සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 38

2022 ජුලි 20 සාරාංශය

සෑම දෙනාටම සතිමත්, සන්සුන්, ශාන්ත සැඳෑවක්, රාත්‍රියක් හා උදෑසනක් රටේ හා ලෝකයේ කොහේ හිටියත්. සදහම් සැඳෑවේ පළමු අදියරේ සමාප්ති වැඩසටහනට ගොඩ වූ ආදරණීය කළ්‍යාණ මිත්‍රයිනි, භාවනාව පිළිබඳවත් , දහමහා හා බුද්ධාගම සම්බන්ධයෙනුත් මොනතරම් පොතපත ලියවී තිබෙනවාද? දේශනා කෙරෙනවාද? සාකච්ඡා පැවැත්වෙනවාද? වැඩමුළු, වැඩසටහන් සංවිධානය වෙනවාද? මනුෂ්‍ය ඉතිහාසයේ කවදාවත් නොපැවැත් වූ තරමට ඒ සියල්ලම විසි එක්වන සියවසේ ලෝකයේ සිදු කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේවත්, බුදුදහම ගැන මෙපමණ වැඩසටහන්, සම්මන්ත්‍රණ කෙරිලා නෑ. පොත-පත නම් ලියවිලාම නෑ වගේ, දේශනා බොහොම ස්වල්පයයි. විනෝදාංශයක් විදිහට කෙනෙකුට අවශ්‍යනම් සොයා බලන්න පුළුවනි එක දිනයක මොනතරම් දේශනා, සම්මන්ත්‍රණ, වැඩසටහන් පැවැත්වෙනවාද,  මොනතරම් පොත-පත, පත්‍රිකා එළිදැක්වෙනවාද කියා. ලංකාවේ සහ අනිකුත් බෞද්ධ රටවල, තායිලන්තය, බුරුමය, ලාඕසය, කාම්බෝජය වැනි ථේරවාදි බෞද්ධ රටවල, චීනය, තායිවානය, වියට්නාමය, කොරියාව, ජපානය වැනි මහායාන රටවල, වජිරයාන බුද්ධාගම පවතින භූතානය හා තිබ්බය වැනි රටවල සහ  බුදුදහම රාජ්‍ය ආගමක් විදිහට පිළිනොගත් අබෞද්ධ රටවල්වලත් මොනතරම් කෙරෙනවාද? සිතාගන්න බැරිතරමට, අදහගන්න බැරිතරමට පැවැත්වෙනවා. මිනිස් ඉතිහාසයේ එදා මෙදාතුර සංඛ්‍යාත්මක පැත්තෙන් මෙපමණ සංඛ්‍යාවක් පොත-පත, දේශනා, වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ හා භාවනා වැඩසටහන් මේ කිසිවක් අද තරම් කවදාවත් වාර්තාවෙලා නෑ.

අපේ ආගම ගැන හා ශාස්තෘන් වහන්සේ ගැන මොන තරම් ‍කතා කරනවාද, දේවල් වෙනවාද, කීදෙනෙකු නම් ඒ ගැන සොයනවාද, පර්යේෂණ කරනවාද, පොත් ලියනවාද, පත්‍රිකා එළිදක්වනවාද කියා මමත්වයෙන් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මමත්වයට එහෙම සතුටක් ලබන්න පුළුවන්. මමත්වයට බොහෝ දේවල් විඳින්න දකින්න තියෙන්නේ අසතුටුවන දේවල් නිසාවෙන් ඒ සතුට සිත් සේ විඳින්නට හරිමු. අපේ ආගමට, අපේ දහමට මොනතරම් ලෝකයේ තැනක් ලැබී තිබෙනවාද, ඒ ගැන මොනතරම් සාහිත්‍යයක් ගොඩනැඟී තිබෙනවාද කියන කාරණා ගැන මමත්වය පැත්තකට වෙලා ඒ සතුට විඳින අතර  මේ සදහම් සැඳෑව ආරම්භ කළේ  එයට තවත් එක් වැඩසටහනක් එකතු කිරීමේ අරමුණින් නොවන බවයි කියන්න උත්සාහ කරන්නේ. ලෝකයේම එක දිනකට කරන වැඩසටහන් මිලියන ගණන අතරට තවත් එක් වැඩසටහනක් එකතුකර එම සංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණින් නම් නොවේ මේ සදහම් සැඳෑව ආරම්භ කළේ.

මෙයට මාස නවයකට පමණ පෙර ප්‍රධාන කාරණා දෙකක් පෙරදැරිවයි සදහම් සැඳෑව ආරම්භ කළේ. එක් කාරණයක් නම් ඉල්ලීමක් තිබුණා, නිල්ලඹින් කෙරෙන පාන්දර භාවනා වැඩසටහන්, පෝය දිනයට තිබෙන වැඩසටහන්, සති අන්තයේ කෙරෙන මෛත්‍රි භාවනා , විපස්සනා වැඩසටහන් යන මේ සියල්ල අතර සංවාදශීලි වැඩසටහනක් වැඩි දෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වේලාවක කරමුයි කියා, එය එක් හේතුවක්.

දෙවන කාරණය නම්, පැහැදිලිව පෙනුණ කාරණයක් තමා  බුදු දහමේ කේන්ද්‍රීයම ඉගැන්වීම නම් සිහිබුද්ධිය. වෙන කිසිවක් නොවේ. අන් සියලුම ඉගැන්වීම් බැලුවාම අඩු වැඩි වශයෙන් කොයි ආගමෙත් තියෙනවා. ගුණාත්මක වශයෙන් අඩු වැඩි වෙන්න පුළුවන් නමුත් මූලික ආකෘතිය කොයි ආගමෙත් තියෙනවා. නැත්තේ සිහිබුද්ධිය පිළිබඳවයි. මේ කාරණය සම්බන්ධයෙන් අනිත් ආගම් සමඟ තුලනාත්මකව කතා කිරීම වටින නමුත් ඒ කාරණය අද අවශ්‍ය නෑ, වෙන දිනයක කතා කරමු. සිහිබුද්ධියට මෙපමණ තැනක් දී එය කේන්ද්‍රීය ලක්ෂණය කරගෙන, සෑම දෙනාගෙන්ම සිහිබුද්ධිය ඇති කරගන්නා ලෙස කාරුණිකව හා තදින් ඉල්ලීමක් කළ, එකම ශාස්තෘන් වහන්සේ තමා බුදුන් වහන්සේ. කාලාම සූත්‍රයේ මෙන්ම බොහෝ දේශනාවල මොනතරම් විචාර බුද්ධියට තැනක් දී තිබෙනවාද? කාලාම සූත්‍රය තමා ජනප්‍රියම දේශනය නමුත් ඊටත් වැඩිය මේ කාරණය ගැඹුරින් හා සියුම්ව විශ්ලේෂණය කළ දේශනා තිබෙනවා. සිහිබුද්ධිය ගැන කියාදෙන්න පහළ වුණු ශාස්තෘන් වහන්සේ, උන්වහන්සේ දේශනා කළේම සිහිබුද්ධිය ගැන. අනුගාමිකයන් කියාගන්න, ශ්‍රාවකයන් කියාගන්න, බැතිමතුන් යයි කියාගන්න අප කොතරම් දුරට බුදු දහමේ කේන්ද්‍රීය ඉගැන්වීම ලෙස ඒ සිහිබුද්ධිය හඳුනාගෙන තියෙනවාද? සියලුම ගැටලුවලට විසඳුම එතන තිබෙන බව හඳුනාගෙන තිබෙනවාද? මේ කාරණයේ අඩුවක් දුටුවා.

