සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 34

2022 ජූනි 15 සාරාංශය

සදහම් සැඳෑවට ආදරණීය ගමන් සගයන් සෑම දෙනාම ගෞරවයෙන් පිළිගනිමින්, ටික වේලාවක්, මේ දවසේ අවසාන භාගයේ, වෑයම් කරනවා මේ ගමනේ ආගිය තොරතුරු කතාබහ කරන්න. මුලින්ම විශ්වාස කරනවා, ගෙවුණු පොසොන් පොහොය, කොහෙ හිටියත් ජීවිතය වඩාත් ආලෝකමත් වන ආකාරයට, මේ මොහොතේ සිට යා යුතු මාර්ගය වඩාත් පැහැදිලිවන ආකාරයට, ගතකරන්නට ඇති කියා. ඒ පොසොන් දවසෙන්, ඒ සංකේතයෙන් ගන්න තිබූ පණිවිඩය, ඉන්ධනය, තල්ලුව උපරිම මට්ටමින් ගන්න ඇති කියා.

හිතවතුනි ජීවිතයට බොහෝ දේ අවශ්‍යයි, ඒ අතර මෑතකදි අනාවරණය වුණු කාරණයක් තමා සිහිකල්පනාවත් ඕන බව. එය මුලින්ම වැටහෙන කාරණයක් නෙවෙයි. එය මුලින්ම වැටහුණා නම් මෙපමණ දුරක් අප කවුරුවත්, මේ සා දුක් විඳිමින් එන එකක් නෑ. ඒ නිසා කවදාකවත් මුලින්ම සිහිබුද්ධිය අවශ්‍යයයි කියා වැටහෙන්නේ නෑ. වැටහෙනවානම් වැටහෙන්නේ ටික කාලයක් ගිහිල්ලා. නොවැටහෙන පිරිස් වැඩියි. ඕනෑම දෙයකින් ප්‍රයෝජනය ගැනීමට, ගතහැකි ප්‍රයෝජනය ගැනීමට සිහිබුද්ධිය අවශ්‍යයි. ඒ කාරණය ගැන තමා අප දිගින් දිගටම සාකච්ඡා කළේ. ධනයෙන් හෝ සැප විඳින්න, එයින් අර්ථයක් කරගන්න, තමන්ට හා අනිත් අයටයි, සිහිකල්පනාව තියෙන්න ඕනේ. ධනයට බෑ ඒ දේ කරදෙන්න. ධනයට බෑ අපව සුඛිත මුදිත කරන්න. අපේ ජීවිත සැප සම්පත්වලින් පුරවන්න ධනයට බෑ, ධනයට පුළුවන් ගෘහභාණ්ඩ වලින් පුරවන්න. සැනසිල්ලෙන් පුරවන්න නම් ධනයට අමතරව සිහිකල්පනාව අවශ්‍යයි.

මෙසේ ජීවත් වෙන්න අවශ්‍ය දේවලුයි, සිහිකල්පනායි අතර ජීවත් වෙන්න අත්‍යාවශ්‍යයි කියා සිතු සමහර දේවලුත් අපට අහිමි වෙමින් අහිමි වෙමින් යනවා. විදුලි බලය අහිමි වෙමින් යනවා. “කොහොමද විදුලිය නැතිව ඉන්නේ, ඉන්න බෑ” වගේ තිබුණා නමුත් ඉන්න පුළුවන්. “ඉන්ධන නැතිව ඉන්නේ කොහොමද?” ඒත් ඉන්නවා. ඉන්ධන නැතිවත් ඉන්නවා. ගෑස් නැතිවත් ඉන්නවා. ඒ ඉඳිල්ල මොනවගේ ඉඳිල්ලක් ද කියා තීරණය කිරීම වෙනම කාරණයක්, නමුත් ඉන්නවා. මේ තමා දෙවෙනි කාරණය.පළමු කාරණය ඕනෑම දෙයකින් සැනසිල්ලක් සැපක් විඳින්න සිහිකල්පනාව ඕනේ. ජීවිතයට මොනදේ අත්‍යාවශ්‍ය වුණත් ඒ අත්‍යාවශ්‍ය දේවල් පවා අහිමිවී යන්න පුළුවන්. යාළුවන් මිත්‍රයන් අහිමි වෙන්න පුළුවන්. රැකියා අහිමි වෙන්න පුළුවන්. ගෙවල්-දොරවල්, යාන-වාහන, අහිමිවෙමින් යනවා නැතිවම බෑ කියා සිතා සිටි දේවල් අහිමිවෙමින් යනවා.  ජීවිතය පවතිනවා. නමුත් සිහිකල්පනාව නැතිවුණොත් නම් තත්වය බරපතලයි. එය ගෑස් නැතිවුණාට වඩා, පෙට්‍රල් නැතිවුණාට වඩා, විදුලිය නැතිවුණාට වඩා, බෙහෙත් නැතිවුණාට වඩා, රට නැතිවුණාට වඩා, තත්වය ඉතාම බරපතල වෙනවා සිහිකල්පනාව, සිහිබුද්ධිය නැතිවුණොත්. ඒ නිසා අන්තිමටම නැතිකරගත යුතු දේ තමා සිහිබුද්ධිය. ඉන් මෙහා අනිත් ඕන දෙයක්, හිතාමතා නැති කරගන්නා දේ සහ අපේ පාලනයෙන් තොරව අහිමිවන දේවල්. 

මෙසේ ගොස් හුස්ම පමණක් ඉතිරිවෙයි. අන් සියල්ල අහිමිවෙයි. අහිමි කරයි නැත්නම් සොබාදහම විසින්ම අහිමි කරනු ලබයි. අන්තිමටම ඉතිරි වන්නේ හුස්ම සහ අප. එතෙන්දිත් සිහිබුද්ධිය තියෙන්න ඕනේ. අවසානයේ අපත් එක්ක ඉන්නේ හුස්ම පමණයි. අර නැතිව බෑ කියු සියල්ලම, සියලු දෙනාම අහිමිවෙලා, නමුත් තවමත් හුස්ම තියෙනවා. ඒත් සිහිකල්පනාව තියෙන්න ඕනේ. ඊලඟට හුස්මත් නැතිවෙනවා. හුස්ම නැතිවුණත් සිහිකල්පනාව තියෙන්න ඕනේ. නැතිවම බැරි හුස්ම නැතිවුණායින් පසුවත් සිහිකල්පනාව තියෙන්න ඕනේ. අන්න එබඳු සිහිබුද්ධියක් ඇති කරගන්න, දියුණු කරගන්න, ස්ථාවර කරගන්න තමා ජීවිතයේ ප්‍රමුඛස්ථානය දියයුතු වන්නේ. මොනවට මොන තැන දුන්නත් කමක් නෑ. කාට ජීවිතයේ මොනතරම් උසස් තැනක් දුන්නත් කමක් නෑ. නමුත් සිහිබුද්ධිය එබඳු තැනකදී පවා, පවතින, රැඳෙන, තිබෙන මට්ටමකට ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ.

නැතිවීම අනිවාර්‍යයෙන් වෙනවා. හිමිවීම් වලට වඩා අහිමිවීම් තමයි ඉදිරියේ වැඩිවන්නේ. ඒ ආර්ථික තත්වය නිසාම නොවෙයි, ජීවිතයේ ධර්මතාවය. හිමිවීම් වැඩි කාල තියෙනවා, හිමිවීම් අඩුකාල තියෙනවා. හිමිවූදේත් අහිමිවෙන කාල තියෙනවා. එසේ අහිමි වෙවී, අහිමි වෙවී, අහිමි වෙවී යාමටයි ‘ජරාව’ කියන්නේ, හිමිකම් දිරලා යනවා. ජරා කියන්නේ දිරීමනේ. මොනවාද දිරන්නේ ලී-බඩු, දොර-උළුවහු පමණක්ම නෙවෙයි, අයිතීන්නුත් දිරා යනවා. දිර දිරා, දිර දිරා, යනවා, ඒ කියන්නේ ඒවායේ අයිතිය නැතිවෙලා යනවා. හිමිකම් දිරනවා. එහෙම දිරමින් දිරමින් යන කාලෙකට තමයි මැදිවිය පසුකරන හැමදෙනාම එන්නේ. අලුතින් ලැබෙන කාල නෙවෙයි. ලැබුණු දේත් අහිමිවන කාල. එසේ අහිමිවෙවී ගිහින් අන්තිමට හුස්ම පමණක් ඉතිරිවෙන කාලෙට එන්නේ. එවිට එතන ඉන්නේ හුස්මයි ඔබයි, හුස්මයි මමයි.

