සදහම් සැඳෑව -2

2022-10-19 නැණ දසුනට තත්පරයක් - 13

සෑම දෙනාටම සැනසිලිදායක සැන්දෑවක්! සදහම් සැඳෑවට එකතු වූ කල්‍යාණ මිත්‍රයිනි, අප තුළටම, අපේම සිතුවිලි, ආකල්ප, අදහස්, සිතීම් හා ඒවාට පදනම් වන මානසික ධර්මතා, න්‍යායයන් ග‍වේෂණය කරමින් අභ්‍යන්තරයට යන ගමනක යම් යම් ස්ථාන වල අප සිටිනවා. සාමූහිකව සෑම සතියකම බදාදා මෙසේ එකතුවී යම් කිසි බෙදා ගැනීමක් කළත්, මේ ගමන පොදුත් නැහැ, පෞද්ගලිකත් නැහැ, අභ්‍යන්තර වූ ගමනක්. එම නිසා බාහිරට මේ ගැන නිරීක්ෂණය කරන්න බැහැ, බාහිර කාටවත් අනාවැකි කියන්නත් බැහැ, කොතනද ඉන්නේ කියන්නත් බැහැ. සිටින තැන යන කෙනාට එපමණ වැදගත් නැහැ. යන බව දන්නවා නම්, ගමනේ ප්‍රගතියක්, ඉදිරියට යෑමක් පෙනෙනවා නම් එය හොඳටම ප්‍රමාණවත් සතුටුවන්න, සෑහීමට පත්වන්න හා නොනැවතී ම පෙරට යන්න.

ජීවිතයට සවන් දීම

ඒ පිළිබඳ යම් යම් සාක්ෂි, සාධක ජීවිතයෙන් අපට ලැබෙනවා. ජීවිතයයි සාක්ෂි දරන්නේ අප කොතනද ඉන්නේ, පටන්ගැනීම කොතැනින්ද, කොපමණ දුරක් පැමිණ තිබෙනවාද,  මේ සිටින තැන නවතින්න සුදුසු තැනක් ද, නැතිනම් නොනැවතී අප්‍රමාදීව, වහවහා නිමාකළ යුතු ගමනක් ද යන කාරණයන්ට  සාක්ෂි දරන්නේ ජීවිතයයි. වෙන කොතනින්වත් එයට සාක්ෂි ලැබෙන්නේ නැහැ. පොත්-පත්වලින් ලැබෙන ලිඛිත සාක්ෂි මෙයට වැදගත් නැහැ. වෙනත් ඕනෑම අවස්ථාවකදී ලිඛිත සාක්ෂි වලංගු වුවත් මෙහිදී ලිඛිත සාක්ෂි සියල්ලම අවලංගු කාසි බවට පත්වී ජීවිතය ලබාදෙන සජීවී සාක්ෂි වලංගු, අවශ්‍ය සාක්ෂි බවට පත්වෙනවා. ජීවිතය යනු මුහුණපාන සිදුවීම් හා  අත්දැකීම්. මේවා සාක්ෂිකරුවන් බවට පත්වෙනවා. අපේම ජීවිතය ලබාදෙන සාක්ෂිවලට අප ඇහුම්කන් දෙනවාද, නැතිනම් ලිඛිත සාක්ෂි ගැන තාමත් සැලකිලිමත් වෙනවාද? ජීවිතයට ඇහුම්කන් දීම අවශ්‍යයයි. එවිටයි ජීවිතය සාක්ෂි දෙන බව ඇසෙන්නේ.

ජීවිත සිදුවීම්වලදී ජීවිතය හඬනවා, විටක වැලපෙනවා, විටක සුසුම් හෙළනවා, පසුතැවෙනවා, සිහින දකිනවා, උද්දාමයට පත්වෙනවා සහ තවත් විවිධ අත්දැකීම් වලට මුහුණ දෙනවා. මේ සෑම අත්දැකීමකදීම ජීවිතයට සිදුවන දෙය, සිදුවීම නොව ජීවිතයට කුමක්ද වන්නේ කියන කාරණය, “ජීවිතයට හානිවුණා, ජීවිතය අනතුරකට වැටුණා, පණට මොකද වෙන්නේ” කියා කියන්නේ පණ ගැනයි. ජීවිතය යනු පණ නොවේ. සිදුවීම්වලදී සිතට කුමක්ද වන්නේ කියන කාරණයයි සාක්ෂිය වන්නේ. සිදුවීමෙන් සිදුවීමට ඒ සිත සාක්ෂි දරනවා. ඒ සාක්ෂිය ඉතාම වැදගත් වන නිසා ඒ සෑම සාක්ෂියකටම ඇහුම්කන් දීම අවශ්‍යයයි. අප වර්තමානයේ සිටින තැන පිළිබඳව හෙළිදරව් කරන්නේ වෙන කවුරුවත් නොව වර්තමාන සාක්ෂියයි. එසේ නොමැතිව නැකැත් බලන, පේන කියන, ආරූඪවෙන තැන් මෙන්ම පොත්-පත් හා දේශනා වැනි වෙනත් ස්ථානවලින් දැනගැනීමට (සාක්ෂි ලබාගැනීමට) යෑම නොමඟයන සුළුයි. එම නිසා ජීවිතයට ඇහුම්කන් දෙන්න, සිදුවීම්වලට සවන් දෙන්න.

සෑම සිදුවීමක්ම අපට කිසියම් පණිවුඩක් ලබාදෙනවා. ලෝකයේ සිදුවන සිදුවීම් අපේ ඇඟේ වැදුනාම අපේ සිතට කුමක්ද වන්නේ? සිතට යමක් වෙනවා. නොවී තියෙන්නේ නැහැ. පොල් ගහකින් ගෙඩියක් පොළොවට වැටුණාම බොහෝවිට එතැනම තියෙන්නේ නැහැ, පෙරළිලා යනවා. වැටීම, පෙරළිලා යෑම, දැන් තිබෙන ස්ථානය කියා, ඒ පෙනෙන්නේ පොල් ගෙඩියට සිදුවන දෙයයි. බොහෝවිට පෙනෙන්නේ එය වුවත් බැලීමට අවශ්‍යයයි පොල් ගෙඩිය වැදුණ පොළොවට කුමක්ද වන්නේ කියා, එයයි මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණය. සිදුවීම නොව සිතට වන්නේ කුමක් ද කියායි බැලීමට අවශ්‍ය. එවැනි ගෙඩියක් වැටෙන තැනක් බැලුවොත් පෙනෙයි, පොළොව ගෙඩියේ හැඩයට තැලිලා, පුපුරලා තිබෙනවා. ගඩොල්, වීදුරු වැනි තැනකට වැටුණොත් කැඩිලා, කුඩුවෙලා තියෙන්න පුලුවන්. කුඩා දිය පාරක ඉවුරකට වැනි තැනකට වැටුණොත් එය කැඩී දිය පාරේ ගමන් මාර්ගය වෙනස් වන්නත් පුලුවන්. මේ ආකාරයට බොහෝ දේ වෙන්න පුලුවන්. පසුගිය සතියේ කථා කළා වතුර බින්දුවක් වැටෙනවිට වතුර බින්දුවට කුමක්ද වන්නේ කියා. මෙහිදි කථා කරනුයේ වැටෙන තැනට කුමක්ද වන්නේ කියායි. එසේ සෑම සිදුවීමක් දෙසම බැලුවිට සිතට යමක් සිදුවෙන බව පෙනෙනවා. එසේ සිදුවන දෙයයි (තැලෙන, පුපුරණ, කැඩෙන, කුඩුවෙන), වර්තමානය පිළිබඳ සාක්ෂිය වන්නේ. සිදුවීමකදී අප කුඩු පට්ටම් වෙලා යන අවස්ථා තිබෙන්න පුලුවන්. තැලී, පිපිරී යන අවස්ථා මෙන්ම එරුණු අවස්ථාත් තිබෙන්න පුලුවන්.

