සදහම් සැඳෑව -2 


2022-11-16 නැණ දසුනට තත්පරයක් - 17 


සැදහම් සැඳෑව ආධ්‍යාත්මික අම්බලමට ස්වල්ප වේලාවකට ගොඩවැදුනු සත්පුරුෂ හිතවතුනි, සත්පුරුෂ ආධ්‍යාත්මික ගමන් සගයිනි ! 


අප සොයා බලමින් පැමිණියේ, අනාවරණය කරගන්න උත්සාහ කළේ, මේ තණ්හාවත් සමඟ කෙසේද ක්‍රියා කළ යුත්තේ කියායි. සමස්ත දහමේ ම මුඛ්‍ය පරමාර්ථය එයයි, වෙන ඉලක්ක නැහැ දහමට. තණ්හාව දැකීම, තණ්හාව ක්ෂය කිරීම, තණ්හාවෙන් නිදහස් වීම. ඒ සඳහායි මේ මාර්ගය තිබෙන්නේ. අනුපූර්ව ප්‍රතිපදාවේ, මජ්ඬිම ප්‍රතිපදාවේ යන අතර ඒ සඳහාත් උපකාර වෙන සමහරවිට ක්ෂණිකව ම භාවිතයට ගත හැකි, ගතයුතු කිසියම් ආධ්‍යාත්මික මාර්ගෝපකරණ කිහිපයක් ගැනයි මේ බුද දින රාත්‍රියේ සදහම් සැඳෑවේදි කථා කළේ. මුලින්ම කථා කළේ සිහිබුද්ධිය ගැනයි. දැන් කථා කරනුයේ ඥාන දර්ශනය ගැන. ඥාන දර්ශනය ඇති කරගැනීම හා එයින් කෙසේද ප්‍රයෝජනය ගන්නේ කියන කාරණය පිළිබඳව විවිධ අංශවලින් සාකච්ඡා කරමින් පැමිණියා. තණ්හාව ක්ෂය කිරීම භාවනාවක්. එමෙන්ම පසුගිය සතියේ කථා කළ කාරණා පිළිබඳව ගෙවුණු දින හතේදි භාවනා කරන්න, පුහුණු වෙන්න, අත්හදා බලන්න, උත්සාහ කරන්න ඇතියි කියා විශ්වාස කරනවා.

තණ්හාව වෙනම මාතෘකාවක් ලෙසින් ගතයුතු නැතත් ඇයි එය ගත්තේ? තණ්හාව ප්‍රශ්නයක් බව දහමේ පමණක් නොවෙයි, කොයි ආගමෙත් සදහන් වෙලා තිබෙනවා. අත්හරින්න, දන් දෙන්න කියා තණ්හාව ගැන කථා කරනවා. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් කියන්න දේවල් නැතැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. තණ්හාව කියන්නේ යම් යම් දේ කෙරෙහි ඇති ආශාවට පමණක් නොවේ. මතුපිටින් පේන්න තියෙන ඉන්ද්‍රියයන් සමඟ පොළඹවන ඒ ආශාවට පමණක් නොවේ තණ්හාව කියන්නේ. සමහරවිට දෙයක් බෙදාගන්න පොරකනවා, රණ්ඩුවෙනවා, නඩු කියනවා. අපට පෙනෙන්නේ තණ්හාව ඒ විදිහට. තණ්හාව එයට වඩා බොහොම සියුම්, බොහොම බලවත්. මේ විශ්වයේ තිබෙන, සංසාරයේ තිබෙන ප්‍රබලම බලවේගය තණ්හාවයි. ඒ බලවේගයේ ප්‍රබලත්වය අප තාම දැක නැහැ. අප සිතනවාට වැඩිය ප්‍රබල බලවේගයක්. එය පුංචි සිතිවිල්ලක තිබෙන ආසාවකට එහා ගිය දෙයක්. එම නිසා තණ්හාව හඳුනා ගතයුතුයි. ඥාන දර්ශනයෙන් කරනු ලබන එක් දෙයක් නම් තණ්හාව හඳුනාගැනීම. යම් පමණකට දැක්කාද ඒ පමණටයි කළකිරීම ඇතිවන්නේ. ඒ නිසායි වැඩසටහනට පාඨයක් දමා තිබුණේ “ඇති සැටිය දුටුයේ කළකිරෙයි, කළකිරුණුයේ නොඇලෙයි, නොඇලුනේ මිදෙයි, මිදුනුයේ මිදුනුබව නුවණින් දනී” කියා. 


තණ්හාවේ දාසයන්

“සෑම සාංසාරික සත්ත්වයෙක්ම තණ්හාවේ දාසයන්” කියන මේ කාරණය පිළිබඳව සිතුවොත් පැහැදිලි වෙනවා තණ්හාව කොතරම් ප්‍රබලද කියා. සාංසාරික සත්ත්වයන් කියා අදහස් කරන්නේ මොනවත් කරකියා ගත නොහැකි ඔබට සහ මට පමණක් නොවේ. සාංසාරික සත්ත්වයන් සේ බොහොම බලවත් අයත් සිටිනවා. මිනිසුන් අතර රජවරු, ජනාධිපතිවරු, හමුදා ප්‍රධානින්, මිලියනපතියන්, මහා බුද්ධිමතුන් මෙන්ම විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් ඍෂිවරු සිටිනවා. මීට අමතරව මිනිසුන්ට වඩා බලවත් දෙවියන්, බ්‍රහ්මයන්, අසුරයන්, මාරයන් සිටිනවා. මේ හැමදෙනාම තමන්ගේ දාසයන් (මෙහෙකරුවන්) කරගන්න කාටද පුළුවන්. කිහිප දෙනෙකුගෙන් වැඩ ගන්න අය ඉන්න පුළුවන්, නමුත් ඒ අයත් මෙහෙකරුවෙකු වෙනවා තවත් අයෙකුගේ. මේ හැමෝම තමන්ගේ දාසයන් කරන්න පුළුවන් කෙනායි මේ සංසාරයේ සිටින බලවත් ම කෙනා. එහෙම පුද්ගලයෙකු නැහැ, තණ්හාවයි මේ හැමෝම තමන්ගේ අල්ලේ නටවන්නේ. මෙය න්‍යායාත්මක ව පමණක් නොවේ ප්‍රායෝගිකවත් පැහැදිලිවන කාරණයක්. හරිම බලවත්, හරිම පොහොසත් කියා අප සිතා සිටින ඇත්තන්, තණ්හාවේ දාසයන් වී නැද්ද? තණ්හාවේ පදයට නටන්නේ නැද්ද? කාගේ පදයට නැටුවේ නැතත් තණ්හාවේ පදයට නටනවා. එය ඒ ඇත්තන්ට සිනහා වෙන්නවත්, අවඥාවට ලක්කරන්න වත් කාරණයක් නොවේ, මෙය සොයා බැලිය යුතු කාරණයක්. 