මොන විදිහේ තැනක් වේවිද? අනුමානෙකට සිතන්න බලන්න. මොන විදිහේ තැනක් වේවිද? කවුරුවත් නෑ, ආදරය කළ කිසිකෙනෙකු නෑ, බලාගත්ත කවුරුවත් නෑ. ඒ අය හිටියා හැබැයි දැන් ඒ අය අහිමිවෙලා. පුද්ගලයයි හුස්මයි පමණක් ඉතිරිවෙන තැනදි අන් සියල්ලම අහිමිවෙලා. ආදරය කළ අය, බලාගත්ත අය, හරිහම්බල කළ දේවල් කිසිවක් නෑ. ඒවා කොහේ හරි ඇති. පෙට්ටගමක, බැංකුවක, සේප්පුවක හරි ඇති. නමුත් එතන (පුද්ගලයයි හුස්මයි පමණක් රැඳෙන තැන) නෑ. ඒ ඒ තැන්වල තිබුණට ඒ අවස්ථාවට වැඩක් නෑ. අතේ තිබ්බත්, සාක්කුවේ තිබ්බත් වැඩක් නෑ. මොකද වැඩක් නැතිවෙන්නේ ඒ වෙලාවට ඇහැ, කන, දිව, නාසය, ශරීරය මේ කිසිවක් නෑ. හුස්මයි පුද්ගලයයි පමණක් රැඳෙන තැන අර කිසිවක් නෑ. ඒ නිසයි හුස්මයි පුද්ගලයයි ඉතිරි වෙන්නේ. ඉතින් ඇහැ නෑ කියන්නේ රූප ටික නෑ. පුද්ගලයෝ රූප විදිහටනේ තියෙන්නේ පුද්ගලයන් නෑ. පුද්ගලයන් අතින් අල්ල ගන්න, ස්පර්ශ විදිහට ගන්න පුළුවන්නේ. ස්පර්ශ නැතිනම් පුද්ගලයෙකු නෑ. කවුරුහරි අපේ අතින් අල්ලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ ස්පර්ශය දැනෙන්නජ එපැයි, අතින් අල්ලන් ඉන්න බව දැනුණොත්නේ පුද්ගලයෙක්ව අපට හැඟෙන්නේ. ස්පර්ශය දැනෙන්නේ නැත්නම් කීදෙනෙක් බදාගෙන සිටියත් කවුරුවත් නෑ. ආදරයෙන් කතා කරන්න පුළුවනි. හැබැයි ඇහෙන්නේ නැත්නම්, කන නැත්නම් ඒ කිසිකෙනෙක් නෑ. මේ තැන ගැන ටිකක් සිතන්න. මෙහෙම වෙන්නේ සියල්ලම අපව අතහැරදමා ගිහිල්ලා, අපව කොන් කරලා, තනි කරලා, දුප්පත්ම දුප්පත් වෙලා, ලෙඩ වෙලා, මරණාසන්න ඇඳේ, ඇහැ පොට්ටවෙලා, කන බිහිරිවෙලා එහෙම ඉන්න තැන නෙවෙයි. ඒ සියල්ල හොඳට තියෙද්දි වුණත්, ඔය හුස්ම පමණක් ඉතිරිවෙන තැනට එනවිට මේ සොබා දහම එහෙම තමා මේ එක් එක් ඉන්ද්‍රිය අක්‍රියකර දමන්නේ. පෙනෙන ඇහැ වුණත් ඒ වේලාවට පෙනෙන්නේ නෑ.  

‘ඵස්ස’ කියන එකට හොඳම සිංහල වචනය තමා සම්බන්ධතා කියන්නේ. Connection, contact ඉතින් ඒ contact එක නෑ. ඒ සබැඳියාව නෑ. ඇහැත් එක්ක අප සම්බන්ධ වෙන්නේ නෑ. ඇහැ පොට්ට වෙනවා නෙවෙයි. ඇහැත් එක්ක තියෙන contact එක නැතිවෙනවා. කනත් සමග තියෙන සබැඳියාව නැතිවෙලා යනවා. Disconnect වෙනවා, විසන්ධිවෙනවා.  එහෙම වුණාම හුස්ම එනවා යනවා. තාම හුස්ම නැවතිලා නෑ. එතනදී සිහිකල්පනාව තියෙන්න ඕනේ, ඇතිකරගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ, එහෙම නැත්නම් වෙන්න පුළුවන් සම්භාවිතාවයන් කිහිපයක්ම තියෙනවා. වියහැකි එක දෙයක් තමා, දැන් අල්ලගන්න කිසිවක් නෑනේ, අර සම්බන්ධතා සියල්ලම විසන්ධිවෙලානේ, එහෙම වුණාම සාමාන්‍යයෙන් වෙන්නේ, තියෙන හුස්ම බදාගන්නවා හුස්ම, අල්ලගන්නවා හුස්ම. මුළු උපාදානයම වෙන්නේ හුස්ම, වෙන අල්ලගන්න දෙයක් නෑනේ. පුද්ගලයෙකුව අල්ලගන්න නෑ, දේපළක් අල්ලගන්න නෑ, යාන-වාහන අල්ල ගන්න නෑ, තනතුරක් අල්ල ගන්න නෑ, ශරීරය අල්ල ගන්න නෑ. ඒ වෙලාවේ අල්ල ගන්න තියෙන එකම දේ හුස්ම පමණයි. දැනුත් අප හුස්ම අල්ලාගෙන ඉන්නේ උපාදානය කරගෙන, නමුත් ඊට වැඩිය තව දේවලුත් අල්ලගෙනනේ තියෙන්නේ, හුස්ම උපාදානය වෙලා තියෙන්නේ ටිකයි. උපාදානය බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. අරයත් බදාගෙන, මෙයත් බදාගෙන, අරදේත් මේදේත් ඇඳුනුත්, සෙරෙප්පුත්, අතීතයත් අනාගතයත් මේ සියල්ලම බදාගෙන ඉන්නේ. හැබැයි අර වේලාවේ මේ කිසිවක් නෑ. නැති තැනක තියෙන එකම දේ දෑතින්ම නෙවෙයි, මුළු පැවැත්මෙන්ම බදාගන්නවා. අල්ලගන්නවා, අල්ලාගෙන එයාට යන්න දෙන්නේ නෑ. එයා ගියොත් තට්ට-තනි වෙනවානේ. එතැනට එනවිට තනිවෙලා තනිවෙලා හැබැයි හුස්ම හරි තියෙනවානේ. හුස්මත් ගියොත් එහෙම ඒ තනිවීම හිතාගන්න බෑ. එපමණටම භයානකයි. එපමණටම අන්ධකාරයි, මහා කරුවලයි. මෙය බයකරන්නම කියනවා නෙවෙයි. හැබැයි ඒ ගැන සිතෙනවි නම් බයක් එනවා. ඒ බය ධනාත්මකව ගන්න පුළුවන් බයක්. හරියට කළුවරම කළුවර පතුල පේන්නේ නැති ළිඳකට වැටෙනවා වගේ. ඔහේ වැටෙනවා වැටෙනවා, කොහේ වැටෙයිද දන්නේ නෑ. වැටීම තමයි වෙන්නේ. කට්ට-කරුවලේ, තට්ට-තනියම. ඒ නිසා එයින් බේරෙන්න හුස්ම තමා අල්ලගන්නේ, බදාගන්නේ. අහිංසක හුස්ම, නිදහසේ ඇවිල්ලා ගිය හුස්ම, ඒ විදිහට බදාගත්තාම නම් නිදහසේ එන්න යන්න බැරිවෙනවා. හුස්මට එන්නත් බැරිවෙනවා යන්නත් බැරිවෙනවා. මේකට තමා පණ අදිනවා, ගොරොද්දේ අදිනවා කියන්නේ. මේ පණ ඇදීම ගැන මෙනෙහි කරන විට ඒ පණ ඇදීම දකින විට  ඇයි එහෙම වෙන්නේ කියා සොයන්න, සිතන්න, භාවනා කරන්න පෙළඹිලා තියෙනවා.