මොනතරම් පහසුවෙන් ප්‍රශ්න හදාගන්නවාද? අපම හදාගෙන ඒවා විසඳගන්න බැරිව දඟලනවාද? දඟලමින් ප්‍රශ්න ගොහොරුවේ එරෙනවාද? මේ වචනය කියන්නවත් අහන්නවත් මිහිරි වචනයක් නෙවෙයි. සතුටින් නොවෙයි මේ වචනය කියන්නේ, ජීවිත හරිම ‘කාලකණ්නි’ කරගෙන තියෙන්නේ. ඇත්ත එය තමා, කාලකණ්නි ස්වභාවයක් ජීවිතවල තියෙන්නේ. මේ දවස්වල තිබෙන පීඩන, අගහිඟකම් නිසාම නෙවෙයි, මේවා ඇතිවෙන්න කලිනුත් හැම දෙයක් ගැනම කතාකරන්නේ කාලකණ්නි ස්වභාවයකින්.  

හිතවතුනි සමහර කෙනෙකු “මේ ගමේ  ඉන්න නිසා තමයි මේ කාලකණ්නිකම” කියා සිතා ඒ ඇත්තන් ඒ ගම අතහැර වෙන නගරයකට සංක්‍රමණය වෙනවා. පවුලම යනවා, නැත්නම් එක්කෙනෙක් යනවා. නගරයක ඉන්න අයත් එහෙම හිතලා වෙන නගරයකට යනවා. රටේ අයත් එහෙම සිතලා වෙන රටකට යනවා. කෙටිකාලීන වශයෙන් ප්‍රබෝධයක්, උත්තේජනයක් ලැබුවත් දීර්ඝකාලීනව බැලූවිට අර ‘කාලකණ්නි’, ‘මුස්පේන්තු’ ස්වභාවයෙන්මයි ඉන්නේ. කන්න-බොන්න, අඳින්න-පළඳින්න, යාන-වාහන ඇති, හොඳ තනතුරු ඇතුවත් ඇති නැතුවත් ඇති, තිබුණත් නැතත් ප්‍රශ්න ගැනමයි කතා කරන්නේ. අර්බුද ගැනමයි සිතන්නේ, කිසි ප්‍රබෝධයක් නැති ජීවිත. ප්‍රශ්න නම් ඕන තරම් තියෙනවා. සංසාරේනම් ඉන්නේ ප්‍රශ්න නැතිවෙන්න බෑනේ.

පින් කර සිල් රැක්කොත් සුගතිගාමී වෙන්න පුළුවන් කියා සිතනවානේ, එහෙම වෙනවානේ. පින් කරන්නත් ඕනේ, සුසිල්වත් ජීවිතයක් ගතකරන්නත් ඕනේ සුගතිගාමී වෙන්න. සදාචාරසම්පන්න ජීවිතයක් ගතකිරීමත් අවශ්‍යයයි පිංකම් කිරීමත් අවශ්‍යයයි. මේ දෙකේ එකතුවේ ප්‍රතිඵලයක් විදිහට සුගතිගාමී වුණත්, මේ ස්වභාවයෙන් කෙනෙකු පින් කර හා සිල් රැක දිව්‍ය ලෝකයේ ගියත් හිතනවාද ඔය කාලකණ්නි ස්වභාවය නැතිවෙයි කියා? සිතනවාද හැම දෙවියෙක්ම, දේවතාවියක්ම හරීම ප්‍රබෝධයෙන් ඉන්නේ කියා? ඒ කතන්දර අසනවිට නම් එහෙම සිතෙන්නේ නෑ. වෙනස තියෙන්නේ එතන මෙතනට වැඩිය පහසුවෙන් සැප-සම්පත් ලැබෙනවා. ප්‍රශ්න අඩුයි, මේ වගේ ගෑස් පෝලිම්වල, පෙට්‍රල් පෝලිම්වල ඉන්න ප්‍රශ්න නැති නමුත් ප්‍රශ්න තියෙනවා. එක ප්‍රශ්නයක් හරි තිබුණොත් ඒ ප්‍රශ්නය ගැන සිතන්නෙ මේ දැන් සිතන විදිහටම තමා.

සිතන විදිහ වෙනස් වෙන්නේ නෑ, ගමේ සිටියත්, නගරයේ සිටියත්, තුන්වන ලෝකයේ රටක, දෙවන ලෝකයේ, පළවන ලෝකයේ සිටියත්, දිව්‍ය ලෝකයේ සිටියත් එකම විදිහ. හිතන විදිහ වෙනස් වෙන්නේ බ්‍රහ්ම ලෝකයේ විතරයි, එතන සිතන්නේ නෑ. සිත සිත ඉන්න ලෝකයක් නොවෙයි බ්‍රහ්ම ලෝකය, ධ්‍යානයකින් ලැබෙන ප්‍රතිඵලයක් බ්‍රහ්ම ලෝකය. ධ්‍යාන කියන්නේ සිත සිත ඉන්න මානසික ස්වභාවයක් නොව, ‘විතක්ක, විචාර’ අත්හැරීම. ප්‍රශ්න ගැන සිතන්නෙත් නෑ, විසඳුම් ගැන සොයන්නෙත් නෑ. ප්‍රශ්න ගැන විතර්ක කර කර ඉන්නෙත් නෑ, විසඳුම් ගැන සොය සොය විචාර කර කර ඉන්නෙත් නෑ. මේ ප්‍රශ්න සහ විසඳුම් දෙකම අත්හරිනවා, සිතීම අත්හරිනවා. ඒ ප්‍රශ්න විසඳගෙන නොවේ, සිතීමයි අත්හරින්නේ.   ප්‍රශ්න සහ විසඳුම් ගැන සිතීම අත්හැරීමෙනුයි සමාධිය ඇතිවන්නේ, සියලුම ප්‍රශ්න විසඳගෙන නොවෙයි.  

