සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 01

2022 ජුලි 27 සාරාංශය 

සදහම් සැඳෑව දෙවන අදියරට සහභාගීවන ආදරණීය හිතවතුනි, සෑම දෙනාම උණුසුම්ව පිළිගන්නවා. සදහම් සැඳෑව පළමු අදියර ගැන කිසියම් හැඟීමක්, අවබෝධයක් මෙතන සිටින සමහර කළ්‍යණ මිත්‍රයන්ට ඇති, එමෙන්ම අලුතින්ම මේ වැඩසටහනට එකතුවන හිතවතුනුත් මෙතන ඇති. නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සංවිධානත්වයෙන් පිරිනමන කාටත් සහභාගීවිය හැකි වැඩසටහන් කිහිපයක්ම තිබෙනවා. අළුයම සමූහ භාවනාව සඳුදා සිට සෙනසුරාදා දක්වා, උදේ 04.45 සිට 05.45 දක්වා මෙන්ම ඉරිදා සවස විදර්ශනා ජීවිතය පිළිබඳ ‘විදසුනට නිදසුනක්’ වැඩසටහන සහ පුර පසළොස්වක පොහෝ දවසේ උදේ 08.30 සිට 11.45 පමණ වනතුරු පවත්වන සදහම් වැඩසටහන, යන සිංහල මාධ්‍ය වැඩසටහන් අතර බදාදා දවසේ මේ වේලාවට පවත්වන,  ‘සදහම් සැඳෑව‘ සුවිශේෂි වැඩසටහනක්. සුවිශේෂත්වය නම් මෙම වැඩසටහනේදී භාවනාව ගැන කථා කරන අතර භාවනා ක්‍රමයක් ගැන කථා නොකිරීමයි. මෙහිදි සිදුකරනුයේ ගැඹුරින් ගැඹුරට සරලව කථා කිරීම, විවරණය කිරීම, අත්දැකීම් ලබන්නට මඟපෙන්වීම හා ‘භාවනාමය ජීවිතයක්‘ පිළිබඳ උනන්දු කරවීම. ජීවිතය භාවනාවක් කරගැනීමට වඩා භාවනාව ජීවිතයක් කර ගැනීම ගැන.

 භාවනාව කිව්වාම බොහෝවිට මුලින් පෙනෙන්නේ, සාකච්ඡා කරන්නේ භාවනා ක්‍රම ගැන. භාවනා කරනවා කීවාම අනිවාර්යයෙන්ම අහනවා මොකක්ද කරන භාවනාව කියා, එවිට ක්‍රමයක් තමයි කියන්නේ. කිසියම් ක්‍රමයකින් තමයි භාවනාවට එන්නේ. එසේ ඇවිත්, පැමිණි ක්‍රමය පාරුවක් කරගෙන භාවනාවට ගොඩ වෙන්නට ඕනේ. ක්‍රමයයි භාවනාවයි දෙකක්. ක්‍රමය උදව් කරගෙන භාවනාවට පැමිණිම අවශ්‍යයයි. සෑම දිනකම කිසියම් ක්‍රමයක් යාන්ත්‍රිකව පුරුදු කිරීමෙන් ප්‍රතිඵල නැත්තේ නැති නමුත් අපගේ ඉලක්කයට එනම් අවබෝධයට යා නොහැකියි. එම නිසා මේ බුද දින සදහම් සැඳෑවේදී ක්‍රම පිළිබඳ කථා නොකරන නමුත් කථා කරනුයේ භාවනාව පිළිබඳයි. තවත් ආකාරයකින් පවසනවානම් මේ වැඩසටහනේ මාතෘකාව ‘භාවනාව‘, තහනම් වචනය ‘භාවනා ක්‍රම‘.

නිමා වූ පළමු අදිය‍රයේදී සිහිබුද්ධිය, සිහිකල්පනාව, සිහිනුවණ හෙවත් සතිසම්පජඤ්ඤය පිළිබඳව හා එයින් ගතහැකි ප්‍රයෝජන පිළිබඳ සාකච්ඡා කළා. ඒ මාතෘකාව නිමා නැති නමුත් එය ප්‍රමාණවත් යැයි සිතෙනවා. වැඩි පිරිසකට සම්බන්ධවන්න අවස්ථාවක් දෙමින් ඊලඟ පියවර, සිහිබුද්ධියෙන් යන්න තියෙන ඊළඟ පියවර පිළිබඳවයි මේ වැඩසටහන් මාලාවෙන් කිසියම් දුරකට අවධාරණය කරන්නේ.

හිතවතුනි, ක්‍රම ගැන කථා කරන්නේ නෑ කීවාම පසුබට වන්න අවශ්‍ය නෑ, “අප ආවේ භාවනාව ඉගෙන ගන්න. නමුත් භාවනා ක්‍රම ගැන කියන්නේ නෑ. ඉතින් කොහොමද භාවනා කරන්නේ?“ කියා. එයයි අපූර්වතම හා ලස්සනම කාරණය, “ක්‍රමයකින් තොරව භාවනාව“, ක්‍රමයකින් ආරම්භ කර ක්‍රමයකින් තොර භාවනාවකට පැමිණිම. ක්‍රමයකින් තොරව භාවනාවකට එන්න අපහසු නිසා ක්‍රමයකින් ආරම්භකර පසුව ක්‍රමයකින් තොරව  භාවනාව කිරීම. භාවනා උපක්‍රමයකින් එනම් භාවනා කමටහනකිනුයි ක්‍රමයක් නැති භාවනාවට පැමිණෙන්නේ. 

කෙනෙකුට පුළුවන් පොළොවේ තියෙන ජලය කාණු කපා පහළට පහළට ගෙනියන්න, ඇලවල් සාදන්න. යෝධ ඇළ, සූවස් ඇළ වගේ ඇළවල් හදන්න පුළුවන්, පොළව උඩ තියෙන වතුර මහමුහුදටම ගෙනියන්න. නමුත් ඉන් එහාට අහසට, වලාකුළු හැදෙන මට්ටමට ගෙනියන්න කාණු කපනවා වගේ ක්‍රමයකින් කරන්න බෑ. එය මහා පරිමාණයෙන් කරන්න  සූර්යයාටම තමා පුළුවන්. අපට පුළුවන් වන්නේ මහා මුහුදට යෑම පමණයි. භාවනා ක්‍රමවලින් කරන්නේ එසේ එකතැන පල්වෙවී තිබෙන ජලය ගලා යන්න පුළුවන් මට්ටමට පුහුණු කර, දියකර, මොලොක් කර මෘදු කර ගලාගෙන ගොස් මහා සාගරය බවට පත් කිරීම. ඕනෑම භාවනා ක්‍රමයකින් ලැබෙන අත්දැකීම එය තමා. එක තැන පල්වෙමින් පුස්කමින් තිබුණු සිත් සතන්, අකර්මණ්‍යව තිබුණු අපේ මනස කර්මණ්‍ය කර ගලායන තත්වයකට පත්කරනවා. වැඩක් ගන්න බැරිව තිබුණු සිත්, දඩබ්බර සිත්, අකීකරු සිත්, කියන මේ විශේෂණ පද යොදාගන්නේ සාමාන්‍ය සිත ගැන කතා කරන්න. ගල් ගැසී ඇති දඩබ්බර සිත් මෘදු මොලොක් කර දිය කර එමෙන්ම කර්මණ්‍ය තත්වයට පත් කර ගලා යන්න පුළුවන් තැනකට ගෙනවිත් ඒ සිතට ගලා යන්න දෙනවා. පුංචි භාජනයක මිදී, පල්වෙමින් පුස්කමින් තිබුණු සිතක් එසේ ගලාගෙන ගොස් මහා සාගරය බවට පත්වෙනවා. සමාධිය කියන්නේ එබඳු අත්දැකීමක්. මුහුදේ ගැඹුරත් තැනින් තැනට වෙනස් වගේ සමාධියෙත් විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. විවිධ ගංගා ගොසින් මුහුදට වැටෙන තැන්වල මුහුදු මට්ටම එක වුණාට ගැඹුර වෙනස්. විවිධ භාවනා ක්‍රම මගින් එළඹෙන සමාධිවල ගැඹුර වෙනස්.

