මධ්‍යස්ථානයට පැමිණීමට හා භාවනා පුහුණු වීමට අප බෞද්ධ විය යුතුද?

නැත. ඔබ දැනට වෙනත් ස්ථානයකින් උපදෙස් ලබාගෙන පුහුණු වන බෞද්ධ භාවනා ක්‍රමයක් මෙහිදී ද පුහුණු විය හැකිය. නමුත් කෙනෙකුට උපදෙස් අවශ්‍ය නම් හෝ ඔබේ පුහුණු වීම් ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් හෝ ඔබට භාවනාව සම්බන්ධව යම්කිසි ගැටළුවක් ඇත්නම් භාවනා උපදේශකතුමන් හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකිය.

භාවනාව පුහුණු වීම සඳහා අපට ඕනෑම දිනයක පැමිණිය හැකිද? නැතිනම් භාවනාව මුලින් පටන්ගැනීම සඳහා නිශ්චිත දිනයන් තිබේද?

ඔබ ''වැඩසටහන්'' පිටුවෙහි ඇති භාවනා වැඩසටහන්වලට සහභාගී විය යුතුය. දින 5ක් හෝ එයට වැඩිනම් info@nilambe.net ඊමේල් මඟින් ඒ පිළිබඳව මධ්‍යස්ථානයෙන් විමසන්න. කුටියක් වෙන් කරගැනීම සඳහා කල් තබා ඒ බව දැනුම් දෙන්න.

දවසේ ඕනෑම වෙලාවක මධ්‍යස්ථානයට පැමිණිය හැකිද?

නොහැක. මධ්‍යස්ථානයට ඇතුළුවන ගේට්ටු පෙ.ව 6 සිට ප.ව 5 දක්වා පමණක් විවෘතව තබයි. තවද පේරාදෙණිය, ගලහ හන්දියේ සිට මධ්‍යස්ථානයට පැමිණීමට පැය 2ක පමණ කාලයක් ගතවේ.

කාමර හෝ ශාලාවන් තිබේද?

මෙහි තනි කුටි හා හවුලේ පරිහරණය කිරීම සඳහා කුටි ඇත. ඇතැම් විට හිස් කුටි නොමැති අවස්ථාවල ඔබට තව කෙනෙකු සමග හවුලේ කුටි පරිහරණය කිරීමට සිදුවේ

ඇතැම්විට යුවලක් වශයෙන් පැමිණීමේදී ඔවුන්ට හවුලේ පරිහරණය කිරීම සඳහා කුටි ලබාගත හැකිද?

නොහැක. ගැහැණු සහ පිරිමි වශයෙන් වෙන වෙනම අංශ පිහිටුවා ඇත. ඔවුන්ට අදාල අංශවලින් වෙන වෙනම කුටි දෙකක් ලැබෙනු ඇත.

මධ්‍යස්ථානයට පැමිණෙන විට අප රැගෙන ආයුත්තේ මොනවාද?

පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා ඔබට අවශ්‍ය දේ ඇඳුම්, සබන්, දන්තාලේප, ඔබට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, විදුලි පන්දමක්, කුඩයක් සහ එලාම් ඔරලෝසුවක් ආදී දේ.

ප්‍රධාන ආහාර වේල්වලට අමතරව බඩගින්නක් ඇති වූ විට ගැනීම සඳහා අපට වෙනත් කෑම බීම රැගෙන ආ හැකිද?

එහි ගැටළුවත් නොමැත. ඔබේ කැමැත්තට අනුව පිසීමට අවශ්‍ය නොවන ඕනෑම නිර්මාංශ ආහාරයක් ඔබේ කුටිය තුළදී හෝ කෑම කාමරය තුළදී අනුභව කළ හැකිය. එළිමහනේ අනුභව කිරීමෙන් වළකින්න. (කාලසටහනේ සඳහන් ආහාර ගැනීමේ වේලාවන්ට අමතරව)

මධ්‍යස්ථානයෙන් ලබාදෙන ආහාර කෙසේද?

උදෑසන හා දිවා ආහාරය සඳහා නිර්මාංශ ආහාර වේලක් සපයන අතර රාත්‍රිය සඳහා සැහැල්ලු ආහාරයක් සපයනු ලැබේ.

නිල්ලඹ කාලගුණය කෙසේද?

සාමාන්‍යයෙන් සීතල කාලගුණයක් පවතී. විශේෂයෙන් රාත්‍රී කාලයට. වර්ෂාව ගැන පැහැදිලිව කිව නොහැකිය. විටන් විට වෙනස් වේ.

මධ්‍යස්ථානයේදී අඳින ඇඳුම් කෙසේ විය යුතුද?

මධ්‍යස්ථානයට ගැලපෙන පරිදි සංවර, සුදු ඇඳුම් පරිහරණය කරන්න. (අත් නැති කමිස, බ්ලවුස් ඇඳීමෙන් හා පාද නිරාවරණය වන ඇඳුම් ඇඳීමෙන් වළකින්න)

අපට හානි කරන සතුන් හා කෘමි සතුන් සිටීද?

ඇතැම්විට රිලවුන්, මදුරුවන්, කූඬල්ලන් සිටී. නමුත් ඔවුන් හානිකර සතුන් නොවේ. මෙහි මැලේරියා, ඩෙංගු වැනි මදුරුවන් පිළිබඳව වාර්තා වී නැත. කූඬැල්ලන් සපා කෑවාට ඔබ අසනීප වන්නේ නැත.
කරුණාකර කිසිම විටක මධ්‍යස්ථානයේ සිටින රිලවුන්ට, අනිත් සතුන්ට (පූසන්, බල්ලන්, කුරුල්ලන් වැනි) ආහාර දීමෙන් වළකින්න.

භාවනාව පිළිබඳව උපදෙස් ලබා දෙන්නේ කුමන භාෂාවකින්ද?

උපදෙස් ලබාදීමට සිංහල හා ඉංග්‍රීසි යන භාෂා භාවිතා කරයි. සමහරවිට භාවනා වැඩමුළු සම්පූර්ණයෙන්ම සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් පැවැත්වේ. නමුත් සාමාන්‍යයෙන් සමූහ භාවනාවලදී උපදේශකතුමා විසින් පළමුව සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කථා කර ඉන්පසු අනෙක් භාෂාවට පරිවර්තනය කරනු ලබයි.

කණ්ඩායමක් වශයෙන් භාවනාව සඳහා පැමිණිය හැකිද?

ඔව්. මේ සඳහා වේලාසනින් අයදුම් කළ යුතුය.

හදිසි අවස්ථාවකදී රෝහල් පහසුකම් ආසන්නයේ පවතීද?

මහනුවර මහ රෝහලට පැය 2කින් පමණ යා හැකිය.