සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 03

2021 ඔක්තෝබර් 20, සාරාංශය

මෙය පුරුද්දට කරන පුරුද්දට සහභාගී වෙන වැඩසටහනක් කරගන්න එපා. එය තරම් හාස්‍යක්, විනාශයක් තවත් නෑ.

ඡීවිතේ කියන්නෙම පුරුද්දක්. ජීවිතේ බොහෝ දේවල් පුරුද්දට කෙරෙන්නේ. ඒ බව අපි කවුරුත් අත්දකිනවා. ඇහැරෙන්නේ, දවස ගෙවෙන්නේ, නින්දට යන්නේ දින සති මාස ගෙවෙන්නේ පුරුද්දට. මේ පුරුදු ජීවන රටාව ජීවත්වීම පහසු කරනවා. වැඩිය විමසන්න කල්පනා කරන්න, ප්‍රශ්න කර අහන්න අවශ්‍ය නෑ. හොඳ පුරුද්දක් තියෙනවා නම් ඕනෑම කටයුත්තක් බොහෝම පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. පුරුද්ද පහසු ජීවිතයකට බොහොම රුකුලක්. එකම අවස්ථාවේ වැඩ දෙක තුනක් කරන්න උනත් පුලුවන් කාර්යක්ෂම බවක් ඇති වෙන්න පුළුවන්. 

ඒ වගේ කාර්යක්ෂමතාවය උපරිමයට පෙන්වන්නේ යන්ත්‍ර. ඒ මට්ටමට මිනිස්සුන්ට එන්න බෑ. නමුත් අපිත් යාන්ත්‍රිකව වැඩ කරනකොට යම්තාක් දුරකට යන්ත්‍ර බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් යන්ත්‍ර (කෘතීම බුද්ධිය හැරුණුකොට) තමන් කරන වැඩේ කරනවා මිසක් වෙන වැඩ ගැන හිතන්නෙ නෑ. හිතන්න තමයි වැඩිපුර කාලයක් ශක්තියක් වැය වෙන්නේ, ඒ වගේම යන්ත්‍ර අවේගශීලී වෙන්නෙත් නැහැ. මිනිසාත් මේ විදිහට යම් දුරකට හැඟීම් නැතිව, හිතන්නේ නැතුව වැඩ කරන තත්ත්වයකට එනවා. ඒ වේලාවට අපට හැඟීම් දැනීම් දැනෙනෙවා බොහොම අඩුයි, හැබැයි කාර්යක්ෂමතාවය ඵලදායිතාවය නම් වැඩියි.

මේ කාර්යක්ෂමතාවය තමයි සමස්ත සමාජය අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට කාර්යක්ෂම වෙන්න පුළුවන් වෙන්නේ පුළුවන් තරම් යාන්ත්‍රික වෙන තරමට, පුරුද්දට වැඩ කරනකොට. සමාජය අපෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ හිතන විමසන විචාරය කරන කෙනෙක් කල්පනා කරන්න පුළුවන් කෙනෙක්. 

උදාහරණයකට වෙළෙඳපොළ සමාජය, ව්‍යාපාරික ලෝකයම අපෙන් බලාපොරොත්තු වෙන්නේ වැඩි විස්තර නොවීමසන පුරුද්දට මිලදී ගන්න පාරිභෝගිකයින් පිරිසක්. ඕනද, එපාද, හානිකරද, අතුරු විපාක තියෙනවද, මේවා ගැන විමස්සන්න යන්නේ නැති කාර්යක්ෂම පාරිභෝගිකයන්.

