය පුදුමයට කාරණයක් නොවෙයි. විවිධ හේතුනිසා සත්ත්වයන්ට සිදුවෙනවා ජීවිතය ගැටගසා ගන්නට. ඒ ධර්මතාව මනුෂ්‍යාටත් පොදුයි. ඒ ධර්මතාව සාංසාරික හැම සත්ත්වයෙකුටම සාධාරණයි, පොදුයි. වර්තමානය ගත්තත් ආර්ථික ප්‍රශ්න නිසා දවසින් දවස ගැට ගසාගන්න සිදුවෙනවා, අද කොහොමද ගෙවා ගන්නේ, හෙට කොහොමද ගෙවා ගන්නේ, උදේ වරුව, දහවල, රාත්‍රිය? සමහරවිට ආර්ථික ප්‍රශ්නයක් නැතිවුනත්, ලොකු අසනීපයකින්, රෝගයකින් පෙළෙන කෙනෙකුටත්, ඒ ප්‍රජාවටත්, රෝගීවුණු, ආතුරවුණු, ආබාධිතවුණු, ප්‍රජාවටත් මේ ගැටළුව තිබෙනවා. කොහොමද මේ වේදනා සමඟ, අසනීප සමඟ, ප්‍රතිකාර සමඟ ජීවිතය ඇදගෙන යන්නේ, උදේ වරුව, දහවල, රාත්‍රිය, අද, හෙට අසනීප හොඳ වෙයිද, ලෙඩේ වැඩිවෙයිද? ආර්ථිකය හා අසනීපවලට අමතරව වයස නිසාත් වියපත්වීම, මහළුවීම, ජරාජීරණවීම නිසාත්, ජීවිතය ඇදගෙන යන්න සිදුවෙනවා. කොහොමද මේ ගත්ත අඩිය බිමින් තියන්නේ, බිම තැබු අඩිය කොහොමද ඔසවන්නේ? දැන් මේ ගැටළුව, මෙය සරල උදාහරණයක්. වයසත් එක්ක වියපත් වෙන්න වෙන්න, කය දුර්වල වෙන්න වෙන්න, මනසත් දුර්වල වෙන්න වෙන්න මතුවන ගැටළුවක්. වියපත්වීමත් ජරාවට පත්වීමත් ජීවිතය ඇදගෙන යන්න ලොකු ගැටළුවක්, බාධකයක්. එතකොට බාධා තුනක්.
දිගටම කියවන්න

කියවූ ගණන : 164     දිනය : 2022-05-04

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 28

අත්දකින සෑම දෙයකම ප්‍රතිඵල තියෙනවා. බලාපොරෙත්තුවන මටිටමට, එයටත් වැඩිය හෝ අඩුව ප්‍රතිඵල තියෙනවා. එවෙලෙම හෝ පසුව. සමහර දේවල්වල එවෙලෙම ලැබෙනවා. සමහර කාරණාවල පසුවයි ලැබෙන්නේ. කුමන හෝ ප්‍රතිඵලයක් ලැබෙනවා. බලාපොරොත්තුවන ප්‍රතිඵලය, බලාපොරොත්තු වුණු මට්ටමට අඩු, වැඩි ප්‍රතිඵල හෝ බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵලයක් නැති ක්‍රියාවක් නෑ. තියෙන්නට බෑ සංසාරයේ. ඒ ධර්මතාවය වැටහෙනවිට පේන කාරණයක් තමයි හැම දෙයකම ප්‍රතිඵලයක් තිබෙන බව. ක්‍රියාවක ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵල නැති ක්‍රියා නෑ. සංසාරේනම් නෑ. ලෞකික ජීවිතයේත් නෑ. මෙලොව ජීවිතෙත් නෑ. පරලොව ජීවිතේත් නෑ. ඉතින් එහෙමනම් කෙනෙකුට සිතෙන්න පුළුවන් “කුමකටද මේ සංසාරයෙන් අයින්වෙන්න සිතන්නේ” කියා, “එහෙනම් මොකටද ආර්‍යමාර්ගයක්? ලෝකෝත්තර මාර්ගයක්? ලෞකික මාර්ගයේ ප්‍රතිඵල තියෙනවානම්”. හොඳ ප්‍රශ්නයක්. සිහිබුද්ධිය විසින් අසනු ලබන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය සිහිබුද්ධියට තමයි ඇහෙන්නේ, පේන්නේ. ඕනෑම දෙයකට ප්‍රතිඵලයක් තියෙනවා. හැමදේකටම ප්‍රතිඵලයක් තියෙනවා. එහෙම නැත්නම් අප අද මෙතන නෑනේ. ඒ කියන්නේ සදහම් සැඳෑවේ පමණක් නොවේ. මේ ජීවිතයේ, මේ ලෝකේ, මේ සංසාරේ නෑ ප්‍රතිඵලයක් නැත්නම්. ඔබ කියන්නේ ප්‍රතිඵලයක්. මා කියන්නේ ප්‍රතිඵලයක්. ඵලයකට. ප්‍රතිඵලයක් නැත්නම් අත්හැරීම හෝ අතහැරීම සාමාන්‍ය දෙයක්. ඒ සඳහා කිසිම දහමක් අවශ්‍යවන්නේ නෑ. මඟපෙන්වීමක් අවශ්‍ය නෑ. භාවනාවක් අවශ්‍ය වෙන්නෙත් නෑ. සිහිබුද්ධියක් කොහෙත්ම අවශ්‍ය නෑ. තමන් කරන දෙයක ප්‍රතිඵලයක් ඇත්තෙම නැත්නම්, බිංදුව නම් ඒ දෙය එපාවීම සාමාන්‍ය දෙයක්. එපා නොවෙනවා නම් තමයි පුදුම වෙන්න ඕනේ. කිසිම ප්‍රතිඵලයක් නැතිව වවනවා වවනවා කවදාවත් මොනම ප්‍රතිඵලයක්වත් නෑ. කොළයක්වත් නෑ අඩුම ගානේ ඊලඟ කන්නෙට පොහොර වේන්නට පසට වැටිලා දිරලා යන. ඒත් නෑ. ඉතින් එහෙමනම් ජීවිත කාලේම කවුරුහරි ඒ වගාව කරයිද?
දිගටම කියවන්න

කියවූ ගණන : 144     දිනය : 2022-04-27

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 27

සිතුවිලි දෙකෙන් යුක්ත සිතකට තමයි පුහුදුන් සිතක් කියන්නේ. මේ චරිත ලක්ෂණ දෙක තියෙනවා. මෙය පරස්පරයි. මේ පරස්පරය ඇතුළේ එයා හරි දුකක් විඳිනවා. පුහුදුන් සිත ලෝකේ මොනම ප්‍රශ්නයක් නැති වුනත්, කන්න-බොන්න තිබුණත්, භෞතිකව ඒ කිසිම ප්‍රශ්නයක් නැති වුනත්, හැමදෙයක්ම ලැබුණත්, මානසිකව ලැබෙන්න ඕනේ ආදරය වුනත් හරියට හොඳට ලැබුණත්, මේ පුහුදුන් සිතේ නැති නොවන දුකක් තියෙනවා. නැති නොවන අසහනයක් තියෙනවා. ඒ මෙන්න මේ ගැටුම නිසා ඇතිවන අසහනය. ‘මම අනිත් අයට වැඩිය වෙනස්’ ඒ එක්කම ‘මටත් කවුරුහරි වගේ වෙන්න ඕනේ’. හැමවිටම අනුකරණය කරන්න උත්සාහ කරනවා. කාවහරි අනුකරණය කරන්න නැතිනම් කුමක් හෝ අනුකරණය කරන්න. එක්කෝ පුද්ගලයෙක්, වැඩිපුරම උත්සාහ කරන්නේ චරිතයක් අනුකරණය කරන්න, අනුගමනයට වැඩිය අනුකරණය කරන්න. එහෙම නැත්නම් දේවල් අනුකරණය කරන්න බලනවා. දේවල් කීවාම භෞතික දේවල් වෙන්නත් පුළුවන්. වතුර වගේ වෙන්න ඕනේ කියලා සිතනවා. ගලක් වගේ, ගහක් වගේ ඉන්න, පෘථිවිය වගේ, මහපොළව වගේ ඒ අනුකරණය කරන්න බලනවා. එහෙම නැත්නම් ධර්මතා අනුකරණය කරන්නත් හදනවා. තරහා ගන්නේ නැති කෙනෙකු වගේ ඉන්නට ඕනේ, කම්පා නොවන කෙනෙකු වගේ ඉන්නට ඕනේ, ඒ දේවල් අනුකරණය කරනවා. ධර්මතා අනුකරණය කරනවා. පුද්ගලයන් අනුකරණය කරනවා. එය හොඳටම කරන්නට පුළුවන්. වෙන කාටත් වැඩිය හොඳටම අනුකරණය කරන්නට පුළුවන්නේ පුහුදුන් සිතට. අප එදා කීවා වගේ රහතන් වහන්සේ කෙනෙකුට වැඩිය පෘතග්ජන කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකු වගේ හැසිරෙන්න පුළුවන්. ඒ චරිතය හොඳටම ‘රඟපාන්න’ පුළුවන් වන්නේ රහතන් වහන්සේ නමකට වැඩිය පෘතග්ජන කෙනෙකුට. මොකද රහතන් වහන්සේලා රඟපාන්නේ නෑ. උන්වහන්සේලා ස්වභාවිකව ජීවත් වෙනවා. සමහර විට එහෙම කෙනෙකු දැක්කට ලෝකය පිළිගන්න එකක් නැහැ මේ රහතන් වහන්සේනමක් කියා. හැබැයි පෘතග්ජන කෙනෙකුට පුළුවන් රැවටෙන විදිහට, හරි ලස්සනට රඟපාන්න. සාමාන්‍ය ලෝකය සැබෑ රහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා අර රඟපාන චරිතයට වඳිනවා-පුදනවා නමුත් ඒ ගැන රහතන් වහන්සේනමට කිසිම කම්පාවක් නැතිව ඇති.
දිගටම කියවන්න