ඒ ගැන භාවනාමය විමර්ශනයක් කරන්න. එසේ කරනවිට  අනාවරණය වන කාරණයක් තමා, එහෙම වෙන්නේ මුළු උපාදානයම හුස්ම, හුස්ම කියන්නේ සුළඟ පමණක් නෙවේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියම. පුළුවන් තරම් තදින් බදාගන්නවා, අල්ල ගන්නවා, හිරකරගන්නවා, මිරිකාගන්නවා. අල්ලගෙන, මිරිකගෙන යන්න දෙන්නේ නැතිව ඉන්න උත්සාහ කරනවා. මෙය මොනතරම් කායික දුකක්ද කියන එක ඒ තත්වයට පත්වුණ කෙනෙකු දෙස බලනවිට පේනවා, පණ අදින කයක් විඳින දුක. ලොකු කම්පනයක් එනවානේ “අනේ අපොයි” කියා. හැබැයි ඒ සිත විඳින දුක ඒ වගේ සිය දහස් ගුණයක්. ඒ කය විඳින දුකත් අපා දුකක්. ජීවිතයේ විඳින දුක් අතර කායික වශයෙන් කෙනෙකුට විඳින්න සිද්ධවෙන බරපතලම දුකක් තමයා පණ ඇදිල්ල. ඒ කායික පැත්තෙන්, එතනදි විඳින මානසික දුක ඒ වගේ සිය දහස් ගුණයක්. එක පාරක් පණ ඇදලා නැවතුනානම් බොහොම ටිකයි, මානසික දුක නෑම වගේ. නමුත් දිගින් දිගට ම පණ ඇද ඇද පණ ඇද ඇද ඉන්නවා කියන්නේ, ඒ ශරීරයට දෙන්න පුළුවන් උපරිම දුක දෙනවා. එහෙම දුකක් විඳින්න පුළුවන් වයසක් නෙවෙයි, අහිංසක ශරීරය. ඒ බැරිම තැනදි තමා උපරිම දුකක් දෙන්නේ ශරීරයට. දුකක් විඳින්න බැරිම තැනකට ආපු ශරීරයකට දෙන්න පුළුවන් උපරිම දුක දෙනවා, විඳින්න වෙනවා. මොනතරම් අසාධාරණ ධර්මතාවයක්ද මේ. හැබැයි ඒ කායික දුකට වඩා එතනදි විඳින මානසික දුක පේන්නේ නෑ. නොටපනුනත් මානසික දුක අර පේන කායික දුකට වඩා ලක්ෂ කෝටි වාර ගණනක් වැඩියි, සසඳන්නම බෑ. මනසටත් දෙන්නේ මහා දුකක්. 

ජිවිත්වීමේදී  මනසට දුක දීලා තියෙනවා, මනස විඳලා තියෙනවා. “මේ දුක තවදුරටත් විඳින්න බෑ. දැන්නම් ඇති. ජීවිතය එපා” කියු වෙලාවල් “මැරෙනවා නම් හොඳයි” කියා සිතු අවස්ථා ඇතිනේ හැමදෙනාටම. හැබැයි ඒ එපාවෙන කායික මානසික දුක් අතර, ඔය ඇත්තටම මැරෙන වේලාවේ, හුස්ම අල්ලාගෙන නොමැරෙන්න උත්සාහ කරනවිට, කයටයි සිතටයි දෙන දුක තරම් දුකක් ජීවිතයේ තවත් නෑ. මුළු ජීවිත කාලයම වින්ද දුක්ටික තරාදියක එකපැත්තකට දාලා ඔය දුක අනිත් පැත්තට දැම්මාම බර වැඩියි. බය හිතෙනවා. මැරෙනකොට බය හිතෙන්නේ යක්කු හොල්මන් වලට නෙවෙයි. ඒ ගැන හිතනකොට ඇත්තටම බය සිතෙනවා. මොකද එක බයක් තමයි එහෙම දුකක් විඳින්න බැරිම තැනකදි තමයි විඳින්න වෙන්නේ. දුකක් විඳින්න කායික හැකියාවකුත්, පණකුත් නෑ. මානසික හයියකුත් නෑ. එහෙම තැනකදි තමයි උපරිම දුක දෙන්නේ. මොනතරම් අසාධාරණ ජීවිතයක් ද? මෙහි කුමක්ද තියෙන සාධාරණත්වය? අප සාධාරණත්වය හොයනවා හැම තැනින්ම. හැම කෙනාගෙන්ම සාධාරණත්වය අපේක්ෂා කරනවා. සාධාරණය වෙනුවෙන් සටන් කරනවා. අසාධාරණයට විරුද්ධව නැඟී සිටිනවා, අරගල කරනවා. එහෙම කරලා සාධාරණත්වය සමහරවිට දිනාගන්නවා. සටන්කළේ නැත්නම්, අරගල කළේ නැත්නම් ලැබෙන්නේ නෑ. නමුත් මේ අසාධාරණය කාට කියන්නද? එතනදි කියන්න කෙනෙකුත් නෑ. ඒ නැති නිසානේ ඔය ප්‍රශ්නේ එන්නේ. කියන්න කෙනෙක් නෑ. එහෙම තැනකදි අපේ පිහිටට කවුරුහරි ඉන්නවානම් ඒ සිහිබුද්ධිය පමණයි. ඒ නිසයි කිව්වේ එතනදිත්, සියල්ල අහිමිවු තැනදිත් හුස්ම පමණක් ඉතිරිවුණ වේලාවේදිත් සිහිබුද්ධිය අවශ්‍යයි. සියල්ල නැතිවෙලා, තිබුණ සිහිබුද්ධියත් නැතිකර ගත්තොත් කම්මුතුයි. අවශ්‍යම තැන, අත්‍යාවශ්‍යම තැන එතන. ඊට මෙහාත් අත්‍යාවශ්‍යයි. නමුත් මෙතනදි අති අත්‍යාවශ්‍යයි. නමුත් එතනදි සිහිබුද්ධිය නැතිකරගත්තොත් ඒ වෙන අසාධාරණය තරම් අසාධාරණයකට අප ජීවිතයේම මුහුණ දිලා නෑ. මුහුණ නොදුන් දැවැන්තම අසාධාරණයකට මුහුණ දෙන්න වෙනවා.  කියන්න කෙනෙක් නෑ, යන්න පොලීසියක් නෑ, නඩුවක් දාන්න උසාවියක් නෑ, කිසිදෙයක් නැති තැනක. මේ සියලු කාරණා නිසා එතනදි සිහිබුද්ධිය එන්න program කරගන්න පුළුවන්නම් හොඳයි. මොනවා හරි වැඩපිළිවෙලක් යොදලා ඒ වේලාවට සිහිබුද්ධිය එන්න, එහෙම පුළුවන්නම් ඔන්න හොඳයි. වැඩේ ගොඩ.  එනමුත් එබඳු  ප්‍රාතිහාර්යයක් නෑ. ආශ්චර්ය දෙයක් නෙවෙයි සිහිබුද්ධිය කියන්නේ.

සිහිබුද්ධිය පමණක් නෙවෙයි, කිසිම ධර්මතාවයකට අපට සැලසුම් හදන්න බෑ. කෝච්චිවලට සැලසුම් හැදුවත්, කාලසටහන් හැදුවාට, විභාගවලට කාලසටහන් හැදුවාට ධර්මතාවලට කාලසටහන් හදන්න බෑ. ඒ නිසායි ධර්මතා අනත්ත කියන්නේ. “සබ්බේ ධම්මා අනත්තා”. ධර්මතාවලට අපට බෑ කාලසටහන් හදන්න. ධර්මතාම තියෙනවා ධර්මතා ක්‍රියාත්මක කරන්න. මමත්වයට බෑ කාලසටහන් හදන්න ධර්මතාවලට. ධර්මතා කියන්නේ කැරකෙන දැති රෝද වලට. අටලෝ දහම වගේ කැරකෙන දෙයක්. ඒ ධර්මතාවයක් කැරකෙන්න පටන්ගත්තාම ඒ දැති වැදිලා තියෙන අනිත් දැති රෝදයත් කැරකෙනවා. එවිට අපට බලපානවා.  එහෙම නැතිව ධර්මතාවය කැරකුණා කියා අපට කිසිදෙයක් වෙන්නේ නෑ. නමුත් ඒ ධර්මතාවය කැරකෙන විට අපේ ජීවිතයේ දැතිරෝදත් කරකැවෙන්න පටන් ගන්නවා ඒ ධර්මතාවයේ කරකැවෙන පැත්තට හා ඒ වේගයට. එතැනදී අපට බලපානවා. මේ බලපෑම නිසා වෙන්නේ දැතිරෝදයේ අපේ පැත්ත කරකැවීම, නමුත් ධර්මතා කරකැවෙන දැතිරෝදයේ දෙපැත්තක් තියෙනවානේ, ධර්මතාවයේ දැතිරෝදය කරකැවෙනවිට, ජීවිතයේ අපේ පැත්තේ තියෙන දැතිරෝදය කරකැවෙන විට, අපට බලපානවා. ධර්මතා කියන දැතිරෝදයට ස්පර්ශවෙලා තියෙනවා ජීවිතය නමැති දැතිරෝදය. ඒ නිසායි ධර්මතා නමැති දැතිරෝදයක් කරකැවෙන විට ජීවිතයත් කරකැවෙන්න පටන් ගන්නේ. මේක තමා අපට පේන පැත්ත. අපට දැනෙන, විඳින, ප්‍රශ්නයක් කියා සිතන, විඳින, අරගල කරන, පැත්ත. සටන්කරන, වෙනස් කරන්න හදන පැත්ත. හැබැයි අප එළියට ගිහිල්ලා, අර ධර්මතා කියන දැතිරෝදයෙන් අනිත් පැත්තට ගිහිල්ලා බැලුවොත්, පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් පේනවා ඒකට තව දැතිරෝදයක් සම්බන්ධවෙලා තියෙනවා. ඒක අපට අයිති නෑ. ඒ දැතිරෝද ජීවිතයේ නෙවෙයි ධර්මතාවලට එපිටින් තියෙන ඒවා. ඒ දැතිරෝදය කරකැවෙන විටයි මේ දැති රෝදය කරකැවෙන්නේ. 