හිතවතුනි, මේ ආකාරයෙන් සිදුවන්නේ බදාදා හත හමාරේ සිට නවය වනතුරු නොවේ. සමහරවිට මේ කියන දේවල් නිසා ඇතිවිය හැකි යම් යම් ඝට්ටන හැර මේ වෙලාවේ බොහෝවිට කිසිවක් සිදු නොවන්න පුලුවන්. මෙයට කලින් සහ පසුව සිදුවන දේ පිළිබඳවයි මේ අවධානය යොමු කරන්නයි උත්සාහ කරන්නේ. ඒ සිදුවීම් අපට අප කවුදැයි  පවසනවා. ඒ සඳහා අපේ නම, වයස, ස්ත්‍රී-පුරුෂ බව, ආගම, රැකියාව, ආදායම් මාර්ග, වත්-පොහොසත්කම්, ඒ කිසිවක් භාවිතාවන්නේ නැහැ. සිදුවීම් ඒ කිසිවක් දන්නේත් නැහැ. ඒවා අප නොවේ, අප පිළිබඳව පැවසීමට මේ සියල්ලම අනවශ්‍ය දත්ත. යථාර්ථය සහ ආරූඪ කරගත් දෙය කුමක්ද කියා හොඳින් තේරුම් ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙනවා. ‘මම’ වන දෙයට වඩා ‘මම නොවන’ දෙයයි වැඩිපුර ඇත්තේ. ‘මම’ කියා සිතාසිටි නමුත් ඇත්තටම ‘මම’ නොවන දෙය කුමක්ද හාඳුනාගෙන එය අත්හරින්න පුලුවන්. ‘නම’ යනු ‘මම’ ලෙස සිතා සිටි සිතීම අත්හැර, ‘මමෙක් නැති නමක්’ හා “නමක් නැති මමෙක්” පමණයි යන්න තේරුම් ගැනීමට අවස්ථාවක් උදාවෙනවා. ‘නම’ යනු ‘මම’ යි කියා සිතා සිටිනවානම් එහි ඇත්තේ ඥාන දර්ශනයක් නොව දිට්ඨියක්. නමක් ඇතුළට ‘මම’ දමාගෙන එය සමග නම ඇසෙන විට දැනෙන හැඟීම් එක්ක ඉන්න පුලුවන්, එය දිට්ඨියක්.

මම තමා නම, මම තමා  වෘත්තිය කියා සිතනවා නම් එයටයි ‘දිට්ඨි’ කියන්නේ. සිතමු කවර හෝ වෘත්තියක්, “මම ගුරුවරයෙක්”, “මම කිසියම් වයසක (අවුරුදු 30ක) කෙනෙක්”, එයයි දිට්ඨිය. ඒ කිසිවක් ඇත්ත නොවේ. එය වැදගත් වන්නේ ලෝකයට මිසක් ඥාන දර්ශනයට නොවේ. අපට අපව අවබෝධ කරගැනීමට එය වැදගත් වන්නේ නැහැ. යථාර්ථය වන්නේ ‘මම’ සහ ‘නම’ එකක් නොව දෙකක් යන්නයි.

වැදගත් කාරණය, මෙයින් කියන්න අවශ්‍ය කාරණය වන්නේ හිතවතුනි, සිදුවීම් යනු අපට අපව පෙන්වන කැඩපත් බවයි. සෑම සිදුවීමකදීම තමන් පිළිබඳ විෂයයේ, පාඨමාලාවේ, syllabus එකේ කිසියම් පාඩමක්, පිටුවක් අපට අනාවරණය කරනවා. නමුත් ඒ අවස්ථාවේ අප අවධියෙන්, සිහිබුද්ධියෙන් නොවෙයි නම් සිටියේ, අපට එම පාඩම මඟහැරෙනවා. බලන්න, එසේ අපට මොනතරම් පාඩම් මඟහැරි ඇත්ද? ගණන් කළ නොහැකි තරම් පිටු පෙරළෙන්න ඇති, අප ඇස් වසාගෙන සිටින අවස්ථාවල, වෙන කල්පනාවක සිටින අවස්ථාවල.

ඒ නිසා “කවදා හරි දවසක මැරෙන වෙලාවේ සිහියෙන් සිටියා නම් හරි” කියා, අන්තිම පිටුව දැන ගත්තා කියා ප්‍රයෝජනයක් නැහැ. එහෙම බැහැ, මේ සිදුවීම් හරහා පාඨමාලාව කරන්න වෙනවා. සෑම සිදුවීමකදී ම අප අවධියෙන් නොසිටීමෙන් වන්නේ, එබඳු සිදුවීම් නැවත නැවත සිදුවීමයි. තැන්, නම්, වටපිටාව වෙනස් වුවත් අවසානයේ එකම සිදුවීම. එහෙම වුණාම “එක වගේ ප්‍රශ්න එනවා, කොහේ ගියත් එක වගේ කරදර කරන අය ඉන්නවා, කුමක් හෝ කර්මයක් කර ඇති” කියා කර්මයට බාරදෙනවා. එය කර්මයට ම බාරදෙන්න එපා, සිදුවීම අධ්‍යයනය නොකිරීම නිසා ඒ විභාගය, ප්‍රශ්න පත්‍රය අසමත්. ඒ නිසා කවදා හරි සමත් වෙන තුරු, නැවත නැවත ඒ විභාගයට, ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න වෙනවා. එම නිසායි “අප්පමාදී වෙන්න” කියා කියන්නේ. අප්පමාදය වැදගත්වන කාරණය මෙහිදී පැහැදිලි වෙනවා. මැරෙන නිසා නොවේ අප්පමාදී වෙන්න කියන්නේ, අප්පමාදී වුණත් නැතත් මැරෙනවා, එය වෙනම කාරණයක්. අප්පමාදී යනු, “මේ මොහොතේ ඉගෙන ගන්න තිබෙන දෙය ඉගෙන ගන්නේ නැතිව, පිටුවට පෙරළෙන්න ඉඩදෙන්න එපා, මේ මොහොත ඉක්මවන්න එපා” යන්නයි. පිටුව පවතින්නේ මොහොතයි, පැය ගණනක් නැහැ, හැම මොහොතකම අළුත් පිටුවක්. මේ මොහොතේ සිටියේ නැතිනම් එයයි ප්‍රමාදය. පමත්ත නැතිනම් ප්‍රමාදය විස්තර වන්නේ ඒ ආකාරයෙන්. පමත්ත යනු හොඳටම මත්වීමයි. ගැඹුරින්ම මත් වූ විට අවධිමත් බවක් නොමැති නිසා මොහොත නොපෙනී යනවා. මත් වුණා, සිහි නැතිව සිටියා කියා, කෝමා එකක සිටියා, අනවධානයෙන් සිටියා, කලබලයකින් සිටියා, කාර්ය බහුලව සිටියා කියා පාඨමාලාවේ පිටු පෙරලීම නවතින්නේ නැහැ, පිටු පෙරළෙනවා, පාඩම් තිබුණාද දන්නේ නැහැ. ඕනෑම විෂයක එහෙම වෙන්න ඇති, මේ ආකාරයෙන් මුල් පාඩම් මඟ හැරුණාම අන්තිම පාඩම් තේරුම් ගන්න අපහසුයි.

මෙම කාරණය වැරදියටයි අර්ථකථනය කරගනු ලබන්නේ. “දහම දන්නේ නැහැ, දහම් පාසල් ගියේ නැහැ, විභාගවලට, සාමාන්‍ය පෙළට, උසස් පෙළට දහම ඉගෙන ගෙන නැහැ, දිගටම බණ ඇසුවේ නැහැ” කියා මෙය අර්ථකථනය කරන්නේ පොත් කියවා නැහැ කියන කාරණයෙනුයි. එම නිසා සමහර අය පොත් ඉගෙන ගන්න පටන් ගන්නවා. එයින් ජීවිතයට වැදගත් දැනුමක් ගන්න පුලුවන්, ගමනක් යන්න තිබෙන බව, නොවැලැක්විය හැකි විපාක තිබෙන බව, වැට‍හෙයි. නමුත් තමන් පිළිබඳව අධ්‍යයනය වෙනම කාරණයක්. එයට උදව්වක් ලැබෙයි, නමුත් කිසිම පොතක මම (ඔබ) නැහැ. හැබැයි එයින් මම (ඔබ) පිළිබඳව දැනගත හැකි ආකාරය තිබෙනවා. එම ක්‍රමයටයි දහම කියන්නේ. දහම කියන්නේ දැනුමට නොවේ තමන් පිළිබඳව දැනුම ලබා ගන්නා ක්‍රමයටයි. එම ක්‍රමය දැනුමක් කරගන්න එපා. ක්‍රම රාශියක් තිබෙනවා. තමන් පිළිබඳව ඉගෙන ගන්න, දැනගන්න, විදි රාශියක් තිබෙනවා. කීයක් තිබෙනවාද කියා හරියටම කියන්න බැහැ. නමුත් දැන් සිදුවන්නේ තමන් පිළිබඳව ඉගෙනගැනීම පසෙකින් තබා, තමන් පිළිබඳව ඉගෙන ගන්න තිබෙන ක්‍රම ගැන දිගට හරහට ඉගෙන ගැනීමයි. දෙක තුනක් තිබෙනවා නම් කමක් නැහැ, සියල්ල ඉගෙන ගෙන සුදුසු ක්‍රමයක් තෝරාගෙන භාවිතා කරන්න පුලුවනි. නමුත් අසූහාරදහසක් තිබෙනවා  නම් ඒ සියල්ලම ඉගෙන ගන්නද? එයින් භාගයක්, කාලක්, 1% ක්? ඒ කිසිවකින් තමා පිළිබඳව අවබෝධය ලැබෙන්නේ නැහැ. එය ලැබෙන්නේ තමා තුළින්මයි, තමන්ව ගවේෂණය කිරීමෙනුයි. ඥාන දර්ශනය කියන්නේ එයටයි. බාහිරින් ගන්න තියෙන්නේ කොහොමද ඉගෙන ගන්නේ කියන කාරණය පමණයි.