තණ්හාවේ දාසයෙකු බවට පත්නොවූ කෙනෙකු සොයා ගන්න පුළුවන්ද? අවබෝධය සඳහා, ඇති සැටිය තේරුම් ගැනීම සඳහා එය සොයා බැලීම අවශ්‍යයයි. අප අපගේම අභ්‍යන්තරයෙන් සොයන්න අවශ්‍යයයි, නමුත් එයට කලින් බාහිරින් සෙවීම වටිනවා. අප ආදර්ශමත් චරිත කියා සිතන, වීර චරිත, ප්‍රබල චරිත කියන මේ ඕනෑම චරිතයක් ගෙන බලන්න, කාට ඔළුව නැමුවේ නැති වුවත් තණ්හාවට ඔළුව නමනවා. තණ්හාවට ඔළුව නැමුවායින් පසු ඒ ඇත්තන් තමගේ තත්වයට නොගැලපෙන, නිලතලවට නොගැලපෙන ඉතාම පිළිකුල් සහගත දෑ කරනවා. එවන් දෑ පිළිබඳව සොයා බලා අප්‍රසන්න බව ඇති කරගන්න අවශ්‍යයි. තණ්හාව නිසා මිනිසෙකු පමණක් නොවේ ඕනැම සත්ත්වයෙකු මොනතරම් පහත් තත්වයට පත්වෙනවාද කියන කාරණය අප ඇතුළින් මෙන්ම එළියෙන් ද දකින්න අවශ්‍යයයි. එසේ නොවූනහොත් අපට පෙනෙන්නේ තණ්හාව වීර චරිතයක් රඟපාන බවයි. 


එයා වීර චරිතයක් රඟපාන්නේ නැහැ, රඟපාන්නේ දුෂ්ට චරිතයක්. නමුත් අපට සිතෙන්නේ ද්වේෂයයි දුෂ්ට චරිතය කියා. එම නිසා එයාට කවුරුවත් කැමති නැහැ. නිතරම ගැටළු හා ප්‍රශ්න හදන නිසා ද්වේෂය දෙස බලන්නේ දුෂ්ට චරිතයක් දෙස බලන ආකාරයට. තණ්හාවට කැමති නිසා  ඒ දෙස බලන්නේ වීර චරිතයක් ලෙසින්. මේ ආකාරයට ද්වේෂය දුෂ්ට චරිතයක් කර තිබෙන්නේ තණ්හාවයි. තණ්හාවට වීර චරිතයක බැබළෙන්න අවශ්‍ය නිසා, තණ්හාව විසින් ද්වේෂය දුෂ්ට චරිතයක් කර තිබෙනවා. තණ්හාව සුදු චරිතයක් බවටත්, ද්වේෂය කළු චරිතයක් බවටත් පත්කර අපට දෙනවා අවස්ථාවක්, කැමති එකක් තෝරාගන්න කියා. එවිට කවුද ද්වේෂය තෝරා ගන්නේ, කිසි කෙනෙකු නැහැ. තණ්හාවට අකමැති දෑ සිදුවනවිට තණ්හාව විසින් ද්වේෂය ඇතිකරනවා. එවිට හැමෝම යන්නේ තණ්හාව පැත්තට. අහිංසක ද්වේෂයට මිනිස්සු ද්වේෂ කරනවා. ද්වේෂයට තරම් ද්වේෂ කරන්නේ නැහැ වෙන කිසිම දෙයකට. ද්වේෂයෙන් බේරෙන්න මොනතරම් දෑ කළත් එයින් බේරෙන්න බැහැ තණ්හාවේ දාසයෙකු වි සිටින තාක්කල්. තණ්හාව මේ කරන දුෂ්ටකම තරම් දුෂ්ටකමක් තවත් නැහැ. එයාගේ මේ සැබෑ දුෂ්ට ස්වභාවයේ  වෙස් මාරුකරගෙන, සුදු චරිතයක් බවට පත්වෙලායි රැවටීම කරන්නේ, ජවනිකා රඟපාන්නේ. එම නිසා සෑමදෙනාම දාසකමේ යෙදෙනවා. හොඳින් ඇස් ඇර බලන්න, කන් ඇර අසන්න එසේ නැති කෙනෙකු මුණගැසී තිබෙනවාද කියා. තණ්හාව නැති කෙනෙකු සිටිනවාද නැද්ද කියා සොයාගන්න අපහසුයි. මොනම සිදුවීමකදී වුවත් තණ්හාවේ දාසයෙකු නොවුණ කෙනෙකු දැක තිබෙනවාද? මුණ ගැසී තිබෙනවාද? එසේනම් අදහන්න වටිනවා. නමුත් අප දේශපාලනයෙන් හරි, ආගමෙන් හරි, බුද්ධියෙන් හරි උඩින් තියාගෙන සිටින ඕනෑම කෙනෙකු දෙස බලන්න මොනතරම් ගිජුභාවයේ වහල්ලු බවට පත්වී තිබෙනවාද කියා. මෙය අපහාසාත්මකව කියන දෙයක් නොවේ, යථාර්ථය තේරුම් ගන්න උදව් කරගන්න. විශ්වයේ කිසිම බලවේගයක් එපමණ ප්‍රබල නැහැ, එසේ නැති නිසා තිබෙන එකම ප්‍රබල බලවේගය තණ්හාවයි. එම නිසා මෙය දකින්න. එම ශක්තිය නොදැක තණ්හාව, ලෝබකම නැති කරනවා, ආදරය, ඇලීම නැති කරනවා කීවාට, ඒ සඳහා නිර්දේශ කර ඇති යම් යම් භාවනා කමටහන් වැඩුවාට ගැලවෙන්න බැහැ, අමාරුයි. සැබෑ ගැලවීම තිබෙන්නේ තණ්හාවේ ඇත්ත දැකීමෙනුයි. එම නිසා දකින්න තිබෙන්නේ තණ්හාවේ ඇත්තයි. 


