සදහම් සැඳෑව -2


2022-11-23 නැණ දසුනට තත්පරයක් - 18 


ගෞරවනීය සංඝ රත්නයෙන් අවසරයි. ආදරණීය හිතවතුනි, අද බුද දින සදහම් සැඳෑවට එකතුවී සිටින්නේ සසර ගැටලුව තේරුම් ගන්නත්, විසඳා ගන්නත් ඕනෑකමින්. එයයි ඔබ අප සෑම දෙනාටම තිබෙන ප්‍රමුඛතම අවශ්‍යතාවය. ඒ අරමුණ තිබෙන කල්‍යාණ මිත්‍රයන්, එමෙන්ම ඒ අරමුණ ඇතිකරගත් කල්‍යාණ මිත්‍රයන් සමග එකතුවී, සාමූහිකව කරන අනාවරණයක් (හෙළිදරව් කරගැනීමක්, ගවේෂණයක්, අවබෝධ කරගැනීමක්) මේ සිද්ධ වෙන්නේ. පසුගිය සති තුනේ ම අපේ මාතෘකාව වූයේ, ‘කෙසේද තණ්හාව සමඟ කටයුතු කරන්නේ’ කියායි. ඒ ගැන දහම දන්නා සෑම අයෙකුම විවිධ උපදෙස් (උපක්‍රම, කමටහන්) දහමින් අරගෙන තිබෙනවා. මුළු දහම ම කථා කරන එකම මාතෘකාව නම් ‘තණ්හාව ක්ෂය කිරීම’ යි. එයින් පිට කිසිම මාතෘකාවක් දහමේ මුලත් නැහැ, මැදත් නැහැ, අගත් නැහැ. ඒ සඳහායි තණ්හාව ක්ෂය කරන මාර්ගය තිබෙන්නේ. තණ්හාව තියාගන්න, වැඩි කරන මාර්ගය නොවෙයි, තණ්හාව අඩු කරන, නැති කරන මාර්ගය. විවිධ නම් වලින් ඒ මාර්ගය හඳුන්වනවා. මොන නමින් හැඳින්වුවත් පටන් ගත්ත තැන තිබුණ තණ්හාව නොවෙයි ඉදිරියට ගෙනයන්නේ. අඩියෙන් අඩිය තණ්හාව හලමිනුයි ඉදිරියට යන්නේ. දුක නොව, ප්‍රශ්න නොව අත්හරින්නේ තණ්හාවයි. නමුත් තණ්හාවමයි අල්ලාගෙන සිටින්නේ. 


මෙයයි ලස්සනම කාරණය. නමුත් බලමින් සතුටු වියයුතු කාරණයක් නොව බලමින් සංවේගය ඇති කරගත යුතු කාරණයක්. එය නම් ‘ලෝකය ම අල්ලාගනුයේ තණ්හාව නිසා’ යන්නයි. යම්තාක් දේ අතින්, සිතින් අල්ලාගෙන තිබෙනවාද, ඒ සියල්ල ම අල්ලාගෙන (බදාගෙන) තිබෙන්නේ තණ්හාව නිසයි. මෙය සරල කාරණයක්, හැමෝටම පෙනෙන කාරණයක්. ඒ බව දැනගන්න ලොකු ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. ‘ලෝකයම අල්ලාගෙන සිටින්නේ (හිස මත තබාගෙන සිටින්නේ) ඒ ගැන ආශාවක් තිබෙන නිසා’ යැයි දැනගන්න අමුතුවෙන් භාවනා කරන්න අවශ්‍ය නැහැ. ‘කෑමක්-බීමක්, පොතක්-පතක්, රටක්, ජාතියක්, ආගමක්, අදහසක් අල්ලාගෙන සිටින්නේ තණ්හාව නිසයි’, ‘සෑම දෙයක්ම අල්ලාගෙන සිටින්නේ තණ්හාව නිසයි’ කියන කාරණය දැනගැනීම ඥාන දර්ශනය නොවේ. මෙතන සොයා ගන්න (ලේසියෙන් දකින්න) අමාරු කාරණයක් තිබෙනවා. එම කාරණයයි දකින්න අවශ්‍යය. එය දැකීමටත් ඥාන දර්ශනය කියා කියනු ලබනවා. එනම් “තණ්හාව තරම් වෙන කිසිම දෙයක් අල්ලාගෙන නැහැ” කියන කාරණය දැක ගන්නයි ඥාන දර්ශනය අවශ්‍ය වන්නේ. 