දෙවෙනි ධර්මතාවය, මේ ධර්මතා ස්වාධීන නෑ. එවිට කිසිදෙයක් ස්වාධීන නෑ. Automatic නෑ කිසිදෙයක්. කිසිම දෙයක් ස්වයංක්‍රීය නෑ. තවත් දෙයක් මතයි රඳාපවතින්නේ. ඒ තමා පටිච්ඡසමුප්පාදය කියන එකේ තේරුම. පටිච්ඡ කියන්නෙම තව දෙයක් නිසා, මත රඳා පවතිනවා. ධර්මතාත් එහෙමයි. එහෙම පේනවා. සොයාන සොයාන යන්න පුළුවන්. එහි ඉවරයක් නෑ. දැති රෝද සොයාන සොයාන ගියොත් එහෙම ඒ පැත්තෙන් එහි ඉවරයක් නෑ. එනිසායි කියන්නේ ලෝක විෂය අචින්තයයි. එහෙම ඈතට ඈතට සොයන්න එපා කියා දහමේ කියන්නේ ඒ නිසයි. එහෙම සොයන්න ගියොත් පිස්සු හැදෙයි. එහෙම දැතිරෝද සොයන්න ගියොත්, අනන්ත වූ දැතිරෝද තියෙන යන්ත්‍රයක් කෙනෙකුට දකින්නට ලැබුණොත් පිස්සු හැදෙයි. ඔය කාර්මික ශිල්පියෙකුට එහෙම එවැනි එකක් දකින්න හම්බවුණොත්, එහෙන් දැතිරෝද මෙහෙන් දැතිරෝද, එහෙන් හිරවෙනවා මෙහෙන් හිරවෙනවා, ඒක කැරකෙනකොට මේක කැරකෙනවා. මේක කැරකෙනකොට මොකක් කැරකෙනවාද දන්නේ නෑ. එහෙම එකක් repair කරන්න හම්බවුණොත් නම් පිස්සු හැදිලා තමයි නවතින්නේ. එහෙම සොයන්න යන්න එපා කියා දහම කියන්නේ ඒ නිසා, ලෝක විෂය අචින්ත්‍යයි කියා. ලෝක විෂය අචින්ත්‍යයි කියන්නේ මේ ග්‍රහලෝක අනන්ත ප්‍රමාණයක් තියෙනවා කියන එක ම නොවේ, ලෝක කියලා කියන්නේ අපෙන් බාහිර අපට බලපාන ධර්මතා. ඒවාත් ලෝක විෂයට අයිතියි. එහෙම ඈතට යන්න එපා. එතකොට ඒක වෙනම විෂයක්.

එහෙම ඈතට යන අයට තමයි ඍෂිවරු කියන්නේ. මොකක්හරි දැතිරෝදයක් අල්ලාගෙන ඒක කැරකෙන්නේ කුමක් නිසාද? එය කැරකෙන්නේ කවර නිසාද? තුන්වෙනි දැති රෝදය කැරකෙන්නේ කුමක් නිසාද? එහෙම දකින්න මානසික හැකියාවක් අවශ්‍යයි ගුප්ත පැත්තක්නේ. පේන්නේ නෑනේ ධර්මතා. ඕනෑම විෂයක ධර්මතා තියෙනවා. වෛද්‍ය විද්‍යාවෙත් ධර්මතා තියෙන්නේ. ඉංජිනේරු විද්‍යාවෙත් ධර්මතා තියෙන්නේ. ඒ මට්ටමට මානසික හැකියාවක් ඇතිකරගෙන එක් ක්ෂේත්‍රයක් ගැන එහෙම සොයාන සොයාන යනවා. යනකොට සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැති දැතිරෝද පේන්න පටන්ගන්නවා. බලපෑම් වන හැටිත් පේනවා. බලපෑම් කරන්නෙත් තව දැති රෝදයක් හරහාම තමයි. එහෙම නැතිව බෑ. පේනවා. කොයි දැතිරෝදෙටද අපට පුළුවන් බලපෑමක් කරන්න. එහෙම කළොත් පළමුවෙනි දැතිරෝදෙට බලපායි, දෙකට තුනට හතරට බලපාලා මෙතනින් වෙනස්වෙනවා බව පේනවා. එහෙම කිසියම් එක ක්ෂේත්‍රයක් පිළිබඳ තමන්ගේ මනසින් අනාවරණය කරගත්ත කෙනෙකුටයි ඍෂිවරයෙකු කියන්නේ. එයා සියල්ල දැකලා නෙවෙයි. එහෙම ජීවිත කාලයම බැලුවත් පේන්නේ දැතිරෝද කිහිපයක් පමණි. ජීවිත කාලයම බැලුවොත් පේන්නේ දාහක් කියමුකෝ. හැබැයි තව ටික දවසක් සිටියානම් තව දෙක තුනක් සොයාගනියි. ඍෂිවරයෙකුටත් බෑ සියල්ල සොයා ගන්න. සියල්ල සොයාගත්තා කියන ඍෂිවරයෙකුත් නෑ. සාමාන්‍ය අයෙකුට වැඩිය ඒගොල්ලෝ දන්නවා. සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරිදේ කරන්න පුළුවන් ඒ හින්දා, ඒ ක්ෂේත්‍රයේ. ඒ තමන් ඍෂි වුණු ක්ෂේත්‍රයේ සාමාන්‍ය කෙනෙකුට නොකළ හැකි දේවල් කරන්න පුළුවන්. ඒකටයි ප්‍රාතිහාර්‍ය පානවා කියන්නේ.   

