සදහම් සැඳෑව

2022-10-12 නැණ දසුනට තත්පරයක් - 12 

සදහම් සැඳෑවේ අද දවසේ විමසුමට ග‍වේෂණයට සහභාගි වී සිටින ආදරණීය හිතවතුනි, මේ සාමුහික ගවේෂණය මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. මෙය කෙදිනක ඉවරවෙයි ද, කෙදිනක පූර්ණ අවබෝධය ලැබෙයි ද, තවදුරටත් සොයන්න යමක් නැති බව දැනගන්න ලැබෙයි ද? ඒ පිළිබඳව කාටත් කිසියම් කුතුහලයක් තිබෙනවා. එමෙන්ම වරින් වර ඒ පිළිබඳව කල්පනා කරනවා. හිතවතුනි, සසරේ නිමාව යනු අනාවැකි කිව නොහැකි කාරණයක්. සංසාරයේ නැවැත්ම කෙදිනක, කොතැනකදී, මොන අරමුණක් මත සිදුවෙයි ද, ඒ ගැන අනාවැකි ඵල කරන්න බැහැ. සමහරවිට සුවිශේෂී හැකියාවන් තිබෙන ඉහළ ආධ්‍යාත්මික ගුරුවරයෙකුට තමන්ගේ ශිෂ්‍යයෙකු දෙදෙනෙකු ගැන එබඳු දැක්මක් තිබෙන්න පුළුවන්. නමුත් සමස්තයක් පිළිබඳව (සියලු දෙනා ගැනම) කිසිම කෙනෙකුට එබඳු අනාගත දැක්මක් නැහැ. අතීත බුදුන් වහන්සේලා සම්බන්ධ කරගෙන නියත විවරණ දීම් ආදිය හා අපේ ශාස්තෘන් වහන්සේ කර තිබෙන යම් යම් ප්‍රකාශ අප අසා, කියවා තිබෙනවා. එම බුද්ධ විෂය අපට අවිෂයයි, එය කෙසේද වන්නේ කියා දන්නේ උන්වහන්සේලා පමණයි. ඉන් මෙහා කිසිදු විද්‍යාවකට හෝ ශාස්ත්‍රයකට මොන දේ කියන්න පුළුවන් වුණත්, කිසියම් සංසාර ගමනක් කොතනදි, කවදා, මොන හේතුව නිසා නිරෝධයට පත්වෙයිද කියා කියන්න හැකියාවක් නැහැ. 

හේතුව නම් පැවැත්ම පිළිබඳ සියලුම විද්‍යාවන් හා අනිකුත් සියලුම ශාස්ත්‍රයන් පදනම්ව තිබෙන්නේ ලෞකික දෘෂ්ටීන් මත වීමයි. එම නිසා මේ පැවැත්ම පිළිබඳව අනාවැකි කියන්න පුළුවන්. අව්ව, වැස්ස ගැන පමණක් නොවේ, ආර්ථිකය ගැන අනාවැකි කියන්න පුළුවන්. සෞඛ්‍ය ගැන, දේශපාලනය ගැන, භූ කම්පන, සුනාමි ගැන, ලෝක විනාශයන් ගැන අනාවැකි කියන්න පුළුවන්. මේ සියල්ල ලෞකිකයි. මේ විද්‍යාවත් ශාස්ත්‍රත් දෙකම ලෞකිකයි. බටහිර විද්‍යාවත් ලෞකිකයි. ලෞකික දේ පිළිබඳව 99% ක් ම නිවැරදිව අනාවැකි කියන්න මේ දෙගොල්ලන්ටම පුලුවන්. නමුත් ඒ විද්‍යාවන් හා ශාස්ත්‍ර, කෙනෙකු භාවිතා කරන්න උත්සාහ කරනවා නම් නැවැත්ම පිළිබඳව අනාවැකි අසන්න (කියන්න), අන්න එතනදි අසාර්ථක වෙනවා, එය අවිෂයයි. එය උෂ්ණත්වය‍ මනින්න භාවිතා කරන්නාවූ උණ කටුවකින්, වෙන යමක් (උෂ්ණත්වය හැර) මනින්න උත්සාහ කර, එයින් දැක්වෙන පාඨාංකයෙන්, අපට මැනීමට අවශ්‍ය වූ දෙය පිළිබඳව කියන්න උත්සාහ කරන්නා සේ අසාර්ථක දෙයක්. බර මනින්න, උස මනින්න හැදුවොත් උණ කටුවක තිබෙන පාඨාංක වලින්, එය උස සහ බර පිළිබඳ පාඨාංක නොවේ. උණ කටුව එයට අගෝචරයි.

නිමාවන ගමනක්

එය එසේ වුවත්, එක කාරණයක් පිළිබඳව අපට තිබෙනවා හැඟීමක්. කුමක්ද ඒ ? මේ “නිමාවන ගමනකුයි ආරම්භ කර තිබෙන්නේ” කියන කාරණය. කවදා, කොතැනකදි, කොයි ආකාරයට අවසාන වෙයි ද කියා නොදන්නවා වුවත්, මේ අවසන් කළ හැකි ගමනකටයි මුලපුරා තිබෙන්නේ. පාරත් ඉවර වෙනවා, ගමනත් ඉවර වෙනවා, පටන්ගත් කෙනාත් නිරෝධයට පත්වෙනවා. මේ ගමන පටන් ගත්තේ විසඳීමක් සොයාගෙන නම් විසඳීම ලැබෙනවා. ඒ කාරණය පිළිබඳව නම් අනුමානයක් නොව කිසියම් ස්ථිර හැඟීමක් සෑම දෙනාටම තිබෙනවා. කවදා කොතනකදි මෙය වෙයිද කියන කාරණය නොවේ වැදගත් වන්නේ. එය වැදගත් වන්නේ සාහිත්‍යයට, ඉතිහාසය ලියන අයට, අනාගතය ලියන අයට මිස භාවනා කරන කෙනෙකුට එය වැදගත් නැති වුවත් මෙය කළ හැකි දෙයක් කියන විශ්වාසය වැදගත්. ‘මෙය කළ හැකි දෙයක්’ කියන්න, පෞද්ගලික මට්ටමෙනුත් සෑමදෙනාටම යම් යම් අත්දැකීම් තිබෙනවා. මේ ගමන පටන් ගන්න කලින් සිටිය කෙනා නොවේ දැන් සිටින්නේ, භාවනා කළත් නොකළත් කොහොමත් වෙනස් වෙනවා. නමුත් ඒ වෙනස්වීම් කොයි අතට වෙයිද කියන්න බැහැ. භාවනාව කෙනෙකු වෙනස් කරන්නේ ආධ්‍යාත්මික නිරෝගී පැත්තට. නිරෝගී වන බව දැනෙනවා නම්, රෝග ලක්ෂණ අඩුවන බව දැ‍නෙනවා නම්, එයයි හොඳම සාක්ෂිය. “කවදා සියයට සියයක් සනීප වෙයිද, කොතැනදී සනීප වෙයිද, ඒ සනීප වෙන්න කළින් අන්තිමටම ගන්න පෙත්ත කුමක් වෙයිද?” ඒවා නම්  සිතන්න අවශ්‍යෙ නැහැ. වැදගත් වන්නේ මේ විශ්වාසයයි. විශ්වාසය අපව නැවත නැවතත් මාර්ගයට කැඳවාගෙන එනවා. එය අන්ධ විශ්වාසයක් නොවිය යුතුයි. පොත් පත්වලින් කියවෙන කාරණයක් නොව, අපගේම අත්දැකීම් මත පදනම් වන බුද්ධිමත් විශ්වාසයක්. “ආරම්භ කළ කෙනාද දැන් ඉන්නේ?” එය බලන්න අවශ්‍යයයි. අනිවාර්යයෙන් බැලිය යුතු දෙයක්. ඊයේ සිටි කෙනාද අද සිටින්නේ? කායිකවත් වෙනස්. ඊයේ ඡායාරූපයක් අරගෙන, අදත් ඡායාරූපයක් අරගෙන බැලුවොත් ලොකු වෙනස්කම් තියෙයි.  ඒ වෙනස්කම්වලට එපිටින් සිදුවන වෙනස්කම් සන්සන්දනාත්මකව බලන්න අවශ්‍යයයි. තමන් සමඟම සසඳන්න.