කෙසේ හෝ අත්දකින්නේ එකම මුහුදක් එකම සමාධියක්. සමාධියේ ස්වභාවය තමා සීමාවක් නොපෙනෙන ගතිය. එම නිසා බොහෝ යෝගීන් සිතනවා මේ සමාධිය අසීමිතයි, අප්‍රමාණයි කියා. සමාධි අත්දැකීමේදි එසේ සිතුවාට ගැටළුවක් නෑ, එබඳු නිගමනයකට ඒම සාමාන්‍ය දෙයක්. පුංචි කෝෂයක් ඇතුළේ හිරව සිටින දළඹුවෙක් මෙන් භාවනා පුහුණු කාලයේදී ඕනෑම කෙනෙකු ඒ කැප කිරීම් කරන්න අවශ්‍යයයි. සාමාන්‍ය ජීවිතයේ යන විදිහටම හිඳිමින්, දුවමින්, දඟලමින්, පත්තර හා රූපවාහිනිය සමග, අල්ලාප සල්ලාපත් සමඟම ජීවත් වෙමින් භාවනාව ටික වේලාවක් කරමින් නම් එබඳු සමාධියකට යන්න බැහැ. එවැනි සමාධියකට ගියාම ඒ යෝගීන් කියන කාරණයක් නම් සමාධිය අහසමෙන් අනන්ත බවයි. පුංචි සිතිවිල්ලක් ඇතුළේ සිරවෙලා සිටි සිත එතනින් නිදහස් වෙලා එනවා. එහි තාර්කික පැත්තකුත් තියෙනවා. සාමාන්‍ය සිත පංචකාම අත්දැකීම් තුළ සිරවෙලා තියෙන්නේ. ඉන්ද්‍රිය පහේ අත්දැකීම් තුළ ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ සහ තව කාරණා දෙකක සිරවෙලා තිබෙන්නේ. මොනවාද ඒ කාරණා සිතන්න බලන්න.

පසිඳුරන්ගේ සිත සිරවෙලා තියෙන්නේ කියන කාරණය තේරුම් ගන්න. මොනවාද හැම වෙලේම සිතෙන්නේ, පේන දෙයක්, ඇහෙන දෙයක්, දැනෙන දෙයක් ඕවානේ සිතෙන්නේ. ඊලළඟ කාරණා දෙක නම් අතීතය සහ අනාගතය. වර්තමාන ඉන්ද්‍රිය අත්දැකීම් තුළත්, අතීතයේ ලැබූ ඉන්ද්‍රිය අත්දැකීම් තුළ සහ අනාගතයේ අත්දකිනු ලබන ඉන්ද්‍රිය අත්දැකීම් තුළත් සිරවුණු සිතක්. සිත නිදහස් නෑ. සිතම තමන්ව රවට්ටාගන්න හැදූ අදහසක් තමා, තමන්ම අනුභව කළ ලණුවක් තමා, ‘තමන් නිදහස්‘ කියා. “නිදහසේ සිතනවා, චින්තන නිදහස තිබෙනවා“, මේ කතන්දර එයාවම වහගන්න ඇඳගෙන සිටින විනිවිද පෙනෙන (පොළිතින් වැනි) ඇඳුම්. එම ඇඳුම්වලින් වැහෙන්නේ නැතිමුත් ඇඳුමක් ඇඳගෙන සිටිනවා කියන හැඟීම තිබෙනවා. තමන් තමා දිහා බලන්නේ නැති තාක් කල් තමන් නිරුවත් බව පේන්නේ නෑ සේම දැනෙන්නේ ඇඳුමක් තිබෙන බවයි. එසේ ඇඳුමක් තිබෙන බව දැනෙන විට සිතනවා තමන් වැහිලා ඉන්නේ කියලා. බැලුවොත් තමා පේන්නේ, ඇඳුමක් ඇඳගෙන හිටියත්, ඇඳගෙන ඉන්නේ කියලා දැනුනත්, එය එසේ නොවන බව හා තමන් නිරුවතින් බව බලන හැමෝටම පෙනෙන බව. දැනීම ප්‍රමාණවත් නෑ බලන්න ඕනේ. ඒ නිසා තමා ‘නැණ දසුන‘ කියන අදහස සදහම් සැඳෑවේ දෙවන අදියරට අරන්  තියෙන්නේ. නැණ දසුන, දැනීම සහ බැලීම. නැතිනම් නුවණ හා දර්ශනය, ඥාන දර්ශන (සංස්කෘත) හෙවත් ඤාණ දස්සන (පාලි). මෙතන දර්ශනය කියන්නේ තර්කයේදී කියන දර්ශනය නොවේ, දැකීම. කරණීය මෙත්ත සූත්‍රයේදී කියන්නේ ‘දස්සනේන සම්පන්නෝ‘ කියා අන්න එවන් අදහසක්. ඤාණ දස්සන. ඤාණ කියන්නේ දැනීම, නුවණ. නුවණින් තමා දැනගත්ත දෙය දකින්න ඕනේ. එය අවශ්‍යයි.

නිදහසක් නැති සිත, “සිතට නිදහසක් නෑ“ එහෙම කියනවා. එසේම “චින්තන නිදහස තියෙනවා“, “නිදහසේ සිතනවා“ කියාත් කියනවා. එහෙම කිව්වාට “අනේ මගේ සිතට නිදහසක් නෑ“, සිතට කිසිම නිදහසක් නෑ,“ කියාත් කියනවා. ඇත්ත එය තමා මෙම සිතට නිදහසක් නෑ. විශ්වයේ කාට නිදහස තිබ්බත් සිතට නිදහසක් නෑ. මේ සොබාදහමේ මොනතරම් නිර්මාණ තිබේනවාද? සොබා දහමේ නිර්මාණ විශ්මිතයි, එකකට එකක් වෙනස්. කිසිම කෙනෙකුට සිතා එවැනි නිර්මාණයන් කරන්න බෑ. සොබාදහමේ අනන්ත වූ නිර්මාණ කිසිසේත් කරන්නට බෑ. ලෝක විෂය අචින්ත්‍යයයි. එබඳු නිර්මාණ අතර සිතත් සොබාදහමේ නිර්මාණයක්. ධර්මතාවල නිර්මාණයක් තමා සිත.