මේ වාණිජ ලෝකය පමණක් නොවෙයි සමස්ත සමාජයම අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් මෙවැනි හැසිරීමක්. විමසන්නේ නැති, විචාරන්නේ නැති, ප්‍රශ්න කරන්නේ නැති, ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැති තමන්ට තමන්ව වත් දැනෙන්නේ නැති, නිර්වින්දනය වුන යන්ත්‍ර වැනි මිනිසුන්. සමාජය හිතන්නේ එහි ප්‍රගමණය තියෙන්නේ මිනිස්සු එසේ හැසිරුනොත් කියා. ආගම් වුණත් විචාරශීලී බැතිමතුන්ට කැමති නෑ. මේ විදිහට දේශපාලනය, ආගම්, ආර්ථිකය, සමාජය පුරුද්දට වැඩකරන, යාන්ත්‍රිකව හැසිරෙන, ඒ නිසාම කාර්යක්ෂම වන මිනිසුන් ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. එසේ වඩාත් හොඳින් හැසිරෙන අයවමයි සමාජය අගය කරන්නේත්, ප්‍රතිලාභ දෙන්නෙත්.

දේශපාලනය, ආර්ථිකය, ආගම, සමාජය මේ සියල්ලම මිනිසාගේ නිර්මාණ. අපි නොදන්න කාරණාව තමයි අපව නිර්මාණය කළ ස්වභාවධර්මය අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් යාන්ත්‍රික ජීවිතයක්. පුරුද්දට වැඩ කිරීම ස්වභාවධර්මයේ ම හැකියාවක්. ස්වභාවධර්මය එවැනි අවකාශයක් මිනිස්සු තුළ ඇති කරලා, ඒ හැකියාව අපට දී තියෙන නිසා තමයි අපට පුරුද්දට වැඩ කරන්න පුළුවන්කම ලැබී තියෙන්නේ. පුරුද්දට වැඩ කළොත් තමයි කාර්යක්ෂමතාවය ඇති වෙන්නේ. 

සොයා බලන්න අපි දවසම ගත කරන්නේ පුරුද්දට නෙමෙයිද කියා. උදාහරණයකට උදේට අපි “good morning” කියන්නේ පුරුද්දට ද නැත්නම් හදවතින්ම ප්‍රාර්ථනා කරලද එහෙම කියන්නේ ? 

අපි දන්නවද අපි මේ සුබ උදෑසනක් වේවා කියලා අදහස් කරන්නේ කුමක්ද කියා?

ඉතින් ඇයි මේ සොබා දහම මිනිසාට යාන්ත්‍රික වීමට අවශ්‍ය සියළු සාධක පරිසරය අවකාශය හදා දී තියෙන්නේ, කුමක් නිසාද? එහෙම කෙනෙක්ගෙන් තමයි ස්වභාව ධර්මයේ බිස්නස් එක ජයටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ, ඉක්මනටම දියවෙලා යන දේවල් අපේ ඇඟේ ගහන්න ස්වභාවධර්මයට පුළුවන් වෙලා තියෙන්නේ. අපි ඒ ගැන හොයන්නේ බලන්නේ කල්පනා කරන්නේ විමසන්නේ ප්‍රශ්න කරන්නේ පසුවිපරම් කරන්නේ නැති නිසයි. ඉතින් එවැනි පිරිසක් එක්ක ස්වභාවධර්මයට සංසාරේ යම්තාක් කල් ගෙනියන්න ඕනද ඒතාක් කල් ගෙනියන්න පුළුවන්. ස්වභාවධර්මය අපිව දක්කනවා අපිත් ඔහේ යනවා.දැන් බලන්න කැලේ ඉන්න සත්තු අපි හීලෑ කර ගන්නවා කිව්වහම, සතාගෙ පැත්තෙන් ඇත්තටම වෙලා තියෙන්නේ දාසයෙක්, වහලෙක් සේවකයෙක් වීම. මේ සත්තු ඒ වහල්භාවය කැමැත්තෙන් බාර ගෙන කරන්නේ. ඒ සත්තුන්ට මතක නෑ කැලේ තිබුන නිදහස, දැන් එය අමතක වෙලා, මොකද උන් හිතනවා මේ කූඩු ආරක්ෂිතයි වෙලාවට කන්න ලැබෙනවා කියලා. අන්තිමට දන් ගෙඩියටත් කැමැත්තෙන්ම යනවා.මේ සියල්ලම සිදු වෙන්නේ නොදැනුවත්වමයි. ඉතින් අවසාන මොහොතේදී මේ සියල්ල තේරිලා මට මැරෙන්න බෑ අපහු කැලෙට යන්න ඕනේ කියලා කිව්වට ඒ සතා පරක්කු වැඩියි. ඉපදීම දැනුවත්ව උනෙත් නෑ, බඩගෑම, දණගෑම, ඇවිදීම, මේ සියල්ලම අප සැලසුම් කරලා කරන දේවල් නොවේ. ස්වභාව ධර්මය ඔහේ එක්කන් යනවා. ඒ ඒ කාලේට අපෙන් ගන්න ඕන වැඩේ ගන්නවා, නමුත් අප ඒ බව දන්නේ නෑ. ඉතින් අප මවු කුසේ සිට මේ දක්වා අතිකාර්යක්ෂම කටයුතු කරමින් අපෙන් අවශ්‍ය කාර්යයන් ඉටු කර ගන්නවා. මොනවද මෙපමණ කල් කර තියෙන්නේ, ඒවා හිතන්න එපා. ඒ කරපු දේවල් වලින් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ඒවා හොයන්නත් එපා. අප  සිතිය යුතු මාතෘකා ටිකකුත් සොබාදහමම අපට දීලා තියෙනවා.අප ඒ දේවල් ගැන හිතන්නෙත් පුරුද්දටම තමා.

