සදහම් සැඳෑව -2

2022-12-14 නැණ දසුනට තත්පරයක් - 20

ආදරණීය හිතවතුනි, සති දෙකකට පසුවයි අප අද නැණ දසුනත් සමඟ එකතුවන්නේ. සුපුරුදු පරිදි විශ්වාස කරනවා මේ කල්‍යාණ මිත්‍රයන් මේ වැඩසටහනින් ප්‍රායෝගික ප්‍රයෝජන ගනියි කියා, ඔළුව අදහස්වලින් පුරවා ගැනීම, දැනුම හඹායෑම, දන්නා කෙනෙකු වීම සහ අදහස් රසවිඳීම යන මේවාට පමණක් සීමා නොවී, ජීවිතයේ  ගැඹුරු වෙනසක් (මතුපිට නොවේ) කරගන්න මේ සදහම් සැඳෑව උපකාර කරගනියි කියා. උපකාර වන්නේ නැහැ, මේ බදාදා රෑ පැමිණ අපේ ජීවිත වෙනස් කරන්නේ නැහැ, වෙනස් කරගන්න උදව් කරනවා. ඒ උපකාරය ගන්න අවශ්‍යයයි. ඒ උදව්ව ගන්නවා ඇති කියා සිතනවා, විශ්වාස කරනවා, බලාපොරොත්තු වෙනවා.

කෙසේ හෝ පසුගිය සදහම් සැඳෑවේ සංක්ෂිප්තය සෑම දෙනාටම ලැබෙන්න ඇති, කියවන්නත් ඇති. කියෙව්වේ නැතිනම් නැවත කියවන්න. ඒ සංක්ෂිප්ත සටහනේ සියල්ල අන්තර්ගතයි, එයට එහා කියන්න දෙයක් නැහැ, කළයුතු දේ, දැනගතයුතු දේ, අත්හලයුතු දේ පැහැදිලිව තිබෙනවා. එම නිසා ඒ සටහන ප්‍රවේසම් සහිතව තබා ගෙන නැවත නැවත කියවන්න. එය නැවත නැවත කියවනවිට මුල්වරට නොඇසුණු, මුල්වර කියවන විට නොපෙනුණු, අලුත් පාරවල්, අලුත් මාවත් විවෘතවෙයි. 

ඉලක්ක - වැඩ

හිතවතුනි, අප සෑම දෙනාටම (ඔබත්, මාත්, නිල්ලඹ දේශන ප්‍රකාශන මණ්ඩලයේ සියළුම මහත්ම මහත්මියනුත් කියන මේ අප සෑම දෙනාටම) නැහැ ඉලක්ක දෙකක්. දහසක් පමණ වැඩ තිබුණත් ඉලක්ක ඇත්තේ එකයි, එතැනට එන්න අවශ්‍යයයි. ඉලක්ක දහසක් තබාගෙන නම් මේ ගමන යන්න බැහැ. මේ එතෙරවන, නිවෙන, අවබෝධය කරා යන ගමන, සංසාරයටම සමුදෙන ගමන යන්න බැහැ ඉලක්ක වැඩියෙන් තියාගෙන. ජීවිතයට එක ඉලක්කයයි අවශ්‍යය. නමුත් වැඩ වැඩිපුර තිබෙනවා. වැඩයි ඉලක්කයි දෙක මාරු කරගන්න එපා. බොහෝ දේ මාරුවී තිබෙනවා මෙන් ඉලක්ක සහ වැඩත් මාරු කරගෙන තිබෙනවා.

හැම දෙයක්ම මාරු කරගෙන තිබෙනවා. දැනුමයි - ප්‍රඥාවයි මාරු කරගෙන. ප්‍රඥාව පැත්තකට දමා දැනුමින් සෑහීමකට පත්වෙනවා. කල්‍යාණ මිත්‍රයන් - පාප මිත්‍රයන් කියන මේ දෙපිරිසත් මාරු කරගෙන. සුරූපී - විරූපී  , ලස්සන - අවලස්සන යන මේවාත් පටලවාගෙන තිබෙන්නේ. ආගම - දහම මාරුවෙලා. සිහිය - සිතුවිලි මාරුවෙලා, සිහියටයි තැන දෙන්න අවශ්‍ය නමුත් තැන ලැබිලා තිබෙන්නේ සිතුවිලි වලට. කුසලයට දිය යුතු තැන වෙනත් දේවල්වලට ලැබී තිබෙනවා. කුසලය මාරු වෙනවා කියන්නේ සියල්ල මාරු වෙනවා. මේ ආකාරයෙන් සෑම දෙයක්ම මාරුවීයි තිබෙන්නේ. 

දහම, භාවනාව වැඩක් කරගෙන තිබෙනවා. “භාවනා කරනවා”, “භාවනා කරන වේලාව”, “භාවනා කරන දවස”, “අද බණ අසන දවස” “ධර්ම සාකච්ඡා කරන දවස”, “දන් දෙන දවස” ආදී වශයෙන් මේ සෑම දෙයක්ම job එකක් කරගෙන. ආගමික කියා කියන, ආධ්‍යාත්මික කියා කියන, කරන දේවල් වල ලැයිස්තුවක් හදා බැලුවොත් පේනවා, මේවා අරගෙන තිබෙන්නේ වැඩ විදිහට, බරක් විදිහට බව. එහෙම දෙයක් සිතනවිටත් ඔලුවට බරක් එන්නේ නැද්ද? දානයක්, සිල් ගැනීමක්, භාවනා කිරීමක්, බණ ඇසීමක්, ධර්ම සාකච්ඡාවක්, වැනි දෙයක් තිබෙනවා කියා මතක් වෙනවිට ඔළුවට බරක් එන්නේ නැද්ද බලන්න. සතුටක් කොහොමත් එනවා. බරක් දැනෙනවා කියන්නේ ඒවා වැඩ කරගෙන. මේවා වැඩ නොවේ. ‘වැඩක්’ කරගන්නේ නැතිව, ‘වැඩ ගන්න’ අවශ්‍ය දේවල්. මෙවැනි දෑ වැඩක් බවට පත් නොකරගතයුතුයි. වැඩක් කරගත්විට එහි තිබෙන නිරාමිස සුවඳ, ආධ්‍යාත්මික සුවඳ නැතිවී යනවා. දානය, සීලය, භාවනාව මහා ගාලගෝට්ටියක්, ඔලුවට බරක්, සිත කලබලවීමක්, බයක්, ආතතියක් බවට පත් වී අවසානයේදී පසුතැවීමක් කරගන්නවා.

එසේම ඉලක්කයක් දෙසට යන ඊතලයක් මෙන් ජීවිතයේ තිබෙන වැඩ ඉලක්ක කරගෙන, ඒ සඳහායි ඉන්නේ කියා සිතනවා. දුන්නක් ඇදලා ඊතලයක් අතහැරියාම එය යන්නේ ඉලක්කය සොයාගෙන, වෙන කොහේවත් යන්නේ නැහැ. ඊතලයට වෙන ජීවිතයක් නැහැ. “මෙහෙට එන්න”, “අරහෙට යන්න”, “ඔහෙට යන්න එපා” කියා කවුරු මොනවා කිව්වත් ඊතලයට ඒවා ඇහෙන්නේවත් නැහැ. ඉලක්කයේ හැපිලා, ඇමිණිලා, මොටවෙලා, වැටිලා මිසක් ඊතලය තමන්ගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. ජීවිතයේ කරන්න තිබෙන වැඩ ඉලක්ක කරගත්විට ආයේ ජීවිතයක් ඉතිරි වන්නේ නැහැ. එම නිසා මේ දෙක වෙන් කරගන්න. වැඩ ‘ලෞකික’ හා ඉලක්කය ‘ආධ්‍යාත්මික’ විය යුතුයි. ලෝකෝත්තර වැඩ නැහැ, තිබෙන්නේ ලෝකෝත්තර ඉලක්ක. ලොවුතුරු ඉලක්කයක් ලබාදෙන්න ජීවිතයට. සියළුම වැඩ ලෞකිකයි. කිනම්  නමකින් කිව්වත් ඒවා ලෞකික වැඩ. ඒ ආකාරයට දකින්න. භාවනා මධ්‍යස්ථානය, ගෙදර, කොහේ කළත්, වැඩ ලෞකික ආකාරයෙන් දකින්න. එමනිසා ලෞකික ඉලක්කයක් දෙන්න එපා ජීවිතයට, ඉලක්කය ලොවුතුරු විය යුතුයි. මේ පටලැවිල්ල ලිහා ගන්න පුළුවන් නම් එතැනම නිවීම, නැවතුම තිබෙනවා.