සොබාදහමේ මොනතරම් නිර්මාණ තිබේද? එය භාවනාවක් විදිහට කළහැකි දෙයක්. සොබාදහම දිහා බලන්න. බලන්න එහි තිබෙන විචිධත්වය. විවිධත්වය දකින්න. විසිතුරුබව එකකට එකක් වෙනස්. ගසක, එකම අත්තක, එකම රිකිල්ලක, එක ළඟ තිබෙන කොළ දෙකක් අරන් බලන්න, එකිනෙකට වෙනස්. කැලයක ගස් එකිනෙකට වෙනස්. කැලයක් ගත්තාම වෙනස්. කැලෑ දෙකක් ගත්තාම එකිනෙකට වෙනස්. වැලි කැට දෙකක් අරන් බලන්න එක සමාන සර්ව සම වැලිකැට දෙකක් සොයාගන්න පුළුවන්ද කියා සොයා බලන්න. එක වගේ මිනිසුන් නෑ කියනවානේ. මිනිසුන් පැත්තකට තියමු, මේ භෞතික ලෝකෙත් නෑ. 

සොබාදහමේ නිර්මාණ කොටස් තුනකට බෙදනවා.  වැලි කැට, කඳු, සුළඟ වැනි භෞතික නිර්මාණ (අජීවී නිර්මාණ), එසේම ගහ-කොළ වැනි සජීවී නිර්මාණ සහ සිතිය හැකි නිර්මාණ එනම් සචේතනික නිර්මාණ ලෙස. සොබාදහමේ තිබෙන සියලුම නිර්මාණ මේ කාණ්ඩ තුනට ඇතුළත්. එයින් පිට දෙයක් තිබෙනවාද කියා සොයන්න පුලුවන් නම්, සොයන්න වටිනවා. අපට පේන්න තිබෙන නිර්මාණ එක්කෝ අජීවී නිර්මාණයක් නැතිනම් සජීවී නිර්මාණයක් එසේත් නැතිනම් සචේතනික නිර්මාණයක්. අජීවී නිර්මාණයක තිබෙන්නේ හෞතික දේවල් පමණයි. භෞතිකයි, බර කිරන්න පුළුවන්, අතින් අල්ලන්න පුළුවන්, ඇසට පෙනෙන නිර්මාණ, දේවල්, සංඝටක. සජීවී නිර්මාණ වලදී භෞතික සංඝටක වලට අමතරව,  ජීවයක් තියෙනවා. ඇසට පෙනෙන්නේ නෑ, අතින් අල්ලන්න බෑ. මේ ජීවයත් හරි අපූරු දෙයක්, හොඳ කමටහනක්. ජීවය කියන්නේ කුමක්ද? පේන්න දෙයක් නෑ. නොපෙනුනාට ජීවය මානසිකයි කියන්න බෑ. මෙහෙමත් බෙදීමක් තියෙනවානේ, ඇසට පෙනෙන දේ භෞතිකයි, ඇසට නොපෙනෙන දේ මානසිකයි කියා. මෙහෙම ජීවය බෙදන්න බෑ. ජීවය අයිති වන්නේ භෞතික ලෝකයටත් නොවේ, මානසික ලෝකයටත් නොවේ. ඒ දෙක අතර පුරුකක් (පාලමක්) වගේ ජීවය. ගහ කොළ වලට පණ තිබෙනවා. එම නිසා ගස් වැඩෙනවා, මැරෙනවා, පැලවෙනවා. සත්ත්ව ලෝකය ගත්තාම, මිනිසුන් ඇතුළත්ව, ඉන් එහාට ගිහිල්ලා සිතනවා. නමුත් ගහකොළ වලට ඒ හැකියාව නෑ. ගහකොළ සචේතනිකයි කියන්න බෑ. ඒ ගැන විද්‍යාව කළ පරීක්ෂණ තිබෙනවා, යෝගීන් කළ පරීක්ෂණ තිබෙනවා. එතනදි ඔප්පු කරන්න හදනවා ඒ ඇත්තන් ගස්කොළන් වලටත් සිතන්න පුලුවන් කියා. සිතනවා කියන්නේ කුමක්ද කියන කරුණ මතයි එය තීරණය වන්නේ. ඒ අනුව කියන්න පුළුවන් දුරකථනත් සිතනවා, පරිගණකත් සිතනවා, වාහනත් සිතනවා, මේ හැම දෙයක්ම සිතනවා කියන්න පුළුවන්. 

එනමුත් සචේතනික කීවාම චේතනා, කර්මය. චේතනාව මුල්වෙලා කර්මයක් සිදු වෙන්නේ. කර්මය කරන, කළ හැකි යම්තාක් අය සිටිනවාද ඒ අයට තමයි සචේතනික කියන්නේ. සිතන්න පුළුවන් කියන එකම නොවේ. කවුරු සචේතනික කියන වචනය මොන අර්ථයෙන් භාවිතා කළත්, දහමට අනුව, ඥාන දර්ශනයෙන් බලනවිට පේනවා  සචේතනික කියන්නේ චේතනා, කර්මයක් කරන, කළහැකි දේවල් වලට. එහෙම දේවල් භෞතික වෙන්න බෑ. කොහොමත් බෑ. ගඟකට කර්මයක් කරගන්න බෑ, පිනක් කරන්නත් බෑ, පවක් කරන්නත් බෑ. කන්දකට බෑ පින් පව් කරන්න. එහෙම දේවල් වැඩියි. විශ්වයේ වැඩියෙන්ම තියෙන්නේ භෞතික නිර්මාණ‍. ඊලඟට ජීවී නිර්මාණ. ගහ-කොළ, දිලීර, පුස් වර්ග යන මේවාට පින් කරන්න පව් කරන්න පුළුවන්ද කියන කාරණය සැක සහිතයි. සිතන්න පුළුවන් කියන එක වෙනම කාරණයක්. පින්-පව් කරන්න පුළුවන්ද? සංකාර ඇතිකරගන්න, චේතනා ඇතිකරගන්න. බෝධීන් වහන්සේට එනම් ඇසතු ගසටවත් පුළුවන්ද පුණ්‍ය චේතනා ඇති කරගන්න. එහෙම සිතෙන්නේ නෑ. එහෙම බැරුව ඇති. භෞතික දේත් තියෙන්න ඕනේ, ජීවයකුත් තියෙන්න ඕනේ, එයට චේතනාවකුත් තියෙන්න ඕනේ. මේ මූලික පදාර්ථ තුන එකතු වුණාම සත්ත්ව කියනවා. මේ පදාර්ථවල අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම අනුව ඉන්න ලෝක වෙනස් වෙනවා. එයත් දිගින් දිගට කථා කරන්න අවශ්‍ය දෙයක් නොවේ.

