සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 08

2022 සැප්තැම්බර් 14 සාරාංශය

සුභ සැන්දෑවක් සත්පුරුෂ හිතවතුනි !

මේ රාත්‍රියේ වෙහෙස මහන්සිය විඳ දරාගෙන, සදහම් සැඳෑවට එකමුතු වී, මේ මොහොත පිළිබඳව, වර්තමානය පිළිබඳව තිබෙන වැරදි වැටහීම් ඉවත්කර, නිවැරදි අවබෝධයක් ලබාගන්නට උත්සාහ කරන කළ්‍යාණ මිත්‍රයිනි, සත්‍ය ගැන උනන්දු වන්නේ බොහෝම ටික දෙනයි, උනන්දු නොවෙනවා තරම්. “සත්‍යය කියා යමක් තිබෙනවා, ඒ තිබෙන සත්‍යය දැනගන්න අවශ්‍යයයි, තේරුම් ගන්න අවශ්‍යයයි, ඒ තේරුම් නොගැනීම නිසායි සෑම වියවුලක්ම. ” මෙබඳු ආකල්ප, මෙබඳු ඕනෑකම් ඇතිවන්නේ බොහෝම කලාතුරකින්, ඉතාම ස්වල්ප දෙනෙකුට. එහෙත් සමස්ත ඇත්ත වෙනුවට සිත ඇඳබැඳ ගත් විශේෂ සිදුවීම් පිළිබඳව ඇත්ත දැනගන්න ඕනෑකමක්, කෑදරකමක්, පෙරේත කමක් ‘නීවරණ’ වලින් වැසුණු සිත්වලට තිබෙනවා. විශේෂිත සිදුවීමක්, සොරකමක් වූවිට “කවුද සොරකම් කළේ, කෙසේද සොරකම් කළේ, කවුද අපරාධකරු, කවුද සැලසුම් කළේ?” මෙබඳු දෑ පිළිබඳව නම් ඇත්ත දැනගන්න ලොකු ඕනෑකමක් බොහෝ සිත්වලට තිබෙනවා. එය දැනගන්න තුරු නින්ද යන්නේ නැහැ, වෙන කටයුත්තකට අවධානයෙන් ඉන්න බැහැ, හමුවෙන හමුවෙන අයත් සමඟ ඒ ගැනයි කථා කරන්නේ, කාගෙන් හෝ ඇත්ත දැනගන්න පුළුවන් කියා විශ්වාසයෙන්. හැකි පමණ පත්තර බලනවා, රූපවාහිනිය බලනවා, තව අන්තර්ජාලයේ පුවත් සොයනවා. ඇත්ත හෝ වෙනත් යමක් දැනගෙන හෝ නොදැනගෙන හෝ ඒ ඕනෑකම නැතිවී යනවා. බොහෝ සිදුවීම් බලන්න, මොනවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. හොඳින් බලන්න ඒ සෙවූ සිදුවීම්, ඇත්ත දැනගන්න තුරු නින්ද නොගිය සිදුවීම්වල, ඇත්ත දැනගෙන නොවෙයි නින්ද ගියේ. රෑ නිදි මරාගෙන කල්පනා කරන්න ඇති “කොහොමද එහෙම වුණේ, කවුද කළේ, ඇයි කළේ, කවුද උදව් කළේ, කොහොමද බේරිලා ගියේ”, කියා. නමුත් දවසක නින්ද යන්න ඇති, ඒ නින්ද ගියේ කල්පනා කළ තොරතුරු දැනගෙන නම් නොවේ, නොදැනගෙනමයි. එවැනි සිදුවීම් වලට කියනවා අභිරහස් කියා. අභිරහස් කියනුයේ අනාවරණය නොවුණු, අනාවරණය කරගන්න ලෙහෙසි නැති, සැඟවුණු හෝඩුවාවන් පමණක් පෙනෙන්න තිබෙන නමුත් හෝඩුවාව ඔස්සේ ගියාම කිසිදෙයක් මුණගැසෙන්නේ නැති කාරණා. එවැනි බොහෝ අභිරහස් අනාවරණය වී නැහැ (අනාවරණය වූ කාරණාත් ඇති), නමුත් කිසියම් දවසක නින්ද ගියේ ඒ අභිරහස් පිළිබඳව සියල්ල අනාවරණය වී නම් නොවේ, අමතක වී යෑමෙන්. වෙන ප්‍රශ්න එනවා, ආයෙත් දවසක තවත් අභිරහසක් පැමිණි විට ආයෙත් නින්ද යන්නේ නැහැ.

සත්‍යයෙන් දුරස්වන නීවරණ සිත

මේ සිදුවීම් පිළිබඳව, ලෝකයේ සිද්ධීන් ගැන සොයන්නේ නීවරණ, කාමච්ඡන්දය මුල්වුණු නීවරණ. මේ නීවරණ සහිත සිතට, යම් යම් කෙලෙස් නිසා මිනිසුන්ගේ, සමාජයේ, රටේ, ලෝකයේ වුණු සිදුවීම්, කළේ කවුද, ඇයි කළේ, කොහොමද කළේ ආදි යටගිය, අලගිය, මුල්ගිය ඒ සියල්ලම දැනගන්න ඕනෑකම තිබෙනවා, එක කාරණයක් හැර. කුමක් ද ඒ? “කෙලෙස් නිසයි එසේ වුණේ” කියන කාරණය එය දැනගන්න ඒ සිතට කිසිම ඕනෑකමක් නැහැ. ඒ සියලුම සොරකම්, මංකොල්ලකෑම්, අපරාධ, මිනී මැරීම්, දූෂණ වංචා, කුමන්ත්‍රණ, පහරදීම්, අඩන්තේට්ටම් කිරීම්, යම්තාක් තිබෙනවාද ඒ සියල්ලම සිදුව තිබෙන්නේ කෙලෙස් නිසා, කුමන හෝ ක්ලේශයක් නිසා. ඒ ක්‍රියාව කළ තැනැත්තා කර්මයකුයි කරගෙන තිබෙන්නේ, පාප කර්ම සිදුකරමින් සසර දික් කරගැනීමක් සිදුව තිබෙන්නේ, දුගතිගාමී විය හැකි දොරටුවක් විවර කරගනු ලැබීමක්. ඕනෑම සිදුවීමක් ගැන මෙහෙම හිතෙන්නේ නැහැ නීවරණ සහිත සිතට. කෙලෙස් නිසයි දේවල් සිදුවන්නේ කියන කාරණය නීවරණ සහිත සිතට අසාත්මිකය. ඒ ගැන කවුරුන් හෝ කිව්වත් තරහා ගන්නවා, රවනවා, තර්ක කරනවා, වාද කරනවා, බැණ ගන්නවා. නමුත් ඇත්ත එය තමා. ඇත්ත දැනගන්න නීවරණ සහිත සිත්වලට අවශ්‍යතාවයක් නැහැ. මේ කාරණය මැනවින් දැනගන්න, ‘නීවරණ සහිත සිතකට සත්‍ය දැනගැනීමේ ඕනෑකමක් නැත.’ නීවරණ සහිත සිතකට අවශ්‍ය වන්නේ ඒ අද්භූත, විශ්මයට පත්වන කථා. එබඳු කතන්දර තමයි සොයන්නේ. එවැනි සිදුවීම් ඕනෑ තරම් තිබෙනවා. නීවරණ සහිත සිත්වලට පෝෂණය සපයන, ඔක්සිජන් සපයන සිදුවීම් වැහි වැහැලා. කවදත් ලෝකයේ එවැනි සිදුවීම් තිබුණත්, අද වැඩියි කියන්න බැරි වුවත්, එදා තමන් අවට සිදුවන සිදුවීම් පමණයි දැනගන්න හැකියාව තිබුණේ. අණ බෙරයකින්, කට කථාවකින්, දැනගන්න පුළුවන් වන්නේ ඒ අවට වූ සිදුවීමක් පමණයි. නමුත් අද ඇසිල්ලකින් ඕනෑම තැනක වන සිදුවීමක් කිසියම් ආකාරයකට (සිදුවන හෝ සිදුවූ ආකාරයට නොවේ) දැනගන්න හැකියාව තිබෙනවා. එම නිසා නීවරණ සහිත සිත්වලට හරියට කෑම තිබෙනවා. ඒ කෑම කන්නේ, එයින් පෝෂණය වන්නේ, නීවරණ. හොඳින් බලන්න අසන අසන දැන්වීමෙන්, කියවන කියවන පත්තරෙන්, ප්‍රවෘත්තියෙන්, ඕපාදූපයෙන්, කටකතාවෙන්, කුමක්ද වැඩෙන්නේ, මොනවාටද පොහොර වැටෙන්නේ කියා. බැලුවොත් වැටහේවී  කිසියම් නීවරණයකට (අකුසලයකට) තමයි පෝෂණය ලැබෙන්නේ කියා, අකුසලයක් තමා වැඩී තිබෙන්නේ. අකුසලයක් නොවැඩෙන ආකාරයට හරි අමාරුයි සන්නිවේදනය කරගන්න, ඇහුම්කන්දෙන්න, කියවන්න, බලන්න.