ඉතින් මේ සියලු කාරණා අද අලුතින් ම අසන කාරණා නොවෙයි, කලින් සිතාත් ඇති, අසාත් ඇති, ඒ ගැන සාකච්ඡා කරලාත් ඇති. හිතවතුනි, මේ සියල්ල කරන්නේ තමන්ව දැකීම සඳහා වන අතර ඒ සඳහා උදව් වන්නේ සිදුවීම් (සිද්ධීන්) ය. අසනීපයක්, බඩගින්නක්, කෑදරකමක්, නිදිමතක් වැනි සිදුවීම් තමන්ව දැකීම සඳහා උදව් කරගත හැකියි. මෙවැනි සිදුවීම්වලදී අප ක්‍රියාකරන ආකාරය දෙසයි බලන්න අවශ්‍ය වන්නේ. එසේ බලා සිටීමෙන් ‘මම’ කියන්නේ කවුද කියන කාරණය වැටහෙන අතර ‘මම’ කවුද කියන ප්‍රශ්නයට පිළිතුර ලැබෙන්නෙත් වර්තමානයෙන් පමණයි.

සක්කාය දිට්ඨිය

නමයි, ගමයි, ලග්නයයි, ලේ වර්ගයයි, රැකියාවයි මේ සියල්ල තිබෙන්නේ අතීතයේ වන අතර “කවුරු වෙන්නද සිතාගෙන ඉන්නේ?” කියා ඇසුවොත්, එවැනි කාරණා තිබෙන්නේ අනාගතයෙයි. නමුත් ‘මම’ ඉන්නේ වර්තමානයේ. එම නිසා වර්තමානයේ ඉන්නේ කවුද කියන කාරණය අතීතයවත්, අනාගතයවත් දන්නේ නැහැ, එය දන්නේ වර්තමානය පමණයි. මේ “මොහොතේ ඉන්නේ කවුද?” කියන ප්‍රශ්නය සෑම දිනකම ඇසුවේ නොදන්නා දෙදෙනෙකුගෙන් වන අතර “මේ තමයි ‘මම’ ” කියා, සෑම දිනකම පිළිගනු ලැබූවේ ඒ නොදන්නා දෙදෙනෙකු කියන දෙයින් ය. හැමදාම  ‘මම’ පිළිබඳව දැනුම (දර්ශනය) ලබා ගැනීමට, මූලාශ්‍ර ලෙසින් භාවිතා කළේ අතීතය සහ අනාගතයයි. එම නිසයි තාමත් “මම කවුද? ” කියා අවබෝධ නොවුනේ. අතීතයට සහ අනාගතයට ඥාන දර්ශනයක් නැහැ, තියෙන්න විදිහකුත් නැහැ. තිබුණා නම් අතීතයට, 2021 ට, 2020 ට, 2019 ට 2018 ට ඥාන දර්ශනයක්, අද අපට තිබෙන මේ ගැටලු නැහැ. මෙසේ ඥාන දර්ශනයක් නැති වුවත්, අතීතය සහ අනාගතය කියන දේවල් ‘තමන්’ පිළිබඳව ඇත්ත කියා, තරයේ විශ්වාස කරන අතර එම විශ්වාසය, සක්කාය දිට්ඨිය ලෙසින් හඳුන්වනු ලබනවා.

සක්කාය දිට්ඨිය යනු තමන් පිළිබඳව, ස්වකීයත්වය පිළිබඳව තිබෙන දිට්ඨිය වන අතර දිට්ඨි යනු සොයා නොබලා ගනු ලබන නිගමනයන් ය. මම යනු (තමන් යනු) මෙවැනි දිට්ඨි වල එකතුවක්. එකක් දෙකක් නොවෙයි සංචිතයක්. ප්‍රශ්නකර බලන්න, තමන් ගැන මොනතරම් දිට්ඨි කන්දරාවක් තිබෙනවාද කියා. ඒ සෑම දිට්ඨියක් ම හරියි කියා විශ්වාස කිරීම සක්කාය දිට්ඨියයි. තමන්ගේ නම, තමන් නොවේ කියා ජීවිතයටම එක් වතාවක් හෝ සිතා තිබෙනවාද, වැටහී, අවබෝධවී, ප්‍රත්‍යක්ෂ වී තිබෙනවා ද? පිරිසක් ඉන්න තැනක නම කියා කථා කරන විට, ඒ නම තිබෙන කෙනා අත එසවීම වෙනම කාරණයක් වුවත්, නම ඇසුණ සැණින් “මේ මම” කියන සිතුවිල්ල එනවා. රැකියාව ගැනත් එසේමයි. කිසියම් රැකියාවක් කරන කෙනෙකු පිළිබඳව විමසනවිට, එම රැකියාව කරන කෙනාට සිතෙනවා මේ කියන්නේ මම ගැන කියා. එවැනි දෑ (bio-data) විමසනවිට කිසියම් කෙනෙකුට පැවසීම නොවේ වැදගත් දෙය, බැලිය යුතුයි ඒදෙස මම කියා මොනතරම් දුරට රැවටී තිබෙනවාද කියා. ඒ මමයි කීම එකක්, ඒ කියන දෙයට ඇත්තයි කියා රැවටීම තව එකක්. මෙසේ මම කියා ප්‍රබල රැවටීමක් තිබෙන නිසයි එයට සක්කාය දිට්ඨිය කියා කියන්නේ.

හිතවතුනි, මම කවුද කියන කාරණය නොව, සක්කාය දිට්ඨිය නමැති මේ බරපතල රැවටීමයි ඥාන දර්ශනයකදී මුල්ම අනාවරණය වන්නේ. එනම් මම යනු එයත් නොවේ, මෙයත් නොවේ කියන කාරණය. “හිතාගෙන සිටි කිසිම දෙයක් මම නොවෙයි” කියන කාරණයයි මුලින්ම ඥාන දර්ශනයට අනාවරණය වන්නේ. එසේම “මම කවුද?” කියන ප්‍රශ්නයට අවසානයේදියි පිළිතුරු ලැබෙන්නේ. එවිට මේ පාඨමාලාව, syllabus එක අවසන්. මේ දෙකම එකට වෙන්නේ නැහැ, සිදුවන්නේ දෙපාරකට.

අසමපාතවීම

මෙය සරලව, ‘මම’ කියන්නේ ‘නම’ නොවේ කියා ඔප්පු කරන්නත් පුළුවන්. “ ‘නමට’ කලිනුයි ‘මම’ ඇති වුණේ, ‘නම’ නැතිව මෙපමණ කාලයක් ‘මම’ හිටියා” කියා, න්‍යායාත්මකව කියන්න පුළුවන්. නමුත් හැඟීම් එක්ක බලන විට මොනතරම් නම් සම්බන්ධයක් නමත් එක්ක හදාගෙන තිබෙනවාද? නම නිසා සතුටු වෙනවා, බය වෙනවා, තරහා යනවා. නම පමණක් නොව මේ ආකාරයෙන් ලැයිස්තුවක්ම සකස් කරන්න පුලුවන්. මම කවුද කියන කාරණය පිළිබඳව ලැයිස්තුවක් අරගෙන එකින් එක වෙන වෙනම බැලීමයි විදර්ශනාවේදි කරන්නේ. විදර්ශනාවේදි කරන්නේ එකින් එක වෙන වෙනම බැලීමක් වන අතර මෙහිදී අවධාරණය කරනුයේ එවැන්නක් අවශ්‍ය නොවන බවයි. Stock ගන්නවා වගේ ලැයිස්තුවක් අරගෙන tick කරමින් කරන්න අවශ්‍ය දෙයක් නොවේ. ඒ සඳහා ක්‍රම රාශියක් අතරින් එය එක් ක්‍රමයක් පමණයි. මෙහිදී  (බදාදා දිනයේදී) අප කථා කරන්නේ තවත් ක්‍රමයක්, වෙනම ප්‍රවිෂ්ටයක් ගැන. සිදුවීම් දෙස බැලීමෙන් පැහැදිලි වෙනවා සිතාගෙන සිටි මමයි, සිදුවීමට මුහුණ දුන් මමයි එක් කෙනෙකු නොවන බවත් කුඩා හෝ වෙනසක් තිබෙන බවත්. සාමාන්‍ය ක්‍රමයට බැලුවොත් පෙනෙන්නේ “එයට මම මුහුණ දුන්නා” කියායි. නමුත් හොඳින් බැලුවොත් පමණයි පෙනෙන්නේ, සිතාගෙන සිටි ආකාරයයි, සිදුවීම් වලට මුහුණ දුන් ආකාරයයි එක වගේ නොවන බව, එකට සමපාත නොවන බව.

