සදහම් සැඳෑව - නැණ දසුනට තත්පරයක් 03

2022 අගෝස්තු 10 සාරාංශය

සදහම් සැඳෑව සඳහා නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණ සම්බන්ධවෙන සහ අන්තර්ජාලය හරහා මාර්ගගතව සම්බන්ධව සිටින කළ්‍යාණ මිත්‍රයිනි, ‘භාවනාව’ සිතත් සමඟ ගනුදෙනු කරන්නට තිබෙන මෙවලම් අතර අංග සම්පූර්ණම මෙවලම. මනෝ විද්‍යාව, යෝග, උපවාසය, යාඥාව, පූජාවිධි සහ පින්කම් වැනි මනස සමඟ ක්‍රියා කරන විෂයයන් හා අභ්‍යාස තිබෙන අතර, ඒ සෑම දෙයක්ම මනසේ යම් යම් ක්‍රියාකාරීත්වයන් සමඟ ක්‍රියා කරණ නමුත් සම්පූර්ණ මනස සමඟ ක්‍රියාකරන්නේ නැහැ. ඒවා නිශ්ඵල ක්‍රියාවන් නොවයි. කිසියම් ප්‍රයෝජනයක් තිබෙන ක්‍රියා.

නමුත් මනස කියන්නේ මහා සංකීර්ණයක්. මනස මොන තරම් සංකීර්ණද කියා සාමාන්‍යයෙන් වැටහෙන්නේ නෑ. කිසියම් ප්‍රශ්නයක් එනම්, සිතට දුකක්, වේදනාවක්, ශෝකයක් ඇති වු විට, මොන තරම් කාලයක් සිත ඒ දුක, වේදනාව ඇදගෙන යනවා ද? ජීවිතයේ මොන තරම් අංශවලට එය පිළිකාවක් සේ වවනවා ද? (වර්ධනය කරනවා ද?) තමන්ගේ ජීවිතයත් සම්පූර්ණයෙන් කඩාකප්පල් කරගෙන, අඳුරු කරගෙන, අන් ජීවිතවලටත් මොන තරම් බලපෑමක් කරනවා ද? සමහරවිට පුංචි ප්‍රශ්නයක්, දුකක්. 

එවැනි වේදනාවන් හා දුක් සතුන්ටත් තිබෙනවා, අපට තිබෙනවා කියා සිතන ප්‍රශ්න නැති සතෙකු නැහැ. නමුත් කිසිම සතෙකු, සත්ත්ව කොට්ඨාශයක්, මේ ප්‍රශ්න විසඳන්න මහා සංවිධාන පිහිටුවාගෙන නැහැ. දේශීය සංවිධාන, විදේශීය සංවිධාන, ජාතීන්ගේ සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආහාර වැඩපිළිවෙලවල් වැනි දෑ සතුන් අතර නැහැ. සතුන්ටත් අපිට තිබෙන ප්‍රශ්නම තිබෙන නමුත් සංකීර්ණ කරගෙන නැහැ. මෙවැනි මහා පරිමාණ සෑම දෙයක්ම, සංවිධානයක්ම පවතින්නේ විසඳුම් ලෙසින්. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්මාණය කළේ, අපට සෑදෙන ලෙඩ රෝග වලට විසඳුම් සෙවීමට (විසඳුමක් ලෙසින්). මේ තමා මනසේ ස්වභාවය. 

මනස යනු මහා සංකීර්ණයක්. සංකීර්ණයක් යනු සරල දෙයක් හෝ සරල ක්‍රියාකාරීත්වයක් නොවේ, වටහා ගැනීමට අපහසු, බහුවිධ අවයව ඇති,  එකිනෙකට පරස්පරව ක්‍රියාකරන දෙයක්. විශ්වය මොන තරම් සංකීර්ණද? අපගේ සෞරග්‍රහ මණ්ඩලය සරල නැහැ. මධ්‍යයේ ඇති සූර්යයා වටා ග්‍රහයන් කරකැවෙනවා මෙන්ම ග්‍රහයන් වටා උපග්‍රහයන් කරකැවෙනවා. මේවා එකිනෙක නොගැටි කරකැවෙන අතර කරකැවීම නිසා ඍතු විපර්යාස ඇතිවෙනවා. යමෙකුට සිතා නිර්මාණය කළ නොහැකි තරමට හරිම සංකීර්ණයි. මෙවැනි සෞරග්‍රහ මණ්ඩල දහස් ගණනක, ලක්ෂ ගණනක එකතුවක් වන මන්දාකිණිය මොන තරම් සංකීර්ණ ද? 

නමුත් හිතවතුනි විශ්වයේ තිබෙන සංකීර්ණයි කියන සෑම දෙයක්ම මනසට සාපේක්ෂව සරලයි. සිත එපමණටම සංකීර්ණයි. විශ්වයේ කිසිම සංකීර්ණ දෙයකට නිර්මාණය කළ නොහැකි සංසාරය නිර්මාණය කරනු ලබන්නේ සිත විසිනි. නැවත නැවත ඉපදෙමින්, මැරෙමින්, කර්ම කරමින් හා කරන කර්ම වලට අනුව විපාක දෙමින් යන සංසාරයක් සෑදීමට ඉරට, හඳට, තාරකාවකට හෝ මන්දාකිණියකටවත් බෑ. සංසාරය මොන තරම් සංකීර්ණ ද? අකුරු තුනක වචනයක් වුවත් සසර අපේ ඔළුවෙන් සිතා, දිග පළල මැන බැලිය නොහැකි, සිතාගත නොහැකි තරමට සංකීර්ණ දෙයක්. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට හෝ කිසිම කෙනෙකුට, විශ්වයේ කිසිම දෙයකට සෑදිය නොහැකි සංසාරය නිර්මාණය කරන මනස මොන තරම් සංකීර්ණ විය යුතුද? එකම දිශාවකට කරකැවෙන රෝද කිහිපයක් ඇති යන්ත්‍රයක් හරි සරලයි. වමට කරකැවෙන රෝද, දකුණට කරකැවෙන රෝද,  උඩට, පහළට කරකැවෙන රෝද තිබෙන මනස සිතා ගත නොහැකි තරමට සංකීර්ණයි. එපමණක් නොව ක්‍රියාකාරිත්වයන් ද එකිනෙකට වෙනස්.

 විඳින, තීරණ ගන්න, සැලසුම් කරන ආදී ක්‍රියාකාරීත්වයන් සිදුවන, සිත කියන සරල අකුරු දෙකේ වචනයෙන් කියවෙන්නේ, විශ්වයේ තිබෙන සංකීර්ණම ක්‍රියාකාරීත්වයයි. සාහිත්‍යයේ සිත ගැන මොන සෞන්දර්ය අර්ථයෙන් කථා කළත්, ඇත්ත ඒ සෞන්දර්යයට වඩා භයානකයි, බියකරුයි. සංසාරය තරම් බියකරු දෙයක් විශ්වයේ තවත් නැහැ. විශ්වයේ තිබෙන අතිභයානකම දෙය වන සංසාරය සාදන්නේ භයානක වූ, බියකරු වූ සිත විසිනි.

මුලින් සඳහන් කළ එක් එක් විෂයයන්, මනසේ යම් යම් කොටස් සමඟ ක්‍රියා කරන නමුත් සමස්ත මනස සමඟ ක්‍රියා නොකරයි. අන්ධයින් පිරිසක් අලියෙකු පිළිබඳව කළ ප්‍රකාශයේදි, තමන්ට ස්පර්ශවන කොටස්වලට අනුව අලියා පිළිබඳව ප්‍රකාශ කිරීම වරදක් හෝ අසත්‍ය ප්‍රකාශ කිරීමක් නොවන මුත්, ඒ කියූ “කොස්ස වගේ”, “කුල්ල වගේ”, “වංගෙඩිය වගේ” යන කාරණා වෙන් වෙන්ව ගත්කළ, අලියෙකු පිළිබඳ අදහසක් කිසිසේත් ඇතිවන්නේ නැතිවා මෙන්ම ඒ සියලූම කාරණා එකතු කළත් අලියෙකු හඳුනාගන්නට හෝ අලියෙකු පිළිබඳ හැඟිමක් ඇති කරගන්නට බැහැ. 