අජීවී, සජීවී සහ සචේතනික නිර්මාණ අතර දුක් විඳින්නේ සචේතනික නිර්මාණ. එය මොනතරම් අසාධාරණ දෙයක් ද? මෙය අනිත් පැත්තට තිබුණා නම් මොනතරම් හොඳද කියා සිතෙනවා. භෞතික නිර්මාණ ඔහේ දුක් වින්දාවේ, කඳු, පල්ලම්, රිදී, රත්තරන් ඕනතරම් දුක් වින්දාවේ. ඇයි අප දුක් විඳින්නේ? ඇයි සොබාදහම මෙහෙම අසාධාරණයක් අපට කර තිබෙන්නේ? මෙය අනිත් පැත්තටනේ වෙන්න තිබුණේ. මේ ගැන සිතන විට එබඳු කුතුහලයක් ඇතිවීම සාධාරණයි. හැබැයි සොබා දහම ඒවාට දුක් දීලා නෑ. කිසිම කන්දකට, පල්ලමකට, ඇළකට, දොළකට, තාරකාවකට, මන්දාකිණියකට දුකක් දී නෑ. ඒ වගේම ගහකොළ වලට දුකක් දැනෙනවාද, එයට අකමැති නිසා කර්ම කරගන්නවාද කියා කියන්න අමාරුයි. එක්තරා සීමාවක් ඇතුළේ ගහ-කොළ සටන් කරනවා. පීඩන අඩු කරගන්න, සුවපහසුව වැඩි කරගන්න. හැබැයි සචේතනික කියු කොටස තමා විශ්වයේ දුක් විඳින්නේ. දුක කියන සොබාවය විඳින්නේ. දුක්ඛ කියන කාරණය තේරුම් ගන්න මෙය උදව්වක් වෙනවා. එය භෞතික දෙයක් වෙන්න බෑ, එහෙම නම් අර භෞතික දේවලුත් දුක් විඳින්න ඕනේ. මෙය පණත් එක්ක සම්බන්ධ දෙයකුත් නොවේ. එහෙම නම් පණ තියෙන හැමෝම දුක් විඳින්න ඕනේ, ගස්-කොළන් පවා, ප්‍රාණය තියෙන, ජීවය තිබෙන. නෑ මේ චේතනාවක් සමග ක්‍රියාත්මක වන අයටයි බලපාන්නේ.

හිතවතුනි සොබාදහමේ මේ ආකාරයට හිරවෙලා ඉන්නේ සචේතනික සත්ත්වයා. වෙන කිසිම නිර්මාණයක් හිරවෙලා නෑ. මේ සචේතනික නිර්මාණවලත් හිරවෙලා තියෙන්නේ ශරීරය නොවෙයි. ශරීරය සිර කරන්න පුළුවන්, හිර කූඩුවක දමා, නිවාස අඩස්සියේ තබා සිරකරන්න පුළුවන්. එසේම නිදහස් කරන්නත් පුළුවන්. නමුත් තවත් කෙනෙකුගේ සිත කාටවත් සිර කරන්න බෑ. එනමුත් සිත සිරවෙලා තියෙන්නේ. පල්වෙවී තියෙනවා. වතුර ටිකක් කාලයක් අව්ව වැටෙන්නේ නැතිව, සුළඟ වදින්නේ නැතිව තිබ්බාම පල්වෙනවානේ. එහෙම පල්වෙවී පවතින, කුණු වෙවීයන, දුගඳ හමමින්, තියෙන සිතක් තමයි අපට තියෙන්නේ. ඔය සිත දිව්වා කිව්වාට එහෙම දුවන්නේ නෑ. දුවන්නේ නැති බව අප දන්නවා. මේ සිත එකතැන තියෙන්නේ, හිරවෙලා තියෙන්නේ, හොඳටම හිරවෙලා ඉන්නේ. මේ හිරවෙලා තියෙන සිත මොනවා සිතුවත් හිරවෙලා තමයි සිතන්නේ. අතීතයත් කෙළවරක් නැතිව සිත සිත ඉන්න පුළුවන්. අනාගතයත් කෙළවරක් නැතිව ගොඩනඟන්න පුළුවන්. නමුත් මේ දෙපැත්තෙන්ම කොපමණ සිතුවත්, සිත සිරවෙලා තියෙන්නේ. ඒබව සිතම දන්නේ නෑ. දන්නේ නැත්තේ ඇයි සිත එයා දිහා බලන්නේ නැති නිසා. සිත තමන් දිහා බලන්නේ නෑ. එයා තමන් නිදහස් කියන තමන්ගේම ආකල්පය නමැති ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ‘මගේ නිදහස කාටවත් නැතිකරන්න බෑ‘ කියන මේ මානයත් එක්ක එන ආකල්පය නමැති ඇඳුම ඇඳගෙන ඉන්නේ. එය ඇඳමක් වුවත් විනිවිද පෙ‍නෙන ඇඳුමක්. මෙය බොහෝ වියදම් කර මසාගත් ඇඳුමක් විය හැකි වුවත්  විනිවිද පෙනෙන ඇඳුමක්. ඒ ඇඳුම ඇඳගත්තාට යථා ස්වභාවය වැසෙන්නේ නෑ. අනුන්ට වැසෙන්නේ නැති වුවත් තමන්ට වැසෙනවා. එසේම ඇඳුමක් ඇඳගෙන කියා සිතන නිසා ආඩම්බරයෙන් සිටින්නේ. තමන් දිහා බැලුවොත් තමා පේන්නේ ‘මොනතරම් ලැජ්ජා සහගත‘ හැසිරීමකද සිටියේ කියා.

 සිත පේන්න පටන් ගත්තාම හිතවතුනි, ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. එය අමු අමුවේ විඳිය යුතු ලැජ්ජාවක්. එයින් පලායන්න එපා. කාගෙත් සිත් ඔහොමයි, පෘතග්ජන සිත් ඔහොමයි කියා පලාගියොත් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න බැරිවෙනවා. සිත පේන්න පේන්න ලොකු ලැජ්ජාවක් ඇතිවෙනවා. ඒ ලැජ්ජාවට මුහුණ දෙන්න, ඒ ලැජ්ජාව හරහා අපට යන්න ගමනක් තියෙනවා. ඒ ගමන යන්න ඕනේ. ඒ ගමන යන්න පටන් ගත්තාම, අන්න උණු වෙනවා. එයට ආලෝකය වැටෙන්න පටන්ගත්තාම, ඥාන දර්ශනය පහළ වුණාම, මිදිලා, ගල්වෙලා තිබුණු සිත ඔන්න ගලා යන්න පටන් ගන්නවා. ඒ ගලාගෙන යෑමත් සමඟ මේ පුහුණුවේ යෙදුනාම කාණු දිගේ, ඇළවල් දිගේ, ගංගා දිගේ ගලාගෙන ගොස් මුහුද නමැති සමාධියට පත්වෙනවා. සාපේක්ෂව එය අනන්තයි. අප්‍රමාණයි. පුංචි කාණු ගැට්ටක හිරවෙලා තිබුණු පටු බව නෑ. ඒ ගඳ, අපිරිසිදුකමත් නෑ. කොටු වුණු, පටු වුණු, සීමිත වුණු ස්වභාවයත් නෑ. දැන් හරි නිදහස්. ගැඹුරුම ගැඹුරුයි. ඉතින් බොහෝ දෙනෙකු මෙතනින් පුහුණුව අවසාන කරනවා. සාම්ප්‍රදායික යෝගවල ඔය කියන සමාධියෙන් ඉවරයි.  එය තමයි අවසාන නිෂ්ඨාව. හුදකලාව තිබූ දිය බිඳුවක් මහා සාගරය සමඟ එකතු වීමක්. එය අසනවිටත් අපට දැනෙනවා ලොකු හැඟීමක්. කොහේහරි තැනක තනිවුණු, අසරණ, මොනවත් කරකියා ගන්න බැරි දිය බිඳුවක්, දුඟද හමන, අපිරිසිදු දිය බිඳුවක් කිසියම් ක්‍රමයකින්, උපක්‍රමයකින් මහා සාගරය බවට පත්වුණාම ඊට වැඩිය දෙයක් තිබේද? සෑම දිය බිඳුවකම තිබෙන බලාපොරොත්තුව තමා මහා සාගරය බවට පත්වීම. මේ ආසාව සෑම දිය බිඳුවකටම (සිතකටම) තිබෙනවා, නැත්තේ නෑ. නැත්නම් කවදාකවත් භාවනා කරන්න බෑ. ඒ හැකියාව සහ ඕනැකම සෑම සිතකම තියෙනවා. එක තැන පල්වෙවී කල්ප ගණනක් තිබුණත් ඒ ඕනෑකම සහ හැකියාව සෑම සිතකම තිබෙනවා. කොපමණ කල් පල්වුණාද නැද්ද කියන එක වැදගත් නෑ.  තුන් ලෝකේ කොහේ සිටියත්, කොහේ මේ සිත තිබුණත් ඕනෑකම සහ හැකියාව තිබෙන නමුත්, ක්‍රියාත්මක කරන්න බැරි ලෝක තිබෙනවා. එබඳු ලෝකවලට ගියාම සමාධිය ලැබීම වැනි පැතිවලට යන්න බැරිවෙනවා.