මෙහි ඇති සිනහා යන සහ ඇ‍ඬෙන කාරණය නම්, තණ්හාව අපව සෑම දෙයකටම යොමුකරන බව දන්නා මුත්, එයා ගැන විශ්වාසයකුත් අප තුළ තිබීමයි. සිදුවන්නේ තණ්හාව අපව වහල්ලු, වැඩකාරයන් කර, අපව නටවා එයාගේ අවශ්‍යතාවය (අපගේ අවශ්‍යතාවය නොව) ඉටුකරගෙන අපට සොච්චමක් දීමයි. ලොකු ගණනක් නොවේ, එදා වේලට පමණක් සෑහෙන බොහොම පොඩි ගණනක් දෙනවා.  ඉතිරියක් නැති බොහොම පොඩි සොච්චමක්, සතුටක් දෙනවා. අපට සතුට ලැබෙන්න වෙන තැනක් නැහැ, තණ්හාවට යට වූ විටයි සතුට ලැබෙන්නේ. තණ්හාවයි කියන්නේ “අර දේ හොඳයි, ඒ දෙයට කැමති වෙන්න. එය අයිති කරගත්විට සතුටක් දෙන්නම්” කියා. ඉතින් අප ඒ දෙයට කැමති වී, අත්පත් කරගත්විට ඒ වේලාවට විතරක් සෑහෙන සොච්චම් සතුටක් දෙනවා. නමුත් අප සිතා සිටින තරම් සිත පිරෙන්න සතුටක් ලැබෙන්නේ නැහැ. කාගෙවත් සිතක් පුරවන්න තණ්හාවට හැකියාවක් නැහැ, එසේම එය තණ්හාවට අදාළ කාරණයක් ද නොවෙයි. එම නිසා එයා සිත පිරෙන්න දෙන්නේ නැහැ, ටිකයි දෙන්නේ. ඒ ටික අපට මදි බව දන්නා තණ්හාව කියනවා “අනිත් දෙයටත් කැමති වුවහොත් ඉතුරුටික දෙන්නම්” කියා. ඉතින් අප තවත් දෙයකට කැමති වී ඒ දෙයත් අත්පත් කරගන්න වෙහෙසෙනවා. අත්කරගත්විට නැවත සතුටක් ලැබෙනවා. කලින් සතුටයි මේ සතුටයි එකතු වූ විට දෙගුණයක සතුටක් ලැබෙන්නේ නැහැ. කලින් සතුට එයා අරගෙනයි අලුත් සතුටක් අපට දෙන්නේ. අප ආයෙත් හිටිය තැනමයි, කවමදාකවත් පිරෙන්නේ නැහැ. එසේ, රැස්කර ගත නොහැකි දෙයකුයි තණ්හාව විසින් අපට ලබා දෙන පඩිය. මොහොතකට විඳින නමුත් එකතු කර තබා ගත නොහැකි සතුටක්. එසේ එකතු කර ගැනීමට හැකියාවක් තිබෙනවා නම්, උපන්දා සිට වින්ද සතුට එකතු කර මොන තරම් සතුටකින් අපට සිටිය හැකිද?  එසේනම් අපට තවත් කිසිදෙයක් අවශ්‍ය නැහැ, අප තරම් පොහොසතුන් තවත් නැහැ. නමුත් එසේ සිදුවන්නේ නැහැ, අප තාමත් දිළින්දන්, යාචකයන්, අප තාමත් සතුට පස්සේ යනවා. මෙයයි තණ්හාව අපව තියා ඇති තැන (අඩමානය තුළ). 

අතීත සතුටේ මතක ඉතිරිකර අපව පොළඹවනවා අනාගත සතුටක් වෙනුවෙන්. තණ්හාව සෑම විටම අපට පෙන්නන්නේ අනාගත සතුටක්, ඈත ඉලක්කයක්. එමනිසා තණ්හාව කියන ස්වාමියාට රැවටෙන ආකාර රැසක්ම තිබෙනවා. ආකාර කීයකට රැවටීලා තිබෙනවාද කියා සිතාගන්නට බැරිතරමට රැවටිලා තිබෙනවා. අතීතය පැත්තෙනුත්, අනාගත පැත්තෙනුත්, වර්තමානය පැත්තෙනුත් රැවටිලා. මෙයා කියන එක් පැහැදිලි කාරණයක් නම් “මෙතන සතුටක් නැහැ”. “මෙතන (දැන්) සතුටක් නැහැ” කියා කියන්නේ, දැන් සතුටක් තිබෙනවා කියා සිතුවොත් අපට ආයෙ තණ්හාව අවශ්‍ය වන්නේ නැති නිසායි. එමනිසා කියනවා “මෙතන සතුටක් නැහැ, සතුට අවශ්‍ය නම් මේ දේ කරන්න. එවිට සතුට ලැබෙයි” කියා, ඈත තිබෙන ඉලක්කයක් පෙන්වනවා. එසේ පෙන්නූවිට අප කරන්නේ සතුට සොයා දුවන එකයි. මෙයයි සංසාර ගමන කියා කියන්නේ. 


පිරිපුන්බව

එක්තරා භාවනානුයෝගියෙක් සිටියා, ඔහු භාවනායෝගීවරයෙකු විමට කලින් බොහොම අභිමානයක් තිබුණු ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරය දියුණු කරන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න, තවත් ගෙයක් හදන්න සිතපු කෙනෙක්. නමුත් මෙහි ඉවරයක් නැහැ කියා ඔහුට දැනෙන්න පටන් ගත්තා. එය හොඳින්ම දන්නේ සිතන සිතන දේ ලබාගන්න පුළුවන් කෙනාටයි (නොලැබෙන කෙනාට නොවෙයි). එයින් හෙම්බත් වුණු ඔහු අනතුරුව යෝගීවරයෙකු වී හැම දෙයක්ම අත්හරින්න පටන් ගත්තා (යෝගීවරයෙකු යනු අත්හැරීමයි). මෙසේ අත්හරිමින්, කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන තැනකට ආ විට, 

දෙවියන් පැමිණ මෙතුමාට කථා කළා. කථා කර “ඔබ ඉහළින් මේ භාවනාව ප්‍රගුණ කලා, ‘කිසිවක් ඕනේ නෑ’ කියන තැනට එන්න ලෙහෙසි නැහැ. මට සතුටුයි ඒ ගැන. එම නිසා ඕනෑම වරමක් ඉල්ලන්න, මම දෙන්නම්” කියා කීවා. 

එවිට යෝගීතුමා කියනවා “ඇයි දැන් එන්නේ, දැන් මට මොනවත් ඕනේ නෑ. මට බොහෝ දේ ඕන වුණ කාලයක් තිබුණා, එතකොට ඔබ ආවේ නැහැ. මට ඔක්කොම එපා වුණාට පස්සේ එන්නේ ඇයි?”