කියවූ ගණන : 101     දිනය : 2022-04-20

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 26

ඕනෑම ගමනක් යන්න ‘සිතක්, සිතුවිල්ලක්, චේතනාවක්’ ඇතිවිය යුතුයි. ගමනක් යන්න මේ සිත, සිතුවිල්ල, චේතනාව බොහෝවිට ඇතිවන්නේ කාගේ හෝ ඇරයුමක් නිසා. කවුරුන් හෝ කතා කළාම, ආරාධනා කළාම, පෙළඹවුවාම තමා බොහෝ ගමන්වලට පෙළඹෙන්නේ. මේ අභ්‍යන්තර ගමන ආධ්‍යාත්මික ගමන යෑමට ඇතුළතින් ආරාධනාවක්, ඇරයුමක් එනවා. බොහෝවිට මේ ඇරඹුම, අත වැනීම, කැඳවීම පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ නෑ. එහෙම පාරක් තිබෙන බව අපට බොහෝවිට දර්ශනය වෙන්නේ නෑ. එළියේ පාරවල් තමා පෙන්නේ. හම්බකරන, ඉගෙන ගන්න, වියදම් කරන, වඳින-පුදන, ලස්සන බලන මේ පාරවල් තමයි පේන්නේ. නමුත් ඇතුළතට යන්න පුළුවන් පාරක්, ප්‍රවේශ මාර්ගයක්, එහෙම ගමනක් තිබෙනවා. කැඳවීමක්, ඇරයුමක් කෙරෙනවා. මේවා කවදත් කියන විදිහට ඇතුළතට අන්ධවුණු, බිහිරිවුණු, අභ්‍යන්තර සංවේදීතාවයේ ස්නායු නිර්වින්දනය වුණු සිත්සතන්, හදවත්වලට ඇහෙන්නේ පෙනෙන්නේ නෑ. නිර්වින්දනය කර ගැනීම හරි පහසුයි. නමුත් එතනින් එළියට ඒම ලේසි නෑ. ඇස් දෙක අන්ධ කරගැනීම හරීම පහසුයි. නමුත් නැවත පෙනීම ලබාගැනීම හරීම දුෂ්කරයි. ඒ නිසයි කියන්නේ මේ ගමන බොහොම දුර්ලභ අවස්ථාවක්, අත්දැකීමක් කියා.
දිගටම කියවන්න

කියවූ ගණන : 92     දිනය : 2022-04-06

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 25

ප්‍රශ්න වර්ග කිහිපයක් තිබෙනවා. එක වර්ගයක් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න. සාමාන්‍ය දැනීමේ පොත්වල ප්‍රශ්න-උත්තර තිබෙනවා. මේ ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි කටපාඩම් කළාම සාමාන්‍ය දැනීම පිළිබඳ විශේෂඥවරයෙක් වෙන්න පුළුවන්. කිසියම් දෙයක උස, දිග, පළල ආදි තොරතුරු, යමක ආරම්භය, අවසානය, සොයා ගත්තේ කවුද යනාදි තොරතුරු, එමෙන්ම කිසියම් කන්දක් මුලින්ම නැග්ගේ කවුද, එහි උස කුමක්ද, මෙවැනි තොරතුරුවලටයි සාමාන්‍ය දැනීම කියන්නේ. නමුත් මේවා නෙවෙයි සාමාන්‍ය දැනීම විය යුත්තේ. ‘සාමාන්‍ය දැනීම යනු ජීවත් වීමට අවශ්‍යවන දැනීම’. ඔය සාමාන්‍ය දැනීම පොත් පත් වල, ජීවත් වීමට අවශ්‍ය දැනීම කොච්චර දුරට තිබෙනවා ද? මේ කිසිදෙයක් නොදැන ලස්සනට ජීවත්වන කී දෙනෙක් ඉන්නවා ද. ලෝකේ උසම කන්ද දන්නේ නැති, දිගම ගඟ දන්නේ නැති, අහසේ තරු ගණන දන්නේ නැති කීදෙනෙක් ලස්සනට ජීවත් වෙනවාද? ගින්දර සොයාගත්තේ කවුද, අර වාදයේ පියා කවුද මේ වාදයේ පියා කවුද මේ කිසිදෙයක් දන්නේ නැති, සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ සාමාන්‍ය දැනීම කියන ‘දැනීම’ අල්පෙනෙති තුඩක් පමණවත් නැති, නමුත් කාටවත් බරක් හිංසාවක් නොවී සතුටින් සැහැල්ලුවෙන් බියකින් තොරව ජීවත්වෙන අය ඉන්නවා. අපට තේරෙන විදිහටනම් ඒ අයට ඔය සාමාන්‍ය දැනීම නෑ, ඒ ඇත්තන්ට තමයි නියම සාමාන්‍ය දැනීම තියෙන්නේ, ජීවත් වෙන්න අවශ්‍ය දැනීම අවබෝධය තියෙන්නේ.
දිගටම කියවන්න

කියවූ ගණන : 106     දිනය : 2022-03-30

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 24

හිතවතුනි දැනුමට එකතු කරගන්නා කාරණා අතර, සම්පූර්ණයෙන්ම ජීවිතය කණපිට පෙරළන, ජීවිතය අංශක එකසිය අසූවක් ආපසු හරවන අවස්ථාත් තිබෙනවා. අළුතින් දේවල් ඉගෙන ගන්නා අතරම ඉගෙන ගැනීමෙන් එහාට ගිය, දැනුමෙන් එහාට ගිය, ජීවිතය ගිය පාර, ගිය ගමන සම්පූර්ණයෙන්ම කණපිට හරවනවා. නොසිතූ පැත්තකට කවදාවත් හිතුවේ නැති පැත්තකට ජීවිතය අපිව ගෙනියනවා. කවදාකවත් සැලසුම්කර නැති. එබඳු අවස්ථා සුලබ නෑ හරි විරලයි. යම් යම් කාරණා අලුත් තමයි, සාමාන්‍යයෙන් ජීවිතයේ දන්න කියන පාරක, පරණ පාරක අලුත් විදිහට යනවා. සාමාන්‍යයෙන් එකම වාහනේ වෙනස් වෙනස් ගමන් ගමන් තමා යන්නේ. ඒ අතර, යන වාහනය සම්පූර්ණයෙන් වෙනස් කරන ගමනුත් තියෙනවා. නමුත් මේ ආධ්‍යාත්මික ගමනේදී වාහනය නිතර වෙනස් වෙනවා එකම වාහනය නෙවෙයි. පටන් ගත්ත වාහනය නෙමෙයි අවසානයේදි තියෙන්නේ, මැදදි තියෙන්නේ. එය තමා මෙහි තිබෙන සුවිශේෂි බව. ගමන නිසා වාහනය වෙනස් වෙනවා. වාහනයේ ටයර් ගෙවීම, කෑලි ගෙවීම, කැඩීම පමණක්ම නෙවෙයි. සම්පූර්ණයෙන්ම වාහනය පරිවර්තනයකට භාජනය වෙනවා. බැහැයි කියා සිතා සිටි දේවල් පුළුවන් බව තේරෙන්න පටන් ගන්නවා. මේ පාරෙන් යන්න බෑ, මේ විදිහට නම් යන්න බෑ, කියු ගමන යන්න පුළුවන් වාහනයක් බවට පත්වෙනවා. කලින් බෑ. ඇත්තට ම බැරි නිසයි බෑ කිවුවේ. නමුත් ආධ්‍යාත්මික මගෙහි යන්න පටන් ගත්තාම එය කළ හැකි දෙයක් බවට පත්වෙනවා. ඒ පාරේ යන්න පුළුවන් වාහනයක් බවට ජීවිතය පත්වෙනවා. මේ තමා ලස්සනම පරිවර්තනය. කලින් පුළුවන්කම තියාගෙන බෑ කිවුවා නෙවෙයි. බැරි නිසයි බෑ කිවුවේ. බැරි නිසයි නොගියේ. නමුත් යන්න පටන් ගත්තොත් හැම බැරිකමක්ම පුළුවන්කමක් බවට පත්වෙනවා. ‘හැම නොහැකියාවක්ම හැකියාවක් බවට පත්වෙනවා’. එය තමා ආශ්චර්යය. එය තමා මෙහි තිබෙන අපූර්වත්වය.
දිගටම කියවන්න