ඒක වෙනමම කතාවක්. මේ කියන්න හැදුවේ ඒ පැත්ත නෙවෙයි. හැබැයි ඒ පැත්ත ටිකක් කිව්වේ, අර කතාව කියලා ටිකක් බයවෙලා ඉන්නවා නම් ටිකක් සැහැල්ලු කරන්නත් එක්ක. සතුටක් සොම්නසක් ඇති කිරිමේ චේතනාවත් සමඟ. හිතවතුනි ඒ සැලැස්ම අවසානයේ සිහිකල්පනාව ඉතිරිවෙන්න, මොනවා නැති වුණත් හුස්ම පමණක් ඉතිරි වුණත් හුස්මත් නැතිවෙන තැනේදි, සිහිකල්පනාව, සිහිනුවණ, සිහිබුද්ධිය, සතිසම්පජඤ්ඤය, අපත් සමඟ තනි රකින්න ඉන්න තැනට, කොහොමද programme කරන්නේ. ඒ programme එක කොහොමද කරගන්නේ? ඒ වැඩසටහන හදාගන්නේ කොහොමද? ඒක එතනදි හදන්න බෑ. එතනදි හදන්න ගියොත් fail වෙනවා. අසමර්ථ වෙනවාමයි. වෙන කෙනෙකුට භාරදුන්නත් අසමත් වෙන එහෙම භාරගන්න කවුරුත් නෑ. දෙවිකෙනෙකුට භාරදෙන්නත් බෑ. වෙන කෙනෙකුට භාරදෙන්නත් බෑ. තියෙන්නේ ක්‍රම දෙකයි. එක ක්‍රමයක් තමා හැකි සෑම විටම සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ, දැන් මේ දැන්, රෑ මැරෙනවානම් එදා උදේ ඉඳලා නෙවෙයි, මේ මොහොතේ ඉඳලා. සෑම විටම සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ. හොඳින් ඉන්න විටත්, දුකෙන් ඉන්න විටත් දෙකේදිම. අප දුකෙන් ඉන්නවිටනේ සිහියෙන් ඉන්න හදනවානේ, ඒ මඳි. හොඳින් ඉන්න විට, ප්‍රශ්නයක් නෑයි කියලා සිතෙන තැනකදීත් සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ. විශේෂයෙන් ප්‍රශ්නයක් තියෙන තැනකට වඩා, මොකද ප්‍රශ්නේ හදා ගන්නේ ප්‍රශ්නයක් නෑයි කියලා සිතන තැනක සිහිබුද්ධිය නැතිකරගෙන. හොඳයි ප්‍රශ්නයක් නෑ කියන තැන සිහිබුද්ධිය භාවිතා නොකිරීම නිසා තමා ප්‍රශ්නයක් හදා ගන්නේ. ඒ තමා පළමුවෙනි කාරණය.  ඒ කාරණය ගැන තමා අප දිගටම දිගටම කථා කලේ. පුළුවන් තරම් සිහිබුද්ධියට සමීප වෙන්න, සිහිබුද්ධියට එන්න ඉඩදෙන්න ජීවිතයට, ඇරයුම් කරන්න, දොරකවුළු අරින්න, අත වනන්න. ආවාම එයාගෙන් වැඩ ගන්න. අමුත්තෙක් විදිහට පැත්තක ඉන්න දීම නොවේ. පුළුවන් තරම් වැඩගන්න. වැඩගන්න තරමටයි සිහිබුද්ධිය ඉන්නේ. එන්නේ එන්න කීවොත්. ඉන්නේ වැඩ ගත්තොත්.

දෙවෙනි කාරණය අහිමිවීම් වලදි, යමක් අහිමිවන විට අහිමිවෙන්න ඉඩදෙන්න. ඒක අමාරුයි. දැන් නම් මේ තියෙන තත්වය අනුව එහෙම ඉඩදෙන්න වෙනවනේ. කරන්න දෙයක් නෑ නැති වෙනවා. ගෑසුත් නෑ. ඉතින් ඔහේ ඉන්නවා. නැතිවෙන්න ඉඩදීලා ඔහේ ඉන්නවා. හූල්ල හූල්ල හරි ශාප කර කර හරි ඉන්නවා. එසේ හූල්ල හූල්ල ශාප කර කර නොවේ, අන්න එතනදි මේ ආකල්පය ඇති කරගන්න. ඒ දේ නැතිවුණත් තමන්ට සිහිබුද්ධිය තියෙනවා. සිහිබුද්ධිය තියෙනවා කියා සිතුවිල්ලක් නොවේ. සිහිබුද්ධියෙන්ම සිතන්න. සිහිකල්පනාවෙන්ම සිතන්න. මේ දේ නැතිවෙන විට ඒ අඩුවත් පුරවාගන්න වැඩියෙන් සිහිබුද්ධිය ඇති කරගන්න ඕනෙ. අප ජීවිතයේ හිමි කරගත් දේවල් වලට දුන්න තැන, ජීවිතය පුරවලා තියෙනවානේ එක එක කෙනාගෙන්, එක එක දේවල් වලින්. ඒකනේ අහිමිවීමේ, වියෝවේ දුක කියලා කියන්නේ. යමක් නැතිවෙනවිට ඒ හිදැස එතන ඉතිරි වෙනවා. එතන හිදැසක් කිසිදෙයකින් පිරෙන්නේ නැති. පිරෙනවා නම් දුකක් තියෙන්න බෑනේ. ආදරය කළ කෙනෙකු නැතිවන, වියෝවෙන විට ඇතිවන හිදැස මොනවායින්වත් එක දවසකින්, පැයකින් පුරවන්න බෑනේ. එහෙම පුළුවන්නම් මේ ලෝකේ වියෝ දුකක් තියෙන්න පුළුවන්කමක් නෑනේ. 

හිදැසක් තියෙනවා. තව දෙයක් අහිමි වුනාම තව හිදැසක් තියෙනවා. හිදැස තියෙන්න අරින්න. පුරවන්න හදන්න එපා. සාමාන්‍ය සිහිකල්පනාව නැති සිත කොහොන්හරි පුරවන්න ඕනේ. කුමකින්ද පුරවන්නේ කියලාමයි සිතන්නේ. එනම් කුමකින්ද උපාදාන කරගන්නේ දැන්. මේ නැතිවුණු දේ වෙනුවට මොකක්ද අලුතින් උපාදානය කරගන්නේ. බලනවා බලනවා බෑ. එක දවසින් බෑ. ඒ නිසානේ විඳින්නේ මාස ගණනක්, අවුරුදු ගණනක්. පුරවාගන්න තව දෙයක් අල්ල ගන්න බැරිනිසා. පුළුවන් වූ දවසට ඒ දුක නෑ. අහිමිවීම අහිමිවීමක් විදිහටම තියෙන්න අරින්න. අමාරුයි, හරිම අමාරු දෙයක්. හැබැයි අර හුස්ම අල්ලාගෙන දඟලන දැඟලිල්ල ඒ විඳින දුකත් එක්ක බැලුවාම මේවා ගණන් ගන්නවත් බෑ. යමක් ජීවත් වන විට අහිමිවුනාම ඒ අහිමිවීමත් සමඟ, ඒ හිදැසත් සමඟ ඉන්න ගන්න උත්සාහයේ දි තියෙන දුක ගණන් ගන්නවත් බෑ.  අප උත්සාහ කළත් නැතත් ඒ දුක තියෙනවානේ. එකපාරට පිරෙන්නේ නෑ කිව්වානේ. ඉස්සරහට කොහොමත් දුකයි. හැබැයි අහිමිවීම පුරවන්න සිතන්නේ නැතිව පුළුවන් දවසක් ඉන්න. හදිස්සි වෙන්න එපා පුරවාගන්න. ඒ අහිමිවීම දකිමින්, ඒ හිදැස අත්දකිමින් ඉන්න. හිත හිත විඳිනවා නෙවෙයි. එය වෙනම කාරණයක්. එය තමා සාමාන්‍යයෙන් කරන්නේ. එම හිදැස දැක, අත්දැක-අත්දැක ඉන්න බලන්න සිහිකල්පනාව ගෙනල්ලා එතෙන්ට. ඒ හිදැස සිහිකල්පනාවෙන් පුරවාගන්න. එක බින්දුවක් දාන්න එවිට ටිකක් පිරෙයි. නැතිවුණු ප්‍රමාණය අප සිතමු දාහක ප්‍රමාණයක් කියා, එවිට සිහිබුද්ධිය එක බින්දුවක් දැම්මාට නෑ වගේ පෙනෙයි. මුකුත්ම නෑ, කමක් නෑ. තව බිංදුවක් දාන්න. ටික ටික වැඩෙයි. අහිමිවීමත් සමඟ ඉන්න සිහිකල්පනාවෙන්. ඒ තමා දෙවෙනි කාරණය පුහුණු කළ යුතු.

