සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 05

2022 අගෝස්තු 24 සාරාංශය

සෑම දෙනාටම සැනසිලිදායක, සතිමත් සන්ධ්‍යාවක්! දවසක්! දයාබර කළ්‍යාණ මිත්‍රයිනි, අද දවස, ගෙවුණු දින කිහිපය, පසුගිය සතිය, මොන ආකාරයටද ගතවුණේ‍්? ඇති වූ කලබැගෑනි මොනවා ද? ලැබූ ජයග්‍රහණ මොනවා ද? සමත් අසමත් වූ තැන් මොනවා ද? මේ කාරණා පිළිබඳව විවේකීව සිතන, මෙනෙහි කරන, එයින් යමක් ඉගෙන ගන්නට උත්සාහ කරන, ඉගෙනගත් දෙයට අනුව ජීවිත පැවැත්ම වෙනස් කරගන්න වෑයම් කරන, ගමනකයි අප යෙදී සිටින්නේ. සිතනවා අවබෝධය, පරිවර්තනය යන මේ කාරණා වලට ඉවහල් වන කමටහන් ගේ ඇතුළින්ම, ශරීරයෙන්ම, එමෙන්ම අසල්වාසින්ගෙන්, මඟතොටින්, රස්සාවෙන්, රටින්, ලෝකයෙන් එමට ලැබෙන්න ඇති. ඒ කමටහන් වලින් ප්‍රයෝජන ගත්තා ද, නැති ද යන්න සිතන්න වටිනවා. සිදුවීම් කමටහන් විදිහට දුටුවා ද? නැතිනම් සැප විඳින්න ලැබුණු අවස්ථා, සතුටු වෙන්න ලත් මොහොතවල් ලෙස හෝ දුක් වෙන්න, හඬන්න, වැලපෙන්න, සුසුම් හෙළන්න, ශෝක කරන්න, පෙළඹවූ සිදුවීම් ලෙස යන ඒ දෙවිදිහට සිතා මේ සතිය ගෙවි ගියා ද? හිතවතුනි මේ බදාදා සදහම් සැඳෑවට පැමිණිවිට, මේ සදහම් සැඳෑව කැඩපතක් කරගන්න, මේ කාරණා දකින්න. අප, අප සම්බන්ධව ම අපේම ක්‍රියා පිළිවෙත් ගැන, සිතුවිලි ගැන දකින්න, මේ හෝරාව කැඩපතක් කරගන්න. නොදන්නා කිසිදෙයක් දැනගන්න නොලැබුණාට පාඩුවක් නැහැ. දැනුමට අලුතින් යමක් එකතු නොවුණාට පාඩුවක් නැහැ. වැදගත් වන්නේ ‘ආවර්ජනයයි’, ‘ප්‍රත්‍යවේක්ෂාවයි’. ඒ දෙකෙන් ඇතිවන ‘දැකීම’ හරි වටිනවා.

විඳීම

සාමාන්‍යයෙන් අප කුමක්ද  කරන්නේ? කියන මේ ප්‍රශ්නය අපෙන් ඇසුවොත්, “ඔබ මොකද කරන්නේ?” කියා කිසියම් කෙනෙකුගෙන් විමසුවොත්, මොන විදිහේ පිළිතුරක් ද දෙන්නේ, ලැබෙන්නේ?. බොහෝවිට රැකියාව, වෘත්තිය කියන්න පුළුවන්, ගොවිතැන, ගුරුකම, වෙදකම වැනි කුමක් හෝ වෘත්තියක්, නැතිනම් කියනවා “වැඩක් කරන්නේ නැහැ” කියා. මේ උත්තර දෙකයි දෙන්නේ. මේ පිළිතුරු දෙකේහිම ඇත්තක් තියෙනවා. නමුත් ඇත්තම ඇත්ත නොවේ. එසේනම් අප ඇත්තටම මොකද කරන්නේ? අප කවුද කියන ප්‍රශ්නය නොවේ වැදගත් වන්නේ, අප මොනවාද කරන්නේ කියන කාරණය. රස්සාව, වෘත්තිය කියන පිළිතුරෙන් ගලවාගෙන ගෙනාවොත්, දවසේ කළ වැඩ ටික කියයි. මේවා මේවා කළා, තව මේවා මේවා කරන්න තියෙනවා. අතුගෑවා, ඉව්වා, නගරෙට ගියා, මේ වැඩ කළා, මෙයත් ඇත්ත, බොරුවක් නොවේ. නමුත් ඇත්තම ඇත්ත නොවේ. ඒ කිසිදෙයක් නොකරන කෙනා “අද නම් කොහෙවත් ගියෙත් නැහැ, මොනවත් කළෙත් නැහැ, ඔහේ හිටියා” කියා කිව්වොත් එය නම් බොරුවක්. මන්ද කිසිම වැඩක් නොකර කිසිම කෙනෙකුට ඉන්න බැහැ. සාමාන්‍ය පුහුදුන් ලෝකයේ (එතෙර නොවූ ඔබ අප හැමදෙනාම) හැමවිටම යමක් කරමිනුයි සිටින්නේ. ක්‍රියා දෙකක් කරමින් සිටින්නේ. කථා-බහ කිරීමම නොවේ, ඒවා දෙවැනි, තුන්වෙනි ක්‍රියා, ඒ කිසිවක් නොවේ. ඒ කිසිදෙයක් නොකළත් මේ කියන ක්‍රියා දෙක කරමින් සිටින්නේ. එය බැලු බැල්මට පේන්නේ නැහැ. මොනවාද කරන්නේ ? “මොනවත් නැහැ. ඔහේ ඉන්නවා, වාඩිවෙලා, හාන්සිවෙලා ඉන්නවා.” පිටින් හා මතුපිටින් බලන කෙනෙකුට කරන දෙයක් පේන්නෙත් නැහැ. අපම අප දෙස ඒ විදිහට බලා කියනවා නම් “අප මොකුත් කළේ නැහැ” කියා, ඒ අපේ දැක්මේ තිබෙන අඩුපාඩුවක්. අප හරියට අපව දැක නැහැ. අප දැක තිබෙන්නේ අප විදිහට ශරීරය පමණයි. මම විදිහට, ජීවිතය විදිහට, තමන් විදිහට හඳුනාගෙන තිබෙන්නේ මේ ශරීරය පමණයි. ඒ නිසයි මෙවැනි පිළිතුරු දෙන්නේ. “අද වැඩට ගියේ නැහැ. අද නිකන් සිටියේ, අද හරිම කාර්ය බහුල දවසක්”, මේ ආකාරයට පිළිතුරු දෙන්නේ, තමන් විදිහට ශරිරය දකිමින්, ජීවිතය කියන්නේ ශරීරය, එයින් පිට මමෙකුත් (මම කියා කෙනෙකුත්), ජීවිතයකුත්, කිසිදෙයක් නැහැ, දවසකුත් නැහැ, සතියකුත් නැහැ‍, මාසයකුත් නැහැ වගේ බොහොම පටු දැක්මක සිටින විට.