හොඳින් කියන්නේ ගැඹුරින්, අවදියෙන්, අවධානයෙන්, සූක්ෂමව, තියුණුව, කියන අදහසින්. මේ අසමපාතය දැනෙන තරමට විශාලනම් ,ඒවාටයි කම්පන කියා කියන්නේ. කම්පන ඇතිවන්නේ සිතා සිටි ආකාරයයි සිදුවන සිදුවීමයි දෙක සමපාත නොවන විට බව අප කලින් වැඩසටහන් වලදී පැහැදිලි කරගෙන තිබෙනවා. සිතාසිටි ආකාරය සහ යථාර්ථය වෙනස් වන විට ඇතිවන ගැටීම නිසා සිදුවිය හැකි දෙයකි, එකක් විසිවීම (ඉවත්වීම). අප බලාපොරොත්තු වෙනවා තමන්ව (සිතන විදිහ, විශ්වාසයන්) තියාගෙන යථාර්ථය විසි කිරීමට, එය කළ නොහැකියි. මන්ද, යථාර්ථය විසිවීම (ඉවත්වීම) සිදුනොවන නිසා.

හැමදාම සිදුවන්නේ තමන්ට (සිතන විදිහ, විශ්වාසයන්) ගැලපෙන ආකාරයෙන් යථාර්ථය වෙනස් කිරීමට උත්සාහ කිරීමයි. එයයි පුහුදුන් ගමන, පුහුදුන් ගමන විස්තර වන්නේ “අරියානං අදස්සාවී අරිය ධම්මේ අකෝවිදූ - උසස් දර්ශනයක් නැති, උසස් දර්ශනයක දක්ෂතාවයක් නැති” කියායි. එවිට කරන්න හදන්නේ යථාර්ථය ලියවන්න උත්සාහ කිරීමයි. ලියවන පට්ටල් වල සිදුවන්නේ, ලියවීමේ දී ලීයක හෝ යකඩයක තමන්ට අනවශ්‍ය කොටස් ඉවත් කර හෝ අවශ්‍ය කොටස් පුරවා (ඔබ්බවා) යමකට ගැලපෙන ආකාරයට තවත් යමක් නිර්මාණය කරගැනීමයි. මෙයයි පෘතග්ජන කෙනෙකු සිදුකරන කාර්යය, යථාර්ථය තමන්ගේ පුහුදුන් චින්තනයට ගැලපෙන අකාරයට ලියවන්න, පුරවන්න උත්සාහ කිරීම. සංසාරය පුරාවටම කරන්න උත්සාහ කළේ මෙසේ යථාර්ථය වෙනස් කරන්න උත්සාහ කිරීමයි. යථාර්ථය කියන්නේ ලෝක ස්වභාවයන්, සිදුවීම්, ධර්මතා. මේවා අප සිතන ආකාරයට, බලාපොරොත්තුවන ආකාරයට, කපා-කොටා, වැඩි තැන් අඩු කර, අඩු තැන් වැඩිකර වෙනස් කරගන්න උත්සාහ කළත්, යථාර්ථය පුරවන්නවත්, ලියවන්නවත් බැහැ.

සිතු ආකාරයෙන්ම සිදුවන බව පෙනෙන සමහර සිදුවීම් තිබෙන නිසා ඒවාට රැවටෙනවා. සූදුවක් මෙන් කැරකිලා කැරකිලා හරියට ම අවශ්‍ය තැනට ආවිට දිනනවා, අංක ටික කැරකිලා කැරකිලා තමන්ගේ අංකය ආවම දිනනවා. එන්න බැරි නැහැනේ, එන්න පුළුවන්, ඒ නිසානේ ලොතරැයි ගන්නේ. නමුත් කීයෙන් කීදෙනාද දිනන්නේ. ලක්ෂයකට එකක්වත් දිනන්නේ නැති වුවත්, ලක්ෂයකට එකක් හරි තර්කානුකූලව වෙන්න පුලුවන් දෙයක්. නමුත් එය වීමේ සම්භාවිතාව නම් ඉතාම සුලු ප්‍රමාණයක්, දශම ගණනක්, සම්භාවිතාව එකක් වෙන්න බැහැ. එහෙම වුණොත් කිසිම ලොතරැයි සමාගමකට, සූදු පොළකට පවතින්න බැහැ. පවතින්නේ, ලාභ උපයන්නේ සම්භාවිතාව දශම ගණනක් නිසා. සංසාරය පවතින්නේ ඒ නිසයි, කුමක් නිසාද බලාපොරොත්තු කඩවීම් වැඩි නිසා, කම්පන වැඩි නිසා.

ඒ නිසා සමපාත වන ඒවා ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් එන්නේ සමපාත නොවන විට (නොගැලපීම් වලදී).  නොගැලපීම් එන්නේ අප ගෙනියන අච්චුවත් එක්ක. කම්මලකට ගෙනියනවා කියා සිතමු මිටක් දමාගැනීමට පිහිතලයක්. එවිට කම්මලේ ඇති ලීයක් පිහිතලයේ මිට කොටසට ගැලපෙන ආකාරයට කපා මිටක් සකස්කරනවා. ඒ හැර, ලීයේ ප්‍රමාණයට පිහිතලය වැඩිනම් කපලා හෝ මදිනම් පුරවලා හෝ හදන්නේ නැහැ. මෙසේ සෑම විටම අච්චුවක්, sample එකක්, mould එකක් අරගෙන යනවා හැම තැනටම. හැම මොහොතකම අච්චුවකට තමා ඒ මොහොත (සිදුවීම) දාන්න උත්සාහ කරන්නේ. කෙනෙක් මුණ ගැසෙන විට තමන්ගේ අච්චුවටයි අනිත් කෙනා දාන්න උත්සාහ කරන්නේ. ඒ සිදුවීමේදි එයා කියන දේවල්, කරන දේවල්, බලන විදිහ, කියන හඬ, දෙන උත්තර, ගේන දේවල්, ඉල්ලන දේවල්, මේ සියල්ලම තමයි ඒ අච්චුවට දාන්න උත්සාහ කරන්නේ. එවිට සිදුවන නොගැලපීම් නිසයි අච්චුව දෙදරන්න පටන් ගන්නේ. එය අච්චුවට දරාගන්න බැරි නිසා උත්සාහ කරනවා අනිත් කෙනාව වෙනස් කිරීමට. මෙය ආර්ය දර්ශනය නොව අනරිය දර්ශනයයි. මේ අනරිය දර්ශනයට අනුව සම්පූර්ණ ගමනම අප යන්නේ යථාර්ථය ලියවීමේ හා පිරවීමේ උත්සාහයක යෙදෙමින්. ගැලපීමක් නැහැ කියන කාරණය තේරුම් ගැනීමේ අදක්ෂතාවයක් තිබෙනවා - අරිය ධම්මේ අකෝවිදෝ. ගැලපීමක් නැහැ. ගැලපෙන්න පුලුවන් එකම ක්‍රමය නම් යථාර්ථයට සමීප ආකාරයට සිතීම වෙනස් කිරීමයි. එහෙම පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එය හැර වෙන ක්‍රමයක් නැහැ.

මන්ද යථාර්ථය අපට අතගැසීමට බැරි තරමට විශාලයි. කිසිම මනුෂ්‍යයෙකුට, විද්‍යාඥයෙකුට, ඍෂිවරයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට පවා අත ගැසීමට බැරි තරමට යථාර්ථය ඈතින් තියෙන දෙයක්. නිර්මාණවාදයේදි කියන දේවල් මැවීමේ දී, මවා තිබෙන්නේ නියමයන්ට, ධර්මතාවලට අනුව මිස සිතූ සිතූ ආකාරයට කිසිදෙයක් නිර්මාණය කරන්න බැහැ. ඒ නිසා නිර්මාණය වූ සියල්ල ධර්මතාවලට යටත්. දුක්ඛ, අනත්ත, විපරිණාම ධර්මතාවයන්ට යටත්. ධර්මතාවලට පිටින් කිසිම දෙයක් මවලා නැහැ. ධර්මතා මැව්වේ කවුද කියන්න කවුරුවත් දන්නේ නැහැ. ධර්මතා නිර්මාණය කළේ කවුද කියා කිසිම ආගමක් කියන්නේ නැහැ. සබ්බේ ධම්මා අනත්ථා - ධර්මතාවලට අයිතිකරුවෙකු නැත. ධර්මතාවලට නිර්මාණකරුවෙකු, කතෘවරයෙකු නැත. කිසිම ධර්මතාවයකට හිමිකම් නැහැ, ධර්මතා පොදුයි.