කියවූ ගණන : 113     දිනය : 2022-03-23

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 23

සිතිවිලි හරි කියන විට, හරි සිතිවිලි හා වැරදි සිතිවිලි කියා සිතිවිලි වර්ග දෙකක් තිබෙනවා. ඒ බව අප දන්නවා. මේ රාත්‍රිය කීවාම, එහෙම හිතුවාම එය හරි සිතිවිල්ලක්. මේ දහවල, උදේ කියලා සිතුවොත් ලංකාවේ ඉන්න කෙනෙකු එය වැරදි සිතීමක්. එබඳු හරි සිතිවිලි, වැරදි සිතිවිලි තිබෙනවා. නමුත් ඉන් එහාට මේ රෑ ද? දවල් ද? අපට ඇස් ඇරලා බලන්න පුළුවන්. එළියට ගිහින් බලන්න පුළුවන්. තව කෙනෙකුගෙන් අහන්න පුළුවන්. මේ රාත්‍රිය ම තමා. හරි පහසුයි ඒ සිතිවිල්ල හරි ද? වැරදි ද? කියා දැනගන්න. අපටත් පුළුවනි තව කෙනෙකුටත් පුළුවනි. මක්නිසාද රාත්‍රිය අප සියදහස් වාරයක් අත්දැක තිබෙන නිසා. රැයේ ස්වභාවය හැමදෙනාම එක්වරක්, දෙවරක්, තෙවරක් නොවෙයි දස දහස් වාරයක් අත්දැකලා තිබෙනවා. අතීතය සොයාගෙන යන ගමනක් නම් හරි පහසුයි. අතීතයේ දුටුදෙයක්, ඇසූ දෙයක්, වින්ද දෙයක්, යළි සොයාගෙන යන ගමනක් හරි පහසුවෙන් යන්න පුළුවනි. වරදින්නේ නෑ. වරදින්න තියෙන ඉඩ අඩුයි. මක්නිසාද, ඒ පිළිබඳ අත්දැකීමක් ලබා තිබෙන නිසා. නමුත්, කවදාවත්ම අත්දැක නැති දෙයක් ගැන අපට තිබෙන්නේ සිතිවිලි පමණයි. හරි සිතිවිලි, වැරදි සිතිවිලි නෙමේ, මේ සියල්ල සිතිවිලි කවදාවත්ම අත්දැක්කේ නැති දෙයක් ගැන, යථාර්ථයක් නෑ. එතන තිබෙන්නේ අපේ අදහසක් පමණයි.
දිගටම කියවන්න

කියවූ ගණන : 102     දිනය : 2022-03-16

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 22

හිතවතුනි, සාමාන්‍ය සිත අදහස් දෙකට බෙදනවා. හරි අදහස් වැරදි අදහස්, හොඳ අදහස් හා නරක අදහස්, සත්‍ය අදහස් අසත්‍ය අදහස් වශයෙන්. මේ විදිහට හිතකර ආකල්ප හා අහිතකර ආකල්ප ලෙස බෙදනවා. සාමාන්‍ය සිත්වලින් සොයාගත් හෝ ගොඩනැඟුණු හැම ආගමක්ම, හැම විද්‍යාවක්ම හා හැම දර්ශනයක්ම, මේ කාර්යයේ තමා යෙදෙන්නේ. බොරු අදහස් බැහැර කරන්න, ඇත්ත අදහස් බාරගන්න, අදහස් පිළිබඳ මේ විනිශ්චය. නිකන්ම අදහසක් නෑ, එක්කෝ අදහස හරි, නැත්නම් වැරදි. අදහසක් කීවාම අහනවා හරිද වැරදිද?, හොඳද නරකද?, යහපත්ද අයහපත්ද?, ඇත්තද බොරුද?. වැරදි අදහස් අත්හරිමින් නිවැරදි අදහස්වලට වඩ වඩාත් සමීප වෙමින් යන ගමනක් සාමාන්‍ය සිත යන්නේ, විද්‍යාව යන්නේ,. දර්ශනය යන්නේ, ආගම් පවා යන්නේ. කලිනුත් කියා තිබෙනවා, ඔය භාරතය මුල්කරගෙන ආධ්‍යාත්මික ගවේෂණයේ යෙදෙන ඇත්තන්ගේ සටන් පාඨයක්ව තිබුණේ, “අසත්‍යයෙන් සත්‍යට, අඳුරින් එළියට, මරණයෙන් අමරණීයත්වයට යන පාර කියන්න” යන්නයි.
දිගටම කියවන්න

කියවූ ගණන : 124     දිනය : 2022-03-09

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 21

කවුරුත් නැලවිලි ගීත අහන්න කැමතියි. පුංචි කාලේ ඉඳලා දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටි හැමෝම නැලවිලි ගීත අහන්න කැමතියි. මෙපමණ නැලවිලි ගීත ඕන වෙන්නේ අප එළියෙන් ඇඬුවේ නැති වුණාට අභ්‍යන්තරයෙන් අඬ අඬ ඉන්න නිසා. හඬන අධ්‍යාත්මයකුයි අපට තියෙන්නේ. ඇතුළතින් හඬනවා. දිගටම හඬ හඬා ඉන්න බෑ, එහෙම උනොත් පිස්සු හැදෙනවා. ඒ පිස්සුවෙන් ගලවාගන්න කරන්නේ වරින් වර ඔළුව අතගා නැලවීමයි. එසේ නැලවූ විට සංසාර විලාපය මොහොතකට නවතිනවා. ආයෙත් අඬන්න පටන්ගන්නවා. ආයෙත් නැලවීමක් ඕනේ. අප සියල්ලම භාවිතා කරන්නේ නැලවිලි ගීත විදිහට. රසවත් ආහාර පාන පමණක් නොවේ. පුද්ගලයන් පවා භාවිතා කරන්නේ නැලවිලි ගීතයක් විදිහට. අනිත් අය අපව භාවිතා කරන්නෙත් නැලවිලි ගීතයක් විදිහට. මේ තමා පිළිගන්න කැමති නැති ඇත්ත.
දිගටම කියවන්න

කියවූ ගණන : 146     දිනය : 2022-03-02

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 20

හිතවතුනි, අඳුර-එළිය, හොඳ-නරක, අඳුර එළිය පැත්තකින් තියමු. අනිත් හැම දෙයකම දෙපැත්තක් තිබෙන බව මේ වැඩසටහන් මාලාවේදීම අප කතා කලා. සොයා බැලුවා. ‘අටලෝ දහම’ කිව්වත් දෙපැත්තක් තියෙන්නේ. දෙපැත්තක් නැති කිසිම දෙයක් මේ ලෝකේ නෑ. හැම දෙයකටම දෙපැත්තක් තියෙනවා. කාසියක් වගේ. නැතිනම් කොළයක් වගේ. එක පැත්තක් විතරක් තියෙන කොළ නෑ. කොළයක් වුනත් දෙකට පලන්න පුළුවන්නම්, මොනතරම් පැලුවත් ආයෙත් දෙපැත්තක් තියෙනවා. ඒවාගේ බාහිර ලෝකේ අත්දකින හැම දේකම දෙපැත්තක් තියෙනවා. සීතල-උණුසුම, දහවල-රාත්‍රිය. ලෝකයේ දෙපැත්තක් තියෙනවා වගේම ශරීරයේත් දෙපැත්තක් තියෙනවා. ශරීරයත් ලෝකේ කොටසක්නේ. රෝගී වෙනවා - නිරෝගී වෙනවා. උපදිනවා - මැරෙනවා. ලස්සන වෙනවා - කැත වෙනවා. තරුණ වෙනවා - මහළු වෙනවා. ප්‍රබෝධමත් වෙනවා - උදාසීන වෙනවා. මේ දෙපැත්ත තියෙනවා.
දිගටම කියවන්න