එවිට දෙවියන් කියනවා “ඒ තමයි මගේ හැටි. ඔබට දහසකුත් දේවල් අවශ්‍ය වී තිබෙන වේලාවක (දහසකුත් දේ පිළිබඳව ආශාවෙන් වෙලිලා සිටිනවිට) මට එන්න බැහැ ඔබ ළඟට. ඔබ තණ්හාවෙන් වෙලිලා ඉන්නේ, එය නැති වූ විටයි මට එන්නට පුළුවන්. එවිටයි ඔබ විවෘත වන්නේ. ඔබේ ආධ්‍යාත්මික ගෘහයේ දොරවල් ඇරෙන්නේ එවිටයි.” 

යෝගීවරයාට මෙය මහා පටලැවිල්ලක්. “මට ඕන වෙනකොට නෑ. ඕනේ නැති වෙනකොට තියෙනවා.” 


මෙය ධර්මතාවයක්. එයයි අප බුදුන් වහන්සේගේ පළමු ගුණය, (අරහං ගුණ) ලෙස විස්තර කරන්නේ. උන්වහන්සේ සියලු කෙළෙසුන් කෙරෙන් දුරු වූ සේක. කිසිම දෙයකට ආසාවක් නැහැ. ප්‍රසිද්ධියේවත් රහසේවත්. ඒ නිසා සියලු පුදපූජා ලැබීමට සුදුසුයි. යෝගීවරයාගේ කථාවෙත් කියවුණේ කිසිම දෙයකට ආසාවක් නැති නිසා සියල්ල ලැබීමට සුදුසු බවක්. සියල්ල ම ලැබෙන්නේ මොකුත් ම ඕනේ නැති වුණාමයි. මෙයයි ධර්මතාවය. මේ නිසා තණ්හාවට බැහැ සියල්ල දෙන්න. සියල්ල ලැබෙන්නේ තණ්හාව නැතිවූ විටයි. මොකුත් ම අවශ්‍ය නැහැ කියන තැනදී යි සියල්ල ලැබුණා කියන හැඟීම එන්නේ. පිරුණා කියන හැඟීම ඇතිවන්නේ කිසිවක් ම අවශ්‍ය නැති වුණාමයි. කිසිවක් ම අවශ්‍ය නැහැ කියන තැනට එන්න පුළුවන් නම්, ඒ හිස් ස්වභාවය නම් කෙනෙකු අත්දකින්නේ, ඔහුට සියල්ල ලැබීමෙන් ලබන පිරිපුන් බව දැනෙනවා. තණ්හාව නැති මොහොතකයි සියල්ල ලැබුණා කියන පරිපූර්ණත්වය (තෘප්තිමත්භාවය) ඇතිවන්නේ. 

තණ්හාවේ දාසයන් නිසා සත්ත්වයා ඉන්නේ කොතැනද කියන කාරණයයි ‘රට්ඨපාල’ සූත්‍රයේ කියන්නේ ‘අතිත්තෝ’ කියා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ - තණ්හාවේ දාසයන් නිසා අතෘප්තියෙනුයි (නොතිත්) සිටින්නේ. තෘප්තිය කියන දෙය තණ්හාව දන්නේ නැහැ, තණ්හාවට නානාප්‍රකාර දේවල් දෙන්න පුළුවන් නමුත් සෑහීමකට පත්වීම දෙන්න බැහැ. තණ්හාව සමඟ සිටින තුරු කිසිවෙකු සෑහීමකට පත්වී නැහැ. මොනවා ලැබුණත් සියල්ල ලැබුණා කියන හැඟීම එන්නේ නැහැ. එවිට වැටහෙනවා තණ්හාවට ඇති බලයන් අතර තිබෙන මායාකාරී ස්වභාවය. ඒ කාරණය අදට එතැනින් නවත්වා තවත් කාරණයකට හැරෙමු.

අනිවාර්යයෙන් ම අනුපූර්ව ප්‍රතිපදාවේ, ආර්ය මාර්ගයේ (සීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ) ගමන් කිරීමෙන් තණ්හාව අඩුවෙනවා. ඒ සඳහායි මාර්ගය තිබෙන්නේ. ඒ මාර්ගයේ අප යන්නත් අවශ්‍යයය, මගයි පුහුණු වෙන්නේ. එයට අමතරවයි මේ අභ්‍යාස ගැන කථා කරන්නේ. පසුගිය සති දෙකේ අප කථා කළා මේ තණ්හාවත් සමග කොහොමද කටයුතු කරන්න අවශ්‍ය කියා. එක් කාරණයක් නම් එක්වරම බ්රේක් කිරීම. තණ්හාව ලොකු බලවේගයක්. එයා අපව තල්ලු කරනවා. විවිධ දේ ඇඟිල්ල දිගුකරමින් පෙන්වා, ඒ දෙසට පිටුපසින් සිට තල්ලු කරනවා. ඒ තල්ලුව වෙන කිසිම දෙයකට දෙන්න බැරි ප්‍රබල තල්ලුවක්. එසේ තණ්හාව තල්ලු කරනවිට, පෙරළාගෙන යන්න තරමට තණ්හාවක් ඇතිවෙනවිට, ආදීනව බලමින්, කවදාහරි තණ්හාව නැතිවෙයි ටික ටික අඩු කරන්න අවශ්‍යයයි කියා සිතමින් නොවේ, එක්වරම බ්රේක් කිරීමක්, තිබෙන සියළුම තිරිංග එක්වරම යෙදීමක් ගැනයි කථා කළේ. වාසනාවකට අපට තාම තිරිංග පද්ධතියක් තිබෙන නිසා ඕනෑම තැනක බ්රේක් කරන්න පුළුවන්. 

අනිත් කාරණය නම් තණ්හාව පිටුපසින් තල්ලු කරනවිට, අපේ ඇඟේ වදින්න ඔන්න මෙන්න කියා තියෙද්දි පොඩ්ඩක් පැත්තකට වී තණ්හාවට යන්න ඇරීමයි. එවිට එයා වැටෙනවා. සංසාරයේ මෙපමණ කාලයක් තණ්හාව නොවැටුණේ අප එයාව අල්ලාගෙන සිටින නිසායි. අප සිතුවාට අප නොවැටී සිටින්නේ තණ්හාව නිසා කියා, ඇත්තටම සිදුවන්නේ අප නිසායි තණ්හාව නොවැටී සිටින්නේ. තණ්හාව කියන කියන දේට අප “ඔව්” හෝ “නැහැ” කියන නිසා එයා නොවැටී සිටිනවා. මන්ද, තණ්හාව මවන ද්වේෂය නමැති දුෂ්ටයා නිසා අප  අකමැති දේට “රස නැහැ, ලස්සන නැහැ, හොඳ නැහැ” කියා ද්වේෂ කරන්න පටන් ගන්නවා. යමකට අකමැති වූ විට එය කළු පැහැයෙන් වර්ණ ගන්වා ඒ කෙරෙහි ද්වේෂයක් ඇති කිරීමෙන් දිනන්නේ තණ්හාව මිසක්, ද්වේෂයවත් අපවත් නොවේ. මේවා සරල අභ්‍යාස වුවත් ඒ සඳහා විශාල වීර්යයක් අවශ්‍යයයි. එමෙන්ම ඒ මොහොත නිවැරදිව ම හඳුනා ගැනීම, ඒ සඳහා හොඳ සිහිබුද්ධියක් තිබීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙහි සටනක් නැහැ, අප පැත්තකට වෙනවා, එම නිසා මෙය ඉතාමත් අසීරුයි, ඒ සඳහා තීක්ෂණ සිහිබුද්ධියක් තිබිය යුතුමයි. 


