සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 29

2022 මැයි 4 සාරාංශය

බදාදා ආධ්‍යාත්මික හෝරාවට සහ සම්බන්ධවන ආදරණීය කල්‍යාණ මිත්‍රයිනි, 

පොත්වල තිබෙන දහම, ඔළුවේ තිබෙන දහම, ගොඩනැඟිලිවල තිබෙන දහම හා මතකයේ තිබෙන දහම මොනතරම් සීමා සහිතද, මොනතරම් අසරණද, දුර්වල ද එමෙන්ම අජිවීද කියන කාරණය වඩ වඩාත් අත්දකින සහ අත්දැකීම්වලින් සනාථ වන යුගයක සජීවි දහමක්, ජීවත්වන දහමක්, මේ මොහොතට ආලෝකයක් වන දහමක් සඳහා හදවත් විවෘත කරන, ගැඹුරින්ම ජීවිතය විවෘත කරන හෝරාවයි සිහිබුද්ධියට හෝරාවක් මේ බදාදා ආධ්‍යාත්මික අම්බලම.

හිතවතුනි, ජීවත්වීම කෙසේ වෙතත් ජීවිතය ගැටගසා ගැනීම පිළිබඳ විශාල ප්‍රයත්නයක් ගන්නට, දරන්නට සිදුව තිබෙන කාලයක භාවනාවත් ගැටගහ ගන්නට සිදුවුනොත් එය පුදුමයට කාරණයක් නොවෙයි. විවිධ හේතුනිසා සත්ත්වයන්ට සිදුවෙනවා ජීවිතය ගැටගසා ගන්නට. ඒ ධර්මතාව මනුෂ්‍යාටත් පොදුයි. ඒ ධර්මතාව සාංසාරික හැම සත්ත්වයෙකුටම සාධාරණයි, පොදුයි. වර්තමානය ගත්තත් ආර්ථික ප්‍රශ්න නිසා දවසින් දවස ගැට ගසාගන්න සිදුවෙනවා, අද කොහොමද ගෙවා ගන්නේ, හෙට කොහොමද ගෙවා ගන්නේ, උදේ වරුව, දහවල, රාත්‍රිය? සමහරවිට ආර්ථික ප්‍රශ්නයක් නැතිවුනත්, ලොකු අසනීපයකින්, රෝගයකින් පෙළෙන කෙනෙකුටත්, ඒ ප්‍රජාවටත්, රෝගීවුණු, ආතුරවුණු, ආබාධිතවුණු, ප්‍රජාවටත් මේ ගැටළුව තිබෙනවා. කොහොමද මේ වේදනා සමඟ, අසනීප සමඟ, ප්‍රතිකාර සමඟ ජීවිතය ඇදගෙන යන්නේ, උදේ වරුව, දහවල, රාත්‍රිය, අද, හෙට අසනීප හොඳ වෙයිද, ලෙඩේ වැඩිවෙයිද? ආර්ථිකය හා අසනීපවලට අමතරව වයස නිසාත් වියපත්වීම, මහළුවීම, ජරාජීරණවීම නිසාත්, ජීවිතය ඇදගෙන යන්න සිදුවෙනවා. කොහොමද මේ ගත්ත අඩිය බිමින් තියන්නේ, බිම තැබු අඩිය කොහොමද ඔසවන්නේ? දැන් මේ ගැටළුව, මෙය සරල උදාහරණයක්. වයසත් එක්ක වියපත් වෙන්න වෙන්න, කය දුර්වල වෙන්න වෙන්න, මනසත් දුර්වල වෙන්න වෙන්න මතුවන ගැටළුවක්. වියපත්වීමත් ජරාවට පත්වීමත් ජීවිතය ඇදගෙන යන්න ලොකු ගැටළුවක්, බාධකයක්. එතකොට බාධා තුනක්.

පළමු කාරණය ආර්ථික අර්බුද. සමහරවිට එදාවේල, ඊලඟ වේල කොහොම වෙයිද? මේ වේලේ කොහොම හරි පිරිමහගත්තා, ඊලඟ වේල, තමන්ගේ, තමන්ගෙන් යැපෙන්නන්ගේ? ඒ වගේම අනිකුත් මුදලට ගන්න තිබෙන දේවල්. මේ පළවෙනි අර්බුදය. මේ අර්බුදය උග්‍රවුනාම ජීවත්වීම ඉවරයි. ජීවිතය ඇදගෙන යන්න වෙනවා. වේලෙන් වේලට, පැයෙන් පැයට, දවසින් දවසට. ආර්ථික අර්බුදයක් නැති කාලයක, අවුරුදු ගාණක් එහාට සැලසුම් හදනවා. හදන්න පුළුවන් සතුටින්. ඒ සැලසුම් අවුරුදු පහකට, දහයකට, විස්සකට එහා හදන්න පුළුවන් කිසිදු ගැටළුවක් නැතිව. නමුත් දැඩි ආර්ථික අර්බුදයක් තිබෙන යුගයක, ඊළග වේල පිළිබඳව වත් නිශ්චිත සහතිකයක් ස්ථිර සාර ඉලක්කයක් නැතිවම කාලය ගෙවීයනවා. වේලෙන් වේලට ජීවිතය ඇදගෙන යනවා. ඉතින් මොනතරම් අසහනයක් බියක් තියෙනවාද එය අත්දැකීමෙන්ම තමයි දැනගන්න වෙන්නේ.  පොතකින් නම් ඉගෙන ගන්න බෑ. කිව්වට තේරෙන්නෙත් නෑ.

ඊලඟට ඉතාම දරුණු රෝගවලින් ආසාදිත වූ අවස්ථාවකත්, ජීවත්වීමක් වෙන්නේ නෑ. ජීවිතය ඇදගෙන යන්නේ. වරුවෙන් වරුව, දවසින් දවස, දහවලින් රාත්‍රියට, රාත්‍රියෙන් උදෑසනට ජීවිතය ඇදගෙන යන්නේ, එයත් මොනතරම් දුකක්ද. ඒ කාරණය කායිකව සහ මානසිකව මොනතරම් පීඩාවක්ද? සාමාන්‍යයෙන්  මොනතරම් සැලසුම් හදනවාද හෙටට, ලබන සතියට, ඊලඟ මාසෙට, ඊලඟ අවුරුද්දට, තව අවුරුදු පහකට, දහයකට කිසිදු බාධාවකින් තොරව ලස්සන සැලසුම් හදන්න පුළුවන්. ඒ සැලසුම් පිළිබඳ සිතේ ලොකු විශ්වාසයකුත් තියෙනවා. නමුත් සාමාන්‍ය උණක්, හෙම්බිරිස්සාවක්, බඩේ අමාරුවක් නොවෙයි, ටික කාලයක් පවතින, සුවවෙයිද නොවෙයිද කියන කාරණය හරියට කියන්නත් බැරි, කාලයක් බෙහෙත් කළත්, ලොකු සුවයකුත් නොලැබුණු, එනමුත් තමන්ගේ එදිනෙදා කටයුතුත් කරගෙන යන්න බැරි තරමට රෝගාතුර වූවිට තේරෙනවා ඉතින් නම් ජීවත් වීම ඉවර බවත්, ජීවිතය ඇදගෙන යන්න සිදුව ඇති බවත්. ලොකු බරක්. එකපාර ඇදගෙන යන්න බෑ, බොහොම පොඩි දුරක්වත්.

තුන්වෙනි කාරණය කීවේ, බොහෝම වයසට ගියාවිටත්, බොහෝම මහළු වූවිටත් , ඒත් එතන ලොකු සජීවි බවක් නෑ. හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ලොකු සැලසුම් හදන්න බෑ දුර කාලයකට. සාමාන්‍ය සිතකට බෑ සැලසුමක් හදන්න, බොහෝම දුර කාලයකට. ඊලඟ මොහොත, ඊලඟ පැය කොහොමද ගෙවන්නේ, ඒ පැයේ කරන්න තියෙන වැඩ කොහොමද කරගන්නේ? සමහරවිට ගෙයින් මිදුලට බහින්නේ කොහොමද? මිදුලේ ඉන්නවිට ගෙට එන්නේ කොහොමද? එතැනත් ලොකු ප්‍රශ්නයක්. සමහරවිට තව කවුරුහරි ඇවිත් අතින් අල්ලාගෙන නැත්නම් රෝද පුටුව තල්ලු කරගෙන එහෙමත් නැතිනම් වාරු අරගෙන තවකෙනෙක්ගේ, යන්න වෙනවා. එතෙක් බලාගෙන ඉන්න වෙනවා. නැත්නම් ඉතින් හරි අමාරුවෙන් අඩියෙන් අඩිය හුස්ම අල්ල අල්ලා, හති දාගෙන යන්න වෙනවා. එහෙම කාලෙක හිතවතුනි, මොන අනාගත සැලසුම්ද?

ඒ වගේම  හතරවෙනි කාරණය යුද්ධයක් පවතින කාලෙක. ලොකු යුද්ධයක් පවතින කාලෙක, විශේෂයෙන් රටවල් අතර යුද්ධයක් වෙන කාලෙක. ඒත්, ඒ යුද්ධයට මැදිවුනු ප්‍රජාවට සුන්දර සිහින නෑ. සුන්දර සිහිනයක් සාදාගන්නත් බෑ, දකින්නත් බෑ ලොකු හීන, යුද්ධය කොයි වෙලේ ඉවර වෙයිද? දිනලා හෝ පැරදිලා හෝ නිරුපද්‍රිතව තමන්ට සහ තමන්ගේ අයට ජීවත් වෙන්න ලැබෙයිද? එය තමයි එකම සිහිනය, ඉන්  එහා සිහිනයක් නෑ. අර තිබුණු සුන්දර සිහින එකක්වත් හැදෙන්නේ නෑ, හදාගන්නත් බෑ, යුද්ධයකදි, යුද්ධයකට මැදි උනාම. පැයෙන් පැය හෝරාවෙන් හෝරාව හරි බයකින් චකිතයකින් තමා ඇදගෙන යන්න වෙන්නේ.

ඉතින් මේ අත්දැකීම් අඩුවැඩි වශයෙන් මනුෂ්‍යයා අත් දකිනවා. වයසට යෑම, මහළුවීම පිළිබඳ අත්දැකීම අනිවාර්යෙන් මහළු වුනායින් පසුවයි ලැබෙන්නේ. අනිත් අත්දැකීම් ඕන වේලාවක කෙනෙකුට ලැබෙන්න පුළුවන්. එහෙම ලැබුණාම පවතින තත්ත්වය තමා මේ. තව හුඟක්, බොහෝ ගැටළු අර්බුද එතන මතුවෙනවා. හැබැයි මූලිකම කාරණයක් තමා ජීවිතය පිළිබඳ ඈතට දුරට සිතන්න බැරිවෙන කාරණය. සමහරවිට හෙට දවස ගැන සිතන්නත් බෑ, සිතන කොටත් බයක් එන්නේ. මේ අද දවස ගෙවා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් එක්ක ඒ සංකීර්ණ ගැටළුවත් සමඟ පොරබදන කෙනෙකුට හෙට මොනවාද කරන්නේ, කරන්න වෙන්නේ, කරන්න පුළුවන් වෙයිද, සිතෙන්නේ නෑ, සිතන්නත් බෑ. කවුරුහරි ඇහුවත් ඒ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නෙත් නෑ එහෙම කෙනෙක්ගෙන්. ඉතින් නොඇසිය යුතුම ප්‍රශ්නයක් තමා එබදු දැඩි, සංකීර්ණ ස්වභාවයකට මැදිවුණු කෙනෙකුගෙන්  අනාගත සිහින ගැන, අනාගත සැලසුම් ගැන. නො ඇසිය යුතු දෙයක්, මොකද එයින් ඒ තැනැත්තා ලොකු අසහනයකට පත්වෙනවා, තියෙන අසහනය වැඩිවෙනවා.