හිතවතුනි මහසාගරය වැනි මේ සමාධිය බවට පත්වුණාම කාලයක් ඉන්න පුළුවන්. දිය බිංදුවක් වැඩිම කාලයක් තියෙනවා ඇත්තේ මහා සාගරය විදිහට. හැබැයි කොපමණ කාලයක් තිබුණත් වාෂ්ප නොවී ඉන්න බෑ. වාෂ්ප වෙනවා, වළාකුළු බවට පත් වෙනවා. වළාකුළු වගේ හැමදාමත් උඩ ඉන්න බෑ, බර වැඩිවෙන විට පහළට කඩාගෙන වැටෙනවා. නැවතත් තනිවෙනවා, පල්වෙනවා. මෙන්න මේ චක්‍රයෙන් මිදෙන්න බෑ, සමාධියෙන් නැවතුණොත්. සමාධියෙන් ඊළඟ පියවරයි නැණ දසුන, ඥාන දර්ශනය. දැනෙන, දැන ගන්නා දෙය දැකීම. දැකීම කියන්නේ ඇස් දෙකින් දැකීම නොවෙයි. වෙනස් මානයක දැකීමක්. මෙය තමා සදහම් සැඳෑවේ දෙවන අදියරේ තේමාව. මේ තේමාව යටතේ තමා මේ වැඩසටහන් මාලාව කරගෙන යන්නේ. මෙතනදි සමාධියට යන හැටි නෙවෙයි කථා කරන්නේ. සමාධියට යන භාවනා ක්‍රම පෞද්ගලිකව පුහුණු වෙන්න පුළුවන්. ඒ සඳහා නිල්ලඹ දේශනා මණ්ඩලය සංවිධානය කරන වැඩසටහන් තිබෙනවා. උදෑසන සම්භාවනා, මෛත්‍රී භාවනා, ආනාපාන සති භාවනා, කරුණා භාවනා, ප්‍රත්‍යවේක්ෂා භාවනා. ඔය භාවනා පහ කෙරෙනවා සඳුදා සිට සෙනසුරාදා දක්වා ඒ දින හයේ. ඉරිදාට විදර්ශනා ජීවිතය ගැන කථා කරනවා. පෝය දවසේ ආර්ය මාර්ගය ගැන කථා කරනවා. මාසයකට වතාවක් සෙනසුරාදා සුසංහිත වැඩසටහනෙන් ධර්මයයි දෛනික ජීවිතයි පිළිබඳව විවිධ මාතෘකා යටතේ කථා කරනවා. එම වැඩසටහන් හරහා සමාධියට යන කාර්ය කෙරෙනවා. 

‘නැණ දසුන‘ නමැති මෙම වැඩසටහනේදී කථා කරන්නේ සමාධියෙන් ඔබ්බට යන කාරණා පිළිබඳව. නැණ දසුනට ලොකු කාලයක් ඕනේ නෑ. සදහම් සැඳෑවේ පළමු අදියරේ අරමුණ උනේ ‘සිහිබුද්ධියට හෝරාවක්‘. සිහිබුද්ධියට හෝරාවකින් අප ඇවිත් තියෙන්නේ නැණ දසුනට තත්පරයක්. ඥාන දර්ශනය පැය ගණන් අල්ලාගෙන සිටිය හැකි හෝසිටිය යුතු දෙයක් නොවෙයි. ක්ෂණික සමාධියක් හරි උදව්කරගෙන දැනීමක් දැකීමක් බවට පත්කරගන්න, දැනුම දැකීමක් බවට පත්කරගන්න. සමාධියයි දැනුමයි දැකීමයි. මේ මාතෘකා තුන ගැන තමා මේ වැඩසටහනේ අවධාරණය කරන්නේ. සමාධියට එන හැටි නෙවෙයි සමාධිය භාවිතා කරන ක්‍රමය ගැන. තියෙන කුමක් හෝ සමාධියක් කොහොමද උදව් කරගන්නේ දැනගන්නයි දැක ගන්නයි. ඒ පසුබිම ගැන පැහැදිලියි කියා සිතනවා. ඒ කිසිම මාතෘකාවක් ගැන අද කෙළවරටම විවරණය කළේ නෑ. කරන්න අවශ්‍යයත් නැහැ.

හිතවතුනි, මේ සහභාගි වන හිතවතුන් ලොකු කැප කිරීමක් කරන බව දන්නවා. වේලාව පමණක් නොවේ, මේ වේලාව ඔය හිතවතුන් හැම දෙනාටම කාර්ය බහුල වේලාවක්. ගෙදර ඉන්නවානම් පවුලේ අයත් එක්ක කථාබහ කරන්න, උයන්න පිහන්න තියෙන වේලාවක්. එයින් තමා මේ කැපවීම් කරන්නේ. එසේම භාවනා කරන්න කැප කිරීම් කරනවා. එයට ලොකු කැපකිරීමක් අවශ්‍යයයි. භාවනා කරන වේලාවක් සොයා ගන්න කැපවෙන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයෙත් කැපකිරීම් කරන්න ඕනේ. මේ සියලු කැපකිරීම් වලට සාධාරණයක් ඉටුකර දෙන්නයි සදහම් සැඳැව දෙවන අදියරෙන් උත්සාහ කරන්නේ.

භාවනාව

ඒ වටහා ගැනීමත් එක්ක අපි ටික වේලාවක් අවධියෙන්, අවධානයෙන් සිටිමු. සිහිකල්පනාවෙන් සාකච්ඡාවට පිවිසෙන්න පෙරාතුව.