මනසේ එක් එක් කොටස් සමඟ ක්‍රියාකරන, ඉහත සඳහන් විෂයයන්ගෙන් හා අභ්‍යාසයන්ගෙන් ලබාගත් අදහස් එකතුවකින්, සංකීර්ණ වූ, භයානක වූ, බියකරු වූ මනස හඳුනාගත නොහැකිය. එවැනි අතිශයින් සංකීර්ණ වූ, බියකරු වු මනස සමඟ පූර්ණ වශයෙන් ක්‍රියාකල හැකි එකම යාන්ත්‍රණය නම් ‘භාවනාව’ යි. සංකීර්ණ වූ මනස සමඟ පූර්ණ වශයෙන් ක්‍රියා කළ හැකි භාවනාව, සංකිර්ණ නොවන අතර ඉතා පුළුල් (පටු නොවේ). අනිත් විෂයයන්ගේ සීමා පවතින අතර ඒ සීමාව තුළ සිතේ වෙනසක් කරගැනීමට හෝ සිතෙන් කිසියම් වැඩක් කරගැනීමට හැකියාව පවතිනවා. මනස සමඟ ක්‍රියාකරන කොටසින්, සීමාවෙන් කිසියම් කාර්යයක් කරගැනීමට (ප්‍රයෝජනයක් ගැනීමට) යාඥාවෙනුත්, උපවාසයෙනුත්, මන්ත්‍ර ජපකිරීම වැනි අංශ වලිනුත් කළ හැකි නමුත් සෑම දෙයක්ම කරගත නොහැකියි. එමෙන්ම සමස්ත මනසම ආවරණය කරගැනීමට හැකියාව ඇති අප දන්නා එකම හා හොඳම යාන්ත්‍රණය නම් භාවනාවයි. භාවනාව සමස්ත මනසම ආවරණය කරගැනීමට තරම් පුළුල් වන අතර එසේ නොහැකි නම් එම භාවනාවෙන් ප්‍රයෝජනයක්ද නෑ. අනිත් සෑම විෂයකටම හැකියාව පවතින්නේ එක් භූමිකාවක්, එක් සීමාවක් නිරූපණය කිරීමට වුවත් භාවනාවට එකම භූමිකාවක් නොව විවිධ වූ භූමිකා නිරූපණය කිරීමට හැකියාව පවතිනවා. 

මනසේ සීමාව වඩාත් ගැඹුරු මෙන් ම වඩාත් පුළුල් දිග-පළලින් ද යුක්ත බැවින් සමස්ත මනසම ආවරණය කිරීමට නම් භාවනාවටත් එවැනිම දිග-පළලක්, පුළුල් බවක් තිබිය යුතුයි. එබඳු හැඟීමක්, අත්දැකීමක් භාවනාවෙන් ලැබෙනවාද? මෙය අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි. භාවනාව වඩාත් ගැඹුරුයි, බුදු දහමේ ඇති ගැඹුරුම දෙය නම් භාවනාව, ඊට මෙහා සීලය, ඊටත් මෙහා ඇති දානය සරලයි කියා පිළිගැනීමක් තිබෙනවා. භාවනාව පිළිබඳ දේශනාවන්ට සවන්දීමේදීත්, පොත-පත පරිශීලයේදීත් වැටහෙන කරුණක් නම් භාවනාව ගැඹුරු විෂයක් බවත් එය එතරම් ලේසි පහසු දෙයක් නොවන බවත්. ඇසෙන දේ, කියවන දේ, පොත්වල තිබෙන දේ පැත්තකින් තබා භාවනා කරනවිට (භාවනාවත් සමඟ ඉන්නවිට) අපට දැනෙනවාද භාවනාව පුළුල් දෙයක් බව? නැතිනම් භාවනා කිරීමෙන් අපේ සීමා මායිම් පුළුල්වෙන බව දැනෙනවාද? එසේ නොදැනෙනවා නම්  කිසියම් වරදක් පවතින අතර ඒ වරද හඳුනාගෙන නිවැරදි කරගත යුතු වේ.

මේ කාරණය අවධාරණය කරනුයේ, භාවනාව සම්බන්ධයෙන් ඇති බහුතර අදහස බොහොම පටු නිසායි. භාවනාව සම්බන්ධයෙන් පවතිනුයේ ‘සිත එකඟ කරගැනිම’, ‘සිතුවිලි නැති කිරීම’, ‘හිත හිස් කිරීම’, ‘සිතන්නේ නැති සිතක් හදා ගැනීම’, වැනි ජනප්‍රිය චිත්‍ර හා අදහස්. නමුත් මෙවැනි අදහස් හරිම පටු වන අතර මෙයින් භාවනාව සම්බන්ධ කිසිදු අදහසක්, චිත්‍රයක් ඇති නොවේ. භාවනාව සම්බන්ධ අදහස අලියෙකු නම් එයින් කොටසක් වන ‘කුල්ලක්’ තරම්වත් අවම අදහසක් මෙවැනි ‘පටු අදහස් වලින්’ ඇති  වන්නේ නැහැ.. අලියෙකු කුල්ලකට සමාන කිරීමෙන් අලියා පිළිබඳව සුලු හෝ අදහසක් කියවෙන නමුත් මෙවැනි පටු අදහස් භාවනාවේ වලිගයවත් ස්පර්ශ කර නැහැ.(භාවනාව සම්බන්ධ සුලු හෝ අදහසක් ඇති නොවේ). භාවනාව ගැඹුරු දෙයක් ලෙස නොව පුළුල් දෙයක් ලෙස දකින්න. 

අපගේ සිතීම වෙනස් වී, පුළුල් ආකාරයෙන් සිතීමක් බවට පත්වෙනවා. අපගේ සිතීම පටුද නැද්ද කියන කාරණය හඳුනාගත යුතුය.  ‘පටු’ කියන මෙම වචනය බොහෝවිට භාවිතා කරන්නේ තවත් කෙනෙකුට චෝදනාවක් ලෙසින්. ‘පටු විදිහට සිතනවා’, ‘චින්තනය හරි පටුයි’, මෙසේ අපට කියාගන්නේ නැති වුවත් තවත් කෙනෙකු විවේචනය කරනවිට ‘පටු’ යන වචනය බහුලව භාවිත කරනවා. සිදුවූ කිසියම් ගැටලුවක් ගැන කථා කරනවිට ආදේශ කරන දෙයක් නම් “එයා හිතන්නේ හරි පටු විදිහට”, “ පටු චින්තනයක් තියෙන කෙනෙක්” කියා. නැතිනම් කිසියම් ජන කොට්ඨාශයක් ගැන, ජාතියක් ගැන, කොටසක් ගැන කථා කරනවිට භාවිතා කරනවා “ඒ අය හරි පටු විදිහට සිතන්නේ ” කියා. 

“අනිත් අය පටු විදිහට සිතනවා” කියා සිතීම ම අපේ ‘පටු චින්තනයේ ලක්ෂණයක්’. පටු චින්තනය තමා, පටු සිත් තමා අනිත් අයව විනිශ්චය කරන්නේ. ඒ විනිශ්චයෙන් ගන්නා නිගමනය ඇත්ත විය හැකි නමුත් තමන් දිහා නොබලා අනිත් අයව විනිශ්චය කරන්නට යන්නේ පටු සිත්. මෙය සිතේ තිබෙන එක් පටු ලක්ෂණයක්. අනිත් අයව (පිරිසක්, පක්ෂයක්, ජාතියක්, රටක්) විනිශ්චය කිරීමට යෑමේ මෙම ස්වභාවය කිසියම් සිතක තිබෙනවාද,  එය පටු බවේ ලක්ෂණයක්.  පටු සිත් තමා විනිශ්චයට යන්නේ. පුළුල් සිත සම්පූර්ණ පළල් චිත්‍රයක් දකිනවා. පටු සිත් විනිශ්චය කරන්නේ පුංචි කාරණයක් දෙකක් අරගෙන. ඒ ගන්න කාරණා ඇත්ත වෙන්න පුලුවනි නමුත් සමස්තය පිළිබඳ හැඟීමක් නැහැ. සමස්තය දැක්කාම කිසිම කෙනෙකු ගැන හොඳයි කියන්නත් බැහැ වගේම නරකයි කියන්නත් බැහැ. එසේම කිසිම කෙනෙකු ගැන උගත් කියන්නත් බැහැ, නූගත් කියන්නත් බැහැ. ලස්සනයි, කැතයි කියන්නත් බැහැ. සමස්ත චිත්‍රයම ගන්න පුළුවන්නම්, ඒ සමස්ත අලියාම දකින්න පුළුවන් නම් කොස්සක් වගේ කියන්නත් බැහැ, කුල්ලක් වගේ කියන්නත් බැහැ, වංගෙඩියක් වගේ කියන්නත් බැහැ. නමුත් පුංචි කොටසක් දකින පටු සිත තමා විනිශ්චයන්ට පැමිණෙන්නේ. 