හිතවතුනි, මේ ස්වභාවයට, මේ කාරණා එකකට හෝ දෙකකට හෝ තුනකට හෝ හතරටම කිසියම් ප්‍රජාවක් මැදිවුනාම එතැනට අඩුම ඉඩක් තියෙන්නේ දහමට. දහමට තමා අඩුම ඉඩක් තියෙන්නේ, ආගමට ලොකු ඉඩක් තියෙනවා. එසේ වූවිට වැඩියෙන්ම අලෙවිවන දෙය තමා ආගම.  මොකද භෞතික දේවල් වල සරණක්, පිහිටක් නැති බව ඔය අවස්ථා හතරේදිම හොඳට තේරෙනවා. භෞතික දේවල්වල, ධනයේ, ලොකු සරණක් නැතිබව, සමහරවිට ආර්ථික අර්බුදයකදි වුනත්, මුදල් තිබුණත්, දේවල් නැත්නම්, භාණ්ඩ නැත්නම්, සේවා නැත්නම්, ඉතින් මුදලටත් වටිනාකමක් නෑ. රෝගී අවස්ථාවක වුණත් සමහර විට ඉතාම ධනවත් කෙනෙක් වුණත්, රෝගී වුණාම, හරි ප්‍රතිකාරයක් නැත්නම්, තාම ලෙඩේ සොයාගෙනත් නැත්නම්, බෙහෙත් සොයාගෙනත් නැත්නම්, ගන්න බෙහෙත් වලින් සුවයකුත් නැත්නම්, ඉතින් එතනදීත් ධනය පිළිබඳ ලොකු විශ්වාසයක් එන්නෙත් නෑ, ඒ ධනයට කරන්න පුළුවන් දෙයකුත් නෑ. එසේම මහළුවියේ සිටින කෙනෙකුටත් ඔය ප්‍රශ්නය තියෙනවා. බොහොම අමාරුවෙන්, මරණයට හොඳටම ළඟයි කියා තේරෙනවිට, එහෙමත් කෙනෙකු තමයි ධනය පස්සේ යන්නේ. මොකද එයට වඩා, හුස්මක් ගන්නේ කොහොමද පිට කරන්නේ කොහොමද? පිට කළාට පස්සේ ඊලඟ හුස්ම ගන්නේ කොහොමද? දැන් මේවා තමා තියෙන ප්‍රශ්න. එහෙන් මෙහෙන් වෙඩි තියනවිට, උඩින්  බෝම්බ වැටෙනවිට, ඒත් ධනය නෙවෙයි, භෞතික දේවල් නෙවෙයි ලොකු උදව්වකට ඉන්නේ.

මෙබඳු දැඩි අසරණභාවයක, දැඩි අවිනිශ්චිත තත්ත්වයන්ට ප්‍රජාවක් ගොදුරු වුණාම, ඔබ සහ මා ඇතුළු කිසියම් ජන කොට්ඨාශයක්, කිසියම් සත්ත්ව කොට්ඨාශයක්, ගොදුරු වුණාම, අන්න අන්තිමට එල්ලෙන පිදුරු ගහ තමා ආගම, මොන ආගම හෝ. ඔය එකම ප්‍රශ්නයක් වත් නැති කාලෙක ආගමකට ලොකු ඉල්ලුමක් නෑ. සිතන්න, හොඳට කන්න බොන්න තියෙනවා, හොඳට ගමන් බිමන් යන්න ක්‍රම තියෙනවා, කිසි ගැළුවක් නෑ, ලෙඩකුත් නෑ, තරුණයි, ඒවගේම ගැටුම් නෑ, යුද්ධ නෑ, හරි සාමකාමි එහෙම කාලයක්, එහෙම ජීවිතයක් ගැන සිතන්න. බොහොම කලාතුරකින්නේ ආගමක් අවශ්‍ය වන්නේ. එය සම්ප්‍රදායකට කරනවා මිසක්, ලොකු හැඟීමකින්, භක්තියකින්, ලොකු විශ්වාසයකින්, මොනවා හරි පිහිටක් වෙයි කියා, එහෙම නෑ. එහෙම අවශ්‍යතාවයකුත් නෑනේ. එතැනදි ආගම ආභරණයක් පමණයි. ආභරණ කියන ඒවා අත්‍යාවශ්‍ය දේවල් නෙවෙයිනේ. නමුත් ලස්සනයි. ආභරණයක් පැළඳගත්තාම කිසියම් සුන්දරත්වයක් ලැබෙනවා, තියෙන ලස්සන වැඩිවෙනවා, නැති ලස්සනක් කොහෙන්හරි මතුවෙලා පේන්න පුළුවන්. ඒ හැර ලොකු විශේෂත්වයක් නෑ. කිසිදු ප්‍රශ්නයක් නැති කාලෙක ආගම කියන්නේ ආභරණයක්, පැළඳගන්නවා. වඳිනවා, පුදනවා, ආගමික කටයුතුවල යෙදෙනවා, පුණ්‍යකර්මවල යෙදෙනවා, නමුත් දැන් තියෙන ප්‍රශ්නයක් විසඳගන්න නෙවෙයිනේ. ඒ ආගමෙන් කිව්වොත් එහෙම ඊලඟ ජීවිතයක් තියනවා, එතන හොඳ තැනකට යන්න, ඉතින් එහෙම දෙයක් සඳහා ආයෝජනයක් විදිහට මිසක්, ඒ හැර හැඟීමකින් නෙවෙයි කරන්නේ.

නමුත් මෙබඳු අවස්ථාවකදි, ඔය කියු අවස්ථාවන් හතරෙන් එකකදි හෝ දෙකකදි හෝ තුනකදි හෝ හතරෙදීම හෝ ගැඹුරු ජීවිත අවශ්‍යතාවයකිනුයි ආගම නමැති පිදුරු ගහේ එල්ලෙන්නේ. එය පිදුරු ගහක්, එයින් ලොකු පිහිටක් ලැබෙන්නේ නෑ. නමුත් පිදුරු ගහක හෝ එල්ලෙනවා. ආගම තමා වැඩිම මිලකට එබඳු කාලයකදි අලෙවි වන්නේ හා අලෙවි කරන්නත් පුළුවන් වෙන්නේ. ලොකු වටිනාකමක් දී තිබෙනවා ආගමට. ප්‍රතිඵලයක් ලැබෙනවාද නැද්ද යන්න සොයාගන්න හරි අමාරුයි. හරියට කැරට් අලයක් එල්ලනවා වගේ, අඩියක් ඉස්සරහට විට ඒ කැරට් අලෙත් තව අඩියක් ඉස්සරහට යනවා. අඩියයි පරතරය කැරට් අලය සහ තමන් අතර හැමදාම ඔය පරතරය එහෙමම තියෙනවා. විශ්වාසයක් ගොඩනඟනවා ඊලඟ අඩියෙදි එය අනුභව කරන්න ලැබෙයි කියා, තාම ලැබී නෑ. සාමාන්‍යයෙන් සහනයක් ලැබෙනවා, කවුරුන් හෝ බලා ගනියි, පිහිටක් ලැබෙයි, ආශිර්වාදයක් ලැබෙයි, එය හොඳ සිතිවිල්ලක්. නිකන් ඔක්සිජන් යන්ත්‍රයකින් ඔක්සිජන් දෙනවා වගේ. ඒ වගේ ජීවිතයටත් ඔක්සිජන් ලැබෙනවා. ශරීරයට යන්ත්‍රයකින් ඔක්සිජන් දෙනවා වගේ ජීවිතයට ආගමකින් ඔක්සිජන් දෙනවා. ටික ටික ඇදගෙන යන්න, පණ ගහගන්න. වෙන පිහිටක් නම්, වෙන සරණක් නම් වෙන්නේ නෑ.

ඒ නිසාමයි භාවනාව නැතිනම් අප කථාකරන සිහිබුද්ධිය වඩාත් අත්‍යාවශ්‍ය වන්නේ හා වඩාත් ඵලදායි වන්නේ. එනමුත් එවන් අර්බූදකිරී අවස්ථාවවලදී මුලින්ම නැතිවෙන්නෙත් සිහිබුද්ධියම තමා, මෙබදු ප්‍රශ්න වලදි, මෙබදු අර්බුද වලදී, මෙබදු ව්‍යසන වලදී. අහේනි කාලෙක, ගතින් සිතින් රෝගී වුනාම, මහළු වුනාම, ගැටුම් වලදී නැතිවෙන්නෙත් සිහිබුද්ධිය තමා. සාමාන්‍යයෙනුත් නැහැ, තියෙන සිහිබුද්ධියත් නැතිවෙලා යනවා, ඉස්සෙල්ලාම නැතිවෙලා යන්නේ සිහිබුද්ධිය තමා. ඒ විදිහටමයි මේ යාන්ත්‍රණය සැකසී තියෙන්නේ. “ආ ප්‍රශ්නයක් තියෙනවා, ඒ නිසා සිහිබුද්ධිය නැතිකරගන්න ඕනේ” කියා එසේ සිතා, “හා මා දැන් වයසයි. ඒ නිසා සිහිබුද්ධිය ඕනේ නෑ. අතහරිනවා” කවුරුවත් එසේ සිතාමතා සිහිබුද්ධිය නැති කරගන්නේ නෑ. සිතාමතා නැති කරගන්න බැරිදේවල් වලින් එකක් තමා සිහිබුද්ධිය. උත්සාහයක් කර බලන්න සිහිබුද්ධිය නැති කරගන්න, සිතාමතාම තීරණයක් අරගෙන සිහිකල්පනාව හා විචාර බුද්ධිය නැති කරගන්න පුළුවන්ද? එහෙම නෙවෙයි වෙන්නේ. හැබැයි මේ යාන්ත්‍රණය හැදී තිබෙන්නේ, විශේෂයෙන්ම අර්බුදයකදී මුලින්ම සිහිබුද්ධිය නැතිවෙන විදිහට. කවුරු මේ යාන්ත්‍රණය හැදුවාද කියා හොයාගන්න වටිනවා කවුද මේ මහ මොළකරු කියා විශ්ව යාන්ත්‍රණය හැදු මහ මොළකරුව. බොහොම දුරදිග බලා මේ යාන්ත්‍රණය හදලා තියෙන්නේ. මේ යාන්ත්‍රණය mechanism එක ක්‍රියාත්මක වෙන්නේ, දුකකදි තිබුණ සිහිබුද්ධිය වැඩිවන විදිහට, නැති සිහිබුද්ධියක් ඇතිවන විදිහට නොවෙයි, තියෙන එකත් නැතිවෙන විදිහට, නැති එකකට අලුතින් එන්න ඉඩකුත් නැතිවෙන විදිහට.