නිරායාසයෙන්ම සිත මොන මට්ටමටක තැන්පත් වෙනවාද බලන්න. වීර්යයකින් තොරව, බල කිරීමකින් තොරව බලන්න නිරුත්සාහිකව සිත මොන තැනකට තැන්පත් වෙනවාද? කිසියම් දුරකට සිත තැන්පත් වෙනවා, නැවත උඩ පනිමින් සෙලවෙනවා. නැවත තැන්පත් වෙනවා. නැවත පොලා පනිනවා. මෙහෙම ටික වේලාවක් ගොස් උඩ පැනීමයි ඇද වැටීමයි අඩු වෙවී අඩු වෙවී ගොස් සාපේක්ෂ වශයෙන් නිසසල තැනකට සිත එනවා. ඒ තමා සිතේ ස්වභාවික සමාධි මට්ටම. සිතීම අඩු වෙවී යන හැටි දකින්න. ඈතට ඈතට දිවූ සිත, ළඟ ළඟ කෙටි වෙවී කෙටි වෙවී තමන් ළඟම ගැවසෙන දැවටෙන තැනකට එන හැටි දකින්න. දුවවන්න බලයක්වත්, නවත්ත ගන්න බලයක්වත්, කිසිදු බලයක් සිතට යොදවන්නේ නැතිව ඉන්න. සිත කලබල කරගන්න, සන්සුන් කරගන්න උත්සාහ නොගෙන සිටින විට සිත කිසියම් මට්ටමකට තැන්පත් වෙනවාද ඒ තමා මෙතුවක්කල් කළ භාවනා ක්‍රම පුහුණු වීම් වල එක් ප්‍රතිඵලයක්. දළ වශයෙන් හෝ සිතේ ස්වභාවික සමාධි මට්ටම පිළිබඳ අත්දැකීමකින් එන්න, විවෘත වෙන්න, සාකච්ඡාවට‍. සාකච්ඡාව පුරාම බලන්න ඒ සමාධි මට්ටම සංසුන්තාව කෙතරම් දුරට පවතිනවාද, එය අඩුවෙලා යනවාද, නැතිවෙනවාද, නැතිනම් තව වැඩි වෙනවාද ඒ ගැන බලමින් දකිමින් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ප්‍රශ්න තිබෙනවානම් අසන්න.   

සාකච්ඡාව 

ප්‍ර : ඔබතුමා guided meditation එකේ දී සඳහන් කළා “සිතිවිලි වලට දුවන්න බලයක් දෙන්නෙත් නැතිවත් ළඟ තියාගන්න බලයක් දෙන්නෙත් නැතිව ඉන්න” කියලා. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?


පි : සාමාන්‍ය අවස්ථාවල( භාවනා නොකරනවා කියන අවස්ථාවල) බලය යොදවන්නේ දුවන්න. අප තමා හිතට බලය දෙන්නේ දුවන්න. ඒ නිසායි අප වෙහෙසට පත් වෙන්නේ, දුර්වල වෙන්නේ. ඊළඟට සමථ භාවනා වලදී දුවන්න දුන්නු ඒ බලය යොදවනවා නොදුවා ඉන්න, හිතට එක තැනක ඉන්න. නවතින්න තමා එතනදී උදව් කරන්නේ,බලපෑම් කරන්නේ. කිසිම බලපෑමක් නොකර සමථ භාවනාවකට යන්න බෑ. ඉතින් මේ දෙක අතර තමා දෝලනය වෙන්නේ. වැඩිපුර බලය දෙන්නේ දුවන්න නම් ඉතින් හිත දුවනවා. වැඩිපුර සන්සුන් වෙන්න නම් බලය දෙන්නේ කිසියම් සන්සුන් තාවයක් ඇතිවෙනවා. සාමාන්‍ය හිතක නම් දිවීම් සහ තැන්පත් වීම් එක ළඟ තියෙන්නේ, ඒ දෙක අතර විචලනයක් තමා තියෙන්නේ. සාමාන්‍ය වෙලාවෙදි හිත නිතරම දුවනවා. භාවනා කරන්න පටන් ගත්තහම ක්‍රමානුකූලව දිවීම අඩුවෙනවා. භාවනා වෙලාවෙදිත් හිත දුවනවා නමුත් ඒ වෙලාවේ දී බලය දෙන්නේ හිත තැන්පත් වෙන්න නිසා ඉක්මනින් හිත තැන්පත් වෙනවා. ඉතින් දුවන පරාසය හා කාලය අඩු වෙනවා.භාවනා ඉවර කරන වේලාවෙන් පසු නැවතත් හිත කලබල වෙන පරාසයට යනවා. සමථ භාවනාවේ දී සිත තැන්පත් වෙන්න අවශ්‍යයි, ඒ වීරිය ඕන. ඒ වීරිය නැතිව නම් සමාධියක් වැඩෙන්නේ නෑ. ඉතින් සාමාන්‍ය ජීවිතෙත් සිදුවීම් එක්ක හිත කලබල කරන්න පොලඹවනවා වෙනුවට හිත තැන්පත් වෙන්න පුහුණු කරන්න උත්සාහ කරන්න.  එය යම්තාක් දුරකට අවශ්‍යයි. එහෙම නැතුව නම් මෙහි ඉවරයක් නෑ.

දැන් ඔබතුමිය අහන්නේ මේ දෙකම නොකර සිටීම පැහැදිලි කරන්න කියා. භාවනා කරනවා කියන හැඟීම හිතට ආ ගමන්ම හිත බලනවා මොනවා හරි කරන්න ඕන කියා ( භාවනා “ කරනවා”  කියානේ කියන්නේ, එහෙම නම් මොනවා හරි කරන්න ඕන). ඉතින් මොකක්ද කරන්නේ?. හිත හැමවිටම අන්ත දෙකකයි ජීවත් වෙන්නේ (duality). හැම වෙලාවෙම හිතන්නෙ දැන් තැන්පත් වෙන්න ඕන නැත්නම් දැන් කලබල වෙන්න ඕන කියා. කලින් කළ භාවනාවේදී අපට පුළුවන් වුණා අන්ත දෙකෙන් නිදහස් වුනු තුන්වෙනි මානයක් හදාගන්න (dimension). හිත කියන ජලාශයට ගල්කැටයක් වැටුනහම රැලි හැදෙනවා. පළමු රැල්ල දෙවන රැල්ලක් හදනවා. දෙවන රැල්ල තුන්වන රැල්ලක් හදනවා. ඒ විදිහට ඉවුරට යනකන්ම රැලි හැදෙනවා. නමුත් මේ ගල් කැටය වැටීම නොවෙයි අන්තිම රැල්ල හැදීමට හේතුව, ඊට කලින් තිබුණු රැල්ල තමා හේතුව. එයා තමා අවසාන රැල්ල හැදුවේ. 

මෙතනදි එහෙම හදන්නේ නැහැ. අරමුණක් එනවා, ඒ අරමුණ ගැන හිතෙනවා, එපමණයි. ඉන් එහාට අප ඒ ඔස්සේ යන්න බලපෑමක් කරන්නේ නෑ. ඒ වාගේම නොහිතා ඉන්න බලපෑමක් කරන්නෙත් නෑ.” හිතීම වැරදියි, නොහිතා ඉන්න ඕන, සිතිවිලි එන්න හොඳ නෑ”, ඒ විදිහට භාවනා කරනවා කියා අලුත් චරිතයකට ආරූඪ වෙන්න යන්නෙත් නෑ. භාවනා කරනවා කියල දෙයක් නෑ මෙතැනදී. සමථ ක්‍රමය ඇතුලේ භාවනා කරනවා කියා යමක් තිබුණා. මෙතනදි භාවනා කරනවා නොවෙයි, “කිරීමක්” මෙතන නෑ, job එකක් නොවෙයි, වැඩක් නොවෙයි. දැන් ”වැඩක්” කිවුවහම වැඩ දෙකයි තියෙන්නේ, මොකක්ද, කලබල වෙන වැඩෙයි තැන්පත් වෙන වැඩෙයි. දැන් ඒ දෙකෙන්ම නිදහස්.