නමුත් ඉන් එහාට හොඳින් බැලූවිට දර්ශනය වන කාරණයක් තමා, වැඩක් කරමින් සිටියත්, නොකරමින් සිටියත් නිකන් නොසිටින බව. නිකන් නොවේ නම් සිටින්නේ, මොනවාද කරන්නේ? කාර්යයන් දෙකක් කරනවා. එක් කාර්යයක් නම් ‘විඳීම’. කුමක් හෝ විඳිනවා, විඳින්නේ නැති වේලාවක් නැහැ. අප කියනවානේ “කිසිදෙයක් කළේ නැහැ, කිසි කෙනෙක් හමුවුණෙත් නැහැ, කොහේවත් ගියෙත් නැහැ, කරන්න වැඩකුත් නැහැ” කියා. මෙසේ කියන අවස්ථාවල විඳීම කරනවා. පාළුව, තනිකම, හුදකලාව විඳිනවා. මේ ආකාරයට දුක විඳින්නත් පුළුවන්, සමහර කෙනෙකු සතුට විඳින්නත් පුළුවන්. මේ හුදකලාව, තනිකම ඇතුළේ කිසියම් නිදහසක්, සතුටක් විඳින්නත් පුළුවන්. බලන්න විඳින්නේ නැති වේලාවක් තිබෙනවා ද? සොයාගන්න පුළුවන් ද? කිසිම දෙයක් නොකළත්, විඳින්නේ නැති වේලාවක් නැහැ, මොනවා හරි විඳිනවා. මින් ප්‍රධාන වශයෙන් අප දන්නේ දුක හා සැප. දුක විඳිනවා, සැප විඳිනවා, අසතුට විඳිනවා, සතුට විඳිනවා, දොම්නස විඳිනවා, සොම්නස විඳිනවා. මේ විඳීම් දෙක තමා දන්නේ. ඒ නිසා ‘දුකයි සැපයි විඳිනවා’ කිව්වාට වරදක් නැහැ. තව විඳීම් තියෙන්න පුළුවන්, පොතේ තියෙනවා ‘අදුක්ඛම සුඛ’ කියා විඳීමක්. අප එය නොදන්නා නිසා පැත්තකින් තියා දන්නා තැනින් පටන් ගනිමු. හොඳින් බලන්න දුක-සැප දෙක විඳින්නේ නැති වේලාවක් තියෙනවා ද? මාත්‍රාව අඩු වෙන්න පුළුවන් දුකේ මාත්‍රාව ගොඩක් අඩුයි, නැතිනම් සැපේ මාත්‍රාව අඩුයි, නමුත් කිසියම් මාත්‍රාවකින් (0.00001 කින් හරි) විඳීමක් තියෙනවා. මෙයයි පළමු කාරණය.

සිතීම

බලන්න දෙවන කාර්යය කුමක් ද කියා. ඒ විඳීම් ගැන ‘සිතීමයි’ අනිත් කාරණය. විඳීම් ගැනමයි කල්පනා කරන්නේ. විඳිනවා සිතනවා, සිතනවා විඳිනවා. කෙනෙකු ජීවිතයේ වෙන මොනවා නොකළත් සිතීමයි විඳීමයි, විඳීමයි සිතීමයි කර තිබෙනවා. ඉපදුන ගමන් මිය ගියත්, ජීවත් වුණේ එක මොහොතක් පමණක් වුවත්, වෙන මොනවා නොකළත්, විඳීම, සිතීම සිදුකර තිබෙනවා. මේ දෙකට තමා අප ජීවත් වෙනවා කියන්නේ. විඳීමටයි, සිතීමටයි, සිතීමටයි, විඳීමටයි. එයින් පිට ලොකු ජීවිතයක් නැහැ. හොඳින් බලන්න. කළ දේවල් ගැන සිතා විඳිනවා. කරන්න බැරි වු දේ ගැන සිත සිතා විඳිනවා. අනිත් අය කළ දේවල් නිසා, කියන දේවල් නිසා විඳිනවා. නොකියන, නොකරන දේවල් නිසාත් විඳිනවා. විඳීමෙන් පසුව සිතනවා. මේ විඳීම් සහ සිතීම් දෙකෙන් මනුෂ්‍යයා පිරී ඉතිරී ගොස් තිබෙන්නේ. ඒ නිසා වන්නට ඕනේ මේවාට ‘ස්කන්ධ’ කියා කියන්නේ. කඳු වගේ ගොඩ ගැසෙනවා. මේ කාරණය හොඳින් මෙනෙහි කරන්න, සොයා බලන්න හොඳ කමටහනක්. මෙය ඇත්තක්ද? එසේ නොවන වේලාවල් (විඳින්නෙත් නැති, සිතන්නෙත් නැති වේලාවල්) තියෙනවාද? සිතන්න. මෙයයි මනුෂ්‍යයෙකු අතින් කෙරෙන අනිවාර්යය ක්‍රියා දෙක.

විඳීම ක්ෂණිකයි, සිතීම ඉලාස්ටික් (elastic)

අත්දැකීමක්, විඳීමක් ක්ෂණිකව ඇතිවෙනවා. සුළඟ ඇඟේ වදිනකොට ම සීතලක් දැනෙනවා. එවිට “මම සීතල විඳින්න ඕනේ” කියා, සිතන්න වේලාවක් නැහැ. නැතිනම් වෙන යමක් විඳින්න ඕනේ කියා සිතා, තෝරා බේරා ගන්න වේලාවක් නැහැ. අපේ සිතීමට කලින්, විඳීම ක්ෂණිකව ඇතිවෙන දෙයක්. නමුත් විඳිමේ බලාපොරොත්තුවෙන් යමක් කරන්නත් පුළුවන්. වායු සමීකරණයක්, විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන්න පුලුවන් “සීතල විඳින්න ඕනේ” කියා සිතා. නමුත් ඒ සිතුවිල්ල පැමිණියේ කලින් රස්නේ විඳීමේ ප්‍රතිඵලයක් ලෙස. රස්නය විඳිමින් සිටි නිසයි විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයැයි සිතුවේ. ඒ සිතීම නිසා, පසුව සීතල විඳීම වෙනම ලස්සන කාරණයක්.

අපට වෙන සිතන්න දෙයක් නැහැ. හොඳින් බලන්න, සිතා තිබෙන්නේ විඳිමින් සිටින දෙයක් ගැන, නැතිනම් විඳින්නට බලාපොරොත්තුවන දෙයක් ගැන. මෙසේ සිතීම පටුවී තිබෙනවා වින්දනයට. සාමාන්‍යයෙන් මෙසේ සිතීම තුළින් කුමක්ද වන්නේ? මේ කාරණය හොඳින් පැහැදිලි කරගන්න. සිත සිත ඉන්න වේලාවක් නැහැ විඳිනවා. වින්දනය ඇතිවෙන්නේ ක්ෂණිකව. පසුව තමා ඒ ගැන සිතන්නේ. වින්දනය ගැන, විඳීම ගැන සිතන්න පුළුවන් පැය  ගණනක්, දවස් ගණනක්. නමුත් වින්දනය ක්ෂණිකව ඇතිවෙන්නත්, ක්ෂණිකව නැතිවෙන්නත් පුළුවන්. ගින්දරක් ළඟට යන විට රස්නයක් දැනුණත් ඒ ගැන සිතන විට රස්නය නැහැ, නමුත් ඒ රස්නය විඳීම ගැන සිතමින් ඉන්න පුළුවන්. හිතවතුනි සිතීමට සීමාවක් නැහැ, කාලය පැත්තෙන් සීමාවක් නැහැ. වින්දනයට සීමාවක් තිබුණාට සිතීමට සීමාවක් නැහැ. සිතීම ඕනෑ තරම් ඇදගෙන යන්න පුළුවන්. නොකැඩෙන රබර් පටියක් (elastic band) වගේ ඔහේ අදින්න පුළුවන්.