කියවූ ගණන : 153     දිනය : 2022-02-23

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 19

හිතවතුනි සමහරවිට හිතෙන්ට පිලිවන් එකවරම හෙන ගහනවා වගේ අනවබෝධයේ සිටි කෙනෙකු මේ මොහොතේ පූර්ණ අවබෝධයට පත් වේවී කියා. එහෙමයි අප අසා තිබෙන්නෙ, එක්වරම සෝතාපත්ති ඵලයට පත්වුණා, සකදාගාමී, අනාගාමී, අරහත්, පසේ බුදු, බුද්ධත්වය, මේ ආදී වශයෙන්, එබඳු ක්ෂණික පරිවර්තන ගැන තමා වැඩිපුර කතා කරන්නේ. එහෙම පරිවර්තනයක් ගැන කියන විටයි නිතැතින්ම නොදැනුවත්වම සාධු නාදයක් නැගෙන්නේ. මොහොතින් මොහොත, දවසෙන් දවස, දශම බින්දුවයි බින්දුවයි එක වගේ, එහෙම එළිය කරමින් අන්තිම මොහොතේ අනූ නාමයයි දශම නමයක් තිබිලා තවත් ව්‍යායාමයක ප්‍රතිඵලයකින් මේ දශම එක සම්පුර්ණ වුණා කිව්වොත් ඒ ගැන හිතේ ලොකු ප්‍රසාදයක් නෑ, එය ප්‍රාතිහාර්යක් විදිහට පේන්නෙත් නෑ, ගණන් ගන්නෙත් නෑ, විමතියකුත් නෑ, පුදුමයකුත් නැහැ. හැබැයි බලාපොරොත්තු වෙන්නේ බින්දුවේ සිට ශතකයක් සියයක්. හිතවතුනි එබඳු ප්‍රාතිහාර්යයන් ගැන විශ්වාස කරමින් ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු වෙමින් ප්‍රාතිහාර්යයන් සිදු වන තුරු උඩ බලාගෙන සිටිනවා වෙනුවට දශමින් දශමය මොහොතින් මොහොත ක්ෂණයෙන් ක්ෂණය අවබෝධ කරගත යුතු කාරණා අවබෝධ කර ගැනීමට මහන්සි වීම වටිනවා එය ප්‍රායෝගිකයි, එයින් තමා ප්‍රතිඵල ලැබෙන්නේ. එම නිසා මේ බදාදා ප්‍රාතිහාර්යක් වෙයි කියා එහෙම විශ්වාසයක් එහෙම ඇදහීමක් බලාපොරොත්තුවක් මේ හිතවතුන් කවුරුන් ළඟවත් නැතිව ඇති. බ්‍රහස්පතින්දා සිදු නොවුන සිදු නොවන සිකුරාද සෙනසුරාද ඉරිදා සිදුනොවූ හා සිදුනොවන සඳුදා අඟහරුවාදා ඒත් නොලැබුණු කිසියම් අධ්‍යාත්මික ඵලයක් ක්ෂණිකවම එකවරම බදාදා හතහමාරට ලැබෙයි සිදුවෙයි, එබඳු විශ්ව කර්මයක් සිදු වන්නේ නෑ එහෙම හීන දැකීමකුත් නෑ, එයට වඩා අප කවුරුත් බොහොම ප්‍රායෝගිකව අඩියෙන් අඩිය යන ගමනක්.
දිගටම කියවන්න

කියවූ ගණන : 166     දිනය : 2022-02-09

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 18

ගෙවත්තේ පිපෙන මලක් යන්නෙත් ගමනක. අලංකාරයට හිටුවන මල් පැලයකට ගහකට කළ යුතු සියලු සත්කාර කළ පසු දවසක එයින් මලක් පූදිනවා. කොහෙන් ඒ මලට පාට සුවඳ ආවාද, කවුරුන් විචිත්‍ර වූ හැඩයක් දුන්නද, දුන්නු කෙනෙක් පෙනෙන්නේ නෑ, ගත්ත තැනක් හොයා ගන්නත් නෑ. නමුත් කවදාවත් කෘතිමව හදන්න කෘතීමව දෙන්න බැරි වර්ණ හැඩ සුවඳ සමග මලක් පිපෙනවා, විකසිත වෙනවා. ඒ පුෂ්පය පැමිණි තැන අප දන්නේ නෑ, ගහ ඇතුළේ තිබුණේ නෑ ගහ ඇතුලෙන් නොවේ ආවේ. පොළොව තුළ තිබුණෙත් නෑ, පොළොවෙන් නොවෙයි ආවේ. ඉර එළියේ තිබුණාද, ඉතින් අපට හොයාගන්න බෑ. පැළයට ලබාදුන් පොහොරවල තිබුණද ජලයෙද තිබුණේ වාතයේද නෑ. ගහේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන ඉර එළියෙත් ජලයේත් වාතයේත් පොලොවෙත් නොතිබුණු නමුත් මේ කිසිවක් නොමැතිව නොලැබෙන හා නොපිපෙන විසිතුරු මලක් මේ ගහ අපට දෙනවා, ගෙවත්ත ලස්සන කරනවා සුවඳවත් කරනවා. කොපමණ කාලයකටද?. එය සාපේක්ෂයි, නමුත් දීර්ඝ කාලයකට නොවේ, සදා කාලයකට නම් කොහොමවත් නෑ. ඉන්පසු අර පොහොට්ටුවක් සේ ගහෙන් එළියට ඇවිත් විකසිත වුණු ඒ පුෂ්පය නැවත පෙති හකුලා ගන්නවා. එයට අප වෙන නමක් දෙනවා. පරවෙනවා මිලාන වෙනවා කියා. එය නැවත පොහොට්ටුවක් බවට කොහොමවත් පත්වෙන්නේ නෑ. පොහොට්ටුව හා පරවෙන මල අතර ලොකු වෙනසක් තියෙනවා, එකක් උපදිනවා අනිත් එක මියයනවා. ඒ මල් පෙති එකින් එක එකින් එක ගලවලා ගහ මුලට, ඒ තමන් මතුවූ පාදමට දානවා. වැටුණු මල් පෙති ගහ මුල ටික දවසකින් දකින්න ලැබෙනවා. ඒවා දුර්වර්ණ වෙමින් අවර්ණ වෙමින් විසිතුරු හැඩ විකෘති වෙමින් අවලස්සන වෙමින් සුවඳවත් වූ රේණු දුගඳ හමන්නට පටන් ගනිමින් ගමනක් යනවා, දැන් පිපුණු ගමන ඉවරයි, නමුත් ගමන ඉවර නෑ. තවත් ටික දවසකින් ඒ හැලුණු පෙති හොයාගන්න ලැබෙන්නෙ නෑ, වැස්සට දියවෙලා පොළොවට දිරා ගිහිල්ලා අව්වට පිච්චිලා, සමහර විට ඊළඟට මතු වෙන්නට තිබෙන පොහොට්ටුවට අවශ්‍ය කිසියම් උදව්වක් කරනවා ඇති මේ පරවුණ මල නැවත ගහ පාමුලින්. මේ තමා චක්‍රය. ඒ පර වුණු මලමද අලුත් මලක් විදිහට ආයේ ආවේ, එහෙම කියන්න බෑ. හැබැයි ඒ පරවුණු මලින් යමක් මේ අලුතින් සුපිපෙන පුෂ්පයට ලැබෙන්න ඇති. මේ තමා චක්‍රය. විශ්වයේ තිබෙන හැමදේකම පැවැත්මේ ස්වභාවය.
දිගටම කියවන්න

කියවූ ගණන : 157     දිනය : 2022-02-02

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 17

දහම අදහම කියන්නේ මේ හොඳට හා නරකට නම්, ඒ කියන නපුර නරක හඳුනා ගෙන, එතනින් ඉවත් වී, හොඳ කියන තැනට, හොඳ චෛතසික වලට විඥානයෙන්ම සමීප වීම හොඳ ගමනක්, ලස්සන ගමනක් එයට දහම කියන්න පුළුවන්. අදහමින් දහමට එනවා, නරකින් හොඳට එනවා, පවින් පිනට එනවා. එනමුත් දහම කියන්නේ සදාකාලිකව නැවතිය හැකි නැවතුම්පොළක් නොවෙයි. පින කියන්නේ නැවතිය යුතු ස්ථානයක් නොවේ. පින ඇතුලේ, පුන්‍යකර්ම ඇතුලේ, පුණ්‍ය විපාක ඇතුලේ, හෝ හොඳ ඇතුලේ, සදහටම කෙනෙකුට ඉන්න බෑ. යන්න කිව්ව දවසට යන්න වෙනවා, ඒ යන්න වෙන්නේ අදහමට, වැටෙන්නේ ආයෙත් අදහමට. බුදුදහමෙහි අදහම හදුන්වන්නේ ‘මහගෙදර’ වගේ කියා, කොහේ ගියත් ආපසු එන තැන, සාමාන්‍ය කෙනෙකු පෘතග්ජන කෙනෙකු, මනස නොවැඩූ කෙනෙකු, මනස පිළිබඳ හරි අවබෝධයක් නැති කෙනෙකු, කොතැනක හිටියත් කොපමණ කාලයක් ඒ ලස්සන හොඳ තැන්වල හිටියත්, නැවත නිරායාසයෙන්ම පැමිණෙන තැන තමා අදහම, දහමට යනවා ධර්මිෂ්ඨව ජීවත් වෙනවා, තමනුත් සැප විඳිනවා අන් අයටත් සැප ලබා දෙනවා, එනමුත් දහම කෙනෙකුට සදාකාලිකව නවාතැන්පොළක් වෙන්නේ ලැගුම්හලක් වෙන්නේ නෑ, බොහෝම ටික කාලයක් ඇතුළත් ඕනෑම කෙනෙකුට තමා තුළින්ම මේ ගමනාගමනය අත් දකින්න පුළුවන්, ඉතාම කෙටි කාලයක් ඇතුලේ දහමට යනවා, වෙරවීරිය දාගෙන දහමින් ජීවත් වෙනවා, නමුත් සුළු අතපසුවීමකින් අදහමට නැවතත් වැටෙනවා. ඒ අධාර්මිකව හිතන කතා කරන ජීවත් වෙන හැටි සැලසුම් හදන හැටි තමන්ටම අදහා ගන්න බෑ. මෙය තමා ධර්මතාවය.
දිගටම කියවන්න