 බලනවා මෙයා මොනතරම් දුරට කලබල වෙනවා ද, මොන තරම් කාලයක් ඒ කලබලය ඇදගෙන යනවාද, මොන තරම් දුරට සංසුන් වෙනවද, සන්සුන්තාවය මොන තරම් වෙලාවක් තියෙනවද කියා. මේ එකක් ගැනවත් අපේක්ෂාවක් නෑ. අපේක්ෂාවක් තිබුනොත් නොදැනුවත්වම ඒ අපේක්ෂාවෙන් හිතට බලපෑම් කරනවා. එමනිසා මේ තත්වය නිරපේක්ෂ තත්ත්වයක් කියන්න පුළුවන්, කිසිදු අපේක්ෂාමය අදෘශ්‍යමාන වක්‍ර බලපෑමක් නොකරන. මෙතන කරන “ මම” නෑ, ඒ හිතේ මම නෑ, මම නැති හිතක් දිහා බැලීමක්. බලන තැන මම ඉන්නවා. බලන්නේ මම. ඒ මම ඉන්නවා. හැබැයි හිතේ මම නෑ. හිතේ මම හිටියොත් තමයි කලබල කරන්න හරි නිශ්චල කරන්න හරි උත්සාහ කරන්නේ .මම ඉන්න තැනක තමයි ඔය දෙකම වෙන්නේ. මම නැත්නම් එතන ඕනකමින් කලබල කරන කෙනෙකුත් නෑ, නිශ්චල වෙන්න දඟලන කෙනෙකුත් නෑ. කලබල වෙන හෝ තැන්පත් වෙන්න හදන හිතින් මමව එලියටගන්නවා. අරගෙන එයාට කියනවා, ”ඔබ මෙච්චරකල් හිත කලබල කරන්න උදව් වුණා හා තැන්පත් කරන්න උදව් වුණා. එය හොඳයි. ඔයා මෙපමණ කල් හිතට උදව් කළා නේ, පුරුදු කලානේ, දැන් බලන්න හිතට ඔයා නැතිව කොතරම් දේවල් කරන්න පුළුවන්ද කියා. ඔයාගෙන් ගත් උදව් වලින් පුහුණුවීම් වලින් හිත මොනතරම් දුරට පුහුණු වෙලාද කියා බලන්න”. මෙතැනදී වෙන්නේ පුහුණුකරුව අයින්කිරීම . තරගෙට කලින් ක්‍රීඩකයාව පුළුවන් තරම් පුහුණු කරනවා. ඊට පස්සේ තරග භූමියෙන් පුහුණුකරුව අයින් කර ක්‍රීඩකයා පමණයි ඉන්නේ. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ, පුහුණු කිරීමක් නෑ, ක්‍රීඩකයා ඉන්නවා, හිත තියෙනවා. දැන් බලනවා මෙයා මොනතරම් දුරට පුහුණු වෙලාද කියලා. 


ප්‍ර : අපි කිසියම් වැඩක් කරන අතරේ හිත දිහා බලාගෙන හිටියොත් එක අරමුණක් තමයි ගොඩක් වෙලාවට දකින්නේ. සාමාන්‍යයෙන් හැම ඉන්ද්‍රියකින්ම එන අත්දැකීම් එකින් එක මාරුවෙන් මාරුවට එනවා. නමුත් හිත දිහා බලාගෙන ඉන්න විට ගොඩක් අරමුණු එන්නෙ නෑ. උදාහරණයකට සාමාන්‍ය විදිහට පාරේ ඇවිදින විට අපිට මොන දෙයක් ආවත් අපිට පුළුවන් ඊට ප්‍රතිචාරයක් දක්වලා ඉන් බේරිලා යන්න. නමුත් හිත දිහා බලන් යනකොට පාරේ සිදුවන දේවල් ගැන එතරම් ප්‍රතිචාර දැක්වීමක් සිදු වෙන්නේ නෑ. ඒක හරි භයානකයි නේද?


පි : හිත වෙනම දෙයක් විදිහට පැත්තකට අරගෙන එහා දිහා වෙනම බැලීම හිත දිහා බලන්න කරන පුහුණුවක්. එය පුහුණුවක් පමණයි. ඇත්තටම හිත කියන්නේ සියල්ලටම. දැන් ඇහැට පේන දේත් හිත තමා. පෙනීම කියන්නේ හිත එකතු උනහම සිදුවන දෙයක්. හිත අයින් කලොත් පේන්නේ වත් ඇහෙන්නෙ වත් දැනෙන්නේවත් නෑ. ඇවිදින්නත් බෑ හිත අයින් කලොත්. නමුත් මතුපිට අර්ථයකින් තමයි හිත දිහා බලනවා කියා පෙනීම ඇසීම දැකීම මේ සියල්ල අමතක කර අර හිතෙන දේ දිහා විතරක් බලාගෙන සිටීම කරන්නේ. එය සිත දැකීම නොවෙයි, හිත දිහා බලන්න පුහුණුවීමක්. ඉන්පසුව ඒ පුහුණුව උදව් කරගන්න ඕන පෙනීම ඇසීම දැකීම මේ සියල්ලත් සමගම හිත දකින්න. මේ හැම  එකක්ම හිත තමා. පෙනීමත් හිතක්, ඇසීමත් හිතක්, දැකීමත් හිතක්, ඒවා හිත නෙමේ කියන්න බෑ.මුල් කාරණය මෙහෙම පටු අර්ථයෙන් හිත වෙන්කර ගැනීම. නමුත් හිත වෙන්කරගැනීම ඕන වෙනවා පුහුණුවට. මේ සියල්ල හිත කියා ගත්තහම මේ හයම එකපාර දකින්න අමාරුයි. නමුත් පාරේ යනවිට ( නැත්නම් වෙන වැඩකදී) මේ සියල්ල හිත බව දකින්න ඕන. 