ඉතින් කළ්‍යාණ මිත්‍රවරුණි මෙය ද අපට ඕන ජීවිතය? අප කාර්යක්ෂමයි කියලා අපට බොහෝ දේ ලැබෙන්න පුළුවන්, ත්‍යාග උසස්වීම්... මේ සියල්ලම මොකටද? මාරයා කඩුවක් උස්සන් ඉන්නවා බෙල්ලට උඩින් අපිත් ඔහේ ඉන්නවා. අර හිලැ උනු සතෙක් වගේ, කඩුව පාත් වෙද්දි අපි බෑ කිව්වට ප්‍රමාද වැඩියි. ඒ නිසා මේ යාන්ත්‍රික ජීවිතයෙන් අවදිවෙමු, මේ පුරුද්දට ගතකරන ජීවිතයේ අපි පිබිදෙමු, ඒ සඳහා යතුර තමා සිහිබුද්ධිය. 


භාවනාව

මේ මොහොතේ හිතෙන ඕනෑම දෙයක් ඕනෑකමින් තෝරාගෙන හිතනවද? 

ඕනකමින් තෝරාගත් මාතෘකාවක් ගැන ද හිතන්නේ? 

නැත්නම් කවුරුන් හෝ නොදන්නා කෙනෙකු ඉදිරිපත් කළ මාතෘකාවක් ගැන ද හිතන්නේ? 

හොඳට බලන්න, යමක් ගැන සිතමින් සිටින විට, ඇයි මම මේ දේ ගැන හිතන්නේ? 

කවුද තීරණය කළේ මා මේ දේ ගැන සිතිය යුතුයි කියා? 

කවුද ඒ තීරණය ගත්තේ? 

මොනවා ගැන හිතුවත් වැස්ස ගැන හිතුවත් හෙට ගැන හිතුවත් රාත්‍රී ආහාරය ගැන හිතුවත් බලන්න ඒ මාතෘකාව ගැන සිතිය යුතුයි මේ මොහොතේ කියා තීරණය කළේ කවුද? කියන්න පුළුවන්ද තමන්මයි?

කුමක් ගැන ද සිටිය යුත්තේ කවුද තීරණය කළේ එපමණක් නොවෙයි කොහොමද ඒ ගැන හිතන්න ඕනේ ? 

බලන්න හිතෙන විදිහ. ඒ විදිහට හිතන්න කියා තීරණය කලේ කවුද? මේ ප්‍රශ්න දෙක නැවත නැවත තමන්ගෙන්ම අහන්න විමසන්න විචාරන්න ප්‍රශ්න කරන්න සොයා බලන්න ගවේෂණය කරන්න.