සාමූහික ගවේෂණය

හිතවතුනි, මේ සාමූහික ගවේෂණය මේ මොහොතේ පටන්ගත් දෙයක් නොවේ. සෑම දෙනාම දන්නා ආධ්‍යාත්මික ඉතිහාසයක් තිබෙනවා. එම නිසාවෙන්ම අසනවා “කවද්ද පටන් ගත්තේ භාවනාව? ” එවිට හේතුවත් සමඟ, දිනත් සමඟ, තැනුත් සමඟ, ගුරුවරුත් සමඟ විස්තර කියන්න බොහෝ දෙනෙකුට පුළුවන්. පටන්ගත් අවස්ථාවේ සිටි අය, අලුතින් එකතු වුණු අය ගැනත් කියන්න පුළුවන්. මෙයින් පැහැදිලි වන කාරණයක් නම් තනිව පටන්ගත් ව්‍යායාමයක් නොවන බවයි. සමහරවිට පවුලේ වෙන කවුරුවත් භාවනා කරන්නේ නැතිව ඇති. ඒ පන්තියේ කිසිම කෙනෙකු භාවනා කරන්නේ නැතිව ඇති. නමුත් ඒ භාවනා කරන එකම එක්කෙනා වුවත් ආරම්භ කළේ පිරිසක් සමඟයි. 

තනි බව විශ්වීය ඇත්තක්, විඳින්නේ තනිව කියන එක ඇත්තක්, විඳවන්නෙත් තනිවම. “උපන්නෙත් තනිවම, මැරෙන්නෙත් තනිවම” කියා කවි, ගීත, බණ විදියට නිතරම කියන කාරණානේ. ඒ සියල්ල ඇත්ත වුවත් මේ ගමන නම් තනිවම ආරම්භ කළ ගමනක් නොවේ, තනිවම ආ ගමනකුත් නොවේ. මෙයට සාමූහික ශක්තියක් අවශ්‍යයයි. ඒ නිසා අප නොදන්නා අතීතයක් තිබෙන්නට ම ඕනෑ අප සෑම දෙනාගේම ආධ්‍යාත්මික ගමනට. එවැනි භෞතික කාරණා පිළිබඳව නම් විද්‍යාවෙන්, ශාස්ත්‍රවලින් දැනගන්න පුළුවන්. සමහරවිට විද්‍යාවට පුළුවන් අද බැරි නම් හෙට, ඒ අතීතය සොයාගන්න. ඒවා සොයාගන්න පුළුවන් ශාස්ත්‍රත් තිබෙනවා. දිව්‍ය ඥානයෙන් කියන අයත් සිටිනවා.

කෙනෙකුට පුළුවන් තමන්ටම මතක් කරගන්නත්. විද්‍යාවත් යම් දිනයක මේ කාරණා අනාවරණය කරගනිවි. මේ සෑම දෙයකින්ම පෙනෙන දෙයක් නම්, මේ මේ අය එකට ධර්ම සාකච්ඡා කළා, භාවනා කළා, සිල් රැක්කා යන්නයි. එහි එක්තරා අවධියක තමයි අප සිටින්නේ. මේ මොහොතත් අනාගතය පැත්තෙන් බැලුවොත් අතීතයක්. මේ මොහොත ගැනත් අනාගතයේ කෙනෙකු ලියනවා නම් විද්‍යාව හෝ වෙනයම් ශාස්ත්‍රයකින් ලියන්න, කියන්න පුළුවන්. තව අවුරුදු සියයකින් නම් මේ කථාව ලියන්නේ, වෙන නම් වලින් ලියන්න පුළුවන්. විද්‍යාව දියුණුවෙලා අනිවාර්යයෙන්ම සොයාගනියි. මේ වැඩසටහනත් කරන්නේ තාක්ෂණය හරහායි. මේවත් තැන් කිහිපයකම වාර්තාවෙලා ඇති. ඒ නිසා අනාගතයට අනිවාර්යයෙන්ම මේවා රහස් නොවන නිසා කියන්න පුලුවන්වෙයි. සොයාගන්න තියෙන එකම දෙය නම් අතීත පූර්වාපර සම්බන්ධය. එදා මෙයා කවුද? අද කවුද? එය සොයා ගත්තොත් ඒ ගැටලුවත් විසඳෙනවා.

හිතවතුනි, යම් යම් අවධිවල දී අප එකතු වෙන්න ඇති. එකතුවී මේ මාර්ගයේ යම් යම් පියවරවල් එකට යන්න ඇති (සාමුහික ගමනක යෙදෙන්න ඇති). ඒ ගමනේදි අනිවාර්යයයි කෙනෙකු ඉස්සර වෙනවා තව කෙනෙකු පසු පසට යනවා, ඕනෑම ගමනක් එහෙමනේ. කිහිපදෙනෙකු ගමනක් ගියත්, වාහන දහයක් පහළොවක් ගමනක් ගියත්, සමහර ඒවා ඉස්සරහින් සමහර ඒවා පිටුපසින්. කවුද ඉස්සරහින් ඉන්නේ, කවුද පිටුපසින් ඉන්නේ කියා ගමන නිමාවන දිනයක තමයි කියන්න වෙන්නේ. කෙසේ හෝ මේ ප්‍රතිපදාවේ යම් යම් අංශ අප එකට එකතු වී සම්පූර්ණ කරන්න ඇති. එක්ව පියවර කිහිපයක් හෝ වරින් වර ඉදිරියට යන්න ඇති. “කී වතාවක් මේ ගමන එකට ගියා ද? කොපමණ ඉදිරියට ගියාද?” කියා පැවසීමට නම් දන්නේ නැහැ, එය අවශ්‍යයත් නැහැ.