නීවරණ පෝෂණය

ඒ නිසයි අවම වශයෙන් මේ නීවරණ වලින් සිත ඈත් කරගන්නාතුරු හෝ නීවරණවලට ආහාර සපයන මූලාශ්‍රවලින්, සේවාදායකයන්ගෙන් ඈත්වෙන්න කියන්නේ. ඒවා මඟහැර ඉන්න. එසේ නොමැතිව නීවරණ ප්‍රහීන කරන්න, ක්ෂය කරන්න ලේසි නැහැ. එක් පැත්තකින් හොඳින් ඒවාට කෑම දෙමින්, හුස්ම දෙමින් දිනකට පැයක් පැය භාගයක් පමණ, පර්යංකගතව සිත එක තැනක තියාගන්න උත්සාහ කිරීමෙන්, ඒ වේලාවටවත් නීවරණ වලින් සිත අයින් කරගන්න ලේසි නැහැ. සැබෑ උවමනාවක් තිබෙනවා නම්, තේරුමක් නැති, අපට සම්බන්ධයක් නැති, දැනගන්නත් බැරි, දැනගත්තා කියා ඵලකුත් නැති, නවත්තන්නත් බැරි, ලෝකයේ ඈත කෙළවරක වුණා කියා කියන සිදුවීම් ගැන හාරා ඇවිස්සීම තාවකාලිකව අත්හරින්න. එයින් ක්ෂණිකවම මානසික විවේකයක්, සිතට විවේකයක් ලැබෙනවා. මුලින්ම ඒ විවේකයට සිත කැමති නැහැ. හරියට කඩචෝරු කන්න පුරුදු වුණු දිවකට ගොටුකොළ සම්බෝලයක්, මැල්ලුමක් වැනි දෙයක රසයක් නැහැ වගේ. සිත පිරෙන්නෙත් නැහැ, කෑමක් විදිහට දකින්නෙත් නැහැ, නමුත් එය තමා ඇත්තම පෝෂණය සහිත ආහාරය. කඩචෝරුවලින් කිසි පෝෂණයක් නැහැ, ඒවායින් පෝෂණය වී තිබෙන්නේ ලෙඩ, ලෙඩයි වැඩිවී තිබෙන්නේ, නිරෝගීකම අඩුවෙලා. නමුත් නිරෝගීකම වැඩිවෙන ආහාර, ආහාර විදිහට අර දිවට මුලින් දැනෙන්නේ නැති නිසා, ඒවා දිව ප්‍රතික්ෂේප කරනවා. නමුත් ගොටුකොළ සම්බෝලයක තිබෙන රස, වෙන කොළ මැල්ලුමක තිබෙන රස සහ එවැනි ආහාර ගත්තාම දැනෙන සුවය, දීර්ඝ කාලීනව ලැබෙන ප්‍රතිඵල, එමෙන්ම කඩචෝරු කියන දේවල් කෑවාම ඇතිවන විපාක කියන මේවා බුද්ධියෙන් හා අත්දැකීම්වලින් සසඳනවිට අන්න තේරෙනවා කුමන තීරණය ද හරි කියා. නමුත් එයට ටික කාලයක් යනවා. නීවරණ සම්බන්ධයෙනුත් එය එසේමයි.

මායාවී ස්වභාවය

හිතවතුනි, නීවරණ සමඟ නම් මොනවත්ම කරන්න බැහැ. ආධ්‍යාත්මික මාර්ගයේ, ධර්ම මාර්ගයේ මොනවා හරි කරන්න පුළුවන් කියා සිතනවා නම් නීවරණ තියාගෙන, එය බොරුවක්. එය විය නොහැක, නොවිය හැකි දෙයක්. මොනම ආකාරයෙන්වත් වෙන්න බැහැ, ඒ නිසයි ඒවා නීවරණ කියන්නේ, එක්තරා තැනකින් එහාට යන්න බැරිවෙන්න සම්පූර්ණයෙන් මාර්ගය වසාදමා තිබෙන්නේ. නීවරණ කියන්නේ එම නිසයි, මාර්ගය block කරලා තිබෙන්නේ. පටන් ගන්න තැනම නොවෙයි Blockage එක තිබෙන්නේ, ආවරණය තිබෙන්නේ, ටික දුරක් යනවිට. නීවරණ මුණගැසෙන තුරු ගමන් කරන්න පුළුවන්. ඉන් එහාට යන්න බැහැ පාර වැසී තිබෙන්නේ. වැසුණු බව දන්නෙත් නැහැ. නීවරණ කියන්නේ නැහැ “මෙතනින් එහාට මම යන්න දෙන්නේ නැහැ, ඔතන ඉන්න, නැතිනම් ආපසු යන්න, මින් ඉදිරියට යන්න බෑ” කියා, එහෙම කියන්නේ නැහැ. එසේ කිව්වොත් පෙරළාගෙන හරි යනවානේ. එයයි මේ නීවරණවල මායාවී ස්වභාවය. ලොකු පිට්ටනියක් වගේ තැනකට තමයි එන්නේ. නීවරණ මුණගැසෙන්නේ දෙවැටක (පටු තැනක) නොවේ. පටු දෙවැටක ඇවිත් ටිකක් ඉඩ තිබෙන එළිමහනක තමා නීවරණ තිබෙන්නේ. එළිමහනකට පැමිණිවිට පාර වැසී ඇති බව තේරෙන්නේ නැහැ, මන්ද එළිමහනේ එහා-මෙහා යන්න පුළුවන්, කරණම් ගසන්න පුළුවන්, නමුත් ඉදිරියට යෑමක් නැහැ. එතන තව තව දේවල් කරන්න පුළුවන්, පදිංචි වෙන්න පුළුවන්, සීල ව්‍යාපාර කරන්න පුළුවන්, දාන, වාද-විවාද කරන්න, පොත් අච්චු ගසන්න, තොරණ් ගසන්න පුළුවන්. මෙවැනි බොහෝ දේ එතන කරන්න පුළුවන් නමුත් බැරි එකම දේ නම්, සමාධියකට යෑමයි. සමාධියකට යාමකින් තොරව ඉන් එහා ප්‍රඥාවකට ඇතිකරගන්න බැහැ. ඒ මාර්ගය තමා නීවරණ විසින්  block කරන්නේ. ඒ නිසා හිතවතුනි දහම් මාර්ගය වැහෙනවා, වැහිලා කියන කාරණය තේරුම් ගන්න ලේසි නැහැ. මෙය බොහෝ දෙනෙකුට නොපෙනෙන්න එක හේතුවක් නම්, නීවරණ තිබුණට අනිත් දේ කරන්න පුළුවන් වීම. කරන්න බැරි කාරණා දෙකක් තිබෙනවා, එනම් සිත සමාධියකට ගැනීමට නොහැකි වීම සහ සමාධිය නොමැතිව ඥාන දර්ශනයක් පහළ කරගැනීමට නොහැකිවීම. එම කාරණා දෙක හැර වෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන්, නීවරණ ඒවාට කිසිදු බාධාවක් කරන්නේ නැහැ, උදව් කරනවා. දන් දෙන්න, ශීල ව්‍යාපාර කරන්න, මහා පින්කම් කරන්න නීවරණ උදව් කරනවා.