සියලුම ප්‍රශ්න නැති ස්වභාවය වෙනම තැනක්, එය විශ්වයේ කොහේ හරි තියෙන තැනක් නොවේ. මැරිලා කොහේ හරි ප්‍රශ්න නැති තැනක උපදිනවා කියන එකක් නම් නෑ. ‘අවසාන මොහොතේ එකම එක ප්‍රශ්නයක් හරි හදාගත්තොත් මොනම දෙයක් ගැන හරි, අන්න ඒ ගැන විචාර කරනවා. එයට විසඳුමක් සොයනවා, ඒ විසඳුම සොයාගෙන තමයි යන්නේ අවසාන මොහොතේ ප්‍රශ්නයක් හදා ගන්නේ නැත්නම්, විසඳුමක් හොයන්නෙත් නෑනේ. එපමණයි !  ප්‍රශ්නයක් කියන්නේ ‘මරණය’, විසඳුම කියන්නේ ‘ජාති’ නැවත උත්පත්තිය. ‘ගැටලුවයි පිළිතුරයි, පිළිතුරයි ගැටලුවයි’. පිළිතුර නැවත ගැටලුවක් වෙනවා, එය තමයි පටිච්ඡ සමුප්පාදය කියන්නේ. ‘ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවං’ ඒ කවුරුත් අහලා තියෙන පාලි පාඨයක්. ඉපදීම පිළිතුරක්, කුමකටද මරණයට. මරණය කියන කාරණය ප්‍රශ්නයක් කර ගත්ත කෙනාට පිළිතුර තමා නැවත උත්පත්තිය.

‘මරණය කියන්නේ නිර්මාණයක්, ස්වභාවික සංසිද්ධියක් නොවෙයි’. මේ කාරණය මෙනෙහි කරන්න, සිහිබුද්ධියෙන් අහන්න, සිහිබුද්ධියෙන් විමසන්න. මරණය කියන්නේ අනිවාර්යෙන්ම මුහුණ දියයුතු දෙයක් නොවේ. ජීවිත ගමනේ අවසානය මරණය කියා සිතනවා, ජීවිතය කෙළවර වන්නේ මරණයෙන් කියා කියනවා. මෙසේ ප්‍රකාශ කරනවිට සිතේ මැවෙන්නේ, “ජීවිතය කියන්නේ පාරක යාමක්, ඒ පාරේ අන්තිම කෙළවර, ගමනාන්තය තමා මරණය” කියා හැඟීමක්, එහෙම දෙයක් නොවේ ජීවිතය හා මරණය. එහෙම දෙයක් වෙන්න බෑ. මේ විදිහට සිතුවොත් මරණය සංස්කාරයක් නොව විසංකාරයකි, එහෙම නෑ,   මරණය කියන්නේ සංස්කාරයක්, හදාගන්නා දෙයක්. ගමනාන්තය විදිහට සිතුවොත් එය අනිවාර්යයෙන් තියෙන දෙයක්. කොළඹට යන පාර දිගේ ගියාම කොළඹට යන්න පුළුවන්. පාර හින්දා කොළඹ තියෙනවා නොවෙයිනේ, පාර තිබුණත් නැතත් කොළඹ කියන නගරය තියෙනවා. එනම් කොළඹ කියන නගරය තියෙන දෙයක්, පාර කියන්නේ අප හදාගන්න දෙයක් කොළඹට යන්න. එහෙම අදහසක් තමයි මේ ජීවිතය ගැනත් සිතෙන්නේ, ඔහොම ජීවත් වෙවී ගියාම අවසානයේ මරණයට මුහුණ දෙනවා. මේ පිළිබඳව විමර්ශනය කරන විට පේන කාරණය නම් කොළඹ (කියන නගරය) ඉන්නවා බලාගෙන අප මෙහෙන් ගිහිල්ලා ගිහිල්ලා කොළඹට යනවා. එය එසේ නොවේ, මේ ආකාරයෙන් ගමනේ ගියොත්, මේ ඉන්න විදිහට ගියොත්, අවසානයේ යන්න වෙන්නේ මරණයට. එනම් මාර්ගය නිසායි ගමනාන්තය මැවෙන්නේ, හැදෙන්නේ.

මෙය හොඳින් පැහැදිලි කරගන්න, නැතිනම් සාකච්ඡාවේදි නැවත අසා පැහැදිලි කරගන්න. භෞතික මාර්ගයක ගමනාන්තයක් තියෙනවා, එතනට යන්නයි අප පාරක් කපා ගන්නේ. ඒ පාර කැපුවත් නැතත් එතන (ගමනාන්තය) තියෙනවා. කොහේ හරි ගමනාන්තයක් ගැන සිතමු, සමනලකන්ද වේවා, අනුරාධපුරය වේවා, දෙවුන්දර තුඩුව, කන්කසන්තුරේ, මෙම ස්ථාන පාර හින්දා නොවෙයි ඒ තැන් තියෙන්නේ, එතැන කොහොමත් තියෙනවා. අප කරන්නේ සිටින ස්ථානයේ සිට එම ස්ථානයට යන්න මාර්ගයක් සොයාගෙන ගමන් කිරීම. හරි පාරෙම ගියොත් ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදි එම ස්ථානයට එනවා. එසේ බැලූවිට ගමනාන්තය ස්වායත්තයි, ස්වාධීනයි එනම් ගමනාන්තය පාර මත රඳා පවතින්නේ නෑ. කිසිම ගමනාන්තයක් ඒ මාර්ගය මත රඳා පවතින්නේ නෑ, මාර්ගය තිබුණත් නැතත් ගමනාන්තය තියෙනවා. ඒ කියන්නේ ගමනාන්තය අසංඛත දෙයක් හදාගත්ත දෙයක් නෙවෙයි. තියෙන දෙයක්. මරණය ගැනත් එහෙම තමයි සිතන්නේ, මේ ජීවන ගමනේ අවසානයට ඔන්න මරණය මුණගැසෙනවා. එසේ නම් කරන්න දෙයක් නෑ, එසේ නම් කිසිදෙයක් කිරීමෙන් වැඩකුත් නෑ. පින් කිරීම තමා කරන්න තියෙන්නේ මැරුණාම හොඳ තැනකට යන්න. එහෙම නෙවෙයි හිතවතුනි, මාර්ගය නිසයි ගමනාන්තය හැදෙන්නේ. ඒ අදහස විප්ලවීය අදහසක්, ‘මාර්ගය නිසා ගමනාන්තය හැදෙනවා’. මාර්ගය සෑදෙන්නේ අප ගමන්කරන ආකාරය අනුව. ඒ මාර්ගයත් තියෙන මාර්ගයක් නොවෙයි, අප යන ආකාරය අනුව නිර්මාණයවන මාර්ගයක්. අප ගමන්කරන ආකාරය අනුව මාර්ගය නිර්මාණයවන අතර මාර්ගය අනුව ගමනාන්තය නිර්මාණය වේ. එසේනම්, මේ ජීවත්වෙන ආකාරය අනුව මරණය නිර්මාණය වනු ඇත. මරණය යනු අප සාදාගන්නා දෙයක්. දැනුත් සාදාගන්නවා, හෙටත් සාදාගනියි, අනිද්දාත් සාදාගනියි. මේ විදිහට ගියොත් හදාගෙන හදාගෙන ගිහිල්ලා තවත් තැනකදිත් හදයි.