අහඹු සිදුවීම් නැහැ

එය පැවසීමට නොහැකි  වුවත් අහඹු සිදුවීම් නැහැ. coincidence නැහැ, තියෙන්න බැහැ. හේතුඵල වාදයට අනුව තියෙන්න බැහැ. කන්දක හරියටම මුදුනට වැහි බිංදු වැටුණා කියා සිතමු. එම වැහි බිංදු කන්දේ කොයි පැත්තට ගලාගෙන යයි ද කියා හරියටම කියන්න බැහැ. කිසිම වැහි බිංදුවක් දන්නෙත් නැහැ කොයි පැත්තට යයිද කියා. දිය බිඳුවකට “මා ගලාගෙන යන්නේ නැගෙනහිරට, මා යන්නේ බටහිරට” කියා නිශ්චිත සැලසුමක් සහිතව, ආකාසයෙන් කඳු මුදුනටත් කඳු මුදුනෙන් පහළටත් ගමන් කරන්න බැහැ. දිය බිඳුව දන්නෙත් නැහැ පොළොවේ වැදුණාම මොන දිශාවට ගලාගෙන යයිද කියා.

උල් පොල් කටුවක් අරගෙන එහි උඩට ජලය ටිකක් වත්කර මෙය පරික්ෂාකර බලන්න පුලුවන්. “දිය බිඳුව මේ දිශාවට ගමන් කරන්න අවශ්‍යයයි” කියා තමන් මොන ප්‍රාර්ථනය කළත්, ඇත්තටම දිය බිඳුව යන දිශාව එවිට දැන ගන්න පුළුවන්. කිහිප වතාවක් එසේ සිතා කරන විට සිතෙන්න පුළුවන් මෙය අහම්බයක් කියා. අහම්බයක් නොවේ හේතු කිහිපයක්ම තියෙනවා. වතුර වැටෙන වේගය, එම අවස්ථාවේ සුළඟේ වේගය, පොල් කටුවේ පිහිටීම, පොල් කටුවේ හැඩය, එහි තෙත්බව හා වියළිබව, රළුබව හා මෘදුබව සහ අප නොදන්න තවත් බොහෝ හේතු තිබෙන්න පුලුවන්. හේතු නිසායි එක් එක් දිය බිඳු එක් එක් පැත්තෙන් පහළට ගලන්නේ. එක් දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්, මේ පොල් කටුව මුදුනේ කිසිදු දිය බින්දුවක් නවතින්නේ නැතිබව. කිසිම දිය බින්දුවකට බැහැ, පොල් කටුවේ උල උඩ නැවතී සිටීමට.  එසේම එම උලට බැහැ කිසිදු දිය බිඳුවක් රඳවාගෙන සිටීමට. පහළට ගලනවා, දිශා හතරෙන් කොයි දිශාවට ගලයිද කියන්න බැහැ.

පසුගිය සතියේ කථා කළා කම්පන පිළිබඳව. කිහිප දෙනෙකු පෞද්ගලිකවත් කීවා එය කම්පනය වූ වැඩසටහනක්  බව. පසුව ඇසූ ප්‍රශ්න සමහරක් පොදුවේ කථා කළොත් හොඳයි කියා සිතූ නිසා ඒ පිළිබඳව ටිකක් කථා කරමු. ජීවිතයේ කම්පන අත් නොදුටු කෙනෙකු නැහැ. කෙනෙකු එසේ ඉන්නවානම් එය නිර්වින්දනයට පත් වූ ජීවිතයක්. කම්පනයකින් තිගැස්සුණු ජීවිතයක්, නිදිකරවන්න හෝ එය නොසලකා හරින්නයි බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ. නිදාගෙන සිටින අයටයි කම්පන දැනෙන්නේ. ගැස්සිලා අවදිවෙන්නේ නිදාගෙන සිටින අයයි. අවදි වුණු කෙනෙක් කවදාකවත් තිගැස්සෙන්නේ නැහැ. ගැස්සෙන්නේ බාගෙට නින්දේ හෝ නින්දේ සිටිමින් සිහින දකින අය. බාගෙට නිදි අය නිදි කරවීම, ඇහැරෙමින් සිටින්නන් නැවත නිදි කරවීම, සිහින දකින අය නින්දට දැමීම වැනි දේවල් තමයි ලොකුම healing, උපදේශනය, ප්‍රතිකාරය විදිහට බොහෝ දෙනෙකු දකින්නේ, ජනප්‍රිය වී තිබෙන්නේ. ඒ වෙනුවට දහම කරන්නේ අවදිවෙන්න අවස්ථාවක් ලබාදීමයි.

එසේ කම්පනයක් ඇති වූ විට යා හැකි පැති හතරක් ගැන අප කථා කළා. උමතු වෙන්න, සියදිවි නසාගන්න, අපරාධකාරයෙකු බවට පත්වෙන්න පුළුවන්, එසේම අවදි වෙන්නත් පුලුවන්. මෙසේ කම්පනයෙන් කෙනෙකුට විවෘතවන මාවත් හතරක් තිබෙනවා. කඳු මුදුනකට වැටෙන දිය බිඳු, සිව් දිශාවෙන් කොයි දිශාවකට හෝ ගලන නමුත් කොයි දිශාවකට යයිද කියා කලින් කියන්න හරි අමාරුයි. නමුත් සිදුවුණාට පසුව නම් කියන්න පුළුවන්, “මෙයා උමතුවුණා, මෙයා අපරාධකාරයෙකු වුණා, අරයා සියදිවි නසාගත්තා, අරයා මහණ වුණා, භාවනා කරන්න ගියා” කියා. එසේ සිදුවන්නේ අහම්බයකින් නම්.නොවේ. උමතු වුණේ, දිවි නසාගත්තේ, අපරාධකාරයෙකු වුණේ අහම්බෙන්, කියා කියන්න බැහැ. නමුත් මහණ වුණේ පෙර පිනකින් කියා නම් කියනවා.