පෙළඹවීම

තණ්හාව ඉදිරියෙන් සිටින්නේ නැහැ. තණ්හාව ඉදිරියෙන් සිට අපට අතවන්නේ නැහැ අතෙන්ට - මෙතෙන්ට එන්න කියා. තණ්හාව හැමවිට ම අපට පිටුපසින් සිට අත දික්කරමින්, ඇඟිල්ල දික්කරමින් ඉදිරියේ ඇති ඉලක්කයක් (සතුටක්) පෙන්වනවා. දෙදෙනෙකුට එක විදිහට කියන්නෙත් නැහැ. දෙදෙනෙකුගේ අභිලාෂයන්, පුරුදු (අපගේ චරිත ලක්ෂණ) වෙනස් බව තණ්හාව දන්නවා. තණ්හාව තරම් එය දන්නා තවත් කිසිවෙකු නැහැ. මෙසේ තැනක් (ඉලක්කයක්) පෙන්වා අපේ කනට කොඳුරා කියනවා (පෙළඹවනවා), එතැනට ගියවිට අපට ලබන්න පුළුවන් දෑ පිළිබඳව. තණ්හාවේ පෙළඹවීම නිසා අපේ සිතේ ගැම්මක් ඇතිවෙනවා එතැනට යන්න අවශ්‍යයයි කියා. තල්ලු කිරීම ලෙසින් හඳුන්වන මෙම ගැම්ම නිකන්ම ඇතිවන්නේ නැහැ, පෙළඹවීම නිසායි ඇතිවන්නේ. පෙළඹවීමටනම් වර්ණනා කිරීමක් අවශ්‍යයයි. මෙයට පැය ගණනක් යන්නේ නැහැ, දුටුගමන්, ඇසුණු ගමන් ක්ෂණයකින් සිදුවෙනවා. එක විනාඩියකින් නැතුව බැරි දෙයක් බවට පත්වෙනවා. නැතිව බැරි වූ අවස්ථා ගැන සිතා බලන්න, ඒ අවුරුද්දක් විතර ගිහිල්ලා නොවේ සිතුණේ, විනාඩියකින් දෙකකින්. එසේ සිදුවුණේ තණ්හාව එම පියවරවල් අපුරුවට කළ නිසා. ඒ කාර්ය අපගේ පිටුපස සිට තණ්හාව කරන නිසා, කළේ කවුද කියා අපට පෙනෙන්නේ නැහැ. එමෙන්ම අපට ඉදිරියෙන් සිට සංසාරයේ යන්න උදව් කරන්නේ නොපෙනීමයි. තණ්හාව අපට ඉලක්කයක් අරමුණක් පෙන්වා, වර්ණනා කර එයට පෙළඹවා ඒ වෙතට යන්න ගැම්මක් ඇති කළාම මේ සියල්ල ඉදිරියේ අප අන්ධ වෙනවා. අප සිතනවා එසේ ඇඟිල්ල දික්කර පෙන්වූවාම අප දැක්කා කියා. නැහැ ඒ දකින්නේ තණ්හාවයි, තණ්හාවේ ඇඟිල්ලයි, තණ්හාව පෙන්වන චිත්‍රයයි. ඒ හැර ඇත්තටම ඒ තැනට ගියාම, ඒ අත්දැකීම ලැබුවාම, අපට මුහුණ පාන්න වෙන අත්දැකීම (ආදීනව) අපට පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ ආදීනව නොව ආස්වාදයයි. තණ්හාව විසින් නිර්මාණය කළ ඉලක්කයේ ආස්වාදය (වර්ණනාව) ගැන කියන්නෙත් තණ්හාවයි. එම නිසා ආදීනවය නොපෙනී යන අතර අපට ඉදිරියෙන් තිබෙන්නේ අන්ධකාරයක්, අන්ධභාවයක්. එයයි අවිද්‍යාව. මෙය සරලව කිව්වොත් 

සංසාරය කියන්නේ අවිද්‍යා නින්දේ සිටින කෙනෙකුට තණ්හාව විසින් පෙන්වනු ලබන සිහිනයක්

එයයි ඇත්ත. මෙය සිහිනයක් වුවත් ඒ තුළ සියලුම අපායන්, දිව්‍ය ලෝක, හැඬීම්, සිනාසීම් ආදී සියල්ලම තිබෙනවා. එම නිසා සිහිනයක් ඇතුළේ සිට මේ ප්‍රශ්න සියල්ල විසඳන්න බැහැ. මොන ශාස්ත්‍රය ගත්තත්, මොන විද්‍යාව ගත්තත්, ධනය ගත්තත් ඒ සිහිනයේ කොටසක්. සිහිනයක් ඇතුළේ තිබෙන ප්‍රශ්නයකට පැලැස්තරයක්  අලවනවා මිසක් වෙන විසඳුමක් නැහැ. විසඳුම නම් අවදිවීමයි. අවදිවීමත් සමඟ විසඳීමට ප්‍රශ්නයක් ඉතිරි වන්නේ නැහැ. එසේනම් කළයුතු වන්නේ අවදිවීමයි. ඒ සඳහා ඉදිරිය බලාගෙන ගියාට වැඩක් වන්නේ නැහැ. සංසාරය කියන්නේ පෙනි පෙනී  (පැහැදිලිව දැකීමෙන්) යන ගමනක් නොවේ. මෙතනින් අතනට අඩිය තියනවා, අඩිය තියන තැන දන්නවා, අඩිය තැබූවිට සිදුවන්නේ කුමක් ද කියා දන්නවා, ඒවා ලැබුණා කියා දන්නවා, එහෙම නැහැ. සංසාර ගමන කියන්නේ අන්දකාරයේ නොදැන යන ගමනක්. මේ ආකාරයෙන් කොපමණ දුර ගියත් දැකීමක් ඇතිවන්නේ නැහැ. ඒ ආකාරයෙන් ගියාට ඥාන දර්ශනයක් ඇතිවන්නේ නැහැ. ඉදිරියෙන් අඳුර, පිටුපසින් වර්ණනාව සහිත තල්ලුව, ඉතින් ඔහේ යනවා. කොහොමද දැකීමක් ඇතිවන්නේ, එන්න එන්න අන්ධ වෙනවා හැර. 