එහෙම මරණය හදාගත්තාම එය ප්‍රශ්නයක්. මරණය ප්‍රශ්නයක් නේ, එවිට විසඳුමක් සොයනවා. ඒ විසඳුමක් සොයන්නේ මෙන්න මේ කාරණය නොදන්න නිසා. මොන කාරණයද “මරණය යනු අප විසින් සාදාගනු ලැබූ දෙයක් හෝ සාදාගනු ලබන දෙයක් මිස තිබෙන දෙයක් නොවේ” යන මේ ධර්මතාවය. සියලූම ප්‍රශ්නත් මේ ධර්මතාවයට යටත්. සෑම ප්‍රශ්නයක්ම අප සාදාගත්ත හෝ සාදාගන්න දේවල්. තිබෙන දේවල් නොවේ සාදාගන්න දේවල්. ඒ බව නොදන්න නිසා අප විසින් සාදාගෙන අප සිතනවා “මෙය තියෙන දෙයක්”, “අප හදාගත්ත දෙයක් නොවෙයි” කියා. හදාගන්න බව නොදන්න නිසා එය ප්‍රශ්නයක්. එයට විසඳුමක් සොයනවා. මරණය ඇතුළේ විසඳුමක් සොයනවා. මරණයට පත්වෙමින් විසඳුමක් සොයනවා. මරණය තුළ අරගලයක යෙදෙනවා. එය ප්‍රශ්නයක්. ගැටීමක් තියෙනවා, එය විසඳගන්න ඕනේ,  විසඳුමක් සොයනවා. එයින් එළියට එන්නේ ජාතියක්, උත්පත්තියක් විදිහට. ඔන්න පිළිතුර. මරණය ගැටලුවක් නම් පිළිතුර උත්පත්තිය. ඊලඟට ඒ පිළිතුර ආයේ ගැටලුවක්. ඒ ගැටලුවටත් ආයේ පිළිතුරු සොයනවා. ‘පුනප්පුනං’ කියන්නේ එයයි. හිතවතුනි මෙහෙම මේ ගමන යන විට හැම තැනක්ම හරි කාලකණ්නි. මරණයත් කාලකණ්නි දෙයක්, හරීම සුන්දර, සෞන්දර්යාත්මක, පිබිදුණු දෙයක් නොවෙයිනේ. ජිවිතය කාලකණ්නි, මුස්පේන්තු දෙයක් නම් මරණයත් කාලකණ්නියි, මුස්පේන්තුයි.  ජීවිතය ප්‍රශ්නයක් නම් මරණයත් ප්‍රශ්නයක් තමයි.

පින් කරලා තියෙනවා නම්, සදාචාරාත්මක ජීවිතයක් ගතකරනවා නම්,  ඒ සාධක ජීවිතයකට එකතු වුණොත් අන්න සුගති සම්පත් ලැබෙනවා. දිව්‍ය ලෝකයේ ඉපදුණා කියා සිතමු, ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණා. එතකොට මේ ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, ඉන්ධන ප්‍රශ්න, විදුලිය කැපීමේ ප්‍රශ්න නෑ. හැබැයි අර මුස්පේන්තුකමයි කාලකණ්නිකමයි එහෙමම තියෙනවා, මොකද ඒවා හිතන විදිහ. ඒවා නැතිවෙන්නේ නෑ. ඒ දෙක පරිසරයේ තිබෙන දේවල් නොවේ. ඒ නිසයි පැවසුවේ ගමේ සිටියත්, නගරයේ සිටියත්, යුරෝපයේ, ඇමරිකාවේ සිටියත්, තාවකාලිකව ප්‍රබෝධයක් ලැබූවත් දීර්ඝ කාලීන වශයෙන් බැලුවාම ඒ හැම දෙනාම කතා කරන්නේ ප්‍රශ්න ගැන. කල්පනා කරලා බලන්න ගමේ ප්‍රශ්නයකට නගරයකට යනවා, නගරයේ ප්‍රශ්නයකට ඊට වඩා සංවර්ධිත නගරයකට යනවා, ඒ නගරයේ ප්‍රශ්න නිසා අගනුවරට යනවා, අගනුවර ප්‍රශ්න නිසා සමහරු ගමට එනවා, සමහරු වෙන රටකට යනවා, හැබැයි හැමෝම ප්‍රශ්න ගැනම තමා කතා කරන්නේ. ප්‍රශ්නයක් ගැන කතා නොකරන කෙනෙකු හරි අමාරුයි සොයාගන්න. නිශ්ශබ්දව ඉන්න පුළුවන් හැබැයි ඒ අය කතා කරන්න පටන් ගත්තාම ප්‍රශ්න තමයි කථා කරන්නේ. නිශ්ශබ්දව සිටියත් සිත කථා කරන්නේ ප්‍රශ්න ගැන. ‘විතක්ක, විචාර’ තියෙනවා. විතක්ක කියන්නේ ප්‍රශ්න ගැන කල්පනා කරනවා, විචාර කියන්නේ උත්තර සොයනවා. ඔය දෙකින් එකක හෝ දෙකේම තමා ඉන්නේ. සුගතියට, ස්වර්ගයට ගියත් ප්‍රශ්න මැද කාලකණ්නි, මුස්පේන්තු ජීවිත තමා ගත කරන්න වෙන්නේ සහ ගත කරන්නේ. ඕනෑම ආගමක දේව කථා කියවා බලන්න මේ කාරණය පේනවා.