නීවරණ පිළිබඳ මෙම කාරණය සරලව ගන්න එපා, හෑල්ලුවට ගන්න එපා. එන්න එන්න නීවරණ පෝෂණය වුණොත් හිතවතුනි, නීවරණවලින් පාර වැහිලා කියා දැනගත් දිනක අපට හැකියාවක්, ශක්තියක් නැතිවෙයි එම බාධක බිඳගෙන, පෙරළාගෙන ඉදිරියට යන්න. එදාට බාධක විනිවිද, බාධකවලට උඩින් පැන, යටින් රිංගා යන්න අපට හැකියාවක් නැතිවෙයි. නීවරණ පෝෂණය වෙනවා කියන්නේ භාවනානුයෝගියා (අප) දුර්වල වෙනවා කියන කාරණය. තේරීම් දෙකයි තිබෙන්නේ, නීවරණ නැතිනම් යෝගියා, දෙකම එකට ගන්න බැහැ. නීවරණවලට කෑම දෙනවානම් යෝගියා දුර්වලවී යෝගියා නැතිවෙලාම යනවා.

ඉන්ද්‍රියන් පිනවීම, අප්‍රසන්න හැඟීම් සමඟ ගැටීම වැනි බොහෝ කරුණු කාරණා නීවරණ පිළිබඳව අසා තිබෙනවා. එය නැවත කියන්න නොවෙයි උත්සාහ කරන්නේ. කියන්න උත්සාහ කරන්නේ හිතවතුනි, නීවරණ උදව් කරනවා මුලින් කියූ ලෝකයේ සිදුවන සිදුවීම්වල මුල සොයා ගන්න. අප එතන නැහැ, අපට අදාළත් නැහැ, අපට වගකීමකුත් නැහැ ඇත්ත සොයා දෙන්න කිසිවෙකුටවත් එවැනි සිදුවීම්වල. නමුත් ඇතිකරනවා කුතුහලයක්, උනන්දුවක් කොහොමද වුණේ, ඇයි ද කළේ, යන මේ කාරණා විභාග කරන්න. අපව උනන්දු කරවන්නේ නීවරණ.

නීවරණවලට කෙනෙකුව දීර්ඝ කාලයක් අල්ලා ගෙන සිටීමට තරම් ප්‍රබලත්වයක් නැහැ. එක සිදුවීමක් ගැන, නිදාගන්නවත් දෙන්නේ නැතිව ඇහැරවලා, ඔහේ සිතමින් ඉන්න ඉඩහරිනවා. හැබැයි දවසක් දෙකක් යනකොට මනුෂ්‍යයාට ඒ ගැන තිබෙන උනන්දුව අඩුවෙලා යනවා. එක කාරණයක් පිළිබඳව දිගටම උද්‍යෝගීමත්ව තියන්න නීවරණවලට බැහැ. වාසනාවකට, ජීවිත කාලයම එහෙම තියාගන්න නීවරණවලට බැහැ. එහෙම පුළුවන් වුණානම් අපට යන-එන මං නැතිව යනවා. එම නිසා නැවත වෙනත් කාරණයක් අල්ලා ගන්නවා.

මේ නීවරණ තමයි අපව ඒවාට (සිදුවීම්වල අගමුල සෙවීමට) පොළඹවන්නේ කියන කාරණය සාමාන්‍යයෙන් අප සිතන්නේ නැති දෙයක්. රසවත් කෑමකට, ඇඳුමකට, පැළඳුමකට, නැටුමකට, සීතලට නිදාගෙන සිටීමකට තමයි නීවරණ කියා කියන්නේ. නීවරණ ඒවාට පොළඹවන්නේ එක්තරා මට්ටමකින්. නමුත් ඒවාට අසු නොවන සිත්වලට ඊළඟට දාන ඇම නම් අර සිදුවීම්, සිද්ධීන් වලට ගෑවුණේ  කවුද කියා සෙවීම.

