සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 35

2022 ජූනි 22 සාරාංශය

කළ්‍යාණ මිත්‍රයනි, “සතුටින් සිටියාද? සැනසිල්ලෙන් සිටියාද? සැහැල්ලුවෙන් සිටියාද?” කියා ඇසීම ම ලොකු අසාධාරණයක්. විශේෂයෙන් කැලේකට වෙලා සිටින කෙනෙකු, නගරවල ජීවත්වන මේ කළ්‍යාණ මිත්‍රයන්ගෙන් එසේ ඇසීම විශාල අසාධාරණයක්. විශේෂයෙන් මෙවන් දරිද්‍රත්වයෙන් බැටකන ලාංකීය සමාජයේ ජීවත්වන හිතවතුන්ගෙන් ඒ විමසීම කිරීම ම විශාල අසාධාරණයක්. ඒ නිසා අසන්නේ නෑ “සතුටින් හිටියාද?, සැනසිල්ලෙන් සිටියාද?” කියා. බලන්න හිතවතුනි කෙනෙක් මුණගැසුනාම ආගිය තොරතුරු කතා කිරීමත් මොනතරම් සීමා වෙනවාද? සිතාමතා සිහිබුද්ධියෙන් ම ප්‍රශ්න අසන්නට වෙනවද? ඇහෙන, පෙනෙන හා දැනෙන කාරණා, සිදුවීම් වලින් හොඳටම පේනවා මොනතරම් පීඩනයකද වර්තමාන සමාජය, විශේෂයෙන් නාගරික සමාජය මිරිකිලා තියෙන්නේ. හරිම අනුවේදනීයයි.

එක් පැත්තකින් හිමිව තිබු අත්‍යාවශ්‍යම දේවල් අහිමිවීම, (අහිමිවීම පිළිබඳව පසුගිය සතියේ අවධානය යොමුකළා), ඒ හිමිව තිබු සේවාවන්, අහිමිවීම නිසා ඇතිවන කායික අපහසුතා බරපතලයි. ඊලඟට, ඒ වෙනුවට විකල්ප මොනවාද කියා සිතන්න මනසට භාරදුන්නාම මනස පත්වන අර්බුදය. වර්තමාන වශයෙන් එක් කායික අර්බුදයක් තමා, මේ ජීවත්වෙන්න තිබුණු අත්‍යාවශ්‍යම කියා කවුරුත් පිළිගත් සේවාවන් අඩුවීම හා අහිමිවීම නිසා කායිකව දැනෙන අපහසුතා. ඊලඟට ඒ අහිමිවීම පිළිබඳ ගැටලුව විසඳාගන්නේ කොහොමද කියා විසඳුම් සොයන්න භාරදෙන මනස පත්වන ආතතිය සහ අසරණ බව. එමෙන්ම විකල්ප සොයාගෙන යන්න නැවත ශරීරයට තමා දුක් විඳින්න වෙන්නේ. ශරිරය දෙවතාවක්  දුක් විඳිනවා. මේ කාරණය හොඳට පේනවා උදාහරණ අවශ්‍ය නෑ. නැතිකම නිසා දුක් විඳිනවා. විකල්ප සොයාගෙන පාරවල් ගානේ සිටගෙන ඉන්න වුණාම විඳින්න වෙන දුක. ඊලඟට මේගැන සිතන විට, විසඳීම් සොයන්න මනසට භාරදුන්නාම ඒ මනස මොනතරම් අසරණ වෙනවාද? පීඩනයකට පත්වෙනවාද? ආතතියකට ලක්වෙනවා

මෙය මෙතනින් ඉවර වෙන්නේ නෑනේ. ඊලඟට ඉස්සර තිබුණා, අහිමිවන්නේ කලින් හිමිව තිබුණු දේනේ. කලින් හිමිව තිබු ඒ අතීතය ගැන සිතන විට ඇතිවන පසුතැවිල්ල, සතුටට වඩා වැඩියෙන් දැනෙන්නේ පසුතැවිල්ල. තිබිලා නැති කරගත්තා වගේ හැඟීමක්. මුලිනුත් තිබුණේ නැත්නම් පසු තැවෙන්න හේතුවක් නෑ. නමුත් තිබී විහින් නැති කරගත්තා වැනි හැඟීමක් නිසා අතීතය මතක් වෙනවිට පසුතැවීමක් ඇතිවෙනවා. එයත් මානසිකව විඳිනවා.

ඊලඟට තමන්ගේ සහ තමන්ගේ වගකීම යටතේ සිටින්නන්ගේ අනාගතය ගැන සිතන විට ඇතිවන භීතිකාව. දරුණුම තැන එතනයි. ඔය මුල් පීඩන දෙක තුනට වඩා දරුණුම දේ හෙට දවස ගැන සිතන විට ඇතිවන ඒ බිය, කාන්සාව. මොන වචනෙන් කිව්වත් ඒ වචනවලට වැඩියි දුක. බිය කියන වචනේ හරි සරලයි, අකුරු දෙකයි. නමුත් එයින් ඇතිවන අත්දැකීම බොහොම දරුණුයි. අතීතය පැත්තෙනුත් පසුතැවීමක්, අනාගතය පැත්තෙනුත් ලොකු බය මුල්කරගත් අසහනයක්, අවිනිශ්චිතතාවයක්, මෙසේ වර්තමාන වශයෙන් අංශ තුනකින් විඳිනවා. නැතිකමේ ප්‍රශ්නෙයි, ඒ ගැන විකල්ප සොයන්න ගියාම සිතට ඇතිවන ප්‍රශ්නෙයි සහ ඒ විකල්ප සොයාගෙන කරන්න ගියාම කායිකව විඳින්න වෙන දුකයි.

මේ විදිහට බැලුවාම හිතවතුනි “මොකටද ජීවත් වෙන්නේ” කියා සිතෙන්න පුළුවන්. “මේ සියල්ල විඳිමින් මොකටද ජීවත් වෙන්නේ”, එහෙම සිතුනත් එහි අසාධාරණයක් නෑ. ඒක වැරදියි, වරදක් තියෙනවා නමුත් අසාධාරණයක් නෑ, එහෙම සිතුනාට. මොකද මේ කය, සිත, ජීවිතය ඒ මට්ටමට පුහුණුකර නෑනේ එහෙම දරාගන්න. අතීත පැත්තෙන්, වර්තමාන පැත්තෙන්, අනාගත පැත්තෙන් මේ තුන්කාලේ පැත්තෙන්ම, මෙබඳු පීඩනයන්, අහිමිවීම්, හිඟවීම්, නැතිවීම් සහ කවදා විසඳෙයි ද, කවදා ලැබෙයි ද, කිසිම වගකීමක් සහතිකයක් නැති එබඳු පීඩනයක්, දරාගන්න ජීවිතය පුහුණු වී නෑනේ, පුහුණු කරලත් නෑනේ. ඒ නිසා එතනදි ඍණ සිතුවිලි ඇතිවීම් සාධාරණයි‍, හරි කියනවා නෙවෙයි, වැරදියි, නමුත් සාධාරණයි, හේතු තිබෙනවා. මේ තත්වය ගැන කතා කරන කතා කරන හැමදෙනාම කියන්නේ ඔය කාරණා තමා. මොන කාරණය කතා කලත්, සමහර විට වෙන කාරණයක් වෙන ගැටලුවක් කතා කරන්න එන කෙනෙකු වුණත්, දුරකථනයෙන් කතා කලත් ඒ කාරණය (කියන්න හැදු කාරණය) පටන් ගන්නෙම ඔතනින්. බොහෝවිට අර මුල් මාතෘකාව පටන් ගත්තත් තත්පර දෙක තුනකින් ඔතෙන්ට එනවා. එතෙන්ට ආවට පස්සේ පිපිරෙන්න පටන්ගන්නවා. අර ඇතුළේ තියෙන පීඩනය සමහරවිට අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන්ට පෙන්නන්න බෑ. මේ පීඩනය දරුවන්ට දෙන්න බෑනේ. 

මේ සියල්ල ගැන මට අහගෙන ඉන්න තමා වෙන්නේ, අහගෙන ඉඳලා ඉඩක් ලැබුණාම නැවත අර මූලික අවශ්‍යතාවය තිබුණානේ කතා කරන්න, හමුවෙන්න එන්න, ඒ කාරණයට ගෙනියනවා නැවත මතක් කරලා. එතන වැඩි වේලාවක් ඉන්න බෑ නැවත මෙතනට එනවා. ඒ ගැන සිතනවිට කොහොම නින්ද යනවාද? ඇත්තටම නින්ද යනවාද? කම්පා නොවී ඉන්න අමාරුයි.