සිතන්නට පොළඹවන අලුත් අලුත් මාතෘකා හිතට එවනවා, කවුද එවන්නේ මේ ගැන හිතන්න මේ ගැනත් හිතන්න මේ ගැනත් හිතන්න කියමින්, එකකට පසු එකක් එවමින්. ඒ කවරක් හෝ යටින් ඉරි දෙකක් ඇදලා අපි හිතන්න පටන් ගත්තහම හිතන්න ඕනේ කොහොමද කියලත් අපට කවුද මගපෙන්වන්නේ? 

එකම දේවල් ටිකක් ගැන ඊයෙත් පෙරේදත් ඊටත් කලිනුත් යම්තාක් දුරට හිතුවා ද ඒතාක් දුරට අදත් හිතනවා. සහ ඉන් ටිකක් එහාට අලුතෙන් සිතීම සිදුවන්නේ පටු කොරිඩෝවක පැසේජ් එකක දිගින් දිගට. 

කවුද මේ කූඩුව හදලා තියෙන්නේ මෙහෙම හිතන්න කියා? වෙන විදිහකට හිතන්න එපා කියා කවුද අපිව පුහුණු කොට පුරුදු කර තිබෙන්නේ? ඒ කවුද කියන්න ප්‍රශ්නයට උත්තරයක් නැති උනත් බලන්න මේ සිතීම සිදුවන්නේ කූඩුවල පථයක පාරක. පාර හදලා තියෙන්නේ කව්ද?

කවුරුන් හෝ අපිව කාර්යක්ෂමව හිතන යන්ත්‍ර බවට පත්කර තිබෙනවා, නැත්නම් කවුරුන් නිසා හෝ අප කාර්යක්ෂමවූ සිතන යන්ත්‍ර බවට පත්වී තිබෙනවා. වේගෙන් හිතන්න පුළුවන් වේගයෙන් මාතෘකා තෝරා ගන්න පුළුවන් එක මාතෘකාවකින් තවත් මාතෘකාවකට ඉක්මනින් මාරුවෙන්න පුළුවන්. මේ අපේ වර්තමාන යථාර්ථය. මේ තමයි අපට සිදු වී තිබෙන දේ. මේ ගැන දැනුවත් වෙන්න මේ ගැන සිහි කල්පනාව ඇති කරගන්න.

සිතන යන්ත්‍රය පිළිබඳව කිසියම් දුරකට ඉපදුනු සිහිබුද්ධියෙන් සිහිකල්පනාවෙන් සිහිනුවණින් යුතුව අපි මේ භාවනා අභ්‍යාසය අවසන් කරමු.


සාකච්ඡාව/ සංවාදය/ විචාරය 

Multi tasking ඒ කියන්නේ එක වෙලාවකට වැඩ කිහිපයකට අවධානය යොමු කිරීමේදී අපේ අවධානය ඒ කරන කාර්යයන් අතර බෙදී යනවා සම්පූර්ණයෙන්ම නෙවෙයි අවධානයෙන් යම් කොටසක් කොහේ යනවද දන්නේ නෑ. මෙබඳු බහුකාර්ය යන්ත්‍ර බවට මිනිසා පත් වෙලා තියෙනවා. ය එක්තරා දුරකට සහ එක්තරා කාලයකදී කරන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලයක් මෙහෙම පවතින්නෙ නෑ ඉක්මනටම දිරලා යනවා ගෙවිලා යනවා අබලන් වෙනවා. බහු කාර්ය වීමේ හැකියාව තිබුනහම බොහෝම කෙටි කාලයකින් දක්ෂතාවයන් පෙන්වනවා හැබැයි කෙටි කාලයයි. ඉන්පසුව කායික, මානසික හා බුද්ධිමය නිරෝගීකම නැති වෙනවා. Multitasking වලදී අපේ අවධානය දුර්වලයි, ඒ එක් අතුරු පලයක්. එක වැඩක් කරද්දිත් අපට අපව අමතක වීම, වැඩ ගොඩක් එකවර කරද්දි අපට අපව කොහොමත් අමතක වෙනවා. ඉතින් අප ඔහේ වැඩ කරන යන්ත්‍රයක් වගේ, හැබැයි කෙටි කාලයයි, අපට අපව දැනෙන්නේ නෑ පවුල විවාහ ජීවිතය ගැන සමාජය රටේ සහ සංසාරෙට වෙන්නේ කුමක්ද කියා දන්නේ නැ. මේ මොනවත් දන්නේ නැති බොහොම හොඳ බහුකාර්ය යන්ත්‍රයක් වෙනවා ටික කාලයකට. ඊට පස්සේ කඩාගෙන වැටෙනවා එතකොට තමන්ට තමන්වත් නෑ. ඒ නිසා දැන් කතා කරන්නේ single tasking multi focusing ගැන. එක වරකට එක වැඩක් සහ වැඩි ඉන්ද්‍රිය ප්‍රමාණයකින් ඒ කරන එක වැඩේට අවදානය යොමු කිරීම. එය තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතේ ඒ වගේම තමන් කරන සේවය වැඩි කාලයක් කරන්න පුළුවන් වෙන්නේ, එතකොට ගෙදරට, ආගමට, රටට.