තමුන්ටම පමණයි

මෙ මොහොතේ වෙන්නේ කුමක්ද, කොහොමද ඒ දේ වෙන්නේ, ඇයි මෙහෙම වෙන්නේ කියා සොයන්න, බලන්න, ඇතිවෙන උනන්දුව නීවරණ වලින් වැසුණ සිතකට ඇතිවන්නේ නැහැ. නීවරණවලින් ඈත් මෑත් වූ සිතකට තමා ඒ අවශ්‍යතාව ඇතිවෙන්නේ. කවුද කළේ කියන කාරණය නොවේ. මේ මෙහොතේ කවුරුවත් නැහැ. මෙ මොහොතේ වෙන්නේ මොනවාද කියා සොයනවා. වර්තමානයේ සිදුවන්නේ කුමක්ද? එය දැනගන්න නම් හොඳ අවදිමත් බවක් අවශ්‍යයයි. අර සිද්ධි ගැන වගේ මේ කාරණය කාගෙන් වත් අසන්න බැහැ. ඒවා ගැන සොයන්න වෙන අය ඉන්නවා, දුරකථන අංක තිබෙනවා, රූපවාහිනි නාලිකා තිබෙනවා, වෙබ් අඩවි තිබෙනවා, YouTube නාලිකා තිබෙනවා, මුහුණු පොතේ පිටු තිබෙනවා. මේ මොහොතේ වෙන්නේ කුමක් ද, ඇයි එහෙම වෙන්නේ, ඒ ගැන දැනගන්න නම් කිසිම පුද්ගලයෙක් නැහැ, දුරකථන අංකයක් නැහැ. කිසිම දුරකථන අංකයකට කථා කළා කියා මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගන්න බැහැ, මොකද එය අපට අදාළ දෙයක්. මෙතන මේ මොහොතේ වෙන දේ තමා දැනගන්න තිබෙන්නේ. මෙතන මේ මොහොතේ වෙන දේ දැනගන්න පුළුවන් නම් දැනගන්න පුළුවන් වන්නේ එකම එක්කෙනාටයි. දෙදෙනෙකුට බැහැ. මේ ලෝකේ සිටිනවා නම් මිනිසුන් කෝටි හයසියයක් පමණ ඒ කෝටි හයසියයටම බැහැ එක්කෙනෙකුටයි පුළුවන්. මිනිස්සු හැර සිටින කිසිම සාතකුටත් බැහැ දැනගන්න. අප විශ්වාස කරන දෙවියන්, යක්ෂයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, ගන්ධබ්බයන්, බ්‍රහ්මයන්, අසුරයන් වැනි නොපෙනෙන ජීවීන් සිටිනවා නම් මේ කාටවත් බැහැ. තිස්තුන් කෝටියක් සිටියත් බැහැ දැනගන්න. දැගන්න පුළුවන් එකම එක්කෙනා තමන් පමණයි. මට පමණයි, ඔබට පමණයි, අපට නොවේ. සාමුහිකව සොයන්න බැහැ, මේ මොහොතේ වෙන්නේ කුමක්ද කියා. සම්පූර්ණයෙන්ම දැනගන්න පුළුවන් වන්නේ තමුන්ට පමණයි. මේ මොහොත තිබෙන්නේ තමන්ගේ අතේ.

නොයන මාවත

මේ මොහොතේ සිදුවන සිදුවීම දොරවල් කිහිපයක්ම විවර කරනවා, විමුක්තියේ දොරත්, අපායේ දොරත්, දිව්‍ය ලෝකයේ දොරත්. සෑම සිදුවීමකම මෙම දොරවල් තුන තිබෙන නමුත් නීවරණ සහිත සිතකට මේ එක දොරක් වත් පේන්නේ නැහැ. නොපෙනුනාට නීවරණ සහිත සිත කොහොම හරි දොරවල් දෙකකින් එකක් ඇරගන්නවා (අපායේ දොර හෝ සුගතියේ දොර). සෑම මොහොතකම හා සෑම සිදුවීමක්ම ඇතුළේ මෙම පාරවල් තුනම තිබෙන නමුත් නීවරණ සහිත නම් අනිවාර්යයෙන්ම විමුක්තියේ දොර, විමුක්ති මාවත දර්ශනය වන්නේ නැහැ, එය විවර කරගන්නේ නැහැ. නීවරණ සහිත සිතට විවෘත වන්නේ පාරවල් දෙකයි. “මේ අපායට යන පාර ඒ පාරේ යන්න ඕනේ, නෑ දිව්‍ය ලෝකේ යන පාරේ යන්න ඕනේ,” කියා සිතා නොවේ කිසියම් මාවතක ගමන් කරන්නේ. කිසියම් පෙළඹවීමකට, පෙර පුරුද්දකට, සමාජයෙන් එන බලපෑමකට, ඒ වෙලාවේ ගන්න අත්තනෝමතික තීරණයකට මොනවාහරි කරනවා. එසේ මොනවා හෝ කළාම වැටිලා තියෙන්නේ එක්කෝ දුගතිගාමී මාවතට නැතිනම් සුගතිගාමී මාවතට. සෑම සිදුවීමකදී ම මෙම පාරවල් දෙකෙන් එකක අඩියක් දෙකක් ඉදිරියට යනවා. කිසියම් සිදුවීමකදි අපාය පැත්තට අඩියක් දෙකක් යනවා, ඊලඟ සිදුවීමේදි සුගතිය පැත්තට අඩියක් දෙකක් යනවා.  සුගතිය පැත්තට අඩියක් දෙකක් ගියාම දුගතිය පැත්තෙන් අඩියක් දෙකක් එනවා මෙහාට. නීවරණ සහිත සිත තමන්ගේ දෙපා එක තැනක තියාගෙන නැහැ. මෙහෙම තමා කකුල් දෙක පාරවල් දෙකක තියාගෙන ඉන්නේ.

මරණය වේලාවේදි එක පාරයි එකම දොරයි විවර වන්නේ. ලොකු වේලාවක් නැති නිසා කොයිපැත්තට හරි අඩිය තියනවා. එසේ අඩිය තිබ්බද තිබ්බාම තමා, ආපසු ගැනීමක්, ආපසු හැරීමක් නැහැ. කාසියක් උඩ දැම්මා වගේ, අවිනිශ්චිතයි, නිශ්චිත නැහැ. මෙපමණ පින් කළා, මෙපමණ දන් දුන්නා, ඒ මොනවා වුණත් නීවරණ තිබෙනවා නම් සිතක, එය නිශ්චිත සිතක් නොවේ, අඩමාන සිතක්, ලිස්සලා වැටෙන්න පුළුවන්. සිතුවත් නැතත් මෙය බයක්. “අපායක් තියෙනවා, ඒකේ දුක් තියෙනවා” කියා එහෙම සිතන්න අවශ්‍ය නැහැ, මැරුණාට පසුව මොනවා වෙයිද කියා බය තිබෙනවා. මැරුණාට පස්සේ මොනවාවත් වෙන්නේ නැහැ කියා සිතාගෙන ඉන්න අයටත් මේ බය තිබෙනවා. එහෙම සිතුවා කියා බයෙන් බේරෙන්න බැහැ. නීවරණ ප්‍රහීන වනවිට මේ බය නැතිවෙලා යනවා. එවිට නිශ්චිතයි, අඩමානයක් නැහැ, ලිස්සා වැටීමක් නැහැ. ඒ නිසා සිතේ තිබෙන නීවරණ හඳුනාගෙන (පොතේ තිබෙන නීවරණ නොවේ), මතුවෙන මතුවෙන නීවරණයට පොහොර නොදා සිටීම, කෑම නොදී සිටීම අත්‍යාවශ්‍යයයි, අනිවාර්යයයි.

නීවරණයක් මතුවන්නේ සිද්ධියක් සමඟ, අවම වශයෙන් යමක් මතක්වීමක්වත් සිදුවිය යුතුයි. එසේ නොමැතිව නීවරණයක් නිකන්ම පැමිණෙන්නේ නැහැ. නීවරණයක් උපදින්නේ යමක් (වර්තමානයේ සිදුවන සිදුවීමක්) ආශ්‍රය කරගෙන. මේ මොහොතේ සිදුවන සිදුවීමට මුවාවීයි ඕනෑම නීවරණයක් පැමිණෙන්නේ. අපට පිටුපසින් නීවරණවලට එන්න බැරි නමුත් සිදුවීමකට පිටුපසින් එන්න පුළුවන්. ඒ නිසයි මේ මොහොත ඉතාම වැදගත් වන්නේ. මේ මොහොත ගැන අවධානයෙන්, විමසිල්ලෙන් හා අවදිමත්ව සිටීම ඉතාම ප්‍රයෝජනවත් වන්නේ මේ නිසයි.  