කියවූ ගණන : 199     දිනය : 2022-01-26

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 16

අත්දකින ධර්මතා බෙදාගැනීමට සහ මෙතෙක් නොදුටු ධර්මතා ගවේෂණය කිරීමට අනාවරණය කර ගැනීමටයි අප එකමුතුව ඉන්නේ. බෙදා ගැනීමයි ගවේෂණය කිරීමයි සිදුවෙන්නේ, මේ මුළු ගමනම යැවෙන්නේ හිතවත්කම මුල්කරගෙනයි. දහම සම්ප්‍රේෂණය වෙන්නේත් හිතවත්කම මතයි. මේ වැඩසටහන් මාලාව පුරාම පවතින්නේ කතා කළත් නොකළත්, මුන ගැහුනත් නොගැහුනත්, කතා කරන මුණගැසෙන දෙනෝ දහසකට වඩා ලස්සන හිතවත්කමක්. ඒ හිතවත්කම තමා මෙපමණ දුරක් අපව මේ මගෙහි රැගෙන ආවේ. කිසියම් තැනක, මානසික මට්ටමක හා ආධ්‍යාත්මික ස්ථානයක ඉන්නවද, සිටිනවාද, එතනට එන්න, මෙතැනට එන්නට, කල්‍යාණ මිත්‍රයන් කීදෙනෙකු නම් උපකාර කරන්න ඇතිද, මතක් කරන්න පුළුවන් සහ මතකයට නගා ගන්න බැරි තරම් කල්‍යාණ මිත්‍රයින් සංඛ්‍යාවකගේ තල්ලුව, මගපෙන්වීම, දිරිගැන්වීම, ආදර්ශය හේතු වුණා සාධක වුණා, එබඳු දුර්ලභ ලැබීමත් සඳහා මොන තරම් හේතු වාසනා තිබෙනවාද. ඒ ගැන සතුටු වනවා වගේම ඒ සියලුම කල්‍යාණ මිත්‍රයන්ට අප කෘතඥ විය යුතු වෙනවා.
දිගටම කියවන්න

කියවූ ගණන : 149     දිනය : 2022-01-19

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 15

මේ ජීවිතයේ හැමදාම බලාපොරොත්තු ඉටු වීම් නැමති වසන්තය ළඟා වෙන්නේ නෑ. වැඩිපුර සිදු වෙන්නේ බලාපොරොත්තු ඉටුවීම ද කඩවීම ද සාපේක්ෂයි. පිබිදීම් මෙන්ම ඇදවැටීම් භාවනා කළත් නැතත් සිදුවෙනවා, භාවනා කළා කියා ජීවිතයේ සියලු කටයුතු සිතන පතන ආකාරයෙන්ම වෙන්නේ නෑ, භාවනා කළා කියා සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර ගන්නට බැහැ. පැතුමක් ඉටුවෙනවා දැකීම සාමාන්‍ය හිතක උපදින බිළිඳු ආශාවක්. කිසියම් වූ පැතුමක් හිතක පිළිසිඳ ගත්තද, විටින් විට බලනවා ස්පර්ශ කරනවා ඒ ප්‍රාර්ථනය දැන් මොන තරම් දුරකට සපල වෙලාද කවද්ද ඒ ප්‍රාර්ථනය සම්පුර්ණයෙන්ම ඉටු වෙන්නේ සඵල වෙන්නේ කියා. ජීවිතය නැමැති, හිත නැමැති විලේ පිලිසිඳ ගන්නා පොහොට්ටු බොහොමයක් කුණු වෙලා යනවා, බොහෝම කලාතුරකින් තමයි පොහොට්ටුවක් එළියට එන්නේ, ඒ එළියට එන පොහොට්ටු වලිනුත් බොහෝම ටිකයි පිපෙන්නේ. මේ තමා ඇත්ත, ඉටුවීම් මෙන්ම කඩවීම්, මේ තමා ලෝකය ජීවිතය සමබර කරන හැටි.
දිගටම කියවන්න

කියවූ ගණන : 200     දිනය : 2022-01-12

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 14

අපට පලා යා නොහැකි ජීවිතයක, පලා යා නොහැකි ජීවිත ගමනක යෙදී සිටීමටයි සිදුව තිබෙන්නේ. තමන් ගැනත්, අනුන් ගැනත් ඉටුවිය යුතු යුතුකම්, කරන්න තියෙන වැඩ මේ සියල්ල නොතකා නොසලකා හරින්නට, අමතක කර දමන්නට පුළුවන්. මේ දෙපිරිසම අමතක කර ධ්‍යානයක්, ධර්ම සාකච්ඡාවක්, පූජා, චාරිත්‍ර වාරිත්‍ර සමගම ඒකාත්මිකව පූර්ණ වශයෙන්ම ආගමික ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. අතිවිශාල කායික මානසික සුවයක්, පින් පිරුණු සංසාරික ගිණුමක්, සත්පුරුෂයන්ගේ කීර්ති ප්‍රශංසා ලබා ගන්නට පිළිවන්. එයින් හිතේ එක් කොටසක් පමණක් තෘප්තිමත් වෙයි, සතුටට පත්වෙයි. හිතවතුනි, සෑහීමකට පත් වුණා කියා හිතන විට සහ එසේ දැනෙන විට බලන්න මුළු හිතම සතුටින් පිරිලා ද, මුලු හිතම සෑහීමකට පත්වෙලාද, සමස්ත මනසම තෘප්තිමත්ද කියා. බොහෝවිට හිතෙන් හතරෙන් එකක් පමණයි එසේ සෑහීමකට පත්වන්නේ. සාමාන්‍ය හිතේ කොටස් හතරක් තිබෙනවා.(වෙනත් වර්ගීකරණයන්ට අනුව වෙනස් ආකාරයට හිතේ කොටස් ගණන් කරන්න පුළුවන්. මනෝවිද්‍යාවේ තිබෙනවා උඩු සිත, යටි හිත, සවිඥානික මනස, අවිඥානික මනස ආදි වශයෙන්. එය බලන කෝණය, අවස්ථාව, අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා). මෙතැනදී හිත සතුටට පත් වුණා සෑහීමකට පත්වුණා තෘප්තිමත් වුණා කියන තැන, බොහෝවිට හිතේ එක් කොටසක්, හතර එකක් පමණ තමා හැම විටම සතුටට පත් වෙන්නේ.
දිගටම කියවන්න

කියවූ ගණන : 185     දිනය : 2022-01-05

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 13

ජීවිත අරගලයේදී ඇති පමණට කම්පන ලැබෙනවා. ඒ කම්පන සමග ඉඩදෙන්න ඇහැරෙන්න, පිබිදෙන්න, අවදිවෙන්න. කම්පනයක් එක්ක ඇහැරෙන්නත් පිළිවන් කම්පනයත් සමග වැලලෙන්නත් පුළුවන්. බොහෝ දෙනකු කම්පනය සමග වැලලෙනවා. සංසාරය පුරාවටම සිදුවන්නේ කම්පනත් සමග වැළලීම, වඩ වඩාත් නිද්‍රාගත වීම, වඩ වඩාත් අසිහියට පත්වීම. බොහොම කලාතුරකින් කම්පනයක් සමග කෙනකුට ඇහැරෙන්නට පිබිදෙන්නට අවදි වෙන්නට ඉඩ තිබෙනවා අතරින් පතර නමුත් එය ඉතිහාසය පුරාම සිදුවී තිබෙනවා. ඒ නිසා හිතවතුනි මේ ජීවිතය ඇතුළෙමයි විකසිත වීම සිදුවෙන්නේ, අවශ්‍ය විකසිත වෙන්නට නම් එය සිදුවන්නේ මඩේමයි, කිරිගරුඩ හෝ ටයිල් ඇතිරූ පොළොවක හෝ මැණික් රත්තරන් ආලේප කළ මතුපිටක නොවේ. පියුමක් නෙළුමක් විකසිත වෙන්නේ අපිරිසිදු අප්‍රසන්න දුගද මඩේ. ඒ වගේම තමා එදිනෙදා ජීවිත අරගලය, වගකීම් කාර්යබහුලත්වය, යුතුකම්, මේ සියල්ල හරියට මඩ වගේ කෙළවරක් නෑ හිත අපරිසිදු වීමමයි වෙන්නේ. වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න, කාර්යබහුල වෙන්න වෙන්න, අවිවේකය වැඩිවෙන්න වැඩිවෙන්න ආතතිය කලබලය ආවේගය වැඩි වෙනවා මිසක් සාමාන්‍යයෙන් අනිත් දිශාවට ගමන් කරන්නේ නෑ, සාමාන්‍යයෙන් වඩ වඩාත් තැන්පත්, මනා සිහිබුද්ධියෙන් යුත් මනසක් ඇති වෙන්නේ නෑ. සමස්ත සමාජ ජීවිතයම මඩගොහොරුවක්. ලෝකය කියන්නේ, සංසාරේ කියන්නේ මඩ ගොහොරුවක්, මේවා සියල්ල මඩ විදිහට දකින්න, එයට වඩා උචිත උපමාවක් තිබෙනවාද?, එරෙනවා එරෙනවා එරෙනවා. ලෞකික ජීවිතය, රස්සාව, පවුල් ජීවිතය, සමාජ ජීවිතය, ආගමික ජීවිතය නැමැති මඩ ගොහොරුවේ එරීමයි දිගින් දිගටම සිදුවන්නේ. මේ ජීවිතයේ ගොඩට ඇවිත් හොඳ ටයිල් පොළොවක, මඩ නැති, ගඳ නැති, පිවිතුරු කිරිගරුඩ පොළවක හිටියා කියා සුවපහසු ජීවිතයක් ලැබෙයි. නමුත් පිබිදීමක් විකසිතවීමක් අවදිවීමක් සිදු වෙන්නේ නෑ.
දිගටම කියවන්න