එවන් වූ ධර්මතා (යථාර්ථය) සහ සිය චින්තනය නමැති අච්චුව (ඇත්තටම සිදුවීම වන ආකාරය සහ එය සිදුවිය යුත්තේ කෙසේද) කියන මේ දෙකේ නොගැලපීමෙන් හා ගැටීමෙන් ඇති වන්නේ කම්පන. එවිට කම්පනය වන්නේ යථාර්ථය නොවේ. මරණය, ලෙඩ වැනි කිසිම යථාර්ථයක් කම්පනය වන්නේ නැහැ. කම්පනය වන්නේ මැරෙන සිත, ලෙඩවෙන සිත.

ශිෂ්‍යයන් විශාල පිරිසක් ආදරය කරන, එක්තරා ගුරුවරයෙකු සිටියා. දිනක් එතුමා තමාට ආදරය කරන පිරිසෙන් කොටසක් සමග චාරිකාවේ යෙදුණා. ඒ අතර එතුමා එන බව ආරංචි වූ ගමකින්, එතුමාට ආදරය කරන, ගරුකරන පිරිසක් මේ ගුරුතුමාව පිළිගන්න උත්සවයක්, උපදෙස් ලබා ගැනිමට සුදුසු ස්ථානයක්, ආහාර හා නවාතැන් පහසුකම් සුදානම් කර තිබුණා. කාරුණික කෙනෙකු, ඉවසන කෙනෙකු කියා කීර්තියක් ගමේ පැතිර ගිය නිසා එතුමාව විශ්වාස කරන අය පැමිණ මේ කටයුතුවලට උපකාර කළ අතර, එතුමාව අවිශ්වාස කළ පිරිස ඈත්වෙලා හිටියා. ඒ අතර මෙතුමාව රුස්සන්නේ නැති කෙනෙකු මල්-මාලා දමා පිළිගන්නා අවස්ථාවේ සියල්ලන්ටම කලින් එතුමාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කළා. එවිට එතුමාගේ මුහුණ ගැස්සුණා, එතරම් ප්‍රබල පහරක්. නමුත් ඒ ගැන වචනයක්වත් කථා කළේ නැහැ. පසුව අනිත් අයත් පැමිණ මල් මාලා දමා බුලත් දී පිළිගනු ලැබූවත් ඔවුන් සියල්ලන්ම shock වෙලා සිටියේ. අනපේක්ෂිත මේ සිදුවීමෙන් ඒ පිරිස ප්‍රකම්පනයට පත්වුණා. මෙතුමාටමයි සභාව මෙහෙය වන්නත් තිබුණේ, එතුමාගේ කම්මුලට ගැහුවේ නැහැ වගේ වැඩකටයුතු  සාමාන්‍ය පරිදි කරගෙන ගියා. නමුත් කම්මුල හොඳටම රතු වෙලා, තොල් පොටවලුත් පුපුරලා ඇති. මෙය සංවිධානය කළ අයට නම් මෙය දරාගන්න අමාරුයි, ඒ අය කලබලයෙන්, ප්‍රශ්න අහන්න විදිහකුත් නැතිව ගල් ගැහිලා හිටියා. මෙතුමා ඒ අයගේ කලබලයෙනුත් කලබල වුණේ නැහැ. සුපුරුදු පරිදි සංග්‍රහයත් භුක්ති වින්දා. කියන්න තියෙන දෙයත් කියා සාමාන්‍ය පරිදි හිටියා. මේ අතර අර කම්මුල් ප්‍රහාරය එල්ල කළ කෙනාට මෙය දරාගන්න බැරි වුණා. කම්මුල් පහරක් ගසන්න වරදක් කරලා තිබුණෙත් නැහැ, කිසි හේතුවකුත් නැහැ. විශාල පිරිසක් ඉදිරියේ කම්මුල් පහරක් එල්ල කළ ඔහු බලාපොරොත්තු වුණ ප්‍රතිචාරය එතුමාගෙන් ලැබුණෙත් නැහැ, අනිත් අයටත් කිසිවක් කරන්න එතුමා ඉඩදුන්නෙත් නැති නිසා ඔහුට හොඳටම හිතට අමාරුයි. ඔහු ලොකු කම්පනයකට පත්වෙලා එදා රෑ නින්ද ගියේත් නැහැ. ඒත් එක්ක පැමිණි මෙතුමාට ආදරය කරන පිරිසටත් නින්ද ගියේ නැහැ. කවදාකවත් නොවුණු දෙයක්, කවදාකවත් නොදැක්ක කොනෙක් ගුරුවරයාට පහර දුන්නා කියා ඔවුනුත් කම්පනය වෙලා.

පසුවදා උදෙන් ම ඔහු එතුමාගේ දෙපා මුල ක්ලාන්තව මෙන් වැඳවැටී, දිගු කතන්දරයක් කියමින් සමාව අයදින්න වුණා. එවිට මේ ගුරුවරයා කියනවා “ මට දෙන්න සමාවක් නැහැ. එහෙම සමාවක් කියන එකක් මා ළඟ තියාගෙනත් නැහැ දෙන්න”. එසේ කීවාම කම්පනය වූ තැනැත්තාට තේරුණේ සමාව දෙන්නේ නැහැ කිව්වා කියායි. එවිට නැවත අසනවා “ඔබතුමා හරි කාරුණිකයි කියා අසා තිබෙනවා, ඇයි සමාව දෙන්න බැරි?” එවිට මෙතුමා කියනවා “එහෙම එකක් මා ළඟ නැහැ දෙන්න.” “ඇයි නැහැ කියන්නේ, මම ඊයේ ඔබතුමාගේ කම්මුලට ගැහුවානේ”. “ඒ ගුටිකාපු කෙනා දැන් මෙතන නැහැ” කියා ගුරුවරයා කිව්වාම, ඔහු නැවතත් අසනවා “ඇයි නැත්තේ ඒ ඔබතුමානේ” “නෑ. ඒ ඔබ සිතන විදිහ, ගුටිකාපු කෙනා මෙතන නැහැ.ඒ නිසා සමාවක් දෙන්න අවශ්‍ය නැහැ, දෙන්න සමාවක් නැහැ. මට ගැහුවා කියලා මං හිතේ තියාගෙන ඉන්නවා නම් අවශ්‍ය නම් මට සමාව දෙන්න පුලුවන්, නැති නම් සමාව නොදී ඉන්න පුළුවන්. ඒ ගුටිකාපු කෙනායි මේ ඉන්න කෙනායි දෙන්නාගේම මගේ කියන හැඟීම මෙතන නැත්නම්, මේ සමාව දීම අදාළම දෙයක් නොවේ”. මොහුට මෙය දරාගන්න බැරිවුණා. පහර දුන්නාට වැඩිය, සමාව ලැබෙන්නෙත් නැහැනේ, සමාව දුන්නා නම් ටිකක් හරි මේ දැවිල්ල අඩුවෙලා යයි. එහෙමත් නැහැ. මේ කාරණය ගුරුවරයාට දැනිලා ගුරුතුමා කියනවා “සමාව කියලා දෙයක් ලෝකයේ තියෙනවා නම්, ඔබට අවශ්‍ය නම් එහෙම දෙයක්, අර නින්ද යන්නේ නැතිව පිරිසක් ඉන්නවා මගෙත් එක්ක ආව, අන්න ඒ අයගෙන් සමාව ඉල්ලගන්න. ඒගොල්ලෝ සමාව දෙයි, එවිට දෙගොල්ලන්ටම නින්ද යයි. හැබැයි ඒක මට අදාළ නැහැ” පසුව මොහු ගිහින් සමාව ඉල්ලුවා, ඒ අයත් හරි කැමැත්තෙන් සමාව දුන්නා. සමාව දුන්න අයටත් හොඳට නින්ද ගියා, සමාව ගත්ත කෙනාටත් නින්ද යන්න ඇති.