හොඳට බලන්න, ඕනෑම ගැටළුකාරි, අර්බුදකාරි අවස්ථාවක සාමාන්‍යයෙන් කුමක්ද වෙන්නේ කියා. සාමාන්‍යයෙන් වෙනදේ, කලබල වෙනවා වෙන්න පුළුවන්, මොනවත් කරකියා ගන්න බැරිවෙනවා වෙන්න පුළුවන්. නොකළයුතු දේ කරනවා, නොකියයුතු දේ කියනවා, මේ සියල්ල වෙනවා පේනවා. නමුත් ඒ සියල්ල වෙන්න කලින් මොනවාද වෙන්නේ, සිහිබුද්ධිය ඉවත් වෙනවා. සිහිබුද්ධිය ඉවත්වෙන්නේ සිහිබුද්ධිය තීරණය කර නෙවෙයි “මා මෙතනින් යන්න ඕනේ, මේ මනුස්සයා දැන් ප්‍රශ්නයක ඉන්නේ, අර්බුදයක ඉන්නේ, වයසයි, ලෙඩවෙලා, කන්න නෑ, උඩින් බෝම්බ වැටෙන මිසයිල වැටෙන තැනක ඉන්නේ, මෙතන ඉඳලා මාත් විනාශවෙලා යනවා. මේක ඒ මනුස්සයාගේ කරුමේ, එයා විඳපුවාවේ, මා කුමකටද ඒ කරුමෙට කරගහන්නේ” එසේ සිතා නොවෙයි සිහිබුද්ධිය යන්නේ. මිනිස්සු එහෙම සිතා අයින් වෙන්න පුළුවන්, නමුත් සිහිබුද්ධිය එසේ සිතා නෙවෙයි ඉවත් යන්නේ, නමුත් එයාව ලිස්සලා එළියට දාන ස්වභාවයක් තමා මේ පද්ධතියේ තියෙන්නේ. තමන්ගේ අත් දැකීම් වලින්, අනිත් අයගේ අත්දැකීම් වලින්, අපට පේනවා ඒ අය කොහොමද හැසිරෙන්නේ කියා. අප හැසිරුණු ආකාරය පසුව හෝ ආවර්ජනය කර බලන්න පුළුවන්. හොඳට බලන්න. එසේ බලන විට පේනවා, නොකළයුතු දේ කරනවා, කළයුතු දේ කරන්නේ නෑ, නොකියයුතු දේ කියනවා, කිවයුතු දේ කියන්නේ නෑ, නැතිනම් කිසිවක් කරකියාගන්න බැරිව ගල් ගැහෙනවා, කලබල වෙනවා, මේ සියල්ලම පේනවා. මේ සියල්ලටම කලින් සිදුවූ එනමුත් නොපෙනෙන දේ තමා සිතේ තිබුණු සිහිබුද්ධිය හෙමීට නැතිව ගිය බව. කියා නෙවෙයි.

සිහිබුද්ධිය නැතිවෙනවා කියා හඩඟා කියා තමන් ඉවත්වෙන බව ප්‍රකාශ කර සමු අරගෙන යනවා නෙවෙයි. මොන හේතුවකින් හරි සිහිබුද්ධියට ඉඩක් නැතිවෙනවා, සිහිබුද්ධිය නැතිවෙනවා, ඉස්සෙල්ලාම වෙන්නේ ඒ කාරණය. අන් සියල්ල වෙන්නේ ඉන් පසුව. ඉන් පසුවයි කලබල වෙන්නේ, ඉන් පසුව තමා ගල් ගැසෙන්නේ, ඉන්පසුවයි ප්‍රතික්‍රියා කරන්නේ, ඉන් පසුවයි ගහගන්නේ, බැණගන්නේ, කිවයුතුදේ කියවෙන්නේ නැත්තේ, අහන්න ඕන දේ අහන්නේ නැත්තේ, නො ඇසිය යුතුදේ අහන්නේ ඉන්පසුව. මේ සියල්ල සිදුවන්නේ ඉන් පසුව. මෙහි කෙළවරක් නෑ, දම්වැලක් වගේ නැවත නැවත, නැවත නැවත මේ දාමය ඉදිරියට යනවා. ඔය චක්‍රය, ඔය දැති රෝදය කරකැවෙනවා. නමුත් මේ සියලූම දැති රෝද කරකැවෙන්නේ, අර සිහිබුද්ධිය කියන දැති රෝදය මේ යන්ත්‍රයෙන් ගැලවිලා ගියොත් පමණයි. ඒ දැති රෝදය එකපාරටම ගැලවී යන ආකාරයටයි මේ යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ. සිහිබුද්ධිය අත්‍යාවශ්‍ය වන අවස්ථාවල, එහෙම අවස්ථාවකට මුහුණ දෙන පළමුවෙනිම මොහොතේ, කුමක්ද සිදුවන්නේ, සිහිබුද්ධිය කියන දැති රෝදය ගැලවී යනවා යන්ත්‍රයෙන්. 

ලොකූ පල්ලමක්, ප්‍රපාතයක් බහින්න පටන්ගත් වේලාවේම තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වුණා කියා සිතන්න වාහනයක. පාපැදියක වුණත්, නැත්නම් යතුරුපැදියක, කාර් එකක, ලොරියක මොනවා වෙයිද, එතෙක් තියෙනවා. තැන්නේ, සමතලා පොළවේ යනවිට, කන්දක් නගින විට තිරිංග පද්ධතිය තියෙනවා. හැබැයි පාලනය කරගන්න බැරිතරමට ප්‍රපාතයකට, පල්ලමකට වාහනය පැමිණි මොහොතේම මුලින්ම ගැලවිලා යන්නේ තිරිංග පද්ධතිය නම්, කාට කියන්නද? එතෙන්දි වඩාත් අත්‍යාවශ්‍ය වන්නේ තිරිංග පද්ධතියනේ, අන් කිසිම අවස්ථාවකට වඩා, සමතලා පොළවකට වඩා, කන්දක් නඟින විටදි වඩා, පල්ලමක් බහිනවිට දී තමා තිරිංග පද්ධතිය වඩාත් අත්‍යාවශ්‍ය වන්නේ, නැතිවම බැරිවෙන්නේ, වෙන මොනවා නැතිවුනත්. නමුත් එසේ පල්ලමක් පටන්ගන්න තැනම පළමුවෙන්ම තිරිංග ටික ගලවලා දැම්මොත්, එහෙම ගැලවිලා යන විදිහටනම් මේ වාහනය හැදී තියෙන්නේ, කවුරු හැදුවත්, කාට කියන්නද? කියන්න කෙනෙක් ඉන්නවාද? මොන තරම් අසරණද? මොනතරම් අනාථද? නමුත් ඒ තමා ඇත්ත, එයයි සිදුවන්නේ, ඉතිහාසය නැවත නැවත, නැවත නැවත මේ කාරණය සනාථ කර තිබුණා. මානව ඉතිහාසයේ පමණක් නෙවෙයි අප එකිනෙකාගේ පෞද්ගලික ජීවිතයේ අතීතය ගත්තත් එබඳු අවස්ථාවල නිරායාසයෙන්ම ස්වභාවිකවම ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ, තිරිංග පද්ධතියයි. බ්‍රේක් නැතිවෙනවා. ඉතින් මොනවාද නොවෙන්නේ? ගොඩනැඟිලි විනාශවෙන්න පුළුවන්, මොනවා නොවෙයිද එහෙම යන විට.

හිතවතුනි, මේ ආගම කියන පිදුරු ගහේ එල්ලෙන්න හදනවා. නමුත් එයින් ලොකු ප්‍රයෝජනයක් නම් නෑ. පල්ලමකට යන වාහනයකට බේරේක් නැතිව පිදුරු ගහක එල්ලුනා කියා ඇත්තටම ඇති ප්‍රයෝජනයක් නෑ. නමුත් ඉතින් වෙන කරන්න දෙයක් කියලා දීලත් නෑ. දන්නෙත් නෑ. දැනගන්න ඉඩ දෙන්නෙත් නෑ. ඒ තමා ඇත්ත. සාම්ප්‍රදායික ආගම් කරන්නේ, ප්‍රජාවගේ විචාර බුද්ධිය මොට කිරීම. ප්‍රශ්න කිරීම, විමසීම, විචාරයට ලක්කිරීම හා හේතු ඇසීම, යමකු යමක් කියනවිට “මොන හේතු නිසාද එහෙම කියන්නේ, මොනවාද තියෙන සාධක ඔය කියන කාරණය කියන්නට”, දැක්කා වගේ කියනවා නමුත් දැක නෙවෙයි, පොතේ තියෙන දෙයක් තමා කියන්නේ. නමුත් කියන්නේ දැක්කා වගේ, නමුත් එතැනදී අසන කෙනා හෝ  සවන් දෙනා විමසන්නේ නෑ, “මොන හේතු නිසාද ඔහොම කියන්නේ”, “මොනවාද එහෙම කියන්න තිබෙන අත්දැකීම්”, “අත්දැකීම් තියෙනවාද කියන්න”. එහෙම අහන්නේ නෑ. එහෙම අහන්න දෙන්නෙත් නෑ. එහෙම ඇසීමත් භයානකයි. එය මිත්‍යාදෘෂ්ටියට වැටෙයි කියා භය කර තියෙනවා. 

ආගමක් පවතින්නේ අවිචාර බුද්ධියක් තියෙන තැනක. විචාර බුද්ධිය තියෙන තැනකට ආගම් අවශ්‍ය නෑ. ඇත්තටම ඕනේ නෑ. අවශ්‍ය වන්නේ මාර්ගයක්. මාර්ගයක් තමා විචාර බුද්ධියට ඕනේ, අවිචාර බුද්ධියට තමා, ආගමක් අවශ්‍ය, අවිචාර බුද්ධියයි ආගම් ඇදහීමයි හරි ලස්සන යුවළක්. ඒ දෙන්නාම එකට යන්නේ, එකට යන්න පුළුවන්. ඒ දෙන්නාම ඉන්න ඕනේ. එක්කෙනක් හිටියොත් තමයි අනිත් එක්කෙනාට ඉන්න පුළුවන්. අවිචාර බුද්ධිය යම්තාක් කල් තියෙනවාද ඇදහීම් ඒතාක් කල් තියෙනවා. ඒතාක් කල් ඇදහීම්වලට කිරුළ දරන්න පුළුවන්. සිංහාසනයේ ඉන්න පුළුවන් ඇදහීම් වලට, රජවෙන්න පුලුවන්, අවිචාර බුද්ධිය තියෙනතුරු. අවිචාර බුද්ධිය යම්තාක් කල් තිබෙනවාද ඒතාක් කල් ආගම් පවතිනවා. ආගම් යම්තාක් කල් පවතිනවාද ඉතින් ඒ ආගම් අදහන අය, ඇදහීම් පවතිනවා. අවිචාර බුද්ධිය තමා අදහන්නේ, විචාර බුද්ධියට අදහන්න දෙයක් නෑ, හේතු-ඵල පේනවා. මේ මේ හේතු තිබෙන විට මේ දේ වෙනවා. මේ දේ වෙන්නේ මේ හේතු නිසයි. එතන අදහන්න කිසිදෙයක් නෑ.