තණ්හාවයි අප අල්ලාගෙන සිටින්නේ. තණ්හාව අල්ලාගෙන සිටින නිසයි තණ්හා කරන දේට අප බැඳෙන්නේ. ඒ නිසයි තණ්හාවට පුළුවන් වන්නේ එයා කියන කියන විදිහට අපව නටවන්න. එසේ නොවේ නම් අප නිදහස්. තණ්හාවට බැහැ අපව දාසයන් කරගන්න, අප තණ්හාවට තරම් වෙන කිසිම දෙයකට බැඳිලා නැතිනම්. ‘සෑම දෙයකටම බැඳෙන්නේ තණ්හාව නිසයි’ කියන කාරණය එක්තරා ආකාරයක ප්‍රහේළිකාවක්. මෙය සරල ඇත්තක්. කිසියම් දෙයකට තණ්හාවක් තිබෙන කෙනා ඒ දෙයට බැඳෙනවා. රෝස මලකට තණ්හාවක් තිබෙන කෙනා රෝස මලකට ආශා කරනවා. නමුත් එයා ඇන්තූරියම් මලකට ආශා කරන එකක් නැහැ. ඇන්තූරියම් මලට තණ්හාවක් තිබෙන කෙනා රෝස මලට නොවේ කැමති ඇන්තූරියම් මලට. මෙය බොහොම සාමාන්‍ය ඇත්තක්. ඒ නිසා කෙනෙකු රෝස මල් මිලදී ගන්නවා, තව කෙනෙකු ඇන්තූරියම් මිලදී ගන්නවා. මෙය සෑම තැනකම තිබෙන සත්‍යයක්. ගමන්-බිමන් යෑම් තුළ, තනිවීම් තුළ, එකතුවීම් තුළ, ඒ දෙයට කැමති ස්වභාවයක් තිබෙනවා. එයයි කරන්න උත්සාහ කරන්නේ, ඒ ආකාරයටයි ඉන්න උත්සාහ කරන්නේ. ඒ කැමැත්ත විසින් පුද්ගලයාව නටවනවා (මෙහෙයවනවා). අපව නටවන බව තේරුම් ගන්න අපහසු සත්‍යයක්. ඒ සඳහා භාවනා කරන්න අවශ්‍යයයි, සොයා බලන්න අවශ්‍යයයි. එසේ බැලූවිටයි වැටහෙන්නේ තණ්හාව අපේ සේවකයෙකු නොව අප තණ්හාවේ දාසයන් බව. අපේ ස්වාමියායි තණ්හාව, එයා කියන කියන දේ අප කරන්න උත්සාහ කරනවා. 


එයා කියන හැමදෙයක් ම කරන්න බැහැ. තණ්හාව කියූ සියල්ල ම කළ අයෙකු නැහැ ලෝකයේ. තමන්ගේ සිතට ඇති වුණු සෑම ආශාවක් ම ඉටු කරගත්ත කෙනෙකු නැහැ කොහෙවත්. සිතෙන සෑම දෙයක් ම කරන්න බැහැ කියන එක තවත් ඇත්තක්. යමක් කරන්න සිතුනොත් එය නොකර ඉන්න අපහසුයි, යන්න සිතුනොත් නොයා ඉන්න අපහසුයි, යමක් වැටහුණොත් තව කෙනෙකුට නොකියා ඉන්න අපහසුයි. කිසියම් දෙයක් පිළිබඳව ආශාවක් ඕනෑකමක් ඇති වු විට ඒ දෙය නොකර ඉන්න බැහැ, අමාරුයි. බාහිර එක් එක් හේතු නිසා නොහැකි වූවිට ඒ ඇති කරගත් තණ්හාවේ ප්‍රමාණයට විඳවීමයි සිදුවන්නේ. ඒ විඳවන්නේ අයිති කරගන්න බැරි වූ දෙයෙහි ප්‍රමාණයට නොවේ. ඒ කෙරෙහි තිබුණු තණ්හාවේ ප්‍රමාණයට විඳවනවා. එසේ විඳිනු ලබන දුක සමානුපාතිකයි තණ්හාවට. කොපමණ කාලයක් විඳවනවාද යන්න තණ්හාවට සමානුපාතික වන්නේ නැහැ. යමක් අහිමි වූ විට, හිමි කරගන්න බැරි වූ විට විඳින දුක, කෙළින් ම සමානුපාතිකයි තණ්හාවට. ‘තණ්හාව අඩුනම් අඩු දුකක් විඳින්නේ, තණ්හාව වැඩිනම් වැඩි දුකක් විඳින්නේ’ යන්නත් පෙනෙන තව කාරණයක්. එහිදී නොපෙනෙන තව කාරණයක් නම් කොපමණ කාලයක් මේ දුක විඳිනවාද යන්නයි. දුක විඳින්නේ කොපමණ කාලයක් ද යන්න තීරණය වන්නේ නැහැ තණ්හාව මත. පැයක් ද, දවසක් ද, සතියක් ද, ජීවිත කාලයම ද දුක විඳින්නේ කියන කාරණය තණ්හාව මත තීරණය වන්නේ නැහැ. එය තීරණය වන්නේ (විඳවන කාලය තීරණය වන්නේ) අවිජ්ජාව මත. එවිට පැහදිලි වෙනවා මෙම දෙදෙනා කොයි විදිහට අපව අන්දවනවාද කියා. දුකේ ප්‍රමාණය තීරණය කරන්නේ තණ්හාව, කොපමණ කල් විඳවනවාද කියා තීරණය කරන්නේ අවිජ්ජාව. සංසාරය නමැති සිර ගෙදර බරපතල සිරදඬුවමක් ද, ලිහිල් දඬුවමක් ද කියා තීරණය කරන්නේ තණ්හාවයි. කොපමණ කල් විඳවනවාද කියන කාරණය තීරණය කරන්නේ අවිජ්ජාව.  සිරගෙදර ඉන්නේ මේ දෙදෙනා නිසයි. කිසියම් දුකක් විඳිනවිට තණ්හාව නැති කළා කියා ඒ දුක නැති වන්නේ නැහැ. විඳවන දුක නැති වන්නේ අවිජ්ජාව නැති කළොත් පමණි. ඒ දුක පිළිබඳව අවිජ්ජාව තිබෙන තාක්කල් මතක්වන විටත් විඳවනවා,  නින්දේදීත් විඳවනවා. හැබැහින් අඬන්න බැරි බොහෝ දෙනෙකු සිහිනෙන් අඬන්නේ අවිජ්ජාව නිසා. කොච්චර අඬනවාද කියා quantity තීරණය කරන්නේ තණ්හාව. මේ තණ්හාව සහ අවිජ්ජා නමැති ගිරයට අසුවුණු පුවකයකි ඔබ හා මා වැනි සත්ත්වයන් කියන්නේ. 