 වැරදි වෙනවත් අඩුයි. ලෙඩ වෙනවා අඩුයි. ඒවගේම තමන් කරන කාර්යයෙන් වින්දනයක් ලබන්නත් පුළුවන්. යන්ත්‍රයකට නැති දේ සතුටයි.

කාර්යක්ෂම යන්ත්‍ර වීම නිසා ලැබෙන සතුටත් කෘතිමයි. වසරකට සැරයක් දෙන දීමනා අගය කිරීම් කෘතිමයි. වැඩ කිරීම නිසා ලබන සතුට ලබන්න නම්, පුළුවන් තරම් බලන්න single tasking multi focusing. 

කොහොමත් අපට එකම කාර්යය දවස තිස්සේම කරන්න අමාරුයි.  මනුෂ්‍යයා කියන්නේ විවිධත්වයට කැමැති විවිධත්වය  පුළුවන් කෙනෙක්. එම නිසා අපිට ජීවිතයේ එකම දෙයක් කරගෙන ඉන්න බෑ එක එක දේවල් කරන්න වෙනවා. දවසේ කාලයත් එක්ක බලලා ඒ ඒ වෙලාවට කරන්න වඩාත් සුදුසු කාර්යයක් තෝරාගෙන වැඩ කටයුතු සැලසුම් කර ගන්න එක වඩාත් සාර්ථකයි. එවිට බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය ලබා ගන්නත් පුළුවන් වෙයි වෙහෙසත් අඩුයි. මනුෂ්‍යයා ලෙඩ කරන ගතියත් අඩුයි .ඒ වාගේම මනුෂ්‍යයාට ජීවිතේ විඳීමට අවස්ථාවක් තියෙනවා. මෙය හරි වැදගත්. මේ ජීවිතේ විඳීම කියන එක අපි වෙන්කරලා ගන්නවා ජීවත්වීමෙන්, holiday එකක් විදිහට. නමුත් ජීවත්වීම වින්දනය කිරීමට පුළුවන් වෙන්නේ හැම දෙයක් එක්කම සමපාත කරන්න පුළුවන් වෙනවා නම්, මිනිසාගේ හැකියාවන්, කායික තත්ත්වයන්, දවසේ ස්වභාවය, කාලගුණය කරන කාර්යයේ ස්වභාවය මේ සියල්ල සමග ගලපා ගන්න පුලුවන්නම් තමයි, ඒ කරන දෙයින් මනුෂ්‍යයාට ජීවත් වීමෙන් වින්දනයක් ලැබෙන්නේ. එහෙම සමපාත වුන සැලසුමක් සමග  අපට විවිධ කාර්යයන්, සුදුසු වූ වේලාවන් හිදි, විවිධ වූ අවකාශයන්ගේ කරන්න පුළුවන්. ඉතින් අපට හරියට මේවා ගළපා ගන්න පුළුවන් වෙන්නේ සිහිබුද්ධිය තිබුනොත් තමයි. 