හොඳට බලන්න, ධර්මයේ ගුණ කියන තැන්වල ගුණ හයක් කියනවානේ දහමේ. භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශනා කළ දහම “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහී” කියන මේ කාරණා ටික හොඳට බලන්න. මෙතන එක තැනකවත් ඇදහීමට ඉඩක් දී තියෙනවාද,‍් අදහන්න කියලා තියෙනවාද? අදහන්න. ඒ දහමේ එකම එක ගුණයක් වත් තියෙනවාද අදහන්න කියා. ඇදහිය යුතුයි, විශ්වාස කළ යුතුයි, අනුමාන කළ යුතුයි, පිළිගත යුතුයි, සොයා නොබැලිය යුතුයි, නෑ, කිසිම තැනක නෑ. ඇවිත් බලන්න, ඇවිත් බලන්න, යෙදිලා බලන්න, බීලා බලන්න, කාලා බලන්න, එහෙමනේ කියන්නේ, සම්පූර්ණයෙන් විචාර බුද්ධිය. දහම යන්නේ විචාර බුද්ධියත සමග, අවිචාර බුද්ධියට ගෝචර නොවන දෙයක් තමා දහම. කවදාකවත් අවිචාර බුද්ධියට දහම ගෝචර වෙන්නේ නෑ. මේ දෙන්නා එකට යන්නෙ නෑ. එකට යන්න බෑ. අවිචාර බුද්ධියයි දහමයි එකට යන්නේ නෑ. අවිචාර බුද්ධිය හා ආගම තමා එකට යන්නේ, ඇදහීම්.

අදහන දේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්, සම්මත ආගම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගුප්ත ශාස්ත්‍ර වෙන්න පුළුවන්, එහෙම නැතිනම් පුද්ගලයෙකු වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, මුදල වෙන්න  පුළුවන්. මුදල් වුණත් අදහන්න පුළුවන්. සියලු ප්‍රශ්න විසඳනවා මුදල් වලින්, මුදල් තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම සිතන කෙනාගේ ආගම මුදල. ධනය තමා ආගම, එහෙම සිතනවානම්. ඒකනේ ස්වභාවය, ආගමට පුළුවන් සියලු ප්‍රශ්න විසඳන්න. ඇදහීමේ පළමුවන මූලධර්මය තමා, ඇදහුවොත් කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් ධනය තිබ්බොත් කිසීම ප්‍රශ්නයක් නෑ කියලා සිතනවා කියන්නේ ආගම ධනයයි.

ආගම කියන කාරණය හොඳට තේරුම් ගන්න. ආගම කියන්නේ අප ඔය කියන ලෝක ආගම්වලට පමණක් නොවේ. ඊට මෙහා ලෝක ආගම් බවට ලක්වුණු තව බොහෝ දේ තිබෙනවා. ධනය එකක්. මෙතන තියෙන අවශ්‍යම කාරණය නම්, බොහෝ ආගම්, මිනිස්සු ආගම් අදහනවිට ආගම් අදහනවා ධනය. ආගම්වල ආගම තමා ධනය. ආගම්වල ආගම තමා බලය, ආගම්වල ආගම තමා මිත්‍යාව, මිනිස්සු මිත්‍යා අතහැර ආගම් අදහනවා කියා සිතනවා. අවිද්‍යාවේ නෑ, අප ඉන්නේ මේ ආගමේ කියා සිතනවා. හොඳට බැලුවාම ඒ ආගම අදහන්නේ මිත්‍යාව. මිනිස්සු තම ධනය ආගම වෙනුවෙන් වියදම් කරනවිට, ආගම ධනය ඒකරාශී කරනවා. සමහරවිට මිනිස්සු තම බලය ආගම වෙනුවෙන් කැපකරන විට, ආගම බලයට යටවෙනවා. මෙතන හොඳට බැලුවාම හිතවතුනි, මේ ආගම කියන්නේ අප ඔය සිතන ආගම ම නොවෙයි. අවසාන වශයෙන් කිසියම් කෙනෙක් සිතනවා නම් “මට අහවල් දේ තිබුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ” කියා, අන්න ඒක තමයි ආගම එයාගේ. කවුරුහරි සිතනවා නම් “මට මෙන්න මේ දේ තිබුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ, සියලුම ප්‍රශ්න විසඳෙනවා”, “තමුන් ප්‍රමුඛස්ථානය දෙන්නේ මෙන්න මේ කාරණයට” කියා, ඒ තමයි එයාගේ ආගම. කෙනෙක් සිතනවා නම් “මුදල් තිබුණොත් හරි”, මුදල තමා ආගම. “බලය තිබුනොත් හරි” බලය තමා ආගම. විද්‍යාව සියලු ප්‍රශ්න විසඳයි කියා සිතනවා නම්, ඒ සිතන කෙනාගේ ආගම විද්‍යාව.

හොඳට බලන්න අප ඔය ආගම් කියන දේවල්, අවසානයේ අදහන්නේ ඔය කියු දේවල්. විද්‍යාවයි, ධනයයි, බලයයි, ඊළඟට මිත්‍යාවයි. ඉතින්කියන්න වෙන්නෙ “ආගම් වලටත් දෙවි පිහිටයි” .ඒවත් හරි අසරණයි. තවත් දෙයක් අදහනවා නම් ආගමක් ඒ ආගමත් අසරණයි. ඒ ආගමත් අනාථයි. ඒ ආගමටත් පිහිටක් නෑ. දැන් මේ කාරණා දිගින් දිගට කියන්න අවශ්‍ය නෑ. කියන්න ඕනේ වෙන්නේ, කියන්න යන්නේ, කිව්වේ කුමක් ද? විචාර බුද්ධිය නැති තැනක අවිචාර බුද්ධිය පවතින මොහොතක සිදුවන මුළාව.

කවුරු මේ යාන්ත්‍රණය හැදුවත් මේ හැදූ කෙනා මොනතරම් දක්ෂයෙක්ද කියා සිතන්න, ප්‍රඥාවන්තයෙක් කියන්න බෑ, නමුත් එයා හරි දක්ෂයෙක්. හැමතැනම තිරිංග හොඳට තියලා පල්ලමක් පටන්ගන්න තැනදීම තිරිංග පද්ධතිය ගැලවිලා යන විදිහටනම් මේ නිෂ්පාදනය කරලා තිබෙන්නේ, සිතාමතාම. සිතාමතාම කියන්නේ අත් වැරදීමක් නෙවෙයි. කොයි වාහනේ ගත්තත් මෙහෙම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම තමයි වෙන්නේ. ඕනෑම ආගමක කෙනෙකුට, අදහන ආගම කුමක්ද කියන කාරණය මත නෙවෙයි තීරණය වෙන්නේ, මොන රටේද ඉපදුනේ, මොන ජාතියේ ද, සුදු පාට ද,‍් කළු පාට ද, නෑ එහෙම තමා, මෙහෙම තමා සාමාන්‍යයෙන් වෙන්නේ, ඉතින් එහෙම නම් මොනතරම් දක්ෂ නිර්මාණයක්ද? එහෙම වෙන්න නම්, මේ නිර්මාණය කර තිබෙන්නේ, එය factory fault එකක් නෙවෙයි. නිෂ්පාදනයේදි සිදුවූ අත්වැරදීමක් නෙවෙයි. එහෙමමයි නිෂ්පාදනය කර තිබෙන්නේ.

ඉතින් එහෙම නම් සොයන්න වටිනවා ඇයි එහෙම නිෂ්පාදනයක් වෙලා තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නය අහන්නේ කවුද? සිහිබුද්ධිය පමණයි. වෙන කවුරුවත් ඔය ප්‍රශ්නය අහන්නේ නෑ. මොනවා හරි දෙයක එල්ලෙන්නට බලනවා මිසක් එහෙම පල්ලමකට යනකොට වේගයෙන්, මොන හේතුවක් නිසාද මෙහෙම වෙලා තියෙන්නේ? මෙසේ නොවෙන්නට නම් කරන්න තියෙන්නේ කුමක් ද? එහෙම සිතන්නේ නෑ. අවිචාර බුද්ධියෙන් යනවිට “ නෑ මෙහෙම බෑ. විචාර බුද්ධිය වඩාත් අවශ්‍ය වන්නේ ගැටුමකදී නැතිනම් අර්බුදයකදී, ලෙඩකදී, මහළුවන විටදී,  ඒ නිසා කෙසේ හෝ සිහිබුද්ධිය හා විචාර බුද්ධිය ඇති කරගන්න ඕනේ” කියා, එහෙම තීරණයක් ගන්නේ නෑ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් ගන්නේ නෑ. සාමාන්‍යයෙන් එහෙම සිතන්නේත් නෑ. තව තවත්, තව තවත් අවිචාර බුද්ධියෙන් අවිචාර බුද්ධියටම යනවා. ඒ තමා සාමාන්‍ය දෙය. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ කියන්නේ, මේ නිර්මාණයත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්නේ නෑ, හේතුව සොයන්නේ නෑ, හේතුව බලන්නෙත් නෑ, හේතු බලන්න සිහිබුද්ධියක් ඇතිවෙන්න එපැයි. නෑ එහෙම බලන්නෙත් නෑ. එක්කෝ පල්ලමත් එක්ක රණ්ඩු වෙනවා, මේ පල්ලමත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්නේ. මේ පල්ලම නිසා තමා මෙහෙම යන්නේ, වේගයෙන් යන්නේ, බ්රේක් අල්ලන්නේ නැත්තේ පල්ලම නිසා කියලා පල්ලමත් එක්ක රණ්ඩු වෙනවා, පල්ලමත් එක්ක ගහ ගන්නවා. පල්ලමත් එක්ක වාද කරන්න පුළුවන්. නැත්නම් පල්ලමක් තියෙනවා කියලා කලින්ම සංඥාවක් බෝඩ් එකක් දැන්වීමක් ඇයි දැම්මේ නැත්තේ කියා ඒ අයත් එක්කත් බැණගන්න පුළුවන් මේ පල්ලමේ පෙරළි පෙරළි යන ගමන්. මේ විදිහට අවිචාර බුද්ධියෙන් අවිචාර බුද්ධියට යනවා මිසක්, ඒ කියන්නේ ප්‍රශ්නයෙන් තව ප්‍රශ්නයකට, ඒ ප්‍රශ්නයෙන් තවත් ප්‍රශ්නයකට යනවා මිසක් සාමාන්‍යයෙන් හිතවතුනි, සිහිබුද්ධියක්, විචාර බුද්ධියක්, සිහිකල්පනාවක්, අවශ්‍යයි කියන ඒ අවශ්‍යතාව දැනෙන්නේ නෑ.