හිතවතුනි මේ එක සිදුවීමක්වත් අහඹු නැහැ, හේතු නිසායි මෙහෙම වන්නේ. මෙයයි ඒ පිළිබඳව සොයන විට පැහැදිලි කරගන්න පුළුවන් කාරණය. එකම සිදුවීමක් වත් අහම්බෙන් සිදුවන්නේ නැහැ. අපි සිතමු, කිසියම් හතර දෙනෙකු බැණුම් ඇසුවා, ගුටි කෑවා කියා, හතර දෙනෙකු එකතු වී ආරම්භ කළ ව්‍යාපාරයක් අසාර්ථක වුණා කියා, හතර දෙනෙකු අනතුරකින් මරණාසන්න වෙලා බේරුණා කියා.  මේ සිදුවීම් වලින් පසුව හතර දෙනාගේ ජීවත්වීම ආකාර හතරක් වෙනවා. කොහොමත් හතර දෙනා හතර විදිහක්, නමුත් මෙතනදි හතර දෙනාම එකතු වුණා. ඒ එකතුවීම නිසායි අර එක් සිදුවීමකට මුහුණ දෙන්න වුණේ. එකට අපරාධය කළේ, බැණුම් ඇසුවේ, අනතුරට මුහුණ පෑවේ ඒ නිසයි. අනතුරුව මේ හතර දෙනා වෙන්වෙනවා. සිදුවීමකින් පසුව එකතු වූ පිරිස වෙන්වෙනවා. මේ වැඩසටහන අවසන් වු පසුවත් මේ එකතුවීමත් වෙන්වෙනවා. ඉවර වුණාම වෙන්වෙලා එක් එක් කෙනා තම තමන්ගේ වෙනත් කටයුතු කරනවා. ඒවාගේ, මේ එකතුවී කටයුතු කළ හතර දෙනාගෙන් කෙනෙකු ඒ සිදුවීමෙන් පසුව උමතු වෙන්න පුලුවන්, තවකෙකු අපරාධකාරයෙකු වෙන්න පුලුවන්, තෙවැන්නා දිවි නසාගන්න පුලුවන්, අවසන් කෙනා දහමට යොමුවෙන්නත් පුලුවන්. හතරෙන් එකක් අනිවාර්යයෙන් ම දහමට යොමු වෙනවා කියා කියන්න බැහැ. මෙය සරල නිදර්ශනයක් වුවත් සරලව ගතයුතු කාරණයක් නොවේ.

බියකරු සසර පුරුදු

මෙහෙම වන්නේ හේතු නිසයි. එයින් වැදගත්වන එක් හේතුවක් නම්, මේ සිදුවන්නේ පළමු වතාවට නොවේ කියන කාරණය. “කලිනුත් අපරාධ කරලා ඇති, ආත්ම හතක් දිවි නසාගෙන ඇති, කොහොමත් උමතු තමයි” කියා, “කළිනුත් වෙලා ඇති” කියන සරල සමීකරණයක් ගොඩනඟාගෙන එයින් කෙනෙකුට නැවතත් නින්දට යන්න පුලුවන්. නමුත් අවදිවීමට අවශ්‍ය කෙනෙකුට නම් මෙය සංකීර්ණ සමීකරණයක්. එසේ සරල, ඒකීය රේඛාවක යන ගමනකට නොවේ සංසාරය කියන්නේ. මේ හතර දෙනාම මීට කලින් තනි තනිව හෝ එක්ව හෝ වෙනත් අය සමඟ හෝ එක් වතාවක් නොවේ ගණන් කළ නොහැකි තරම් වාරගණනක් මෙය සිදුකර ඇති. කවද්ද, කා සමඟ ද, කොහොම ද? කියා කියන්න බැහැ. එසේම සියදිවි නසාගත් කෙනා කළින් අපරාධ කරලාත් ඇති, උමතුවෙලාත් ඇති, භාවනා කරලාත් ඇති. භාවනා කරන්න පෙළඹුණ කෙනා කළින් දිවි නසාගෙනත් ඇති, අපරාධ කරලාත් ඇති, උමතුවෙලාත් ඇති. මේ හැම දෙනාම ඒවගේ. එයින් කියන්නේ හිතවතුනි, මේවා සැඟවුණු ප්‍රවණතා (පෙළඹවීම්, සසර පුරුදු). සෑම කෙනෙකු තුළම මේ පුරුදු තිබෙනවා. කෙනෙකුට කියන්න බැහැ “මට ඒ කිසිම පුරුද්දක් නැහැ, මට එකම එක පුරුද්දයි තියෙන්නේ” කියා. එසේ කියන්නේ දන්න පුරුදු ගැන. දන්න පුරුදු නොවේ මේ කියන්නේ සැඟවුණු පුරුදු ගැන. Underline tendencies එහෙම ඒවා කීයක් තිබෙනවාද  කියා කවුද දන්නේ? දන්නේ නැති නිසයි සැඟවී තිබෙන්නේ. එසේ නම් හතර දෙනාටම අපරාධකාරයෝ වෙන්නත්, හතර දෙනාම සියදිවි නසා ගන්නත්,  හතර දෙනාම උමතු වෙන්නත් ඉඩතිබුණා, හතර දෙනාම භාවනා කරන්නත් ඉඩතිබුණා.

නමුත් එසේ වන්නේ නැහැ. එක්කෙනයි අපරාධකරුවෙකු වන්නේ, එක්කෙනයි දිවි නසාගන්නේ, එක්කෙනයි දහම් මඟට එන්නේ. ඒ ඇයි? මේ ප්‍රවණතාවයන් සෑම සිතකම තිබුණා නම් ඇයි දිශා හතරක්?  ඒ නිසයි කියන්නේ මෙය සරල සමීකරණයකින් කියන්න බැරිබව. සරල සමීකරණයකින් විසඳාගන්න බැරිබව. එතනදි කියන්න පුලුවන් එක් කාරණයක් නම් ප්‍රබල වූ සාධකය ජයගන්නා බවයි. මේ සියල්ල පුරුදු වුවත්, වැඩියෙන් පුරුදු කළ දෙය ඉස්මතු වී පැමිණෙන්න පුලුවන්. ඒ පුරුද්ද විසින් කෙනෙකුව ඇදගෙන යන්න පුලුවන් කිසියම් දිශාවකට.

අවින්ශ්චිත වර්තමානය

එසේනම් හිතවතුනි අප අනාථයි, අසරණයි. මේ ආකාරයෙන් බැලූවිට පෙනෙන්නේ සියල්ල තීරණය කරන්නේ අතීත පුරුදු බවයි. අප කවුරුන් බවට පත්වෙයි ද යන්න, අතීතය විසින් තීරණය කිරීම, ඉරණම (දෛවය) කියායි කියන්නේ. සිදුවීමකදී තැනැත්තෙකු කුමක් කරයි ද? (මේ තැනැත්තාට කුමක් වෙයිද) කියා තීරණය කරන්නේ මේ සාධක පමණක් ම නම්, එසේ කිව හැකියි. නැහැ, අතීත පුරුදුවලට අමතරව වර්තමාන සාධක තිබෙනවා. අවිනිශ්චිත තාවය පැමිණෙන්නේ ඒනිසයි. සියලුම හේතු සාධක තිබෙන්නේ අතීතයේ නම් 100% නිශ්චිත අනාවැකි කියන්න පුලුවන්. වර්තමානයේ මොන හේතු එකතු වෙයිද කියන කාරණය නිසා දිශාව අවිනිශ්චිතයි. පොල් කටුවේ තුඩට ජල බිඳුව පතිත වන මොහොතේ ඇතිවන සුළඟේ දිශාව බලපානවා, මොන දිශාවට දිය බින්දුව වැටෙයිද කියන කාරණය තීරණය කිරීමට. මේ නිසා දිශාව පිළිබඳව අනාවැකි කියන්න අමාරුයි. එමනිසා වර්තමානය ඉතා වැදගත්. අතීතයේ ඇති වැදගත්කම නම් වැඩි වැඩියෙන් පුහුණු කිරීම (භාවිතා කිරීම). ඒ නිසායි සීලය, දානය වැනි දේවල් භාවිතා කරන්න, බහුල වශයෙන් කරන්න (භාවිතා බහුලිකතා) කියා කියන්නේ. ඒ සාධකයෙන් කරනු ලබන බලපෑම හරි ප්‍රබලයි. අන් සාධක මොනවා වුවත් දීර්ඝ කාලීන පුරුද්ද බොහෝවිට ජයගන්නවා. තීරණයක් ගැනීමේදී ඒ බලපෑම ප්‍රබලයි. නමුත් එය නොවේ එකම සාධකය, එයට බලපාන වර්තමාන හේතු කිහිපයක් තිබෙනවා.