එහෙම නම් අර වගේ අවස්ථාවක හුස්මයි අපයි තනිවෙන්නේ නෑ. එතන සිහිකල්පනාව තියෙනවා. එයත් ඉන්නවා. තනියක් නෑ. ඊළඟට හුස්මත් ගියත් සිහිකල්පනාව තියෙනවා. හුස්ම නැතිවුණු මොහොතේම මැරෙන්නේ නෑ. ඒකනේ කෘතිම ස්වසනය දීලා පණ ගන්න අවස්ථා තියෙන්නේ. මැරිලානම් බෑනේ. එවිට එතන සිහිකල්පනාව තියෙනවා. තියාගන්න පුළුවන්. හුස්ම නැතිවුණත්. අප කිව්වානේ මුලින්ම සිහිබුද්ධිය තිබ්බානම් මේ ප්‍රශ්නය එන්නේ නෑ කියා. අප ඉපදුනේ සිහිබුද්ධියෙන් නොවේ. සිහිබුද්ධියෙන් උපදින්න බෑ කාටවත්. එහෙම ඉපදුනානම් එතනින් එහාට මේ කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් සිහිබුද්ධියෙන් ජීවත් වෙන්න පුළුවන්. සිහිබුද්ධියෙන් මැරෙන්නත් පුළුවන්. එවිට එය මරණයක් නොවේ. සිහිබුද්ධිය එතන තියෙනවානම් එතන මරණයක් නොවේ. ඊට වැඩිය වෙනත් සිදුවීමක්. අහිමිවීම් පිළිගන්න. අහිමිවීම් සමඟ සාමයෙන් ඉන්න පුරුදු වෙන්න. ගැටි ගැටි නෙවෙයි, සාමයෙන් ඉන්න පුරුදු වන්න. මොන දේ අහිමි වුණත් ඒ අහිමිවීමේ හිදැස ළඟට සිහිබුද්ධිය ගේන්න. එයාට එතනට ඇවිලා ඉන්න අරින්න. එකපාරට සිහිබුද්ධිය ආවා කියා ඒ අහිමිවීමේ හිදැස පිරී ඉතිරී යන්නේ නෑ. එහෙම වෙන්නත් පුළුවන් ඇති. එහෙම වෙනවානම් මොනතරම් හොඳද. එක තත්පරයෙන් එහෙම වෙනවානම්, හැබැයි එහෙම නොවුණත් ටික ටික හරි ලොකු වලක් දෙසට ඇඟිල්ලෙන් ඉරක් ඇන්දොත් ඈත තියෙන වතුර බිංදුව බිංදුව හරි ඇවිල්ලා මේකට වැටිලා පිරෙනවානේ. තියෙන කර්කශ වියළි බව අඩුවෙනවානේ. එහෙම වෙන විට අන්න ධර්මතා කරකැවෙන්න පටන් ගන්නවා.

වෙන ක්‍රමයක් නම් නෑ. මෙය programme කරන්න පුළුවන් ක්‍රමය එපමණයි. වෙන programme  එකක් නම් දන්නේ නෑ. තියෙන්නත් පුළුවන්, හැබැයි දන්නේ නම් නෑ. මෙන්න මේ අහිමිවීමේ අත්දැකීම රත්තරන් වගේ වටිනවා. රත්තරන් වලටත් වැඩිය වටිනවා. රත්තරන් කියලානේ බදාගන්නේ, කාව හරි දරුවෙක් වුණත්, අම්මා කෙනෙක් වුණත් රත්තරන් කියලානේ බදාගන්නේ. එහෙම රත්තරන් කියලා බදාගත්තාම තමයි අහිමිවීමේ දුක, අහිමිවීමේ වියෝගය, වේදනාව දියමන්ති වගේ දැනෙන්න පටන් ගන්නේ. එහෙම රත්තරන් කියලා බදාගත්තාම. ඒ හැම අහිමිවීමක්ම රත්තරන් වලට වැඩිය වටිනවා. මෙන්න මේ කාරණය නිසා. හැම අහිමිවීමක්ම අපට මරණය පිළිබඳ පාඩමක් කියාදෙනවා. මැරෙන හැටි කියලා දෙනවා. “අයියණ්ඩි මම මැරෙන හැටි පෙන්වන්නම්” කිව්වානේ, ඒ කිව්වේ මෙන්න මෙයා. කවුරුහරි කියන්න ඇති එදා, හැබැයි සිහිකල්පනාව මෙතනට ගෙනාවොත් එයා කියනවා “අයියණ්ඩි / අක්කණ්ඩි මම මැරෙන හැටි පෙන්වන්නම්” කියා. වෙන කවුරු පෙන්නන්නද? බෙල්ලේ වැල දාගන්න  හැටි ඕන කෙනෙක් පෙන්නයි. හැබැයි මෙහෙම සියල්ල අහිමිවීම් දෙස බල බලා, හුස්ම විතරයි එයත් නැතිවෙන හැටි බල බලා සාමයෙන් මැරෙන හැටි කියලා දෙන්න පුළුවන් එකම එක මලයණ්ඩි / නඟා හරි කවුරු හරි ඒ සිහිබුද්ධිය පමණයි. ඉතින් එයා අපිට එයාගේ ආදරණීය හැකියාව කියනවා. අයියණ්ඩි / අක්කණ්ඩි මැරෙන හැටි පෙන්වන්නම්. මේක අද නෙවෙයි හැමදාම කියනවා. හැබැයි අපිට ඇහුණේ නෑනේ.  දැන් ඇහෙන්න පටන් ගන්නවා. සිහිබුද්ධියට ඉඩදෙන්න අපට මරණය පිළිබඳ විද්‍යාව කියා දෙන්න. මරණය පිළිබඳ කලාව උගන්වන ගුරුවරයා තමා අහිමිවීම්, වියෝවීම්, බලාපොරොත්තු කඩවීම්, හා අපේක්ෂා භංගත්වයන්. හැබැයි ඒ සමඟ සිහිබුද්ධිය සම්බන්ධ වුණොත්. එහෙම නැතිව ඕන තරම් මැරෙනවා, වියෝ වෙනවා, මොනවාද ඉගෙන ගන්නේ? ඉගෙන ගැනීමක් නෑනේ.

භාවනාව

හොඳයි හිතවතුනි අපි විනාඩි කිහිපයක් මේ ඇසූ කාරණා මනසේ පෙළගස්වා ගන්න උත්සාහ කරමු. අපට වැටහෙන, තේරෙන, දිරවන ප්‍රමාණයට.

සාකච්ඡාව

ආවර්ජනාත්මක මෙනෙහි කිරීමත් සමඟ මතුවුණු කාරණා තියෙනවා නම්, අහන්නට, විමසන්නට හෝ බෙදාගන්නට මේ ඒ සඳහා අවස්ථාව.

ප්‍ර : සතියකට පමණ පෙර වයසක අම්මා කෙනෙක් පණ අදිමින් සිටින අවස්ථාවක් මම දැක්කා. අද දේශනයේදී ඔබතුමා සදහන් කල අත්දැකීම් ටික ඒ අම්මා ලැබුවා කියා මට තේරුණා. මරනාසන්න අවස්ථාව ඉතාම අසරණ අවස්ථාවක්. හරිම සංවේගයක් ඇති වුණේ, ගොඩක් කණගාටුවෙන් හිටියෙ, කතා කරන්න බැරිව ගියා, ඇස්වලින් කඳුළු වැටෙන්න ගත්තා, ඊට පස්සේ කෙඳිරි ගෑවා, ඊටත් පස්සෙ අමාරුවෙන් හුස්ම ගන්න අවස්ථාවට ආවා, ඊට පස්සේ ඇස් පිය උනා. ඉතින් මම ඒ අම්මාට පිහිට වෙන්න කියලා උත්සාහ කළා, මොකද අවසාන අවස්ථාවේ එයාගේ හිත හදන්න පුලුවන්ද කියලා මම උත්සාහ කළා. පිරිත් දාන්න කියලා ඒ ගෙදර අයට කිව්වා. නමුත් ඒ අය දමිල නිසා ඒ ගැන උනන්දු වුණේ නෑ. එහෙම නම් එයාලගේ ආගමට අනුව සුදුසු දෙයක් කරන්න කියා කිව්වා අම්මට ඇහෙනව නම් ඇහෙන්න. නමුත් එහෙම දෙයක් කලෙත් නෑ. ඉතින් ඒ අය මිත්‍යාදෘෂ්ඨික භාවයෙන් තමයි කටයුතු කළේ. පස්සේ මම කිව්වා ඒ අම්මට ඇහෙන්න අනිත් අයට අඬන්න එපා කියලා සහ අනිත් නෑදෑයින්ට එතනට අඬ ගහන්න එපා කියල. ඒ විදිහට ඒ අම්මගෙ අවසාන හිතට උදව් වෙන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා කියලා මම හිතනවා. ඒ අම්මා පැය 12ක් විතර පණ ඇදලා තමයි හුස්ම ගිහින් තිබුණේ. ඉතින් ඒක හරි සංවේග ජනකයි. එතන හිටපු අනිත් අයට මම මතක් කලා “ඔයාලටත් ඔය ටිකම තමයි වෙන්නේ, ඒ බව දැන්වත් තේරුම් ගන්න” කියා.