අප කථා කළ තුන්වන දොරටුව;  නීවරණ විසින් අහුරා (block කරලා) තිබෙන්නේ. කථා කර බලන්න සිය දෙනෙකු සමඟ, ඕනෑම සිදුවීමක් පිළිබඳව තුන්වෙනි දොරටුවක් ගැන කථා කරයි ද කියා, නැහැ, ඒ ගැන කිසිම කථාවක් නැහැ. මේ නීවරණ නමැති ගල්පර ඉවත් කළාමයි පේන්නේ තව පාරක් තියෙනවා කියා. ඒ පාර මේ පාරවල් දෙකටම වඩා වෙනස්.

සුගතිගාමී දුගතිගාමී මාවත

තවත් වැදගත් කාරණයක් තිබෙනවා හිතවතුනි, සුගතිගාමී දුගතිගාමී පාරවල් දෙක හරියටම 1800 කින් දෙපැත්තටම යන පාරවල් නොවේ. මේ පාරවල් දෙක 1800 කින් ගියොත් කවදාකවත් එකිනෙක මුණගැසෙන්නේ නැහැ. ඒ කාරණය පැහැදිලි ඇති, එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට යෑමක් නොවේ සිදුවන්නේ. දෙදෙනෙක් පිටට පිට තියා හේත්තු වී සිට, දෙන්නා දෙපැත්තට දිශාව වෙනස් නොකර ගමනක් ගියොත් යළි මුණගැසෙන එකක් නැහැ. (පෘථිවිය ගෝලාකාර නිසා හමුවෙයි කියා සිතෙන්න පුළුවන්, නමුත් සාමාන්‍යයෙන් එහෙම නැහැ.) නමුත් සුගතියට සහ දුගතියට ඇති මාර්ග එසේ නොවේ. මාර්ග දෙකක් ලෙස පෙනුණත් 1800 කින් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් නොකරන නිසා මෙම මාර්ග දෙක නැවත නැවත හමුවෙනවා. මාර්ග දෙක එකිනෙක පැටලැවෙනවා. (සුගතියේ ආ කෙනා දුගති මාර්ගයේ යනවා, දුගති මාර්ගයේ ආ කෙනා සුගති මාර්ගයේ යනවා.) අඳින ලද DNA දාම මෙන් සර්පිලාකාර හැඩයක් තිබෙන්නේ. දෙපැත්තට යනවා, නැවත මුණගැසෙනවා, පටලැවෙනවා, නැවත දෙපැත්තට යනවා.

එනිසායි මේ යථාභූතය, ඥාන දර්ශනයට පේන්නේ සදාකාලික ස්වර්ගයකුත් නැහැ, සදාකාලික නිරයකුත් නැහැ කියා. සදාකාලික කිසිවක් නැහැ, තියෙන්න බැහැ, බැරි මෙන්න මේ හේතුව නිසා. හොඳත් සදාකාලික නැහැ, නරකත් සදාකාලික නැහැ. නමුත් එයින් අදහස් කෙරෙන්නෙත් නැහැ, අවධාරණය කරන්නෙත් නැහැ, හොඳයි නරකයි දෙකම එකයි කියා. දුගතියයි සුගතියයි දෙකම එකයි කියන එක නොවෙයි මෙයින් කියන්න උත්සාහ කරන්නේ, දෙක දෙකක්. නමුත් සදාකාලික හොඳකුත් නැහැ, සදාකාලික නරකකුත් නැහැ. සදාකාලික සුගතියකුත් නැහැ, දුගතියකුත් නැහැ. සංස්කාර (සංඛාර) නිසායි සුගති සහ දුගති ලැබෙන්නේ. සංඛාර අනිච්ඡයි. අනිච්ඡ  යනු සංඛාරවල මූලිකම ලක්ෂණයක්. සංඛාර මුල්වෙලායි සුගතියයි දුගතියයි දෙකම ගොඩනැඟෙන්නේ. එසේම කෙනෙකු සුගතිගාමී වන්නෙත් දුගතිගාමී වන්නෙත් වෙන මොනවත් නිසා නොවේ සංඛාර නිසයි. සංඛාරවල මූලිකම ලක්ෂණය අනිච්ඡ නම් සංඛාර මත ගොඩනැඟෙන යමක් වේද එය නිච්ඡ විය නොහැකියි. එය සාමාන්‍ය දෙයක්, කෙසේද නිච්ඡ වන්නේ. දුගතියත් අනිච්ඡයි, සුගතියත් අනිච්ඡයි.

දුගතිය දුක් සහගතයි, දුගතියේදී කුසල් වඩන්න බැහැ. දුගතියකට ගියොත් නීවරණ නැති කරගන්න බැහැ. එය කළ හැක්කේ සුගතියකදී පමණි. සුගතියකදී පමණක් කළ හැකි දේවල් අතර පළමු තැන හිමිවන්නේ නීවරණ ප්‍රහීණ කිරීමටයි. එම නිසා ඔබත් මමත් සිටින මේ සුගතිය ඉතාම වටිනවා. එය වටින්නේ Television තිබෙන නිසාවත්, Zoom තාක්ෂණය තිබෙන නිසාවත්, Smart Phone තිබෙන නිසාවත්, ඒ මොනම දේ නිසාවත් නොවේ, නීවරණ ගැන දැන ගන්න, නීවරණ හඳුනාගන්න, නීවරණ ප්‍රහීණ කරන්න උත්සාහ කරන්න පුළුවන් එකම තැන සුගතිය පමණක්ම වන නිසා. විශ්වය නිර්මාණය වී තිබෙන්නේ සුගතියෙන් ම පමණක් නොවේ, දුගතියත් තිබෙනවා. මේ මාර්ග දෙක මුණගැසෙන තැන් තිබෙනවා. සංස්කාර වෙනස්වන විට මේ සර්පිලාකාර ගමනක යෙදෙන පාරවල් දෙක එකිනෙක මත යනවා. එම නිසා කෙනෙකුට සදාකාලික වශයෙන් මේ කිසිම තැනක ඉන්න බැහැ. ඒ පාරේ දිගටම යන්න බැහැ. සුගති පාරේ දිගටම යන්න පුලුවන් නීවරණ නැත්නම් පමණයි. සිතේ නීවරණ නැත්නම් නැවත දුගති මාර්ගයක් මුණගැසෙන්නේ නැහැ. මේ වේලාවේ නීවරණ නැතුවා පමණක් නොවේ, සිදුවීම් වලදී (මේ පාරවල් මුණගැසෙන සිදුවීම් වලදී) සිතේ නීවරණ ඇති කරගත්තේ නැතිනම් දුගතියේ පාරට වැටෙන්නේ නැහැ. ඒ දොර ඇරෙන්නේ නැහැ.