සිතිවිල්ලක් එනවා, එය චේතනාවක් බවට පත්වෙනවා, සමහර සිතිවිලි චේතනා බවට පත් වෙන්නේ නෑ, චේතනා බවට පත්වූ හිත ඊළඟට ක්‍රියාවක් බවට පත්වෙනවා. හැම චේතනාවක්ම ක්‍රියාවක් වෙන්නෙත් නෑ. සමහර චේතනා පමණයි ක්‍රියා වෙන්නේ. ඒ ක්‍රියාව සම්බන්ධයෙන්. ඊළඟට යමක් පේනවා, යමක් ඇහින් දුටු සැනින්ම ඒ හිත ඔය කියු පිලිවෙලට යන්න කල් යනවා. නමුත් එය අපට කලින් ‍ප්‍රතික්‍රියාවක් දක්වනවා, දැක්කොත්. දැක්කේ නැත්නම් ප්‍රතික්‍රියාවක් දක්වන්න බෑ. එය හරියට අලූත්ම වාහන වගේ. අපි  break කරන්න කලින් එය break කරගන්නවා. අප සිහිය නෑ කියන අවස්ථාවේදී වෙන්නේ ඔය කාරණය තමයි, පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. එතනදී ප්‍රතික්‍රියා ක්ෂණිකව ක්ෂණිකව සිද්ධ වෙනවා .හැබැයි සිහිය හදා ගත්තහම ඊට වැඩිය ආරක්ෂාවක් තියෙනවා. නමුත් ඒ සිහිය ඉන්ද්‍රිය හයටම එක වගේ තියෙන්න ඕන. එතනයි වැදගත් කාරණය. ඇහෙන දේට පේන දේට… සහ ඒ ගැන හිතන දේට. අන්න එබඳු සිහියක් තමා පුහුණු කරගන්නත් ඕන සාමාන්‍ය ක්‍රියාකාරී ජීවිතයේදී භාවිතයට ගන්නත් ඕන. එහෙම භාවිතයක් ගන්නකොට භයානක තත්ත්වයක් නෑ. තියෙන භයානක දේවලුත් අඩුවෙලා යනවා. ප්‍රතික්‍රියා වෙනුවට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙනවා. ප්‍රතික්‍රියා කියන එක, සතෙක් දැක්ක ගමන් කෙනෙකු අහකට පනින්න පුළුවන්, හැබැයි එහෙම පනින තැන ඊට වඩා අනතුරක් වෙන්න පුළුවන් තැනක් වෙන්න ඉඩ තියෙනවා. ‍ප්‍රතික්‍රියාවකදී එහෙම හොයා බැලීමක් කරන්න බෑ. එතනට සිහිකල්පනාව ගෙනල්ලා තියාගෙන හිටියොත් වඩාත් සුදුසුම ආරක්ෂණ විධිවිධානය ගන්න පුළුවන්. එතන හරිම වේගවත් සිතීමක් කරන්න පුළුවන්. ඒ සිතීම තුළ පේනවා බේරෙන්න සුදුසුම අවස්ථා කිහිපයක් තියෙනවා, එයින් හොදම අවස්ථාව තෝරා ගන්න පුළුවන්. ඒ පුහුණුවටයි අපි එන්න ඕන.


ප්‍ර : මට දැනෙන දෙයක් නම් එතරම් සිහිකල්පනාව නැති අවස්ථාවකදී හොඳ රසවත් කෑමක් කන විට ඊළඟ කටත් බෙදා ගන්න හිතෙනවා. නමුත් එහෙම බෙදා ගන්න හදද්දි ඒ හැඟීම දිහා බැලුවොත් එතන තියෙන ඇබ්බැහි වීම උපාදානය තේරෙනවා. එතනදි එය නවත්වා ගන්නත් පුළුවන් කියල තේරෙනවා.


පි: වැදගත් කාරණයක් තමයි ඔබතුමිය සඳහන් කරන්නේ, ඊළඟ බත් කට බෙදා ගන්න ආශාවක් එනවා. ඒ ආශාව දැක්කෙ නැත්නම් බෙදාගන්නවා. හැබැයි ඒ ආශාව දැක්කොත් බෙදා ගන්නෙ නැතිව ඉන්නත් පුළුවන්. ” ඊළඟ”, මෙය තමයි ඉතා වැදගත්ම කාරණය, වර්තමානයට ඇලීම නොවෙයි වැදගත් වෙන්නේ, අනාගතයට ඇලීම. ඔය පුනරුත්පත්තිය සිද්ධවෙන්නේ සංසාරය සිද්ධවෙන්නේ වර්තමානයට ඇලීමෙන්ම නොවෙයි, වර්තමානයට ඇලීම තුළ අනාගතය උපාදානය කර ගැනීම නිසා. ඇලෙන්නේ වර්තමානයට, උපාදානය වෙන්නේ අනාගතය. අනාගතය උපාදාන උනහම තමයි ජාතිය භවය… ඔක්කොම හැදෙන්නේ. උපාදානය කියන්නේ දැඩිව අල්ලා ගැනීමට. අල්ලා ගැනීම දැක්කොත් ලිහිල් වෙනවා. දැක දැක දැඩිව අල්ලා ගන්න බෑ. එහෙම බැරි වෙන්න එක හේතුවක් තමයි, එකම ශක්තියක් තමයි තියෙන්නේ අල්ලා ගන්නටත් දකින්නටත්. අල්ලා ගන්නට වීරිය කරනකොට බලන්න වීරියක් නෑ, බලන්න වීරිය කරනකොට අල්ලගන්න වීරියක් නෑ ලිහීල් වෙලා යනවා. දෙකටම එක වගේ වීරිය කරන්න බෑ. එහෙම නැතිව මේක අතාරින්න වීරිය කරනවා කියා වීරිය කරන්න පුළුවන්. නමුත් ඊට වඩා වටිනවා බලන්න විරිය කිරීම. උපාදාන වෙන බව දැනගන්න විර්ය කරන්න. එවිට උපාදානය ලිහිල් වෙලා ලිහිල් වෙලා යනවා. උපාදාන  ලිහිල්වෙලා යනකොට පුනර්භවය “නැවත වීමු” වීම කියන කාරණය ලිහිල් වෙනවා. 


වර්තමානය මොනතරම් රසවත් උනත් එතනින් නවතින්න, අනාගතයට ඊළඟ කියන එකට පනින්නේ නැතිව, කූඩැල්ලා වගේ අල්ලා ගන්නේ නැතිව, ඊළඟ බත් කට ඇති කියන තැනට එන්න. ඇති කිව්වොත් ඇති, මදි කිව්වොත් මදි.


මේ සතියේදී කලබල වෙන වෙලාවක බලන්න උපරිම වශයෙන් හිත කලබල වෙන්නේ මොන මට්ටමටද කියා. සාමාන්‍ය වෙලාවකදී බලන්න බෑ, එහෙම වේලාවකදී කරන්න පුළුවන් වෙන්නේ ආවර්ජනයක් ආපස්සට මෙනෙහි කිරීමක් තුළින් මොන තරම් දුරට කලබල වුණා ද කියා. ඊළඟට තැන්පත් උනහම බලන්න මොන මට්ටමට තැන්පත් වෙනවද කියා. මේ ඉහල සහ පහල මට්ටම් දෙක හඳුනාගන්න. ඒ හඳුනා ගන්නා ප්‍රමාණයට තමා ඥාන දර්ශනය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. සමාධිය හඳුනාගන්නේ නැතිව ඥාන දර්ශනයට එන්න බෑ. ඒ චේතනාව අදිටන හිතේ දරාගෙන  අපි සතුටින් සමුගනිමු.


තැන්පත් හිතට ඇත්ත පේනවා. ඒ ඇත්ත පෙනුනහම තමයි ඉතිරි ටික වෙන්නේ. ඒ ගැන සදහනක් තමයි whatsapp සමූහයේ හැඳින්වීමේ සඳහන් වෙන්නෙ. ඒ ගැනත් අවධානය යොමු කරන්න.


සැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!