ඒවගේම මගේ මවත් එවැනිම අවස්ථාවකට ආවා. එතැනදී මට තේරුණා අම්මා මැරෙන්න සූදානම් නෑ කියා. මොකද එයා එතනදි ලොකු උත්සාහයක් කරා ජීවත් වෙන්න. ඉතින් ඒ අවස්ථාවත් හරිම සංවේගජනකයි. මේ විදිහට මම මරනාසන්න අවස්ථාව තදින්ම දැකලා තියෙනවා. 

පි : ඔබතුමියගේ මව බේරුණේ ඔබතුමිය ඒ අවස්ථාවේදී අප්‍රමාදීව කළ යුතු දේවල් කළ නිසයි. 

ඒ වාගේම පළමු සිදුවීමේදීත් ඒ වයසක අම්මා වෙනුවෙන් ඔබතුමියට කළ හැකි දේ කළා. එතන විකාරයක් පිස්සං කොටුවක් වෙන්න තිබුණ අවස්ථාව නැති කරලා කනක් ඇහිලා ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා. එය හරි වටිනවා, මොකද විසංධි වීමේදී අන්තිමට විසන්ධි වෙන්නේ කන. ඊට කලින් අනිත් ඉන්ද්‍රියන් සන්ධි වෙනවා. ඉතින් ඉන්ද්‍රියන් පහකට බෙදුණු අවධානය අනිත් ඒවා අක්‍රිය වීම නිසා කනට ඉතාමත් සංවේදී වෙනවා. එවැනි අවස්ථාවල අවට පරිසරයේ සංසුන් බව ඉතාම වැදගත්.

ඊළඟට ඉන්න බැරි තැනකදී ඉන්න බැරි කම නිසා යන්න උත්සාහ කරන වේලාවකදී “යන්න එපා, ඉන්න ඉන්න” කියලා මේ පැත්තට අදින්න ගන්න උත්සාහය මාරයාත් එක්ක කරන කඹ ඇදීමක්, අපි එක පැත්තකින් අදිනවා මාරයා අනිත් පැත්තෙන් අදිනවා. ඉතින් තොන්ඩුවට හිරවෙන්නේ මරණයට මුහුණ දෙන කෙනා. බෞද්ධ ද නැද්ද කියන එක නොවේ වැදගත්, මරණය කියන්නේ කලාවක්, මරණයේ කලාව. ඉතින් ඒ කලාව ඒ විද්‍යාව අපි ඉගෙනගන්න ඕන, උගන්නන්නත් ඕන. උගන්නන්න නම් පළමුව අපි ඉගෙනගන්න ඕන. හැබැයි ඒ දේ පොතකින් නම් ඉගෙන ගන්න බෑ. අහිමිවීම් සමග පමණයි ඉගන ගන්න පුළුවන්. හැම අහිමිවීමක්ම වියෝවක්ම මරණයේ sample එකක්. ඒවා අපිට මරණය පරික්ෂා කරන්න දෙන අවස්ථාවන්.

ප්‍ර : මටත් අත්දැකීමක් තියෙනවා මරණය සම්බන්ධයෙන්. මට උණ හැම සිදුවීමක්ම ඔබතුමාගේ දේශනය තුල ඒ විදියටම සටහන් වුණා. ඒ ගැන පොඩ්ඩක් සදහන් කරනවා නම්, ආශ්වාස ප්‍රශ්වාස කරගන්න බැරිව බාහිරින් ඇහෙන ශබ්ද බොහෝ ඈතට ඈතට ගිහින් ඇහෙන්නේ නැතිව ගියා. එතැනදී මගේ මතකයට නැගුනේ ”ඕනෑම රාත්‍රියක නින්දෙන් මියදෙන්න පුළුවන් නිසා සිහියෙන් සියල්ල අත්හැරලා නිදාගන්න” කියන ඔබතුමාගේ අවවාදය. ඉතින් ඒ අවවාදය තුළ මම ගත්තු උත්සාහයක් අත්හැරලා මෙය තමයි මරණ අවස්ථාව කියලා හිතලා ඒ අවස්ථාවට මුහුණ දීලා හිටියේ. ඉතින් ඔබතුමා පැහැදිලි කළ දේවල් තමයි සිද්ධ වුණේ. නමුත් මම තාමත් ජීවත් වෙනවා. ඔබතුමා පැහැදිලි කලා එතනදි මරණයක් වෙන්නේ නෑ කියලා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

පි :සිහිබුද්ධිය නැතිව සිදුවන සිදුවීමකට තමයි මරණය කියන්නේ. සිහිබුද්ධිය නැති මරණය අවසානයක් නිමාවක් නොවෙයි, ආරම්භයක්, ආයේ පටන් ගන්නවා. අහිමි වීම් පිළිගන්න පුළුවන් නම්, අහිමි වීම් සමග සාමයෙන් ඉන්න පුලුවන්නම් ,එය තමා ඇත්ත එය තමා වර්තමාන යථාර්ථය, ඒ බව පිළිගන්න පුළුවන් නම් ආයෙ ආරම්භයකට යන්නෙ නෑ, එතනින් ඉවර වෙනවා. ඉවරයක් වෙන දෙයකට මරණයක් කියලා කියන්න බෑ. අපි මරණය මරණය කියලා කියන්නේ “ඉවරයි” කියලා කිව්වට, නෑ, මරණය කියන්නේ ඉවරයක් නොවේ ආරම්භයකට, නැවත පටන් ගැනීමට. ඉවර වීමකට මරණය කියන්න බැහැ. ඒකට වෙන වචනයක් හොයාගන්න වෙනවා. 


ප්‍ර : ඔබතුමා සඳහන් කරන ඒ අවස්ථාව මේ භවයෙන් ඉවත්වෙලා තව භවයකට යන අවස්ථාවක් විදිහටයි මම තේරුම්  ගත්තේ. ඒ අවස්ථාවේදී පංච ඉන්ද්‍රියන් අක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට විඳීමක් නැති වෙනවා. විඳීමක් නැතිවෙනකොට තණ්හාවක් නැති වෙනවා නේද?. විඤ්ඤාණය කියන බීජ කර්මය කියන තැන පැල වෙනකොට තණ්හාවක් නෑ. එතකොට එය සුබ සිද්ධියක් විදිහටද ඒ දේ වෙන්නේ? 

පි : සුභ සිද්ධියක් කරගන්න පුළුවන්. එහෙම වෙන්නේ නෑ, නමුත් එය සුභම සුභ සුද්දියක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් සිහිබුද්ධිය තිබුනොත්. ඕනෑම සිද්ධියක් එය සුබ සිද්ධියක් බවට පරිවර්ථනය කරගන්න අපිට ස්ථානෝචිත ප්‍රඥාව තියෙන්න ඕන. එහෙම නැති වුනොත් හොදම දෙයක් වුණත් නරක පැත්තට තමයි පෙරළෙන්නේ.