ආපසු හැරීම

අද කියන්නේ තුන්වන ක්‍රමයක් ගැන, දැකීම ඇතිවෙන්න නම් ආපසු හැරෙන්න. සිතමින් සිටින්නේ නැතිව ආපසු හැරෙන්න. ඕනෑම දෙයක් පිළිබඳව ආසාවක්, වර්ණනාවක්, ආස්වාදයක්, පෙළඹවීමක් සිතේ ඇතිවෙනවානේ. ඒ මොහොතේ එයා පෙන්වන දේ ගැන සිතන්නේ නැතිව, එතැන ගැන බලන්න එපා කවදාකවත්, අපට එය පෙනෙන්නේ නැහැ. තණ්හාව පෙන්වන ඉලක්ක අප කවදාකවත් දැක නැහැ, වර්ණනාව මිසක්. එම නිසා ආපසු හැරී කෙළින්ම තණ්හාව දෙස බලන්න. වපර ඇසින් බලන්න බැහැ, එයා ඉන්නේ හරියටම අපේ පිටුපසින්. එම නිසා අපට සිදුවෙනවා 1800 ආපසු හැරෙන්න. ටික ටික හැරෙන්න ගියොත් එයත් හැරෙනවා. එහෙම අංශක 360 ක් කැරකුණත් තණ්හාව පේන්නේ නැහැ. එහෙම බලලා කියන්න පුළුවන් කිසිම තණ්හාවක් නැහැ කියා. ඇත්ත එය නොවේ තණ්හාව දැක්කේ නැහැ. ඒ ආකාරයෙන් බැලුවාම තණ්හාව පෙනෙන්නේ නැහැ. කුඩා කාලෙදි අප කළ සෙල්ලමක්නේ කෙනෙකුගේ පිටි පස්සෙන් හිඳිමින්, මාව සොයන්න කියා, එයා කරකැවෙන විට අපත් කරකැවීම. කිය කිය සෙමින් නොවේ, එක්වරම අනිත් පැත්ත හැරෙන්නයි අවශ්‍ය. මේවා ක්ෂණික අභ්‍යාස, එකපාරටම හැරී තණ්හාව දිහා බලන්න, පෙළඹවීම දිහා බලන්න (පෙළඹවන දෙය නොව). එක්වරම හැරුණාම එයාට හැංගෙන්න වේලාවක් නැහැ. වෙලාවක් දෙන්න එපා සංසාරෙට. ඒ දුන් නිසායි අප තාමත් සංසාරයේ සිටින්නේ. කෙළවර කරන්න අවශ්‍යයයි. ඒ සඳහා ක්‍රම බොහෝමයක් ඇති. මේ කියන්නේ තුන්වන ක්‍රමයක්, ක්ෂණයකින් අනිත් පැත්ත හැරෙන්න. එක්වරම බැලුවාම කෙළින්ම තණ්හාවේ මුහුණුවර පේනවා. එය වීර මුහුණක් නොවේ, හරි බයාදු මුහුණක්. එම නිසායි පිටුපසින් පැමිණ තල්ලු කරන්නේ. එඩිතර මුහුණක් නම් තිබෙන්නේ, මුහුණට මුහුණ එන්න එපැයි. හරිම බයාදු, හරිම සෙවල චරිතයක් තණ්හාව කියන්නේ. මුහුණට මුහුණ බැලුවාමයි ඒ බව පෙනෙන්නේ. පොත්වලින් කියවන්න ගියොත් තණ්හාව තරම් දරුණු, මහා වික්‍රමාන්විත චරිතයක් තවත් නැහැ. නමුත් බලවත්. බලවත් වන්නේ මොන හේතුව නිසාද, අපේ පිටු පසින් සිටින නිසා, අප කවදාකවත් හැරී බලන්නේ නැති නිසා. එහෙම වීර චරිතයක් නැති බව එක් ක්ෂණයකට වැටහෙනවා. නමුත් ඊළඟ ක්ෂණයේදි එයා අනිත් පැත්ත හැරෙනවා. අප එක එල්ලේ බැලුවොත් එයාට අපේ පිටි පස්සට එන්න බැහැ. නමුත් එයා මුහුණ පෙන්නන්නේ නැහැ. අනිත් පැත්ත හැරුණාම පෝලිමේ සිටිය තුන්දෙනාට කුමක්ද වෙන්නේ කියා බලන්න. අප මැදින් සිටියා, අපට ඉදිරියෙන් අවිද්‍යාව, අපට පිටුපසින් තණ්හාව තිබුණා. මෙහෙම යන ගමනටයි සංසාරය කියන්නේ. අප ආපසු හැරුණු සැනින්ම ම කුමක්ද වන්නේ? මොකද වුණේ කියා අවිද්‍යාව දන්නේ නැහැ (දන්නේ නැති නිසානේ අවිද්‍යාව කියන්නේ). එම නිසා අවිද්‍යාවට ඇවිත් තණ්හාව බේරා ගන්න බැහැ. මේ නිසා අවිද්‍යාව එක් මොහොතකට නැති වෙනවා. ඒ නැතිවීම නිසයි තණ්හාවේ මුහුණ (සැබෑ ස්වභාවය) පෙනෙන්නේ  අපට. එයට බිය විය යුතු නැහැ. බයවෙන මුහුණක් නොවේ තණ්හාවට තිබෙන්නේ. මේ මොහොතේ අවිද්‍යාව පෝලිමෙන් ඉවත් වෙලා, එමනිසා ඉදිරිය පෙනෙනවා. ඉදිරියෙන් තියෙන්නේ තණ්හාව, එයා දුවනවා. එය එයා කවදාකවත් බලාපොරොත්තු වුණ දෙයක් නොවන නිසා, අපව දමා දුවනවා. හොඳින් බලන්න, පිටුපසින් පැමිණ පහරදෙන සත්තුන් හෝ මිනිස්සුන් හෝ දෙස, කෙළින් බැලුවාම හැරිලා දුවනවා. එම ධර්මතාවයයි තණ්හාවටත් තියෙන්නේ. එයා කොතෙන්ටද දුවන්නේ, අපත් යනවා ඒ පිටුපස්සෙන්. එවිටයි තණ්හාව පසුපස අප යන්නේ. නමුත් එසේ අප දැන් තණ්හාව පසු පස යන්නේ දාසයෙකු ලෙස නොවෙයි. සාමාන්‍යයෙන් කෙනෙකු සිතන්න පුළුවන්, ස්වාමියා ඉදිරියෙන් යනවා පිටුපසින් යන්නේ තණ්හාව කියා. එයයි ලෝකයේ ස්වභාවය. තණ්හාව අප රවට්ටන්ත් ඒ සොබාවයම භාවිතා කර. අප ඉදිරියෙන් යන නිසා අපයි ස්වාමියා කියා අප සිතනවා. පිටුපසින් එන අය දෙවෙනි, තුන්වෙනි අනුගාමිකයන් කියායි සිතන්නේ. දැන් සිදුවෙන්නේ තණ්හාව අපෙන් බේරෙන්න දුවනවා. එවිට අපත් දුවන්න අවශ්‍යයයි එයා පිටුපසින්. කෙනෙකුට සිතෙන්න පුළුවන් අප දැන් තණ්හාවෙනුත් අවිද්‍යාවෙනුත් නිදහස්, ඇයි අප දුවන්නේ කියා. මේ නිදහස සම්පූර්ණයෙන් නැහැ. එසේ දිවගොස් කැරකිලා ඇවිත් අපේ පිටුපසට එන්න පුළුවන්. එහෙමයි තණ්හාව එන්නේ. දුවගෙන ගිහිල්ලා අඳුරට එකතුවි නැවතත් අපේ පිටුපසට පැමිණ අපට ඉලක්කයක් දෙන්න පුළුවන්. තණ්හාව නැහැ කියන ඉලක්කය හරි දෙන්න පුළුවන්.  එනිසා තණ්හාව පස්සෙන් දුවන්න අවශ්‍යයයි. එසේ තණ්හාව දුවන්නේ පටන් ගත් තැනට, උපන් තැනටයි යන්නේ. එයාට වෙන යන්න තැනක් නැහැ. කිසියම් තණ්හාවක් අපව පෙළඹුවාද, ඒ තණ්හාව ඇතිවුණු අරමුණටම යනවා ආපසු. තණ්හාවක් ඇතිවෙන්න ඉන්ද්‍රිය අරමුණක් ආවාහම නේ. අන්න එතෙන්ට යනවා. ශබ්දයක් ඇසුණා, රූපයක් දැක්කා කියන අරමුණටම යනවා. එයයි තණ්හාව උපන් ස්ථානය. එතෙන්ට ම ගියාම ඉන් එහාට තණ්හාවට යන්න තැනක් නැහැ. එතැනිනුයි තණ්හාව අතුරුදහන් වෙන්නේ. අතුරුදහන් වෙනතුරුම ආපස්සට ආපස්සට යන්න අවශ්‍යයයි. ආපස්සට ගියාට අප යන්නේ ඉදිරියට හැරිලයි. සංසාරයේ නොවේ මේ යන්නේ සංසාර ගමන ඒ මොහොතට හරි ඉවර වුණා. කොහොමද සංසාරය දික්වුණේ කියා අඩියෙන් අඩිය බලමින් මේ අඩි කිහිපය යනවිට, අන්න ඉන්ද්‍රිය අරමුණක් ළඟ නවතිනවා. ඉන් එහාට තිබුණේ නැහැ ඒ තණ්හාව, වෙන තණ්හා තියෙන්න ඇති, අප මෙතෙක් පන්නාගෙන ආ තණ්හාව එතන තිබුණේ නැහැ.