මේ නිසා හිතවතුනි, විචාර බුද්ධිය ඇති කරගන්න අවශ්‍යයයි. දහමේ අවධාරණය කරන මූලික කාරණය සිහිබුද්ධිය. අනෙකුත් කාරණා බොහොම ප්‍රාථමික කාරණා. නමුත් ඒ මූලික කාරණය යටපත් වී ප්‍රාථමික කාරණා ඉස්මතු වී ඒ ගන්න තියෙන ප්‍රයෝජනය ගැනෙන්නේ නෑ. ඒ නිසා ඇයි මෙහෙම වෙන්නේ කියලා සිතෙනවා. ඇයි හැමෝම ප්‍රශ්න ගැනම කථා කරන්නේ? ඒ අය ප්‍රශ්නයක් විසඳාගන්න තමයි රස්සාව වෙනස් කළේ, පදිංචිය වෙනස් කළේ, ඇඳුම වෙනස් කළේ, විවාහ වුණේ, විවාහනම් දික්කසාද වුණේ, පැවිදි වුණේ, පැවිදිනම් උපැවිදි වුණේ ඒ සියල්ල කළේ ප්‍රශ්න විසඳාගන්න. එනමුත් කථා කරන්නෙම ප්‍රශ්න ගැන, ඇයි මේ? මෙන්න මේ මූලික මානව චර්යාව එක්තරා විදිහක රෝගයක්. මේ රෝගයට බෙහෙත තමා සිහිබුද්ධිය. ඒ නිසා මේ කාරණය ඉස්මතුකරගෙන කිසියම් අවධිමත් බවක් ඇති කිරීමයි මේ සදහම් සැඳෑවේ පළමු අදියරේ අරමුණ වූයේ. ඒ අරමුණ කොයිතරම් දුරට ඉටුවුණාද, සාර්ථකද, අසාර්ථකද, විනිශ්චය කිරීම අපට අවශ්‍ය දෙයක් නොවෙයි. අද එය කරන්න පුළුවන් දෙයකුත් නොවෙයි.

සිහිබුද්ධිය පිළිබඳව කියන්න තියෙන සියල්ල කියා අවසාන නිසා නොවේ මේ සමාප්තියට පැමිණියේ. ඕනෑම මාතෘකාවක් ගැන කියලා ඉවර කරන්න බෑ, අචින්ත්‍යයයි. ලෝක විෂය අචින්ත්‍යයයි කියන්නේ ඔය හැම මාතෘකාවක්ම අචින්ත්‍යයයි. “කිසියම් මාතෘකාවක් පිළිබඳව දැනගන්න තියෙන සියල්ල දැනගත්තා, ආයේ දැනගන්න දෙයක් නෑ” කියන්න බෑ, එහි ඉවරයක් නෑ. “දැනගන්න ඕන ටික දැනගත්තා” කියලා කියන්න පුළුවන්. දැනගන්න ඕන ටික අපට පුළුවන් ආකාරට කියන්න උත්සාහ කළා, බෙදා ගත්තා. පළමු අදියර වන මෙය අප නම් කළේ ‘සිහිබුද්ධියට හෝරාවක්’ නමින්. ලබන සතියේ සිට සදහම් සැඳෑවේ දෙවන අදියර ‘නැණ දසුනට තත්පරයක්’ ලෙසින් ආරම්භ කරන බව හැමෝම දැනුවත් ඇති. ලබන සතියේ සිට “සිහිබුද්ධියට හෝරාවකින් නැණ දසුනට තත්පරයක්” කියන සංක්‍රාන්තිය තමයි සිදුවන්නේ.

හොඳයි ආදරණීය හිතවතුනී , මේ කථාකළ කාරණා ගැනයි, මෙතෙක් ආ ගමන ගැනයි, විචාරශීලීව යමක් ප්‍රශ්න කරන්න තියෙනවානම්  සහ මේ කථා කළ කාරණා වලින් කථා නොකළ කිසියම් දැක්මක් ඇතිවුණා නම් ඒ ගැන විවෘත වෙන්න පුළුවන්. ඒ ගැන සුහද සංවාදයක යෙදෙමු මේ සමාප්ති වැඩසටහනේ. කියන්න දේ තිබේ නම් කියන්න, නොතිබේ නම් නිහඬ වෙමු. නිශ්ශබ්දතාවයත් හොඳ සන්නිවේදනයක්. විවෘත වෙන්න යමක් තිබේනම් විවෘත වෙමු.


සාකච්ඡාව 

ප්‍ර : ඔබතුමා අද දේශනයේ සඳහන් කලා තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනය සම්පූර්ණ වශයෙන් කේන්ද්‍රගත වෙලා තියෙන්නේ සිහිබුද්ධිය, ඒ සඳහා ඇති ක්‍රියාකාරකම් සහ සිහිබුද්ධිය ප්‍රයෝජනයට යොදවන ආකාරය ගැන කියා. එයට අමතරව ඒ හා සමානව වැදගත් වෙන තවත් යම් දහම් කරුණක් තියෙනවද?

පි : දැන් ඕනෑම කාරණයකට චක්‍රයකට කේන්ද්‍ර දෙකක් තුනක් තියෙන්න බෑ, කේන්ද්‍ර එකයි තියෙන්නෙ. හැබැයි පරිධියේ නම් අංශකයෙන් අංශකය ගත්තොත් 360 තියෙන්න පුළුවන්. කේන්ද්‍රය තමයි සිහිබුද්ධිය. අපේ ශාස්තෘන් වහන්සේ තමන් වහන්සේව හඳුන්වා ගත්තේ “බුද්ධ” කියා. සිහිබුද්ධියේ පරිණාමයේ උපරිම ස්වභාවය තමයි “බුද්ධ” ස්වභාවය. පරිණාමය පටන් ගන්නෙ සිහිබුද්ධියෙන්, ඒ සිහිබුද්ධිය පරිණාමය වෙලා සම්මා සම්බුද්ධත්වය කියන ස්වභාවය දක්වාම පරිණාමය වෙනවා.