බලවේගය

හිතවතුනි, ඊතලයක් හෝ bullet එකක් ඔහේ තිබ්බාට කවුරුවත් මුණගැසෙන්න (ඉලක්කයකට) යන්නේ නැහැ. උණ්ඩ හිටිගමන් ඈත තිබෙන ඉලක්කයක් වෙත ගොස් පුපුරා යනවා දැක තිබේද? එහෙම වෙන්නේ නැහැ. ඊතල එසේ සිතාමතා පියාඹා යන්නේ නැහැ. අවුරුදු ගණනක් වුණත් ඔහේ තිබ්බ තැන තියෙයි. මේ ඊතලවලට, bullet එකකට එහෙම ඉන්න දෙන්නේ නැත්තේ කවුද? ඊතලයකට එහෙම ඈත ඉලක්කයකට යන්න අවශ්‍ය ජවය දුන්නේ කවුද? ලීයෙන්, යකඩෙන්, රනින්, ඇටකටුවලින් මොනවායින් හැදුවත් ඊතලයකට නැහැ බලයක්. පණක් හෝ චේතනාවක් කියන මේ දෙකම ඊතලයකට නැහැ. එම නිසා නිශ්චලව තිබෙනවා. නමුත් ඉලක්කය පසාරු කරගෙන යන්නේ (මනුෂ්‍යයෙකුගේ හෝ සතෙකුගේ නම් මාරාන්තික තුවාලයක් සිදුකරන්නේ) ඊතලයට අවශ්‍ය නිසා නොවෙයි. එසේ කිරීමට හැකියාවකුත්, උවමනාවකුත් ඊතලයට නැති නමුත් එසේ සිදුකරනවා. නැති බලයක්, නැති ඉලක්කයක් දෙන්නේ කවුද? කිසිම ඊතලයකට සතෙකුව මරන්න, ගිනි තියන්න ආශාවක් නැහැ. ඒ සඳහා ආශාවක්, පුළුවන්කමක් නැති වුවත් ඊතලය එසේ කරනවා. උණ්ඩ එන්න කලින් ඊතල තමයි ඒ දෙය කළේ. දැන් bullet ඒ දෙය කළත් කිසිම bullet එකකට එහෙම බලයක් නැහැ. එසේනම් මෙහි පිටුපස හිඳිමින් කවුරු හෝ බලයක් දෙනවා. කවුරුවත් bullet එකක් ඉදිරියෙන් සිට බලයක් දෙන්නේ නැහැ. දුන්නොත් දීපු කෙනායි මුලින්ම පුපුරා යන්නේ. ඊතලයකත් පිටුපසින් සිටයි බලය දෙන්නේ. 

ඊතලය වැදී තුවාලවෙන අයටත් වැඩිය අහිංසකයි ඊතලය. නමුත් මෙලොව දෙයක් දන්නේ නැති ඊතලයයි ගිහින් මොට වන්නේ. මේ ආකාරයෙන් ඉලක්කයක් අවශ්‍ය නැති ඊතලවලට ඉලක්ක දෙන්නේ කවුද? එහෙම ඉලක්කයක් දීලා, නිවී සැනසිල්ලේ තිබෙන ඊතල මෙතනින් අතෙන්ට විදින්නේ කවුද? මෙයට වචනයකින් පිළිතුරු දෙන්න පුළුවන් ‘තණ්හාව’, ‘ආශාව’, ‘අවිජ්ජාව’ කියා. නමුත් ඊතලයක් පිටුපසින් වචනයක් නැහැ. වචනයකින්, මන්ත්‍රයකින් නොවෙයි මේ යන්නේ. එතන බලවේගයක් තිබෙනවා. ඒ බලයෙන් එයාව ආපස්සට අදිනවා. එහෙමනේ වෙන්නේ, ඊතලයත් එක්කම දුන්න ආපස්සට අදිනවා. යන්න අවශ්‍ය පැත්තට නොවෙයි අනිත් පැත්තටයි අදින්නේ. මෙය අපූරු යාන්ත්‍රණයක්. ඊතලය යන්න අවශ්‍ය පැත්තට තල්ලු කරනවා නොවෙයි, අනිත් පැත්තටයි අදින්නේ. “එපා, ඕන්නෑ” කියනවා. හිනායන කාරණයක් වුවත් ඇඬෙන කරුණක්. යන්න දෙන්නේ නැතිව පුලුවන් තරම් අදිනවා. කෙනෙකු යන්න ලෑස්ති වූ විට පුළුවන් තරම් අදින්නේ යන්න නොදී ඉන්නනේ. ඒ ආකාරයෙන් අදිමින් දිගටම අල්ලාගෙන ඉන්නේ නැහැ. එක් මොහොතක අත්හරිනවා.  මේ ආකාරයෙන් අල්ලාගෙන ඉන්නතාක් stress එකක් තියෙයි, නමුත් දුන්නයි ඊතලයයි තිබුණු තැනම ඔහේ තියෙයි, ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම කරන්නේ නැහැ, අතහරිනවා. අතහැරියාමයි එයාට ඕනෑවට වගේ ඊතලය වේගයෙන් දුවන්නේ, පියාඹන්නේ. පියඹා, දන්නේ නැති, ඊතලයට වරදකුත් නොකළ කෙනෙකුට තුවාල කරනවා.

ධර්මතා

මේ ක්‍රියාන්විතය ඇතුළේ ධර්මතා රාශියක් තියෙනවා. ඒ ධර්මතා එකක් දෙකක් හෝ හඳුනාගැනීම වටිනවා. එක් ධර්මතාවයක් නම් ඉලක්කයක් පෙන්වීම. ඊ හිසට ඉලක්කය පෙන්වනවා. එවිට ඊ හිසට පෙනෙන්නේ අර ඉලක්කය පමණයි. ගසක අඹ ගෙඩියක් ඉලක්ක කරනවා කියා සිතමු. අඹ ගෙඩියේ නටුවයි පෙන්වන්නේ. සතෙකුගේ හිස, පපුව වැනි ඉලක්කයකුයි පෙන්වන්නේ. එවිට ඊතලයට වෙන මොනවත් පෙනෙන්නේ නැහැ. ගස්, මල්, දිය ඇලි, අහස, තරු වැනි තව බොහෝ දේ තිබුණත් ඒවා පෙනෙන්නේ නැහැ ඒ වෙලාවේ, එයාට පෙන්වන්නේ අර ඉලක්කය කියා කියන දේ පමණයි. ඊතලය ඒ වෙලාවට අන්ධ වෙනවා. ඒ වෙලාවට වෙන කිසිදෙයක් පෙනෙන්නේ නැහැ. සමස්තය පෙනෙන්නේ නැහැ. අවශ්‍යනම් බලන්න එයට වඩා වටිනා ලස්සන දෑ තිබෙනවා. තේරුම් ගන්න අවශ්‍යනම් තේරුම් ගන්න තව බොහෝ දේ තිබෙනවා. නමුත් ඒ එකක්වත් එයාට පෙන්වන්නේ නැතිව ඒ සියල්ල වසා එයාට අවශ්‍ය නැති, කලින් දන්නෙත් නැති ඉලක්කයක් පමණයි පෙන්වන්නේ. මුලින් එසේ පෙන්වා පසුව “එපා, එහෙ යන්න ඕන්නෑ” කියා පස්සට අදිනවා. මෙසේ ආපස්සට අදින විට ඉලක්කය වෙනස් කරන්න දෙන්නේ නැහැ, කරන්නේ රැවටීමක්. එසේ උපරිමයට ඇද ඊතලය නොසිතන මොහොතක, දන්නෙවත් නැති මොහොතක ඊතලය අතහරිනවා. එවිට ඊතලයට කුමක්ද වෙන්නේ? “මට ඕනේ නැහැ” කියා එතන නවතින්න, එතනම වැටෙන්න බැහැ. “ඔහේ නෙවෙයි, මට අරහේ යන්නයි ඕනේ ” කියන්නත් බැහැ. මනුෂ්‍යයෙකුට දුවන්න බැරි වේගයෙන් ඊතලය පියාඹනවා. විනාඩියකටත් අඩු සුළු කාලයකින් ඊතලයට කිසිදු අවශ්‍යතාවයක් නැති විනාශයක් කරමින් ඊතලයත් විනාශ වෙනවා. හොඳින් බලන්න, සෑම ඉලක්කයක් එක්කම සිදුවන්නේ මේ ක්‍රියාවයි.

