සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 28

2022 අප්‍රේල් 27, සාරාංශය

සදහම් සැඳෑව ආධ්‍යාත්මික අම්බලමට සිහිබුද්ධියේ මුහුර්තියෙන් ගොඩවුණු දයාබර කල්‍යාණ මිත්‍රයිනි. මේ සා දුරක් සාකච්ඡා කරමින් ආ, භාවනා කරමින් ආ, සිහිබුද්ධියේ විවිධ භාවිතයන් හඳුනාගෙන, ඒ භාවිතයන් ප්‍රායෝගික අත්දැකීම් බවට මේ හිතවතුන් පත්කර ගන්නවා ඇතැයි කියන විශ්වාසය, ප්‍රාර්ථනය ඇතිවයි, මේ වැඩසටහන සංවිධානය කරන සෑම කල්‍යාණ මිත්‍රයෙකුම ස්වෙච්ඡාවෙන් ඒ කැපවීම කරන්නේ සහ එකතුවෙන සෑම දෙනාමත් එකතුවිය යුත්තේ. “හුදු බණක් අහනවා, දේශණයක් අහනවා, සාකච්ඡාවකට එකතුවෙනවා, භාවනාවකට සම්බන්ධ වෙනවා, නොදන්න යමක් දැනගන්නවා, දන්නා දෙයක් තව තහවුරු කරගන්නවා” එබඳු පොදු ආකල්ප, පොදු සිතුවිලි, පොදු ඕනෑ එපාකම් සඳහා පමණක්ම නොවෙයි. ඔබ අප සෑම දෙනාම මේ දක්වා ලොකු ගමනක් ආවා, දන්නා කියන දවසක සිට මේ සියලු ආගමික වතාවත්, චාරිත්‍ර-වාරිත්‍ර, සම්ප්‍රදායයන්, පුණ්‍යෝත්සව සමග. එයින් අප්‍රමාණික ප්‍රතිඵල ලැබුණා, ලැබෙමිනුත් පවතිනවා, ඉදිරියටත් ලැබෙයි. ඒවායේ නිශ්ඵලත්වයක් නෑ, ඒ හැම දෙයක්ම ප්‍රතිඵලදායකයි. එහි නිශ්ඵලත්වයක් නිසා නොවෙයි මෙබඳු වැඩසටහනක අවශ්‍යතාවය මතුවන්නේ. හොඳටම ප්‍රතිඵල තියෙන නිසා තමයි මෙබඳු වැඩසටහනකුත් අවශ්‍ය වන්නේ.

ඒවායේ කිසිම ඵලක් නැත්නම් හරි ලේසියි අතහරින්න, සංසාරය අතහරින්න හරීම ලේසියි. සංසාරයේ කරන දේවල් වල කිසිම ඵලයක් නැත්නම්, ප්‍රතිඵලයක් නැත්නම්, සාමාන්‍ය ජීවිතයේ කරන වැඩවල; උදාහරණයක් විදිහට රැකියාවේ කිසිම වැටුපක් ලැබෙන්නේ නැත්නම්, දිගින් දිගටම ලැබෙන්නේ නැත්නම්, ඒ රැකියාව අත්හරියි. ස්වෙච්ඡා සේවය නොවේ රැකියාව. සමහරවිට මාසයක් දෙකක් තුනක් විවිධ හේතු නිසා ආධුනික කාලය නිසා හරි වෙන ගැටලු නිසා හරි නොලැබුණත්, ජීවිත කාලයටම රැකියාවෙන් ආදායම් නොලැබෙයි වගේ දැනුනොත් රැකියාව අතහරියි. බෙහෙතක් අහගෙන ලෙඩක් හොඳ වෙන්නේ නැත්නම්, ඵලයක් නැත්නම් ඒ බෙහෙත අතහරිනවා. කෙනෙකුගේ ආශ්‍රයෙන් ඇසුරෙන් බලාපොරොත්තුවන අගය, රැකවරණය, හිතවත්කම, දුක-සැප බෙදාගන්න ඉදිරිපත්වීම නොලැබෙනවා නම් ඒ ඇසුරත් බොහොම ඉක්මනට අතහැරිලා දියවෙලා යනවා. විවාහයත් ඒ වගේ, විවාහ අතහැරෙන්නේ එහි බලාපොරොත්තුවන ඵලය නොලැබෙන විට.

මොනතරම් දේවල්වල් අල්ලාගෙන, එල්ලීගෙන ඉන්නවාද? ඒ ඵලයක් ලැබෙන නිසානේ, අතහැරෙන්නේ බොහොම ටිකයි, අතහරින්නෙත් බොහොම ටිකයි. බොහොම දේවල් දිගටම අල්ලගෙන ඉන්නවා. අලුතින් අලුතින් දේවලුත් අල්ලගන්නවා. දිගටම ගැට ගහගෙන ගැට ගහගෙන යනවා. එහෙම වන්නේ හා එසේ කරන්නේ නොකර බැරි නිසාම නොවේ. කිසියම් ප්‍රතිඵලයක් ලාභයක් ලැබෙන නිසා. එය දවසක් දෙකක්, මාසයක්, අවුරුද්දක් දෙකක් තිබිලා නැතිවෙලා යයි. එපමණ කල් තියෙන්නෙත් නෑ. මේ සංසාරේ ප්‍රතිඵල තියෙනවා. සංසාරය කියන්නේ මේ ජීවිතයේ කරන දේවල්වල ඕනතරම් ප්‍රතිඵල තියෙනවා.