‘තණ්හාවයි ස්වාමියා, අප යනු දාසයන්ය’ කියන මේ සත්‍ය පෙනෙන්නෙත්, පිළිගන්නෙත් බොහොම ස්වල්ප දෙනෙකුයි. වැඩි දෙනෙකු සිතා සිටින්නේ ආශාව අපේ යටතේ තිබෙන දෙයක් ලෙසිනි. අපට පරිහරණය කරන්න පුළුවන්, අවශ්‍ය වේලාවට වැඩක් ගන්න පුළුවන්, අනවශ්‍ය වේලාවට සේප්පුවක දමා වසා තැබිය හැකි දෙයක් ලෙසිනුයි තණ්හාව පිළිබඳව බොහෝ දෙනෙකු සිතන්නේ. එයයි තණ්හාව අපට එයාව පෙන්වන ආකාරය. එසේ පෙන්වමිනුයි අපව නටවන්නේ. මේ සෑම දෙයකට ම අපව බන්දවන්නේ (අලවන්නේ) තණ්හාවයි. තණ්හාව නමැති මැලියම තිබෙන විටයි ඇලවෙන්නේ. තණ්හාව නොමැතිව දේවල් තිබුණාට දේවල්වලට ඇලවෙන්නේ නැතිව සිටිය හැකියි. දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයක් වන්නේ ඒ නිසයි, ප්‍රශ්නය ඇත්තේ මේ දෙකේ නොවේ, දෙක අතර තිබෙන ගම් එකයි (glue). දෙකක් අතරට මැලියමක් ආවිට ඒ දෙක ඇලවෙනවා. එසේම එක එක දේවල් අලවන්න මැලියම් විවිධ වර්ග තිබෙනවා, කඩදාසි අලවන, රෙදි අලවන, පයිප්ප අලවන, ලී අලවන, යකඩ අලවන ආදී වශයෙන්. විශ්වයේ කොපමණ ජීවීන් වර්ග, අජීවී දේවල් තිබෙනවාද කියා දන්නේ නැති වුවත් මේ ඕනෑම දෙකක් එකට ඇලවිය හැකි විශ්වයේ තිබෙන මැලියම නම් තණ්හාවයි. එක් එක් කෙනාට එක් එක් දේවල් වලට වෙන වෙනම මැලියම් අවශ්‍ය නැහැ. ලෝකයේ කොහේ සිටියත්, සංසාරයේ කොහේ සිටියත්, අලවන්න පුළුවන් විශ්වීය මැලියම (තණ්හාව) තිබෙනවා නම්. ඒ නිසයි ඒ ලෝකවලටත් ඇලෙන්නේ.


එසේනම් කුමකටද අප මේ මැලියම අල්ලා ගන්නේ? අල්ලා ගන්නේ තණ්හාව නමැති මැලියමට තරම් අප කිසිම දෙයකට බැඳී නැති නිසයි. මෙයයි තේරුම් ගතයුතු කාරණය. තණ්හාව තරම් තදින් වෙන කිසිම දෙයක් අල්ලාගෙන නැහැ. අප තණ්හාව අල්ලා ගත්විට නොදැනුවත්ව ම, තණ්හාව තව දේවල් අපට අලවනවා. අප දේවල් අල්ලා නොගත්තත් තණ්හාව අල්ලාගත්විට, එයාට පුළුවන් එයාට ඕන ඕන දේවල් අපට අලවන්න.  බලන්න අතේ මැලියම් ටිකක් ගාගෙන, තියෙන තියෙන දේවල්වලට ඇලවෙනවා. ඇඳුමක අත තිබ්බොත් ඇඳුම ඇලවෙනවා, කොළයක, මේසයක, බිත්තියක තිබ්බොත් ඇලවෙනවා. තව කෙනෙකුගේ ඇඟේ අත තිබ්බොත්, ඒ කෙනාත් ඇලවීමයි ස්වභාවය. මෙයයි ලස්සනම කාරණය කියා කීවේ. ‘තණ්හාව නමැති මැලියම අපේ සිතේ ගා ගත්විට ඕනෑම දෙයකට ඇලෙන්න පුළුවන්, ඇලෙනවාමයි’. තණ්හාව නමැති මැලියම අපේ සිතේ ගා ගත්විට මැලියමට පුළුවන් එයාට ඕන ඕන දේවල් වල අපව අලවන්න සහ එයාට ඕන දේවල් අපට අලවන්න කියන දෙකම වෙන්න පුළුවන්, සිත තණ්හාව අල්ලා ගත්විට. ඒ නිසයි පට්ච්ච සමුප්පාදයේ කියන්නේ, ‘තණ්හා පච්චයා උපාදානා’ කියා. වෙන මොනවත් නොවේ තණ්හාවයි උපාදාන කරන්නේ. තණ්හාව ඇති වන්නේ වින්දන වලටයි. ‘වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානා’.