ඉලක්ක කියන දේවල් බලන්න, එහිදී යමක් පෙන්වනවා. එය පෙන්වනවිට අනිත් දේවල් බොඳ කරනවා. හොඳින් බලන්න තිබෙන ඇස් දෙකෙනුත් එකක් වසාගෙනයි ඉලක්කයක් දෙස බලන්නේ. ඇස් දෙකෙන්ම බැලුවාමයි කිසියම් දුරකට හරි නිවැරදි දර්ශනයක් දැකගන්න පුළුවන් වෙන්නේ. ඒකෙනුත් එකක් වසනවා. ඉතිරි ඇසටත් සමස්තය පෙන්වන්නේ නැහැ. බොඳකරමින් බොඳකරමින් එකක් පමණක් පෙන්වනවා. ඊතල එය කලින් දැක නැහැ. පෙන්වා ඕනෑකමක් ඇති කරනවා. අපට සිදුවන්නේ මෙයයි. දන්නෙම නැති දෙයක් අපට පෙන්වලා, ලෝකේ වෙන කිසිම දෙයක්, කිසිම කෙනෙකු නැහැ වගේ අන් සියල්ලම බොඳකර දමා එකක් පමණක් highlight කර පෙන්වනවා. එකක් පමණක් ඉස්මතුකර පෙන්වනවිටයි එය ඉලක්කයක් වෙන්නේ. එය නැතුව බැරි තැනකට, “කොහොම හරි ඕනේ” කියන තැනකට එනවා. මෙසේ ඕනෑම දෙයක් ඉලක්කයක් වෙමින් පවතින කාලයක් තිබෙනවා. ඉලක්කයක් වෙන්න කාලයක් අවශ්‍යයයි. තත්පරයක් වෙන්නත් පුළුවන්, එයට වඩා.වැඩි කාලයක් වෙන්නත් පුළුවන්, බලන්න දේවල් ඉලක්ක බවට පත්වුණේ කෙසේද කියා. අපව ඊතලයක් බවට පත්කරවන කාලයක් තිබෙනවා. ඒ ආකාරයෙන් දැපණේ වැටෙන්න කාලයක් ගතවෙනවා. එපා කියනවිට, ඕනේ නැහැ කියා වෙන පැත්තක් බලන විට නැවතත් ඒ පැත්තට ඔලුව හරවනවා. බෙල්ල රිදෙනකම් හරවනවා. ජීවිතයට ඉලක්ක කියා ගත් දේවල් වලදී මේ ආකාරයෙන් කී වාරයක් සිදුවුණාද කියා බලන්න.  මෙසේ හරවමින් හරවමින් සිට එක් වෙලාවක් එනවා (ඒ කොයි වේලාවේද කියන්න බැහැ) අපව හරවපු කෙනා අත්දෙක ගත්තත් අපට වෙන පැත්තක් බලන්න සිතෙන්නේ නැතිව ඒ දෙසම බලාගෙන ඉන්න සිතෙන (දැපණේ වැටෙන). එයින් පසුව වෙන පැත්තක් බලන්නත් බැහැ, පෙනෙන්නෙත් නැහැ. මුලින් නම් එක් පැත්තකට හැරෙව්වාම දුන්නක් වගේ ආපසු යනවා. නමුත් එක් වෙලාවක් එනවා ඈත තිබෙන දෙය සහ අප සම්බන්ධවෙන වේලාවක්.  අප ඒ දෙයට දැපණේ වැටෙන වෙලාවක්. එයින් පසුව වෙන මොනවාටවත් ඔළුව හැරවෙන්නේ නැහැ.

වෙන කෙනෙකු අපව වෙන දිශාවකට හැරෙව්වත් නැවත අර ඉලක්කය දෙසට ම හැරෙනවා. හොඳින් බලන්න මුලින් “එපා, බැහැ” කියමින් සිට ඕනෑකමක් ඇති වුණාම කවුරු මොනවා කිව්වත් “නැහැ ඕනේ” කියා අප තර්ක කරනවා. මුලින් “ඕන්නෑ” කියා වාද කළ අප දැන් “ඕනේ” කියා වාද කරනවා. “ඕන් නැහැ” කියන්න පුළුවන් තරම් තර්ක ගෙනාවා. සූත්‍රවලින්, අභිධර්මයෙන්, ඉතිහාසයෙන්, විද්‍යාවෙන් මේ හැම දෙයකින්ම උදාහරණ, සාක්ෂි ගෙනවිත් “එපා” කීවා. “එපා” කීම වෙනුවෙන් අප හදවතින්ම පෙනී සිටියා. නමුත් අපව මෙසේ හරවන කෙනා දන්නවා මෙයා දැපණේ වැටෙන්නේ කීවතාවක් ඔළුව ඒ පැත්තට හැරෙව්වොත්ද කියා. අප දන්නේ නැහැ, නමුත් එයා දන්නවා. අප දන්නවානම් බේරෙන්න තිබුණා. ඒ වාර ගණන එනකල් හරවනවා. ඒ වාර ගණන සම්පූර්ණ වූ පසුව ඔන්න දැපණේ වැටෙනවා. එහෙම වුණාම ඇස් නිලංකාරවෙලා, සියල්ල බොඳවෙලා, “ඕනේ නැහැ” කියූ චිත්‍රය බොඳවෙලා “ඕනේ” කියන චිත්‍රය ඉස්මතුවෙන්න පටන් ගන්නවා. ඉන්පසුව “ඕනේ” කියා ඔප්පු කරන්න සූත්‍රවලින්, අභිධර්මයෙන්, ඉතිහාසයෙන්, විද්‍යාවෙන් මේ හැම දෙයකින්ම උත්සාහ කරනවා. සිද්ධාර්ථ කුමාරයාගේ කථාව, සඳකිඳුරු ජාතකය, යසෝදරා දේවියගේ කතාව මේ හැම දෙයක්ම ගෙනෙමින් “ඕනේ” කියන්න ආත්මයෙන්ම පෙනී සිටිනවා. 

මේ දෙපැත්තම දිහා බලාගෙන සිටිය කෙනෙකුට සිතෙන්න පුළුවන් මේ මොන චපල කමක්ද කියා. ඉස්සෙල්ලා එපා කියා, බෙරිහන්දීලා, නොකා හිටියා. දැන් ඕනේ කියලා නොකා ඉන්නවා. අවංකයි, ඇත්ත. නමුත් එතන තිබෙනවා පුදුම චපලකමක්. චපලයි කියන්නේ ඒ අවංකකමට එක ස්ථාවරයක ඉන්න බැහැ. අවංකයි තමා, හරි හොඳයි. නමුත්, ඒ අවංකකමත් එක්කනම් මේ ගමන යන්න බැහැ. එයට වැඩිය අවංක වෙන්න අවශ්‍යයයි. ඒ නිසායි ‘උජූච’ කියා නවත්වන්නේ නැතිව ‘සූජූච’ කියන්නේ.