 දැන් ඔය ඉන්ද්‍රිය පහ විසන්ධි වෙලා යනවා. එතනදි ස්පර්ශය වීම නැති උන ගමන් විඤ්ඤාණය ඇති වුණත් නැතත් එය ක්‍රියාකාරී මට්ටමකට එන්නෙ නෑ, ඒ කියන්නේ අපි දන්නේ නෑ ඇහුනද පෙනුනද කියා. හැබැයි මනෝ විඤ්ඤාණය ඉතිරි වෙනවා. අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ. ඔය පහම අක්‍රියවෙන තැන උපරිම ක්‍රියාකාරී වෙන්නේ මනෝ විඤ්ඤාණය, සමහරවිට ජීවිතයේ පළවෙනි වතාවට මනෝ විඤ්ඤාණය ඒ මට්ටමට අධික්‍රියාකාරී උනේ. දැනුත් ක්‍රියාකාරී තමයි නමුත් අනිත් වත් ක්‍රියාකාරී නිසා බලය බෙදිලා යනවා. නමුත් ඒ වෙලාවේදී අනිත් ඒවා ක්‍රියාකාරී නැති නිසා අති වේගයෙන් ක්‍රියා කරන්නේ මනෝ විඤ්ඤාණය. ඒ නිසා තමයි මරණාසන්න වෙලාවෙදි එතෙක් අමතක වුනු දේවල් පවා මතක් වෙන්න පුළුවන් වෙන්නේ. එතැනදී මුළු ජීවිතේම චිත්‍රපටියක් වගේ පේන්න පටන් ගන්නවා. එතකොට එතන විදිනවා. ඉන්ද්‍රිය පහේ වේදනාව නැති වුණාට මනෝ විඤ්ඤාණයේ එන අරමුනු වලට එන විඳීම තියෙනවා. ඒවා ඇතිවෙන කොට ඒවාට තණ්හාව ඇති කරගන්නවා. ඒ සිද්ධියට අදාළ තැනක් කෙනෙක් හිටියොත් ඒ තැන අයව උපාදාන කරගන්නවා. එතකොට මැරෙන්න කලින් භවය හදනවා, එහෙම හදලා තමයි මැරෙන්නේ, මැරුණට පස්සේ භවයක් හදන්න බැහැ. මැරෙන සිද්ධිය අල්ලගෙන එයට විරුද්ධ වේවි විරුද්ධ වේවි, ජීවිතේ කුමන හෝ සිදුවීමක් (හොද හෝ නරක) අල්ලාගෙන ඒ සිදුවීම එක්ක පොර බද බදා මේ සියල්ල සමග විඳිමින් භවයක් හදනවා. ඔය පණ අදින වෙලාවේ කරන්නේ බවය හදන එක. ඊට පස්සේ තමයි මැරෙන්නේ. එතකොට එතන ඔබතුමා කියූ කාරණය වෙන්න පුළුවන්. මනෝ විඤ්ඤාණය විසන්ධි වෙලා කිසි දෙයක් මතක් වෙන්නේ නැත්නම් හෝ මතක් වුනත් ඒවා නවත්වාගෙන බලන්න හදන්නේ නැත්නම් අල්ලා ගන්නේ නැත්නම් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් එතැනදී නම් ඔබතුමා කිවු දේ වෙන්න පුළුවන්. එහෙම වෙන අවස්ථාත් ඇති. එහෙම නැත්නම් බොහොම නිවුණු සැනසුණු සිදුවීමක් මතක් වෙලා එයත් සමග බොහොම ප්‍රසන්න තත්ත්වයකට පත්වෙලා (ඒකත් වින්දනයක්) ඒ වින්දනයක් එක්ක හරිම පහන් භවයක් හදාගන්නත් පුළුවන්. කිසියම් මට්ටමක සිහි කල්පනාවක් තිබුනොත් එහෙම හදාගන්නත් පුළුවන්. හැබැයි සිහි කල්පනාව නැති තැනක මොනවා වෙයිද කියන්න බෑ, මොනවා හදාගනියි ද දන්නෙත් නෑ. හදාගන්න ඕන එක නොවෙයි හැදෙන්නේ. ඉතින් අපට ඕන භවය නොවෙයි හැදෙන්නේ සිහි කල්පනාව නැති තැන. හැබැයි භවයක් හැදුවොත් උපදින්න වෙනවා, භවයක් හදාගෙන උපදින්නේ නැතිව ඉන්න බෑ. 

ප්‍ර :  අපි දන් දීම පුරුදු කරලා තියෙනවා නම් එතැනදී උදව් වෙයි කියල හිතනවා.

පි : අවංකවම දන් දෙන්න බෙදාගන්න පුරුදු පුහුණු වුණු හිතකට එතනදී අත් හරින්න පහසුයි, අඹ ඇදීමකින් තොරව අත්හැරීම කරගන්න පුලුවන් වෙයි.

ඒවගේම අපි අනිත් අයට ලැබෙන දේවල් දිහා බලලා සතුටු වෙන්න පුරුදු වෙලා තියෙනවනම්, අපිට නැති වුණත් අපිට ලැබෙන්න තිබුනු දේවල් අපිට නොලැබී වෙන කෙනෙකුට ලැබෙන විට එයත් සමග සතුටු වෙන්න පුළුවන්කම පුරුදු කරලා තියෙනවා නම් (මුදිතාව) එයත් එතනදී ගොඩක් උදවු වෙයි. ඒ මොහොතේදී ගෙදර මතක් වුනොත් ”මගෙන් පස්සෙ තව කෙනෙකුට තෙමෙන්න වෙන්නේ නැතුව ඉන්න ගෙයක් මම හැදුවා” කියා සතුටු වෙන්න පුළුවන් නම් ඒ මුදිතාව හරි වටිනවා. ඉතින් බලන්න සැනසිල්ලේ ජීවත්වෙන්න විතරක් නෙවෙයි සැනසිල්ලේ මැරෙන්නත්  මේ දේවල් කොච්චර වටිනවද කියලා.

ඊලගට සීලය හරියට උදව් වෙනවා. මම කාටවත් කරදරයක් කළේ නෑ කියන සුඛය ( අනවජ්ජ සුඛය) විඳින්න පුළුවන්. ඉතින් මේ විදිහට බුද්ධ දේශනා මොන තරම් ඇත්තද වත්ද ප්‍රයෝජනවත්ද සහ ප්‍රායෝගික ද. 

ප්‍ර : මම ඉතාමත් ලස්සන තරුණ නිළියකගේ සම්මුඛ සාකච්ඡාවක් ඇහුවා. ඒ සාකච්චාවේදී ප්‍රශ්නයක් අහනවා ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද කියා. ඒ වෙලාවේ ඒ තරුණ නිළිය ගොඩාක් සතුටින් කියනවා” මගේ අනාගත බලාපොරොත්තුව මේ මොහොතේ සතුටින් සිටීමයි” කියලා. ඒ ප්‍රකාශය මට ගොඩක් හිතට දැනුනා. නමුත් අපි ගොඩක් පුහුණු කරන්නේ නැත්තේ ඒක නේද කියලා හිතනවා. මේ මොහොතේ සතුටින් සිටීම ප්‍රගුණ කිරීමත් හොඳයි නේද?

පි : හොඳටම හොඳයි. මේ මොහොත කියන්නේ සිදුවීමකට. දැන් මොනවා වෙයිද කියන්න අපි දන්නේ නෑ. එය අපේ අතේ නොවෙයි තියෙන්නේ. බඩගිනි එන්න පුළුවන්, මදුරුවෙක් කන්න පුළුවන්, යමක් එල්ලන්න පුළුවන්. මේ මොහොත අපේ  අතේ නෑ. මේ මොහොත අපිට ඕන විදියට සංවිධානය කර ගන්නත් බෑ. හැබැයි මේ මොහොතේ මොනවා උනත් සතුටින් ඉන්න එක, ඒක ලේසි නැහැ. මේ මොහොතේ මොනතරම් දේවල් වෙන්න පුලුවන්ද එකිනෙකට පරස්පර. හැබැයි මොනවා උනත් සතුටින් සිටීම, එය හරි වටිනවා. ඒ තමා අමාරුම දේ. අමාරුවෙන් හරි කරන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නෑ.

 ඔබතුමිය කියූ කාරණය තුළින් තව ධර්මතාවයක් මතු වෙනවා. ධර්මය ඕන තැනකින් ඇහෙන්න පුළුවන් කියන එක. නිළියකගේ සම්මුඛ සාකච්චාවකදී එය ඇහුනේ. එතනදී බණ අහන්න අපි ඒ සාකච්ඡාවට ඇහුම්කම් දුන්නේ. හැබැයි ධර්මය ඕන තැනකින් එන්න පුළුවන්. එය තමා දහමේ තියෙන  අනන්‍ය ස්වභාවය, වෙන කිසිම දේකට සමාන කරන්න බෑ  දහමටම තමා අනන්‍ය. අපිට බණ පදය අපි ඇත්තටම පිපාසයෙන් ඉන්නවනම් ඒ දහම නැමැති අමා දිය බිඳුව කොතනින් හරි වැටෙන්න පුළුවන්. එය වැටෙන තැන තමා ධර්මදේශනය කියන්නේ. ඒ විවෘත භාවයෙන් අපි ඉන්නත් ඕන. කොතැනදී හෝ අපිට ඕන දේ ඇහෙන්න පුළුවන්, කියවන්න ලැබෙන්න පුළුවන්. මේ විශ්වයම අපිට බණ කියනවා. නමුත් අපි එයට සුසර වෙලා නැති නිසා එය ඇහෙන්නේ නෑ. අපි සුසර වෙලා තියෙන්නේ channels කිහිපයකට පමණයි. නමුත් channels අප්‍රමාණ සංඛ්‍යාවක් තියෙනවා විශ්වයේ. එහෙම සුසර වුණොත් ඒ ඕනෑම තැනකින් දහම ඇහෙන්න පුළුවන්.

හැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!