කල්‍යාණ මිත්‍රයා

වර්තමාන එක් හේතුවක් නම්, කම්පනය අවස්ථාවේ මුණගැසෙන කෙනා. ඒ අයගේ අදහස්, ආකල්ප හා දෙන ආදර්ශවලින් ලොකු බලපෑමක් කරන්න පුලුවන්. අසනීප වූ කෙනෙකු බලන්න ගොස් කියන දේවල් හරි ප්‍රබලයි,  ඒ නිසා අප පරෙස්සම් විය යුතුයි. ප්‍රශ්නයකින් කම්පනය වී සිටින කෙනෙකුට කථා කිරීමට වෙනම පුහුණු වූ අය (counsellor) සිටින්නේ ඒ නිසායි. උපදේශනය වෙනම විද්‍යාවක්, වෙනම දක්ෂතාවයක්. එහෙම නැතිව කථා කරන්න ගියොත්, අර මනුෂ්‍යයාට මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. එයින් කියවෙන්නේ ඇසුරුකරන අයගේ බලපෑම මෙහිදි ඉතා වැදගත් බවයි. එය වර්තමාන වශයෙන් එකතුවන බලයක්, ශක්තියක්. අපරාධ කරන අයගේ ඇසුරට ගියොත්, කම්පනයකදී ඒ පැත්තට යන්න පුළුවන්. ජීවිතය එපාම කියන කෙනෙකුගේ ඇසුර ලැබුණොත් සියදිවි නසාගන්න පුලුවන්. එහෙම කෙනෙකුගේ ඇසුරක් නිසා උමතුබව වැඩිවෙන්න පුළුවන්. එසේම දහමටත් කෙනෙකු යොමුවෙන්න පුලුවන් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා. මෙයයි වර්තමාන සාධකය.

අංගුලිමාල මහ රහතන් වහන්සේ ඒ තත්වයේ වැඩ සිටියේ පෙර පින් නිසාම නොවේ. එයට වැඩිය වර්තමාන අකුසලය බලවත්, දහස් ගණනක් මැරුවා කියන එක ලෙහෙසි පහසු පවක් නොවේ. කාගේ අණට හරි, ගුරුවරයාගේ නොවේ දෙවියන් වහන්සේගේ අණට හරි අහිංසක මිනිස්සු පමණක් නොවේ සතුන් මරණ එක පවා ප්‍රබලම පාපයක්. ඒ කළ පාපය සමාන කරන්න අතීතයේ කර තියෙන පින්කම් මොනතරම් ප්‍රමාණයක් අවශ්‍ය වෙයිද? පෙර පිනම නොවේ එතනදි බලපෑවේ, වර්තමාන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය. එම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නොලැබුණා නම් අදත් අපායේ. මේ නිසා වර්තමාන සාධකය පිළිබඳවයි වැඩි විශ්වාසය තියන්න අවශ්‍ය වන්නේ. අවාසනාවකට අතීතය ගැන ශාස්ත්‍ර අසනවා, අනාගතය ගැන පේන බලනවා, වර්තමානයේ එකතුවිය යුතු සාධක නොසලකා හරිමින්. කම්පනයක් සිදුවන අවස්ථාවේ අසවල් කෙනා ඉන්න ඕනේ කියා ගිවිසුමක් ගසාගෙන තියාගන්න බැහැ. “මැරෙන්න යන වෙලාවේ වතුර ටිකක් පොවන්න කවුරුන් හෝ ළඟ ඉන්න ඕනේ” කියා කියනවානේ. එවැනි වෙලාවක තිබහට වතුර ටිකක් පොවන්න කෙනෙකු ළඟ සිටියත්, කම්පනයක් වන අවස්ථාවේ අනිවාර්යයෙන්ම “කල්‍යාණ මිත්‍රයෙකු සිටිය යුතුයි, සිටින්න අවශ්‍යයයි, සිටින්න” කියා කියන්න බැහැ. කිව්වත් එය වෙන්නේ නැහැ.

කෙනෙකුට කල්‍යාණ මිත්‍රයෙකු ලැබෙන්නත්, තව කෙනෙකුට පාප මිත්‍රයෙකු ලැබෙන්නත් හේතු මොනවාද? ඒවත් හේතු නිසා සිදුවන දේවල්. මේ ආකාරයට මෙම සමිකරණයට (මේ කාරණයට) තව තව හේතු එකතුවන විටයි වැටහෙන්නේ මෙය සංකීර්ණ සමීකරණයක් බව. “පෙරත් කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කර තිබෙන නිසයි, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ ” කියා සරලව කියන්න පුළුවන්. “කල්‍යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගත් කෙනෙක්” කියා කියන්න පුළුවන් නම් එය ඊටත් වඩා වටිනවා. කල්‍යාණ මිත්‍රයන් ඕනෑම කෙනෙකුට මුණ ගැසෙන්න පුලුවන් නමුත් එයින් ප්‍රයෝජනය ගන්නේ බොහොම ටික දෙනයි. ප්‍රයෝජන ගැනීම අප අතේ (තමන්ගේ අතේ) තිබෙන්නේ.