මෙතැනදී ආවර්ජනය සහ පසුවිපරම වැදගත්. අපට පුළුවන්  වැඩක යම් කොටසක් කර ඉන්පසු  ආවර්ජනය කර බලන්න. එතකොට තේරෙනවා කරන කාර්යය ඒ වෙලාවට සුදුසු ද නැද්ද කියා හොඳින් ගළපා ගන්න. ඍතුව අනුව, කාර්යය අනුව, පුද්ගලයා අනුව අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන්. සදාකාලයටම කියා masterplan එකක් හදන්න බෑ. වෙනස් නොවෙන ප්‍රමිතියක් හදන්න බෑ, එහෙම කරන්න පුළුවන් වෙන්නේ යන්ත්‍රවලට. සිහිබුද්ධිය තිබුනොත් ඒ වෙනස්කම් වලටත් අපව හැඩගස්වා ගන්නත් පුළුවන්. මෙය යන්ත්‍රයකින් බලාපොරොත්තු නොවන දෙයක්. 

සිහිබුද්ධිය අවදි වෙන්න නම් බාහිරින් තට්ටුවකුත් ඕන. ඒ තට්ටුව නිසා අවදි වෙන්නත් ඕනේ. සිහිබුද්ධිය අවදි වුණොත් පමණයි කෙනෙක් ආර්ය මාර්ගයට එන්නේ. සිහිබුද්ධිය හැමෝටම තියන දෙයක්. හැබැයි අපි එහි දොර ඇරලා නෑ අපි සිහිබුද්ධිය හිර කරලා සිහිබුද්ධියෙන් තොරව කටයුතු කරනවා පුරුද්දට. මේ නිර්වින්දනය කර තියෙන සිහි බුද්ධිය අවදි කරන්න, දොරට තට්ටු කරන්න, පිටින් කෙනෙක් එන්න ඕනේ, මොකද අපි ඉන්නේ ඇතුළෙනේ. කවුරුහරි දොරට තට්ටු කළොත් තමයි අපි ඇහැරෙන්නේ. ඉතින් මේ සිහිබුද්ධියෙ දොරට තට්ටු කිරීම තමයි බුදුන් වහන්සේගේ කාර්ය. වර්තමානයේ බුදුන්වහන්සේ ජීවමානව නැති නිසා අපිට ආර්ය මාර්ගයට එන්න බෑ කියල තීරණය කරන්න කලින් අපිට සිහිබුද්ධියෙන් ඉන්න පුළුවන්ද බැරිද කියලා උත්සාහ කරලා බලන්න ඕනේ. මේ කාලේ බෑ කියා අත හැරලා දැමීම ලේසියි, හැබැයි එහෙම අතහැරලා දාන්නේ සැබෑ උත්සාහයක පසුවද?,නැත්නම් එහෙම තීරණය කරන්නෙ කම්මැලි කම නිසාද? කැපකිරීම් කරන්න බැරි නිසාද? කල් දාන්න ඕන නිසාද? ආත්මාර්ථකාමී කම නිසාද? නැත්නම් සංසාරේ බදාගෙන වැඩි නිසා ද? කියලා හොයලා බලන්න ඕනේ. 

සිතිවිලි ඒම අපේ අතේ නෙමෙයි තියෙන්නේ මේ කාරණය අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. සිතිවිලි කියන දේවල් අපට අයිති දේවල් නොවෙයි, අපේ පාලනයෙන් තොරයි,  මේවා අයින් කර ගැනීම නොවේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. සිතිවිලි අපිට අයිති කරගන්න බෑ අයිති නෑ අයිති කරගන්න ඕනෙත් නෑ. 