බුද්ධිමත්‍, මෝඩ ආදි ලෙසින් මොන විදිහේ හෝ විනිශ්චයකට පැමිණෙන්නේ එක කාරණයක් හෝ දෙකක් දැකීමෙන්. එම කාරණය හෝ දෙක ඇත්තටම තිබිය හැකි මුත් තව බොහෝ වෙනස් කාරණා තිබෙනවා. මනුෂ්‍යයකු යනු සංකීර්ණ පද්ධතියක්, ශරීරය ගත්තත් සංකීර්ණයක්, සරල නැහැ. ජීවිතය, කෙනෙකුගේ චරිතය, බුද්ධිය, මොළය මේවා ගත්තාම හරි සංකීර්ණයි. මේවා අතර මෙන තරම් කාරණා ප්‍රකටව, මතුවෙලා තිබෙනවාද? මොන තරම් කාරණා නිලීනව, නිදාගෙන තිබෙනවාද? එසේ සොයන්නේ බලන්නේ නැතිව කවුරුන් ගැන හෝ නිගමනයකට තීරණයකට එනවාද, ඒ පටු බවේ ලක්ෂණයක්. භාවනාවෙන් සිදුවන පැහැදිලි පරිවර්තනයක් තමා අනුන්ව දකිනවා වෙනදාටත් වැඩිය හොඳට, නමුත් විනිශ්චයකට හා නිගමනයකට එන්නේ නෑ. 

භාවනාවේ දියුණුව පිළිබඳව අපට හැමදාම තිබෙනවානේ ප්‍රශ්නයක්. මෙපමණ කල් භාවනා කරනවා, තවම හිත දුවනවා, දියුණුවක් නැද්ද, ප්‍රගතියක් තියෙනවාද, නැද්ද? මෙන්න භාවනාවේ ප්‍රගතිය මැනගන්න පුළුවන් එක් ප්‍රබල කෝදුවක්, මිම්මක් හා තරාදියක්. කුමක්ද? බාහිරය, සමාජය, අන්‍යයන් වෙනදාටත් වැඩිය හොඳින් දකිනවා, අන්‍යයන් තුළ තිබෙන චරිත ලක්ෂණ, ගති පැවතුම් හොඳින් පේනවා, වෙනදා නොදුටු දේවල්, වෙනදා දැක්ක දේවල් වල තව විස්තර පේන නමුත් විනිශ්චයකට යන්නේ නෑ, එයා මෙහෙමයි, එහෙමයි කියා. 

වැඩියෙන් පේනවිට, වැඩියෙන් විනිශ්චය කරන්න පුළුවන් කියා හිතෙනවා. ගති ලක්ෂණ එකක් දෙකක් පේනකොට අමාරුයි යැයි හිතුනත්, දහයක් පහළොවක් ගති ලක්ෂණ පේනවිට සාමාන්‍යයෙන් සිතෙනවා හරි ලේසියි හැඳිනගැනීමක් කරන්න, තීරණයකට එන්න කියා. ඇත්ත එය නොවෙයි,  කරුණු වැඩි වැඩියෙන් පේන්න පේන්න වැටහෙනවා තීරණයකට එන්න බෑ කියා. මොනවත් කියන්න බෑ, ඒවා එකිනෙකට පටහැනියි, පරස්පර කාරණා පේන්නේ. සුදුත් පේනවා, කළුත් පේනවා, සුදුයි කියන්නත් බැ, කළුයි කියන්නත් බෑ. සුදු විතරක් නම් දැක්කේ සුදුයි කියන්න පුළුවන්, එය බොරුවක් නොවේ. නමුත් දැන් පේනවා අළු පාටත්, තව බැලුවොත් තවත් වර්ණ පේනවා. මෙතන වර්ණාවලියක්ම එකින් එක, එකින් එක දකින්න ලැබෙන විට මොනවත්ම කියාගන්න බැරිවෙනවා. 

කිසිම නිගමනයකට, විනිශ්චයකට එන්න බැරිවන්නේ දැකීම නිසා, නොදැකීම නිසා නොවේ. නොදකින්න නොදකින්න විනිශ්චයන්ට එනවා වැඩියි. අන්ධකාරය වැඩිවෙන්න වැඩිවෙන්න අනුමානයන් වැඩියි. අඳුර වැඩිවෙනවිට බාගෙට පේනවිට බලන්න මොන තරම් අනුමානයන් එනවාද? අරයා වෙන්න පුළුවන්, මෙයා වෙන්න පුලුවන්, අර සතා වෙන්න පුළුවන්, මේ සතා වෙන්න පුළුවන්, මොන තරම් අනුමානයන් එනවාද. නමුත් ආලෝකය වැටෙන්න වැටෙන්න ටික ටික පේන්න පටන්ගන්නවිට මොනවත් කියාගන්න බැරි වෙනවා. මොකද ආලෝකය වැටීම ඉවරයක් නෑ. එන්න එන්න පේන දේ වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම ආලෝකමත් වනතුරුම මේ දැකීම වර්ධනය වෙනවා. පේන දේ වෙනස් වෙනවා. මෙතන හරි ලස්සනයි, දර්ශනය වැඩිවෙන්න වැඩි වෙන්න නිගමනවලට ඒමක් නෑ, විනිශ්චයක් නෑ, දිගටම බලා සිටීමක් තමා තිබෙන්නේ.  

හිතවතුනි, මේ පුළුල්වන සිතක ලක්ෂණයක්. භාවනාව මොන තරම් කාලයක් කළාද, මොනවාද කරන භාවනා ක්‍රම, පොත්වල තිබෙන කාරණාවලට අනුව ප්‍රතිඵල මොනවාද යන මේ ටික මදකට පැත්තකින් තියන්න, අවශ්‍ය වේලාවට පෙරළාගන්න. හැමවෙලේම ඒ පොත් පෙරළනවා වෙනුවට ඒවා පැත්තකින් තියා බලන්න සිතේ නිම්වළලු, සිතේ තියෙන වැට මායිම්, සීමා එන්න එන්න පුළුල් වෙනවාද පටු වෙනවාද කියා. කෙනෙකුට සිතෙන්න පුළුවන් “ඉස්සර නම් තමන්ට සංවේදීතාවයක් තිබුණේ නැහැ, අනිත් අය ගැන හැඟීමක්, දැනීමක් තිබුණේ නැහැ, නමුත් දැන් භාවනා කරන්න පටන් ගත්තාම හොඳට අනිත් අයව තේරෙනවා. මොකටද එන්නේ කියලා තේරෙනවා ඉස්සර වගේ රැවටෙන්නේ නෑ. හරි පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ”. එය හොඳ කාරණයක්, සුබවාදී, ධනාත්මක වෙනසක්. නමුත් එයින් සමස්ත පුද්ගලයාව නැතහොත් අනිත් කෙනාගේ සියලු ලක්ෂණ හඳුනාගත්තා නොවෙයි. 

දැනගන්න, දැනගන්න එනම් ආලෝකය පහළ වෙන්න, පහළ වෙන්න දර්ශනය (දැකීම) පහළ වෙනවා. දර්ශනය පහළ වෙන්න, පහළ වෙන්න වැටහෙන කාරණය තමා නොදන්නා (දන්නේ නැති) බව. සාමාන්‍ය සිතක් අහන්න අකමැතිම දෙයක්වන ‘දන්නේ නෑ’ කියන කාරණය භාවනාව හරිම කැමතියි නැවත නැවත කියන්න. භාවනා කරන්න කරන්න, වැඩි වැඩියෙන් සිතට කියනවා, සිතට ඇහෙනවා “ඔබ දන්නේ නෑ” කියා. දන්නේ කුමක්ද? නොදන්නා බව, වැඩි වැඩියෙන් නොදන්නා බව. එය පුළුල් සිතක ලක්ෂණයක්. පටු සිත් තමා ‘දන්නවා’ කියන ඉක්මන් නිගමනයට, තීරණයට පැමිණෙන්නේ. දන්නවා කිවූ ගමන්ම නැවතුම් තිතක් වැටෙනවා. “දන්නවා නම්, හරි” එතනින් නවතිනවා, කුමක්ද නවතින්නේ, දර්ශනය (දැකීම) නවතිනවා. අන්ධකාරයේ ඉන්නවිට විදුලිපන්දමක් දල්වලා මොනවාද තියෙන්නේ, කවුරුද ඉන්නේ කියා තීරණයකට ආවාම, විදුලි පන්දම දල්වාගෙන බලාගෙන ඉන්නේ නැහැනේ. හඳුනා ගත්තා කියා හිතුවාම “හරි, තියෙනවා, ඉන්නවා” කියා නවතිනවා. 