කියවූ ගණන : 185     දිනය : 2021-12-29

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 12

සාමාන්‍යයෙන් සිහිබුද්ධිය අඩු, නැත්නම් නැත්තටම නැතිවන අවස්ථා පහක් විතර හොයාගන්න පුළුවන්. මේ අවස්ථා පහේම ස්වභාවය අඩු වැඩි වශයෙන් එක සමානයි. එක් අවස්ථාවක් නින්ද, නින්දේදී සිහිබුද්ධියක් නෑ. නිදාගෙන සිටින විට ඇත්ත කියා දකින හීනයට ඇත්තක් යථාර්ථයක් නෑ. දෙවන අවස්ථාව සිහිමද තත්වය. මේ තත්ත්වයෙන් සිටින විටත් ඒ සිහිමද තත්ත්වයට දැනෙන දේ තමා ඇත්ත. තුන්වන අවස්ථාව මත්ද්‍රව්‍යවලින් මත් වීම, ඒ මත්ද්‍රව්‍යයෙන් මත්වුනු ඉන්ද්‍රියයන්ට දැනෙන දේ තමා ඇත්ත. හතර වන අවස්ථාව කම්පනයට පත් වීම, දැඩි කම්පනයකින් සිටින විට ඒ කම්පනයට දැණුනදේ තමා ඇත්ත. පස්වන අවස්ථාව ලොකු සතුටකින් අනුකම්පාවකින් රාගයකින් බියකින් වැනි දැඩි ආවේගශීලී වීම. දැඩිව හැගීම් බරව සිටින විටත් සත්‍යය ඒ ආවේගයට සාපේක්ෂයි. මේ අවස්ථා පහම අරගෙන බලන්න අත්දකින්නේ සත්‍යයන් පහක්. එකම පුද්ගලයාට මත්වී සිටින විට ඇහෙන්නේ එසේ මත් නොවී සිටින විට ඇහෙන දේ නොවෙයි. මත් නොවූ කෙනෙකු කිව්වොත් නෑ එසේ නොවේ කියා අර මත්වුනු කෙනා එය පිළිගන්නේ නෑ, බොරුවක් විදිහටයි ගණන් ගන්නෙ. එමෙන්ම ආවේගශීලී ව සිටින විට ආවේගය විසින් නිර්මාණය කරන දේ තමා ඇත්ත. එවැනි ආවේගශීලී නැති කෙනෙකුට පෙනෙන දේ නොවෙයි ආවේගශීලීව කෙනාට පෙනෙන්නේ. එහෙම කෙනෙකුට මොනවා කිව්වත් පිළිගන්නේ නෑ, මොකද එයාට පේන්නෙ වෙනම ලෝකයක් වෙනම අත්දැකීමක් වෙනම තොරතුරක්. මේ අවස්ථා පහේදීම ඇත්ත පොදු ඇත්තක් නොවේ, ‘පොදු’ කියන්නේ පිළිගත් ඇත්තවත් සම්මුතියේ ඇත්තවත් එතන නෑ, හරිම පටු විකෘති වුනු ඇත්තක් තමා මේ අවස්ථා පහේදීම කෙනෙකු දකින්නේ. නිදගෙන සිටින විට හා කම්පනයට පත්වුණ විට හැරෙන්නට අනිකුත් අවස්ථා තුනේදීම අනිත් අයත් එක්ක වාද කරනවා තර්ක කරනවා තමන් අත්දකින දේ ඇත්ත කරන්න.
දිගටම කියවන්න

කියවූ ගණන : 176     දිනය : 2021-12-22

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 11

සිහිබුද්ධිය පිළිබඳ කරන සාකච්ඡාමය, භාවනාමය, ආවර්ජනාමය වැඩසටහනට සම්බන්ධව කටයුතු කිරීමේදී බොහෝ දෙනාගේ යම් කිසි වෙනසක් සිදුව ඇතැයි හිතනවා, ඒ වාගේම දැනෙනවා, කොහොමත් වෙනස් වීම් වෙනවා. මොනවත් නොකර පැය විසිහතරම නිදාගෙන හිටියත් වෙනස් වීම නවත්වන්න බෑ. හිතින් සහ ගතින් වෙනස් වෙනවා. වෙනස්වීමකට එහා ගිය පරිවර්තනයකුයි අවශ්‍ය වෙන්නේ. වෙනස්වීම මතුපිටින් වන දෙයක්. කන බොන දේ, ඇඳුම් පැළඳුම්, භාෂාව, සංස්කෘතිය මේ හැම දෙයක්ම වෙනස් කරන්න පුලුවන්. එහෙම බැලූවහම මොනවද වෙනස් කරන්න බැරි. මේ සියල්ල මතුපිට වෙනස්කම් විතරයි, ආගම වෙනස් කළත් පුද්ගලයා වෙනස් වෙන්නෙ නෑ. එමෙන්ම වෙනස් වෙලා වෙනස් වෙලා ආපහු හිටිය තැනටත් එන්න පුළුවන්, ආපහු පරණ කෙනාම මතුවෙන්නත් පුළුවන්. නැවත නොඑන, ආපසු පෙරළා නොඑන වෙනස්වීමකටයි පරිවර්තනයක් කියන්නේ. කවදාවත් හිටපු කෙනා බවට පත් නොවෙන, හිටිය කෙනා ආපහු නොඑන පරිවර්තනයකුයි සිදුවිය යුත්තේ.
දිගටම කියවන්න

කියවූ ගණන : 205     දිනය : 2021-12-15

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 10

පුහුදුන් සත්වයා කියන්නේ වෙන්කළ සත්ත්වයාට,භෞතික තාප්පයක් නෙවේ, සිතිවිල්ලකින් වෙන්කර තිබෙන. මෙම සිතුවිල්ල ඇත්තයි කියා පිළිගත් සිතක් තමන් වෙනස් කෙනෙක්. ‘මම’ වෙනස් කියන අදහස, රූපය ගතිගුණ ආදී කාරණාවලින් දිට්ඨියක් ඇතිකර ඒ දිට්ඨියෙන් වෙන් වූ කෙනෙකුව පෙන්වනවා. දිට්ඨි කියන්නෙ දෘෂ්ටි, පෙනීම. මේ විදිහට තමන්ටම පේන්නේ තමන් මොන තරම් වෙනස් අයෙකු විදිහටද?. මේ තමා සක්කායදිට්ඨිය. මේ වචන ලොකුවට ගන්න එපා, මා වෙනස් කෙනෙක් විතරක් නොවෙයි අනිත් අයට වඩා විශිෂ්ට කෙනෙක්, සක්කාය, වෙනස් හා සුවිශේෂී හා අසාමාන්‍ය කෙනෙක්. මේ සිතිවිල්ල තිබෙන සිත් වලටයි පුහුදුන් සිත් කියන්නේ. අනිත් අය සාමාන්‍යයි, සාමාන්‍යය අය අතර අසාමාන්‍ය කෙනෙක්. මෙහෙම චිත්‍රයක් තියෙනවා.
දිගටම කියවන්න

කියවූ ගණන : 194     දිනය : 2021-12-08

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 09

සිහිබුද්ධිය කියන්නේ ලෞකික වචන දෙකක්. සෑම වචනයක්ම ලෞකිකයි ලෝකෝත්තර වචන නෑ සාමාන්‍ය ජීවිතයේදී සන්නිවේදනයට අවශ්‍ය වාග්මාලාවක් ශබ්දකෝෂයක් තමා තියෙන්නේ. විමුක්තියට හැදුනු වචන නෑ. “විමුක්තිය” කියන්නේත් සාමාන්‍ය ජනවහරේ තිබෙන වචනයක් “යම් යම් දේවල් වලින් නිදහස් වීම” කියන අදහස. එනිසාම ඒ වචන වල සීමා තියනවා. ඒ වගේම වැරදි අර්ථකථනත් තිබෙනවා. ඉතින් මේ සියලු කාරණා සලකා බලා තමා දහම කතා කරන්න, ලියන්න, කියවන්න, ඇහුම්කන් දෙන්න වෙන්නේ. කෙසේ හෝ අපට මඟ පෙන්වන්නට සාමාන්‍ය ජන වහරේ තියෙන වචන තමයි ගුරුවරුන් භාවිතා කළේ. අප ඉන්නේ කොතනද? යා යුත්තේ කොතනටද? කොහොමද එතැනට යන්නේ? එතැනදී වඩාත් සුදුසු වචන තෝරා බේරා ගැනීම ගුරුඋතුමන්ගේ දක්ෂතාවය. වැරදි අර්ථකථන අවම කර ගනිමින්, වචනවල සීමාවන් හඳුනා ගනිමිනුයි දක්ෂ ගුරුවරුන් අපට මගපෙන්වන්නේ. නමුත් මේ හැම වචනයක්ම සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු වලදී භාවිතා කළ වචන. ඒ නිසාම ඒවාට හුරු පුරුදු වූ අර්ථ තිබෙනවා. එමෙන්ම ඒ ලෞකික වචන වල ලෞකික අර්ථයන්ට මුවාවූ ලෝකෝත්තරය පණිවිඩයකුත් තිබෙනවා,. 100% ක් ලෝකෝත්තර පණිවුඩයක් දෙන්න පුළුවන් වචනයක් නෑ. සුපිරිසිදු 100% ක් ලෝකෝත්තර වූ වචනයක් නෑ. මෙන්න මේ කාරණය හොඳින් අවධාරණය කරගන්න.
දිගටම කියවන්න