තණ්හාව සිතේ ගාගත්විට ස්වාමියෙකුගේ (බොස් කෙනෙකුගේ) චරිතය ඒ සිතට රඟපාන්න බැහැ. සිතා හෝ ඉන්න බැහැ නොසිතා කිසියම් තැනක සිත ස්පර්ශ වෙනවාද එතැන ඇලෙනවා. සිතේ තණ්හාව ගාගෙන තිබෙනවා නම් කොපමණ සිතුවත් ඇලෙන්නේ නැතිව . එසේම කවුරුවත් තණ්හාව ගාගන්නවා කියා සිතා ගාගන්නේ නැහැ. මේ දේවල් වෙන්නේ සිතා මතා නොවේ. ඉබේම තණ්හාව සිතේ ගෑවුනායින් පසුව දැනෙන දේවල්, ඇසෙන දේවල්, දකින දේවල්, සිතෙන දේවල්වලට ඇලෙනවා. ඕනෑම දෙයක් මැලියමකින් ඇලෙනවිට ඇලෙන්නේ පෙන්වන පැත්තයි (ගම් ගෑවෙන්නේ පෙන්වන පැත්තෙයි). කොළයක් අලවනවිට පේන පැත්තේ ගම් ගා අලවනවා. කාලයක් යනවිට අනිත් පැත්ත පෙරළෙනවා. තණ්හාවට සොයාගන්න බැහැ පෙරළෙන්නේ නැති දෙයක්. නොපෙරෙළෙන දෙයක් නැහැ විශ්වයේ කොහේවත්. තණ්හාවට එය ප්‍රශ්නයකුත් නොවේ. නොපෙරෙළෙන දෙයක් සොයමින් ගොස් තණ්හාව ඇලෙන්නේ නැහැ. පොතක පිටු පෙරළෙනවා වගේ හැම දෙයක් ම පෙරළෙනවා. මේ පැත්තේ තිබෙන දේ නොවෙයි පෙරළුනාම අනිත් පැත්තේ තිබෙන්නේ. අහසට පොළව වගේ වෙන්න පුළුවන්. අප තණ්හා මැළියම ගාගෙන ස්පර්ශ කළාම, හොඳයි (ලස්සනයි) කියන පැත්තටමයි ඇලෙන්නේ. මෙසේ ඇලවෙන්න ඕනෑම සුපිරි මැලියමකට කිසියම් කාලයක් අවශ්‍ය නමුත් තණ්හාව ක්ෂණිකව ඇලවෙනවා. ඵස්ස; තණ්හාවෙන් ස්පර්ශ කළ සැනින් ඇලවෙනවා. (නිකන්ම ස්පර්ශ කළා කියා ඇලවෙන්නේ නැහැ) ඊට පසුව ඒ ස්පර්ශයේ මෘදුබව දැනෙනවා. ඒ මෘදුබව නිසයි ඇල්ලුවේ. නමුත් එම මුදුබව කොපමණ කලක් සිර කරගෙන, තද කරගෙන සිටියත්  පෙරළීම නවත්වන්න බැහැ. මොනම දෙයක්වත් අල්ලා, හිරකරගෙන, විලංගු දමා අනිත් පැත්තට පෙරළීම නවත්වන්න බැහැ. තණ්හාවට බැහැ විපරිණාමය නවත්වන්න. 