මෙහෙම ප්‍රශ්න කවදත් තියෙන්න ඇති වරින් වර, අපේ ජීවිත කාලවලත් අර්බුද තිබුණා, මහා පරිමාණ අර්බුද. සමහරවිට ඉතිහාසයෙත් තියෙන්න ඇති, වෙන භූගෝලීය කලාපවල තියෙනවා, තියෙන්න ඇති. එය ඇත්ත, මේවාට පෞද්ගලික විසඳුම් වුණත් සොයාගන්න පුළුවනි. එතෙන්ටනේ ඇවිත් තියෙන්නේ,

 ‘තම තමා විසඳගන්න’

 එය මොනතරම් සාධාරණ කියමනක්ද සිතාගන්න අමාරුයි. නමුත් ඉතින් වෙන විකල්පයක් නෑ. උඩ බලාගෙන ඉන්න බෑනේ, පෞද්ගලිකව විසඳගන්න වෙනවා. ඒ අතර මේ පීඩනය අඩු කරගන්න වුවමනයි. මොනවා විසඳගන්නත් මේ පීඩනයකින් බෑනේ. පිස්සු හැදෙන, උමතුවෙන, වියරු වැටෙන තැනකට ඔන්න මෙන්න වගේ තියෙන මනසකින්, ප්‍රශ්නයක් විසඳගන්න බෑ, පෞද්ගලිකව විසඳන්න බෑ. කොහෙන්හරි උඩින් (පිටින්) විසඳුමක් දෙනවා මිසක්, පෞද්ගලිකව ගැටලුවක් විසඳගන්න නම් ඒ මනස නිරවුල් මනසක් වෙන්න ඕනේ, තැන්පත් සිතක් වෙන්න ඕනේ, සාමාන්‍ය ගැටලුවක් ම නොවෙයි, මෙබඳු අර්බුදයක් විසඳගන්න, පෞද්ගලිකව, තමන්ගේ, පවුලේ ප්‍රශ්න ටික විසඳගන්න, පවුලට ගැටලුවක් නොවෙන්නට කොහොමද ඉන්නේ කියන ඒ තැනට එන්න නම්. එබඳු පීඩනයකට යටත්වුණු මනසකට අමාරුයි විසඳුමක් සොයන්න. කිසියම් පීඩනයක් තියෙන්නත් ඕනේ නැත්නම් විසඳුම් සොයන්න යන්නේ නෑනේ. යම්කිසි ආතතියක් තිබිය යුතුයි. නමුත් ඒ ආතතිය ඉවසන්න බැරි මට්ටමට උග්‍ර වුණාම හිතවතුනි පේන්නේ විසඳුම් නොවේ, ප්‍රශ්නෙමයි පේන්නේ. ප්‍රශ්නය ගැනම කතා කරකර, ප්‍රශ්න ගැනම සිත සිත හිටියට, සිතීම එකක් විසඳුමක් සොයා ගැනීම තව දෙයක්.  

විසඳුමක් සොයා ගන්නනම් සිත යම් පමණකට තැන්පත විය යුතුයි. එබඳු තැන්පත් බවකට පත්කරන්න තමා ආගම් තියෙන්නේ. එහෙම නැත්නම් ආගම්වල අවශ්‍යතාවයක් නෑ. මනුෂ්‍යයාගේ සියලු ප්‍රශ්න ටික, භෞතික අවශ්‍යතා ටික දේශපාලනයෙන්, ආර්ථිකයෙන්, විද්‍යාවෙන් විසඳෙනවා නම් ආගම් අවශ්‍ය නෑ. ආගමක් අවශ්‍ය වන්නේ එසේ සියයට සියයක් විසඳෙන්නේ නැති නිසා. ආගමකින් කෙරුණු පළමුවෙනි කාර්යය තමා මනුෂ්‍යයාව සන්සුන් කිරීම. සතුන්ට ආගමක් අවශ්‍ය නැත්තෙත්, මනුෂ්‍යයාට අගමක් අවශ්‍ය වන්නෙත් ඒ නිසයි. ආගම මනුෂ්‍යයාව සංසුන් කරන්නේ, අර්බූදය ඇතිවීමට හේතු ලෙස පෙන්වන කාරණා වලින්. මූලික වශයෙන් හේතු තුනයි. සියලුම ආගම් වලට මේ හේතු එකක්, දෙකක්, තුනක් තමා කියන්න තියෙන්නේ.

පළමු හේතුව (දර්ශනය, ආගමික මතවාදය) තමා, ‘දේව වාදි ආගම් දෙන හේතුව’, විසඳුම් නොවෙයි හේතුව මේ දෙවියන්ගේ පරීක්ෂණයක්. මනුෂ්‍යයාව පරීක්ෂා කරනවා දෙවියන් වහන්සේ (නිර්මාණකරු), දෙවියන් වහන්සේ විශ්වාස කරනවාද? ඒ භක්තිය ඇතුළේ ඉන්නවාද? තමන්ගේ ගුණ ධර්ම නැති කරගන්නේ නැතිව, මෙබඳු අර්බුදකාරි තැනක වුණත් ඒ ආධ්‍යාත්මික වටිනාකම් හලන්නේ නැතිව, ඉන්න පුළුවන්ද කියා දෙවියන් වහන්සේ විසින් කරන පරීක්ෂණයක් විදිහට. මේ පරීක්ෂණය කරන්නේ වැඩියෙන් දීලා නෙවෙයි, තියෙන ටිකත් අරගෙන. මුලින් දෙනවා පස්සේ ගන්නවා, අරගෙන අරගෙන බලනවා කොයිතැනදීද දෙවියන් වහන්සේ පිළිබඳ භක්තිය අතහරින්නේ? භක්තිය අතහරිනවාද මෙයා, අතහරිනවා නම් කොතනදීද? එක පැත්තකින් දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා විනිශ්චය කරන්නට කරන විභාගයක්, අනිත් පැත්තෙන් මනුෂ්‍යයාටත් තමන්ගේ භක්තිය සහ ආධ්‍යාත්මික වටිනාකම්, ගුණවත්කම් සොයාගන්න, මැනගන්න, ඒවා නැතිවෙන රතු ඉර කොතනද කියලා දැනගන්න, තියෙන පරීක්ෂණයක්. මේ තමා දේවවාදි ආගම් වලින් කියන කාරණය. මේ කාරණය පිළිගත් කෙනෙක් මෙබඳු (අර්බුදකාරි) තැනකදි වුණත් කිසියම් දුරකට සංසුන් වෙනවා, තැන්පත් වෙනවා. මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ ඇති කළ ප්‍රශ්නයක්, එය ඇති කර තියෙන්නේ අපට රිදවන්න, අපෙන් පළිගන්න නොවෙයි, අප ඉන්නේ කොතනද කියලා උන්වහන්සේට සොයාගන්නත්, අපටම තේරුම් අරගෙන තව හැදෙන්නත්.  ඒ නිසා අපේ ඉවසීම අඩුවෙනවා නම්, එය හඳුනාගෙන ඉවසීම ස්ථාවර කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඒ වගේ අනිත් ගුණ ගැනත්. මේ මසුරුකම වැඩිවෙනවා නම් අඩු කරගන්න උත්සාහ කළ යුතුයි. කෙසේ හෝ මෙය හොඳයි. හරිද, වැරදිද කියන එක නෙවෙයි. ආගම් වල ඇත්ත නැත්ත සොයන්න බෑ. තියෙන්නේ ඒ ප්‍රායෝගික භාවිතය. හරියට කෙම් ක්‍රම වගේ, ඇත්ත නැත්ත නෙවෙයි එහි ප්‍රායෝගික භාවිතයයි සොයන්න ඕනේ. ආගම් කියන්නේ කෙම් වගේ දෙයක් එහි ප්‍රායෝගික භාවිතය හොඳයි. කිසියම් දුරකට මනුෂ්‍යයාට උදව්වක් වෙනවා විශේෂයෙන් මේ වගේ අවස්ථාවක බෝම්බයක් වගේ පිපිරෙනවා වෙනුවට සිත නිවෙන්න ඒ දර්ශනය උදව් වෙනවා.