පරිධිය ගත්තොත් බොහෝ කාරණා තියෙනවා. කල්‍යාණ මිත්‍රත්වය, සිහිබුද්ධිය කේන්ද්‍ර වන කල්‍යාණ මිත්‍රත්වයක්,  එය අත්‍යවශ්‍ය කාරණයක්. ඉන් අදහස් කරන්නේ බුදුන් වහන්සේව ( හෝො කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙකුව) කිට්ටුවෙන් ඇසුරු කරන්නට පුළුවන්. නමුත් ඒ ඇසුරු කරන කෙනා සිහිබුද්ධියෙන් නොවේ නම් බුදුන් වහන්සේව ඇසුරු කරන්නේ එයාට ප්‍රයෝජනයක් නෑ. මේ කාරණය සඞ්ඝාටිකණ්ණ (=සිවුරු කොන) සූත්‍රයේ සඳහන් වෙනවා. මේ සූත්‍රයේ කෙටියි, නමුත් ඒ තුළ මුළු පණිවිඩයම තියෙනවා. එහි අන්තර්ගතය වෙන්නේ කවුරුන් හෝ බුදුන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන උන්වහන්සේ යන යන තැන යන්න පුළුවන්. හැබැයි ඒ කෙනා සිහිබුද්ධියෙන් තොරව නම් ඉන්නේ එයා බුදුන්වහන්සේට ගව් ගානක් ඈතින් ඉන්නේ ( සිහිබුද්ධිය පමණක් නොවෙයි තව කාරණා තියෙනවා,අවුල් වූ මනසකින්, කාමවස්තූන් වලින් මුසපත් වූ සිතකින්… නමුත් කේන්ද්‍රය තමයි සිහිබුද්ධිය). පිටින් බලන කෙනෙකුට පේනවා බුදුන් වහන්සේට ළඟින්ම ඉන්නවා කියා. හැබැයි ඒ තැනැත්තා තමන් වහන්සේට ගව් ගානක් ඈතින් ඉන්නේ, බුදුන් වහන්සේත් ඒ තැනැත්තාට ගව් ගානක් ඈතින් ඉන්නේ. ඊලගට කවුරු හරි කෙනෙක් සිහිබුද්ධියෙන් ඉන්නවනම් ( සහ කාම වස්තුන් ට මුසපත් නොවී ඉන්නවනම්, වීර්යයෙන් ඉන්නවනම් ආදී අනෙකුත් කාරණා තියෙනවා) භෞතිකව ඉන්නේ ගව් ගණනක්ද නැද්ද කියන කාරණය වැදගත් නෑ, ඒ තැනැත්තා බුදුන් වහන්සේට හරිම ළඟින් ඉන්නේ, බුදුන් වහන්සේත් ඒ තැනැත්තාට ඉතාම ළඟින් ඉන්නේ. ඒ අවකාශය පැත්තෙන්. කාලය පැත්තෙනුත් එහෙමයි. අද අප හිතනවා බුදුන් වහන්සේට අවුරුදු දෙදහස් හයසියයක් ඈතින් ඉන්නේ කියලා. නමුත් අදත් කවුරුහරි සිහිබුද්ධියෙන් ඉන්නවා නම් උන්වහන්සේට ළඟින් ඉන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍ය කාරණයක් නමුත් ඒ කල්‍යාණ මිත්‍රයාව අපි සිහිබුද්ධියෙන් නොවේ නම් ඇසුරු කරන්නේ අපට මොනවද ලැබෙන ප්‍රයෝජනය?. කල්‍යාණ මිත්‍රයාගේ ආධ්‍යාත්මික ශාන්තිය නිසා අපත් සන්සුන් වෙනවා, ඉන් එහා ප්‍රයෝජනයක් නෑ අපට, එතුමන්ගේ ස්වභාවයට පත් වෙන්න බෑ. ඒ නිසා සිහිබුද්ධියෙන් හිටියොත් තමයි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. මෙ කාරණය තමයි සිවුරු කොන සූත්‍රයෙන් අවධාරණය කළේ.

යෝනිසෝ මනසිකාරයත් වැදගත් කාරණයක්. ධර්ම ශ්‍රවණය කරද්දී යෝනිසෝමනසිකාරයෙන් කරන්න ඕන. එසේ නොමැතිව ඇහුවේ ධර්මය වුණත් බණ ඇහුවට සම්මා දිට්ඨියක් ඇති වෙන්නේ නෑ.

වීරියත් වැදගත්. විරිය නැත්නම් යෝනිසෝමනසිකාරයක් පවතින්නෙ නෑ දිගටම. මේ වීරිය කියන කාරණයට අප දෙන්නේ පටු අර්ථයක්, පටු ප්‍රයෝජනයක්. මොන සිතිවිල්ල ආවත් මොන වේදනාව ආවත් එකම ඉරියව්වක ඉඳගෙන සිටීම නොවේ වීරිය කියන්නේ, එය වීරියේ ප්‍රාථමිකම ප්‍රයෝජනය. වීරිය එයට වඩා ගැඹුරු දෙයක්. කුසලය ඇතිකරගන්න ගන්න විරිය. පළවෙනිම කුසලය තමයි සිහිබුද්ධිය ඇති කරගන්න ගන්න වීරිය. ඇතිකරගත්ත සිහිබුද්ධිය පවත්වාගෙන යන්නත් වීරිය ඕන.

මේ සඳහන් කළ කාරණා ( කල්‍යාණ මිත්‍ර සේවනය, යෝනිසෝ මනසිකාරය, වීරිය) එකිනෙකට උපකාර වෙනවා. මේ කාරණාවලින් කිසියම් උපකාරයක් ගන්න නම් කිසියම් සිහිබුද්ධියක් තියෙන්න ඕන. බුදුන් වහන්සේගෙන් හරි උපකාරයක් ගන්න පුළුවන් වෙන්නේ සිහිබුද්ධිය තිබුණොත් පමණයි. උන් වහන්සේට ළඟින්ම හිටිය අය, උන් වහන්සේව මුණ ගැසුණු අය කතා කළ අය කොපමණ ඉන්න ඇත්ද?. නමුත් සැබෑ ම ප්‍රයෝජනය ගත්තේ සිහිබුද්ධිය තිබුණු අය පමණයි. 


ප්‍ර : බුද්ධ කාලයට වඩා වර්තමානයේ ආගමක් විදියට බොහෝ කටයුතු කරනවා. නමුත් ඉන් ඵල ප්‍රයෝජන නෑ කියලා තමයි කියන්නේ. මෙයට හේතුව සිහි බුද්ධියෙන් තොරව ඒ දේවල් කරන නිසාද?