පටිච්ච සමුප්පාදයේදී විස්තර කරන්නේ මේ පිටු පෙරළීමය ගැනයි. මෙය නවත්වන්න බැහැ. පෙරළෙන්න පටන් ගත්තාම පොතම පෙරළිලාමයි නවතින්නේ. ඕනැම දෙයක් පෙරළුනාට ගැටලුවක් නැහැ, ගැටලුව ඇත්තේ එසේ පෙරළෙන්‍නේ අල්ලාගෙන සිටින කෙනාත් සමග වීමයි. එයින් ගැලවෙන්න බැහැ. අල්ලා ගත්තොත් අල්ලාගත්ත කෙනාත් එක්කමයි පෙරළෙන්නේ. පෙරළුනාම අනිත් පිටුව, මුල් පිටුව මෙන් නොවන නිසා එතන ප්‍රශ්නයක් තිබෙනවා. කවරය වගේ නොවේ ඇතුළේ තිබෙන පිටු. ඒවායේ වර්ණයත් නැහැ, සුමට බවත් නැහැ. එවිටයි ප්‍රශ්නය (විඳවන්න) පටන් ගන්නේ. මුලින් වින්දා, පසුව විඳවනවා. විඳවනවිට බණින්නේ තණ්හාවට නොවේ. කවුරුවත් තණ්හාවට බණින්නේ නැහැ. තණ්හාව කවදාකවත් බැණුම් අසා නැහැ. බණ කියනවිට නම් තණ්හාවට බණිනවා, නමුත් විඳවන කිසිවෙකු තණ්හාවට බණින්නේ නැහැ. “ඇයි පෙරළෙන්නේ, ඇයි අනිත් පිටුත් ඒ වගේ නැත්තේ” කියා බණින්නේ අත තියා අල්ලාගත් පොතටයි. කවරය වගේනම් පොතේ සියලුම පිටු එය පොතක් විය නොහැකියි. මනුෂ්‍යයෙකු ගත්තත්, ගමක් ගත්තත්, රටක් ගත්තත් මේ හැමදෙයක්ම පොතක්, පෙරළෙනවා. වාක්‍යයෙන් වාක්‍යය, ජේදයෙන් ජේදය, පිටුවෙන් පිටුව වෙනස්. එසේම සෑම කියවීමකට ම යටත් වෙන්න වෙනවා. තණ්හාවෙන් අල්ලාගන්න පොත්වල ආරම්භය සුඛයක් වුවත් සුඛාන්ත නැහැ (සතුටින් කෙළවර වන්නේ නැහැ). අල්ලාගත් කිසිම දෙයක් සතුටින් පටන්ගෙන, දිගටම සතුටින් සිට, සතුටින් ම අත්හැර නැහැ. මේ පෙරළීම සිතා-මතා කරන දෙයක් නොවෙයි. කන්දකින් පහළට පෙරළෙනවිට සිතමින් නොවේ පෙරළෙන්නේ. නවත්වන්නත් බැහැ, කන්ද පාමුලටම ගිහිනුයි නවතින්නේ. හිතවතුනි මෙයයි තණ්හාව අල්ලාගත්විට එයා අපට සිදුකරන දෙය.


එවිට මැලියම නොවේ බැණුම් අසන්නේ පොත, ඇලවිච්ච දෙය. මනුස්සයාට බණිනවා, බිරිඳට බණිනවා, දරුවන්ට බණිනවා, ආණ්ඩුවට, ආගමට කියන මේ මොනවා හෝ ඒ ඇලවිච්ච දෙයටයි බණින්නේ. නමුත් ඇත්තටම බැණුම් අහන්න අවශ්‍ය තණ්හාව වුවත් එයා හොඳමයි අසන්නේ. හැමෝම වර්ණනා කරන්නෙත් තණ්හාවයි. තණ්හාවයි හැමෝගෙම සිත්වල ඇතිකරන්න උත්සාහ කරන්නේත්. පුංචි කාලේ ඉඳලා බලන්න සිත්වල ඇතිකරන්න බලන්නේ වෙන මොනවාවත් නොවේ, තණ්හාවයි. සෑම තණ්හාවක්ම ලෞකිකයි, ලෝකෝත්තර කියා තණ්හා නැහැ. ලෝකෝත්තර ඉලක්ක දුන්නත් සෑම තණ්හාවක් ම ලෞකිකයි. අධ්‍යාපනයෙන්, සංස්කෘතියෙන්, දේශපාලනයෙන්, විද්‍යාවෙන් හා ආගමෙන් කරන්නෙම තණ්හා ඇති කිරීම. මේ හැම එකෙන්ම ඇති කරන තණ්හා එකිනෙකට වෙනස්. මේ හැමෝම එකතුවී හෝ වෙන් වෙන්ව සිදුකරන්නේ උපන් සත්ත්වයාගේ සිතේ තණ්හා පැළ කිරීමයි. ඉපදුණොත් කවුරුහරි, ඒ උපන්න සත්ත්වයාගේ තණ්හා බීජ රෝපණය කිරීමයි සමස්ත ලෝකයම කරන්නේ. එයින් පිට දෙයක් කරන්නේ නැහැ. නමුත් අර තණ්හාවට වැඩිය මේ තණ්හාව හොඳයි කියා නම් කියනවා. ඒ හැර විරාගය, වීත තණ්හා කියා එහෙම දෙයක් වෙන්නේ නැහැ. හොඳින් බැලුවොත් ඒ හැම කෙනෙකු ම තණ්හාවේ නියෝජිතයන්.