මෙසේ ‘දන්නවා’ කියන තීරණයට පැමිණි ක්ෂණයෙන් නැවතුම් තිතක් වැටෙනවා, කුමකටද ‘දර්ශනයට’, නවතිනවා. මෙය මහා අපරාදයක්. මේ දර්ශනයට නැවතීමක් නැහැ. දර්ශනය පහළවන්නේ ආලෝකයත් සමඟ, ඕනෑම දෙයක් දර්ශනය වන්නේ එළිය වැටෙන්න වැටෙන්න. ‘දැක්කා’, ‘දැනගත්තා’, ‘හඳුනාගත්තා’ කියා සිතුන ගමන්ම එළිය වැටීම නවතිනවා. ඉන් අනතුරුව ආලෝකයේ අවශ්‍යතාවයක් නැති වීමෙන් ගමන් කරනුයේ අන්ධකාරයටයි. හොඳින් බලන්න, ‘දන්නවා’ කියන නිගමනයට ආ මොහොතේම, අවිද්‍යා අන්ධකාරයෙන් ඒ සිත වෙලා ගන්නවා. ඉන් පසුව දැකීමක් නැහැ, දකින්න බැහැ, දර්ශනය නිමවීමෙන් පසුව ක්‍රියාත්මක වන්නේ සංකල්ප, අදහස්, තර්ක විතර්ක ගොඩනැඟීම. සංකල්ප, අදහස් හා තර්ක විතර්කවලට ආලෝකය, දර්ශනය අවශ්‍ය නැහැ. මේ වෙලාවේ වෙන්නේ කුමක්ද කියා දැනගන්න අවශ්‍ය නැහැ, තර්ක-විතර්ක කරන්න, කල්පනා කරන්න, අදහස්, සංකල්ප මවාගන්න, ඔහේ ඇස් වහගෙන පුළුවනි. ඒ මත ගොඩනැඟෙන න්‍යයායන් බැලුවාම මෙය හොඳින් වැටහෙනවා.

හිතවතුනි, මේ ‘දැනුම’ ගොඩනැඟෙන්නේ ඒ ආකාරයට නිගමන මත. නිගමනයට පැමිණෙන්නේ විනිශ්චයන් මත. කිසියම් දෙයක් තේරුණා, වැටහුණා, හඳුනා ගත්තා, දැක්කා, අවබෝධ කරගත්තා කියා නිගමනයට පැමිණීමෙන් තමා දැනුම ආරම්භ කරන්නේ. එසේනම් දැනුම ඇතුළේ තිබෙන්නේ සංකල්ප, අදහස් හා තර්ක විතර්ක. එයට අත්දැකීමක් මුල්විය හැකියි. මෙම පුංචි අත්දැකීම මත මහා විශාල දැනුමක්, සංකල්ප කළුවරේ ගොඩනැඟෙනවා. ඒ නිසා තමා දැනුම එකක්, දර්ශනය තව එකක් වන්නේ. මේ දෙක දෙකක්, දර්ශනයයි දැනුමයි දෙකක්. 

ආලෝකය ගොඩගසන්න බැහැ, එය පැතිරී යන දෙයක්. එළිය වැඩිවෙන්න වැඩිවෙන්න තව තව පැතිරෙනවා, අඳුරු මුළුවලට ආලෝකය පැතිරෙනවා, දර්ශනය ගොඩගැසිය නොහැකිය. අදහස්, තර්ක-විතර්ක, න්‍යායන්, අනුමානයන්, උපකල්පනයන් යන මේවා ගොඩගැසිය හැකිය. ගොඩගැසෙන්නේ දැනුම. මේ දෙක, දෙකක් බව අප වටහාගත යුතුයි. දැනුමේ බොහෝ ප්‍රයෝජන තිබෙන අතර ප්‍ර‍යෝජන මවාගැනීමටත් හැකියි. නමුත් මේ සියල්ලක්ම ලෞකියි. මෙසේ ගොඩගසාගත් දේවල් ප්‍රයෝජනවත් වෙනවා නම් ඒ මෙලොවට පමණයි, පරලොවට ප්‍රයෝජනයක් නෑ, විමුක්තියට කෙසේවත් ප්‍රයෝජනයක් නෑ.

දර්ශනය වෙනස්, දර්ශනය යනු දාර්ශනික කියන අදහස නොවේ. බටහිර දර්ශනය, ඉන්දියානු දර්ශනය, බෞද්ධ දර්ශනය කියා කියන ඒ දර්ශනය නොවේ. එවැනි දර්ශනයන් ඇතුළේ තිබෙන්නෙත් සංකල්ප, විකල්ප, තර්ක-විතර්ක, උපකල්පන, අනුමාන, න්‍යායන් වැනි දේවල්. අපේ මේ වැඩසටහන් මාලාවෙම තේමාව ‘ඤාණ දස්සන’, ‘ඥාන දර්ශනය’, ‘නැණ දසුන’ ඒ දාර්ශනික කියන අදහසින් නොවේ. මෙතන දාර්ශනිකයෙකු නැහැ. දාර්ශනිකයෙකුට කිසි දිනක අවබෝධ කරගැනීමක් කරන්නත් බැහැ. මොකද එයා ඉන්නේ වෙනම ලෝකයක, තමන්ගේම සිතිවිලි හා සංකල්ප යථාර්ථය කියා සිතාගෙන, ඒ ලෝකය ඇතුළේ ජීවත් වෙන්නේ. එබැවින් අවබෝධය, භාවනාව පැත්තට දාර්ශනිකයන්ගේ ආගමනය අඩුයි, ඇවිල්ලාම නෑ වගේ. දාර්ශනිකයෙකුට එන්න අමාරුයි, ඊට වැඩිය පහසුයි විද්‍යාඥයෙකුට භාවනා කිරීම. මේ දෙක ගැන වෙනම දවසක කථා කරමු. එතෙක් දාර්ශනික වීමෙන් පරෙස්සම් වන්න.

‘ඤාණ දස්සන’, ‘ඥාන දර්ශනය’ නැතිනම් ‘නැණ දසුන’ යන යෙදුම විමුක්ති මාර්ගයේ එක්තරා තීරණාත්මක තැනකදි කියවෙනවා. මෙය තීරණාත්මක සාධකයක්, හැරවුම් ලක්ෂ්‍යයක් කියන්න පුළුවන්. මේ කාරණය පසුගිය සති වලත් කථා කළා, ඒ නිසා මෙය ඉතාම වැදගත්. ඥාන දර්ශනයෙන් තොරව විමුක්තියක් නැහැ. සමාධියක් තියෙන්න පුළුවන්, නමුත් විමුක්තියක් නැහැ. සමථ භාවනාව ගත්විට මනසේ කිසියම් රෝදයක් කරකවන්න පුළුවන්. 

සිත නමැති සංකීර්ණයේ තිබෙන බොහොම විශාල දැති රෝදයක් කරකවන්න පුළුවන් යාන්ත්‍රණයක් තමා සමථ භාවනාව. ඒ දැතිරෝදය කරකැවෙන විට සමහර පුංචි දැතිරෝද හිරවෙනවා. ඒවාට කරකැවෙන්න බැරිවෙනවා. සමථ කියන දැති රෝදය කරකැවෙන්න පටන් ගත්තාම, නීවරණ කියන දැති රෝද පහම කරකැවීම නවතිනවා මෙන්ම මෙතෙක් කල් කරකැවුණේ නැති දැති රෝද කරකැවෙන්න පටන් ගන්නවා. ධ්‍යාන අංග කියන්නේ ඒ කාරණා. මනස කියන සංකීර්ණයේ තිබුණු සමහර ක්‍රියාකාරීත්ව ඇණහිටිනවා, සමහර අක්‍රියව තිබුණු දේවල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මානසික යන්ත්‍රයට පහසුවක් දැනෙනවා. සමථ භාවනාවේදි මේ සමස්ත සංකීර්ණයටම දැනෙනවා මෙතෙක් කල් නොදැනුණු හරි පහසුවක්. සිතට මෙතෙක් කල් නොලැබුණු සැපයක්, සැහැල්ලුවක්, අස්වැසිල්ලක් සතුටක් සමථ භාවනාවෙන් දැනෙන්නේ ඔය නිසා. ඒ නිසා මනස කැමතියි, මුලින් අකමැතියි. කලින් කරකැවුණු දැතිරෝද කැමති නෑනේ තමන් සිරවෙනවාට. ඒ නිසා ඒ පහ පුළුවන් තරම් බලනවා මේ සමථ රෝදය සිරකරන්න. සමථය කියන දැතිරෝදය (උප යන්ත්‍රය) සිරකරන්න බලනවා අර නීවරණ නැමති දැතිරෝද පහම. පුළුවන් තරම් උත්සාහ කරනවා. නීවරණ වලට පුළුවන් සමථය කියන දැතිරෝදය කරකැවෙන්න නොදී සිරකරන්න. ඒ නිසානේ නීවරණ කියන්නේ. නමුත් මේ සමථයට උදව්වෙන රෝද සමග එකතුවෙලා ටික ටික කරකැවෙන්න පටන්ගෙන හොඳින් කරකැවෙනවිට නීවරණ නමැති දැතිරෝද කරකැවෙන්න බැරුව සිරවෙනවා. නමුත්  ගැලවී යන්නේවත්, කැඩී කුඩු වී යන්නේවත් නෑ, සිරවෙනවා. එවිට සතුට, ප්‍රමෝදය වැනි දැතිරෝද කරකැවෙන්න පටන් ගන්නවා. මේ මුළු මනසම නොවේ, නමුත් සමහරු සිතුවා “මේ තමා මුළු මනස, මුළු මනසම සැහැල්ලුවට පත්වෙලා, ප්‍රීතියට පත්වෙලා, දැන් ප්‍රශ්නයක් නැහැ” කියා. මේ සමස්ත මනස නොවේ මනසේ පුංචි කොටසක් පමණයි.