මුලින්ම ක්‍රියා දෙකක් ගැන කථා කළා, සෑම විටම කරන විඳීම සහ සිතීම කියා. සාමාන්‍යයෙන් කෙසේද සිතන්නේ වින්දන සම්බන්ධයෙන්. වින්දනය සතුටක්, සැපක්, සොම්නසක්, සුඛයක් නම් සිතන්නේ එක් ආකාරයකට. වින්දනය අසතුටුදායක නම් සිතන්නේ තවත් ආකාරයකට. අප දන්න, ලේසියෙන්ම දැනගන්න පුළුවන්, විඳිම් වර්ග දෙක නම්, දුක සහ සැප. මොනවා වින්දත් ඒ ගැන සිතන්නේ දෙයාකාරකට. සැපකදී සිතනවා “තියාගන්න අවශ්‍යයයි, කොපමණ හොඳ ද, පෙර පිනක ප්‍රතිඵලයක්, දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක්” ආදී ලෙසින්. “කොතරම් පුණ්‍යවන්ත ද, ආශිර්වාද ලත් කෙනෙකු ද” කියා සිතනවා සැපකදී. මේ සිතිවිලි වලින් නවතින්නේ නැති නමුත් දිගින් දිගටම සිතීමට මෙම සිතුවිලි තමා මූලික පදනම වන්නේ ඒ කල්පනාවට (සිතීමට). විඳින්නේ අසතුටක්, දුකක් නම් “කෙසේද එයින් ගොඩ එන්නේ” කියා සිතන අතරම ඇයි මෙහෙම වුණේ කියාත් සිතනවා. එසේ සිතනවිට අප අසා ඇති කතන්දරත් මෙයටම එකතු කරගන්නවා. “පෙර පවක්, පෙර අකුසල කර්මයක්” කියා අසා ඇති නිසා එසේ සිතනවා. කාල විපත්ති ගැන අසා තිබෙනවා නම් අභාග්‍ය සම්පන්න කාලවල පෙර පින් තිබුණත්, පෙර පව් අඩු වුණත් කරදර වෙන්න පුළුවන්, “මේ කාලේ හැටි නිසා” කියා සිතනවා. නැතිනම් “මේ දේශයේ හැටි” කියා සිතනවා. “මේ රටේ හැටි” (කොයි රටේ වුණත් එහෙම වෙන්න පුළුවන්.) කියා සිතනවා. නැතිනම් “මෙය අපට දුන් දඬුවමක්” , එසේත් නැතිනම් “කාලකණ්ණිකමට සිදුවන දෙයක්” කියා සිතනවා. මේ ආකාරයෙන් හෝ මෙයට ආශ්‍රිත වෙනත් සිතුවිලි හෝ එනවා. මේ ප්‍රශ්නය විසඳගන්නේ කොහොමද කියා සිතන අතරම  කොහොමද මේ ප්‍රශ්නය ඇතිවුණේ කියාත් සිතනවා. අලුත් විඳීමක් එනතුරු සිතනවා. මෙයින් පිට සිතීමක් තිබෙනවා ද? අලුත් විඳීමක් ආවාම අර සිතීම අතහරිනවා. අතහැර මේ අලුත් විඳීම අල්ලාගෙන ඉන්පසු නැවතත් මේ ආකාරයෙන් ම සිතනවා.

මතක්වන විට වන්නේ කුමක්ද? මතකයට පැමිණෙන්නේ පරණ විඳීමක්, (සිදුවීමක් යනු විඳීමක්) පරණ අත්දැකීමක්. ඒ සමඟම නැවත සිතන්න පටන් ගැනීමක් සිදුවෙනවා. විඳිනවා සිතනවා. මතක් වුණාමත් ආයේ විඳිනවා. අතීත වින්දනය වෙන්න පුළුවන්, නැතිනම් අලුත් වින්දනයක් වෙන්නත් පුළුවන්, එසේත් නොමැතිනම් එදා සතුටක් වින්ද දෙයක් මතක් වනවිට පසුතැවිල්ලක් විඳින්නත් පුළුවන්, මේ ආදී ලෙසින් කුමක් හෝ විඳීමක් සිදුවෙනවා, අතීත අත්දැකීමක් මතක් වීමෙන්. දැන් විඳින දේට අනුව සිතනවා. මේ ආකාරයෙන් මිසක, සාමාන්‍ය‍යෙන් පේන්නේ නෑ, වෙනත් මානයක හෝ වෙනත් පාරක යන සීතිමක් තිබෙනවා කියා පුහුදුන් සිතක.

සිරකරුවෙකු වීම

මේ ආකාරයෙන් සිතන්න සිතන්න වන්නේ කුමක්ද?  තව තව ඒ විඳීම ඇතුළේ සිරවීම හෙවත් විඳීමෙහි සිරකරුවෙකු බවට පත්වීම. සතුටේදී මෙන්ම අසතුටේදී ද සිදුවන්නේ,  විඳීමේ සිරකරුවෙකු බවට විඳින කෙනා පත්වීමයි. තියාගන්න හදන විඳීම හෝ නැති කරගන්න හදන විඳීම නිසා වන්නේ සිතන්නා විඳීමෙහි සිරකරුවෙකු බවට පත්වීමයි. විඳීම නම්වූ සෛල බිත්තියෙන් වට වූ පටු අවකාශය (සෛලය) තුළ අප සිතමින් සිටිනවා. ඕන තරම් සිතන්න පුළුවන්, සිතෙන් ඕන තරම් දුර යන්න පුළුවන්. කොපමණ දුර ගියත් අප ඉන්නේ අර විඳීම නමැති සෛල බිත්තියට කොටුවෙලා. සූත්‍ර අරගෙන සිතන්න පුළුවන්, අභිධර්මයෙන් සිතන්න පුළුවන්, වෙනත් දාර්ශනික කාරණා වලින් සිතන්න පුළුවන්. සිතමින් මොන තරම් ඉහළට ගියත් (සිතමින් මොන තරම් උඩට හා ඉහළට ගොස් සිටියත්) සැබෑවටම අප සිටින්නේ විඳීම නමැති සෛල බිත්තිය ඇතුළේ. ඒ දෙයාකාර සිතිවිලි බැහැ අපව එයින් එළියට ගන්න.

මේ සිතීම විඳීමටත්, විඳීම සිතීමටත් එකිනෙකට උදව් කරනවා. එයා මෙයාට උදව් කරනවා, මෙයා එයාට උදව් කරනවා. ඉතින් අප මේ දෙන්නා මැද්දේ සිරවී සිටිනවා.එක පැත්තකින් විඳීම, අනිත් පැත්තෙන් සිතීම,  මේ දෙකට මැද්දෙන් අප සිරවෙලා සිටින්නේ. හිතවතුනි, මෙසේ කියන විට “ආ ඇත්ත තමා” කියා සිතෙන්න පුළුවන්. මේ කාරණය අප අප විෂයෙහි අත් නොදුටුවාට අන් අයගේ ලෝකයේ සිදුවන්නේ එය බව අපට පැහැදිලි වෙනවා ඇති. කවුරුන් හෝ මුණගැසුණු විට ඔහු හෝ ඇය කථා කරන්නේ විඳින දේ. ඔහුගේ හෝ ඇයගේ වින්දනය ගැනයි කථා කරන්නේ. රට, ජාතිය, ආගම ගැන කතා කළත්, කෙනෙකු ගැන, අව්ව, වැස්ස ගැන වුවත් කථා කරන්නේ තමන්ගේ විඳීම ගැන. හොඳින් බලන්න වින්දනයක් මුල් කරගෙනයි මේ කතාව යන්නේ.  යමෙකු සතුටුදායක වින්දනයක් මුල් කරගෙන කතා කරනවා නම් අප සුබ පතනවා, “ආ හොඳයි” කියා. “’අයියෝ මට වෙච්චදේ, කරදර කෙළවරක් නෑ, මොන කරුමයක් ඵල දෙනවාද දන්නේ නෑ, ඇයි දෙවියන්වත් මගේ දිහා බලන්නේ නැත්තේ” කියමින් අසතුටුදායක වින්දනයක් මුල් කරගෙන නම් කතා කරන්නේ අප“ හරි කණගාටුයි වෙච්චදේට” කියා කණගාටුව ප්‍රකාශ කරනවා. එසේ නැතිනම් උපකාර කරන්න උත්සාහ කරනවා, ඒ අසතුටුදායක විඳීමෙන් නිදහස් වෙන්න.