නීවරණ නැති සිතක්

කෙසේ හෝ කියන්න අවශ්‍ය වන්නේ මේ මෙහොතේ මේ මාවත් තුනම තිබෙනවා. හැම මොහොතකම (සිදුවීමකදී ම) මේ දොරවල් තුන, මාවත් තුන දර්ශනය වෙනවා. නමුත් විමුක්ති මාර්ගය දර්ශනය වන්නේ නීවරණ නැති සිතකට පමණයි. ඒ කවුළුවෙන් බැලුවොත් අන්න ඥාන දර්ශනයක් පහළ කරගන්න පුළුවන්. නමුත් අනිත් කවුළු දෙකින් බැලුවා කියා, ඥාන දර්ශන පහළවන්නේ නැහැ. මොනවා හෝ දර්ශන පහළවෙයි, නමුත් ඥාන දර්ශන නම් පහළවන්නේ නැහැ. ඇතිසැටියක් පෙනෙන්නේ නැහැ. ඇතිසැටියක් පෙනෙන්න නම්, මේ තුන්වෙනි ඇසින් බැලිය යුතුයි. තුන්වෙනි ඇසින් බලන්න නම් අනිත් ඇස් දෙක වැසෙන්න අවශ්‍යයයි. ඒ මොහොතට වැසෙන්න අවශ්‍යයයි. සමාධියේදි වෙන්නේ ඒ කාරණය. සමාධිය කියන්නේ මොකුත් ඇසෙන්නේ නැති, දැනෙන්නේ නැති තැනක් නොවේ. එවැනි සමාධි ඇති නමුත් මේ ඥාන දර්ශනයට අවශ්‍ය වන්නේ එයට වඩා සජීවී, ක්‍රියාශීලී, අවදිමත් සමාධියක්. සමාධි කියන වචනයත් සමඟ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් නිසා, එම වචනය අමතක කරමු. අවදිමත්, ක්‍රියාශීලි, කිසිම පැත්තකට බර නොවන, මානසික ස්වභාවයක් කිසියම් මොහොතක ඇතිවෙනවාද, අන්න ඒ මනස සූදානම් අපට ඇත්ත වාර්තා කරන්න. දැන් එම මනස සුදුස්සෙක්. නමුත් එහෙම සුදුසුයි කියා, ඒ සිත අපට ඇත්ත කිය කිය ඉන්නේ නැහැ, ඇසුවොත් කියයි. සිතින් අසන්න අවශ්‍යයයි. දූරේක්ෂයක් තිබුණා කියා දුර තිබෙන දේවල් ළං කර පෙන්වන්නේ නැහැ. අප ඒ දුරේක්ෂය ඇසට තියා බැලුවොත් පමණයි ළං කර පෙන්වන්නේ.

හිතවතුනි, ඇතිකරගන්න සැබෑ අවශ්‍යතාවයක්, ගැඹුරු ඕනෑකමක් මේ මොහොතේ වෙන්නේ කුමක්ද කියා පිරිසිදුව දැනගන්න. මේ මොහොතේ වෙන්නේ කුමක්ද? කිසි කෙනෙකුගෙන් අසන්න එපා, අසා වැඩක් නැහැ. අසන්න තමන්ගේම සිතින්.  එයා වල්පල් කියනවානම්, ඒ නීවරණ. නීවරණ තිබෙන නිසා සිත වල්පල් කියන්න පටන් අරන්. මේ මොහොතේ වෙන්නේ කුමක්ද කියන ප්‍රශ්නය සිතෙන් ඇසුවාම, අර පොතේ තිබුණු දේයි, මේ පොතේ තිබුණු දේයි, මෙතන වෙන්නේ නැති දේයි කියනවා නම්, මෙහෙම වුණා නම් හොඳයි, අපරාදේ මෙහෙම වුණේ කියා එවැනි කතන්දර කියන්න පටන් ගන්නවා නම්, ඒ නීවරණයි. පැහැදිලිව හඳුනාගන්න, හඳුනාගෙන ඒවාට හූමිටි තියන්න එපා. බලන්න මෙතන මොන නීවරණයද තියෙන්නේ කියා. මොන නීවරණය ද මේ කථා කරන්නේ? පස් දෙනාගෙන් කවුද බලා එයාව පැත්තකින් තියන්න. Microphone එකක් අතට දීලා, කැමරාවක් එයා ඉස්සරහින් තියලා කථා කරන්න අවස්ථාවක් සලසා දෙන්න එපා, නීවරණයකට වේදිකාවක් හදා දෙන්න එපා. එයාව කෙළින්ම වේදිකාවෙන් පහළට දාන්න. බලන්න, ඊලඟට කවුද කථා කරන්නේ කියා. වෙන්න ඕනේ කුමක්ද කියා නොවේ, මේ වෙලාවේ වෙන්නේ මොකක්ද කියා බලන්න. නැවත නැවත අසන්න. මනාවූ අවදියකින්, හොඳ අවධානයකින් ඉන්න, ලැබෙන උත්තර ගැන. අසන්නේ සිතින්, අපට වෙන කාගෙන්වත් අසන්න බැහැ. අසන්න වෙන කෙනෙකුත් නැහැ. ඉන්න එකම එක්කෙනා අපේ සිත. එයාගෙන් අසමු “මොකද වෙන්නේ මේ මොහොතේ?”කියා. හැබැයි එයාට එක එක්කෙනා වැහිලා නම්, නීවරණ කියන යක්කු වැහිලා නම්, ඒ වැහිච්ච යකා කථා කර උත්තර දෙනවා. අපට තිබෙන්න ඕනේ අවදිමත් බවක්, මේ අසවල් යකා කථා කරන්නේ කියා. ඒ ආවේශයෙන් සිත අයින් කරන්න. සමාවක් දෙන්න එපා, ඒ ආවේශයෙන් සිත අයින් කරන්න. නැවත නැවතත් අසන්න. මේ, නීවරණ ප්‍රහීණ කරන්න පුළුවන් සරල හා කෙටි ක්‍රමයක්. එයට වීරියක්, එඩිතරකමක්, ඕනෑකමක් සමඟ ඉවසීමක් අවශ්‍යයයි. එසේ තිබෙනවා නම් එක මොහොතකට සිත නීවරණ වලින් නිදහස් කරගන්න පුළුවන්. එයට තමා කියන්නේ ක්ෂණික සමාධිය කියා.

භාවනාව

‍මේ මොහොතේ සිත උනන්දු වන්නේ (පෙළඹෙන්නේ) කුමකටද බලන්න. පරණ වූ සිදුවීමක තොරතුරු සොයන්නද, වෙන්න තිබෙන සිදුවීමක කේන්දරය සාදන්නද, නැතිනම් කොහේ හෝ වුණු සිදුවීමක තොරතුරු විභාග කරන්නද?

ඒ කවරක් ගැන හෝ සිතන, සොයන, විමසන, හාරා අවුස්සන, ඕපාදූප සොයන කෙනා කවුද කියා බලන්න. මොන නීවරණයද?

මෙතන, දැන් කුමක්ද වෙන්නේ? “මෙතන මොනවත් වෙන්නේ නැහැ. දැනගන්න තරම් දෙයක් මෙතන වෙන්නේ නැහැ” කියා කියන්නේ නීවරණ. ඒවාට අසුවී මේ මොහොත දෙස නොබලා අහක බලන්න එපා. කොහේ බැලුවත් කිසිවක් සිදුවන්නේ නැහැ, සිදුවන බවක් පේන්නේ නැහැ, සිදුවෙනවා නම් සිදුවන්නේ මෙතන මේ මොහොතේ. 