දෙවෙනි දර්ශනය (ආගමික මතවාදය) තමා ‘කර්මය පිළිබඳ දර්ශනය’. දේවවාදී ආගම් තිබුණා, ඊලඟට කර්මවාදී ආගම්, බුදු දහම, ජෛන ආගම වගේ. අප දන්නවා, අර මුලින් කියු කාරණය වගේ අපව පරික්ෂා කරන්න අපට කලින් ලොකු සම්පත් ටිකක් දීලා, ගෑස් දීලා, විදුලිය දීලා, ඉන්ධන දීලා ආපසු ඒ ටික ගත්තා නෙවෙයි. කර්මවාදි ආගම් එහෙම කියන්නේ නෑ. කර්මවාදි ආගම් කියන්නේ, ඒවා පිනට ලැබුණා, පින් කර තිබුණ නිසා ලැබුණා. ඒ පින ඉවර වන විට නැතිවෙනවා. සරලයි, අර මුලින් කාරණය වගේම සරලයි. ඒ නිසා ඔබයි වග කියන්න ඕනේ, අපයි වග කියන්න ඕනේ. මේ දර්ශනයත් පිළිගත්තාම ටිකක් නිවෙනවානේ, කාටවත් බැණලා වැඩක් නෑ, කෑගහලා වැඩක් නෑ, එහෙනම් පුළුවන් විදිහට දැන් හරි පින් කරන්න. පින් කළොත් මේ ප්‍රශ්න මේ ජීවිතයේදීම  විසඳා ගන්න පුළුවන්, මේ ජීවිතේ විසඳගන්න බැරි වුණත් ඊළඟ ජීවිතයට මේ ප්‍රශ්නය ගෙනියන්නේ නැතිව, මෙතනින් ඉවර කරගන්න පුළුවන්. ඒ ආගම් වුණත් හිතවතුනි, සිත තැන්පත් කරගන්න උදව් වෙනවා. අර උමතු වෙන තත්වයට යන්න නොදී මනුෂ්‍යයාව, මානව සමාජය සමබර තැනකට ගේනවා.

තුන්වෙනි ආගමික මතවාදය (දර්ශනය) තමා ‘මෙය ස්වභාවික දෙයක්’. දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසාවත්, පෙර කර්මය නිසාවත් වෙන දෙයක් නෙවෙයි, මෙය ස්වභාවික දෙයක්. කාල විපත්ති, යුගයෙන් යුගයට වෙන හැටි. ඒ යුග එක එක විදිහයි, ඒ යුගය එහෙමයි, මේ යුගය මෙහෙමයි, යුගයේ ප්‍රශ්නයක්, කාලයේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව්, ඉතින් ඒක පිළිගත්තාම ඇත්ත තමයි, මොනවා කරන්නද? 2022 මෙහෙම නම් මෙහෙම තමයි.   2021 එහෙම නම් එහෙමයි. 2023 කොහොම වෙයිද? ඒ අයගේ පොත්වල තියෙනවානම් 2023 වෙන්නේ මෙහෙමයි කියලා එහෙම වෙයි. දැන් ඉතින් එතනත් “ආ එහෙම නම් කමක් නෑ” කියන්න පුළුවන්නේ.

මේ තමා ප්‍රධාන මතවාද (ආගම්) තුන. හැබැයි මේ මතවාදවලින් විශාල හොඳක් වෙනවා. ඔය කාරණා තුනෙන්ම හොඳක් වෙනවා. වැඩියෙන් හොඳ වෙන්නේ මොකකින්ද, අඩුවෙන් හොඳ වෙන්නේ මොකකින්ද, මොන දර්ශනයෙන්ද එය වෙනම කාරණයක්, ඒවා අපට අදාළ නෑනේ. මේ ආගම් තුනෙන්ම කියන්නේ, “හොඳින් ඉන්න” කියලා. “තිබුණානේ හොඳක්, ඒක නැති කරගන්න එපා. මොනම ප්‍රශ්නයක් ආවත්, බඩගින්නේ හිටියත්, බෙහෙත් නැතිව හිටියත්, විදුලිය නැතිව හිටියත්, පයින් යන්න වුනත්, හොඳ නැති කරගන්න එපා. තමන් ළඟ හොඳක්, සාරධර්මයක් තියෙනවා නම්, එය අහිමි කරගන්න එපා” කියා. හොඳයි නේ මේ කතාව, මොකක්ද තියෙන අයහපත? හොඳයි නේ. “නෑ මේක වැරදි, මේකට තරහා ගන්න ඕනේ, වෛරකරන්න ඕනේ”, නෑ, එහෙම කියන්නේ නෑ. ඉවසන්න, තව ඉවසන්න. තිබුණායින් භාගයක් නම් දැන් තියෙන්නේ ඒ භාගෙත් බෙදා ගන්න නැති කෙනෙක් එක්ක. හැම ආගමක්ම ඒ විදිහට කියනවා.

දැන් හිතවතුනි, ලොකු අහිමිවීමකදි, වියෝවීමකදි, ආගම් ප්‍රධාන ආගම්, ඇදහීම් යම් පමණකට මානව සමාජයට, තමන්ගේ බැතිමතුන්ට මානසික ශක්තියක් දෙනවාද ඒ වගේම ශක්තියක් දෙනවා කලාවෙන්, දරාගෙන ඉන්න, ඉවසන්න, නිවෙන්න. ඒ නිසා තමා කලාවේ වැඩි භාවිතයක් තියෙන්නේ, වැඩි ජනප්‍රියතාවයක් තියෙන්නේ, වැඩි නිර්මාණ සංඛ්‍යාවක් වෙන්නේ, විරහව ගැන, වියෝව ගැන. එක්වීම ගැන නිර්මාණ තිබෙනවා, හමුවීම, එක්වීම, ලැබීම, සතුකර ගැනීම, දිනීම, සඵලත්වය, සාර්ථකත්වය, සමත්වීම මේවා ගැන නිර්මාණ තිබෙනවා. කවි, ගීත, කතන්දර, කෙටි කතා, නාට්‍ය, චිත්‍රපට තිබෙනවා. ඊට වැඩිය තියෙන්නේ අහිමිවීම් පිළිබඳව, විරහව පිළිබඳ, වියෝව ගැන සහ වැඩියෙන් ජනප්‍රිය වෙන්නෙත් ඒවා.

 හමුවීම ගැන කෙරෙන නිර්මාණ වලට වඩා, වෙන්වීම ගැන තියෙන නිර්මාණ. හිමිවීමට වඩා අහිමිවීම, ලැබීමට වඩා නොලැබීම. 

සිතන්න සහ සොයන්න හොඳ කාරණයක්, ඇයි එහෙම වෙන්නේ. අපට අවශ්‍ය ලැබීම නම්, සතුකර ගැනීම නම්, හිමිකර ගැනීම නම්, නතුකර ගැනීම නම් සහ සතුට තිබෙන්නෙත් එතන නම්, කලාවට කෙනෙකු යන්නේ සතුට සොයාගෙන නම්, සුන්දරත්වය සොයාගෙන නම්, ඇයි මෙබඳු කලා නිර්මාණ, වැඩි වැඩියෙන් එළිබහින්නේ හා වැඩි වැඩියෙන් රසවිඳින්නේ? එහෙම වෙන්නේ ඇයි කියන එක වෙනමම සාකච්ඡා කළයුතු කාරණක්. සරලම හේතුවක් නම් වැඩියෙන් දැනෙන්නේ හිමිවීමට වඩා අහිමිවීම. හිමිවීමේ මහා විශාල වින්දනයක් තියෙනවා. නමුත් ඒ වින්දනය කාලය පැත්තෙන් බැලුවාම කෙටි කාලීනයි. දිගටම හිමිවෙලා තිබුණත් අර හිමි වෙනවිට ලැබුණ සතුට එපමණ කාලයක් තියෙන්නේ නෑ. සතුකරගත් ඒ දෙයෙහි හෝ පුද්ගලයාගේ අයිතිය තමන් ළඟ තියෙනවා, ඒ පුද්ගලයා හෝ ඒ දෙයත් තමන් සමග ඉන්නවා, තියෙනවා, සමහරවිට මැරෙන කල් ඉන්නවා, නමුත් හිමිවෙනවිට සිතූ පැතු සතුට මැරෙන කල් තියෙන්නේ නෑ. හිමිවීමේ සතුට තියෙන්නේ ටික කාලයයි. මහ විශාල සතුටක් නමුත් කෙටි කාලයයි. වියෝව ගත්තාම වියෝ දුකත් හරි විශාලයි. ලොකුම දුක වියෝ දුකනේ. කාලය පැත්තෙන් බැලුවාම එහි ඉවරයක් නෑ. වියෝ දුකේ අවසානයක් නෑ, කෙනෙකුට ඇදගෙන ඇදගෙන යන්න පුළුවන් දවස් ගණන්, සති, මාස, අවුරුදු ගණන්, මරණය තෙක්ම හා මරණයෙන් මත්තටත් ඒ විරහව හා වියෝ දුක. සතුට එසේ ඇදගෙන යන්න බෑ. හිමිවීමේ සතුට එහෙම ඇදගෙන යන්න බෑ. ඇයි ඒ බැරි? අන්න ධර්මතාව. කෙසේ හෝ සතුටක් ඇදගෙන යන්න හදන්න හදන්න ඇතිවන්නේ අසන්තෝෂයක්. කෘතිම බවක්. දුකනම් ඇදගෙන යන්න යන්න වැඩි වෙනවා. අඩුවෙන්නේ නෑ, වැඩිවෙනවා.