සීනිබෝල නිදහස

උදව් කරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් නම් වින්දනය වෙනස් කරගන්න උදව් කිරීම. දුක වෙනුවට සතුට ඇතිවන වින්දනයක් අත්දකින්න උදව් කිරීම. කුඩා ළමයෙකු අරන් බලමු. එයා හඬමින් එයාගේ ගැටළුව කියනවා, බැන්නා කියා, ගැහුවා කියා. කිසියම් විඳීමක් මුල්වීමෙන් ඇතිවන සිතිවිල්ලක් නිසා එසේ කියමින් හඩන්නේ. එතනදි “මේ ටොෆි එක කන්න”, “මේ පළතුර කන්න”, කියා ළමයා කැමති දෙයක් දෙන්න පුළුවන්. අකමැති දෙයක් දෙන්නේ නැහැ. (අකමැති දෙයක් දෙනවා කියන්නේ වෙනම කාරණයක්.) කැමති දෙයක් තමා දෙන්නේ. මෙහි මූලධර්මය (ධර්මතා) නොසිතා  වුවත් කුමක්ද අප එතනදි කරන්නේ? එම පළතුර හෝ ටොෆිය ළමයා ගත්තොත් එයාට අලුත් වින්දනයක් ලැබෙනවා. දුක් වින්දනය වෙනුවට සතුටු වින්දනයක් ලැබෙනවා. ළමයාගේ ප්‍රශ්නය ඉවරයි, ඇඬීම නැවතිලා තියෙන්නේ. ළමයා සාමාන්‍ය තත්වයෙන් වැඩ කරගෙන ඉන්නවා. මෙය හරි ලේසි දෙයක්. එනම් වින්දනයක් වෙනස් කිරීම, දුක් විඳින කෙනෙකුට සැප වේදනාවන් සලසා දීම හරි පහසු දෙයක්. ඉන්ද්‍රිය හයක් තියෙනවානේ, එසේ නොවනුනහොත් ගැටලුවක්. දුක විඳින්නේ මනෝ කියන ඉන්ද්‍රියෙන්, එසේ සිත සිතා දුක් විඳින වින්දනය ආවේ ඇසෙන් වෙන්න පුළුවන්. නැතිනම් ඇසුන දෙයක්, නැතිනම් ඇනුණු කටුවක් වෙන්න පුළුවන්. එවිට ඉන්ද්‍රියන් දෙකක්.

දුක් වින්දනය දෙන දෙය ඇසට පෙනෙන දෙයක් කියා සිතමු. (තාමත් පෙනි පෙනී තියෙන දෙයක්). මනෝ විඤ්ඤාණය එය අල්ලාගෙන කියව කියව ඉන්නවා. එම තැනැත්තා අපට කියන්නේ තමන්ගේ ඉඩමක වැටක් හෝ මායිමක් වෙනස් කරපු දෙයක් ගැන කියා සිතමු “ බලන්න අර මනුෂ්‍යයා කරලා තියෙන දේ”, එවැනි අවස්ථාවකදි අපට වෙන යමක් ඒ තැනැත්තාට පෙන්නන්න පුළුවන්. එසේ නොමැති නම් කැමති දෙයක් ඇසෙන්නට සලස්වන්න පුළුවන්. කැමති කතාවක්, ගීතයක් අසන්න දෙන්න පුළුවන්. කථා කරන්න කැමති කෙනෙකු සමඟ කථා කරන්න දෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම කරන්නේ අලුත් සතුටුදායක වින්දනයක් ඒ තැනැත්තා තුළ ඇති කිරීම. සුවදායක වින්දනයක් ඇති කරන්න අප හේතුවක් වෙනවා.

“ලෝභයෙක්, මසුරෙක්” කියා යහළුවෙකුට බණිනවා කියා සිතමු. එවිට බැණුම් ඇසූ කෙනාට කියන්න පුළුවන් “ඔයා මෙහෙම පරිත්‍යාග කරලා තියෙනවා, මෙච්චර දන් දීලා තියෙනවා මතක නැද්ද” කියා මතක්කර දෙන්න පුළුවන්. එවිට එයාගේ සිතේ ඇති වෙනවා සතුටු වින්දනයක්. එසේ ඇති වුණොත් පමණයි, බැණුම් අහලා ඇතිවුණු අසතුටුදායක වින්දනයෙන් එළියට එන්න පුළුවන්. සමහරවිට “ඒ මොනවා කිව්වත් වැඩක් නෑ” කියා ආපසු අසතුටු වින්දනයටම එන්න පුළුවන්. මොන දේ කිව්වත්, මොන රසවත් කෑම දුන්නත්, මොන ගීතය අසන්න සැලැස්වූවත්, මොන සුන්දර දර්ශනයක් පෙන්නුවත් සමහර අය සිටිනවා නැවත නැවත අර අසතුටුදායක වින්දනය ඇතුළටම යන. එවැනි තත්වයකට තමා ‘විෂාදය’ (‘depression’) කියා කියන්නේ, එය වෙනම ප්‍රතිකර්ම අවශ්‍ය තත්වයක්. එවැනි අය හැර සාමාන්‍යයෙන් වරක් දෙවරක් උත්සාහ කරනවිට අසතුටුදායක වින්දනය වෙනුවට සතුටුදායක වින්දනයක් ඇතිවෙනවා. එසේ ඇති වුණාම දුක්ඛදායක වින්දනය අමතකවෙලා යනවා. වින්දන දෙකක් එක්වර විඳින්න බැරි නිසා, සතුටවල් දෙකක් එකවර විඳින්නත් බැහැ, දුක්ඛ වින්දන දෙකක් එකවර විඳින්නත් බැහැ, සතුට සහ දුක කියන වින්දන දෙකත් එකවර විඳින්න බැහැ. හැබැයි නැවත මතක් කළොත් සුසුම් හෙලා එම දුක්ඛදායක මානසික මට්ටමට නැවත පැමිණිය හැකියි. ඒකෙන් ගලවා ගන්නත් නැවත අලුත් සතුටුදායක වින්දනයක් දෙන්න පුළුවන්. ‘සීනි බෝලයක් දීම’ වැනි ලේසිම ක්‍රමය, පහසුම ක්‍රමය තමා වින්දනයක් ඇතුළේ සිරවී සිටින කෙනෙකුව එළියට ගන්න.   