කෙසේ හෝ මේ සඳහා ඥාන දර්ශනයක් අවශ්‍ය නැහැ. ඥාන දර්ශනය අවශ්‍ය වන්නේ ඉන් එහාට ගමන් කරන්න. මනසේ මෙතෙක් අත නොගැසූ පැත්ත හඳුනා ගැනීමටයි ඥාන දර්ශනය අවශ්‍ය වන්නේ. ඥාන දර්ශනය කියන වචනය යෙදෙනවිට බොහොම බරපතල හැඟීමක්නේ සිතට එන්නේ, “විශේෂ බුද්ධියක්, විශේෂ දැනුමක් අවශ්‍යයයි, අප දන්නවා මදි, දහම් දැනුම නැහැ, තව ඉගෙන ගන්න ඕනේ, පාලි, අභිධර්මය දන්නේ නෑ, සූත්‍ර, ධම්ම පදය දන්නේ නැහැ,” ආදී වශයෙන් අධෛර්යමත් වෙන සිතුවිලියි වැඩිපුර එන්නේ. ඥාන දර්ශනය කියන්නේ ගැඹුරු දෙයක් නමුත් එයට ඔය කිසිදෙයක් අවශ්‍ය නැහැ. ඔය කිවූ කිසිදෙයක් අවශ්‍ය නැහැ. භාෂා දැනුමක්වත් ලොකුවට අවශ්‍ය නැහැ. අනිත් විෂයයන් පිළිබඳ දැනුම අවශ්‍යම නැහැ. තිබුණාට කමක් නැහැ, නමුත් ඕන නැහැ. මෙහෙම කියනවිට සමහර කෙනෙකුගේ සිතේ විවිධ හේතු නිසා ගැටලු ඇතිවෙන්න පුළුවන්. එම ගැටලු ඔහේ තිබුණාවේ. ඒවා සමහරවිට භාවනාවෙන්ම විසඳෙයි. ප්‍රශ්න ප්‍රශ්න විදිහට තිබුණාවේ, ඒවා ප්‍රශ්න කරගන්න එපා. තර්ක-විතර්ක, න්‍යායන්, සංකල්ප වැනි ගොඩගසාගත් කිසිම දෙයක්, ඥාණ දර්ශනය සඳහා අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව උදාහරණ එමටයි. ථේරි ගාථාවල හමුවෙන උදාහරණයකින් අපි දේශනය අවසන් කර භාවනාවට එමු.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්ධක නිකායේ ඇතුළත් ‍ථේරි ගාථා කියන්නේ රහත් තෙරණියන් තමන්ගේ අත්දැකීම් පිළිබඳව කළ පුංචි කතන්දර, ගාථා ආකාරයෙන් කියා තිබෙන විවිධ කාරණා. ථේර ගාථා තිබියදීත්, ථේරි ගාථාවක් තෝරාගත්තේ හේතුවක් ඇතිව. එදත් අදත් සාමාන්‍ය අදහසක් තියෙනවා පිරිමි පාර්ශවය බුද්ධිමත්, එයට සාපේක්ෂව කාන්තා පාර්ශවය බුද්ධියෙන් අඩුයි කියන කාරණය. පිරිමි අයට වැඩිය කාන්තාවන්ගෙන්මයි මෙය අසන්නට ලැබී තිබෙන්නේ. පෙරදිගත් එහෙමයි බටහිරත් එහෙමයි, කාන්තා විමුක්තිය ගැන කතා කරන බටහිරත් මෙය එළිපිට හෝ සැඟවී තිබෙන අදහසක්. රණ්ඩුවෙන්න දෙයක් නොවේ, කාන්තා මනසෙම මේ අදහස තියෙනවා. ඒ නිසාවෙනුයි ථේරි ගාථාවක් උදාහරණයක් ලෙස ගන්නේ.

 එක්තරා රහත් තෙරණියක් තමන්ගේ ජීවිත කථාව ගාථා කිහිපයකින් කියනවා. එතුමිය කියනවා එතුමියගේ ස්වාමිපුරුෂයා නැතිවුණා, දරුවනුත් දෙමව්පියනුත් නැදෑයිනුත් ඉන්න ගෙදරත් නැතිවුණා. එපමණක් නොව උගත්කමකුත් නැති නිසාවෙන් ම ජීවත්වෙන්න ක්‍රමයකුත් (රැකියාවකුත්)  නැතිවුණා. එදා පෙරදිග කාන්තාවන්ගෙන් ඉගෙනගත් කාන්තාවන් සිටියේ ස්වල්පයයි, බහුතරයක් නූගත්. එම නිසා ඇයට ජීවත් වෙන්න ක්‍රමයකුත් නැහැ. තිබුණේ හැරමිටියත්, සිඟාකෑමට ඉන්දියාවේ කවදත් පාවිච්චි කළ මැටි වළඳත් (අඩිවලඳත්/තැටියක්) පමණයි. එමඟින් අවුරුදු හතක් සිඟා කෑ නමුත් හරියට කෑමක් ලැබුණෙත් නැහැ. කුසගින්නේ හරිම දුර්වලකමෙන් සිටින මේ මහළු මව දුටුවා කෑම හොඳින් ලැබෙන කෙනෙකුව. එවිට සිතුවා 

“අනේ මටත් ඒ කෙනා ළඟ ඉන්න ලැබුණොත් කන්න ලැබෙයි“ කියා.

 එසේ සිතා ඒ කෙනා ළඟට ගොසින් කීවා,

 “මාවත් තියාගන්න ඔබ ළඟ“

එවිට ඒ කෙනා “හා“ කියා පිළිගත්තා. මේ කවුරු ළඟටද ගියේ, පටාචාරා රහත් තෙරණිය ළඟට. එතුමියත් කළින් මේ තත්වයේමනේ සිටියේ. පටාචාරා තෙරණිය මේ මහළු මව මහණ කළා. මහණ කර කමටහනක් දුන්නා. භාවනා කළා. මෙතුමිය කියනවා ඒ කමටහන වැඩිකල් වඩන්න උනේ නැහැ. ඉතාම ඉක්මනින් විද්‍යාවන් තුනම (ත්‍රිවිද්‍යා, තේවිජ්ජා) හොඳින්ම දැනගත්තා. මේ මහළු මව කිසිඳු උගත්කමක් නැති කෙනෙක්, කිසිම පාසලකට ගිහින් නැහැ, දැනුමක් නැහැ, කෑමත් නැහැ, හරියට අඳින්නත් නැහැ, ඒ විතරක් නොවේ නිරෝගීකමකුත් නැහැ. ධර්මය කියා කිසි දෙයක් දන්නේ නැහැ. දන්න එකම දෙය නම් අර පටාචාරා තෙරණිය දුන්න කමටහන පමණයි. ඒ කමටහන වැඩුවාම වැඩි කාලයක් යන්න කලින් මේ විද්‍යාවන් තුනේම පරතෙරට ගියා, සංසාරයෙන් නිදහස් වුණා කියලා එතුමිය කිව්වා. විද්‍යාවන් තුන  කුමක්ද කියා අද ඉන්න දන්නවා කියා හිතන ළමයෙකුගෙන් ඇසුවොත් කියයි, Chemistry, Physics, Biology කියා. 

මෙතනදි ත්‍රි විද්‍යා කියන්නේ තමන්ගේ අතීතය තමන්ට රහසක් නොවීම, තමන්ගේ අතීතය පිළිබඳ විද්‍යාව, සංසාර පුරාවෘතය පිළිබඳ විද්‍යාව, පුබ්බේනිවාසානුස්සති ඤාණය.