කියවූ ගණන : 203     දිනය : 2021-12-01

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 08

කරණීය සූත්‍රය මෛත්‍රිය කිරීමේ පහසුව සඳහා පුද්ගලයන් වර්ග කරනවනේ. එක යුගලයක් තමා තසාවා - ථාවරාවා හා හෙලවෙන සිදුවීම් නිසා වැටෙන ත්‍රස්ත වෙන ඇදගෙන වැටෙන ලිස්සල වැටෙන හා ස්ථාවර නොවැටෙන ආපහු වැටෙන්නේ නැති ලිස්සා යන්නේ නැති . එබදු දැක්මක් අවශ්‍යයි මේ ගමනට. අපට ඉහළින් තියෙන දේවල් වලට අප ගරු කරනවානේ. ඉතින් ගරු කරන්න කෙනෙක් ඉන්නව නම් අපට වඩා උඩින් තමයි අසුන්ගන්වන්නේ. මේ සම්ප්‍රදාය අනිත් පැත්තට කැරකිලා, අපට වඩා වැඩියෙන් යමකුට යමක් තිබෙනවාද, එය වැඳිය යුතු දෙයක්, ගරු බුහුමන් කළ යුතු දෙයක්, පිදිය යුතු දෙයක් කියන හැඟීම ඇති කරනවා මේ තමා ස්වභාවය. කාට හෝ ගරු කිරීම සඳහා ඉහළ තැනක් දෙනවා, උස් ස්ථානයක් දි අප මිටි තැනකයි ඉන්නේ. දැන් මෙම මානසික ආකල්පය අනිත් පැත්තට කැරකිලා කෙනෙකු හෝ යමකු අපට වඩා ඉහළින් සිටිනවා නම් එයට ගරු කරන්න පෙලඹෙනවා. නොවැටෙන තැනක අපට වඩා ඉහළින් සිටින විට නිතැතින්ම හිස නැමෙනවා, හිසනමා ආචාර කරනවා, දණනමා ආචාර කරනවා වන්දනාමාන කරනවා. අපට වඩා ඉහළ ගතිගුණවලින්, ඉහල ආධ්‍යාත්මික තලයක ඉන්න මනුෂ්‍යයෙකුට හෝ වෙනස් ජීවියෙකුට වැන්දට ගරු බුහුමන් කළාට පූජා පැවැත්තුවාට කමක් නෑ. අප එසේ කළ යුතුයි.
දිගටම කියවන්න

කියවූ ගණන : 232     දිනය : 2021-11-24

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 07

අප ජීවත් වෙන්නේ සාමූහිකත්වය පිළිබඳ ලොකු රාමුවක. ඒ නිසා හිතෙනවා සාමුහිකත්වය සත්‍යයක් කියා. ඒ සිතිවිල්ල තමා සංසාරය පිළිබඳ විශ්වාසය ඇති කර තිබෙන්නේ, සුරක්ෂිතයි, කරදරයක් අනතුරක් වෙන්නේ නෑ, ආරක්ෂා කරන්න ආදරය කරන්න අය ඉන්නවා කියන විශ්වාසය ඇති කර තියෙන්නේ අර සාමූහිකත්වය පිළිබඳ සිතුවිල්ලයි. මේ සාමූහිකත්වය පිළිබඳ හැඟීම නිසයි විශ්වාසය ඇති වෙන්නේ. නැත්නම් විශ්වාසයක් ඇති වෙන්නේ නෑ. විශ්වාසය නිසයි කෙනෙක් සංසාරේ දිගටම ඉන්නේ. විශ්වාසයකින් තොරව සංසාරයේ යන්නත්, ඉන්නත් බෑ. ඉදන් ඉන්න පුටුව කඩන් වැටෙන්නේ නැති වෙයි, හෙලවෙන්නෙ නැතිවෙයි කියන විශ්වාසය තියෙනවා. ඔළුවට උඩින් තියෙන වහලය ඔලුවට කඩන් වැටෙන්නේ නැති වෙයි කියන විශ්වාසයත් තියෙනවා. මේ සියල්ලක්ම විශ්වාස. ඒවා හරියන අවස්ථාත් වැඩියි. ඒ වගේම විශ්වාසය කඩවෙන අවස්ථාත් වැඩියි. නමුත් එසේ කඩ වුණත් නැවත නැවත විශ්වාසය තබනවා, සිය දෙනෙක් අපේ විශ්වාසය කඩ කලත් එකසිය වෙනි කෙනාව විශ්වාසය කරනවා., මොකද වෙන එල්ලෙන්න අත්තක් නෑ. ඒ නිසා පිදුරු ගහේ හරි එල්ලෙනවා. එසේ විශ්වාසයෙන් යන ගමනකටයි භව ගමන සංසාර ගමන කියන්නේ. නිවැරදිවම දැක හා හරියටම දැනගෙන ඊළඟට මොකද වෙන්නේ, නොවෙන්නේ මොනවද, මේ කාරණා දෙක සහ සුද්දෙන්ම දැනගෙන නම් කාටවත් ජීවත් වෙන්න බෑ. කවුරුහරි එහෙම එක මොහොතක් හරි ජීවත් වෙලා තියෙනවද? ඊළඟ මොහොතේ වෙන්නෙ කුමක්ද නොවෙන්නෙ මොනවාද කියලා හරියටම දැනගෙන? මෙයා මෙහෙම කරයි නොකරයි කියන විශ්වාසයත් එක්ක අපි ජීවත් වෙනවා. විශ්වාසයයි නිසැකබවයි දෙකක්. මේ අංශ දෙක වෙන් කරගන්න පුලුවන්ද හා වෙන් කරගෙන තිබෙනවාද?
දිගටම කියවන්න

කියවූ ගණන : 243     දිනය : 2021-11-17

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 06

සසරේ ඉන්න අවශ්‍ය අයත් කැමති නෑ තමන්ගෙ ඇත්ත වෙනත් කෙනෙක් දැනගන්නවට. මෙකරුණින් හොයාගන්න පුළුවන් සංසාරයේ ඉන්න කෙනායි සංසාරෙන් යන්න අවශ්‍ය කෙනයි. ඉන්න ඕන කෙනා හැම විටම ආභරණ විලාසිතා හොයනවා, බාහිරව පමණක් නොවේ මානසිකවත්. තමන්ගේ ඇත්ත, තමාව හෝ නැතිනම් තවත් කෙනකු දකී කියා. මෙතන තියෙන රසවත්ම සහ අවාසනාවන්තම කාරණය තමා තමන් තමන්ගේ ඇත්ත දැක නොවෙයි තවත් කෙනෙකුට වහංගු කරන්න හදන්නේ. තමනුත් නොදැක්ක තමුනුත් නොදුටු ඇත්තක් තව කෙනෙකු දකී කියා හිතා, ඒ තමන් හිතුවදේ වහගන්න තමා මේ සියලුම රැවටිලි වේශනිරූපන රඟපෑම් ආටෝප සාටෝප කරන්නේ. මේවා සියල්ල සංසාරය කියන සල්පිලේ සුලබ දේවල්, කෙනෙකුට ලොකු වියදමක්නැතිව පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.
දිගටම කියවන්න

කියවූ ගණන : 202     දිනය : 2021-11-10

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 05

ප්‍රශ්නයකින් පිළිතුරකට, හෝ ගැටලුවකින් විසඳුමකට සොයාගෙන යන ගමනකට තමා ජීවිතය කියන්නේ. කවුරුත් ප්‍රශ්න වලටකැමති නෑ, ප්‍රශ්න ගැටලු හොයාගෙන යන්නේ නෑ, හොයාගෙන යන්නේ පිළිතුරු හෝ විසඳුම්. ප්‍රශ්න අඩු කරගන්න, විසඳගන්න, සමහර ප්‍රශ්න ඇති නොවන ආකාරයට ජීවත් වෙන්නට බොහෝ උපක්‍රම විද්‍යාව, කලාව, ශාස්ත්‍ර හා. තාක්ෂණයන් තුළ තියෙනවා. මුදල්වලින් විසඳෙන ප්‍රශ්න තිබෙනවා. මුදල් නැති නිසා ඇතිවෙන වැඩි වෙන ප්‍රශ්න තිබෙනවා. මිතුරන් ඥාතින්ගෙන් හිතවතුන්ගෙන්සහ අඳුරන අයගේ උදව්වෙන් විසඳා ගත හැකි ප්‍රශ්න තිබෙනවා. කාත් කවුරුත් නැති උනහම ඇතිවන ගැටලු, වැඩි වන ගැටලුත්එමටයි. දැන් මේ විදිහට දැනුම නිසා විසඳගන්න හැකි ගැටලුත් තිබෙනවා. ඒ වගේම දැනුම නැති නිසා, දැනුම අඩු වෙනකොටවැඩි වන ගැටලු තිබෙනවා. ඒ වගේම කාය බලය, කාය ශක්තිය, චිත්ත බලය, චිත්ත ශක්තිය, සමාජයීය බලය, මේවා මගිනුත් අපේසමහර ප්‍රශ්න විසඳාගන්න පුළුවන්.
දිගටම කියවන්න