පි : ඔව්, ඒ හේතුව තමයි. මෙතන තියෙන්නේ මාර්ගයක්. එතකොට අප ගමනක් යන්න ඕන. නමුත් කරන්නේ ගමන යාම පැත්තකින් තියා ඒ ගැන කතා කිරීම, ගමන ගැන, පාර ගැන, පටන් ගන්න තැන ගැන, ඉවර වෙන ගමනාන්තය ගැන කතා කරනවා. බොහෝ වැඩමුළු වල වෙන්නෙ ඔය ටික කතා කිරීම පමණයි, ගමනක් යන්නේ නෑ. සියලු කතා කිරීම් වලින් එන්න ඕන අප ඉන්නෙ කොතැනද, යන්න ඕන කොතනටද, කොහොමද එතනට යන්නේ . ඒ භාවිතය නෑ. භාවිතයක් නැති න්‍යායන් තමයි තියෙන්නේ. න්‍යායක් සොයාගන්නවා, ඒ හොයාගන්න න්‍යායන් සංකල්ප විදිහට ගේනවා, ගෙනවිත් ඒ පිළිබඳ පර්යේෂණ කර ඔප්පු කිරීම් කරනවා අලුත් සොයාගැනීමක් විදිහට, ඒවා ඉදිරිපත් කරනවා. කෙසේ හෝ න්‍යායක් පමණයි භාවිතයක් නෑ. කොපමණ බෙහෙත් ගැන කතා කළත් ඒවා ගන්නේ නැත්නම් හොඳ වෙන්නේ නෑ. මෙතන අපට හොඳ කරගන්න ලෙඩක්  තියෙනවා. ලෙඩේ හැදිලා තියෙන්නේ රටට ගමට සමාජයට පවුලට නෙවෙයි තමන්ට. ඉතින් තමන්ට හැදිලා තියෙන ලෙඩ ගැන සම්මන්ත්‍රණ තියලා වැඩක් නෑ, කළ යුත්තේ “තමන් බෙහෙත් ගැනීමයි”. නමුත් කෙරන්නෙ බෙහෙත් ගැනීම පැත්තකින් තබා සම්මන්ත්‍රණ තියෙනවා, වැඩමුළු තියෙනවා, දේශනා කරනවා, පොත් ලියනවා, තව ලෙඩ්ඩු එක්ක එකතු වෙලා වාද තර්ක කරනවා. මේ ටික කරන්නට එපා කියපු ටිකක්. අලගද්දූපම සුත්‍රයේ වැදගත් කාරණා බොහොමයක් සඳහන් වෙනවා. (කවුරුත් දන්න එක වැදගත් කාරණයක් තමයි දහම කියන්නේ පහුරක් එතෙර වීම සඳහා, අල්ලගන්න නොවෙයි කියන කාරණය) ඒ සූත්‍රයේ සදහන් වෙන වැදගත් කාරණයක් තමයි සම්මන්ත්‍රණ තිබීම, සාකච්ඡා කිරීම, වාද කිරීම, තර්ක කිරීම, මෙය තමයි හොඳම දහම කියා ඔප්පු කිරීම, කටපාඩම් කිරීම, මේ සියල්ල එපා කියූ දේවල්. ඒ සදහා දහම භාවිතා කරනවාද ඒ කෙනා සර්පයාගෙ වලිගෙන් අල්ලගත්තා වගේ කියනවා. එය තමාටම අහිතකර විපාක දෙනවා. එහෙම බැලුවොත් මේ වැඩසටහන් පවා වැඩිය කළ යුතු දෙවල් නොවේ. මේ කාලයත් භාවිතය සඳහා යොදා ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඉතින් දහම තියෙන්නෙ න්‍යායන් ඔප්පු කරන්න නෙවෙයි, භාවිතා කරන්න. සිහිබුද්ධිය තමයි මේ දෙක වෙන් කරලා දෙන්නේ. සිහිබුද්ධිය නැත්නම් භාවිතයට නොවෙයි න්‍යායන් පැත්තට තමයි යන්නේ. සසර කෙටි කරගන්න පුළුවන් වෙන්නේ නියායන් කතා කරලා නොවෙයි භාවිතයෙන් පමණයි. 

ප්‍ර : අපිට සාම්ප්‍රදායිකව ප්‍රශ්න-උත්තර කියන ගමන් මාර්ගයෙන් ඉවත් වෙන්නත්, ඉන් ඉවත් වෙලා දහම් මාර්ගයට අවතීර්ණ වෙන්නත් ඒ මාර්ගය ප්‍රශ්න කරන්නත් පරීක්ෂණය කරන්න යන දෙකටම උදව් වෙන්නේ සිහිබුද්ධිය නේද? 

පි : මේ විදියට ඉන්න තුරු තියෙන්නේ හැදෙන්නේ මරණයම තමයි. මොනවා හරි ප්‍රශ්නයක් කියලා හදාගන්නෙ මරණය, මොකද විසඳුමක් හොයනවා. ප්‍රශ්නය වර්තමානයේ විසඳුම අනාගතයේ. ඒ නිසයි එය මරණය හා උත්පත්තිය විදිහට සඳහන් කළේ. විසඳගන්න නම් අනාගතයේ අප ඉන්න ඕන. අපට අද ප්‍රශ්නයක් තියෙනවා, එය හෙට හෝ ලබන සතියේ හෝ ලබන වසරේ විසඳාගන්න බලනවා. එහෙම සිතන සිතිවිල්ල එක්කම අප ඊළඟ සතිය අවුරුද්ද දක්වාම ප්‍රක්ෂේපණය කරනවා එහාට. ඉතින් මේ විදියට හිටියාම අන්තිම මොහොතේත් ඔය සංසිද්ධිය ම තමා සිද්ධ වෙන්නේ. ඒ මොහොතේ හිත ප්‍රක්ෂේපණයක් කරනවා.  ඒ මොහොතේ ප්‍රශ්නයට පිළිතුරක් අනාගතයට ප්‍රක්ෂේපණයක් කරනවා. ඒ පිළිතුර හොයාගෙන ඒ ප්‍රක්ෂේපණය දිගේ ගමන් කරනවා. ඒ තමා චුති-පටිසන්ධි සංසිද්ධිය.