එනිසාමයි ප්‍රශ්නයක් හෝ අර්බූදයක් වෙන්න කලින් විචාර බුද්ධිය හදාගන්න ඕනේ. ඔය අවස්ථා හතරට යන්න කලින්, ඒ කියන්නේ පල්ලම බහින්න කලින් තිරිංග පද්ධතිය හොඳට බලන්න ඕනේ. එතෙක් ඕනවුණේ නෑ කියා සිතන්න තිරිංග. ආවේ සමතලා පොළවක, ඕ‍නේ නෑ. කන්දක ඒකත් low gear  එකක යන්න පුළුවන්. එතෙන්දිත් ඕනෙ වුණේ නෑ. ඒ නිසා දිගටම ඕනේ නෑ කියා සිතනවා. නෑ එහෙම නෙවෙයි. එහෙම තැනකදි තමයි බලන්න ඕනේ “වාහනයකට break එකක් ඕන වෙනවා” කියලා. “නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ, එහෙම ප්‍රශ්නයක් උනොත් එල්ලෙන්න පිදුරු ගස් තියෙනවා ඕන තරම්”. එහෙම ලණු දීම තමා සාමාන්‍යයෙන් කරන්නේ, ප්‍රශ්නයක් උනාට බයවෙන්න එපා. මේ මේ දේ කළාම බේරෙන්න පුළුවන්. දැන්ම මේ මේ ඇදහීම් ටික කළාම එදාට බේරෙන්න පුළුවන්. එබඳු මුලාවූ තැනකටයිමයි තව තවත් ගෙනයන්නේ. විචාර බුද්ධියක් ඇති නොවන තැනකට තමා තවත් තල්ලු කරන්නේ, හොඳින් ඉන්න විටත් ගෙනියන්න හදන්නේ. 

“නෑ එහෙම තැනකදි තමයි අනිවාර්යෙන්ම බලන්න ඕනේ”. “ඔව්, මෙය ගැලවෙන්නමයි හයි කර තියෙන්නේ”. කන්දකදි තැන්නකදි නොගැලවුණත්, පල්ලමකදී ගැලවෙන  විදිහටමයි හයිකරලා තියෙන්නේ, එහෙම නම් බලලා හරියටම හයි කරගන්න පුළුවන්. එහෙම හයිකර ගත්තොත්, මොන ප්‍රපාතයක මොන පල්ලමකදි හරි විශ්වාසය තියන්න පුළුවන් එකම දෙය break system එක ගැන විතරමයි. තිරිංග පද්ධතිය ගැන විතරමයි, ඒ විශ්වාසය තියන්න පුළුවන්. තිරිංගමයි පිහිටට ඉන්නේ, එය පිදුරු ගහක් නෙවෙයි කඩා වැටෙන, ප්‍රායෝගිකව සිහිබුද්ධිය ඇතිව යන ගමනක්. පල්ලම වැදගත් නෑ. පල්ලම කොපමණ දිගද? ගැඹුරුද? ඊට කලින් කීදෙනෙක් පෙරළුනාද? මේ පල්ලමක් කියලා බෝඩ් ගහලා තියෙනවාද? ඒවා වැදගත් නෑ. ඒ එකක්වත් වැදගත් නෑ. හොඳ තිරිංග පද්ධතියක් විශිෂ්ට වූ විචාර බුද්ධියක් තියෙනවා නම්, විචාර බුද්ධිය නැමති උපාංගය කලින්ම ජීවිතයට ආධ්‍යාත්මයට බද්ධ කරගන්න පුලුවන් නම්, එහෙමනම් බයවෙන්න දෙයක් නෑ. කන්න නැතිවෙයි, හැබැයි බය වෙන්න දෙයක් නෑ. කන්න නැති නිසා ඇතිවන ප්‍රශ්න උනත් අඩු කරගන්න පුළුවනි. එයිනුත් සංසාරය දික්කර ගන්නේ නෑතිව ඉන්න පුළුවනි. නැවතත් අර්බුද තියෙන තැනකටම එන්න හේතුවන කර්ම නොකර ඉන්න පුලුවන්, විචාර බුද්ධිය තියෙනවා නම්. නැවත නැවතත් යුද්ධ තියෙන තැනකටම, උඩින් බෝම්බ වැටෙන තැනකටම, මිසයිල වැටෙන තැනකටම එන්නේ නැතිව ඉන්න පුළුවන්. වර්තමාන වශයෙනුත් මේ ප්‍රශ්නය අඩුකරගන්න පුලුවන් වගේම අනාගතයේ එහෙම ප්‍රශ්න සහිත තැනකට එන්න වෙන කර්ම නොකර ඉන්නත් පුළුවන්. තමන්ගේ වාහනයේ හොඳ තිරිංග පද්ධතියක් තියෙනවා නම්, ඕන පල්ලමක, ඕන තැනක නවත්තගන්න පුළුවන්. වේගය අඩුකර ගැනීම පමණක්ම නොවෙයි, නවත්තගන්නත් පුළුවන්. ඉතින් එහෙම නවත්ත ගත්තොත් පිටිපස්සෙන් පෙරලීගෙන එන වාහන වලට වුණත් ලොකු උදව්වවක්. ඒවායේ වේගයත් අඩු කර කිසියම් දුරකට වෙන්න තියෙන අනතුරු අඩුකර දෙන්න පුළුවන්. ඒ නිසා මෙය මහා පිංකමක්, මහා කුසලයක්. එහෙම නැත්නම් වෙන්නේ, අනිත් වාහනත් පෙරලාගෙන යන්න තමන් නැමති වාහනේ හේතුවෙනවා, උදව් වෙනවා. එය අකුසලයක්, මහ පවක්. සිහිබුද්ධිය එක පැත්තකින් පිනක්, අනිත් පැත්තෙන් කුසලයක්. වර්තමාන වශයෙන් කුසලයක්, අනාගතය පැත්තෙන් පිනක්. අනාගතය තිබ්බොත් පිනක්. අනාගතයක් තිබ්බත් නැතත් වර්තමාන වශයෙන් නම් මහා කුසලයක්. සිහිබුද්ධිය,

විචාර බුද්ධිය කියන්නේ කුමක් ද කියන ඒ අර්ථකතන අප විවිධ කෝණ වලින් කථාබහ කළා, සාකච්ඡා කළා, එහි විවිධ වර්ණයන් සහ විවිධ හැඩයන් ගැන අනාවරණය කරගත්තා, හඳුනාගත්තා, අත්දැකීම් වලටත් ගෙනාවා. නැවත පුංචි කාරණයකින් පැහැදිලි කළොත් ඕනෑම තැනක තමන්ව නවත්තගන්න පුළුවන්, සිහිබුද්ධිය තියෙනවා නම්, සිහිබුද්ධිය මතු වුණොත්, විචාර බුද්ධිය මතු වුණොත් ඕනෑම තැනකදී තමන්ව නවත්තගන්න පුළුවන්. Break හොඳ නම් ඕනෑම තැනක නවත්තගන්න පුළුවන්. එයනේ break හොඳද නැද්ද කියලා බලාගන්න තියෙන හොඳම test එක පරීක්ෂණය තමයි, ඕනෑම තැනක, ලිස්සන පොළවක, බොරලු පොළවක, කාපට් ද, බොරලු ද, කොන්ක්‍රීට් ද, off road ද, ඒවා වැදගත් නෑ. Break system එක තිරිංග පද්ධතිය හොඳනම් නවත්තගන්න පුළුවන්. සිහිබුද්ධිය හොඳනම් ඕනෑම තැනකදි තමන්ව නවත්තගන්න පුළුවන්.

තමන්ව නවත්තගන්නවා කියන්නේ කුමක්ද? තමන්ගේ කායික ක්‍රියා නවත්තගන්න පුළුවන්. කෙරෙන්න යන දේවල් නවත්තගන්න පුළුවන්. කියවෙන දේවල් නවත්තගන්න පුළුවන්. සිහිබුද්ධිය විචාර බුද්ධිය නැතිනම් නැවතීමක් නෑ. පල්ලම ඉවරවෙනකම් පෙරළෙනවා. පල්ලම ම ඉවරවෙලා නවතිනවා මිසක් ඒ පෙරළෙන දෙයට හිතලා නවතින්න බෑ. ගල්කැටයක් උනත් පෙරළෙන්න පටන් ගත්තොත් ප්‍රපාතයකට, ප්‍රපාතයම ඉවරවෙලා ඉවරවීම නිසා ගල් කැටය නවතිනවා මිසක්, අතරමඟදී ගල් කැටයම හිතලා “හා මං දැන් නවතින්න ඕනේ තව දුරටත් පල්ලම තිබුණත්” එහෙම නවතින්න බෑ. එහෙම නැවතිලත් නෑ. කිසිම පෙරළුන දෙයක් එහෙම නැවතිලා නෑ. හිතලා නවතින්න බෑ. පල්ලම ඉවර වුනාම නැවතීම හපන්කමක් නෙවෙයි. මොකක්ද එහි තිබෙන හපන්කම? වෙන්න තියෙන ඔක්කොම විනාශවෙලා ඉවරයි. 