තණ්හාවේ උල්පත‍. මෙය පටිසෝතගාමී ගමනක් කියනවානේ. අර විදිහට තණ්හාව පිටුපසින් තල්ලු කරනවිට මුහුදට වැටෙන තුරුම යනවා. දැන් උඩුගම්බලායි යන්නේ. එහෙම යනවිට තණ්හාවේ උල්පත පේනවා. එය දිහා බලමින් ඉන්නත් පුළුවන්. නමුත් එතනිනුත් අඩියක් ඉහළට යන්න. තණ්හාව උපදින තැන සිටීමත් අනතුරුදායකයි. එතැන සිටියොත් ආයෙත් තණ්හාව ඇතිවෙන්න පුළුවන්. මොහොතකට අසිහිය ආවොත්, ඒ උල්පත මහා දිය සුළියක් වෙලා, දිය ඇල්ලක් වෙලා සිටිය තැනටත් වැඩිය පහළට ගසාගෙන යන්න පුළුවන්. ඒ නිසා එක අඩියක් හරි උල්පතිනුත් උඩට යන්න. පටිසෝතගාමී කියන්නේ එයයි, උල්පත ළඟට ගිහිල්ලා නැවතීම නොවෙයි. එතැනිනුත් අඩියක් උඩට යන්න. එවිට මේ ප්‍රශ්නය සෑහෙන දුරට විසඳෙනවා. තණ්හාව අපට පෙනෙන්නේ අපට පහළින් තිබෙන දෙයක් ලෙසින්. නමුත් ආයෙ වැටෙන්නත් පුළුවනි. වැටෙනවා කියන්නත් බැහැ. තවත් කරගන්න කාරණා ටිකක් ඇති. එය අපට කරගන්න පුළුවන් දෙයක්. මොන තත්වයේ සිටියත්, කොතන සිටියත් හැම දෙනාටම කරන්න පුළුවන් කාරණා ටිකක්.  

මේ ආකාරයට ක්‍රම තුනක් තිබෙනවා. සම්පූර්ණ තිරිංග යෙදීම, එක්වරම ‍ඕනේ නැහැ කියා ඒ ස්ථාවරයේ සිටිනවා. දෙවන ක්‍රමය තල්ලුව, හරියටම එන වෙලාවේ පොඩ්ඩක් පැත්තකට වෙනවා. එවිට තණ්හාව තියෙන්නේ නැහැ. නැතිවෙලා යනවා, එයාට ලොකු ආයුෂයක් නැහැ. තුන් වෙනි ක්‍රමය නම් අංශක 180 හැරී තණ්හාව දෙස බැලීම. එහෙම බැලුවාම එක් මොහොතකට එයාගේ මුහුණ පෙනෙනවා. නමුත් ආයේ එයා අනිත් පැත්ත හැරිලා යනවා. එවිට පිටුපස්සෙන් ම ගමන්කර ඇති වුණු ඉන්ද්‍රිය අරමුණ වෙතම, තණ්හාව ඇති වුණ තැනටම යනවා. මොහොතකට හරි විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව අපෙන් ඈත්වෙලා යනවා.


අද ක්‍රමය පැහැදිලි ඇති කියා සිතනවා. ඒ ක්‍රමය මේ මොහොතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ද කියා, එය දිරවගන්න, පැහැදිලි කරගන්න පුළුවන්ද කියා බලමු, භාවනාවක් විදිහට. ඉන්පසු ඒ අත්දැකීමත් එක්ක සාකච්ඡාවට එමු.