 සාපේක්ෂ වශයෙන් වැඩිපුර සිදුවන්නේ බලාපොරොත්තු ඉටුවීමට වඩා බලාපොරොත්තු කඩවීම කියන්න පුළුවන්.  බලාපොරොත්තු අඩුම කෙනෙකු ඉන්න පුළුවන් අත්‍යාවශ්‍ය දෙයකට පමණක්ම බලාපොරොත්තුවක් සාදාගන්න. කඩවෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. සංඛ්‍යාත්මක වශයෙන් බලාපොරොත්තු කඩවීමේ ප්‍රතිශතය බොහොම අඩුයි. එහෙම කෙනෙකු හදන හදන බලාපොරොත්තු ඉටුවෙන්න පුළුවන්. එහෙම අය ඉන්න පුළුවන්. බලාපොරොත්තු අඩුයි. අඩුවෙන් තියෙන්නේත් අත්‍යාවශ්‍යම දෙයකට තියෙන බලාපොරොත්තු, ඒ බලාපොරොත්තු ස්වල්පයත් හදාගන්න කලින්ම සොයා බලනවා ඉටුකරගන්න පුලුවන්ද? ඉටුකරගන්න ඕනේද? පුළුවන් නම් පමණක් සහ ඉටුකරගන්න අත්‍යාවශ්‍ය නම් පමණක්, අන්න බලාපොරොත්තුවක් හදාගන්නවා. එයත් කඩවෙන්න පුළුවන්, නමුත් සම්භාවිතාව අඩුයි. මේ නිසා සමහර කෙනෙක් ඉන්න පුළුවන් සියලු බලාපොරොත්තු හරියන. හැබැයි කිසිම ප්‍රමිතියකින් තොරව හිතුමතේ අරයාට ඕනෑවට මෙයාට ඕනෑවට අර මාධ්‍යයට ඕනෑවට, මේ මාධ්‍යයට ඕනෑවට, බලාපොරොත්තු හදාගන්න ගිහිල්ලා කැඩෙන්න තියෙන සම්භාවිතාවය සියයට දෙසීයක් විතර. බහුතරය එහෙම තැනකනේ ඉන්නේ. ඒ නිසා විරහව වැඩියි. සංයෝගයට වැඩිය වියෝගය වැඩියි ඒ නිසා.

මේ කාරණා දෙක තුන නිසා හිතවතුනි මනුෂ්‍යයාට වඩාත් සමීප හිමිවීමට වඩා අහිමිවීම. වඩාත් සමීපවෙලා තියෙන්නේ එතනට. වැඩිපුර පපුවට දැනෙන්නෙත්, වැඩිකාලයක් හදවත ස්පර්ශ කරන්නෙත් විරහව ඒ නිසා. කලාව පවතින්න එපැයි. අඟහරු ලෝකය ගැන කවි ලිව්වා කියා ඒවා ජනප්‍රිය වෙන්නේ නැහැනේ. කිසි සම්බන්ධයක් නෑ, සම්බන්ධ කරගන්න බෑ අපේ ජීවිතයට. නමුත් හඳ ගැන කවි ලිව්වොත්, ගීත ලිව්වොත් ඔන්න හුඟක් දෙනෙකුට රසවිඳින්න පුළුවන්. බොහොම සමීපයි චන්ද්‍රයා අඟහරු ලෝකයට වැඩිය. ඒ වගේ විරහවට ආකර්ෂණය වෙනවා. එයයි හේතුව වැඩියෙන් කලා නිර්මාණ වෙන්න විරහව, වියෝව ගැන. එතැනදි කලාව කරන්නෙත් ආගම කරන දේම තමා. හැබැයි වෙනම පැත්තකින්. කලාවත් අවුස්සන්නේ නෑ මිනිස්සුන්ව, අවුස්සන්න කලාවක් ඕනේ නෑනේ. කලාවකට ඇවිස්සෙන්න බෑනේ. ඇවිස්සෙන තැනක කලාවක් නෑ. කලාව කියන්නේ කිසියම් රිද්මයක්, තාලයක්. එතන තියෙන්නේ විනයක්. මනස තැන්පත් කරන්න ආගමකින් කරනවා වගේ දෙයක් කලාව වෙනම මානයකින් කරනවා. කලාව කුමක්ද කරන්නේ රසයක් සොයලා දෙනවා එයාට, මේ අහිමිවීමත් රසවත් කියා. අහිමිවීම තුළ කොහොමද රසවිඳින්නේ. නිකන්ම නැතිවුණා කිව්වාම ඒකේ රසයක් නෑ, ඉතින් කලාවකට, තාලයකට, සින්දුවකට, බටනලාවක් එක්ක එහෙම කිව්වාම රසයක් තියෙනවා සහ එය ඇතුළින් දෙනවා ඉවසන්න ඕනේ කියන කාරණය.

මේ විදිහට අපට, මනුෂ්‍යයාට මානව සමාජයට සතර වරම් දෙවිවරු වගේ, සතර වරම් දෙවිවරු කොහෙන් ආවද දන්නෙත් නෑ, කොහේ ඉන්නවාද දන්නෙත් නෑ. හැබැයි ඒ වගේ මානව සමජයට සතර පැත්තකින් ආරක්ෂා හතරක් තමා මේ ආගමික දර්ශන තුනෙන් හා කලාවෙන් දී තියෙන්නේ. එය විද්‍යාවට දෙන්න බෑ. දේශපාලනයට දෙන්නත් බෑ. ආර්ථික ක්‍රමයකට දෙන්නත් බෑ. පුළුවන් නම් මේවා ඕනේ නෑනේ. ප්‍රශ්නත් නෑනේ පුළුවන්නම්. ප්‍රශ්න තියෙන තැනක තමා ආගමකට සහ කලාවකට පැවැත්මක් තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැති තැනක ඔය එකක්වත් අවශ්‍ය වන්නේ නෑ. ඒ වාගේම ප්‍රශ්න පමණක්ම නම් තියෙන්නේ, කෙනෙකුට පේන්නේ නැත්නම් විසඳුමක්, ප්‍රශ්නම නම් පේන්නේ, ආගම වැඩකුත් නෑ, කලාව වැඩකුත් නෑ එයාටත්. එයාට ඒවා වැඩක් නෑ. කිසියම් දුරකට පරාසයක් ඇතුළේ ප්‍රශ්න තියෙන්නත් ඕනේ, විසඳුම් තියෙන්නත් ඕනේ ඒ පරාසය ඇතුළේම, ආගම් අදහන්නයි, කලාව විඳින්නයි, නිර්මාණ කරන්නයි. ඔය පරාසයේ බිංදුවට කිට්ටුවෙන කොටත් ඔය කිසිවක් කරන්න බැරිවෙනවා. ආගම් අදහන්නයි, කලාවට යන්නයි බැරිවෙනවා. බිංදුව පැත්තට එනකොට, ශූන්‍ය වෙලා, ශූන්‍ය වෙලා, ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න, විසඳුම් නෑ. විසඳුම් නැතිවෙන කොට, ඒත් ආගමක් එක්ක ඉන්නේ බොහොම ටිකදෙනයි. අතිශයින්ම ස්වල්පයයි. කලාවත් ඒ වගේ. මේ පැත්තෙන් ප්‍රශ්න අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා ප්‍රශ්න නැතීම කාලයක් එන විටත් ආගම් සහ කලාව සමඟ ඉන්නේ ටික දෙනයි. ඔන්න ආයෙත් මැද, මැදුම් පිළිවෙතක් පිළිබඳ වැදගත්කම එනවා. කිසියම් දුරකට මේ සීමාවක් ඇතුළේ පරාසයක් ඇතුළේ මේ දෝලනය වෙන්න ඕනේ. ඒ කාලයක තමා මේ විසඳුම් උනත් මනුෂ්‍යාට වැඩකරන්නේ, ක්‍රියාත්මක වන්නේ. නැත්නම් වැඩකරන්නේ නෑ. වැඩ නොකෙරුවාම වෙන්නේ, මනුෂ්‍යයා ඒ කියන්නේ මනස වියරු වැටෙනවා. අර ශූන්‍ය පැත්තට යනවිට වියරු වැටෙනවා. මොනවා කරයිද දන්නේ නෑ. මෙය බරපතල කාරණයක්. හිතවතුනි මෙය බැරෑරුම්ව ගන්න ඕනේ කාරණයක්. වියරු වැටුනාම මොනවා කරයිද දන්නේ නෑනේ. එහෙම කෙනෙකු ගැන කාටද සාස්තරයක් කියන්න පුළුවන්, වියරු වූ මනසක් පිළිබඳ. කියන්න පුළුවන් එකම අනාවැකිය තමා ඕනෑම දෙයක් කරයි, ඕනෑම දෙයක් කෙරෙයි. අහවල් දේ නොකෙරෙයි කියන්න බෑ.