හිතවතුනි, කිසියම් මොහොතක සතිසම්පජඤ්ඤය ඇති වුණොත්, පහළ වුණොත්, කතා දෙකක් නෑ. තමන්ව නවත්තගන්න පුළුවන්, තමන්ගේ සිතිවිලි නවත්තගන්න පුළුවන්, ඒ සිතීම ඒ කතාව නවත්තගන්න පුළුවන්. ඒ ක්‍රියාව නවත්තගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් නවතිනවා. නවතිනවා කියන කතාව අර්ථකතනයක් කරන්න එපැයි. මොකක්ද මේ නවතින්නේ, තමන් නවතිනවා කියන්නේ කුමක්ද? මොකක්ද? පැහැදිලි කරන්න එපැයි. නැවැත්ම නැවැත්ම, නැවත්ම නැවත්ම කියා කියනවා. අප හරි ආසකරන වචනයක්, ගරු කරන වචනයක්, සාදු කියවෙන වචනයක්, මොනවාද මේ නවතින්නේ. මෙයින් කියනවා සංසාරේ ගිය කෙනා නවතියි. එහෙම ගිය කෙනෙක් නවතිනවා නෙවෙයි. මේ සිතිවිලි නවතිනවා. කථාව නවත්තගන්න පුළුවන්, ක්‍රියාව නවත්තගන්න පුළුවන්, චින්තනය නවත්තගන්න පුළුවන්, වෙන මොනවාද ඉන් එහාට හතරවෙනි දෙයක් තියෙනවාද? සත්ත්වයා පුද්ගලයා මොනවා කිව්වත් ක්‍රියාව පැත්තෙන් ඔය ක්‍රියාවන් තුනනේ තියෙන්නේ, හතරවෙනි ක්‍රියාවක් නෑනේ, 

නිරෝධය කියන්නේ මෙයයි. ඕනෑම මොහොතක නිරෝධයට පත්වෙන්න පුළුවන්. තව නිරෝධ තියෙනවා. තව විවිධ නිරෝධ තියෙනවා. තව ගැඹුරු නිරෝධ තියෙනවා. හැබැයි ප්‍රායෝගික පැත්තෙන් හිතවතුනි, මේ නිරෝධ තුන ඕනෑම කෙනෙකුට සිහිබුද්ධියත් එක්ක අත්දකින්න පුළුවන්. සිහිබුද්ධියේ ප්‍රමාණයට අත් දකින්න පුළුවන්. break තියෙන මට්ටමට නිරෝධය අත්දකින්න පුළුවන්. ඒ නිසා ඔය තිරිංගවලට නිරෝධායන කියලත් කියනවා. අත්දකින්න පුලුවන්. ඒ මට්ටමට අත්දකින්න පුළුවන්. සමහර විට break හොඳනම්  ඒ break පාගපු තැනම නවතින්න පුළුවන්. සමහර ඒවා තව අඩි කිහිපයක් ගිහිල්ලා නවතිනවා. හැබැයි නවතිනවා. අනිවාර්යෙන්ම නවතිනවා. තමන් නවතිනවා. මොනතරම් වටිනවාද නවතින්න පුළුවන්නම්? නවතින්න පුළුවන්. නැවත්ම කියනදෙය හිතවතුනි සාධු කියන්න තියෙන කාරණයක්වත්, විශ්වාසයක්වත් අදහන්න තියෙන දෙයක්වත් නොවේ. ප්‍රායෝගිකව මේ මොහො‍තේ කළ හැකි දෙයක් (සිහිබුද්ධිය තිබුනොත්). සහ ඉන්පසුව දැන් නැවතුනානේ, එහෙන්ම ඉන්නවාද ගල් ගැහිලා, හිතන්නේ නැතිව, කියන්නේ නැතිව, කරන්නේ නැතිව ඉන්නවාද නෑ. එහෙම නෑ. අලුතෙන් සිතන්න පුළුවන්. අලුත් විදිහකට සිතන්න පුළුවන්. අලුත් විදිහකට කතා කරන්න පුළුවන්. අලුත් විදිහකට ක්‍රියාකරන්න පුළුවන්. එතකොට අලුත් කෙනෙක්. අර නැවතුන කෙනා නොවේ. දැන් අලුත් කෙනෙක්. මේ තමා සිහිබුද්ධියේ තිබෙන අති විශිෂ්ඨ දායකත්වය, කුමක්ද අලුත් කෙනෙකු බවට පත්වෙන්න පුළුවන්. අලුත්ම අලුත් කෙනෙකු බවට පත්වෙන්න පුළුවන්. පරණ කෙනාව නවත්වන්න පුළුවන්. මෙතෙක් කල් ආවකෙනාව නවත්වන්න පුළුවන්. ඕනෑම මොහොතක අලුත් ගමනක් පටන් ගන්න පුළුවන්. මොන භෞතික දෙයටද, මොන ආගමික කාරණයටද, මේ ආශ්චර්‍යය, මේ ප්‍රාතිහාර්‍යය පාන්න පුළුවන්? ඒ ගැඹුරු හැඟීමත් සමඟ අපි සිහිබුද්ධියත් සමඟ ඒකාත්මික වෙමු සාකච්ඡාවට පෙරාතුව.

භාවනාව

අද දවසේ ආපසු හැරි බැලුවොත්, දිගටම දිගටම පෙරලුනු අවස්ථාවක් තිබුනාද නැද්ද මතක් කරගන්න පුළුවනි. පල්ලමකට පෙරළි පෙරළි ගිය අවස්ථාවක් ක්‍රියාවෙන්, කතාවෙන් හෝ චින්තනයෙන්.

මොනතරම් දුරක් පෙරළුනාද? මතක් කරගන්න පුළුවන්, කොහොමද නැවතුනේ බලන්න. සිතිවිලි වලින්, චින්තනයෙන් පෙරළුනු, පෙරළිම කථාවෙන්, හෝ හැසිරීමෙන්, පහළට වැටුනා නම් ඒ වැටිලා වැටිලා කොහොමද නැවතුනේ? වේගය අවම වීම නිසාද, නැතිනම් බේරේක් කිරීම නිසා ද? පල්ලම ඉවරවුණු නිසාද නැවතුනේ, නැත්නම් තමන්ම සිතාමතා නවත්ත ගත්තාද?

සිතාමතාම නවතින්න තිබුණානේ කියන ඒ සිතිවිල්ල, ඒ වැටහීම, සමහරවිට ඒ වැටහීම දැන් ඇතිවෙන්න පුළුවන්. මේ මොහොතේ පහළවෙන්න පුළුවන්. ඒ වේලාවේ මට නවතින්න තිබුණානේ මාව නවත්තගන්න තිබුණානේ කියා තමන් පිළිබඳවම කිසියම් වැටහීමක්, ආවර්ජනා කරන මේ මොහොතේ ඇතිවෙන්න පුළුවන්.

කිසියම් මොහොතක සිතාමතාම තමන්ට පුළුවන් උනා නම් තමන්ව නවත්තගන්න, තමන්ගේ සිතීම, කීම්, බිනීම්, හා කෙරුම් ඒ විචාර බුද්ධිය, සිහිබුද්ධිය, සිහිකල්පනාව, ඇතිවීම නිසයි. ඒ බවත් කවුරුවත් කියන නිසා නොව තමන්ගෙම අත්දැකීමෙන්, ප්‍රත්‍යක්ෂ කරගන්න.

හැරවුම් ලක්ෂ්‍යයක් වන ඒ ප්‍රත්‍යක්ෂයත් සමඟ දයාබර හිතවතුනි සාකච්ඡාවට එක්වෙමු.

 

සාකච්ඡාව

ප්‍ර : ඔබතුමා සඳහන් කළ තිරිංග සහ පල්ලම කියන උදාහරණය සැලකුවම සිහිබුද්ධිය කියන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවිට පල්ලමේ දිග එහි ස්වභාවය ගැන කිසිම කරුණක් ප්‍රධාන කාරණය වෙන්නේ නෑ. සිහිබුද්ධිය තමයි තීරණය කරන්නේ දැන් off track යනවා කියා. එනිසා අප හානිය අවම කර ගන්න උත්සාහවත් වෙනවා. එතනදී තමන් කලින් කල අකුසලයක විපාක බලවත් වුණොත්, සිහිබුද්ධිය ක්‍රියා කරනවා නේද මේ අකුසලයේ බලය අවම කරගන්න?.  නැත්නම් අකුසලය බලවත් වෙලා තමාට හානියක් වෙනවාද? 

පි : වැදගත්ම කාරණය තමයි පුද්ගලයන් විදිහටත් සාමූහිකවත් පෙරලන ප්‍රපාත වලට අපව යොමු වෙන්නේ බොහෝවිට පරණ අකුසල වල විපාක විදියටයි. එසේ වනවිට මේ පද්ධතිය හැදිලා තියෙන්නේ සිහිබුද්ධිය ගැලවිලා යන විදිහටයි. පරණ පවක් විපාක දෙන්න පටන් ගත් ගමන් පළමුවෙන්ම සිදුවෙන්නේ සිහිබුද්ධිය නැතිවීම නේ. දිගට හරහට විපාක දෙන්න පුළුවන් ඉන් පස්සේ. පරණ අකුසල් වල ලක්ෂණයක් තමා විපාක දීලා නවතින්නේ නෑ, එයා ලවා අලුත් පවක් කරවනවා. හැම පාපකර්මයකටම මේ වගකීම තියෙනවා. අලුත් පාප කර්මයන් කරවන්න පුළුවන් වෙන්නේ සිහිබුද්ධිය නැති වුණොත් පමණයි. ඒ නිසා එයා මුලින්ම කරන්නේ සිහිබුද්ධිය ගලවා දාමීම. ඉන්පසුව එයාට ඕන විදිහට අපට රිද්දන්න පුළුවන්. ඒ රිදීම නිසා අප අමනාපයන් වෛරයන් ඇතිකරගන්නවා. ඒ කෙලෙස් සමග අලුත් මනෝ වාචසික කාය කර්ම කරනවා. මෙහෙම තමයි හැදී තියෙන්නේ. නමුති ඔබතුමා කිව් විදියට සිහිබුද්ධිය ඇති කරගන්න පුළුවන් නම් පරණ කර්මයේ විපාකය අඩු කරගන්න පුලුවන්. සමහර විට සම්පූර්ණයෙන්ම බේරෙන්නත් පුළුවන්. ඒවගේම අලුත් කර්ම නොකර ඉන්නත් පුළුවන්, පරණ එක ගෙවිලා යයි, අලුතින් එකතු වෙන්නේත් නැති වෙයි. වර්තමාන මොහොතේ සිහි බුද්ධියෙන් සිටීම පමණයි කළ හැක්කේ, වෙන විසඳුමක් නෑ. එහෙම නැතිනම් අතීත කර්ම විපාක දෙනවා, ඒවා අප ලවා අලුත් අකුසල කර්ම කරනවා, ගොඩ ඒමක් නම් නෑ. මේ වැටුණු ලිදෙන් ගොඩ එන්න තියෙන එකම කට වැටුණු කටම තමා. වැටුණේ සිහිබුද්ධිය නැතිකම නිසා. ඔය සියලු අකුසල කළේ සිහිබුද්ධිය නැති වෙලාවක. එතකොට ඒ කටම තමයි ගොඩ එන්නත් තියෙන්නෙ. සිහිබුද්ධිය ඇති කර ගැනීමෙන්ම පමණයි මේ සංසාරෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ.

ප්‍ර :කර්මය විදින විට පරණ අය “ඉවසීම” කියන ගුණය භාවිතා කරනවා. මේ විපාකය මෙතනින් අවසන් කරලා ඉදිරියට ගෙනියන්නේ නැතිව ඉන්න මහන්සි වෙනවා. නමුත් වර්තමානයේ අය කරන්නේ නව කර්ම කරමින් තවදුරටත් සංසාරය ඉදිරියට අරන් යන එක නේද? 

පි : ඒක සම්පූර්ණ ඇත්ත. ඒක තමයි අපේ ජනවහරේ තියෙන්නේ “පනින්න පෙර සිතා බලනු” කියා. ඒ කියන්නේ පනින්න කලින් සිහිබුද්ධිය ඇති කරගන්න. සිහිබුද්ධිය ඇති කරගත්තොත් පනිනවාද නැද්ද, කොතනටද පනින්නේ, කොයි මොහොතේද පනින්නේ, ඒ ගැන කල්තියා තීරණයක් ගන්න පුළුවන්. එහෙම නැතුව පැන්නොත් කොහේ නවතින්න වෙයිද දන්නෙ නෑ. ඒ නිසා ඔබතුමා කිවූ පරිදි සිහිබුද්ධිය කියන වචනෙ කොහොම වෙතත් එහි භාවිතය අපේ වැඩිහිටියන් අතර තිබුණා.