භාවනාව


සාකච්ඡාව 


ප්‍රශ්නය : ගෙදරට අවශ්‍ය කරන දෙයක් නම් ඒක ගන්න ඕන. ඒක හිතන්නේ කොහොමද? එහෙම අවශ්‍යය කරන බඩු මුට්ටුවක් ගත්තොත් ඒකත් තණ්හාව විදිහට ගැනෙනවද? 

පිළිතුර : අවශ්‍යතාවයෙන් නතර වීමයි අවශ්‍යය. අවශ්‍යතාවයයි තණ්හාවයි දෙකක්. හැබැයි තණ්හාව එන්නේ අවශ්‍යතාවයේ වෙස් මූණ දාගෙන. ඇවිත් “ඔයාට මේක නැතිව බෑ, ඔයා එතනට නැතිව බෑ” කියනවා. ඒ ලණුව අප ගිලිනවා. එයා නැති අවශ්‍යතා ඇති කරනවා. තියෙන අවශ්‍යතාව වැඩි කරනවා. එනිසා අවශ්‍යතාවය තණ්හාවෙන් වෙන් කරගන්න. 

එසේ වෙන් කරගන්න පුළුවන් සරලම ක්‍රමය මේ කාරණය ජීවිතයෙන් ඇසීම, හිතෙන් නොවේ. හිතෙන් ඇහුවම තණ්හාවයි උත්තර දෙන්නෙ. එයාට හැමදෙයක්ම ඕන සහ ඕන දේවල් වල සීමාවක් නෑ. නමුත් අවශ්‍යතාවයට, ජීවිතයට සීමාවක් තියෙනවා, බඩගින්නට සීමාවක් තියෙනවා, ශරීරයට සීමාවක් තියෙනවා. ශරීරයෙන් අහන්න, හිතෙන් තණ්හාවෙන් නොවේ, ඔයාට මොනවද ඕනේ, කොච්චර ඕනද, අවශ්‍යතාවය එන්නේ එතනට. මූලිකව අවශ්‍යතා තියෙන්නේ කායිකව. ඒවත් මහ ගොඩක් ඕන නෑ. ශරීරයෙන් නොඅසන නිසයි අපට මේ වින්නැහිය වෙලා තියෙන්නේ. ඒ වෙනුවට අහන්නේ හිතින්. එතැනදී පිළිතුරු දෙන්නේ තණ්හාව. අවශ්‍යතා මොකුත් නෑ කියන්න බෑ කාටවත්. 

නමුත් ඇත්තටම ඕනද, කොපමණ ඕනද, කවද්ද ඕන සහ කොතනදී ද ඕන, මේ ප්‍රශ්න අහන්න. 

තණ්හාව උත්තර දෙන්න කැමති නෑ. එයා මුහුණ හංගා ගන්නවා .කියනදේ කරනවට තමයි එයා කැමති. මෙබඳූ  ප්‍රශ්න අසන විට එයා පැටලෙනවා. එකකට වත් හරියට උත්තර දෙන්න බෑ. මොකද එයා ඇත්තටම දන්නෙ නැහැ. එයා දන්නේ නැති බව අප දන්නෙත් නෑ. එයා සියල්ල දන්නවා කියායි අප රැවටිලා තියෙන්නේ.

ප්‍රශ්න අහන්න. ප්‍රශ්න ඇසීමෙන් වෙන්නේ අපට කාලය ලැබෙනවා. කාලය ලැබුනහම වෙන්නේ ඒ තණ්හාවට එපමණ කල් ඉන්න බෑ. ප්‍රශ්න අහමින් ඉන්න ගියාම එයාගේ ආයුෂ ඉවර වෙනවා. නැතිව බෑ කියල හිතෙන ඕන දෙයක් ගැන ටිකක් ප්‍රශ්න කරලා බලන්න. ටික ටික එපා වෙලා යනවා. කාලය ගත්තහම ඇත්තටම අවශ්‍යය නම් ඒ අවශ්‍යතාවයන් ඉතුරු වෙනවා ඒ අවශ්‍යතාවය ඉටු වනතුරු. හැබැයි ආශාවක් නම් අඩුවී යනවා.


ඊළඟ කාරණය තමයි “අපට ඕනෙමයි” කියා හිතෙන දේවල් පොඩ්ඩක්වත් නැතිව කීදෙනෙක් ඉන්නවද සතුටින්. තණ්හාව පෙන්නන්නෙ නැතිව දුකින් ඉන්න අයව. ඒ දේවල් තියෙන අයටත් වඩා සතුටින් ඒවා නැතිව කීදෙනෙකු ඉන්නවද බලන්න. මේ විදිහට අභ්‍යන්තර හා බාහිර වශයෙන් විමසන විට අවශ්‍යතා ඉතුරු වෙනවා තණ්හාව දකින්න පුළුවනි හරියට හාල් ගරන විට වගේ.


පුහුණුව තමා වැදගත්. පුහුණුවෙන්මයි දහම අවබෝධ වෙන්නේ. දහම අහන්නෙ, සාකච්ඡා කරන්නේ සහ මෙනෙහි කරන්නේ අවසානයේ පුහුණු වෙන්න. ඒ ටික නොකර ඇහුම්කන් දීලා සාකච්ඡා කරලා මෙනෙහි කර නැවැත්තුවොත් ඒ බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ. ඒ නිසා අප විශ්වාස කරනවා සම්බන්ධ වෙන හිතවතුන් සියලු දෙනාම පුහුණුවේ යෙදෙනවා ඇති කියලා. නැවතත් ඒ ගැන අධිෂ්ඨානයක් ඇති කර ගන්න. තේරුණු කාරණය පුහුණුවේ දාලා බලන්න එහි ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියා. මේ සංසාරික පැවැත්ම පිළිබඳ දර්ශනයක් ඇති කරගන්න . මේ සංසාරික පැවැත්මට මූලික ඒ බලවේගය පිළිබඳ ඥාන දර්ශනයක් ඇති කරගන්න. මේ උත්සාහය ඒ සඳහා උදව්වක් වෙයි, උදව්කරගන්න කියන ඉල්ලීමෙන් අද වැඩසටහනින් සමුගන්නවා.


සැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා  !!!


ඇතිවූ සවන් දීමේ අපහසුතාව නිසා පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළනොහැකි වූ කාරණා හා විමසන්නට නොහැකි වූ ගැටළු වලට මීළඟ 'සදහම් සැඳෑවේදී' අවධානය යොමු කරමු.