 දෙවැනි විද්‍යාව නම් ඇසට පෙනෙන දේ විනිවිද නොපෙනෙන දේ දකින්න පුළුවන් දිවැස ය.

තුන්වෙනි විද්‍යාව ආශ්‍රවයන් නැහැයි කියා තමන්ට ඇතිවෙන දැනීම, තමන්ට ආශ්‍රව නැහැ, තිබුණු ආශ්‍රව සියල්ල ක්ෂය කළා කියන ආසවක්ඛය ඤාණය.

බලන්න මොනවා දැනගෙන ද? මොන දැනුමක් තිබිලා ද? මොනවා ද උදව් වුණ ගොඩගහගත් දේවල්? කිසිදෙයක් නැහැ. ඒ වයසක මවගෙන් ඇසුවානම් චතුරාර්‍ය සත්‍ය දන්නවා ද, ඒවා දන්නවා ද, මේවා දන්නවා ද? කියා මහණ වෙන්න කලින් ඇසුවානම්, ඉගෙනගෙන එන්න කිව්වා නම් මොනවත් කරගන්න බැරිවෙනවා. මෙතන අවශ්‍ය වන්නේ පළල් දැක්මක්, නොදන්නා බව දැනගැනීමක් සහ දන්නා දෙය වැඩක් නැහැ කියා තේරුම් ගැනීමක්. ජීවිතයේ වෙනත් දේවල් වලට වැඩක් තියෙන්න පුළුවන්, නමුත් මෙතෙන්ට මේ වැඩේට ඵලක් නැහැ. මේ කාර්යයේදී ඒ සියල්ල අවලංගු  කාසි පමණයි. අවශ්‍ය වන්නේ ඥාන දර්ශනය, විවෘතවීම, වැඩි වැඩියෙන් ආලෝකය වැටීමට සැලැස්වීම හා හොඳින් බැලීම. බැලුවොත් පමණයි දර්ශනය වන්නේ. ආලෝකයත් අවශ්‍යයයි, බලන්නත් අවශ්‍යයයි. හිතවතුනි ඒ කාරණා දකිමින් අපි ඒ ගැන ටික වේලාවක් භාවනා කරමු.

මේ අප තුළ තිබෙන්නේ දැනුමක් ද? දර්ශනයක් ද? එකතු කරගන්නේ දැනුමක්. දර්ශනය එකතු කරගන්න බැහැ. දර්ශනය මේ මොහොතේ තිබෙන දෙයක්. ඒ නිසයි කිව්වේ ‘නැණ දසුනට තත්පරයක්’ කියා. පැයක් කිව්වානම් දැනුමට, ඒ පැය ඇතුළත අපි මිනිත්තුවෙන් මිනිත්තුව එකතු කරන්නේ දැනුම. නැහැ මොහොතයි, තත්පරයයි. ඒ ගැන අප මේ මොහොතේ, “අප කවුද? අප තුළ තිබෙන්නේ මොනවාද? අප සොයන්නේ මොනවාද? අපට අවශ්‍ය මොනවාද?” ඒ ගැන අපි නිහඬව භාවනානුයෝගී වෙමු. අපත් සමඟම අප සාවධාන වෙමු.

භාවනාව

විනිශ්චයන්ට හා නිගමනවලට මොන තරම් ඉක්මනින් එළඹෙනවා ද, හරි තේරුණා, දන්නවා කියා. එය පටු බවේ ලක්ෂණයක්. 

භාවනාවෙන් මේ තත්වයේ වෙනසක් වෙන බව පෙනෙනවා ද? 

දකින්න පුළුවන් ද, සිතුවිලි, අදහස්, සංකල්ප, උපකල්පන, තර්ක-විතර්ක, කන්දක් වගේ ගොඩගැසෙන හැටි? 

ඒ නිසා දන්නවා කියන හැඟීම ඇතිවෙන හැටි. 

දැකීම ඒ කිසිදෙයක් මත නොරදන, මේ මොහොතේ බැලීම, අවධානයෙන් බැලීම නිසාම ඇතිවන වැටහීමක්. අවශ්‍ය ආලෝකමත් බැලීමක්, ප්‍රභාෂ්වර බැලීමක්, දර්ශනය වන්නේ එවිටයි. ඒ දැක්මත් සමඟ හිතවතුනි ප්‍රශ්නයක් තියෙනවානම් අසන්න, වැටහීමක් තිබෙනවා නම් ප්‍රකාශ කරන්න, මේ ඒ සඳහා අවස්ථාව.

සාකච්ඡාව 

ප්‍ර :  භාවනාව නිසා බාහිර තියෙන දේවල් පිළිබඳ හොඳ දැනුමක් ලබාගන්න හැකියාවක් ලබෙනවා. ඒ හැකියාව නිසා තමන් නොදන්නා දේවල් දැන ගැනීමට වැඩි ප්‍රවණතාවයක් දැනෙනවා. එතකොට තමාට භාවනාව නිසා මේ ලැබෙන පුළුල් පරාසයන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න අතර විනිශ්චය කියන එක ඒ අනුව අඩුවෙනවාද?

පි : භාවනා කරන හිත ඉගෙන ගන්න පුළුවන් හිතක්. මොන වයසින් හරි කමක් නෑ භාවනා කරනවා නම් ඒ හිත නැවුම් හිතක් බවට පත්වෙනවා. භාවනා කරන්න කරන්න ඒ ස්වභාවය වැඩි වෙනවා. භාවනා නොකරන හිතකට වඩා දැනෙන්න පටන් ගන්නවා පෙනෙන්න පටන් ගන්නවා ඇහෙන්න පටන් ගන්නවා හිතෙන්නත් පටන් ගන්නවා. එය භාවනාවට බාධාවක් නොවෙයි උදව්වක්. එනමුත් එය බාධාවක් කරගන්නත් පුළුවන්. භාවනාවෙන් ඒ හැකියාව ලැබුණහම අනවශ්‍ය දේවල් ඉගෙන ගන්න, හදාරන්න, විශ්ලේෂණය කරන්න, විග්‍රහ කරන්න ගියවිට ලෞකික ප්‍රයෝජනයක් තමා ලැබෙන්නේ. ඉතින් එය එක්තරා විදිහකට භාවනාව අවභාවිතා කිරීමක් වෙන්නත් පුළුවන්. අපට මේ ගැන අවබෝධයක් තියෙනවා නම්, මෙහෙම හැකියාවක් ලැබෙන බවත් ඒ නිසා අලුත් කාරණා අලුත් විශ්වයක් පේන්න පටන් ගන්නවා. ඒ  දැනෙන්න දැනෙන්න මුලින් කියපු කාරනේ තමයි වැටහෙන්නේ, අප දන්නෙ නෑ කියන කාරණය. වැඩි වැඩියෙන් දැනගන්න දැනගන්න තේරෙන කාරණය තමයි අප දන්නෙ නති බව. ඒ නිසා නිගමනයකට එන්න බැරි වෙනවා. උදාහරණයකට එක පාටක් නම් පේන්නේ, කලුයි කියන්න පුළුවන් සුදුයි කියන්න පුළුවන්. හැබැයි හොඳට බලනකොට පේනවා එතන තව පාට තියෙනවා කියලා. වර්ණ දෙකක් පේනකොට කියන්න බෑ සුදුයි කියලා හෝ කලුයි කියා.