නමුත් මෙතුමාට ඒ කාරණය අදාළ නැතිවෙන්න හේතුව, මේ වර්තමානය වෙනස්, මේ මොහොත වෙනස්, මේ මොහොතේ තිබෙන පාඩම වෙනස්. මේ මොහොතේ පාඩම, ඊයේ පාඩමේ නැවත විකාශනයක් නොවේ, එහි දිගුවකුත් නොවේ, එය අලුත්ම පාඩමක්. ඒ නිසයි කීවේ “මේ මොහොත මඟ හැරුණොත් නැවත එය ලේසියෙන් මුණගැසෙන්නේ නැහැ” කියා. පාඩම් මාලාව ඉවර වුණායින් පසුව තමයි නැවත මුණගැසෙන්නේ. එවිට ආයෙත් මුල ඉඳලා යන්න වෙනවා. නැවත හෙට ඒ වේලාවට ඒ මොහොත ඉගෙන ගන්න පුලුවන් කියා දෙයක් නැහැ. හිතවතුනි, දොරේ අගුල ඇරෙන්නේ කම්පනයෙන්. එමනිසා කම්පනය ඉතාම වටිනවා. වැදගත් ම දෙයනම් කම්පනයකදී  අපේ වෙස් මුහුණු ගැලවෙනවා. හිතන විදිහටම සිදුවීම් වෙනවා කිව්වානේ, ලොතරැයියක් ඇදෙන්නේ බොහොම කලාතුරකින්. එතෙන්දි වෙස් මුහුණු තවත් ඇලවෙනවා. එවිට වෙස් මුහුණ ගලවන්න හරි අමාරුයි. එමනිසා ඉටුවීමට වඩා කඩවීම ප්‍රයෝජනවත් නිමාවන ගමනකට.

හිතවතුනි, ඒ ස්මරණයත් සමඟ අප ටිකක් භාවනානුයෝගී වෙමු. භාවනාව උපකාරී වෙයි ඊලඟට කරන සාකච්ඡාව වඩාත් ප්‍රායෝගිකව කරගන්න.

භාවනාව

මෙතනදි ඇසුණ කාරණා, කියවුණු කාරණා වලින් සිතාගෙන සිටි අදහස්, තහවුරු වුණු සිදුවීම් වෙන්න ඇති. ඒ තහවුරුවීම් මතක් කරගන්න. අප සිතා සිටි ආකාරය හරි, එයයි කියවුණේ. එසේම එයට වෙනස් අදහස් කියවෙන්න ඇති, සිතාගෙන සිටි ආකාරයට වඩා ප්‍රතිවිරුද්ධ කාරණා. කවදාකවත් සිතා නොමැති අලුත් කාරණා ඇසෙන්න ඇති. මේ අවස්ථා තුන මතකයෙන් හඳුනා ගන්න බලන්න මෑතම අතීතය අරගෙන.

එතනින් එහාට ගොස් දවසේ මතක තිබෙන සිදුවීම්, මතකයෙන් බලන්න. තමන් තමන් බව තහවුරු වුණු සිදුවීම් (තමන් තමන් ගැන සිතා සිටි ආකාරය හරි කියා ඔප්පු වූ සිදුවීම්), ඔප්පු නොවූ සිදුවීම් සහ තමන් කවුද කියා තේරුම් ගන්න නොහැකි වූ සිදුවීම් (මම කවුද කියා මටම සිතාගන්න බැරි සිදුවීම්) යන ඒ තුන් ආකාරයේ සිදුවීම්.

මෙය දිගුවේලාවක් ගැඹුරින් ගැඹුරට කළ යුතු භාවනාවක්. හිතවතුනි මේ සුළු කාලයේ දී පුංචි පුහුණුවක් පමණයි ලබන්නේ. නමුත් මෙයයි ක්‍රමය. ගෙවුණු මොහොතෙන් ලබන පුහුණුව වර්තමානයට භාවිතා කරන්න අවශ්‍යයයි. ඒ අත්දැකීමත් සමඟ එන්න සාකච්ඡාවට, ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න, අවබෝධයන් තිබෙනවා නම් බෙදාගන්න.    

සාකච්ඡාව

ප්‍රශ්නය : අවබෝධයට පත් නොවුණු කෙනාට යථාර්ථය පූර්ණ ලෙස භාර ගැනීමට හැකියාවක් නෑ, එයා ඉන්නේ මුලාවක,  හුරු පුරුදු අච්චු වලටම දදා බලන එක තමයි එයා කරන්නේ. කෙනෙකුට ඤාණ දර්ශනය පහළ වුණ තැනදී තමයි එයා එතෙක් හුරු පුරුදු කරගෙන තියෙන අච්චු වලට දාන්නෙ නැතිව යථාර්ථය ඒ විදිහටම බාර ගන්න හැකියාව ලැබෙන්නේ.  නමුත් ඒ ඥාන දර්ශනය පහළවුණු තැනැත්තා ගෙනුත් ඒ අවබෝධයට පත් නොවුණු කෙනා ගත කරන හුරු පුරුදු අච්චුවට ම දදා බලන්න හදන ස්වභාවය යම් යම් අවස්ථාවලදී සිද්ද වෙන්න පුලුවන්ද? 

පිළිතුර : ඥාන දර්ශනය මට්ටම අනුව එය සිද්ධ වෙන්න පුළුවන්. පූර්ණ ඥාන දර්ශනයක් ඇති වුනා නම් එවැන්නක් සිදු වෙන්නේ නැති වෙයි. නමුත් ඉන් මෙහා අඥාන දර්ශනය කිසියම් මට්ටමකට තියෙනවා නම් ඒ තියන අඥාන දර්ශනයේ මට්ටමට අච්චුවලට ගළපන්න බලයි. පූර්ණ ඤාණ දර්ශනය පහළ උනහම ගැලපීමකුත් නෑ නොගැලපීමකුත් නෑ, එතන ’තෙලුයි වතුරයි ‘ වගේ තමයි, සිදුවීමයි තමනුයි, යථාර්ථයයි තමුන්, ඒ දෙක අතර එකතු වීමක් නෑ, ගැටුමකුත් නෑ. එයින් අදහස් කරන්නේ නෑ නිහඬව ඉන්නවා කිසි දෙයක් නොකර ඉන්නවා ගලක් වගේ ඉන්නවා, එහෙම නොවෙයි. ගැලපීම කියන අච්චුවක් නැති නිසා එතන ද්වේශයක් රාගයක් ඇති කර ගන්නේ නෑ, මෙහෙම තමයි වෙන්න ඕන කියන මෝඩ කමකුත් නෑ, ඒ ප්‍රතික්‍රියා තුන වෙන්නේ නෑ. 

ප්‍රශ්නය : පහුගිය දේශනයකදී සඳහන් කළා මම යනු චරිත කීපයක එකතුවක්. එ කියන්නේ විවිධ නළුවන් රංගනයේ යෙදෙන අවස්ථා කිහිපයක් තියෙනවා. එතකොට “මම යනු කවුද” නොවේ “මම යනු කුමක්ද” කියලා. එතකොට “කුමක්ද” කියන පුද්ගලයා යම් කම්පනයකින් එක එක චරිත වලට වෙනස් වෙනකොට ඒ කම්පනය සමපාත වෙන්නේ ඒ පුද්ගලයාට තියන විවිධ චරිත වලින් එකකට ද?