කවුරුහරි කියනවානම් “නිශ්ඵලයි නිශ්ඵලයි නිශ්ඵලයි” කියා ඒ හරියට සොයා බලන්නේ නැතිවයි කියන්නේ. “මේ ජීවිතය-ශරීරය නිශ්ඵලයි, දේපළ-ධනය නිශ්ඵලයි, කෑම-බීම නිශ්ඵලයි ගෙවල්-දොරවල් නිශ්ඵලයි, යාන-වාහන නිශ්ඵලයි, පිංකම් නිශ්ඵලයි” කියා මෙහෙම කියන එක ලේසියි. මෙහෙම කියනවිට බොහෝවිට බෞද්ධයෙකුට සිතෙනවා “මේ පරම සත්‍යයක් කියන්නේ, හිස් කියලා, හිස්ම හිස්, නිශ්ඵලයි, නිස්සාරයි කියන්නේ පරමසත්‍යයක්” කියා. මෙය පරම සත්‍යයක් නොවේ. සත්‍යයයෙන් බොහොම ස්වල්පයක්. මේ ‘ස්වල්පයක් සත්‍යය, අසත්‍යය වැඩි’ දෙයකින් බොහොම අමාරුයි මාර්ගයක් සොයාගන්න.

අත්දකින සෑම දෙයකම ප්‍රතිඵල තියෙනවා. බලාපොරෙත්තුවන මටිටමට, එයටත් වැඩිය හෝ අඩුව ප්‍රතිඵල තියෙනවා. එවෙලෙම හෝ පසුව. සමහර දේවල්වල එවෙලෙම ලැබෙනවා. සමහර කාරණාවල පසුවයි ලැබෙන්නේ. කුමන හෝ ප්‍රතිඵලයක් ලැබෙනවා. බලාපොරොත්තුවන ප්‍රතිඵලය, බලාපොරොත්තු වුණු මට්ටමට අඩු, වැඩි ප්‍රතිඵල හෝ බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵල  තියෙනවා. ප්‍රතිඵලයක් නැති ක්‍රියාවක් නෑ. තියෙන්නට බෑ සංසාරයේ. ඒ ධර්මතාවය වැටහෙනවිට පේන කාරණයක් තමයි හැම දෙයකම ප්‍රතිඵලයක් තිබෙන බව. ක්‍රියාවක ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵල නැති ක්‍රියා නෑ. සංසාරේනම් නෑ. ලෞකික ජීවිතයේත් නෑ. මෙලොව ජීවිතෙත් නෑ. පරලොව ජීවිතේත් නෑ. ඉතින් එහෙමනම් කෙනෙකුට සිතෙන්න පුළුවන් “කුමකටද මේ සංසාරයෙන් අයින්වෙන්න සිතන්නේ” කියා, “එහෙනම් මොකටද ආර්‍යමාර්ගයක්? ලෝකෝත්තර මාර්ගයක්? ලෞකික මාර්ගයේ ප්‍රතිඵල තියෙනවානම්”. හොඳ ප්‍රශ්නයක්. සිහිබුද්ධිය විසින් අසනු ලබන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය සිහිබුද්ධියට තමයි ඇහෙන්නේ, පේන්නේ. ඕනෑම දෙයකට ප්‍රතිඵලයක් තියෙනවා. හැමදේකටම ප්‍රතිඵලයක් තියෙනවා. එහෙම නැත්නම් අප අද මෙතන නෑනේ. ඒ කියන්නේ සදහම් සැඳෑවේ පමණක් නොවේ. මේ ජීවිතයේ, මේ ලෝකේ, මේ සංසාරේ නෑ ප්‍රතිඵලයක් නැත්නම්. ඔබ කියන්නේ ප්‍රතිඵලයක්. මා කියන්නේ ප්‍රතිඵලයක්. ඵලයකට. ප්‍රතිඵලයක් නැත්නම් අත්හැරීම හෝ අතහැරීම සාමාන්‍ය දෙයක්. ඒ සඳහා කිසිම දහමක් අවශ්‍යවන්නේ නෑ. මඟපෙන්වීමක් අවශ්‍ය නෑ. භාවනාවක් අවශ්‍ය වෙන්නෙත් නෑ. සිහිබුද්ධියක් කොහෙත්ම අවශ්‍ය නෑ. තමන් කරන දෙයක ප්‍රතිඵලයක් ඇත්තෙම නැත්නම්, බිංදුව නම් ඒ දෙය එපාවීම සාමාන්‍ය දෙයක්. එපා නොවෙනවා නම් තමයි පුදුම වෙන්න ඕනේ. කිසිම ප්‍රතිඵලයක් නැතිව වවනවා වවනවා කවදාවත් මොනම ප්‍රතිඵලයක්වත් නෑ. කොළයක්වත් නෑ අඩුම ගානේ ඊලඟ කන්නෙට පොහොර වේන්නට පසට වැටිලා දිරලා යන. ඒත් නෑ. ඉතින් එහෙමනම් ජීවිත කාලේම කවුරුහරි ඒ වගාව කරයිද?