මේ සිතිවිලි එන්නේ අතීතයෙන්. අතීතයෙන් කියන්නේ මේ හැම සිතුවිල්ලක්ම අතීතයේ අත්දැකීමකට සම්බන්ධයි. අතීත අත්දැකීමකට සම්බන්ධ නොවනු සිතිවිල්ලක් නෑ, මොනවා ගැන හිතුනත් හෙට ගැන, ලබන ආත්මය ගැන හිතුනත්, අතීතයේ එකම එක වතාවක් හරි ඒ ගැන හිතලා තියෙනවා. එතකොට මේ හැම සිතිවිල්ලක්ම එන්නේ අතීත අත්දැකීම් ආශ්‍රයෙන්. ඊළඟට මේවා අප හිතලා තියෙනවනේ. ඒ කියන්නේ මේ සිතිවිල්ලත් එක්ක අතීතයේ අපි කෙටි හෝ දීර්ඝ දුරක්  ගිහිල්ලා තියෙනවා, එක වතාවක් නොවේ මතක් වුන මතක් උනා වාරේ ටික ටික හිතලා තියෙනවා, මේ හැම සිතිවිල්ලක් එක්කම අපි යුගල ගමනක් ගිහිල්ලා තියනවා. එතකොට මේ වෙලාවේ මතක් වෙනකොට අපි ඒ සිතිවිල්ලත් එක්ක ඊට පෙර ගිය ගමන මතක් වෙන්නෙ නෑ. හැබැයි ඒ ඇබ්බැහිවීම මෙතැනදී මතුවෙලා ඒ නවත්තපු තැනින් තව ටික දුරක් යනවා, දිගටම යන්නෙත් නෑ, තාවකාලිකව නවතිනවා, ආපහු මේ සිතිවිල්ල මතක් වෙනකොට ආපහු මේ නවත්තපු තැනින් තව ටිකක් එහාට යනවා, මෙය ඇබ්බැහිවීමක්,   පුරුද්දට වෙන්නේ, මේ කාරණේ හොඳට තේරුම් ගන්න. 

සිතිවිලි එන්නේ අපෙන් නොවෙයි මම කියන්නේ සිතිවිලිවල උල්පත නොවෙයි. මට උල්පත වෙන්නත් බෑ, උල්පත වෙන්න ඕනෙත් නැහැ,.භාවනාව අපි සිතිවිලිවල උල්පත බවට පත් කරන්නේ නෑ, එහෙම බලාපොරොත්තු වෙනවා නම් එය වැරදි කාරණයක්. හැබැයි සංසාර ගමන කියන්නේ සිතිවිලිත් එක්ක යන ගමනකට. ඒ ගමනට තමා භවය කියන්නෙ නොහිතා යන ගමනකට. භාවනා කියන්නේ හිතාමතා යන ගමනක්. ගමන් දෙකයි තියෙන්නේ හිතන්නේ නැතුව යන ගමනක් එය තමා භවය, අනික සිහි බුද්ධියෙන් යන ගමන. 

සිහිබුද්ධිය කියන්නේ සිතිවිල්ලක් ආවා කියලා දැන ගැනීම පමණක්ම නොවෙයි, එය සිහියෙන් කාර්‍ය්යක්. මේ සිතිවිල්ලත් එක්ක මා මෙතෙක් කල් මෙබඳු දුරක් ආවා මොකක්ද ඉන් ලැබුනු ප්‍රයෝජනය? ඒ ගැන අපි විචාරන්න පටන් ගන්නවා. හිතන්න කියන්න කරන්න කලින් විචාරකයෙක් බවට භාවනාව අපව පත් කරනවා. එතකොට සිතිවිලි එවන කෙනා කවුරු උනත් වැදගත් නැ, හිතනවද නැද්ද තීරණය තියෙන්නේ මගේ අතේ. ඒ වගේම අද භාවනාවේදී අවධාරණය වෙන්න ඇති අපි හිතන්නෙ මොකක් ගැනද, මොනවද මම  ඒ ගැන හිතන්නේ, මෙන්න මේ විදිහට හිතන්න ඕනේ කියලා. දෙවැටක් මැද්දෙන් අපව දක්කනවද, නැත්තම් දක්කන කෙනෙක් බවට අපි පත් වෙනවද, එහෙම නැත්නම් නිදහස් කිසිම වැටක් නැති මිටියාවතක නිදහසේ හිතන කෙනෙක් බවට පත් වෙනවා ද කියන එක. මේ කාරණා දෙකම සිහිබුද්ධිය තිබුනොත් අපේ අතට ගන්න පිළිවන්.