ප්‍ර : මේ පද්ධතියක් සමඟ බලාපොරොත්තු කියන wheel එකත් එල්ලලා තියෙනවා නේද?. බලාපොරොත්තු නැතිව ජීවිතය ඉදිරියට ගලාගෙන යන්නේ නෑ. එහෙම ගිහින් මේ බලාපොරොත්තු යථාර්ථයත් එක්ක හැප්පෙනවා. එහෙම හැප්පුනාම බලාපොරොත්තු කියන wheel එකත් සුනුවිසුනු වෙනවා. ඒ වෙලාවට තමයි අපට සිහිබුද්ධිය නෑ කියලා තේරෙන්නේ. යථාර්ථය කියන දේ පුද්ගලයෙකුට ග්‍රහණය කරගන්න පහසු නෑ. ඔබතුමා පැහැදිලි කළ කාරණය ගත්තහම විවිධ අත්දැකීම් හරහා තමයි පුද්ගලයකුට යථාර්ථය අත්දකින්න වෙන්නේ. බලාපොරොත්තු සුන්වුනහම සිහිබුද්ධිය නැති නිසා බොහෝ පාපකර්ම කරගන්නවා. එතකොට දහම පුහුණුවීමේදී අලුත් අත්දැකීමක්නේ මේ යථාර්ථය කියා කියන්නේ. කොහොමද පරණ අත්දැකීම් වලට අපි සිහිබුද්ධිය හදාගන්නෙ?. කොහොමද අලුත් අත්දැකීම් වලට අපි සිහිබුද්ධිය හදාගන්නේ? 

පි : අප මේ ගමන පටන් ගන්නේ සහ යන්නේ බලාපොරොත්තු සමග. බලාපොරොත්තු නැතිනම් ගමනක් නෑනේ. ලෞකික හෝ ආගමික හෝ ආධ්‍යාත්මික හෝ මොනයම් හෝ බලාපොරොත්තුවක්  තමා අපව දක්වන්නෙ. ආශාව සහ අවශ්‍යතාවය විසින් මේ බලාපොරොත්තුව ජව ගැන්වෙනවා නම් එතැනදී ලොකු ගැම්මක් එනවා. එසේ ජවගැන්වී හා බල ගැන්වී නම් තියෙන්නේ හරි වේගයෙන් ඉලක්කය වෙත දුවනවා. යම් පමණකට අවශ්‍යතාවයක් ආශාවක් තියෙනවද ඒ වේගයට තමයි දුවන්නෙ.එහෙම දුවන විට දුවන වේගය වැඩිවෙන්න වැඩිවෙන්න අපට වටපිටාව පෙනෙන ගතිය අඩුවෙනවා, ඉලක්කය පමණමයි පේන්නේ. එතකොට වෙන්නේ ඔබතුමා කියූ දේ, අප හැප්පිලා වැටෙනවා. නමුත් අතරමගදී හමුවන හැම බාධකයකදිම ඒවා මඟ හරිනවාද ඉවත් කරගෙන යනවාද පාර වෙනස් කරනවද ආදී විදිහට හැම මොහොතකදීම තීරණයක් ගන්න අවශ්‍යයි. එසේ තීරණයක් ගන්න නම් තිබෙන බාධක හඳුනාගන්න ඕන. සිහිය තිබුනොත් ඒ බාධක හඳුනාගන්න පුළුවන්. ඊළඟට ඒ බාධකයට කොහොමද මුහුණ දෙන්නේ ඕනේ කියන තීරණ ගන්නෙ සිහිබුද්ධියෙන්, විචාර බුද්ධියෙන්. ඉතින් වේගයෙන් දුවන්න ගියොත් එහෙම මේ දෙකම නැති වෙනවා. බලාපොරොත්තු, ආශාවෙන් හා අවශ්‍යතාවයෙන් පමණක් බලගන්වුනහම වෙන්නේ වේගය වැඩි වෙනවා, හැබැයි යන කෙනා අන්ධ වෙනවා. අන්ධ කෙනාට බාධක පේන්නේ නෑ. ඉතින් අතරමගදී ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටුනම ඒ බලාපොරොත්තුව නැති වුණා කියා වෙන බලාපොරොත්තුවක් එක්ක නැගිටිනවා. හොඳට බලන්න, එක එල්ලේ ඉලක්කයකට ගිහිල්ලා නැවතුණු ගමනක් නෑ සාමාන්‍ය ජීවිතයේ. අද අප ඉන්න තැන බලන්න. එතන සැලසුම් කර ආ තැනක් නොවෙයි. බලාපොරොත්තු පස්සේ දුවලා ඒවා අතරමගදී වැටිලා නමුත් ඉදිරියටත් බලාපොරොත්තු තියෙනවා. මෙය තමා යථාර්ථය. එහෙම නැතුව සෘජුව ඉලක්කයක් කරා යන යථාර්ථයක් සාමාන්‍ය ජීවිතයේ නම් නැහැ. මෙම වීම තුළ වෙන්නේ මොකක්ද පැවැත්ම සිද්ධ වෙනවා. එක බලාපොරොත්තුවක් ඉටු කරගන්න බැරි වුණා කියලා සංසාරේ නවතින්නේ නෑ. මෙතැන ආයෙත් එන්නේ සිහිබුද්ධියේ අවශ්‍යතාවයට. මේ කාරණය තේරුම් ගන්න පුලුවන්නම් එකකින් දෙකකින් නවතිනවා. 

ප්‍ර : ධර්මයේ සඳහන් වෙන්නේ සතර අගතියෙන් (ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් මෝහයෙන්) තීරණ ගන්නවා කියන්නේ සිහිබුද්ධිය නැතිවුන තැන නේද?

පි : අනිවාර්යෙන්ම. අගතියකට යන්නේ සමබර චින්තනයක් නැති වු තැනදී. සමබර සිතීමක් නැති වෙන්නේ ඔබතුමිය කියූ ඔය සතර අගති නිසා. මේවා ඇති වෙන්නේ සිහිබුද්ධිය නැතිකම නිසා. මේවා ඇතිවීම නිසා සිහිබුද්ධිය නැති වීම වෙනම කාරණයක්, හැබැයි මේවාට දොර ඇරෙන්නෙ සිහිබුද්ධිය නැති වීම නිසා. 

ඉලක්කයකට යන්න ඕනෙද කියන එකත් වැදගත්. අප හිතනවා ඕනෑම ඉලක්කයකට යන්න පුළුවනි යන්න ඕන, හැබැයි යන්න බැරි මේ සතර අගති නිසා කියා. නමුත් සතර අගති විසින්ම ඉලක්ක හදලා දෙනවා. ඡන්දය හදලා දෙන ඉලක්ක තියෙනවා, ඒ ඉලක්ක නවතින්න නෙවෙයි උදව් වෙන්නේ ගමන් කරන්න. ඉතින් හොඳට බලන්න ඕනේ. සිහිබුද්ධිය ඇති වුනොත් තමයි පේන්නේ ඉලක්කය හදලා දුන්නේ කවුද කියා. ඡන්දය හදා දුන් ඉලක්ක තියෙනවා, සිහිබුද්ධියෙන් බැලුවොත් ඒක හොඳට පේනවා, ඉතින් මොකටද ඒවා අපේ ඉලක්ක කරගන්නේ. හැම ඉලක්කයක්ම ඉලක්කයක් නොවෙයි. ඉලක්කයක් තිබූ පමණින්ම අප යන්න ඕනෙ නෑ. බලන්න ඕන කාගේද මේ ඉලක්කය, කවුද මේ ඉලක්කය හදා දුන්නේ කියා. මේ ඉලක්කයට යෑමෙන් කාගේ අවශ්‍යතාවයක්ද ඉටු වෙන්නේ, අන්න බලන්න. එහෙම බැලුවම බොහෝ ඉලක්ක ඉලක්ක නොවන බව පේනවා. ඒවා අපේ ඉලක්ක නොවන බව පෙනෙනවා. එහෙම පෙනුනහම ඒවා ආයෙ ඉලක්ක විදිහට පේන්නේ නෑ. ඉලක්කයක් නැත්නම් ගමනක් නෑ නේ. 

ප්‍ර : අපට ඉලක්ක බොහොමයක් තිබෙන්න පුළුවන්. නමුත් අවශ්‍යය යෝග්‍යය ඉලක්කයක් තෝරාගැනීමට ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ සිහිබුද්ධිය. ඊට අමතරව උත්ප්‍රේරණයක් විදිහට බුද්ධ දේශනාවේ සඳහන් කරන ආකාරයට මෛත්‍රිය හා ශ්‍රද්ධාව සිහිබුද්ධිය වර්ධනයට උදව් වෙනවා නේද?

පි : ඔව්, වෙන්න පුළුවනි. මේවා චක්‍රයක්. ධර්ම චක්‍රයක් විදියට ගත්තොත් චක්‍රයේ මුල කොතැනද කියා ඇහුවොත් සම්මා දිට්ඨිය කියා කියන්න පුළුවන්. හැබැයි සම්මා දිට්ඨිය ඇති වෙන්නත් සම්මා සති සම්මා වායාම ඕන වෙනවා. සම්මා සති ඇතිවෙන්න සම්මා දිට්ඨී සම්මා වායාම ඕන වෙනවා. ඒ නිසා චක්‍රයක් ගත්තහම හරියටම මුලක් කියන්න බෑ. ඉන්න ඕනෑම තැනකින් පටන් ගන්න පුළුවනි. මෛත්‍රිය ඇතිවෙන්නත් සිහිබුද්ධිය අවශ්‍යයි. මෛත්‍රිය හොඳයි තරහා හොඳ නෑ කියන අවබෝධය ඇති වෙන්න ඕනේ මෛත්‍රිය ඇතිකරගන්න. ශ්‍රද්ධාව, ගැඹුරින්ම හදවතේ ඇතිවන ප්‍රසාදය අවශ්‍යයි මේ ගමනට. මෙය අමූලිකා ශ්‍රද්ධාවක් මෙය ආකාරවතී ශ්‍රද්ධාවක් කියා වෙන්කර ගන්න පුළුවන් වෙන්නේ සිහිබුද්ධියට. සිහිබුද්ධිය නැතිනම් අප ශ්‍රද්ධාව කියන්නේ භක්තියට, ඇදහීමෙන් කරන දෙයක්, ආකාරවතී ශ්‍රද්ධාවෙන් නොවෙයි කරන්නේ. මේ සියුම් කාරණා වෙන්කර ගන්න පුළුවන්කම තමා සිහිබුද්ධිය කියන්නේ. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ හැම දේකටම මූලික වෙන කාරණයක් තියෙනවා නම් එය සිහිබුද්ධිය. එහෙම නැතිනම් අප වචන වලට සංකල්ප වලට රැවටිලා. මෙය තමයි ඇත්ත මෙය තමයි මාර්ගය කියලා හිතලා නොමග යන්න පුළුවන්. ඒවාගේම මෛත්‍රිය යම් පමණකට තියෙනවා නම් ඒ මෛත්‍රීසහගත හිතට විචාරපූර්වකව හිතන්න අවස්ථාව ලැබෙනවා. මොකද සතර අගති වල තියෙන ද්වේෂය මෛත්‍රී හිතක නෑ. එතකොට ද්වේශයෙන් අන්තගාමී වීම නෑ මෛත්‍රී හිතක. ඒ නැති වීම එක්තරා විදියක සිහිබුද්ධියක් ඇතිවෙන්න හේතු වෙනවා. ඒවාගේම ආකාරවතී සද්ධාව අනිවාර්යෙන්ම උදව් වෙනවා ශාස්තෘන් වහන්සේ පෙන්වූ මගේ යන්න, මෙයයි මාර්ගය, කළ යුතු දේ මෙයයි, ඒ දේ කරනවා. ඉතින් මේවා අතර අන්නෝන්‍ය  සම්බන්ධයකුයි තියෙන්නේ. 