පිළිතුර : හොඳ ප්‍රශ්නයක්, දැන් මොන චරිතය එළියට එයිද කියන්න බෑ. එය තමා තියෙන අවිනිශ්චිත බව. ඒ කියන්නේ, කෙනකුගේ කම්මුලට ගැහුවොත්, එතන සමාව දෙන කෙනා එලියට ඇවිත් රඟපායිද නැත්නම් පලිගන්න කෙනා එලියට ඇවිත් රඟපායිද, එහෙමත් නැත්නම් පොලිසි යන කෙනා එයිද, ඒක හරියටම කියන්න බෑ. එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ, මම කියන කෙනා මට අයිති නෑ කියන එක. මේ මම කියන නාඩගමේ චරිත රාශියක් තියනවා නේ. ඒ චරිත රාශියයි අධ්‍යක්ෂණයයි ඔක්කොටම මම මම කියල කිව්වට සිදුවීමකදී කොයි මම එළියට එයි ද කියන්න බෑ, ඒක අවිනිශ්චිතයි, ඒක මට අයිති නෑ. එහෙම මම වල් ගොඩක් තියාගෙන කොයි මම එළියට එයිද දන්නේ නෑ. ඒ කාරණය තීරණය කරන්න බෑ. බැරි හින්දා තමයි භාවනාවක් අවශ්‍ය වෙන්නේ. හරියටම තීරණය කරන්න පුළුවන් නම් භාවනාවක් අවශ්‍ය නෑනේ. එනිසා භාවනාවකින් තේරුම් ගන්න වෙනවා මෙතන තියන හේතුඵල සම්බන්ධය. සිදුවීම්වලදී එක එක චරිත නටන නැටුම් තේරුම් අරගෙන ඒවා අත්හරින්න ඕන, මොකද මොන චරිතය රඟපෑවත් ඒක කර්ම විපාකයකට යටත් වෙනවා. මෙතැනදි කර්මයක් සිද්ධ වෙනවා. එනිසා විපාකයකුත් එන්න පුළුවන්. සංසාර නාට්‍යයේ තියෙන භයානකකම ඒකයි.( නාඩගමක චරිතයක් රඟපෑවට කර්මයක් සිද්ධ වෙන්නෙ නෑ). ඒ භයානකකම නිසාම තමයි වෙස්මුහුණු හඳුනාගන්න කියන්නේ. හඳුනාගෙන ‘ මේවා අවශ්‍ය නෑ’, එක වෙස්මුහුණක් වත් මම නොවේ, මට අයිති නෑ කියන එක තේරුම් අරගෙන අත්හරින්න. එහෙම එකිනෙක වෙස්මුහුණු ගලවලා දාන්න ගලවලා දාන්න තව තව වෙස්මුහුණු තමයි හමුවෙන්නෙ. ඉතින් ඒකත් මම ද කියලා බලන්න, එහෙම වෙන්න ඕනද කියලත් බලන්න ,මමත් නොවේ නම් මට එහෙම වෙන්න ඕනෙත් නැත්නම් ඒකත් ගලවලා දාන්න. මේ විදිහට තට්ටුවෙන් තට්ටුවට ( ස්කන්ධ= තට්ටු කන්ඳක්)  අරන් බලනවා මෙ තට්ටුවේ ඉන්න හොඳද, එහෙම හිටියට ප්‍රශ්නයක් නැද්ද, ඒකද ඇත්තම තට්ටුව, නාය නොයන තට්ටුව ඒකද, එය මත මම කියන මන්දිරය ගොඩ නැගුවොත් කඩාගෙන වැටෙන්නේ නැතිව ස්ථීරව තියෙයිද, ගිලා බහින්නේ නැතිව තියෙයිද කියල බලන්න. නෑ, එහෙම නෑ, එකත් පුරවපු තට්ටුවක්. එනිසා එයත් අයින් කරනවා. මේ විදියට තට්ටුවෙන් තට්ටුව අයින් කරගෙන යාමක් මෙතන තියෙන්නෙ. එනිසා තමයි මම කියන්නේ කවුද කියනවා වෙනුවට ‘මම කියන්නේ කුමක්ද’ කියලා බලන්න කිව්වේ. 

ප්‍රශ්නය :ඒ අනුව ඕනෑම තට්ටුවකදී කර්මයක් සිදු වෙනවා කියන අවබෝධයෙන් සිහිබුද්ධියෙන් කටයුතු කිරීමයි වැදගත්ම දේ නේද? 

පිළිතුර : අනිවාර්යෙන්ම. සිහිබුද්ධියේ මට්ටමට කර්ම විපාකය සරල කරගන්න පුළුවන්, කර්මය හා විපාකය අපේ අතට ගන්න පුළුවන් සහ එහි බලපෑම අඩු කර ගන්න පුළුවන්. සිහිබුද්ධිය නැතිනම් උපරිම විපාකයක් වෙන කර්මයක් එක තත්පරයක් ඇතුළතදී වෙන්න පුළුවන්.( එහෙම වුනොත් එය අනිවාර්යයෙන් විපාක දෙනවා කියන්න බෑ) නිසා සිහිබුද්ධිය අත්‍යාවශයයි එබඳු තැනකදී. එබඳු තැනක් කියන්නේ ඕනෑම තැනක්. 

ප්‍රශ්නය : ඉතා සියුම්ව සංසාරය දික් කරන වැඩපිළිවෙළකට නේද යැවෙන්නේ? 

පිළිතුර : ඔව්, එයනේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය ඉටු වෙන විදියට තමයි මේ දේ වෙන්න. ඇත්ත මොකක්ද, ගැලපුනත් සංසාරය දික් වෙනවා නොගැලපුනත් සංසාරය දික් වෙනවා. නමුත් ගැලපුනහම සංසාරය දික් වෙන බව පේන්නේ නෑ,’හරි වගේ, ප්‍රශ්නයක් නෑ වගේ තමයි පේන්නේ. ලෙඩක් අසනීපයක් කරදරයක් වුණාම තමයි සංසාරය ප්‍රශ්නයක් විදිහට පේන්නේ. සංසාරය කියන වචනය භාවිතා කරන්නේම නොගැලපීමක් සමඟයි. එකට ගැලපෙන්න ගියහම ඒ බව අමතක වෙනවා. නමුත් එයත් සංසාරේම තමයි. එතනින් අල්ලා ගන්නවාට වඩා ලේසියි නොගැලපීමකදී සංසාරය අල්ලා ගැනීම. මේ දෙකේ දීම සංසාරය දික් වීමක් තමයි වෙන්නේ. ගැලපීමකදී සංසාරය සුගතිගාමී වෙන්න තියෙන ඉඩ වැඩියි, නොගැලපිමකදී සංසාර දුගතිගාමී වෙන්න තියෙන ඉඩ වැඩියි. එම නිසා එයින් තමයි මුලින්ම පරිස්සම් වෙන්න ඕන.

 ප්‍රශ්නය : අපි හදාගන්න අච්චු අතීතයේ අත්දැකීම් හරහා හදාගත් අච්චු. උදාහරණයකට මම නිදා ගත්තට පස්සේ ඇඳ ගාවින් පුටුවක් කෙනෙක් තිබ්බොත් පුටුව මගේ අච්චුවේ නැති නිසා මම පහුවදා නැගිටිද්දී ඒ පිටුවේ හැප්පෙන්න පුළුවන් වැටෙන්න පුළුවන් තුවාල වෙන්නත් පුළුවන් ඒ නිසා පුටුව තිබ්බ කෙනා ගැන තරහක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට ඒ යථාර්ථය කොහොමද ග්‍රහණය කරගන්නේ?

පිළිතුර: හොඳ උදාහරණයක්. ඒ විදිහට නොදන්නා පුටුවක හැප්පෙන්න පුළුවන්, හැප්පිලා වැටෙන්නත් පුළුවන් තුවාල වෙන්නත් පුළුවන්, ඒ නිසා ඒ පුටුව තිබ්බ කෙනා ගැන තරහක් එන්නත් පුළුවන්. මේ සිදුවීම් පෙළම ගත්තම ඒ එකකවත් පුදුම වෙන්න දෙයක් නෑ. මුල්ම කාරණය මෙතන තියෙන ධර්මතාවය තේරුම් ගන්න එක. කවුරුහරි පුටුවක් තියෙන එක, ඒක එතැනින් අයින් කරන්න අමතක වෙන එක, ඊළඟට පුටුවක් නෑ කියලා හිතාගෙන නැගිටලා යෑම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඊළඟට ඒ පුටුවේ වැදිලා තුවාල වෙන එක, එනිසාම තිබ්බ කෙනා ගැන තරහ ගැනීමේත් පුදුම වෙන්න දෙයක් නෑ. එතකොට මේ එකකවත් විශ්මයට පත් වෙන්න දෙයක් නෑ කියන එක තේරුම් ගැනීම තමයි පළවෙනි කාරණය, සියල්ල හේතු නිසා සිදුවුනා. හේතුඵල දැක්කොත් පුදුම වෙන්නේ නෑ, පිළිගන්න පුළුවන්. තරහ ඒමත් පිළිගන්න පුළුවන්. මෙය තමයි අපි පළමුවෙන්ම වටහාගන්න ඕන ධර්මතාවය, පුදුම වෙන්න දෙයක්නෑ. පුදුම වුනොත් තමයි කලබල වෙන්නේ. පුදුම වුණේ නැත්නම් කලබල වෙන්න දෙයක් නෑ. කලබල වුනේ නැත්නම් තරහ අඩුවෙනවා. එතකොට තුවාල වුණා නම් එයට කළ යුතු ප්‍රතිකාර කරගන්න බලනවා. අවවාදයක් දෙන්න තිබුණා නම් අවවාදයක් දෙනවා. ඊළඟට අපිටම අපට අවවාදයක් දී ගන්න පුළුවන් ’ඊයෙ නිදාගත්ත ලෝකය නෙමෙයි අද ඇහැරෙන්න මට තියෙන්නෙ, අලුත්ම ලෝකයකට තමයි අවදි වෙන්නෙ’  කියලා. හැබැයි අර අතීත ලෝක සිතියමේ ඒ අච්චුවේ තමයි අපි ජීවත් වෙන්නේ. අපි අපිට අවවාද කරගන්න ඕන ‘සිහිබුද්ධිය ඇති කරගන්න’ කියලා. 