මේ පේන කාරණා එක්ක වර්තමාන සමාජය තාම ශූන්‍යයට ගිහිල්ලා නෑ. ඒ අහලකටවත් ගිහින් නෑ. ඊට හුඟක් මෙහා ඉන්නේ. නමුත් හුළං බැහැලා යෑමක් තමයි පේන්නේ, හුළං බැහැලා, බැහැලා ගිහිල්ලා රිම් එකෙන් යනවා කියනවානේ. තාම රිම් එකෙන් යන්නේ නෑ, නමුත් ඉතින් ටික ටික කිට්ටුවෙනවා. මෙතනදි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ හිතවතුනි, මේ කියන්න හදන්නේ, මේ මනස වියරු වැටුණොත්, පිස්සු හැදුනාට එහා. පිස්සන් අහිංසකයි නේ, පිස්සු හැදුනාම ඔහේ ඉඳියි. නාන්නේ නැතිව පාරේ ඇවිද ඇවිද ඉඳියි. හැබැයි වියරු වැටුණාම ඒ තත්වය හරි භයානකයි. එතනදි විසඳුමක් නෑ. ඒ තමා ඇත්ත. එතෙන්දි ආර්ථිකයට විසඳුමක් දෙන්න බෑ. දේශපාලනයට බෑ, මං දන්නේ නෑ වෛද්‍ය විද්‍යාවට පුළුවන්ද කියා.  බැඳලා දාන්න පුළුවන්, නිදිකරවන්න පුළුවන්, අඩපණ වෙන්න මොනවාහරි රසායනික දෙයක් දෙන්න පුළුවන්. ඒ මිසක් වෙන විසඳුමක් විද්‍යාවට දෙන්න පුළුවන්ද කියා දන්නේ නෑ. ආගම් වලටත්. ආගමක් කියන දේ සිතන්නත් වියරු වැටුණ මනසකට බෑනේ. ඒ මනස ඇතුළේ භක්තියකට ඉඩක් නෑ. දෙවියන් වහන්සේ අපව පරික්ෂා කරනවා කිලා හෝ, මේ අපේම පවක් විපාක දෙන්නේ කිලා හෝ , මේ තමා කාලයේ, යුගයේ හැටි කියා හරි. ඊලඟට කලාව මේ එකක්වත් අහන්නේ නෑ වියරු වැටුණ මනසකට. එතෙන්ට අපත් නොයා යුතුයි. රටත් නොයා යුතුයි. රට කියලා කියන්නේ ඔබයි මායි පමණක් නොවෙයි. මේ සියලු දෙනාම නොයා යුතුයි. මේ ගැන අප බරපතල විදිහට සිතන්න ඕනේ, අපේ සිත අප බේරගන්න ඕනේ. කාවත් බේරලා දෙන්න බෑනේ, උදව් කරන්න පුළුවන්. මේ සිත මෙවැනි වියරු වැටීමකට යන්න ඉඩ තියෙන බව අප තේරුම් ගන්න ඕනේ.

ඊලඟට බය වෙන්න නෙවෙයි, (හැබැයි) බය වෙන්න ඕනේ, බය වෙවී ඉඳලා බෑ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කුමක්ද කළයුත්තේ, අමුතුවෙන් කරන්න දෙයක් නෑ, ඔය සිහිකල්පනාව තියා ගැනීම ම තමයි. සිහිකල්පනාව නැතිවීමෙන්නේ වියරු වැටෙන්නේ. සිහිකල්පනාව වැඩි වැඩියෙන් ඕනේ මේ කාලේ වෙන කවදාටත් වඩා. ඒ සඳහා කළයුතු ව්‍යායාම, අභ්‍යාස, සාකච්ඡා වැඩියෙන් ඕනවෙන කාලයක්. හිතවතුනි මේ කාලයේ දෙන්න තියෙන හොඳම දේ තමා මේ පණිවිඩය. හොඳම දේ, ඊට වැඩිය දෙයක් නෑ දෙන්න. 

“ඔබතුමාට පිස්සු හැදෙයි, දැන් භාවනා කරන්න” කියන එක නෙවෙයි. මේ භාවනාව කියන වචනය කිව්වත් නැතත් කමක් නෑ. මේ පණිවිඩය, සිහිකල්පනාව පිළිබඳ පණිවිඩය. සිහිකල්පනාවට විතරයි සිතක් වියරු වැටෙන්න නොදි බේරගන්න පුළුවන්, මොන දේ අහිමි වුණත්. කලාවට කිසියම් දුරකට පුළුවන්, ඉන් එහාට බෑ. ආගම් වලටත් කිසියම් දුරකට තමා පුළුවන්නේ. මා මේ කතා කරන්නේ සාමාන්‍ය බහුතරය ගැන. ඒ අතර සුවිශේෂි අය ඉන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි එය සාමාන්‍යකරණය කරන්න බෑනේ. මේ වෙලාවේ ඔවනොවුන් කෑම බෙදා ගන්නවා, වාසනාවක්. දර කෑල්ලක් බෙදා ගන්නවා, මොනතරම් දෙයක්ද. මේ සියල්ල හරි වටිනවා. ඒ සියල්ලටම වඩා වටිනවා මේ පණිවිඩය බෙදාගැනීම. දැනටත් ප්‍රමාද නෑ.’ අප නම් අපේ සිත් හදා ගන්නවා, අනිත් අයගේ සිත් අපිට හදන්න බෑ’. එහෙම කියලා හිතවතුනි, අපට බේරෙන්න බෑ. මොකද අපට යම්තාක් කල් ඉන්න වෙනවානේ මේ සමාජයේ. වියරු වැටුණ සමාජයක ජීවත් වෙන්න බෑ. සියයට දෙසීයක් ආත්මාර්ථ මනුෂ්‍යයෙකුටවත් වියරු වැටුණු සමාජයක ජීවත් වෙන්න බෑ. අප යමක් කළ යුතුයි සමාජයට. එහෙම බැලුවත්, ආත්මාර්ථකාමි ඇහෙන් බැලුවත් යමක් කළ යුතුයි සමාජයට. ආත්මාර්ථකාමි ඇහෙන් නේ අප ගස් හිටවන්නේ, ඔක්සිජන් ඕනේ කියලා, වතුර රැකගන්න ඕනේ කියලා. ඒ වගේ දෙයක් මෙයත්. අප උපන් සමාජයට, මෙතෙක් කල් අප පය ගහලා සිටිය පොළවට, මේ වේලාවේ කළ යුතු හොඳම දේවල් අතර විශිෂ්ඨතම දේ තමා සිහිකල්පනාව පිළිබඳ ආදර්ශයක් දීම. පොතක් ලිවීම නොවේ, දේශනා කිරීම නොවේ. ඊට වඩා ආදර්ශයක්, ඒ ආදර්ශය අප අපෙන් පටන් ගන්න ඕනේ. ඒ සංවේගයත් සමඟ, වේගයත් සමඟ, වේගයක් එතන තියෙන්නේ, ඒ වේගයත් එන්නේ හදවතේ කම්පනයත් එක්ක, ඒ නිසයි සංවේග කියන්නේ. සතුටින් එන වේගයක් නොවේ, කම්පනයත් සමඟ එන එම වේගයත් උදව් කරගෙන “මේ කාරණා මොනතරම් ප්‍රායෝගිකව වෙනවාද? මේ කියූ න්‍යායන් ඇත්තටම සමාජයේ වෙනවාද, වෙන බව පේනවාද? මොනවාද තියෙන විසඳුම් සහ මේ සිහිකල්පනාව, සිහිබුද්ධියද විසඳුම? එහෙම නම් ඒ පණිවිඩය කොහොමද බෙදා ගන්නේ?” යන මේ කාරණා ගැන ටිකක් භාවනානුයෝගී වෙමු, සාකච්ඡාවට පෙරාතුව.

භාවනාව.

සාකච්ඡාව

ඒ විමර්ශනයත් සමඟ අහන්නට, කියන්නට, බෙදා ගන්නට හෝ විමසන්නට යමක් තියෙනවා නම් මේ එයට අවස්ථාව කරගනිමු. 

ප්‍ර : ජීවිතයට මොන දේ ලැබුනත් නැතත් අඩුපාඩු තිබුණත් නැතත් එන්න එන්නම හිස් බවක් නම් වැඩියෙන් දැනෙනවා. ඒ හිස් බව සමග බාහිර සිදුවීම් සම්බන්ධයක් පෙනෙන්නත් නෑ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?.