තණ්හාව නියෝජිතයන් පත්කර තිබීමයි  ඊළඟ ලස්සන කාරණය. එයාට නියෝජිතයන් අවශ්‍යයයි. ඒ නිසා නියෝජිතයන් ලෙස විශාල පිරිසක් සිටිනවා. අධ්‍යාපනය කියා නියෝජිත මණ්ඩලයක්ම පත්කර තිබෙනවා. අපේ රටේ පමණක් නොවේ ලෝකයේ ම, අද පමණක් නොවේ කවදත්. අනතුරුව නිතීයක් යොදාම තණ්හාව පැළ කරනවා, ‘මේ වයසේ ළමයි තණ්හාව පැළ කරගත යුතුයි’ කියා. එයින් ඉවර වෙන්නෙත් නැහැ. ඒ අධ්‍යාපනයෙන් පමණක් නොවේ, ආර්ථිකයෙන්, විද්‍යාවෙන්, සංස්කෘතියෙන්, මේ හැමෝම උපන්න සත්ත්වයාගේ සිත්වල තණ්හාව පැළ කරමින් යනවා. එසේ පැළ කරන්න පුළුවන් සිත් සහිතවමයි සත්ත්වයා උපදින්නේ. තණ්හාව අල්ලා ගන්නා සිත් වෙනුවට තණ්හාව අල්ලා නොගන්නා සිත් (අනුපාදාය සිත් - උපාදානය නොවන සිත්) තිබුණානම් කාටවත් (අධ්‍යාපනයටවත්, විද්‍යාවටවත්, කලාවටවත්) බැහැ තණ්හාවක් ඇති කරන්න. නමුත් එවන් සිත් උපදින්නේ නැහැ. උපදින්නේ උපාදානය සහිත සිත්. ඒ සිත්වලට තණ්හාව (මැලියම) ඇලෙනවා. උපාදානය නැති සිතක් තිබුණානම් මොනතරම් උත්සාහ කළත් උපාදානය නොකරන සිතකට තණ්හාව ඇලෙන්නේ නැහැ. තණ්හාව ඇලුනේ නැතිනම් වෙනදේවල් ඇලෙන්නේ නැහැ. මැලියමක් ගෑවී නැති නිසා මොනදේ ස්පර්ශ කළත් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්තේ ඇයි, තණ්හාව නැති නිසා. තණ්හාව නැත්තේ ඇයි, උපාදානය නැති නිසා. නමුත් උපාදානය සහිතවයි උපදින්නේ. ඒ නිසාවෙන් මේ හැමෝට ම හරිම ලේසියි එක එක ජාතියේ පාට තැවරූ තණ්හා ගෙනවිත් ලාටු ගානවා මෙන් ගාන්න. එක් තණ්හාවක් උඩින් තව තණ්හාවක්, ඒ තණ්හාව උඩින් තව තණ්හාවක්, තට්ටු තට්ටු වශයෙන් ගාන්න. 


මෙය කොහෙන්ද ගලවන්නේ, ගැලවෙන්නේ කොහොමද කියා සිතා ගන්න බැහැ. තණ්හා පොදිය අරන් බලන්න කොතනින්ද අතහරින්න අවශ්‍ය, කොතනින්ද ගැලවෙන්නේ, මොනවාද අත්හරින්නේ කියා. සිතාගන්න හරිම අමාරුයි, එපමණට ම ඇලිලා තිබෙන්නේ. එපමණටම දේවල් වලට ඇලිලා. මේ එක එකක් වෙන වෙනම ගලවන්න ගියාම මේ සංසාරයේ සිටියා මෙන් කාලයක් ඉන්න වෙනවා. අල්ලගන්න යම්තාක් කල් සිටියාද ඒ විදිහට ගලවාගන්න නම්, වෙන කිසිම දෙයකට ඇලෙන්නේ නැතිව එපමණ ම කාලයක් ඉන්න අවශ්‍ය වෙනවා. එසේ ඉන්නට බැරි නිසා ඒ ආකාරයෙන් සංසාරය නිමා කරන්නට බැහැ. එම නිසයි ඥාන දර්ශනය අවශ්‍ය වන්නේ. එහෙම නැතිනම් ඥාන දර්ශනයක් අවශ්‍ය නැහැ. ලෑල්ලකට ගසන ලද ඇණ එකින් එක ගලවනවා මෙන් එකින් එක ගලවන්න පුළුවන්. ඇණ සියයක් නම් ලෑල්ලේ ගසා තිබෙන්නේ, එය ගැසීමට ගිය වේලාව හෝ ඊට වැඩි වේලාවක් යනවා ගලවන්න. එයට අඩු වේලාවක් යන්නේ නැහැ. ඒ ඇණ පරණ නම් ගලවන්න අනිවාර්යයෙන්ම වැඩි වේලාවක් යනවා. ඒ විදිහට ගෙදර තියෙන ඇණ සියල්ල ගලවා දැමිය හැකියි ජීවිත කාලය තුළදී. මන්ද එය ගණන් කළ හැකියි, පෙනෙන්න තිබෙනවා. නමුත් සිත අල්ලාගෙන තිබෙන දේ එසේ බැහැ. එකින් එක, එකින් එක අත්හැරීම වෙන්නේ නැහැ. තර්කානුකූලව සිතුවත්, ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් එය තමා මාර්ගය. එවැනි මාර්ගයක් තිබෙනවා. සීලයෙන් කරන්නේ සාමාන්‍යයෙන් අමාරුම ටිකක් අත්හැරීම. ගණන් කරලා මෙන්න මේ ටික අත්හරිනවා කියා අත්හරිනවා සීලයෙන්. නමුත් ඉතිරිවන ගොඩ වැඩියි. සමථයෙන් කරන්නෙත් එයයි. ගණන් කර “මෙන්න මේ ටික අත්හරිනවා” කියා අත්හරිනවා. නීවරණ පහක් කියමු, මේ පහ අත්හරිනවා. ඒ පහ අත්හරින විට, ඒ පහ නිසා අල්ලාගෙන සිටින බොහෝ දේ අත්හරිනවා. ඒ අත්හැරීම නිසයි දැඟලීම අඩු වී සමාධි සුවය එන්නේ. ඒ ඉතින් පේන ටික, ඔයින් එහා පේන්න නැහැ මොනවත්. පේන ඇණ ටික සීලයෙන් හා සමථයෙන් ගැලෙව්වත්, නොපෙනෙන ඒවා තිබෙනවා. “නැහැ” කියා මල් යහනාවක් වැනි සමාධි සුවය උඩ ඉන්න පුළුවන්. ඕනෑම මල් යහනාවක කාලයක් ඉන්නවිට, ඒ මල් තැලිලා යටින් තිබෙන කටු (ඇණ) ඇනෙන්න පටන් ගන්නවා. සමාධියේදි කරනුයේ යහනාවකට මල් දැමීමයි. ඒ නිසයි එය ස්ථිර (සදාකාලික) සැපක් නොවන්නේ. සමාධිය දුකක් වෙන්නේ නැති නමුත්, ටික කාලයක් යන විට (සමාධිය ගෙවිලා යනවිට) කලින් ගසාගෙන තිබෙන ඇණ, ඇනෙන්න පටන් ගන්නවා. එය අවුරුද්දකින් හෝ කල්පයකින් හෝ සිදුවිය හැකියි. සිදු නොවී තියෙන්නේ නැහැ. ඒ නිසයි විපස්සනාව තිබෙන්නේ. විපස්සනාවේදී (විනිවිද දැකීමේදී), සම්පූර්ණයෙන් ම අනිත් පැත්ත හරවලා බැලීමයි සිදුවන්නේ. මේ විපස්සනාවේ ප්‍රතිඵලයක් ලෙසිනුයි ඥාන දර්ශනය ඇතිවෙන්නේ.