මුලින්ම කරන්න තියෙන්නේ මේ කාරණය තේරුම් ගැනීමක්. ඒ තේරුම් ගැනීම තුළ පේනවා මෙහෙම තමයි වෙන්නේ කියා. හැබැයි ඒ “වීම” නවතින්නේ නෑ තේරුම් ගත්තා කියා. සිහිබුද්ධියෙ කිසියම් මට්ටමක් ඕන වෙනවා මේ වෙන දේ තේරුම් ගන්න. නමුත් ඒ මට්ටම මදි සිදුනොවීම සඳහා. සිදුවීම දැක්ක ගමන් නවතිනවා නම් මාර්ගයක් අවශ්‍ය නෑ, දැකීම පමණයි ඕන. නමුත් දැක්ක පමණින් නවතින්නේ නෑ. දැක්ක පමණින් නවතිනවා කියලා හිතන අයත් ඉන්නවා. එහෙම වෙනවා නම් මාර්ගයක් ඕන වෙන්නේ නෑ. හතර වන සත්‍යය ( මාර්ග සත්‍යය) අවශ්‍ය වෙන්නේ නෑ. දැකීම ප්‍රමාණවත් නැහැ කියන්නේ, සිහිබුද්ධියට මෙහෙම තමයි වෙන්නේ කියලා පේනවා, ඒ මට්ටමේ සිහිබුද්ධියෙන් වෙන්නේ විසි කැත්තකින් තණකොළ කපනව වගේ වැඩක්. එයින් කැපෙන්නේ උසම තණකොළ ටික පමණයි. එය අවශ්‍යයි. නැත්නම් අත ගහන්න බෑ. ඉන් පස්සෙ මාර්ගය. එතන ගමනක් යන්න තියෙනවා. එතකොට ඒ පාරෙ යන්නෙත් සිහිබුද්ධියෙන්ම තමයි. මේ ගමන වාහනයක නැගලා යනවා වගේ යන්න බෑ, මොකද මෙතන වාහනයක් නෑ, තියෙන්නේ පාරක් පමණයි. එනිසා හැම පියවරෙන් පියවරටම විමසිලිමත් වෙන්න සොයා බලන්න වෙනවා මාර්ගය හරිද කියා. අපටම ඒ ප්‍රශ්නය අපෙන්ම අහන්න වෙනවා, වටපිට බලලා අපට තීරණය කරන්න වෙනවා සහ තවත් කෙනෙකුගෙන් අහන්න වෙන අවස්ථා තියෙනවා. මේ උදව් තුනම ඕන. අපි පටන් ගත්ත තැන සහ දැන් ඉන්න තැනයි බලලා අප ඉස්සරහට ද යන්නේ කියලා තීරණය කරන්න පුළුවන්, ඒ පළවෙනි ක්‍රමය.දෙවෙනි ක්‍රමය වටපිට බලලා පාර හරිද කියලා බලන්න පුළුවන්. තුන්වන කාරණය සමහර තැන් තියනවා අපට පටලැවෙන තැන්, එවිට ඉස්සරහින් ඉන්න කෙනෙකුගෙන් අහන්නත් වෙනවා. හැබැයි මේ ක්‍රම තුනම කරන්න පුළුවන් වෙන්නේ සිහිබුද්ධිය තිබුණොත් පමණයි. සිහිබුද්ධියෙන් තොරව ප්‍රත්‍යවෙක්ෂාවක් හෝ ආවර්ජනයක් කරන්නත් බෑ, වටපිට බලලා තීරණයක් ගන්නත් බෑ, තව කෙනෙකුගෙන් ඇහුවත් සමහරවිට අප ආපස්සට යන කෙනෙක්ගෙන් පහර අහනවා වෙන්නත් පුළුවන්, මේ මාර්ගයේ යන්න ඕන නැති කෙනෙක් ගෙන් අහනවා වෙන්නත් පුළුවන්, නැත්නම් යම් දුරක් ගිහින් නැවතිලා ඉන්න කෙනෙකු මෙන් අහනවා වෙන්නත් පුළුවන්. මේ තුන්දෙනාගෙන්ම ඇහුවොත් වරදින්න තියෙන ඉඩ වැඩියි. මේ පාරේ කිසියම් දුරකට යනකම් ආපසු යන්න පුළුවන්, ආපසු වැටෙන්න පුළුවන්. ඉතින් අප තාම ආපසු නොවැටෙන තැනකට ඇවිත් නැතුව ඇති. මේ තුන් දෙනා හඳුනාගෙන ඒ අයගෙන් පාර නොඇසිය යුතුයි. මේ තුන් දෙනා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සිහිබූද්ධියටම පමණයි.

ප්‍ර : මරණය ගැන අපිට අත්දැකීමක් නෑ එතකොට කොහොමද අපි මේ මරණය කියන දුක්ඛ ආර්ය සත්‍යයේ කොටස මොන වගේ දෙයක්ද කියලා පිරිසිද දැන ගන්නේ?

පි : මරණය පැත්තකින් තියමු. ඉපදීම දුකයි කියා කොහොමද පිරිසිදු දැනගන්නේ?. එය උපදින වෙලාවේ දැනගන්න ඕන කාරණයක් ද ඉපදුණාට පසු දැනගන්න ඕන කාරණයක් ද?. මෙතන ඔබතුමා සඳහන් කළා වගේ අත්දැකීමම නොවේ වැදගත් වෙන්නේ කිසියම් විමර්ශනයක ප්‍රතිඵලයක්. ඒ විමර්ශනය, මරණය ගත්තොත්, මරණය සැපයි කියන්නේ බොහොම ටික දෙනයි, ජීවිතේට වෛර කරන කෙනෙකු පමණයි කියන්නේ. මරණය දුකක් කියා තමයි කියන්නේ. මේ කාරණ කිසියම් මට්ටමකට තේරෙන්නේ මරණයට පත්වෙන අයව නිරීක්ෂණය කිරීමෙන්, අනුන් තුළින්. එහෙම බලලා කිසියම් අනුමානයකට ඉන්න පුළුවන්. ඒ අනුමාන ඥාණයක්. 

ඊළඟ කාරණය මැරෙනවා කියන සිතිවිල්ල එනකොට එන තිගැස්ම, නළා හඬක් නිසා, බඩගින්නෙ දිගට ඉන්නකොට ඇතිවෙන බය, ඒ තුළින් එන්නේ මරණ බිය. එතකොට ඒ හැමතිගැස්මක් එක්කම එන මරණ බිය දකින්න. ඒ බයට වෙන වෙන නම් දීලා වහන්න එපා. ඒ හැම දෙයක්ම මරණ බයට සම්බන්ධයි. එතකොට තේරෙනවා මරණ මොන තරම් දුකක්ද කියා. හැම බයක්ම මරණ බය පෙරටු කරගෙන එන්නෙ, මතු වෙන්නේ මරණ බියෙන්. ඒවා මරණ බියේ එක එක මුහුණුවර වල්. මේ විදිහට මරණය අප තුලින් දකින්න. බය යම්තාක් තියෙනවද ඒතාක් දුක තියෙනවා. දුකක් තියාගෙන සැපක් විදින්න බෑ. මේ අප විඳින්නේ බොරු සැපක්. සැබෑ සතුට ප්‍රමෝදය උපදින්නේ බිය නැති තැනින්. ඉතින් මේ මරණ බිය තියෙන තුරු අපි ඇත්ත සතුට කියන්නෙ මොකක්ද කියල දන්නෙවත් නැතුව ඇති. ජීවිතය යම්තාක් කල් අල්ලාගෙන ඉන්නවා ද ඒ තාක් කල් මරණ බිය තියෙනවා, ඒ තාක් කල් දුක තියෙනවා.


හිතවතුනි, අපිට ලස්සන ගමනක් එන්න පුළුවන් වුණා. ඒ ගමනේ සුන්දර තැන් සාමූහිකව අත්දකින්න ලැබුනා. ඒ වේගය ජවය මේ වැඩසටහන් මාලාව අවසන් වුණත් තව කාලයක් තියෙයි. අපේ මේ ගමන නිමා කර ගන්න සිහිබුද්ධියට හෝරාවක් වැඩසටහන් මාලාවෙන් ලැබූ ජවය උදව් වෙයි, උදවු කර ගනිමු. අද වැඩසටහනින් සදහම්  සැඳෑව සිහිබුද්ධියට හෝරාවක් පලවෙනි අදියරේ සමාප්තියට එමු. ලබන සතියේ සිට නැණ දසුනට තත්පරයක් වැඩසටහනින් නැවත එකතු වීමේ චේතනාවෙන්.

හැම දෙනාටම තෙරුවන් සරණයි !