කියවූ ගණන : 192     දිනය : 2021-11-03

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 04

සොබාදහම බලාපොරොත්තු වෙනවා කාර්යක්ෂමතාවය. කාර්යක්ෂම කෙනෙක්ට එකවර වැඩ කිහිපයක් කරන්නට පුළුවන්. මෙහෙම කෙනෙක් තමයි ස්වභාදහම මනුෂ්‍යයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම වැඩ කරන්න නම් යන්ත්‍රයක් වෙන්න ඕන, මුළු ජීවිත කාලයටම යාන්ත්‍රික හැසිරීමක්. ඉතින් මොනවද යන්ත්‍රයකට ලැබෙන්නේ, යන්ත්‍රයකට ලැබෙන්නේ තෙල් විතරයි. යන්ත්‍රය ගෙවෙනවා, ගෙවෙනවා, හැබැයි දවසක් එනවා ඒ යන්ත්‍රයට වැඩ කරන්න බැරි වෙන. එදාට සොබාදහම මේ යන්ත්‍රය ගැන තැකීමක් කරන්නේ නෑ, කෘතවේදීත්වයක් දක්වන්නෙ නෑ, අලුත් යන්ත්‍රයකින් ගමන යාවි . කල්‍යාණ මිත්‍රවරුණි මේ කාරණය ගැඹුරින් දකිනකොට ලොකු කම්පනයක් ඇති වෙනවා සංවේගයක් ඇති වෙනවා අපෙන් මොන විදිහෙ වැඩක් ද මේ ගන්නේ? අපෙන් මේ සංසාරේ ගන්න වැඩේ. අපව යන්ත්‍ර බවට පත් කරලා සංසාර පොහොසත් වෙනවා යන්ත්‍ර වුණු අපි දුප්පත් වෙනවා. මෙය අනිත් පැත්තට වෙන්නේ නෑ. සසර යාත්‍රිකයා හැමදාම දුප්පත් මනුෂ්‍ය ලෝකෙ හිටියත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල හිටියත්. ඉන්නේ දුක් විඳින කෙනෙක් දුප්පතෙක්. මේ තමා ඇත්ත. ඉතින් මේ ඇත්ත තේරුම් ගන්නකොට ඇතිවෙනවා ලොකු කම්පනයක්, සංවේගයක්. යන්ත්‍රයකට වෙන විකල්පයක් නෑ නමුත් මනුෂ්‍යයාට විකල්පයක් තියෙනවා. සිහිබුද්ධියෙන් දැකීම, තේරුම් ගැනීම, තීරණ ගැනීම, ක්‍රියාත්මක කිරීම, සාමාන්‍යයෙන් යන්ත්‍රයකට කරන්න බැරි දෙයක් හැබැයි මනුෂ්‍යයාට පුළුවන්. ඒ නිසයි සිහිබුද්ධියට වැඩි අවධාරණය ක් දෙන්න ඕනේ, සිහිබුද්ධිය හැර අපිට වෙන පිලිසරණක් නෑ .
දිගටම කියවන්න

කියවූ ගණන : 354     දිනය : 2021-10-27

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 03

ඡීවිතේ කියන්නෙම පුරුද්දක්. ජීවිතේ බොහෝ දේවල් පුරුද්දට කෙරෙන්නේ. ඒ බව අපි කවුරුත් අත්දකිනවා. ඇහැරෙන්නේ, දවස ගෙවෙන්නේ, නින්දට යන්නේ දින සති මාස ගෙවෙන්නේ පුරුද්දට. මේ පුරුදු ජීවන රටාව ජීවත්වීම පහසු කරනවා. වැඩිය විමසන්න කල්පනා කරන්න, ප්‍රශ්න කර අහන්න අවශ්‍ය නෑ. හොඳ පුරුද්දක් තියෙනවා නම් ඕනෑම කටයුත්තක් බොහෝම පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. පුරුද්ද පහසු ජීවිතයකට බොහොම රුකුලක්. එකම අවස්ථාවේ වැඩ දෙක තුනක් කරන්න උනත් පුලුවන් කාර්යක්ෂම බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කාර්යක්ෂමතාවය උපරිමයට පෙන්වන්නේ යන්ත්‍ර. ඒ මට්ටමට මිනිස්සුන්ට එන්න බෑ. නමුත් අපිත් යාන්ත්‍රිකව වැඩ කරනකොට යම්තාක් දුරකට යන්ත්‍ර බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් යන්ත්‍ර (කෘතීම බුද්ධිය හැරුණුකොට) තමන් කරන වැඩේ කරනවා මිසක් වෙන වැඩ ගැන හිතන්නෙ නෑ. හිතන්න තමයි වැඩිපුර කාලයක් ශක්තියක් වැය වෙන්නේ, ඒ වගේම යන්ත්‍ර අවේගශීලී වෙන්නෙත් නැහැ. මිනිසාත් මේ විදිහට යම් දුරකට හැඟීම් නැතිව, හිතන්නේ නැතුව වැඩ කරන තත්ත්වයකට එනවා. ඒ වේලාවට අපට හැඟීම් දැනීම් දැනෙනෙවා බොහොම අඩුයි, හැබැයි කාර්යක්ෂමතාවය ඵලදායිතාවය නම් වැඩියි. මේ කාර්යක්ෂමතාවය තමයි සමස්ත සමාජය අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට කාර්යක්ෂම වෙන්න පුළුවන් වෙන්නේ පුළුවන් තරම් යාන්ත්‍රික වෙන තරමට, පුරුද්දට වැඩ කරනකොට. සමාජය අපෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ හිතන විමසන විචාරය කරන කෙනෙක් කල්පනා කරන්න පුළුවන් කෙනෙක්.
දිගටම කියවන්න

කියවූ ගණන : 356     දිනය : 2021-10-20

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 02

සංසාරය කියන්නෙම සමස්ත අසාධාරණයකට, අයුක්තියකට. ඒ බව පිළිගන්න අකැමැති අපේ හිත කියනවා එබඳු සර්ව සාධාරණ තැනක් හෝ මොහොතක් සංසාරේ කොහේ හෝ ඇති කියා.මේ රැවටීම තමා අපිව සංසාරයේ තබාගන්නේ. මේ රැවටීම පසුපස දුවන කෙනාටයි සත්වයා කියන්නේ, සංසාරික සංක්‍රමණිකයන් කියන්නේ. අපි සර්ව සාධාරණත්වයක් හොයනවා මේ අසාධාරණ සංසාරයෙන්. “නැති දෙයක් ඔබ ඉල්ලන්නේ, දිය නොහැකි දෙයක් තමා ඔබ ඉල්ලන්නේ” කියා මේ රැවටීම පසුපස දුවන අපට, සසර හිනැහෙනවා. ඒ නිසාමයි අපි මෙයින් නික්ම යා යුත්තේ.
දිගටම කියවන්න

කියවූ ගණන : 347     දිනය : 2021-10-16

සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 01

භාවනාව විදිහට බෞද්ධ විමුක්ති මාර්ගය අවධාරණය කරන්නේ හිත එකඟ කර ගැනීම නොවෙයි, මෙය පැහැදිලිවම තේරුම් ගන්න. එය පටන් ගන්න සුදුසු තැන නොවෙයි, වාඩි වුණ ගමන්ම මොනම හෝ අරමුණකට හිත එකඟ කරගන්න උත්සාහ කරන්න එපා. එතන සිද්ධ වෙන්නේ භාවනාවක් නොවෙයි, හිතත් එක්ක කරන මානසික ව්‍යායාමයක්. සම්ප්‍රදායිකව භාවනාව කියන්නේ තැන්පත් බවට, එක ඉරියව්වක දෙනෙත් පියාගෙන සිත එක අරමුණකට ගන්නට ගන්නා වෑයමකට. අපි උපතේ සිට පුංචි කාලයේ ඉඳලම අපගේ සංස්කෘතිය ඇතුලෙ මේක අහල තියෙනවා, කියවලා තියෙනවා, එම නිසා ඇති වන පොදු ගැටලුව හිත දුවනවා, විසිරෙනවා, භාවනාව අමතක වෙනවා. බෞද්ධයන් විදිහට අපි නොයෙකුත් පටුරාමු හදාගෙන ඉන්නවා. ඒ නිසාම අපට භාවනාව අපහසු දෙයක් වී තිබෙනවා. මේ පටුරාමු ගැන අපට පසුව කතා කළ හැකියි.
දිගටම කියවන්න

කියවූ ගණන : 155     දිනය : 2021-10-06