තීරණාත්මක සාධක

හිතවතුනි, මේ සාධක හැකි පමණ අප එකතු කරගන්න අවශ්‍යයයි. කම්පනයක් වූ විට මේවා එකතු කරගන්න බැහැ, එය නොවෙයි අවස්ථාව මේවා එකතු කරගන්න, එම අවස්ථාවේ මොනවාවත් එකතු කරගන්න බැහැ. ඊළඟට අපට මුහුණ පාන්න වෙන කම්පනය මොනවාගේ වෙයිද කියන්න කිසි කෙනෙකුට බැහැ. උද්ධමනයක්, ආහාර හිඟයක් එනවා, හොරු, අපරාධකරුවන් වැඩිවෙනවා, වැනි විද්‍යාත්මක අනාවැකි තියෙනවානේ. ඒවා නැතත් සම්පූර්ණ සාමයෙන්, සෞභාග්‍යයෙන් පිරීගිය කේතුමතියක් වුවත්, වාසනාවකට හෝ අවාසනාවකට කම්පන තිබෙනවා. ඊළඟට මුහුණ පාන්න වෙන කම්පනය කවදා, කොතැනකදි වෙයිද, මොන විදිහේ කම්පනයක් වෙයිද? කියන්න බැහැ. ඊළඟ තත්පරයේදී වෙන්න පුළුවන්. ඒ නිසා මේ සාධක හැකි පමණ සමීප කරගෙන තියාගන්න. ආහාර හිඟයක් පැමිණෙනවා නම් ආහාර රැස්කර ගන්න. බොහෙත් හිඟයක් එනවා නම් බෙහෙත් රැස්කරගන්න. විශේෂයෙන් තවත් අය බලා ගන්න වගකීමක් තිබෙනවා නම්, සීමාවක් ඇතුළේ එය බුද්ධිමත් තීරණයක්. එවැන්නෙකුට එය කරන්න වෙනවා. නමුත් යෝගාවචරයෙකුට, ගිහි නොවන අයෙකුට එය අදාළ නැහැ. එවැන්නෙකුට අවශ්‍ය වන්නේ වර්තමානයේ ජීවත්වීමයි. තිබෙනවා නම් තිබෙනවා, නැතිනම් නැහැ, එපමණයි.

හිතවතුනි, ආහාර වැනි භෞතික සම්පත්වලට වඩා ආධ්‍යාත්මික සම්පත් සමීපකරගන්න අවශ්‍යයයි. ආධ්‍යාත්මික සම්පත් යනු කල්‍යාණ මිත්‍රයෙකු ළඟින් තියා ගැනීම පමණක් නොවේ. කොහොමත් ළඟින් තියාගන්නත් බැහැනේ. දානය, ශීලය, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා යන මේවා ආධ්‍යාත්මික සම්පත්. දන් දෙන සම්පත්වලින් නොව, දානයෙන් (දීමෙන්, බෙදාගැනීමෙන්, පරිත්‍යාග කිරීමෙන්) පොහොසත් අයෙකු විය යුතුයි. සීලයෙන් පොහොසත් විය යුතුයි, සීලයට සමීප වන්න. දහම ශ්‍රවණය කිරීම, සාකච්ඡා කිරීම, මෙනෙහි කිරීම හා පිළිපැදීම කරන්න. ඒ සඳහා කල්‍යාණ මිත්‍රයන් අවශ්‍යයයි.

මේ සම්පත් අප සමීපකරගෙන සිටිය යුතුයි. මේවා භෞතික සම්පත් නොවේ, ආධ්‍යාත්මික සම්පත්. පුද්ගලයෙකු කල්‍යාණ මිත්‍රයෙකු සේ ගෙන සමීපයෙන් ඇසුරු කිරීම, සෙවණැල්ලක් සේ පිටුපසින් යෑම, පැත්තකින් එකත්පසව සිටීම නොවේ. ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව හා ආදර්ශ ගැනීම මේවා සාමුහිකව ලබා ගතයුතු ආධ්‍යාත්මික සම්පත්. එසේම දන්දීම් හා සිල් රැකීම් පෞද්ගලිකව ලබාගත යුතු ආධ්‍යත්මික සම්පත්. මේ සාධක පහ සහ ඒ අනුව ජීවත්වීම කියන මේ හය තමයි කම්පනයකදී තීරණාත්මක සාධක වන්නේ. එබඳු අවස්ථාවකදී උන්මත්තකයෙකු නොවී, දිවි තොරකරගන්නෙකු නොවී, අපරාධකාරයෙකු නොවී, අවදිවන කෙනෙකු බවට පත්වන්නට (ඒ දිශාවට අපව හරවන්නට) තීරණාක්මක සාධක වන්නේ මේ හයයි.

කම්පනයක් නිර්මාණය කර අපව කම්පනය කරන්න වෙන කෙනෙකුට පුලුවන් වුවත්, අපට බැහැ අපව කම්පනයවන කෘතිම කම්පන නිර්මාණය කරගන්න. එම නිසා කම්පන (සිදුවීම්) අමතක කරන්න, ඒවා වැදගත් නැහැ. වැදගත් වන්නේ මෙන්න මේ කාරණායි. කෙබඳු සිදුවීමක් වුවත්, කුමන තැනක වුවත්, කෙදිනක වුවත්, හිතවතුනි අප අසරණත් නැහැ, අනාථත් නැහැ, අද, දැන්, මේ මොහොතේ මේ ආධ්‍යාත්මික සම්පත්වලට සමීප වෙනවානම්.

භාවනාව

භාවනාවක් විදිහට නිහඬව මෙනෙහි කර බලමු, ගැටලුවලට පිළිතුරු ලැබුණා ද, දැක්ම පැහැදිලි වූවාද, දර්ශනය වඩාත් යථාර්ථය පැත්තට ගෙන එන්න මේ කාරණා මොනතරම් දුරට ඉවහල් වෙනවාද කියා.

යම් යම් අනාවරණයන් සමඟ සාකච්ඡාවට එකතු වෙමු. හිතවතුනි, ඉතිරි වූ ගැටලු තිබෙනවා නම්, විසඳුම් නොලැබුණු ගැටලු තිබෙනවා නම්, අලුත් ගැටලු මතු වුණා නම් අසන්න. ඊට අමතරව යම් අනාවරණයන් සිදුකරගත්තා නම් එම අනාවරණයන් බෙදාගන්න.

සාකච්ඡාව 

ප්‍රශ්නය : මේ දේශනයෙන් මට මතු වුණු කාරණයක් තමයි භාවනාව වර්තමානයේ ඉඳගෙන පටන් ගන්නවා නම් සහ සියයට සියයක් ඒ වෙනුවෙන් කැප වෙනවා නම් ඔහුට/ ඇයට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නේද කියලා.