මෙම මූලධර්මය දන්න කෙනෙකුට අනිත් පැත්තටත් කරන්න පුළුවන්. කෙනෙකු සන්තෝෂයෙන් සිටීම දරාගන්න බැරි අසත්පුරුෂයෙකුට පුළුවන් එම සන්තෝෂය නැති කිරීමේ චේතනාවෙන්ම දුක්ඛ වේදනාවක්, “ඔය සතුට නැතිවෙලා යන්න පුළුවන්“ කියා මතක් කරදෙන්න. මූණටම වුණත් කියන්න පුළුවන්. එවිට බැලුම් බෝලයකට කටුවකින් ඇන්නා වගේ තිබුණු සතුට නැතිවෙලා යනවා. එතනදි වෙන්නේ සතුට නැති කරන්න දුක්ඛ වින්දනයක් ඇති කරලා දෙනවා. මෙසේ දුක්ඛ වින්දනයක් ඇති කිරීමට උදව් කිරීම සාමාන්‍යයෙන් අසත්පුරුෂකමක්. එමෙන්ම දුකේ ඉන්න කෙනෙකුව සතුටුදායක වින්දනයකට ගන්නා ක්‍රමවේදය අයහපත් නම් එයින් සිදුවන්නේ පවක්, යහපත් ක්‍රමයක් නම් එමඟින් පිනක් වෙන්න පුළුවන්. යහපත් ක්‍රමවේදයකින්, දුකෙන් ඉන්න කෙනෙකුගේ සිතේ සුවදායක වින්දනයක් ඇති කිරීමට හැකියාවක් පවතීනම් එය පිනක්. දුකෙන් ඉන්න දඩයමේ යන්න කැමති කෙනෙකුව දඩයමේ එක්ක ගිහිල්ලා සතුටු කිරීමෙන් සිදුවන්නේ පිනක් නොව පවක්. පිනක් වීමට නම් චේතනාවත් හොඳ වෙන්න අවශ්‍යයයි, ප්‍රතිඵලයත් හොඳ විය යුතුයි. ගන්නාවු ක්‍රියාමාර්ගයත් හොඳ විය යුතුයි.

නව වින්දන හඳුන්වාදීමේ මෙම ක්‍රමය තමා ලෝකයට උදව් කරන්න තිබෙන සුලභම, ලාභම, ලේසිම සහ ජනප්‍රියම ක්‍රමය. මේ නිසයි කාම ලෝකය කියා කියනු ලබන්නේ. මේ කාම ලෝකයේ වෙන කුමක් කරන්නද අලුත් වින්දන හඳුන්වාදීම හැර. කාම ලෝකය නිසා එසේ කළ යුතු නොවේ, නමුත් කාම ලෝකය කියා කියනු ලබන්නේ එම නිසායි. ඇස, කන, නාසය ... මේ මොන ඉන්ද්‍රියෙන් වින්දනයක් දුන්නත් එයට තමා පංච කාම කියා කියන්නේ. මෙම therapy එක, ප්‍රතිකර්මය කෙරෙන ලෝකයකට තමා කාම ලෝකය කියා කියන්නේ. එවැනි ප්‍රතිකර්ම අනවශ්‍ය දෙයක් නොවේ. එය අවශ්‍යයයි මොනම හේතුවක් නිසා හෝ කුඩා ළමුන් අඬනවිට, (හේතුව වැදගත් නැහැ) කැමති වින්දනයක් දීමයි සිදුවන්නේ. මොනවා දුන්නොත් හා මොනවා පෙන්නුවොත් සතුටු වෙයිද? එපමණයි. මෙය තමා කාම ලෝකයේ තිබෙන ප්‍රශ්න විසඳන ක්‍රමවේදය. නමුත් විසඳෙන ප්‍රශ්නයක් නැහැ, විසඳන්න අවශ්‍යයත් නැහැ. ඉවරයක් නෑහැ, ඔහේ වින්දන මාරුකරමින් ඉන්නවා. විඳින තිත්ත රසය නැතිවෙන මට්ටමට පැණි රස තිබෙන්න අවශ්‍යයයි. කරවිල කරලක තිත්තක් කෙනෙකු විඳින අවස්ථාවක සීනි ඇටයක් දීලා බැහැ. සීනි අවශ්‍ය ප්‍රමාණයට (තේ හැන්දක් දෙකක්) දෙන්න ඕනේ. අවස්ථාවෙන් අවස්ථාවට ප්‍රමාණ වෙනස්, ප්‍රමාණය බලා දෙන්න අවශ්‍යයයි. වැඩිය දෙන්නත් බැහැ, එවිට එය තිත්ත වෙනවා. මේ ආකාරයට බලන විට හිතවතුනි, අප වින්දන ඇතුළේමයි නැවතත් හිරවෙලා සිටින්නේ.

සැප නැතිවීම

ඊළඟ කාරණය නම්, ගැටලුව තිබෙන්නේ දුක්ඛ වින්දනයකින් එළියට ඒම පිළිබඳවයි. සැප වින්දනයක කුමක්ද තිබෙන ගැටළුව? සතුටේ ඇති ගැටලුව නම් දිගටම පවතින්නේ නැතිකමයි. සතුට නමැති විඳීම ඕන තරම් කාලයක් ඇදගෙන යන්න බැහැ. සිතීම වගේ ඇදගෙන යන්න බැහැ. ඉලාස්ටික් පටියක් වගේ ඇද ඇද ඉන්න බැහැ සතුට. හේතුව මේ සතුට සහ අසතුට වෙනස්. සැපයි දුකයි එක කාසියේ දෙපැත්ත වගේ පේන්න තිබුණට, දෙක වෙනස්. චරිත ලක්ෂණවලින් වෙනස්. විඳින්න විඳින්න වැඩිවෙන දෙයක් තමා දුක, එමෙන්ම් විඳින්න විඳින්න අඩුවෙන දෙයක් තමා සැප. සිතන්න සිතන්න වැඩිවෙනවා දුක, සිතන්න, සිතන්න, නැතිවෙලා යවනවා සැප. සිතන්න පුළුවන් නමුත් දිගටම සිතන විට (සිතාගෙන සිතාගෙන යන විට) සැපයේ සිතන්න දෙයක් නැහැ, කිසි ‘ගතියක්‘ නැහැ. දුක ගැන යම් කෙනෙක් කියන විට ඉවරයක් නැහැ, කියන්න කියන්න දුකයි, එහෙත් ඉවරවෙලා කියනවා “ඔබ හොඳින් අසා සිටියා, මට හරිම සැහැල්ලුවක් දැනෙනවා” කියා. එය ඇත්ත වුවත් දුක ඉවර වෙන්නේ නැහැ. පරණ සිද්ධියක් අල්ලාගෙන නැවත නැවත සැප ගැන එලෙස කියන්න ගියාම, ඒකම කියනවිට, ඒ වින්දනය වැඩිවෙන්නේ නැහැ, නැතිවෙලා යනවා. වැඩි නොවන නිසා තමයි නැවත නැවත හෝ කියා බලන්නේ එහෙම හරි ඒ වින්දනය තියාගන්න පුළුවන්ද කියා. එහෙම තියාගන්න බැහැ, බොහොම ඉක්මනට දියවෙලා යන දෙයක් සැප. 

දුක ඉක්මනට මිදෙනවා. සැප කියන්නේ අයිස් කැටයක් නම් එය අතට ගත්තාම ඇඟේ උෂ්ණයට ඉක්මනට දියවෙනවා. කියන්න, පෙන්නන්න ගියාම දියවෙලා යනවා. හැබැයි දුක කියන්නේ එන්න එන්න මිදෙන දෙයක්. විඳින්න, විඳින්න, කියන්න, කියන්න වැඩිවෙන දෙයක්. මුල් බැසගන්න දෙයක්. මෙය තමා සරලම කාරණය.