හිතවතුනි, ඇයි තණ්හාවෙන් දේවල් අල්ලාගෙන ඉන්නේ? ඇයි දේවල් වලට ආශා කරන්නේ? කියන ප්‍රශ්නය අහන්නේ එය අසන්නේ විපස්සනාවෙන්, යෝනිසෝ මනසිකාරයෙන් හා සම්මා දිට්ඨියෙන්. ඒ වෙනුවට ඇයි තණ්හාව අල්ලාගෙන ඉන්නේ? ඥාන දර්ශනය ඇති කරගැනීම සඳහා සිහිබුද්ධිය අසන්නේ, “ඇයි තණ්හාව අල්ලාගෙන ඉන්නේ”. අන්න ඒ ප්‍රශ්නයටයි අප පිළිතුරක් සොයා ගැනීමට අවශ්‍ය වන්නේ. ඒ ප්‍රශ්නයටයි ඥාන දර්ශනය පිළිතුරක් දෙන්නේ. ‘ඇයි තණ්හාව අල්ලාගෙන ඉන්නේ’. ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන තුරු, දිගටම මේ ක්‍රියාව සිදුවෙනවා. තණ්හාව අතහැරෙන්නේ නැහැ. තණ්හාව අතහැරෙන්නේ නැතිව, ලෝකය අත්හරින්න බැහැ. තණ්හාව අඩුකරගන්න පුළුවන්. තණ්හා කරන දේවල් මොනවාද කියා සොයාගෙන ඒවා නැති තැනකට යන්නත් පුළුවන්. ආශාකරන සෑම දෙයකින්ම අයින්වෙලා කාන්තාරයකට වැනි තැනකට ගිහිල්ලා ඉන්න පුළුවන්. නමුත් කොහේ ගියත් තණ්හාව තිබෙනවා, තණ්හාව නැති තැනක් නැහැ. 

ඒ කාරණය කථා කිරීම මෙතැනින් නවත්වමු. ‘ඇයි තණ්හාව මෙපමණ තදින් අල්ලාගෙන සිටින්නේ ?’ එතනයි විසඳුම තිබෙන්නේ, එතැන අත්හැරියොත් අනිත් ප්‍රශ්න එකක්වත් ඇති වන්නේ නැහැ. එවිට තණ්හාවට බැහැ අපව නටවන්න. තණ්හාව අත්හැරියොත්, එකින් එක වෙන වෙනම අත්හැරීම අවශ්‍ය වන්නේ නැහැ. 