වඩ වඩාත් මේ මොහොත ආලෝකමත් වන හැටි, මේ මොහොතට එළිය වැටෙන හැටි පෙනෙනවා. ආවරණ, වලාකුළු, නීවරණ ඈත් මෑත් වෙන හැටි පේනවා.

කිසියම් දුරකට පැහැදිලි, නිරවුල්, පිරිසිදු මනසකින් එන්න සාකච්ඡාවට, සාකච්ඡාවක් අවශ්‍ය නැති වෙන්නත් පුළුවන්. අවශ්‍ය වුවත් නැතත් සිතේ පැහැදිලි තත්වය, සිතේ නිරවුල් බව, දිගටම තියාගන්න බලන්න. එයට මුල්තැන දෙන්න. ඇහුම්කන්දීමට, ප්‍රශ්න ඇසීමට හෝ ප්‍රතිචාර දැක්වීමට දෙවෙනි තැන දෙන්න. මුල් තැන සිතේ සුපැහැදිලි බවට. ගැටලුවක් තිබෙනවා නම් අසන්න.

සාකච්ඡාව

ප්‍රශ්නය : වර්තමාන අත්දැකීම, සිහිය සහ සමාධිය එක් වීමෙන්ද ඥාන දර්ශනය අපට ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ ?

පිළිතුර : අනිවාර්යෙන්ම සමාධිය අවශ්‍යයි. සමාධිය කියන්නේ සංස්කාරයක්. සංස්කාරයක් කියන්නේ සංයෝගයක්.  එනිසාම සමාධිය ඒකීය දෙයක් නොවෙයි, කුසල් සංයෝගයක් (ඒකීය සමාධි තියෙන්න පුළුවන්. හැබැයි එහෙම සමාධියකින් වැඩක් නෑ) . ඒ සංයෝගයේ සිහිය අවධානය සහ උපේක්ෂාව( විවෘත භාවය) තියනවා. මේ කාරණා තුන එකතු වුණහම ඒකට දෙන නම තමයි සමාධිය කියන්නේ. අවධානය තමයි යොමු කරන්නේ වර්තමානයට. වර්තමාන දිහා බලනවා කුමක්දවෙන්නේ කියා. සිහිය ඕන වෙන්නේ මේ මොහොතේ හිතේ කුමක්ද වෙන්නේ කියා දැන ගන්න. යමක් ඇහෙනවා පේනවා දැනෙනවා. ඒ සිදුවීමට හිත කොහොමද සම්බන්ධ වෙන්නේ, හිත කොහොමද ඒ සිදුවීම අර්ථ දක්වන්නෙ, වර්ණ ගන්වන්නේ, එය සරසවන්නේ කොහොමද කියා පේනවා සිහිය තිබුනොත්. සිහිය නොතිබුනත් ඒ ටික වෙනවා. නමුත් ඒ බව පෙනෙන්නේ නෑ. උපේක්ෂාව අවශ්‍ය වෙන්නේ ඒ වර්ණ ගැන්වීම් අයින් කර සිදුවීම දිහා බලන්න. එහෙම බැලුවොත් තමා ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. මේ උපකරණ 3 තිබුණා කියා ඥාන දර්ශනයක් පහළ වෙන්නෙ නෑ. ඒවා නිවැරදිව අමුනාගෙන ඒ කාර්යයන් තුන කරගන්න ඕන. එහෙම තුන්දෙනාගෙන් එකට වැඩ ගන්න පුළුවන් නම් ඒ තුන්දෙනාගේ මට්ටමට අනුව මේ වෙලාව ගැන අපට ඇත්ත අනාවරණය කරගන්න පුළුවන්. ඒ ඇත්තේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු ඉන්නේ මේ උපකරණ තුනේ අඩුපාඩු මත. එනිසා සමාධියෙන් තමයි බලන්න ඕන වර්තමාන අත්දැකීම දිහා. 

ප්‍රශ්නය : ශරීරය දිහා බලනකොට නීවරණ වලින් තොරව පැහැදිලිව ශරීරය දකින්න පුළුවන්. හැබැයි හිත දිහා බලන්න ගියහම එය එච්චර පහසු නෑ. ඒකට හේතුව මොකක්ද?

පිළිතුර : ඔව්, එය සත්‍යයක්. ඒ නිසායි සතර සතිපට්ඨානය කායානුපස්සනාවෙන් පටන් ගන්න කියන්නේ. සාමාන්‍යයෙන් බැලුවොත් කාය සංවේදනා වල පෙනෙන ආයු කාලය වැඩියි. එනිසා පහසුවෙන් හිතට සාපේක්ෂව ඒවා  දකින්න පුලුවන්. සිතිවිලි වේගවත්, ආයු කාලය අඩු නිසයි අපහසු. මෙය පොදු දෙයක්. එනිසා පුළුවන් තැනින් කරමු. මේ දුර්වලතාවයක් නෙමෙයි, මේ තමා ධර්මතාවය. නමුත් නීවරණ, සිතිවිලි තරම් වේගයෙන් ඇතිවෙලා නැතිවෙලා යන්නෙ නෑ. නීවරණ ටික වෙලාවක් පවතිනවා.මින් අදහස් වෙන්නේ නෑ නීවරණ වලට චිත්තක්ෂණයකට වඩා පවතින්න පුළුවන් කියලා. නීවරණ කියන්නෙත් චෛතසික. ඒවාත් පවතින්නේ චිත්තක්ෂණයක් පමණයි. නමුත් එය කිසියම් වෙලාවක් නැවත නැවත ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නීවරණයක් ටික වෙලාවක් පවතිනවා. එම නිසාම එකම නීවරණය එක දිගට තිබුණා වගේ පේනවා. 

මූලික වශයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙක හඳුනා ගන්න බලන්න. මේ දෙන්නව හඳුනාගන්න පහසුයි. මූලික වශයෙන් අනිත් නීවරණ 3 මේ දෙන්නා මත යැපෙන නීවරණ. එනිසා කිසියම් මොහොතක කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙක නැද්ද එවිට අනිත් නීවරණ වලට අපහසුයි තනිවම මේ ආධ්‍යාත්මික මාර්ගයට බාධා කරන්න. ඒ වාගේම කාමච්ඡන්ද ව්‍යාපාද නිවාරණ හඳුනා ගන්න අපහසු වෙන්නෙත් මේ අනිත් නීවරණ තුන නිසා, මොකද ඒ තුන්දෙනා කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ වටකරගෙන තමයි ඉන්නේ. 

ප්‍රශ්නය : භාවනායෝගීන් භාවනා කරන විට මුලින් සඳහන් කරපු අංශ තුනටම දෝලනය වෙන්න පුළුවන්, අපාය පැත්තට ( දුගති මාර්ගය)  දිව්‍යලෝකය පැත්තට (සුගති මාර්ගය) සහ සමහරවිට විමුක්තියට ( විමුක්ති මාර්ගය). අත්දැකීමෙන් අත්දැකීමට නීවරණ වල  ත්‍රිව්‍රතාවය වෙනස් වෙන්න පුළුවන්. එවැනි දෝලනයක් නේද මෙතන සිද්ධ වෙන්නේ?