නිදහසේ යතුර

ඊළඟ කාරණය විඳිම ගැන සිතීම වෙනස් කරන්නත් පුළුවන්. සිතීම වෙනස් කළොත් විඳීම වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සිතන්නේ, “අයියෝ මොකද වුනේ, කරුමයක්” කියායි. මෙසේ සිතන්න සිතන්න දුක වැඩිවෙනවා. තිබෙන ප්‍රශ්නෙයි, ඇතිවුණු මානසික වේදනාවයි සියල්ල එකතු වෙලා විඳීම වැඩිවෙනවා. ඒ වෙනුවට සිතන විදිහ වෙනස් කරන්න පුළුවන් නම්, සීනි බෝල ප්‍රතිකර්මයට වඩා ගැඹුරු වෙනසක් කරන්න පුළුවන්. අලුත් වින්දනයක්, එනම් තිත්තට පැණි රසක් දෙන්නේ නැහැ.  සිතීම වෙනස් කළාම තිත්ත නැතිවෙලා යනවා, පැණි රසක් අවශ්‍ය නැහැ. එය අමාරුයි, හොඳටම අමාරුයි. ලෝකයේ තිබෙන අපහසුම දේ චින්තනය විප්ලවය. වින්දනය වෙනස් කිරීම හරිම ලේසියි. සිතීම වෙනස් කිරීම හරිම අපහසුයි. හිතවතුනි, කිසියම් මට්ටමකට, කිසියම් කෙනෙකුට මේ ස්වභාවයන් පිළිබඳව දර්ශනයක් පහළවෙලා තිබෙනවා නම්, ඒ පහළ වූ මට්ටමට එයා ලෝකයට උදව් කරන්නේ, චින්තනය වෙනස් කරගන්න මිස, තිත්ත වින්දනයක් උඩින්, ජෑම්, මී පැණි ගාන්න නොවේ. ඒ ක්‍රමයට යන්නේ බොළඳ සිත් වන අතර ඒ බොළඳ සිත් කරනදේ කාම ලෝකයට අවශ්‍යයයි. නමුත් මේ ධර්මතාව දර්ශනය වූ, වෙමින් තිබෙන, යම් පමණකට හෝ මේ ඥන දර්ශනය මත පදනම්ව ජීවත්වෙන කෙනෙකු කිසියම් අයෙකුට උදව්වක් කරනවිට වින්දනය කෙරෙහි අවධානයක් යොමුකරන්නේම නැහැ. අවධානය යොමු කරන්නේ චින්තනය, සිතීම වෙනස් කිරීම සඳහායි. සිතීම වෙනස් කළ විට සියල්ල වෙනස් වෙනවා. සාමාන්‍ය ක්‍රමයට සිතන්න සිතන්න වෙන්නේ වින්දනය ඇතුළේ තවතවත් සිරවීම. සිතීම නිසා බිත්තිය බැඳෙන්නේ ඇතුළෙන්, එමඟින් වින්දනයේ බිත්තිය ඝන වෙලා අප සිටින අවකාශය පුංචි වෙනවා, හිරවෙනවා, පටුවෙනවා. ඒ වෙනුවට වෙනස් ආකාරයකට සිතන්න පුළුවන්. එසේ සිතුවාම පරිවර්තනයක් වෙනවා. සිතන්න පුළුවන් ආකාර කිහිපයක් තිබෙන බවත්, එය පසුව කථා කරමු කියාත් කලින් කියා තිබෙන අතර අද ද එය පසුවට කල් දමමු. චින්තනය තුළයි යතුර තිබෙන්නේ, වින්දනයේ නොවේ. එය හඳුනාගෙන වින්දනයට ඔහේ ඉන්න අරින්න. එයට ඇඟිලි ගසන්න යන්න එපා. චින්තනයයි වෙනස් කල යුත්තේ. හොඳයි හිතවතුනි, වැඩිපුර කතා නොකරන නමුත් මෙය වැදගත් ධර්මතාවයක් මතු කරගත යුතු, අනාවරණය කරගත යුතු දෙයක් නිසයි නැවත නැවතත් කිව්වේ. මෙය අවධාරණය කරන්න අවශ්‍ය නිසයි.

භාවනාව

මේ මතුවුණු ධර්මතාව ගැන අප ටිකක් නිහඬව මෙනෙහි කර බලමු. මුලින්ම අප කරන්නේ, සිතීමයි විඳීමයි, විඳීමයි සිතීමයි ද එයින් පිට යමක් කෙරෙනවා ද? සැප විඳිනවා, දුක් විඳිනවා ඇත්ත ද? සැපේදි තියාගන්න හදනවා, දුකේදි නැති කරන්න හදනවා කියන කාරණය ඇත්ත ද?. මෙයට අප අහලා තියෙන දැනුමින් අර්ථකතන දෙනවා ද? මේ කර්මයක්, දඬුවමක්, ත්‍යාගයක්, නැතිනම් සමාජයේ වැරැද්ද නිසා, කාල විපත්ති, දේශ විපත්ති, මෙහෙම දැනුම මුල්කරගෙන ඒ විඳිම් ගැන අප සිතනවා කියන එක ඇත්ත ද? එහෙම ඒවා වෙනවා ද? මේ කාරණා ගැන හිතවතුනි අපි ස්වල්ප වේලාවක් අපේම අත්දැකීම් ඇසුරින් සොයා බලමු.   

ඒ සොයා බැලීමත් සමඟ, සොයා බලමින් ම, සොයා බැලීමේම තවත් අදියරක් ලෙස සාකච්ඡාවට පිවිසෙමු. සාකච්ඡාව කියන්නෙත් දැනුමට කරන ඇසීමක් හා උත්තර දීමක් නොවේ. දැකීම සඳහායි සාකච්ඡාව. හිතවතුනි අසන්න කියන්න දෙයක් වේ නම්, මේ ඒ සඳහා වේලාව.  

සාකච්ඡාව 

ප්‍රශ්නය : සිතීම වෙනස් මානයකින් බලනවා කියන්නේ , අපි දුක්ඛ වේදනාවක් අත්විඳින විට උදාහරණයක් විදියට හිසරදයක් ගත්තොත් අපි කරන්නේ ඒක සංවේදනයක් විදිහට පමණක් අරගෙන සංස්කාර වලට යන්නෙ නැතිව මේක කිසියම් සංවේදනයක් විදියට ගන්න එක ද? 

පිළිතුර : එහෙම හිතන්න පුළුවන්. ඒක එක විදිහක් අපට හිතන්න පුළුවන් සහ හිතන්න ඕන. වින්දනය ගැන හිත හිතා ඉන්නවා නෙමේ ඇත්තටම මේ වින්දනය මොකක්ද මෙතන අත්දැකීම කුමක්ද කියා ඒ’ දිහා බැලීම. එතන චේතනාත්මකව ඒ සිතීම ඇතිකරගන්න ඕන එහෙම නැතිව පේන්නේ නෑ. එබඳු  චේතනාවක් ඇති කරගෙන හිත හිතා ඉදීම නවත්වා කෙලින්ම වේදනාව දිහා බලන්න පුළුවන්. ඒ විදිහට වේදනාව දිහා බැලුවම හිතීම නිසා වින්දනය පෝෂණය වීම නැතිවෙලා යනවා

ප්‍රශ්නය : විඳීම නිසා කර්ම එකතු වෙනවද?

පිළිතුර : විඳීම, මුල්ම තැන විදින්න යනකොට, නැතිනම් අප කියනවා ක්ෂණිකව විඳීම ඇති වෙනවා කියා, හිතන්න කලින් විඳීම එනවා කියා, එය විපාකයක් මිස කර්මයක් නොවේ. එහෙම වින්ඳ කියා කර්මයක් වෙන්නේ නෑ. හැබැයි ඒ ගැන හිත හිතා විඳින්න යනවිට ඒ හිතන විදිය අනුව අලුත් කර්ම ඇති කරගන්නවා කුසල හෝ අකුසල කර්ම. කිසිම කර්මයක් ඇති නොවන විදිහට හිතන්නත් පුළුවන්.

ප්‍රශ්නය : විඳීම විපාකයක් කියන්නේ එතන තියෙන්නෙ දැනීමක් ද?