පිළිතුර : අනිවාර්යෙන්ම පුළුවන්. අපට අලුත් දෙයක් පටන් ගන්න පුළුවන් වන්නේ වර්තමානයේ දී පමණයි. අතීතයේ අප පටන්ගෙන තියෙන දෙයක් දිගට කරගෙන යන්න පුළුවන් වෙන්නේත් වර්තමානයටම තමා.  යමක් ඉවර කරන්න පුළුවන් වෙන්නෙත් වර්තමානයේ. ඒ නිසා වර්තමානය, මේ මොහොත තමයි වටින්නේ. අතීත සාධක මොනවා තිබුණත් වර්තමාන සාධකයයි ප්‍රබල වෙන්නෙ, මොන දිශාවට හැරෙයිද ගහගෙන යයිද කියා තීරණය කරන්න. අතීතයේ කොයි දිහාවෙ සිට පාවෙලා ආවාත් වර්තමාන සාධකයට පුළුවන් ඒ ගමන සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හරවන්න. එම නිසා වර්තමාන සාධක, මොන තරම් කැපවීමක් කරනවා ද භාවනාවට, ජීවිතය ඇතුළේ දාන-සීලයන්හි අවංකව යෙදෙනවද( දානය - අවශ්‍ය කෙනෙකු සමග බෙදාගැනීම, පරිත්‍යාගය), ධර්මශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, ආදර්ශය ගැනීම, මෙනෙහි කිරීම සහ ඒ අනුව ජීවත් වීම අත්‍යවශ්‍යයි. මේවා හරිහැටි තේරුම් අරගෙන ඒවාට පූර්ණ වශයෙන් කැප වෙනවා නම්, අතීතයේ කවුද, කොහෙන්ද ආවේ, කොහෙටද යන්න ගියේ, ඒ එකක්වත් වැදගත් නෑ. වර්තමානයට ඒ සියල්ල අවලංගු කාසි බවට පත් වෙන්න පුළුවන්. 

ප්‍රශ්නය : අද දේශනයේදී මට වැටහුණු දෙයක් තමයි “පොල් කට්ටේ කොයි පැත්තට වතුර බින්දුව වැටුනත් සතර ඉර්ධිපාද පාදවලින් අපට ඕන පැත්තට යන්න පුළුවන්” බව. ඒ කියන්නේ අපේ හිත සකස් කරගන්න පුළුවන් නම්, ”දැන් මගේ හිතේ ස්වභාවය” දකින්න පුළුවන් නම්, තීරණයක් ගන්න කලින් ඒ තීරණය ගන්නවද නැද්ද කියන තීරණය ගන්න හැකියාව තියෙනවා නම්, අනිත් සාධක මොන විදියට ආවත් අපට අවශ්‍ය පැත්තට වැටෙන්න පුළුවන් නේද? පරිසරයෙන් කොපමණ බාධක ආවත් අපිට ඕන පැත්තට වට්ට ගන්න හැකියාවක් තියෙනවා නේද? 

පිළිතුර : ඔව්, ඒ තීරණය අපේ අතේ තියෙන්නේ. ඒ තීරණය ගන්නවා වගේම ඒ වෙනුවෙන් වීර්ය කරන්නත් ඕන. සාධක ගණනාවක් තියෙනවා. ඒ සාධක අතරින් ප්‍රබල භූමිකාවක යෙදෙන සාධක ටිකක් තමා ඉර්ධිපාද කියන්නේ. වර්තමානයේ අප ඉර්ධිපාද වලට ලොකු තැනක් දෙන්නේ නෑ. ඉර්ධිපාද කියන්නේ තමන් හිතන දේ, තමන්ගෙ අභිප්‍රායන් සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙන අධ්‍යාත්මික සාධක හතරක්, ඡන්ද චිත්ත විරිය විමංසා. ඒ සාධක හතර හොඳට හඳුනාගෙන ස්පර්ශ කර භාවිතා කරන්න පුහුණු වෙලා අවශ්‍ය මට්ටමට ප්‍රමිතියට දියුණු කරගෙන තියෙනවා නම් මොන සාධක ආවත් අනිත් දිශාවනට යන්නේ නැතිව මේ ගමන යන දිශාවට යන්න පුළුවන්, එය අපේ අතේ තියෙන්නෙ.

හැබැයි ඔය සෘදිපාද 4 තුළ සිහිය නෑ. ඒ නිසා ලොකු කම්පනයක දී සිහිය අඩු වෙන්න පුළුවන්. සිහි කල්පනාව අඩු වුනොත් ඉර්ධිපාද භාවිතා කරන්න තියෙන හැකියාව අඩුවෙලා යනවා. නිසා ඉද්ධිපාද සමග සිහිබුද්ධිය ඉතාම අවශ්‍යයි. සිහිබුද්ධිය තිබුනොත් පමණයි ඉද්ධිපාද වලින් වැඩ ගන්න පුලුවන් වෙන්නේ. එනිසා ඉද්ධිපාද වගේම සිහිබුද්ධියත් එක වගේම වැදගත් වෙනවා, මොනම සිදුවීමකදී හරි කොයි පැත්තට ප්‍රවණතා ආවත් දහම් මගට, පටිසෝතගාමී මාර්ගයට වැටෙන්නයි ඒ මාර්ගයේ යන්නයි. 

ප්‍රශ්නය : පහුගිය දේශනයේ සඳහන් වුණා කම්පනයක් ඇති වෙනකොට ඉතාමත් දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙනවා. එතනදී සඳහන් වුණා නියාම ධර්ම පහක් ගැන. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? 

පිළිතුර : නියාම කියන්නේ න්‍යාය ධර්මතා කියන අදහසින් (law). යමක් සිද්ධි මෙන්න මේ සාධක 5 තනි තනිවම සහ සාමූහිකව සම්ප්‍රයුක්තයක් විදිහටත් බලපෑම් කරනවා. මේ නියාම ධර්ම බුද්ධ ඉගැන්වීම් ආශ්‍රයෙන් ගත්ත නිගමන පහක්. එහෙම නැතිව මේ නියාම ධර්ම 5 ගැන බුදුන් වහන්සේ දේශනා කළා ද නැද්ද කියන්න මාදන්නේ නෑ, තවම නම් මට එහෙම නියාම ධර්ම පහ බුද්ධ දේශනාවක දී මුණ ගැහී නෑ. නමුත් බෞද්ධ ඉගැන්වීම් ආශ්‍රයෙන් ආචාර්යයන් වහන්සේලා මේ කාරණා පහ එකතු කර මතුකර අරන් තියනවා. බීජ, ඍතු, චිත්ත, ධම්ම, කම්ම නියාම විදිහට. මේවා සංකීර්ණයි, දීර්ඝ වශයෙන් කතා කළ යුතු කාරණයක්, කෙටියෙන් නම් කරගෙන ගියොත්,

බීජ නියාමය :  ජානවලින් එන ලක්ෂණ, කෙනෙකුගේ කායික ලක්ෂණ ( සුදු කළු උස මිටි) සහ මානසික ලක්ෂණ ( හැසිරීම් ) . සමහර ඒවා හඳුනා ගන්න පුළුවන් තාත්තත් මේවාගේ, අම්මාත්’ මේවාගේ. එක පවුලක එක්කෙනෙකු එහෙම උනාට හැමෝම එහෙම වෙන්නෙත් නෑ.

ඍතු නියාමය : බාහිර පරිසර සාධක, කාලය ,කාලගුණ දේශගුණ සාධක බලපානවා. උදාහරණයකට කායික ලක්ෂණ වලට  හමේ වර්ණය, නිරෝගී බව රෝගී බවට මෙය බලපානවා.

 මේ සාධක දෙකම වර්තමාන භෞතික යි.