පිළිතුර : අනිවාර්යෙන්ම එහෙමම තමයි. එක දිගටම එක මාර්ගයක කවුරුවත් යන්නේ නෑ. එනිසායි සදාකාලික හොඳ කෙනෙකු හෝ නරක කෙනෙකු නෑ කියා කියන්නේ. හොඳ ක්‍රියා නරක ක්‍රියා සහ අධ්‍යාත්මික උත්සාහයන් තියෙනවා. හැබැයි එක දිගටම නෑ. ඒ තමා ඇත්ත. ඒ ඇත්ත දැන ගන්න එකත් වටිනවා. මෙතන දිගටම ඉන්න කෙනෙකු නැති බව දැකීම වටිනවා. දුගතියට පා තබන කෙනෙකුත් ඉන්නවා, සුගතියට පා තබන කෙනකුත් ඉන්නවා, විමුක්තියට දුවන කෙනකුත් ඉන්නවා. හැබැයි එකම වෙලාවේ මේ තුන්දෙනා ඉන්නේ නෑ. අඩුම තරමින් මේ තුන් දෙනා මතුවෙන මතුවෙන වෙලාවේ හඳුනාගන්න පුළුවන් නම් එයත් ඥාන දර්ශනයමයි. එය ලොකු ජයග්‍රහණයක්. විමුක්තියේ දොර ඇරෙන කොට එය අනිවාර්යෙන්ම දන්නවා. අනිත් දොරවල් ඇරෙන කොට නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේ භාවනා නොකරන වෙලාවට ඒ දොරවල් දෙක ගැන අවදියෙන් ඉන්න පුළුවන් සහ ඉන්න ඕන. 

ප්‍රශ්නය : දිගටම භාවනා කරන කෙනෙකුට විමුක්ති මාර්ගයේ අත්දැකීම් ලැබීමත් එක්ක ඒ මාර්ගයට නැඹුරු වීම වැඩි වෙනවා නේද? 

පිළිතුර : අනිවාර්යයෙන්ම. දිගින් දිගටම භාවනා කරන සද්ධර්ම ශ්‍රවණය කරන සත් පුරුෂයන් ආශ්‍රය කරන ධර්ම සාකච්ඡා කරන කෙනෙකුට ඒ විමුක්ති මාර්ගයේ වැඩි පියවර ගණනක් තියන්න තියෙන අවස්ථාව වැඩියි එසේ නොකරන කෙනෙකුට වඩා. එනිසායි මේ සාධක ප්‍රත්‍යයන් අංග නැවත නැවත පුළුවන් තරම් එකතු කරගන්න වැඩි කරගන්න කියා කියන්නේ. විමුක්ති මාර්ගය ඕනෑම සිදුවීමක් හරහා විවෘත කරගන්න පුළුවන් දෙයක්, කඩේ ද වීදියේද එහෙම වාරණයක් නෑ. අපායට දොරයි දිව්‍ය ලෝකයට දොරයි විමුක්තියට දොරයි මේ තුනම තියෙන්නේ කනට ඇහෙන ඇහැට පේන සිදුවීම් තුළ. නීවරණ අඩු උනහම තමයි විමුක්තියේ දොර පෙනෙන්නේ. එහෙම නැතිනම් කොහොමවත් ඒ දොර පේන්නේ නෑ. එහෙම දොරක් නෑ වගේ. අනිත් දොරවල් දෙකත් වැඩිය පේන්නෙ නෑ, ඔහේ පුරුද්දටයි ආභාෂයටයි එක එක ඇර ඇර ඉන්නවා. එනිසා භාවනාවට වැඩි කාලයක් දෙන්න. භාවනා කරන වාර ගණන වැඩි කරන්න. එය ඉතාම අවශ්‍යයි. එතනදී එක කාරණයක් ගැන සැලකිලිමත් වෙන්න. “මේ භාවනා කරන්නේ හුදු සැහැල්ලු වීම සඳහා පමණක් නොවෙයි, එයට එහා ගිය අවබෝධය සඳහායි, ඇත්ත දැකගන්න, ඥාන දර්ශනය සඳහායි මේ භාවනා කරන්නෙ” කියන ඒ සම්මා දිට්ඨිය ඇතිකර ගන්න.

ප්‍රශ්නය : සුගතියේ මාර්ගයට හා දුගතියේ මාර්ගයට වඩා ප්‍රබලම මාර්ගය ආධ්‍යාත්මික මාර්ගය නේද?

පිළිතුර : ප්‍රබලම මාර්ගය ආධ්‍යාත්මික මාර්ගය කියලා කියන්න පුළුවන්, මෙන්න මේ කාරණය නිසා. කුමක්ද,අනිත් පාරවල් දෙක එකිනෙක නැවත නැවත මුණ ගැසෙනවා. කොතනදී හමු වෙනවද දන්නේ නෑ. හමුවුණහම දුගතියේ ඉන්න කෙනා සුගතියට යන්නත් පුළුවන් සුගතියේ ඉන්න කෙනා දුගතියට යන්නත් පුළුවන් (වැඩි අවස්ථාව තියෙන්නෙ සුගතියේ ඉන්න කෙනා දුගතියට යන්න), මේවා එකිනෙක පටලැවිලා යන්නේ. නමුත් විමුක්ති මාර්ගය මේවාට පටලවෙන්නේ නෑ. ඒක සෘජු පාරක් (උජුපටිපථපන්නෝ).ඒ නිසා එය ප්‍රබලයි. එකම දේ පසුගාමී වෙන්න පුළුවන්, එක තැන නැවතිලා ඉන්න පුළුවන්, කල් දාන්න ප්‍රමාද වෙන්න පුළුවන්. නීවරණ මතු වුණාමයි එහෙම වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රබලම මාර්ගය තමා ආර්ය මාර්ගය. අනිත් දෙකට මාර්ග කිව්වට ඇත්තටම ඒවා පාරවල් නෙමෙයි, සංස්කාරයන්. (විමුක්ති මාර්ගයත් එක්තරා දුරකට සංස්කාරයක් තමයි). නමුත් සුගති මාර්ගයයි දුගති මාර්ගයයි එකක් නෙමේ දෙකක්. දුගතියට වඩා සුගතිය හොඳයි කියන බොහෝ කාරණා තියෙනවා. හැබැයි නොකියන කාරණය තමයි නීවරණ හඳුනාගන්න හා ප්‍රහීණ කරන්න පුළුවන් වෙන්නේ සුගතියේ දී පමණයි. එය දුගතියේදී කරන්න බෑ. එනිසා විමුක්ති මාර්ගයේ යන විට එයා දුගතිගාමි වෙන්නේ නෑ. එහෙම පැත්තකුත් තියෙනවා. විමුක්ති මාර්ගයයි සුගති මාර්ගයයි එකතු වෙනවා නෙමෙයි මෙතන වෙන්නේ. විමුක්ති මාර්ගයේ යන කෙනාට ලැබෙන  දීමනාවක් වගේ දෙයක්. හැබැයි ඒ වරප්‍රසාදය නිසා ආපසු දුගති ගාමී වන අකුසල් කරන්නේ නැහැ.


හැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!