පි : එතනදි මේ කාලෙ වෙන දේ තියෙන දේ නැති දේ , එය වෙනම දෙයක්. ඔබතුමිය ඔය කියන හිස් බව මට හිතෙන්නේ නම් අතීතයේ ජීවත් වීම සහ අනාගතයේ හීන දැකීම කියන මේ දෙන්නාගේ රංගනය අඩු වීම නිසා ඇති වන හිස් බවක්. වර්තමානයේ සිටීම සැහැල්ලුයි කියන්නේ ඒ නිසා. දැන් බර අඩුයි කියන්නේ, වර්තමානයේ අප දෙපයින් හිටගෙන ඉන්නවා, තව දෙන්නෙක් අපේ කර උද ගෙනියනවා, එක්කෙනෙක් අතීතයේ ඉන්න කෙනා අනිත් කෙනා අනාගතයේ හීන දකින කෙනා. එතකොට මේ තුන්දෙනාගෙම බර උහුලන් ඉන්න වෙනවා. හැබැයි වර්තමානය තුළ සිටීම තුළ  අර දෙන්නාව කරෙන් වැටෙනවා. එතකොට හරි හිස් බවක් දැනෙනවා අපේ ඔළුවට. ඔබතුමිය සඳහන් කරන්නේ බොහෝ විට ඒ හිස් බව වෙන්න පුළුවන්, හේතුව වර්තමාන ප්‍රශ්නත් එක්ක සම්බන්ධයක් නැති භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට අත්දකින දෙයක්.

මේ දැනෙන සැහැල්ලුවයි හිස් බවයි කිසිම භෞතික දේකට සම්බන්ධයක් නෑ. එතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔලුව ඇතුලෙ යන්ත්‍ර තුනක් වැඩ කළා, ඉන් යන්ත්‍ර දෙකක්ම දැන් අයින් කරලා තියෙන්නේ. වර්තමානය පිළිබඳ කල්පනාව, මේ වෙලාවේ වෙන්නේ මොනවද, වැඩිපුර ඒ ගැන වෙනකොට අනිත් බර අඩු වෙලා යනවා, ඔලුව හිස් වෙනවා. ඔළුවේ වැඩිපුරම පිරිලා තිබුණේ අතීත අනාගත කල්පනා. ඔලුව බරක් වෙන්නේම ඒ නිසා. වර්තමාන බරක් තියෙනවා. නමුත් එය ගණන් ගන්න තරම් බරක් නොවේ. එය මනින්නත් බෑ, මොකද අතීත අනාගත දෙකේ තියන බර නිසා. ඒ දෙක ඉවත් කළාට පස්සේ තමයි වර්තමාන බර දැනෙන්න පටන් ගන්නේ. එහිත් බරක් තියෙනවා, හැබැයි ඒක නොසලකා හැරිය හැකි තරම් බරක්. නිදා ගත්තට පස්සේ වර්තමානය පිළිබඳ ඒ බරත් නෑ, හිස්. තව කෙනෙකුට සමාධි අවස්ථාවලත් ඒ අත්දැකීම ලැබෙන්න පුළුවන්, නින්දට වඩා වෙනස් විදිහට. එතනදි නම් බාහිර ප්‍රශ්නත් එක්ක කිසිම අන්තර් සම්බන්ධයක් නෑ. 

ප්‍ර : දැන් අපි ඉන්ද්‍රියන් පිනවන්න තමයි සැදීපැහැදී ඉන්නේ. ඉන්ද්‍රියයන් පිනවීම අනපේක්ෂිත විදිහට එක පාරටම නැති උනහම සිත තුළ කම්පනයක් ඇති වෙනවා. මෙම තත්ත්වය තමයි අද අප අත් දකින්නේ. මේ කම්පන හිතකින් කොහොමද අනිත් අයට උදව් කරන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. එතකොට කම්පන හිතකින් උදව් කරන්න ගියාම වැරදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට පළමුවෙන්ම මගේ හිත හදාගෙන නේද මම කාට හරි උදව් කළ යුත්තේ?

පි : අනිවාර්යයෙන්ම ඔව්. උදව් කරන්නත් කිසියම් දුරකට උදව් කරන්න යන කෙනා තැන්පත් වෙන්න ඕන. එයා ඕනවට වඩා කලබල කරන්න ගියොත් උදව් කරන්න බැරි වෙනවා, එතන වෙන්නේ උදව්වට වඩා විනාශයක් කරදරයක්. අත්‍යවශ්‍යම දේ තමයි, අප අනිත් අයට උදව් කිරීම හෝ නොකිරීම වෙනමම කාරණයක්, ඇතුලින් ටිකක් හෝ තැන්පත් වීම. එක පැත්තකින් අපට වගකීමක් තියෙනවා, වැඩිහිටියන් විදිහට පවුලේ වගකීම් තියෙන්න පුළුවන්, ඒ නිසා ඒ පැත්තෙනුත් අපට බල කරනවා කලබල වෙන්න එපා කියා. ඒ වගේම අප කොහොමහරි භාවනාවට දහමට එකතු වුණු පිරිසක්. අප හැම දෙනාටම එතනදී  අනිවාර්ය කරන්නෙම තැන්පත් වීම පිළිබඳ කාරණය. ඒ පැත්තෙනුත් අපට ලොකු බලපෑමක් එනවා. ඒ නිසා කියන්න තියෙන්නේ අපට වෙන තේරීමක් නෑ මුලින්ම තැන්පත් වීම සිහිකල්පනාව ඉවසීම හදා ගැනීම හැර, වෙන විකල්පයක් නෑ. 

ඉතින් මේ සියලු කාරණා වැටහෙන විට තමා සංවේගය එන්නෙ,ලොකු කම්පනයකින් එන වේගයක්. අප ඒ කම්පනයට පත් වෙනවා. ඒ කම්පනයට පත් වෙලා ඒ කම්පනය ඇතුලෙම කම්පා වෙවී ඉන්න පුළුවන්, අපත් කම්පා වෙවී ඒ අනුව අනිත් අයත් කම්පනයට පත් කරමින් සහ ඒ අයගේ කම්පනයට අනුව අප තව තව කම්පනයට පත් වෙමින් ඉන්න පුළුවන්. ඒ වෙනුවට තමා දහම හඳුන්වා දෙන්නේ සංවේගය. ඒ කම්පනය තුළින් තමයි සංවේගය උපදින්නේ. කම්පනය අමුද්‍රව්‍යයක් කරගෙන ඇති කරගන්න තමන් කෙරෙහි කරුණාව. ”මෙහෙම කම්පා වේවි ඉන්න ගියොත් මට මොකද වෙන්නේ?, මගේ පුද්ගලික අයට මොකද වෙන්නේ?, තාමත් කම්පාව පාලනය කරගන්න පුළුවන් තැනක තියෙන්නේ, බැරි තැනකට ගියොත් මට මොකද වෙන්නේ? මැරෙන තුරු ජීවිතේට මොකද වෙන්නේ? මරණයට මොකද වෙන්නේ? මරණයට පස්සේ මොකද වෙන්නේ සහ මගෙන් යැපෙන අයට මොකද වෙන්නේ? කියා. ඒ ගැන ටිකක් හිතලා ඒ කාරණාත් එකතු කරගෙන වැඩි අවධානයක් යොමු කරගන්න මේ කම්පනය සංවේගයට ගේන්න. 

සංවේගයට තියෙන්නේ එකම එක තේරීමයි, මේ ධර්ම මාර්ගය පමණයි. සංවේගය ඇති කරගෙන වෙන වෙන දේවල් කර කර ඉන්නෙ නෑ. සංවේගය කරන එකම දේ දහම් මගේ ගමන් කිරීම. කිව්වට “සංවේගයට පත්” කියලා ඒ කියන්නේ අඬ අඬා ඉන්න අයට, එතන තියෙන්නේ දුක, සංවේගය නොවේ. ඒ අය සංවේගයට ඇවිල්ලා නෑ. ඒ අයව සංවේගයට ගන්නයි බණ කියන්න ඕන. දුකට කම්පනයට පත් වුණ අය සංවේගයට ගේන්න කියන බණ තියෙනවා සංවේගයට පත් වුණු අය ධර්ම මාර්ගයට ගෙන්න කියන බණක් තියෙනවා, මේ දෙක දෙකක්.