කෙසේ හෝ හිතවතුනි, එසේ පෙන්වා අප දැපණේ වැටුණානේ. එවිට හොඳමයි පෙනෙන්නේ, සුවඳමයි විඳින්නේ, රසමයි දැනෙන්නේ. මේ සියල්ල සිදුවුවාට පසුව, දැපණේ වැටුණායින් පසුව අපව අදිනවා ඉලක්කයෙන් ටිකක් පිටුපස්සට. “ඔයාට කරගන්න බැහැ, වෙන කෙනෙකු කරගනියි ඔයාට කලින්,” වැනි සිතුවිලි එන්න පුලුවන්. විභාගයක්, රැකියාවක්, ඡන්දයක් වැනි ඕනෑම දෙයක් පිළිබඳව එයට වැඩිය සිතුවිලි එන්න පුළුවන් පසුපසට අදින. මොනවාගේ සිතුවිලිද එවන්න අවශ්‍ය කියාත් එයා දන්නවා. එක එක්කෙනාට වෙන වෙනම සිතුවිලි. ආපස්සට අදින්න මොනවගේ සිතුවිලිද එවන්න අවශ්‍ය කියන කාරණය පෞද්ගලිකයි (අප කරගන්නා දෙයක් නොවේ). අපේ ඔළුව ඒ පැත්තට හරවපු කෙනා දන්නවා මෙයාට මොනවිදිහේ සිතුවිල්ලක් එව්වොත්ද කඩාගෙන බිඳගෙන යන්නේ කියා. නමුත් එවන්නේ කඩාගෙන බිඳගෙන යන්න උදව්වෙන සිතුවිලි නොවේ බැලූ බැල්මට. “ඔබයි සුදුසුම කෙනා, ඔබට පුළුවන්” කියා තල්ලු කරනවා නොවේ. “ඔයාට බැහැ, හරියන්නේ නැහැ, ඔයා සුදුසු නැහැ, ඔයා හොඳ මදි, ලස්සන මදි” ආදි වශයෙන් මොනවා හරි කියනවා සිටිය තැනට වැඩිය පිටුපස්සට ගන්න.  බලන්න මොනතරම් කපටිද, සුක්ෂමද, දක්ෂද? මොනතරම් මනෝ විද්‍යාවක් දන්නවාද? මෙසේ කියමින් පිටුපසට අදින විට කුමක්ද සිදුවන්නේ? ඊතලයට නම් මොනවත් වෙන්නේ නැහැ පිටුපසට ඇද්දා කියා. දුන්නටයි ආතතිය ඇතිවන්නේ. එසේ දුන්නට එන ආතතියයි ඊතලයට දෙන්නේ. 

අපටත් එසේ වනවා කිසියම් දුරකට. මේ ආකාරයෙන් පිටුපසට අදින්න කියන දේවල් නිසා කෙනෙකුට (මමත්වය කියන ස්වභාවයට) රිදෙනවා. එයා ආතතිය ඇතිකරගෙන ආතතියට පත්වෙනවා. එවිට ඇද්ද කෙනා අතහැරියාම මමත්වය කඩාගෙන බිඳගෙන ඉලක්කය වෙතට දුවනවා. ගිහිල්ලා පුළුවන්නම් එහි හැපී, මූණත් සමතලා කරගෙනයි ඇදගෙන වැටෙන්නේ. මෙසේ යනවිට ඉස්පාසුවක් නැහැ. මෙහෙම ඉස්පාසුවක් නැතිව දුවගෙන ගිහිල්ලා, මූණ සමතලා කරගෙන, ඇදගෙන වැටිලා ඉන්න විට “අනේ පවු” කියා ඉන්න දෙන්නේ නැහැ. ආයෙත් නැගිට්ටවනවා. ආයෙත් ඔළුව හරවනවා, ආයෙත් දැපණේ වට්ටවනවා, බැහැ කියලා පසුපසට අදිනවා, උපරිම ආතතියකට පත් වූවිට අතහරිනවා, ආපසු ඉලක්කයක් වෙත ගොස් හැප්පිලා මූණ සමතලා කරගන්නවා. එනිසායි බලන්න කියන්නේ කවුද මේ අදින්නේ, ඇදලා අතහරින්නේ කියා.

මේ කාරණය නොදන්නාකම නිසා මේ සියල්ල අපේ කරගෙන, මගේ කරගෙන “මටයි ඕනේ” කියා කියනවා. මෙසේ “මටයි ඕනේ” කියා කියන්නේ ඉලක්ක. මේවා කිසිවක් ඉලක්ක නොවේ. ඉලක්කයක් නම් එතනින් නවතින්න අවශ්‍යයයි. ඊතලයක් ඉලක්කයට ගියාම, වැදුණාම ආයේ යන්නේ නැහැනේ, නවතිනවා. එමනිසා මේ කියන ඒවා ඉලක්ක නොවේ. ඉලක්ක කර නොගතයුතු දේවල් ඉලක්ක කරගැනීම නිසා කෙළවරක් නැති විදිල්ලක, දිවිල්ලක ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. අපට ලැබුණු දේවලුත් නැහැ, ඉතිරිවෙලා තිබෙන දෙයකුත් නැහැ. ඉතිරිවෙලා තිබෙනවා නම් තිබෙන්නේ හතිය පමණයි.

විවේකය

කෙසේ හෝ මේ සෑම දෙයක් දෙසම ලෞකික වැඩ විදිහට බලන්න. ‘ඉලක්කයක්’ නොවේ, ‘වැඩ’ විදිහට බලන්න. හම්බ කිරීම ඉලක්කයක් නොවේ, එය වැඩක්. ආහාර ගැනීම වැඩක්, එය ඉලක්කයක් නොවේ, ක්‍රියාවක්. ඒ වැඩේ පුළුවන් නම් කරනවා, ඉවර වුණාම “හරි” ඉවරයි, ඒ කාර්යය ඉවරයි. මේ ආකාරයෙන් කරන දේ වැඩ විදිහට බලා කළමණාකරණය කර ගැනීම වැදගත්. එය සති සම්පජඤ්ඤ භාවනාවයි. සිහිබුද්ධිය පිළිබඳව කථා කළේ මේ කාරණයයි. ඕනේ වැඩ, එපා වැඩ කිව්වාට, ඇත්තටම වැඩක් නම් (වැඩක් වෙන දෙයක් නම්) අවශ්‍ය දෙයක්. වැඩක් නොවන දේවල්, වැඩ වෙන්න බැහැ. බොහෝවිට කියනවා “හරියට වැඩ කරන කෙනෙකු” කියා. එසේනම් බැලිය යුතුයි ‘ඒ කරන වැඩවලින් මෙනවාද වෙලා තියෙන වැඩේ’ කියා. වැඩක් වෙන්නේ නැතිව දේවල් (ක්‍රියා) සිදුවෙන්න පුළුවන්. ක්‍රියා සහ වැඩ කියන්නේ දෙකක්. මෙයත් පටලැවි (මාරුවී) තිබෙන දෙයක් නිසා වෙන්කර ගැනීම වටිනවා. වැඩක් නොවන, ඵලක් නොවන ක්‍රියාවලින් පිරුණු දෙයකටයි ජීවිතය කියන්නේ. දවසම ඒවායින් පිරිලා. එහෙම බැලුවොතින් වැඩක් වෙලා තියෙන්නේ එකකින් දෙකකින්, එපමණයි. අන් සියල්ල බැලුවොතින් ඵලකුත් නැහැ, වැඩකුත් නැහැ නමුත් විවේකයකුත් නැහැ. මෙන්න මේවා වෙන්කරගත්විට අන්න වැඩක් වෙන දෙයක්, ඵලක් වෙනදෙයක් කරන්න පුළුවන්. එහෙම නැති දේවල් අතහරිනවා. එය කරන්න අවශ්‍යයයි. වැඩක් නැති දේවල් අත්හරින්න අවශ්‍යයයි. එසේ නොමැතිව අප කෙසේද කාලය (විවේකය) සොයා ගන්නේ? මේ සඳහා අවශ්‍යයයි ලොකු විවේකයක් හා නැවුම් සිතක්. මහන්සියට පත්වෙලා, ආතතියට පත්වෙලා තිබෙන සිතකින් බැහැ මේ ගමන යන්න.