අප පසුගිය සතිවලදී කථා කළා ක්‍රම කිහිපයක් පිළිබඳව. පළමු ක්‍රමය කොපමණ තල්ලුවක් පිටුපසින් ආවත්, අඩියක්වත් සෙලවෙන්නේ නැතිව එතැනම නැවතීම. “මොනදේ වුණත් කමක් නැහැ” කියා, දත්මිටිකාගෙන, දහදිය දාගෙන, නොසෙල්වී ඉන්න පුළුවන්. මොනතරම් පෙළඹවීමක් ආවත්, “නැහැ” කියා ඉන්න පුළුවන්. දෙවන ක්‍රමය නම් තණ්හාව එනවිට පැත්තකට වීම. එයා හැමවිටම පිටුපසින් පැමිණ අපව තල්ලු කරනවා. ඉදිරියෙන් එන්නේ නැහැ, ඈත ඉලක්කයක් පෙන්වා අපව තල්ලු කරනවා. වේගයෙන් දුවගෙනවිත් තල්ලු කරන්න හදන අවස්ථාවේ ම පැත්තකට වෙන්න. තුන්වන ක්‍රමය නම් තණ්හාව පිටුපසින් පැමිණෙන විට එක්වරම අනිත් පසට හැරී තණ්හාව දෙස බැලීම. තණ්හාව පෙන්වන දෙය දෙසයි සංසාරය පුරාවට බලමින් අද වෙනකම් ආවේ. එම නිසා තණ්හාව පෙන්වන දෙය නොව, තණ්හාව දෙස බලන්න. ආපසු හැරුණු ගමන්ම තණ්හාව (තණ්හාවේ මුහුණ) පෙනෙනවා. ලාදුරු රොගියෙකුගේ මුහුණක් මෙන් විරූපී, අප්‍රසන්න මුහුණක් තිබෙන නිසයි තණ්හාව මුහුණ පෙන්වන්නේ නැත්තේ. ඒ නිසයි තණ්හාව අපට කියන්නේ, ලස්සන වෙන්න කියා. හැමෝටම ලස්සන වෙන්න ආසාවක්, ඕනෑකමක් තියෙනවා (ඒ තණ්හාවයි). ඇයි එයා අපිට ලස්සන වෙන්න කියන්නේ? වෙන මොනවත් නිසා නොවේ, එයා කැත නිසා. “මෙච්චර කල් දාසයෙකු වුණේ, අසුවුණේ මෙවැනි කැත විරූපී අයෙකුටද” කියා, තණ්හාව මුහුණට දැක්කොත් නම් සිතෙන්නේ පිළිකුලක්. තණ්හාව හරිම දුර්වල නමුත් පිටුපසින් තල්ලුකරන තුරු තණ්හාවයි  විශ්වයේ තිබෙන ප්‍රබලම බලවේගය. මුහුණට මුහුණ බැලුවොත් නම් එපමණ දුර්වල දෙයක් තවත් නැහැ. එමනිසා එයා අනිත් පැත්ත හැරී දුවනවා. තණ්හාව දෙස බැලුවාම එයා කරන්නේ ආපිට දිවීම. එවිට සිටි පියවරේම සිටීමෙන් සාංසාරික ප්‍රශ්න විසඳන්න බැරි නිසා, ආපසු හැරි දුවන තණ්හාව පස්සෙන් ම අපත් යා යුතුයි. එයා කියන කියන තැන ගිය ගමන නොවෙයි දැන් යන්නේ. එයා හැංගෙන්න දුවනවා, අපත් ඒ පසුපසින් තණ්හාවට හැංගෙන්න නොදී දුවනවා. එවිට එයාට වෙන යන්න තැනක් නැති නිසා උපන්න තැනට ම ගොස් නවතිනවා. ඉන් එහාට තණ්හාවක් නැහැ.මේ ක්‍රම සඳහා හොඳ සිහිබුද්ධියක් අවශ්‍යමයි. මේ ක්‍රම තුනෙන් ම පුළුවන් සම්පූර්ණයෙන් හෝ යම් පමණකට තණ්හාව හසුරුවා ගන්න, ඒ බලපෑමෙන් නිදහස් වෙන්න. 


එසේනම් අද කථාකළේ “ඇයි මෙපමණ අමාරු, ඇයි හසුවෙන්නේ” කියායි. කෙනෙකුට කියන්න පුළුවන් මෝඩකම නිසා කියා. මෝඩකම තමයි, නමුත් එසේ කීවාට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මොන මෝඩකම නිසාද මෙයාට ම ඇලිලා ඉන්නේ? තණ්හාව ම අල්ලාගෙන සිටින්නේ ඇයි? ඒ මැලියම අතේ ගාගෙන හැම දේකට ම ඇලි ඇලී යන්නේ ඇයි? අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගන්න පුළුවන් නම් ඥාන දර්ශනයක් ඇතිවෙනවා. ඒ ඥාන දර්ශනයට පුළුවන් වෙයි, තණ්හාවයි අපයි අතර තිබෙන මේ ගනුදෙනුව නිමා කරන්න.

හොඳයි අප එතැනින් නවත්වා ටික වේලාවක් උත්සාහ කරමු මේ කාරණා ජීර්ණය කරගන්න, අවශෝෂණය කරගන්න, තුලනය කරන්න, මෙනෙහි කරන්න.


භාවනාව