අපි සංසාරයේ ඉන්නවද? යනවද?, කොච්චර දුර යනවද? නවතිනවාද? අයින් වෙනවද? කියන තීරණය සිහිබුද්ධිය තිබුනොත්. ඒ තිබුන ප්‍රමාණයට අපේ අතට ගන්න පුළුවන්. හැබැයි මෙතන මොනවද මතක් වෙන්නේ මොනවද ඇහෙන්නේ ඒක වැදගත් නෑ ඒවා අපේ අතට ගන්නත් බෑ. අපට මතක් වෙන්නේ මොනවද මතක් වෙන්න ඕනේ මොනවද?, ඕනෙ නැත්තෙ මොනවද?, කියන තීරණය ගන්න, පාලනය කරන්න අපට බෑ. එහෙම උනා කියලා ප්‍රශ්නෙකුත් නෑ. අපි ඕන කමින් මතක් කරන්නේ මොනවාද? හිතනවද නැද්ද?, හිතනව නම් කොහොමද හිතන්නේ, අන්න අපිට ඒ ගැන නම් තීරණයක් ගන්න පුළුවන්.. මේක තමයි වැදගත්ම කාරණය. මෙතනින් තමයි සංසාරේ පටන් ගන්නේ, භවය පටන් ගන්නෙ, මතක් වෙන තැනින් නෙමෙයි පටන් ගන්නේ, කොහොමද ඒ ගැන හිතන්නෙ, මතක් වීමක් එක්ක අපි සම්බන්ධ වෙන්නේ කොහොමද?, ඒ සිතිවිල්ලත් එක්ක අපි එකතු වෙන්නේ කොහොමද?, ඒ සිතිවිල්ලත් එක්ක යන්නේ කොහොමද, කොතනටද යන්නේ ? අන්න ඒ උඩයි  මේ තීරණය නිගමනය තීන්දුව එන්නෙ. ඒ නිසා කුමක්ද මතක් වෙන්නෙ කියන එක කිසිම වැදගත් කමක් නෑ, මොනව මතක් වුනත් මොකක්ද ප්‍රශ්නේ?. මතකයකට බෑ අපිව මරන්න. මතකයකට බෑ ප්‍රතිසන්ධියක් ඇති කරන්න. මේ දෙකම හදන්නේ මතක් වුන දේ එක්ක අපි සම්බන්ධ වෙන ආකාරය අනුව ඒ මතක් වීමට අපි ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුව.

සදහම් සැන්දෑව ආධ්‍යාත්මික පවුලට එකතුවුන හිතවතුනි, මේ ගමනේ තීරණාත්මක සාධකය සිහිබුද්ධියයි. ඒ තීරණාත්මක සාධකය මනාව හඳුනා ගන්න ඒවාගේම වැඩි වැඩියෙන් සිහිබුද්ධිය ඇති කරගන්න උත්සාහ කරන්න වැඩි වැඩියෙන් ජීවිතය විචාරාත්මකව විමසන්න ප්‍රශ්න කරන්න ආවර්ජනය කරන්න. ‍පසුවිපරම් කරන්න. මේ සියල්ල තුළින් සිහිබුද්ධියේ මාංශපේශී වර්ධනය කරන්න. මේවා තමයි ව්‍යායාම සිහි බුද්ධිය වර්ධනය කරන්න හේතු වෙන දේ . අපි වඩාත් දැනුවත් වෙමු. තමන් කවුද? තමන් කරන්නේ කුමක්ද? මේ පිළිබඳ වඩාත් දැනුවත් කෙනෙකු බවට පත් වෙන්නට අදිටන් කරගනිමු, උත්සාහවත් වෙමු. හැමදෙනාටම සෙතක් ශාන්තියක් සැනසිල්ලක් ම වේවා!

---------------------------------------------------------------------

මෙම සාරාංශය කියවා ඔබට ඇති ගැටළු අදහස් මෙහි ඇති comments යටතේ සඳහන් කරන්න පුළුවන්. ඊළඟ සාකච්චාවේදී ගුරුතුමා විසින් පිළිතුරු ලබාදේවි.