සැබෑ ඉලක්කය

එම නිසා හිතවතුනි ආපස්සට හැරෙන්න. එය කරන්න අවශ්‍යයයි. එවිටයි පෙනෙන්නේ කවුද දුන්න අදින්නේ කියා. ආපසු හැරීම කියන මේ කථාව අප විවිධාකාරයෙන් සාකච්ඡා කළා. අදත් ඇයි කියන්නේ කියා සිතෙන්න පුළුවන්. ආපස්සට හැරුණොත් තමයි දුන්න අදින කෙනා පෙනෙන්නේ. එවිට මුළු දුන්නම හැරෙනවා අනිත් පැත්තට (දුන්න අදිනකෙනා දෙසට) එවිට අදින කෙනා ඉන්නවා ඉස්සරහින්. එයාගේ මූණටයි ඊතලය තිබෙන්නේ. ඒ ඊතල පහර (bullet එක) වදින්නේ එයාට. ඒ නිසායි එයා දුවන්නේ. එයා දැන් දුවනවා බේරෙන්න. දැන් කුමක්ද වන්නේ, දඩයම්කරු දඩයම බවට පත්වෙනවා. අන්න දැනුයි නියම ඉලක්කය, වෙන ඉලක්ක නැහැ. මෙයයි පළමු වතාවට තමන්ගේ සැබැම යහපතට (සාංසාරික යහපතට, ආධ්‍යාත්මික යහපතට) ගත් ඉලක්කය. එකයි තිබෙන්නේ කියා කිව්වේ ඒ නිසයි. කුමක්ද ඒ.ඒකීය ඉලක්කය? තණ්හාව අල්ලා ගැනීම. එයාව අල්ලාගන්න අවශ්‍යයයි. තණ්හාව උපාදානය කිරීම නොවේ. එයයි මෙතෙක් කල් කළේ. තණ්හාව උපාදානය කිරීම ගැනත් භාවනා කරන්න බොහෝ කාරණා තිබෙනවා.  ඒ ගැන කථා කිරීම අද අවශ්‍ය නැහැ.

දැන් සිදුවන්නේ තණ්හාව ඉලක්ක කර ගැනීමක්. දැන් සිදුවන්නේ එයත් දුවනවා, ඊතලයත් දුවනවා. මේ ඊතලය වැදුණොත් තණ්හාවට කථා දෙකක් නැහැ, තණ්හාව ක්ෂයවෙලා යනවා. එයාගෙම ආයුධවලිනුයි එයාට පහර දෙන්න වෙන්නේ. වෙන ආයුධ නැහැ, ලෝකෝත්තර ආයුධ නැහැ, සියළුම ආයුධ ලෞකිකයි. මේ ධර්මතාවය තේරුම් නොගත්ත කෙනාටයි ප්‍රශ්නයක් තිබෙන්නේ “නිවන් දකින්නත් තියෙන්නේ තණ්හාව, එයත්.තණ්හාවක්නේ, ඒ තණ්හාවත් අතහරින්න ඕනේ නේද? ”ආදී. නිවන් දකින්න තිබෙන තණ්හාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. එයා ඇදලා කොහාට හරි විදින්න බලගන්වපු ඊතලය දැන් හැරිලා අනිත් පැත්තට එයා පස්සෙන් දුවනවා. තණ්හාව ඉලක්ක කරගෙන දුවනවා දැන්. එයයි සිදුවන්නේ. නිවන් දකින්න තණ්හාව තියාගෙන ඒ තණ්හාව මුදුන්පත්වීම ට නොවෙයි නිවන කියන්නේ. එහෙමනේ අනිත් ඉලක්ක කියන ඒවා. විභාග සමත් වෙන්න ආසාවක් තියෙනවා. ඉතින් ඒ ආශාව හරියනවා විභාගය පාස් වූ විට. විවාහ වෙන්න ආසාවක් තියෙනවා, විවාහ වු විට ඒ ආශාව ඉෂ්ඨ වෙනවා. දික්කසාද වෙන්න ආශාවක් තිබෙනවා, ඒ ආශාව ඉෂ්ඨ වෙනවා. ඒ ආකාරයෙන් තමයි සිතන්නේ නිවන් දැකීම ගැනත්. ආශාවක් තියෙනවා එය සම්පූර්ණ වෙනවා. එහෙම නොවෙයි සිදුවන්නේ ආශාව ක්ෂයවීමක්. ආශාව පුපුරලා යනවා. ආයේ ආශාව සොයා ගන්නත් බැහැ, ඒ mortar එක ආශාවට වැදුණාම.

අහිංසක මිනිසුන්ට, දේවල් වලට target කරලා එල්ල කරන mortar එකක් එයාටම වැදුණාම, එතැනින් එයා ඉවරයි. ඒ නිසයි මෙය ඇත්තක් වන්නේ. තණ්හාව ක්ෂය කිරීම ඇත්තක්. එය මහා බලවේගයක්, කථා දෙකක් නැහැ. ඕනෑම කෙනෙකුව අල්ලේ නටවන්න පුළුවන්, ඕනෑම කෙනෙකු අන්දන්න පුළුවන් තණ්හාවට. මොනවාද බැරි? අප ලවා ඕනෑම දෙයක් තණ්හාවට කරවන්න පුළුවන්. බැහැයි කියා දෙයක් නැහැ. අප බැහැ කියන ඕනෑම දෙයක් එයාට පුළුවන් අප ලවා කරවන්න. “අනේ මට බෑ, මේ මගේ ප්‍රතිපත්තිය, මා මෙබඳූ ද ජීවිතයට කරලා නෑ” මෙහෙම කිව්වාට තණ්හාවට ඒවා අදාළ නැහැ. එයා දන්නවා ඔය ප්‍රතිපත්ති සේරම කැලේ කියලා එයාගේ බලය ඉදිරියේ. එපමණ බලයක් තිබෙනවා. ඒ නිසා මෙය කාටවත් සිතාගන්න බැරිවුණ දෙයක්. මෙවැනි බලවේගයක් කෙසේද සුණු විසුණු කර දමන්නේ කියා. කළ නොහැකි දෙයක්, කළ හැකි දෙයක් බවට අපේ ශාස්තෘන් වහන්සේ පත්කළා. ඒ නිසායි කියන්නේ (තුන්වන ආර්ය සත්‍ය) එය කරන්න පුළුවන් කියා. තණ්හාව ක්ෂය කිරීම කළ හැකි දෙයක්. එමනිසා කළ හැකි දෙයක් විදිහට සිතන්න. ඒ විශ්වාසය ඇතිකර ගන්න. “කරන්න පුළුවන්” බැලූ බැලූ අත ඉලක්ක පෙන්වනවා තණ්හාව. බැලූ බැලූ අත තණ්හාවයි තියෙන්නේ. එහෙම තිබුණත්, මේ මුළු විශ්වයම තණ්හාවේ දාසයෙකු වුණත්, බය වෙන්නත් එපා, අධෛර්යමත් වෙන්නත් එපා. එයාගෙම ශක්තිය, එයාම බලගන්වන මේ ශක්තිය පාවිච්චි කරන්න එයාට ම විරුද්ධව. මෙතැනදි අර ප්‍රශ්නය එන්නේ නැහැ. “නිවන් දකින්න තිබෙන්නෙත් තණ්හාවක්” කියන ඒ කතන්දර නැහැ. ඒ ප්‍රශ්නයම වැරදියි. ඒවා අසමින්, ඒවාට පිළිතුරු සොයමින්, තර්ක කරමින් සිටීම අපරාධයක්.