පිළිතුර : නෑ, එය ක්‍රියාවක ඵලයක්. අපි හිතමු රස්න කෝප්පයක් ඇල්ලුවොත් ඒ ඇල්ලීම තමයි ක්‍රියාව. එකේ විපාකය තමයි අත පිළිස්සීම හා විසිවීම, විඳීම ප්‍රතිඵලයක් මිස කර්මයක් නොවේ. එතැනදී අත පිච්චුනා කියා පවක් වෙන්නෙ නෑ. දන්නේ නැතිව රස්නේ කෝප්පයක් ඇල්ලුවාම දන්නේ නැතිව ඇල්ලීමෙන් කර්මයක් වෙන්න පුළුවන්, අප හොයලා බලන්නෙ නෑ, සිහිය නෑ. ඉතින් එහෙම සිහිය නැතිව කරන්න යෑම තුළ අලුත් කර්ම කරගන්නවා. හැබැයි එහෙම කරන්න ගිහින් මොකක් හරි අනතුරක් උනහම ඒකෙන් කර්මයක් වෙන්නේ නෑ, අනතුර කර්මයක් වෙන්නේ නෑ. එය විපාකයක්. 

ප්‍රශ්නය : Self awareness එකෙන් විඳින එක අඩු වෙනවද නැත්නම් නතර කරන්න පුලුවන්ද?

පිළිතුර : තමන් පිළිබඳ ඇති කරගන්න සතියෙන් (Self awareness) විඳීම අඩු වෙනවා නොවෙයි ඒ විඳීම වැඩි වෙන එක නවතිනවා, විඳීම එක්තරා තැනකින් එහාට යන්නෙ නෑ. එසේ සොබාවිකව නතර වෙන්න දෙන්නේ නැතිව හිත හිතා ඉන්න ගියාම ඒ විඳීමට පොහොර වැටෙනවා. හැබැයි සදහටම ඇවිලෙන වින්දනයක් නෑ. එක්තරා මට්ටමකට යනවා. සිහියෙන් සිටීම තුළ සිතීම නවතිනවා. හිතන්නයි බලන්නයි දෙකක් බෑ. දැනුමයි දැකීමයි එකට යන්නෙ නෑ. දකින්න පටන් ගත් ගමන්ම දැනුම නවතිනවා. දැනුම නැවතුන ගමන් ඒ ඇතිවුන වින්දනය ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ඇති වුනා නම් ඒ හේතු නැති වෙන විට ඒ වින්දනයත් නැතිවෙලා යන්න ඕන. වින්දනය ඇදගෙන යන්නේ සිතීමෙනුයි, මුල්ම වින්දනය ඉවරයි, හිතින් හදාගෙන තමයි නැවත නැවත හිත හිතා ඇදගෙන යන්නේ. සිහිය නිසා එය නවතිනවා. එනිසා තමන් පිළිබඳව තමන්ගේ විඳීම් ගැන ඇති කරගන්න සිහිය ඉතාම වැදගත්.

ප්‍රශ්නය : අපි ඉගෙනගෙන තියෙනවා dimension returns කියලා. එක තැනකදි සංතෘප්ත අගයක් බව ආවට පස්සෙ එකේ returns ඔක්කොම අඩුවෙලා යනවා. ඒක දුකට නැත්තේ ඇයි? දුකට  සංතෘප්තතාවයක් තිබිලා අඩුවෙන්නේ නැද්ද?

පිළිතුර : දුකට ඇයි උපරිම තැනක් නැත්තේ?, ඒක තමයි ප්‍රශ්නය. සතුටට සීමාවක් තියෙනවා, එය දියාරු වෙන ගතියක් එනවා, සතුටේ උණුසුම අඩු වෙලා යනවා. හැබැයි  දුකේ තත්ත්වය වෙනස්. ඒ නිසා තමා සඳහන් කළේ “සැප සහ දුක එකම කාසියේ දෙපැත්තක් වගේ” කියා කියු විට එය ඇත්තක් වුණත් එය සර්වසම නෑ. සැප සැපයි, දුක දුකයි. සැපේ සෑම ලක්ෂණයක්ම දුකේ නෑ,  දුකේ හැම ලක්ෂණයක්ම සැපේත් නෑ. මේ දෙකටම පොදු ලක්ෂණයක් තමා ඇතිවෙලා නැතිවෙලා යාම. නමුත් දුක වැඩි වීමේ ඉවරයක් නෑ. සැප එහෙම නෑ. ඊළඟට දුක පවතින කාලය වැඩියි, සැප පවතින කාලය අඩුයි. ඒ නිසා තමා දුක කියන ප්‍රශ්නයට විසඳුම සැප නොවන්නේ. එහෙම නොවුනා නම් දුක කියන ප්‍රශ්නයට හොඳම සහ එකම විසඳුම සැප.

ප්‍රශ්නය : ශෝකයක් කණගාටුවක් ඇති වුන අවස්ථාවක එය විඳින්න විඳින්න එහි දුක වැඩි වෙන තත්ත්වයට පත්වෙනවා. එතකොට මේ තත්ත්වයෙන් මිදෙන්න යම් කිසි කෙනෙක් හිතනවා නම්,

  1. මේ දුක අෂ්ඨ ලෝක ධර්මයේ අවස්ථාවක් විදියට - දැන් මේ එන්නෙ නරක කාලයක්, අපි ඒවාට අභියෝග කරන්නේ නැතිව ඉන්න ඕන,ඒවාට කම්පා නොවෙයි ඉන්න උත්සාහ කරනවා.

  2. මේ ප්‍රතික්‍රියාව යම්කිසි හේතූන් ටිකක් නිසා ඇතිවුණු ප්‍රතිඵලයක්. එයට මැදිහත් වීම තුළ තව තවත් අලුතෙන් කර්ම රැස් කිරීමේ සිද්ධවෙන්න පුලුවන්.

  3. ඉවසීමෙන්  මූණ දෙන්න බලනවා.

 කියන මේ ක්‍රම තුනෙන් පිළිතුරක් ලබාගත හැකි නේද?

පිළිතුර : මේ විකල්ප චින්තන ක්‍රම තුනෙන්ම කරන්නේ දිගට සිත සිතා සිටීම නවත්වා, ඒ වෙනුවට මේ මොහොතේ අප කළ යුතු ස්ථානෝචිතම දේ කුමක්ද කියලා හඳුනා ගෙන ඒ අනුව ක්‍රියා කිරීමක්. එහෙම සිතීම අත්‍යවශ්‍යයි, එය බොහොම ප්‍රඥාවන්ත හිතීමක්.

අත් දැකීමක් : මට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. එතනදී  මම ගොඩක් මානසිකව කඩාගෙන වැටුණා. එතැනදී මම කල්පනා කරා “ඇයි මට මේ දුක ඇතිවෙන්නේ” කියලා. එවිට මට තේරුණා මේවා මම හිතින්ම ඇති කරගෙන ( සංඛාර)  දුක්විඳින්නේ, ප්‍රශ්නයට විසඳුම මේක නොවෙයි කියලා. නමුත් මම කරන්න ඕන නැති දෙයක් තමයි කරන්නේ,තව තව හිතමින් විඳීමක් තමයි කරන්නේ. ඉතින් මම එහෙම දිගටම හිතන එක නවත්වලා ප්‍රශ්නයට විසඳුම මොකක්ද කියලා විතරක් හිතන්න පටන් ගත්තා. එයින් මට ලොකු සැනසීමක් ලැබුණා. ගුරුතුමාටත් බොහොම පින් ඒ විදිහට හිතන්න හුරු කිරීම සම්බන්ධයෙන්. 