අප කම්පනයෙන් සංවේගයට එන්න ඕන. සංවේගයට ආවහම අපට තේරෙනවා කළයුතු ප්‍රමුඛස්ථානය දිය යුතු දේ හිත හදා ගැනීම බව. එයත් සිහි කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. ඉතින් මුල් තැන ලැබෙන්නේ සිහිකල්පනාවට. මේ කාරණය වැටහෙන විට උත්සාහ කළ යුතුයි කම්පනයත් එක්ක සිහියෙන් ඉන්න හා සිහිකල්පනාවෙන් තීරණ ගන්න. ඒබව අනිත් අයටත් පේනවා. එකම ප්‍රශ්නය නේ අප කාටත් තියෙන්නේ. නමුත් කල්පනා කිරීම සහ ප්‍රතිචාර දැක්වීමේ වෙනස්කම් පේනවා. එයයි ආදර්ශය කියන්නේ. දැන් “තමන්ට ප්‍රශ්නයක් නෑ” කියන එකට නොවෙයි. මේ කාලයේ කාටවත් කියන්න එපා “තමන්ට කිසිම ප්‍රශ්නයක් නෑ” කියලා. ප්‍රශ්නයක් නෑ කියන එක කිසි සංවේදීතාවයක් නැති කතාවක්. කොහොමද ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නෙ, එය මානසික ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව ඉන්නේ කොහොමද, එයයි කියන්න ඕන. ඒ සඳහා අපට කල්‍යාණ මිත්‍රයන් ඕන. අප කම්පා වන ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා අඩුවෙන් හෝ කිසිම කම්පනයකට පත් නොවන සත්පුරුෂයන්ගේ කතාබහ අවශ්‍යයි. අපට වැඩියෙන් ඇසුරු කරන්න ලැබෙන්නේ කම්පා වෙන පිරිසක්. ඉතින් අපටත් ඕන අනිත් පැත්තෙන් කිසියම් ශක්තියක්. 

ප්‍ර :එතනදී ගැටලූව මතුවෙන්නේ අහිමි වීම ඉතා සීඝ්‍රයෙන් වෙන නිසා, දිය වැලකට අහුවුනා වගේ. ඒ තත්ත්වයට මනස සූදානම් නෑ මූණ දෙන්න. අන්න ඒ වගේ අර්බුදයක් තමයි මට වර්තමානයේ තිබෙන්නේ.

පි : වර්තමාන තත්වය පැත්තකින් තියමු. අසනීපයක් නිසා ඔබතුමා කියූ කාරණය කෙනෙකුට පුද්ගලිකවත් වෙන්න පුළුවන්. හෘදයාබාධයක් වැනි රෝගී තත්ත්වයක් නිසා ඉන්ද්‍රිය පිනවීම එකපාරම නවත්වන්න වෙනවා. දිවත් තියෙනවා, රස කෑමක් තියෙනවා, හැබැයි ඒවා කන්න බෑ, කෑවොත් මැරෙනවා. එතනදී ඔය තැනට එනවා. එබඳු අවස්තාවලදී කී දාහක් කී ලක්ෂයක් ඉන්නවාද එහෙම සීනි තෙල් ලුණු කන්න නැතිව?, මස් මාලු නැතිව බෑ කියූ කීදෙනෙක් එහෙම ඉන්නවද ඒවා කෑමනැවැත්වූ? පුළුවන්, මෙය බැරි දෙයක් නොවේ, පුළුවන් දෙයක්. හැබැයි නිකන්ම එහෙම ඉන්න කිව්වට බෑ, ”ඔහොම හිටියොත් ඔයා මැරෙනවා, සීනි තෙල් ලුණු කෑම නතරකලේ නැත්නම් ඔයා මැරෙනවා” එහෙමනෙ වෛද්‍ය විද්‍යාව කියන්නේ. එතකොට මැරෙන්න වෙන නිසා හෝ නීරෝගීව ඉන්න ඕන නිසා හෝ මොනයම් හේතුවක් නිසා හෝ ලෝකයේම ලක්ෂ කෝටි ගානක් එහෙම ඉන්නවා, එකපාරටම එක දවසින් නවත්වනවා, කාලයක් නෑ එහෙම කියු ගමන්ම පහුවදා ඉඳන්ම නවත්වනවා. මේ හැකියාව අප තේරුම් ගන්න ඕන. මනුෂ්‍යයාට විතරයි ඒ හැකියාව තියෙන්නෙ, එක දවසකින් අංශක එකසිය අසූවක් හැරෙන්න පුළුවන්. සතෙකුට අමාරුයි, මම දන්නේ නෑ මනසද ස්නායු පද්ධතිය ද හදවත ද කියා, ඒ හැකියාව තියෙනවා.

එක දවසින් අත්හරින්න පුළුවන් කියන ඒ හැකියාව තියෙනවා කියා දන්නෙ නෑ, එය තමයි පළවෙනි කාරණය. දෙවැනි කාරණය එල්ලිලාම ඉන්න බලනවා. දැන් නැහැ, ඉතින් එල්ලිලා ඉන්න ඕන නෑනේ. එල්ලිලා ඉන්නව කියන්නේ නැතිවුනත් අත්හැරලා නැහැ, විවිධ හේතූන් නිසා එල්ලිලා ඉන්නවා අත්හැරීමේ සුවය නොදන්නාකම නිසා. නැති වීමේ දුක එකක්, අත්හැරීමේ සුවය තව දෙයක්. එතකොට නැති වීමේ දුක හා අත්හැරීමේ සුඛය සංසන්දනය කරන්න අවස්ථාවක් ලැබෙනවා.මනුෂ්‍යයාට සැසඳීමක් අවශ්‍යයි සෑමවිටම. ඒ නිසා තමයි විද්‍යාව කියන්නේ “සීනි කනවද මැරෙනවද, තෙල් කනවද මැරෙනවද, ඔබ තෝරාගන්න” කියා. නැතිවීමේ දුකයි අත්හැරීමේ සුඛය යි මේ කාරණය අද කතා කරන්න නොහිතුවේ මොකද කලාව විරහා දුක රසයක් කියා කියනවානේ,

 “පූරුවෙ කළ පින් අපට කොයින්දා” ,”මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා” 

එහෙම කියලා ඒක ඇතුලේ රසයක් විඳිනවා. එතකොට දුක්ඛ රසය දෙන්නෙ එතන. හැබැයි දහම දෙන්නේ දුක්ඛ රසය නොවෙයි අත්හැරීමේ සුඛය. මෙය සියුම් කාරණයක්. 

ඔබතුමා කියූ කාරණය හරි, සමාජයක් වශයෙන් අපේ රටේ සියල්ල මාස දෙක තුනක් ඇතුළත නැති වෙලා නැති වෙලා ගියා, තවමත් එය සිදුවෙමින් පවතිනවා, තව මොනවා නැති වෙයිද දන්නෙත් නෑ. මේ තත්ත්වයට අප භෞතිකවත් මානසිකවත් ලෑස්ති වෙලා සිටියේ නැහැ, අපව ලෑස්ති කළෙත් නෑ. දැන් ඒ ගැන දුක් වෙලා ඒකට වගකියන්න ඕන කවුද ඒක වෙනම කාරණයක්. හැබැයි දැන් වුණත් අද වුණත් අත් හරින්න පුළුවන්, ලැබුණොත් ලැබෙයි නැවත දවසක, හැබැයි දැන් නැහැ. නැති දේ ඇයි අත්හරින්න බැරි?. අත්හරින්න බැරි මේ නැතිකමයි අත්හැරීමයි දෙකක් විදිහට අප දකින්නේ නැති නිසා. අප හිතන්නේ කියන දේ තමයි අත්හරින්න ඕන කියලා. තියෙන දේ දෙන්න පුළුවන්, තියෙන දේ තමයි දෙන්නේ, දීම එකක් අත්හැරීම තව එකක්. දීම භෞතිකයි අත්හැරීම මානසිකයි. අත්හැරීම දුකක් නොවේ, උපරිම සැප තියෙන්නේ අත්හැරීම තුළ. මේ කාරණය සමාජගත වෙලා නෑ. දීමේ සැප ගැන කතා කරනවා, නමුත් අත්හැරීමේ සුවය ගැන කතා කරන්නේ නෑ. මෙය අප අතින් බරපතල වරදක්. නමුත් එය දැන් හරි නිවැරදි කරගන්න පුළුවන්. එතනින් බොහෝ පිරිසකට ධර්ම මාර්ගයේ දොර ඇරලා දෙන්න පුළුවන්ත්. 

ප්‍ර : අත්හැරීමේ සුවය සහ සිහිබුද්ධිය අතර සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරන්න.


පි : සිහිබුද්ධියට තමයි පේන්නෙ අප තවම අල්ලගෙන ඉන්නේ කියන කාරණය. නැහැ, නමුත් නැති වුණාට තාම අල්ලාගෙන ඉන්නේ, අත්හැරලා නෑ, නැති වීම එකක් අත්හැරීම තව දෙයක්. නැති වීම තව කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. අපට තියෙන දෙයක් තව කෙනෙකුට උදුරා ගන්න පුළුවන්. හැබැයි අත්හැරීම අප කළ යුතු දෙයක්. එය තව කෙනෙකුට අප වෙනුවෙන් කළ හැකි දෙයක් නොවේ.   