වැඩි වැඩියෙන් පේන්න පේන්න කිසිම නිගමනයකට එන්න බැහැයි කියන කාරණය පේනවා . එතන තියෙන්නේ නොනවතින දැක්මක් ප්‍රවාහයක් වගේ නොනවතින දැක්මක්, ඥාන දර්ශනය කියන්නේ ඒ දැකීම මිස නිගමන නෑ. නිගමනත් එක්ක නවතිනවා, එතකොට අපේ ඇස් වහගන්නවා ”දැන් හරි” කියා. මෙතන එහෙම ඇස්වහ ගැනීමක් නෑ. එනිසා විනිශ්චයකට එන්නෙ නෑ එන්න බෑ. එහෙම එන එක වැරදියි. වැරදියි කියන්නේ පවක් නොවේ මෝඩකමක්. විනිශ්චයට ඒම මෝඩකමක්, පටු වීමක්. මෙච්චර පුළුල්දර්ශනයක් දකිමින්  කොහොමද පටු වෙන්නේ?. පටු වෙන්න බෑ ඉන් පසු. එකිනෙකට පරස්පර කාරණා දෙකක් තුනක් පේනකොට කොහොමද නිගමනයකට එන්නේ?. ඒකාන්ත වශයෙන් මෙහෙමයි කියන්න බෑ කිසිම දෙයක් ගැන. එ නිසායි ඥාන දර්ශනය ගැන විස්තර කරනකොට ( අපි පසුව ඒ ගැන කතා කරමු) “තියෙනවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ”. ඇත නැත කියන දෙකටම එන්න බෑ. මෙතන ඇති වීමකුත් වෙනවා නැති වීමකුත් වෙනවා. ඉතින් හටගැනීමත් තියෙනකොට නෑ කියන්න බෑ ඒ එක්කම පේනවා නැති වෙනවා. නැති වෙනවා පේනකොට කොහොමද තියෙනවා කියන්නේ?. එක ක්‍රියාවක් පමණක් දැකලා නැවතුනහම කියන්න පුළුවන්, නැති වීම පමණක් දැකලා ඇස්වහ ගත්තහම කියන්න පුළුවන් නෑ නැත කියා. එමෙන්ම  ඉපදීම හට ගැනීම පමණක් දැක ඇස් වහ ගත්තහම නිගමනයකට එනවා තියෙනවා කියන. හැබැයි නිරන්තරයෙන්ම මේ දැකීමේ ප්‍රවාහයට පේනවා ඇත- නැත ඇත-නැත ඇත-නැත. එතකොට මොනවත් කියන්න බෑ. 


ප්‍ර : ඒ අවස්ථාවට එනකොට අනවශ්‍ය තර්ක වලට දර්ශනවලට න්‍යායන් වලට තව කෙනකුට විරුද්ධව කියන දේවල් වගේ දේවල් වලින් ඉබේ වැළකෙනවා නේද?

පි : ඔව් අනිවාර්යයෙන්ම. ඒවා නිෂ්ඵලයි කියන එක තේරෙනවා, බොරුවක් මුසාවක්. මුසාවාද කියන එක අප එක්තරා මට්ටමකින් කතා කරන්නේ. හැබැයි ඔය මට්ටමට එනකොට තේරෙනවා මොනවා කිව්වත් මුසාවාදයක් කියා. එනිසා එයා බොහෝ විට නිහඬව ඉන්නවා. කියනවා නම් බොහෝම තේරුම් බේරුම් කරලා පොඩි රාමුවක් හදලයි කියන්නේ සිදුවීමක් ගැන. කුමක් හෝ සිදුවීමක් ගැන කියන්න පුළුවන්, නමුත් පුද්ගලයා ගැන කතා කරන්න බෑ. බැන්නා කියන්න, ඒක කියන්න පුළුවන්. දැක්කනම් ඇහුන නම් ඒ දේ කියන්න පුළුවන්. නමුත් පුද්ගලයා ගැන කියන්න බෑ. මොකද එයා හොරෙක් මිනීමරුවෙක් ත්‍යාගශීලී කෙනෙක්, එහෙම කියන්න බෑ. එහෙම කිව්වොත් එක සිදුවීමකින් ඒ පුද්ගලයා ගැන නිගමනයකට එනවා. ඒ පුද්ගලයාට ළඟ තව ලක්ෂණ තියෙනවා.. එනිසා තර්ක විතර්ක වලට යන්න බෑ. පේන්න පේන්න දාර්ශනික වෙන්න බෑ. එනිසා බොහෝ විට එයා නිහඬ වෙනවා. පුද්ගලයින් ගැන කතා කරද්දී බොරු කියවෙනවා කියන එක දන්නවා. හැබැයි සිදුවීම් ගැන කතා කරන්න පුළුවන්. පුද්ගලයින් ගැන කතා කරන්නේ නෑ. 

ප්‍ර : තමා ගැන හොයන්න ගත්තාම තේරෙන කාරණයක් තමයි බොහෝ දේවල් අනුන්ගෙන් ගත්ත දේවල් කියන එක, පරිසරයෙන් පොතපතින් ගුරුවරුන්ගෙන්. දිගටම හොයන්න ගත්තහම තමාට කියලා කිසිම දෙයක් නෑ කියලා තේරෙනවා, සියල්ල අනුන්ගෙන් එකතු කරගත් දේවල්, පෙනෙන නොපෙනෙන සියල්ලම. ඒ දැනීම ඥාන දර්ශනයේ කොටසක් විදිහට ගන්න පුළුවන්ද?

පි : ඥාන දර්ශනයට තමයි ඒ දැකීම ඇති වෙන්නේ. ඥාන දර්ශනය කියන්නේ අමුතු දෙයක් නොවේ, මේ ඇති ස්වභාවය දැකීම, යථාර්ථය පෙනීම. ඉතින් යථාර්ථය කුමක්ද ඔබතුමා කියූ කාරණයමයි. මේ ඔක්කොම පිරුවට කුලියට ගත්ත දේවල්, හොඳට බැලුවොත් හැම දෙයක්ම, ඇදන් ඉන්න ඇදුමත් එහෙමයි කොහෙන් හරි කඩේකින් ගත්ත දෙයක්, කන කෑමත් එහෙමයි, ශරීරය ගන්න හුස්මත් එහෙමයි. එහෙම බලාගෙන බලාගෙන ගියොත් කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අන්තිමට මේ ශරීරයත් එහෙමයි, කොහෙන් හරි ගත්ත එකක්. මේ ශරීරය තමන් හදපු දෙයක් නෙමේ, හැදුන හැටි අප දන්නවා කොහොමද කියා. එතන මම හිටියේ නෑ ශරීරය හැදෙන තැන. ඊළඟට මනස ගත්තත් ඒ වගේ, අධ්‍යාපන දැනුම ගත්තත් විඳීම් ගත්තත්. මෙතන සියල්ලම ණයට ගත්ත දේවල්, ආපසු දෙන්න පොරොන්දු වෙලා ගත් දේවල්. භෞතික දේවල් සියල්ලම ගත්තෙ ආපහු දෙන්න පොරොන්දු වෙලා, 

හුස්ම පවා. ඒ නිසා තමයි ඊළඟ හුස්ම ගන්න ඕන නම් ගත්ත හුස්ම දෙන්න ඕනේ. ඒ ණය ගෙව්වොත් විතරයි ඊළඟ හුස්ම අපට හම්බ වෙන්නේ. එහෙම නැත්නම් දෙන්නෙ නෑ. හුස්මෙන් පටන් ගත්තහම අනිත් හැම දෙයක්ම ඒ වගේ. ආහාර ගත් පසු ආපසු ශක්තිය දෙන්න ඕන. ශක්තිය නොදී කකා ඉන්න බෑ කෙනෙකුට දිගටම. ක්‍රිරියාකාරිත්වයක් ව්‍යායාමයක් නොකර ඔහේ ඉන්න ගියොත්, එහෙම ඉන්න පුළුවන් ටික කාලයක්, හැබැයි ඉන්පසු මොනවත් කන්න බැරි වෙනවා. ශරීරයත් ඉල්ලගත්ත දෙයක් ඒකත් දෙන්න වෙනවා. දෙන පොරොන්දුව මතයි භෞතික හැම දෙයක්ම ඉල්ලාගෙන තියෙන්නේ. නමුත් ඒ ගිවිසුම මතක නෑ දැන් අපට. කාලයක් ගියාම අමතක වෙනවා. අප හිතනවා “මෙය මගේ” කියා. හැබැයි ඒ දීපු කෙනාට අමතක නෑ, එයා හරියට ලියාගෙන ඉන්නේ හරියටම ඒ දවසට ආපුහු ගන්න ඕන කියා. එයා ඒ දවස ආවහම ගන්නවා. එතකොට අප කියනවා” නෑ නෑ එහෙම දෙන්න බෑ එයා මගේ එයා දෙන්න බෑ” කියා. ඒත් මේ කතන්දර මොනව කිව්වත් ඒ හිමියා අහන්නේ නෑ. අප කැමැත්තෙන් දුන්නොත් කැමැත්තෙන් ගන්නවා. අකමැත්තෙන් බදාගෙන නම් උදුරාගෙන යනවා. 

එහෙම බැලුවොත් නම් නාම-රූප දෙකම බාහිර දේවල්. බාහිර දේවල් අරගෙන සිතිවිල්ලක් අලවා ගන්නවා “මගේ” කියා. මගේ කියලා සිතිවිල්ලක් තියෙනවා. එතන තියෙන්නේ සිතිවිල්ලක් පමණයි, මම මගේ කියා. නමුත් මම මගේ කියන දේවල් අරන් බැලුවොත් ඒ හැම දෙයක්ම කාලෙන් කාලෙට කාගෙන් හරි ඉල්ල ගත් දේවල්. ඒ හැර වෙන කිසි දෙයක් නෑ. හරියට ලූණු ගෙඩියක් වගේ, ගලවලා බැලුවොත් සිවියෙන් සිවිය අන්තිම සිවියත් ගැල උනහම ලූණු ගෙඩියක් නෑ. 