ප්‍රශ්නය :මෙතන ප්‍රශ්නය තියෙන්නේ කුඩා කාලයේ සිටමනේ අපව අච්චු වලට පුහුණු කරන්නේ. නිසා ඒක තමයි ඉස්සරලම එන්නේ. එය ඒ තරම්ම ප්‍රභලයි. 


පිළිතුර: ඔව් ඒක ප්‍රබල කාරණයක්. දහමේ එයට කියන්නේ ‘නිච්ච සංඥා’ කියලා (ආච්චු වලට දහමේ කියන වචනය) .සිංහලෙන් ‘නිත්‍ය’ කියමු, නමුත් එය සියයට සියයක්ම නිවැරදිම නෑ. සංඥා කියන්නේ අතීතයෙන් හදාගත්තු අච්චුව කියන එක. නිච්ච සංඥා කියන්නේ ඒ අච්චුව ‘හරියටම හරි’ කියන අදහස, ‘ඒක එහෙම්මමයි’. එහෙම හිතාගෙන පිළිඅරගෙන විශ්වාස කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. එය හරි යන අවස්ථා තියනවා ( ඉස්සරලා කතාකරපු උදාහරණයම ගත්තොත්, හැමදාම පුටුවෙ හැප්පිලා වැටෙන්නේ නෑ, ඊට කලිනුත් නෑ, ඊට පස්සෙත් නෑ). ඒ නිසා වෙන්නේ නිච්ච සංඥාව ඝන සංඥාවක් බවට පත්වෙනවා. ඝණ සංඥාව කියන්නේ යමක් එකම විදිහට නැවත නැවත උනහම ඒ අච්චුව ොන්ක්‍රීට් අච්චුවක් බවට පත්වෙනවා. ඝන සංඥාවක් වුණා කියන්නේ ඇහැ ඇතුලට කාචයක් බද්ධ කරා වගේ. එළියෙන් කණ්නාඩිය දැමීම එකක්, ඒක දාගෙන ඉන්න බව තමුනුත් දන්නවා, එය ගලවන්න ගැලවෙන්න පුළුවන්. නමුත් ඇහැට කාචයක් සවි කරාම එය අනිත් අයට පේන්නේ නෑ, අපිටත් අමතක වෙන්න පුළුවන්, එය තමන්ගේ කොටසක් බවට පත්වෙනවා. නමුත් කොටසක් නොවේ, කාචයක්. එනිසා ලොකු පහරක් වැදුණොත් ඒ කාචයත් වැටෙන්න පුළුවන්. කම්පනයක දි තමයි ඒ කාචය වැටෙන්නේ. එනිසා කම්පන ඉතාම වැදගත්. කම්පන වලින් ආරක්ෂා වුනු ජීවිතයක් ගත කිරීම ඇඟට හොඳයි නමුත් හිතට හොඳ නෑ. ඉතින් එවැනි කම්පන වරින්වර අවශ්‍යයි ජීවිතයට, නිතර නිතර නොවේ. එහෙම නැත්නම් වෙන්නේ මේවා ඝන වෙලා කඩන්න හරි අමාරු වෙනවා. ඉතින් හොඳම දේ තමයි අනිත් අයට වෙන දේවල් දිහා කම්පන දිහා බලන්න. දහම කියන්නේ එහෙම සිදුවීමක් දිහා බලලා, ‘මොකක්ද මට තියෙන සහතිකය එයාට වුණ සිදුවීම මට නොවෙයි කියන්න?’ ඒ ගැන බලන්න කියා. එහෙම බැලුවහම තේරෙනවා එහෙම කියන්න පුළුවන් තැනක නොවේ අපි ඉන්නේ කියා. ඉතින් ඒ කාරණය මෙනෙහි කරනකොට තේරෙනවා අපි මොන තරම් අසරණ ද කියලා. ඕනම කොන්ක්‍රීට් එකක් දෙදෙරලා යන්න පුලුවන් සිදුවීම් තියෙනවා. හැබැයි වෙන්නේ මේක අච්චුවක් කියලා අපට තේරෙන්නේ නැහැ. එතනයි ප්‍රශ්නය. ඒ නිසා අපට නොවන සිදුවීම් වෙන ලෝකය දිහා බලන්න. එහෙම බලල හිතන්න එහෙම දෙයක් මට නොවෙයි කියලා මට හිතෙන්නෙ මොන හේතු නිසාද? මට අනාගතය පෙනිලා ද? එහෙම නැත්නම් හුදු මනස්ගාත විශ්වාසයක් පමණක් ද? කියා.


ප්‍රශ්නය : අපි අටලෝ දහමේ ගොඩක් කම්පනයට පත් වෙනවා. ඒකට විරුද්ධව යන තාදී ගුණය ප්‍රගුණ කිරීමේ මාර්ගය නේද මේ සිහිබුද්ධිය ඇති කරගෙන කරන්න උත්සාහ කරන්නේ?


පිළිතුර : ඔව්, සිදුවීමකට තමයි කම්පනයක් වෙන්නේ. සිදුවීම් වලට තමයි අටලෝ දහම කියන්නේ ( ඕනෑම සිදුවීමක් මේ අටෙන් එකකට ගොනු කරන්න පුළුවන්). කම්පන කැළඹීම් දෙකක් තියනවා, හරි යනවිට වෙන කැළඹීම් සහ වරදිනවිට වෙන කැළඹීම්, හරියනකොට උඩ යනවා, වරදිනකොට පහලට වැටෙනවා, උඩ පැනීමයි ඇදගෙන වැටීමයි. සාමාන්‍යයෙන් උඩ පැනීම කැලඹීමක් විදිහට දකින්නේ නෑ. කම්පනය විදිහට බලන්නේ ඇදගෙන වැටීම. එනිසා එතනින් පටන් ගන්න. එය කමක් නෑ.( හරියටම දේවල් වෙනකොට එතනින් පටන් ගන්න අමාරුයි, බැරි නැහැ, එතැනට එන්න ඕන). මුළු ලෝකයම සිදුවීම් හොයන්නේ එතනට, ෞකික ලෝකය පෘථග්ජන ලෝකය ප්‍රශ්නයක් විදිහට ගන්නේ අටලෝ දහම නොවේ, ‘හතරලෝ’ දහම. එය පමණක් හදාගත්තොත් ප්‍රශ්නයක් නෑ කියලා තමයි හිතන්නේ. හැබැයි දහම තමයි කියන්නේ මේ අටම ප්‍රශ්නයක් කියලා. තාදි ගුණය කියන්නේ මේවායෙන් නොසැලී ඉන්න පුළුවන් ගතිය. එය ඇති කරගන්න නම් මේ සැලීම දකින්න ඕන. එය දකින්න නම් සිහිබුද්ධිය තියෙන ඕන. සිහිබුද්ධිය තමයි ආරම්භය. සිහිබුද්ධියෙන් ඊළඟට එනවා ඥාන දර්ශනයට. සැලෙන හිත දකිනවා, සැලෙන හේතු දකිනවා, ඒ කම්පනය දකිනවා. එය තමයි මාර්ගය, පටන් ගන්නෙ සිහිබුද්ධියෙන්.


හිතවතුනි, මේ මොහොතේ සිදුවීම තමයි කමටහන. එතනින් තමයි තමන් පිළිබඳව ඥානයේ දොරටුව පෑදෙන්නේ, පොතකින් නොවේ. ඒ නිසා මේ මොහොතේ ජීවත් වීම ඉතාම වටිනවා, වෙන විකල්පයක් නෑ. මේ මොහොතේ ඉන්නේ නැතිව වෙන ක්‍රම හොයන්න බැහැ අපට, වෙන ක්‍රම නෑ. දීර්ඝ කාලයක් සිහිබුද්ධිය ගැන කතා කළේ ඒ නිසා, මේ මොහොතේ සිහිබුද්ධියෙන් ඉන්න ඕන. ඒ විදිහට සිහිබුද්ධියෙන් සිටීමෙන් තමයි ඊළඟට කළ යුතු දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, ඥාන දර්ශනයට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන කෙළවරටම කතා නොකළ අනු මාතෘකා ගොඩක් තිබුණා. ඉදිරියේදී ගැලපෙන විදියට ඒ ගැන කතා කරන්න බලමු.


හැමදෙනාටම, සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක්ම වේවා !!!