ප්‍ර : බලාපොරොත්තු කඩවීම් නිසා අප අසරණයට පත් වෙනවා. ඒ අසරණකම නිසාම සමහරවිට ජීවිතය නවතිනවා, කළ යුතුදේ නොකළ යුතු දේ අතර අතරමං වෙනවා. ඒ වෙලාවේදී සිහිබුද්ධිය අවදි කරගන්න පුළුවන් නම් “ඇයි මම අසරණ වුණේ, ඊට හේතු මොනවාද? “ කියන කාරණය මතුකර ගන්න පුළුවන් නේද?. අසරණකමම භාවනා පැත්තට යොමු කර ගන්න පුළුවන් නේද?

පි : අනිවාර්යයෙන්ම. බලාපොරොත්තු ඉටුවීමට වඩා බලාපොරොත්තු කඩවීම තුල දොරක් ඇරෙනවා මේ චක්‍රයෙන් එළියට යන්න. හැබැයි බලාපොරොත්තුවක් කඩුවුණු පමණින්ම එළියට යැවෙන්නේ නෑ. ඉතින් ඒ දොරෙන් එළියට යනවද නැත්නම් අලුත් බලාපොරොත්තුවක් හදාගෙන මේ චක්‍රයේම ඉන්නවාද කියන තීරණය අපේ අතේ තියෙන්නෙ. ඒවගේ වෙලාවක කල්‍යාණ මිත්‍ර ආදර්ශයක් ලැබුණොත් අළුත් ගමනක් යන්න පුළුවන්. බොහෝවිට එවන් අලුත් ගමනක් යන්න අවස්ථාව ලැබෙන්නේ ඒ වගේ අවස්ථාවක කල්‍යාණ මිත්‍ර ආදර්ශය නිසා. එහෙම නැත්නම් කර කියා ගන්න දෙයක් නැතුව වැටිලා ඉන්න වෙලාවේ කෙලින්ම ධර්මය අපට කතා කරනවා “එන්න” කියලා. බලාපොරොත්තුවක් කඩවීමක් තුළ අපේ ජීවිතය අන්ධකාරයෙන් පිරිලා යනවා. ඒ වෙලාවේ යථාර්ථයේ පුංචි ආලෝකයක් වැටෙනවා. එතනදී  ආධ්‍යාත්මය දෙදරීමක් වෙන්නේ. මේ දෙදරීම හරි වටිනවා, මොකද එසේ දෙදරුවහාම තමා කවදාවත් ආලෝක කිරණයක් නොගිය මධ්‍යයට ආලෝක කිරණයක් යන්න පුළුවන් වෙන්නේ. මෙය හරි ලස්සන කාරණයක්.  දෙදරීමක් උනේ නැත්නම් කවදාවත් මධ්‍යයට ආලෝකය වැටෙන්නේ නෑ, වැටෙන්නේ ඒ ඉරිතැලීම නිසයි. එතනින් මධ්‍යයට පුළුවන් එළියට එන්න. හැබැයි බොහෝ විට එහෙම ඇතුළින්ම අවශ්‍යතාවයක් ඇවිත් එළියට එනවට වැඩිය එවැනි අවස්ථාවකදී කල්‍යාණ මිත්‍රයෙකුගේ අත දීම තමයි සිදුවන පහසුම දේ. හැබැයි එය සුලබ නම් නෑ, බොහොම කලාතුරකින් තමයි වෙන්නේ. 

ප්‍ර : සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මීමට හේතුව සතර පෙරනිමිති තමයි හේතු වුනේ. ඊට අමතරව මාළිගාව තුළ කාරණාත් කම්පනයක් වෙන්න හේතු වුණා ද?

පි : කම්පනය කියන දේ එක එක ආකාරයෙන් වෙන්න පුළුවන්. බලාපොරොත්තු කඩ වීම තමයි කම්පනයක් වෙන්න තියෙන සුලබම දේ. හැබැයි අසාමාන්‍ය කාරණය තමා බලාපොරොත්තු ඉටුවීමත් කම්පනයට හේතු වෙන්න පුළුවන්. හැබැයි ඒ කම්පනය වෙන්න නම් නොනැවතීම බලාපොරොත්තු ඉටු වෙන්න ඕන, හදාගන්න හදාගන්න බලාපොරොත්තු ඉටු වෙන්න ඕන. බලාපොරොත්තු කඩවීමෙන් කම්පනයක් වෙන්නත් හදාගන්න හදාගන්න බලාපොරොත්තු කඩවීමෙනුයි. එවිටයි විශ්වාසය නැතිවෙලා යන්නේ, අසරණ වෙන්නේ. ඒ න්‍යායමයි බලාපොරොත්තු ඉටුවීමේදීත් වෙන්නේ, හිතන හිතන දේ ඉෂ්ට වෙනවා නම් ඉල්ලන ඉල්ලන දේ ලැබෙනවා නම් ඒ පැත්තට යන විටත් ඇති වෙනවා කම්පනයක්. මේ කම්පන දෙක වෙනස්. මට හිතෙන්නේ නම් සිදුහත් කුමාරයාට ඇතිවුණු කම්පනය බලාපොරොත්තු කඩවීම් නිසා ඇතිවෙන කම්පනය නොවෙයි, අති සාර්ථකත්වයේ තිබෙන නිස්සාරත්වයයි උන්වහන්සේ දැක්කේ. හිතෙන හිතෙන දේ හරියනවිටත් එපාවීමක් එනවා, හිතන හිතන දෙය හරියන්නේ නැති විටත් එපාවීමක් එනවා. සාමාන්‍ය සමාජයේ ඇති වෙන්නේ එවැනි එපාවීම්. බුදුවරයෙක් පහල වෙන්නේ එතැනින් නොවේ. බුදුවරයෙක් බිහිවීමේ දොරටුව එපාවීමේ දොරටුව නොවෙයි, සාර්ථකත්වයේ දොරටුවයි. එයයි වෙනස. ඒ දොරටුවෙන් යන්න පුළුවන් වෙන්නේ බෝධිසත්වවරයෙකුට පමණයි. සම්මා සම්බුද්ධත්වය බිහිවෙන්නෙ ඒ දොරටුවෙන්. ඉන් මෙහා අයට තියෙන්නේ බලාපොරොත්තු කඩවීම් නිසා ඇතිවන කම්පනයන්.

ප්‍ර : නාට්‍යකාංගනාවන්ගේ දර්ශනය සිදුහත් කුමාරයාට අභිනිෂ්ක්‍රමණය සඳහා  ඍජුවම බලපෑවා නේද?

පි : එතන සිද්ධි ගණනාවක්ම තියෙනවා, එකම සිද්ධියක් කියා කියන්න බෑ. සතර පෙරනිමිති දැකීම තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. ඊළඟට රාහුල කුමාරයා ඉපදීමත් හැරවුම් ලක්ෂයක්. කිසාගෝතමියන්ගේ නිබ්බුත පද ඇසීම හැරවුම් ලක්ෂයක්. එතනදි එතුමන්ට හිතෙන්න ඇත්තේ “තමන් නිවිලාද ? ” ( සාමාන්‍ය කෙනෙකුට නම් එවැනි අවස්ථාවකදී ඇති වෙන්නේ අහංකාරයක්) මොකද එතුමා අවසානයේදී කතා කළේත් නිබ්බාන ගැනනේ.. ඊළඟට නාටිකාංගනාවන්ගේ දර්ශනය (විනාඩි කිහිපයකට මොනතරම් ලස්සනට හිටපු පිරිසක් මේ තරම් පරිවර්තනයකට පත්වුණාද කියන කාරණය). එතකොට මේ කාරණා සහ කිසිම දුකක් කරදරයක් ඇතිනොවන නොදැනෙන විදිහට සුද්ධෝදන රජතුමා මාලිගාව ඇතුළේ නිර්මාණය කරලා තිබුණු කෘතීම පරිසරය, මේ කාරණා සියල්ල උදව් වෙන්න ඇති. හැබැයි ඔය කාරණා සියල්ල තිබුනත් ඒ පාරමිතා පිරුණු බෝධිචිත්තය තිබුනෙ නැත්නම් අභිනිෂ්ක්‍රමණයක් වෙන්නේ නෑ.

හොඳයි කළ්‍යාණ මිත්‍රවරුණි මේ නැවැත්ම යථාර්ථයක් කරගන්න පුළුවන් කියන කාරණය සහ පැවැත්ම සිදුවෙන්නේ අවිචාර බුද්ධිය නිසා කියන කාරණය පැහැදිලි කරගන්න පුළුවන් නම්, ප්‍රයෝගිකව අත්දකින්න පුළුවන් නම්, නැවතත් අවධාරණය වෙන්නේ සිහිබුද්ධියේ වටිනාකමයි. සිහිබුද්ධිය තිබුනොත් ඒ මොහොතේම නවතින්න පුළුවන්, සිතිවිලි කතාව ක්‍රියාව නවත්වා ගන්න පුළුවන්. නැවැත්ම තවදුරටත් ප්‍රාර්ථනයක් අනාගත ඉලක්කයක් නොවෙයි වර්තමානයේ යථාර්ථයක් කරගන්න පුළුවන්. ඒ වගේම සිහිබුද්ධිය නැතිවෙන විදිහටයි මේ මැෂින් එක හැදිලා තියෙන්නේ, ප්‍රශ්නයක් එන්න කලින් සිහිබුද්ධිය හරියට සවි කර ගන්න. ගැලවුනු සිහිබුද්ධිය නැවත සවි කරගන්න එක අමාරුයි. ඒ නිසා ප්‍රශ්නයක් ඇතිවෙන්න කලින් නැති නොවන සිහිබුද්ධියක් ඇතිකරගන්න. එයයි අපට අප වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කළ යුතු සහ කළ හැකි මහත්ම මහත් සත්කාරය. ඒ දැක්මත් එක්ක හිතවතුනි අද අප මේ ආධ්‍යාත්මික අම්බලමෙන් සමුගනිමු.

හැම දෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!