ප්‍ර : එහෙම හිතන කොට ඒ අවබෝධය ලැබීමත් එක්ක මානය වගේ දේවල් ඉබේම වාගේ දිය වෙලා යනවා නේද ? එතකොට ලොකු සහනයක් ලැබෙනවා නේද?

පි : මානය ඇතිවෙන්න බොහෝ කාරණා එකතු වෙනවා. මානයේ ප්‍රබල ලක්ෂණ ටික අඩුවෙලා යනවා. මොකද මානයට ඉන්න බෑනේ, එයාට වඩා මම උසස් කියන්න බෑ, මොකද එයාගෙන් මම ණයට ගත්ත දේවලුත් තියනවා, අප දෙන්නම එකතුවෙලා වෙන කෙනෙක්ගෙන් ණයට ගත්තු දේවලුත් තියනවා. එයා කියන්නෙත් ණයට ගත්ත දෙයක්, මම කියන්නෙත් ණයට ගත්ත දෙයක්. එයා මගෙන් ණයට ගත්ත දේවල් තියනවා. අප දෙන්නම එකතුවෙලා තව කොහෙන්හරි ණයට ගත්ත දේවලුත් තියනවා. හැමෝම දිහා බැලුවම ඔය ස්වභාවය තමයි. ඔක්කොම ණයගැතියෝ අවසාන වශයෙන්, මෙතන ණය හිමියෙක් නෑ. කාටවත් කියන්න බෑ “මා තමා ණයහිමියා” කියා, හැමෝම ණයගැතියන්. ඉතින් ණයකාරයන් අතර මොන මානයක් ද?. මානයක් හදාගැනීම ලොකු විහිලුවක්. හිනා වෙන්න බැරි ඇඩෙන භයානක විහිලුවක්. මේ කාරණා පේන්න පේන්න මානයේ බොහෝ පැති අඩුවෙලා යනවා. 

මානය ඇති වෙන්න අහංකාරයත් බලපානවා. එයා කොහෙන් හරි තමන්ව උස්සලා තියලා මා ලොක්කෙක් කියා හිතන්න බලනවා, මොන දෙයින් හරි, තියෙන දෙයින් හරි නැති දෙයින් හරි. දුප්පත් කෙනෙකුටත් මාන ඇතිවෙන්න පුළුවන්. ” මට කිසි දෙයක් නෑ ඒ හින්දා මට ප්‍රශ්නයක් නෑ” කියන මානයක් හදාගන්න පුළුවන්. අපහිතනවා මානව එන්නේ පෝසත් අයට කියලා, එහෙම නෑ. දුප්පත් මානයකුත් තියෙනවා. ඒක ඕන විදිහට හදාගන්න පුළුවන්. ” මට මානයක් නෑ” කියලා මානයක් හදාගන්නත් පුළුවන්. එම නිසා අවසානයේ ගිලිහෙන සංයෝජන වලින් එකක් තමා මානය. එතෙක් මානය තියෙනවා සියුම් විදියට. ඊට පෙර ඔබතුමා කතා කළ රළු මානයන් ඔක්කොම ගැලවිලා යනවා. 

ප්‍ර : හුදකලාව නිහඬව සිටීමට අප කාටත් කාලයක් අවශ්‍යයි. එදිනෙදා ජීවිතේ අනිත් අයත් එක්ක කටයුතු කරද්දී එහෙම මොහොතක් ලැබෙනවා ගොඩක් අඩුයි. එහෙම අවස්ථාවලදී ඒ මොහොත නිහඬව ඉවසීමෙන් දරාගන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න කරදර මගහරවා ගන්න පුළුවන් නේද? තව විදිහකින් කියනවනම් ” ඉවසීම තමයි උතුම්ම තපස” කියල කියන්න පුළුවන් නේද? 

පි : ඒක ඒ විදිහම තමයි. ඉවසන්න වෙනම තැනක්, අසවල් තැන, ඒ වගේ පරිසරයක් තිබිය යුතුයි, මේ වගේ දිග කාලයක් ඕනේ,  එහෙම නෑ. පුහුණු වෙන්න නම් ටික දුරකට ඒවා අවශ්‍ය වෙයි. නමුත් ඉවසීම කියන එක එහෙම තැනකට වෙලාවකට ගොනු කරන්න බෑ. එහෙම නම් එය ඉවසීම නොවෙයි. ඒ අවශ්‍ය තැනදී අවකාශ නිර්මාණය කර ගැනීම අපේ දක්ෂතාවයක්. තැනකදී පළමුව මෙතන ඉවසන්න ඕන තැනක් බව හඳුනා ගන්න. මෙතන රණ්ඩු වෙන්න, බැණගන්න, තර්ක කරන්න වාද කරන්න හෙළා දකින්න නොවෙයි ඉවසන්න ඕන මොහොතක්, එය ඒ විදියට හඳුනාගැනීම ප්‍රඥාව, තැනට සුදුසු නුවණ. එය හරියට හඳුනාගත්තොත් දිනුම්, බොහෝ සංස්කාරයන් දික්වීම එතැනින්ම නවත්වා ගන්න පුළුවන්. 

ඒ නිසායි ඔබතුමා කියූ පරිදි ”ඛන්ති පරමං තපෝ තිතික්ඛා” කියන්නේ. ඊට එහා යෝගී ජීවිතයක් බ්‍රහ්මචර්යාවක් නෑ ඉවසීම නැත්නම්. මොහොතක්, ඒ මොහොත හඳුනාගන්න. ඒ මොහොත ඉවසන්න පුළුවන් නම් ඊට පස්සේ ලේසියි. හැබැයි ඉවසන්න අමාරු වෙන්නේ එක මොහොතක් පමණයි, පැය ගණන් නොවෙයි. අප හැඟීම්බර උනහම. ආවේගශීලී උනහම ඒවා ලොකු පෙළඹවීමක් කරනවා. ආවේග හැඟීම් තීරණ අරගෙන අපට කියනවා ක්‍රියාත්මක කරන්න කියලා, බලකරනවා, කල් දාන්න දෙන්නේ නෑ, හෙට නොවේ ලබන අවුරුද්දේ නොවෙයි මේ දැන්. අන්න එතැනදීයි ඉවසීම ඕන.

”කරන්න හරි නොකරන්න හරි එය වෙනම කතාවක්, කාලය ඕන, දෙන්න තත්පරයක්, පැයක් නොවේ තත්පරයක්”. ඒ විදිහට ඒ මොහොත ගන්න. එහෙම ගන්න පුළුවන් නම් ඒ මොහොත තමන්ගේ, තරහේ නොවෙයි බියේ නොවෙයි රාගයේ නොවේ ඊරිසියාවේ නොවෙයි, තමන්ගේ. එතකොට නිදහසේ තමන්ට තීරණයක් ගන්න පුළුවන්. නිදහසේ සිදුවන දේ දිහා බලන්න පුළුවන්. ඉවසීම ඕන වෙන්නෙ ඒ කාරණයට. දත් මිටි කාගෙන ඉන්න නොවෙයි ඉවසීම ඕන වෙන්නේ, හැඟීම් විසින් බලකරන ක්‍රියාවට අහුවෙන්නේ නැතිව ඒ දේ අප අතින් කෙරෙන නොදී මෙතන කළ යුතු වඩාත්ම හොඳම දේ කුමක්ද කියා තේරුම් බේරුම් කරගන්න තමා ඉවසීම ඕන. ඒ සඳහා එක මොහොතක් ගත්තනම් ඇති. හැබැයි ඒ මොහොත පැයක් වගේ දැනෙයි. ආවේගශීලී වෙලාවට ගන්න ඒ මොහොත පැයක් වගේ, එපමණටම අමාරුයි, එයා ඉඩ දෙන්නෙම නෑ. හැබැයි අප දක්ෂ වෙන්න ඕන ඒ මොහොත ගන්න. ඒ මොහොතින් අප ගැලවුනොත් ඉන්පසුව ලේසියි.

මේ මොහොත ආලෝකමත් වේවා ! 

ආලෝකමත් වූ මේ මොහොතින් දර්ශනය පහළ වේවා, යථාර්ථය පිළිබඳ ඇති සැටි පිළිබඳ දැක්ම ඉපදේවා පහල වේවා !! 

හැම දෙනාටම සෙතක්ම ශාන්තියක්ම සැනසිල්ලක්ම වේවා!!!