මේ වෙලාවේ අපට අත්‍යවශ්‍ය දේ මොනවාද?, විදුලිය අන්තර්ජාලය ඕන. හැබැයි දැන් ඒ දෙක නෑ කියල හිතන්න. ඉතින් අර ඕනකම අපට යමක් කරගන්න විදුලිය ඕන. එතකොට අපට විදුලිය නොවේ ඕන අර අරමුණයි ඕන. විදුලිය නොවේ අල්ලාගෙන ඉන්නේ, අර අවශ්‍යතා ටිකයි අල්ලාගෙන ඉන්නේ. ඒ බව සිහිබුද්ධියට තමා පේන්නෙ. සාමාන්‍යයෙන් පේන්නේ විදුලිය අල්ලාගෙන ඉන්න බව, අන්තර්ජාලය ගෑස් අල්ලන් ඉන්න බව. ඒවා නොවේ අල්ලාගෙන ඉන්නේ, ඒවා ලබාගෙන ඒවායින් විඳින්න යන දේයි කරන්න යන දේයි. හැබැයි දැන් විදුලිය ගෑස් නෑ, නමුත් අර මානසිකව එයින් කරගන්න පුළුවන් කියලා හිතලා අල්ලාගෙන එකේම එල්ලිලා ඉන්නවා. එය හරියට අනතුරක් වෙලා සිහි නැති කරලා කෙනකුගේ කකුලක් කැපුවහම, සමහරවිට එයා දන්නෙත් නෑ කකුල කැපුවා කියලා දන්නවා උනත් නැති උනත්, එයාට සිහිය ආවහම පාදය දැනෙනවා, පාදයක් නෑ කියලා දැනෙන්නේ නෑ. ටික කාලයක් යනවා නෑ කියලා තේරෙන්න. කවුරු හරි කියන්න ඕන පේන්න ඕන. ඊට පස්සේ තමයි නැති බව මනස පිළිගන්නේ. ඒ වගේ කාරණයක් මෙතන තියෙන්නේ. ඒකට හොඳ සිහිබුද්ධියක් තියෙන්න ඕන.


ප්‍ර : (පසුගිය  සාරාංශය හා සම්බන්දයි). අපි මරණාසන්න මොහොතේ සිහිබුද්ධිය අවදි කර ගත්තොත් මනෝ විඤ්ඤාණයේ වෙන සිදුවීම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් නේද?. එතනදි මනෝ විඤ්ඤාණය නිසා භවයක් හදාගන්න එක පවා සිතුවිල්ලක් කියන එක අපට අවබෝධ වුනොත් ඒක අත්හරින්න අවස්ථාවකුත් සිහිබුද්ධිය ලබා දෙනවා නේද?


පි : එහෙම තමා වෙන්න ඕන. මරණය ගැන හරියටම සියයට සීයක් කියන්න මට නම් දැනුමක් නෑ. නමුත් තියෙන කුඩා දැනුමෙන් කිව්වොත්, එතනදි වෙන නම් පිහිටක් පේන්නේ නෑ, භෞතික දේකක පිහිටක් කොහොමත් නෑ. මතකයක් සිතුවිල්ලක් ගත්තත් කියනවා “ලොකු පින්කමක් මතක් කර ගන්න”. දැන් කාටද එහෙම කියන්න පුළුවන් අවසාන සිතට මෙන්න මේ පිංකම මතක් වෙන්න ඕන කියලා. එහෙම මතක් වුනත් ඒ මතක් වීම සමග මොන විදිහට සම්බන්ධ වෙයිද කවුද දන්නේ, සතුටු වෙන්නත් පුළුවන් දුක් වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙන කිසිම දෙයක් ගැන විශ්වාසය තියන්න බෑ, තියන්න පුළුවන් එකම දේ සිහිබුද්ධිය ගැන විශ්වාසය.

සිහිබුද්ධිය එතනදී කොහොම හරි ගෙන්න ගන්න නොවෙයි, දැන්, විශේෂයෙන්ම අහිමි වීම් වලදී ප්‍රයෝජනයට ගන්න ඕන. ඒ නිසා තමයි පසුගිය සහ මෙම වැඩසටහන් දෙකේදීම අවධාරණය කරන්නේ හැම අහිමිවීමක්ම අපට මරණය පිළිබඳ පණිවිඩය දෙන දේවදූතයෙක් බව. අහිමි වීම පුංචි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ පුංචි අහිමිවීමක්ම මරණය පිළිබඳ පණිවිඩයක් තමා දෙන්නේ. සෑම නැතිවීමක්ම අපට ඇවිත් කියනවා “ මැරෙනකොට ඔයාට ඔක්කොම නැති වෙලා යනවා”  කියලා. හැම අහිමිවීමක්ම අපෙන් ඇවිල්ලා අහන්නේ “ එකක් නැති වෙනකොට ඉන්න පුලුවන්ද? දුකයි නේද? දරාගන්න පුළුවන්ද? ඔක්කොම අහිමි වුනොත් කොහොමද?”. සමාන්‍යයෙන් මෙය ඇහෙන්නේ නෑ සිහිබුද්ධිය තිබුනොත් විතරයි ඇහෙන්නේ. අහිමිවීමේ පණිවිඩය අහිමි වීමේ දුක ඕන කෙනෙකුට දැනෙනවා. සිහිය තිබුනොත් දුක් විඳින බව දැනෙනවා. හැබැයි මේ පණිවිඩය ඇහෙන්නේ සිහිබුද්ධියට පමණයි. එතකොට අන්න එයා “ ඔව් ඇත්ත තමයි දැන් ඒ දේ නෑ එතකොට මේ හිතට උදව් කරන්න ඉන්නේ මම විතරයි” කියා එයා උදව් කරන්න බලනවා. ඉතින් එයාගෙන් උදව් ගන්න බලන්න ඕන. එහෙම හැම අහිමිවීමක් එක්කම මැරෙන්න පුහුණු කරන්න ඕන. අහිමිවීම් එක්ක පුහුණු වෙන්න මරණානුස්සතිය.  ඒ මරණානුස්සතිය  අපි සම්ප්‍රදායානුකූලව පුහුණු වෙලා තියෙන මරණානුස්සතියට වඩා වෙනස්, සිහිබුද්ධිය එකතු වෙනවා. සීහිබුද්ධියත් එක්ක ජීවත් වුණොත් සිහිබුද්ධියත්’ සමග මැරෙන්න පුළුවන්. 


කල්යාණ මිත්‍රවරුණි, මීට වසර ගණනාවකට කලින් අප කවුරුත් දන්නා කෙනෙකු අසනීප වුණා, ඉතින් රෝහලට ඇතුළත් කළා. අපේ නිල්ලඹ ගුරුතුමා, ගොඩ්වින් සමරරත්න මහත්මයා, එතුමාත් එතන හිටියා, පැය ගානක්, රෑ එතැන ගත කළා. එතුමා ඒ රෝගියාට කියූ එකම දේ “සිහිය ඇති කරගන්න” එපමනයි. වෙන මොනවත්ම කිව්වේ නෑ, “සනීප වෙයි”, “හෙට ආයෙ ගෙදර යන්න පුළුවන් වෙයි” කියා. හැබැයි රෝගියා මිය ගියා. දැන් එහෙම කියන්න කවුරුවත් ඉඳීවි කියලා නම් අපට හිතන්න බැහැ. ඉතින් එහෙම කියන්න කෙනෙක් නැති නම් වෙන දේවල් කියන අය නැති තරමටම හොඳයි, ජීවිතේටත් හොඳයි, මැරෙන වෙලාවටත් හොඳයි. අපි අපිටම කියාගන්න ඕන, මන්ත්‍රයක් වගේ පුහුණු වෙන්න “ඔයා සිහියෙන් ද ඉන්නේ, සිහිකල්පනාවෙන් ද ඉන්නේ?” නැවත නැවත අහන්න. විශේෂයෙන් අහිමි වීමක දී අහන්න. මැරෙන වෙලාවෙදිත් අපිට අපෙන් ඒ ප්‍රශ්නය අහන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් නෑ. නිදාගන්න කලින් අපට අහන්න පුළුවන් “සිහිබුද්ධියෙන් ද ඉන්නේ?’. උදේ අවදි උන ගමන් අහන්න පුළුවන් නම් “ඔයා සිහිබුද්ධියෙන් ද ඉන්නේ?”. මෙය කරන්න පුළුවන් දෙයක්. මේ පුහුණුව ඔලිම්පික් යන්න වගේ හෝ කමාන්ඩෝ පුහුණුවක් වගේ නොවේ, හරි සරල දෙයක්. ඉතින් එයින් අප පටන් ගමු. ඒ කාරණය ගැඹුරින් ම අවධාරණය කරමින් ආදරණීය හිතවතුනි අපි සිහිබුද්ධියට හෝරාවෙන් සිහිකල්පනාවෙන්ම සමු ගනිමු.


සැමදෙනාටම සිහිබුද්ධියේම සරණයි !