අත්හැරීම

තණ්හාව අපව අතහරින්න කලින් අප තණ්හාව අතහරින්න අවශ්‍යයයි. මෙයයි අද දවසේ පණිවුඩය ‘තණ්හාව අපව අතහරින්න කලින්, අප තණ්හාව අතහරින්න අවශ්‍යයයි’.

 දුන්න ඇදලා ඇදලා එයා අතහරින්න කලින්, එයා අත්හැරියොත් ආය අපට කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. මඟක් ගිහිල්ලා නැවත U turn එකක් අරගෙන එන්නද? එහෙම බැහැ ඊතලයකට. ඒ නිසා, ආශාවක් ඉලක්කයක් වෙන්න කාලයක් යනවා නේ, “ඕනෑකමක් එනවා, එපා කියනවා, ඕන් නෑ කියනවා” එසේ සිතමින් සිටින කාලය ගැන සිහියෙන් ඉන්න. අර මුලින්ම ඕනෑකමක් එන තැනදීම “ඕන් නැහැ” කියා එතැනදි නවත්තගන්න පුළුවන්. හරි ලේසියි නවත්තගන්න, ලා දල්ලක් නේ එන්නේ තණ්හා ශාකයේ. ඒ දල්ල කඩා දාන්න පුළුවන්. හැබැයි ඉතින් ආයෙත් තැනකින් මතුවෙනවා. එය නවත්වන්න බැහැ දලු කැඩුවා කියා. හැදෙන හැටි බලන්න. පයින් පාගා දැමීම වෙනුවට හැදෙන හැටි බලන්න. කාලපරිච්ජේදය පිළිබඳව හොඳ සිහියකින් සිටියොත් පේනවා, කවුරුහරි කියනවා අපට. කවුරුහරි කියන්නේ,  ගෙදර ඉන්න කෙනෙකු නොවෙයි, පිටින් පැමිණ කියනවා නොවෙයි. ඇතුළෙන් ම සිතෙනවා. “මේක ඕනේ, නෑ මේක ඕන් නෑ, නෑ ඕනේ, නැතුව බෑ, අරයාටත් තියෙනවා, මෙයාටත් තියෙනවා”. මේ ආකාරයෙන් ටික ටික ආශාව (ඕනේකම) මෝදුවෙන හැටි බලන්න. මේ ආකාරයෙන් සිදුවන්නේ දුන්නත් එක්කම මේ ඊතලය ඇදීම. ඊලඟට බයක් එනවා, මෙය තමන්ට නැතිවෙයිද, තමන්ට කලින් වෙන කෙනෙකු ගනියිද, එහෙම සිතෙන්නේ අර පිටුපසට ඇදීම නිසයි. ඒ බය එන්නේ එවිට. ඉන් පසුව අතහරින වෙලාවක් තිබෙනවා. එයට කලින් අප එයාව අතහරින්න අවශ්‍යයයි, නැතිනම් ප්‍රමාදයි. අප්‍රමාදි වෙන්න. එයට කලින් හැරෙන්න එයා දෙසටම. එයයි පරිවර්තනය.

එවිට අනිත් මොනවත් පෙනෙන්නේ නැහැ. නීවරණ අත්හරින්න කියන්නේ ඒ නිසායි. අරක හොඳයි, මෙයා ලස්සනයි ආදීවශයෙන් සියළුම වර්ණනා කරන්නේ කාමච්ඡන්දයෙන්. ව්‍යාපාදයෙන් කියන්නේ මොකක්ද, මේක නොවේ අරකයි හොඳ, එයා නොවෙයි මෙයායි ලස්සන. මේ ආකාරයෙන් මේ දෙදෙනයි අපට නැති ලෝකයක් පෙන්වන්නේ. ඒ දෙන්නා ඉන්නකල් තණ්හාව පෙනෙන්නේ නැහැ. සන්සන්දනය කරන්න, තෝරාගන්න, මුලු ලෝකයම බුෆේ එකක් වගේ පෙන්වන්නේ කාමච්ඡන්දයයි, ව්‍යාපාදයයි දෙදෙනා. කාමච්ඡන්දය කියනවා “මේක හොඳයි” කියා, ව්‍යාපාදය කියනවා “මේක නොවෙයි, අරකයි හොඳ” කියා. මේ ආකාරයෙන් මොනවාහරි  මේ සංසාරයේ තිබෙන දේයි පෙන්වන්නේ. එමනිසා මේ කමච්ඡන්ද, ව්‍යාපාද දෙකින් ඈත් වෙන්න අවශ්‍යයයි. එසේ ඈත් නොවී අනිත් පැත්ත හැරෙන්න බැහැ. ඒ දෙන්නා තියාගෙන අනිත් පැත්ත හැරීම වෙන්නේ නැහැ. ඒ දෙන්නායි අපට නැති ලෝකයක් නිර්මාණය කර පෙන්වන්නේ.

ඒ හැදෙන හැටි හරි ලස්සනයි, බලාගෙන ඉන්න. මලක් පිපෙනවා බලන් ඉන්නත් දවස් ගණනාවක් යනවා මලෙන් මලේ හැටියට. ඒ වගේ සිතේ ආශාවක් මෝදුවෙන ආකාරය බලන්න ඉන්න. “හා, බෑ, ඔව්, නෑ, ඔව්, නෑ, හා, බෑ,” කියමින් යන හැටි බලන් ඉන්න. මුලින් “බෑ” කීම්, “එපා” කීම් වැඩියි. නමුත් ටික ටික “හා” කීම් වැඩි වෙනවා, “එපා” කීම් අඩු වෙනවා. “බෑ” කීම් අඩුවෙලා “පුළුවන්” කීම් ටික ටික වැඩි වෙනවා. එහෙම ගිහිල්ලා අන්තිමේට “පුළුවන්, ඔව්, ඕනෑ” කියන තැනට එනවා. අන්න එතැනදියි තණ්හාව අපව අතහරින්නේ. තණ්හාව දන්නවා එයා නැතත් අප සංසාරයේ යන බව.

භාවනාව

හොඳයි හිතවතුනි, තණ්හාව අපව තනි කරන්න කළින්, අප තණ්හාව තනි කරමු. සටනක් නැහැ එයත් එක්ක තියෙන්නේ අත්හැරීමක්. අත්හැරීමයි සටහනයි දෙකක්. සටන් කරන්න නම්, අල්ලා ගන්න වෙනවා. අත්හරින්න අල්ලාගන්න අවශ්‍ය නැහැ. සටනත් අත්හරින්න. තණ්හාව සමඟ සටනක් නැහැ. ඒ සටනත් අත්හරින්න.

තණ්හාව කීයක් ඉලක්ක පෙන්නුවාද, කීයක් ඉලක්ක පෙන්වමින් සිටිනවාද? එයා පෙන්වන පෙන්වන දේ අවශ්‍ය එයාටයි. අපට නොවේ. ඒ සියල්ල තණ්හාවේ ඉලක්ක. ඒ අපේ ඉලක්ක නොවේ. අපට ඇත්තේ එකම එක ඉලක්කයයි. එනම් තණ්හාවයි. සිහිය, සිහිකල්පනාව, ඒකාග්‍රතාව, උපෙක්ඛා මේ සියලුම ශක්තීන් තණ්හාවට ඉලක්ක කරමු. හිතවතුනි, තණ්හාවයි අපේ ඉලක්කය. ඒ දැක්මත් සමඟ අසන්න කිසිදෙයක් නැතිව ඇති. අසන්න තිබෙන ඕනෑකමත් නැතිව ඇති. තණ්හාව කියනවානම් අසන්න අවශ්‍යයයි කියා අසන්න. ප්‍රශ්න තිබෙනවානම් අසන්න.