චිත්ත නියාමය: වර්තමාන මානසික දෙයක්. දැන් හිතන විදිහ බලපානවා. උදාහරණයක් විදියට රෝගයක් හැදෙන්න, දියවැඩියාව ගත්තොත්, බීජ නියාමය පැත්තෙන් සහ ඍතු නියාම පැත්තෙනුත් බලපෑම් එන්න පුළුවන්. හැබැයි ඒ දෙක පමණක්ම මදි, ආතතිය ආවේගශීලී බව වගේ දේවලුත් බලපානවා, ලෙඩ වෙන්නත් ලෙඩ නොවෙන්නත් චිත්තය බලපානවා.

කම්ම නියාමය : එය අතීත මානසික සාධකයක්. කම්ම කියන්නේ චේතනාව මුල්කරගෙන අතීතයේ කළ ක්‍රියා, පින් පව් දෙක තමයි මෙතන එන්නේ..

ධම්ම නියාමය :  ධම්ම කියන්නේ නියමයන්. මෙය සම්පූර්ණයෙන්ම පැත්තක තියෙන දෙයක්. මෙය කායිකද මානසික ද, එහෙම කියන්න බෑ, ධර්මතා. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණ නියමය, ඒ නියමය භෞතිකවත් මානසිකවත් නෙමෙයි. (ගුරුත්වාකර්ෂණය භෞතික වෙන්න පුළුවන්, නමුත් ගුරුත්වාකර්ෂණ නියමය නියමයක් භෞතික හෝ මානසික නෙමෙයි). හොයාගත් නියමයන් තියනවා හොයා නොගත් නියමයන් තියෙනවා. බුදුන් වහන්සේ සොයාගත් නියමයන් තියෙනවා, තණ්හාව තියෙනවා නම් දුකක් ඇති වෙනවා, තණ්හාව නැති කළොත් දුකක් තියෙන්න බෑ, උපන්නොත් ජරා-මරණ වෙනවා, ඉපදුනු කෙනෙක් නොමැරී ඉන්න බෑ.

මේ නියාම පහ තමා සිදුවීම් නිර්මාණය කරන්නේ. ධම්ම නියාමය  අනිත් හැම නියාමයක් ඇතුලෙම තියෙනවා, ඊට පරිබාහිරවත් ධම්ම නියාමය වැඩ කරනවා. ඒ නිසා යමක් වෙනකොට හරි අමාරුයි කියන්න.උදාහරණයකට යම් දෙයක් කාපු නිසයි පිළිකාවක් හැදුනේ කියනවා. නමුත් ඒ දේවල් කාපු හැමෝටම පිළිකා හැදිල නෑ, ඒවාගේම එය නොකාපු අයටත් ඒ පිළිකාව හැදිලා තියෙනවා, ඒ නිසයි මේක සංකීර්ණයි කියන්නේ.

ප්‍රශ්නය : 

  1. මනුෂ්‍යයාට වෙනස් කරගන්න පුලුවන් ලොකුම දේ චිත්ත නියාමය නේද? වර්තමානයේ සිටීමෙන් අනිත් නියාම ධර්ම  හතරටම වෙනසක් ඇති කර ගන්න පුළුවන් නේද? 

  2. චිත්ත නියාම උපරිම අවස්ථාව බුද්ධත්වයද?

  3.  “ මනෝ පුබ්බංගමා ධම්මා” කියන විට ඒ ගාථාවෙනුත් අදහස් වෙන්නේ හැම විටම මූලික වන්නේ චිත්ත නියාමය නේද?

පිළිතුර : වර්තමාන වශයෙන් අපට පරිහරණය කරන්න තියෙන මෙවලම චිත්ත තමයි, වර්තමාන වශයෙන් වෙන එකක් නෑ, ඒ නිසා එය බලවත්,  එකම දේ, හොඳටයි නරකටයි දෙකටම චිත්ත තමයි. චිත්ත උපරිම දියුණු තත්ත්වය බුද්ධත්වය තමා. අනිත් නියාම ධර්ම අපට කෙලින්ම පරිහරණය කරන්න බෑ. චිත්ත නියාමය හරහා තමා පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ. චිත්ත නියාමයට බීජ නියාමය( ජාන) වෙනස් කරන්න පුළුවන්, ඍතු වෙනස් කරන්න බැරි උනාට ඒවායින් එන බලපෑම වෙනස් කරන්න පුළුවන්. කර්මය වෙනස් කරන්න පුළුවන්. ධම්ම නියාමය වෙනස් කරන්න බෑ, හැබැයි මේ ටික චිත්ත නියාමයට වෙනස් කරන්න පුලුවන් බව ධම්ම නියාමය දන්නවා. එහෙම ධර්මතාවයක් තියෙන, එසේ ධර්මතාවයක් තියෙන නිසයි චිත්ත නියාමයට පුළුවන් වෙන්නේ මේ වෙනස කරන්න. ඒකට තමයි ධම්ම නියාමය කියන්නේ. ධම්ම නියාමයට පටහැනිව බෑ වැඩ කරන්න කාටවත්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිටින් කාටවත් නිවන් දකින්න බෑ. එය තමයි ධම්ම නියාමය. ඒ වගේම අපාය මාර්ගයේ ගිහින් කාටවත් දිව්‍ය ලෝකයට යන්න බෑ. ආර්ය මාර්ගයකුත් තියෙනවා, ස්වර්ග මාර්ගයකුත් තියෙනවා, නිරය මාර්ගයකුත් තියෙනවා, අප හදන්නේ නැහැ ධම්ම නියාම, පාරවල් තියෙනවා. හැබැයි ඒ යන පාර සිතින් තමයි තෝරාගන්නේ. 


හිතවතුනි, අවසාන වශයෙන් අප කතා කළ කාරණා ඉතා වැදගත්. වර්තමානයේ තියෙන වැදගත්කම සහ වර්තමාන අපේ සිහිබුද්ධිය, ඉර්ධිපාද, ඒවා වැඩීම, ‍කල්යාණ මිත්‍ර ආශ්‍රය මේවට පුළුවන් සංසාර ගමනක් සම්පූර්ණයෙන්ම නවත්වන්න, ආපසු හරවන්න. ඒ අතින් අප මොනතරම් වාසනාවන්තද කියා හිතෙනවා. මෙය තනියම යන්න පුළුවන් ගමනක් නොවෙයි. උපන්නේ මැරෙන්නේ තනියම වුණත් නිවන් දකින්නේ තනියම වුණත් මේ ආර්ය මාර්ගයේ තනියම යන්න බෑ. මෙයට අවශ්‍යයි කල්‍යාණ මිත්‍රයින් (ගුරුවරුන් නොවේ). ඒ අතින් අප මොන තරම් වාසනාවන්තද !. ඒ වාසනාව හැමදෙනාටම ලැබේවා කියන ප්‍රාර්ථනය හදවතින්ම ඇතිකරගෙන අපි අද වැඩසටහන සමාප්ත කරමු.

 හැම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!