පිළිතුර : බොහොම ස්තූතියි අත්දැකීම් බෙදා හදා ගත්තාට. මෙය තමා ප්‍රඥාව. මෙය තමා ඥාන දර්ශනය කියන්නෙ. අප හිත හිතා ඉන්නවා. එහෙම හිත හිතා සිටින විට තේරෙන කාරණය තමා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ, තව අතුරු ප්‍රශ්න ගොඩක් එකතුවෙලා ප්‍රශ්න වනාන්තරයක් බවට පත්වෙන බව. ප්‍රශ්නය එක ගහක් නම් ඒ ගහ කැපුවාම ඉවරයි. දැන් ප්‍රශ්න වනාන්තරයක් වූ පසු පලවෙනි ප්‍රශ්නය කුමක්ද දෙවැනි ප්‍රශ්නය මොකක්ද කියා තෝරා බේරා ගන්න බැරිව එක ප්‍රශ්නයක්වත් විසඳගන්න බැරිව අප ප්‍රශ්න වනාන්තරයේ අතරමං වෙනවා. සාමාන්‍යය චින්තනයෙන් වෙන්නේ සිතීම් වනාන්තරයක වල්මත් වීම.

එම නිසා පළවෙනි කාරණය තමා, විඳින අවස්ථාවක ඉන්නවා නම් ඒ සිතීම නවත්වන්න. තත්පරයකට හරි ඒ සිතීම හිතාමතා නවත්වන්න. එහෙම නැවැත්තුවාම අලුත් තැනකින් හිතන්න පටන් ගන්න පුළුවන්. එහෙම නැතිනම් කොහොම හිතුවත් එකතැනමයි කැරකෙන්නේ. එය නවත්වන්න තමයි සමථ භාවනාවක් කරන්න පුහුණු කර තියෙන්නේ. හුස්මට සංවේදනාවට ඇහෙන දේට හිත ගේන්න, ඒ විදිහට හිත ගෙනවිත් අර එකම විඳීම වටා කරකැවෙන චින්තනය නවත්වා දමන්න. නැවුම් හිතකින් හිතන්න ඕන “කුමක්ද  කළයුත්තේ ” කියා. එතන ප්‍රායෝගිකව කියන්න කරන්න අහන්න දෙයක් තියෙනවා, සමහරවිට කරන්න කිසිම දෙයක් නෑ, නිහඬව සිටීම පමණයි අවශ්‍යය, එසේ නිහඩව සිටීමත් ක්‍රියාවක්. ඒවගේම ඉවසන්නත් පුළුවන්. අන්න එතනට තමයි එන්න ඕන. ඥාන දර්ශනය යන්නේ එතනට. දැනුම කරන්නේ ඔහේ හිත හිතා සිටීම. 

ප්‍රශ්නය :  ශාරීරික වේදනාවක් ගත්තොත්, එහි ස්වභාවය ගැන දකින්න පුළුවන් නම්, එතන වේදනාවක් කියන හැඟීම නොවෙයි තියෙන්නේ, ඒ ගැන කිසියම් කුතුහලයක් වගේ දෙයක් තියෙන්නේ “ වේදනාව මෙහෙමයි තියෙන්නෙ” කියා. එයින් හිතේ ස්වභාවය ගැන ලොකු අවබෝධයකුත් ලැබෙනවා. ඒ වාගේම තරහක් කලබලයක් වගේ දෙයක් ආවොත් විඳිනවා නම් ඒ තරහ දිහා බලාගෙන “ඇයි මට මේ තරහ එන්නේ” කියල බලන්න ගියොත් එහි ස්වභාවය හොඳට දැන ගන්න පුළුවන්. ඒක මේ මාර්ගයේ ඉදිරියට යන්න ගොඩක් උදවු වෙනවා නේද? 

පිළිතුර : අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඔය කාරණය ධම්ම විචය සම්බොජ්ඣංගය වගේ කාරණයක්. ධම්ම විචය සම්බොජ්ඣංගය ඇතිවෙන්නේ  ඔය විදිහට විමසීමෙන්නේ. විඳීමක ( කායික හෝ මානසික) ස්වභාවය බලන්න ගියාම අපට ධර්මතා ( අනිච්ච විපරිනාම වගේ) පේනවා. ඒ ධර්මතා පේන විට මනෝ විඤ්ඤාණයේ ඇතිවෙනවා නිරාමිස සුවයක්. ඒ විදියට නිරාමිස සුවයක් ඇතිවෙන විට අපේ කායික වේදනාව කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන හොඳම දේ තමා ඒ විඳීම දිහා බැලීම, විඳීම හරහා ධර්මතා අවබෝධ කරගැනීම. ඒ ක්‍රියාමාර්ග ඉතාම වැදගත් සිත සිතා ඉන්නවාට වඩා.

ප්‍රශ්නය : අපි භාවනා ගමනක් යන නිසා චින්තන රටාවේ වෙනසක් ඇති කරගන්න ඕන නේද?

පිළිතුර : අනිවාර්යෙන්ම ඕන. නැත්නම් අප චින්තන එකක දෙකක වගේ හිර වෙලා ඉන්නවා, සැප වින්දනය තියාගන්න හිතනවා දුක් වින්දනය නැති කරන්න හිතනවා, ඔය දෙකෙන් පිට තුන්වන චින්තනයක් නම් සාමාන්‍ය හිතකට නෑ. එනිසා අලුත් චින්තනයක් හොයාගන්න ඕන. එතකොට මේ අලුත් චින්තනය පරණ චින්තන දෙකෙන් මිදෙන්න මිස අලුත් චින්තනයේ හිරකාරයෙකු වීමට නොවේ.. උපමාවකින් කියනවා නම්, ගලවන්න බැරි පරණ ඇණයක් ගලවන්න අනිත් පැත්තෙන් අලුත් ඇනයකින් ගහනවා. එවිට පරණ ඇණ බුරුල් වෙනවා. හැබැයි අලුත් ඇණය හිරකරගන්න නොවේ මේ ගහන්නෙ. එහෙම හිර උනොත් ආයෙත් ප්‍රශ්නයක්. මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. එම නිසා පරණ චින්තනයෙන් ගැලවෙන්න අලුත් චින්තනයක් ඕන පරණය ඇණය ගලවන්න අලුත් ඇණය උදව් කර ගන්නවා වගේ.

ප්‍රශ්නය : භාවනා ජීවිතයේ ධර්මතා අවබෝධ කර ගන්නයි උපේක්ෂාවයි අතර සම්බන්ධයක් තියෙනවද?

පිළිතුර : දැනුම කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න. එහෙම වුනොත් තමයි ධර්මතාව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව දැනුමට පක්ෂපාතී වුනොත්,  “මම දන්නවා”  කියලා හිතුවොත් අවබෝධයක් එන්නේ නෑ. ඊට පස්සේ ධර්මතා පේන්නේ නෑ. උපේක්ෂා කියලා කියන්නේ දැනුම පැත්තකින් තබා ඒ සිදුවීමට කිට්ටු වෙලා බැලීමට( උපේක්ෂා = ලං වී බලනවා). ලං වෙලා බැලුවොත් විතරයි සියුම් ධර්මතා පේන්නේ.

හොඳයි පින්වතුනි , මේ කතා කළ කාරණා මෙනෙහි කරන්න බලන්න. විඳීමයි සිතීමයි දෙකේ අප මොන තරම් හිරවෙලාද ඉන්නේ, ඇබ්බැහියකද ඉන්නේ. එයින් පිට ජීවිතයක් නැති තරම් නේද. ඔය දෙකෙන් එළියට එන්න. එහෙම පුලුවන් නම් ලොකු ගැලවීමක් එතන තියෙනවා. ඒ අධිෂ්ඨානයත් සමග අපි සමුගනිමු.

හැම හැම දෙනාටම, සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!