සාකච්ඡාව (01.09.32)

දන් දීම වැනි ක්‍රියා බරපතල වැඩක් වෙන්නෙ ඒ ගැන බොහෝ සෙයින් සිතෙන නිසාද?. තමන්ට හැකි අයුරින් දන් දුන්නාම එතන බරක් තියෙනවාද?

එය බරපතළ වෙන්නේ, ලොකුවට දානයක් දෙන්න ඕන,” ලොකුවට” කිව්වම වෙන්නෙ ලොකු දුකක් විදින එක. ලොකු දුකක් වින්දහම ලොකු දෙයක් කරා කියලා හිතනවා. නමුත් එය නොවෙයි විය යුත්තේ.

චේතනාවයි කර්මය කියන්නේ. ආතතියෙන්, තරගයෙන්, බයින් පින් කරන්න බෑ. එතන ක්‍රියාවක් මිසක් ඵලයක් නෑ. අරයා දුන්නට වඩා දෙන්න ඕන එදා දුන්නාට වඩා දෙන්න ඕන එහෙම නෙමෙයි, පිරිසිදු සිතින් සරල සිතින් එහි ප්‍රයෝජනය බලලා හිතේ පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් අවශ්‍යතාවය පිරිමහන්න. එතන තියෙන්නේ හදපිරි භක්තිය, ශ්‍රද්ධාව සහ ප්‍රඥාව . ශ්‍රද්ධාව සහ ප්‍රඥාව බරක් නෙමේ, සැහැල්ලුයි, හදවත සතුටින් පිරෙනවා. පින්කමකදී මේ සතුට තියෙනවද බලන්න. ක්‍රියාව ඇතුළේ සතුට තියෙනවා. හිතලා හිතලා සතුටු වෙන්න ඕනේ නෑ. ක්‍රියාව ඇතුළේ සතුට නැති නිසා තමයි පස්සේ හිතලා සතුටු වෙන්න ඕන කරන්නේ. ඒක කෘතිම සතුටක්. 

ඔබතුමාගේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තරයක් දෙනවනම්, විපාක පැත්තෙන්  තමන්ටත් අනුන්ටත් යහපතක් සහ අයහපතක් වෙන ක්‍රියා තියෙනවා. ඉතින් අනිත් අයගේ යහපත් ක්‍රියා නිසයි අපට පහසුවෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. එම නිසා මේ සත්පුරුෂ ලෝකයට අප ණයයි. ඒ ණය ගෙවන්න පුළුවන් අපත් සත්පුරුෂ වෙලා, වෙන විදිහක් නෑ ඒ ණය ගෙවන්න. ඒ නිසා අනිත් අයට සත්ක්‍රියා කරන්න ඕන. ඒ සත්ක්‍රියා නිසා තව පිරිසකට පහසුවෙන් ඉන්න ලැබෙනවා.  විදිහට ණය ගෙවීම් විදිහට හිතලා හොඳ ක්‍රියා කරන්න. මේවා ඉලක්ක නොවේ. ඒවා ඉලක්ක විදිහට ගත්තොත් එහෙම සංසාරයෙන් එතෙරවෙන නම් හම්බ වෙන්නේ නෑ. 

ප්‍රශ්නය : ඒවා ඉලක්ක බවට පත්වෙන්නේ මමත්වය ප්‍රමුඛත්වය වන නිසාද?

පිළිතුර: අනිවාර්යයෙන්ම. අනුන්ගේ දේවල් තමයි අප අපේ දේවල් කරගන්නේ. මේවා දිහා හොඳට බැලුවොත් තේරෙනවා මේවා අපේ නොවෙයි කියා. තණ්හාව අපේ නොවෙයි. ඒ නිසා තමයි ඒවා දිහා අනත්ත සංඥාවෙන් බලන්න කියන්නේ. හිතේ ඇතිවන ඕනෑම ආශාවක් මගෙත් නොවෙයි, ඒ ආශාව මමත් නොවෙයි, මමත් නොවෙයි මගෙත් නොවෙයි මගේ ආත්මයත් නොවෙයි. ආත්මය කියලා කියන්නේ “මේ දේ  නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ”. එහෙම එකක් නෑ. ඒ තුන් විදිහටම බලන්න. ඇතිවන ආශාව මමත් නොවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නොවේ. එහෙම බැලුවම තන්හාවේ සංයෝජන ගැටය බුරුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්නේ අප තව තව තණ්හාව බදාගන්නවා. අපයි තන්හාව බදාගෙන ඉන්නේ. එහෙම නැතිව තන්හාව අපව බදාගෙන නෑ. එයාට බෑ අපව බදාගන්න. අප උපාදාන කරන්නේ වෙන මොනවත් නෙමේ තණ්හාවමයි, අතහරින්න තියෙන්නෙත් එපමණයි.

ප්‍රශ්නය : තණ්හාව එක පාරටම ඉලක්කයක් අරගෙන ඊතලය අදින්නේ නෑ. එයට කිසියම් කාලයක් ගන්නවා. අපි ඒ කාලය ප්‍රයෝජනයට ගත යුතුයි කියන එකද කියවෙන්නේ?

පිළිතුර : එතන තමයි අපට ගැලවෙන්න තියෙන හොඳම තැන. හැබැයි ඒ කාලය සාපේක්ෂයි. කාලය කෙටි ද කියන එක එපමණ වැදගත් නැහැ සිහිබුද්ධිය තියෙනවා නම්. සිහිබුද්ධිය වේගවත් ඔරලෝසුවේ කාලයට වඩා. සිහිබුද්ධියට තණ්හාව අපව පොලඹවන හැටි පෙනෙනවා. ඒ දිහා බලන් ඉන්න. එකපාරටම “ඕනෙ නෑ” කියා රවට්ට ගන්න එපා. එතකොට මේ ඇතිකරන සිතුවිල්ල මමත් නොවෙයි, මගේ නෙවෙයි, ඒවා  නැතිව මට ඉන්න පුළුවන්, මගේ ආත්මයත් නොවෙයි කියලා බලන්න. ඇතිවන ඇතිවන ආශා දිහා ඒ විදිහට බලන් ඉන්න. ඒවා නැති කරන්න ඕනෙත් නෑ, නැති කරන්නත් බෑ, මගේ කරගන්නේ නැතිව ඉන්න. එතකොට එයාට අහු වෙන්න කෙනෙක් නෑ මෙතන. අප තණ්හාව බදා ගන්නේ නැතිනම් තණ්හාවට බෑ අපව බදාගන්න. එනිසා ඒ කාලයෙන් ඒ ප්‍රයෝජනය ගන්න. අපට වෙන අවස්ථාවක් නෑ. 

ප්‍රශ්නය : එතනදි තණ්හාව ලොකු බලවේගයක් කියලා අප නිර්වචනය දාගත්තාම එතනට ප්‍රතිවිරුද්ධ සාමකාමී දෙයක්ද අප කරන්නේ?

පිළිතුර : තණ්හාව ලොකු බලවේගයක් විදියට ගන්න ඕන. තණ්හාව පෙන්වනවා එයා දුර්වලයෙක්, එයාව ඕන වෙලාවක නැති කරන්න පුළුවන් කියා. හැබැයි ඇත්ත එය නෙමෙයි. අප එහෙම නැති කරන්න හිතනවිට එයා යෝධයෙකු වගේ අප අඟුටු මිට්ටෙක් වගේ. දේදුන්නේ වර්ණාවලියක් තියෙනවා. සුදු ආලෝකයි වර්ණාවලියක් බවට පත් වෙන්නේ. ඒ වගේ බය ලැජ්ජාව මානය පසුතැවිල්ල ආදී විදිහට කෙලෙස් තියෙනවා. මේ හැම එකක්ම තණ්හාව. එයා එක එක මුහුණුවරින් එනවා. එනිසා එය මහා බලයක්. නමුත් මහා බලයක් උනාට මේක ගහගෙන දිනන්න පුළුවන් සටනක් නොවේ. තණ්හාව නැති කරනවා කියන්නේ ගහගෙන දිනනවා වගේ දෙයක් නොවේ. එයා කැමතියි අප කාසමග හෝ ගහ ගන්නවා නම්. කාමසුඛල්ලිකානුයෝගයෙදී කියන්නේ අපට වෙන අයත් එක්ක සටන් කරන්න කියායි, “ලෝකය දිනා ගන්න නම් ලෝකයත් එක්ක සටන් කරන්න” කියනවා. ඒ සටන් අත්හැරලා දැම්මහම කියනවා, “ඔයාට ඉන්න එකම සතුරා මමයි, එනිසා මාත් සමග සටන් කරන්න”. ඒ තමා අත්තකිලමථානුයෝගයෙදී වෙන්නේ. 

ප්‍රශ්නය : ගිහි ජීවිතයේදී වැඩ කියල ගත්තොත්, ඒ වැඩ තුළ තණ්හාවෙන් තොරව කරන්න උත්සාහ කළොත් අපේ ඉලක්ක වලට යන්න පුළුවන් නේද? වැඩ තුළට දානවා ධර්මතා. වැඩ කරන විට සතියෙන් කරද්දි තණ්හාවට ඇතුල් වෙන්න තියෙන ඉඩ අඩුයි නේද?

පිළිතුර : අවශ්‍යතාවය බලලා කළ යුතු දේ කරන්න පුළුවන්. නමුත් කෙරන්නේ ආශාව දිහා බලලනේ. සතිය හා සිහිබුද්ධිය මේ දෙන්නව වෙන් කර පෙන්වනවා. අවශ්‍යතාවයට වැඩ කරනවා. එතකොට ඒ වෙලාවේ ඉවර කරගන්න බැරි උනාට කමක් නෑ, අත්හරිනවා. හෙට වෙනකොට ඉතිරි වෙලා තිබුණොත් ඉවර කරනවා. තණ්හාවෙන් ක්‍රියා භාවනාව කරන කෙනයි අවශ්‍යතාවයට ක්‍රියා භාවනාව කරන කෙනෙකුයි හොදට හදුනා ගන්න පුලුවන්. අත්හැරීමේ චේතනාවෙන් වැඩක් පටන් ගන්න ඕනේ, දිගටම අල්ලන් ඉන්න නොවෙයි. අත්හැරීමේ කල්පනාවෙන් කරන ක්‍රියායි ක්‍රියා භාවනා කියන්නේ. ඕනෑම දෙයක් ඒ විදිහට නිස්සරණාධ්‍යාශයෙන් කරන්න පුළුවන්. නිස්සරණාධ්‍යාශයෙන් කියන්නේ අත්හැරීමේ කල්පනාවෙන් කරනවා. යම් දෙයක අවශ්‍යතාවයක් තියෙනවා, ඒ දේ කරන්නත් පුළුවන්, එනිසා කරනවා. හැබැයි ඒක නොවේ මගේ ජීවිතය. මගේ ජීවිතේ තියෙන්නේ වෙන තැනක.

ප්‍රශ්නය : සාර්ථක ව්‍යාපාරයක් හෝ රැකියාවක් කරන කෙනෙකුට තණ්හාවෙන් ගැටෙන්නේ නැතිව ඒ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න පුලුවන්ද?


පිළිතුර : ඉස්සරහට යෑම නැතිනම් දියුණුව ප්‍රගතිය මනින මිනුම කුමක්ද? බොහෝ විට තණ්හාවමයි ඒ මිනුම පෙන්වන්නේ. තණ්හාව හඳුනාගන්න පුළුවන් ක්‍රමය එයාගෙ ඉවරයක් නෑ, කොච්චර ඉදිරියට ගියත් ඇතිවීමක් නෑ.

හැකියාව සහ අවශ්‍යතාවය තියනව නම් භාවනාවට පවුලේ කටයුතු වලට නිරෝගී කමට සමාජ යුතුකම් වලට බාධාවක් නොවන සීමාව ඇතුළෙ යාහැකි දුර යන්න, සෑහීමකට පත් වෙන්න තැනකට යන්න, තරගයකට නොවේ. 


ගියවර වැඩසටහන්වල අපකතා කළේ ක්ෂණිකව කොහොමද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නෙ, විසඳා ගන්නේ කියලා. අද කතා කලේ අපට කාලයක් තියෙනවා, තණ්හාව බීජයක් පැළ කර මුල් ඇදලා උඩට එන්න. ඒ කාලය ඇතුළේ අපට පුළුවන් මේ ප්‍රශ්නය විසඳා ගන්න. එතනදී තණ්හාව සමග සටනකුත් නෑ යටත් වීමකුත් නැහැ. ඒ දෙකෙන්ම තොරව ප්‍රඥාව භාවිතා කිරීමෙන් විසඳා ගැනීමක්. තණ්හාවේ තියෙන දුර්වලකම් හඳුනා ගැනීම තුළින්මයි අපට දිනන්න පුළුවන් වෙන්නේ. තණ්හාව මහා බලවේගයක්. නමුත් ඕනම මහා බලවේගයක දුර්වලකම් තියෙනවා. එය ධර්මතාවයක්. ඒ දුර්වලකම්වලින් අපට රිංගලා යන්න පුළුවන් නම් දිනන්න පුළුවන්. එයාගේ දුබලකම් හදුනාගන්න නම් එයා දිහා බලන්න ඕන. එක දුර්වල කමක් තමා සැඟවී ඉන්න ගතිය. ඒ වගේම දෙබිඩි චරිතයක්, අවංකයි එමෙන්ම චපලයි, ඕනෑත් කියනවා එපාත් කියනවා. ඕන කියන කෙනාමයි එපා කියන්නේ, එපා කියන කෙනාමයි ඕන කියන්නේ, හැබැයි කටවල් දෙකකින්. හඩවල්.දෙකක් මුත් එක පුද්ගලයෙක්. අප හිතනවා මේ දෙන්නා දෙන්නට තරහයි කියලා. නෑ ,මේ එකම එක්කෙනා. එනිසා ඕන කමයි එපා කමයි දෙකම අතහරින්න.


ඉතින් හිතවතුනි, භාවිතය ඇතුලේ මේ දර්ශනය ඇති කරගන්න පුළුවන්, තණ්හාව පිළිබඳ ඥාන දර්ශනය. තණ්හාව පිළිබඳ ඥාන දර්ශනයකින් තොරව තණ්හාව නැති කරන්න බෑ. එහෙම වෙන්නෙත් නැහැ. එනිසා දකින්න තියෙන්නෙ තණ්හාව. වෙන මොනවත් දැක්කට වැඩක් නෑ තණ්හාව දකින්නේ නැතිව. තණ්හාවේ දකින්න ඕන කාරණා දෙකක් තියනවා. එකක් තමා එහි බලය. අනිත් පැත්තෙන් එහි තියෙන දුර්වලතාවය දකින්න. ඒ දෙකම දැක්කොත් තමයි නිස්සරණයට යන්න පුළුවන් වෙන්නේ. ආස්වාදයයි ආදීනවයයි දෙකම දැක්කොත් පමණයි නිස්සරණයට එන්න පුළුවන්. ආශ්වාදය තමා තණ්හාවේ තියෙන බලය. ආදීනවය දෙන්නෙ එයාගෙ දුර්වලතා. තණ්හාව ඇති වෙන තැනයි අප බලන්න ඕන, වෙන බලන්න තැනක් නෑ, කොහේවත් ගිහිල්ලා කරන්න දේකුත් නෑ. ඒ තණ්හාව දකින හැකියාව ඇති කරගන්න. තණ්හාව දැකීමේ ඒ ඉලක්කය අරගෙන අපි සතුටින් විසිර යමු.


සැමදෙනාටම, සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!