ඒ ප්‍රතිඵලයක් නැති තැන එපා වෙනවා. අතහැරෙනවා. මේ එපාවීම හා අතහැරීම වෙන්නේ දොම්නසින්. ඕන වෙන්නේ සොම්නසින්. ඕනෑම දෙයක්, ඕනෑම කෙනෙකු අවශ්‍ය වන්නේ සොම්නසින් බලාපොරෙත්තුවන ප්‍රතිඵලය ලැබෙන විට. එහි සොම්නසක් උපදිනවා. ඒ සොම්නස තමයි ඒ දෙය, ඒ කෙනාව, ඒ තැන, ඒ තනතුර, ඒ ස්වභාවයට අපව ඇදලා, බැඳලා, ගැට ගහලා, වෙළලා ඔතලා තියන්නේ. සොම්නසින්. ඒ ප්‍රතිඵලය නැත්නම් හිස්නම් එය එපා වෙනවා. ඒ සඳහා භාවනා කරන්න අවශ්‍ය නෑ. කොහෙත්ම ඕනේ නෑ. බණක් ඕනම නෑ, බුදුදහම දන්න අය විතරක් නෙමෙයි තමන් සොයන දෙය නැතිවෙනකොට දමලා ගහන්නේ, පයින් ගහන්නේ, සත්තුන්ගේත් හැටියක්, තිරිසන් ලෝකයෙත් හැටියක්. ප්‍රේත ලෝකයේ, නිරයේ එපා වෙච්ච දේවල් පයින් ගහලා විසිකරන්න බැහැ. අහලා තියෙන විදිහට තමන්ට කොපමණ එපා වුණත් දොම්නස් සහගත දේවල් සමඟ ජීවිත කාලයම ඉන්න වෙනවා. ඒ කියන්නේ උපදින්නෙත් දොම්නස් සහගත මානසික ස්වභාවයකින්, දොම්නස්කම වැඩිවෙන දේවල් තියෙන ලෝකෙක. ඒවත් එක්ක ඉන්න වෙනවා. එයටයි අපායක් කියන්නේ. හිතන්න පුළුවන්නේ එය අපායක් වෙන්නේ ඇයි කියා. සාමාන්‍ය ජීවිතයේ දොම්නසක් වෙන දෙයක් සමග විනාඩියක් දෙකක් ඉන්න වෙන විට මොනතරම් අසහනයක්ද මානසිකව හා කායිකව. ජීවිත කාලයක්? ඒකත් අපේ ලෝකේ අවුරුදු වලින් දිග කාලයක් කියනවානේ. අපායක්ම තමයි. නිරයක්ම තමයි. මෙහි තියෙන අපායත් එක්ක සම්බන්ධ කරන්න බෑ. අප හුඟක් වරද්ද ගන්න තැනක්. මෙහි තියෙන දුකත් එක්ක අප නිරා දුක අපා දුක සසඳනවා, මණිනවා, තේරුම්ගන්න හදනවා, එහෙම තේරුම් ගන්න බෑ. හැබැයි ඒ ධර්මතාව තේරුම් ගන්න පුළුවන්. මේ තමා ධර්මතාව. කෙසේ හෝ ඒ අපා තුන අතහැරියාම තිරිසන් ලෝකයේ සෑහෙන දුරට පුළුවනි, තමන් අකමැති දේ, දොම්නස උපදින දෙයින් වෙන්වෙලා ඉන්න. උත්සාහ කළොත් පුළුවන්. ඉතින් වයසට ගියාම නම් බෑ. සාමාන්‍යයෙන් පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ සෑහෙන දුරකට තියෙනවා.

නමුත් ජීවිත කාලය පුරාම දිගින් දිගටම දිගින් දිගටම කිසිම මනුෂ්‍යයෙක් ඉන්නේ නෑ එකම දොම්නසක් එක්ක. එක කාරණයක් සම්බන්ධ දොම්නසක් එක්ක ජීවිත කාලයම ඉන්නේ නෑ. කෙසේ හෝ අතහරිනවා. එහෙම ඉන්න බෑ. එය කෙළවර වෙන්නේ කාරණා තුනකින්. තමන්ට දරාගන්න බැරිතරම් කාලයක් මනුෂ්‍යයෙකුට දෝමනස්සයක් එක්ක ඉන්න වුණොත්, ඒ සිතීම කෙළවර වන්නේ වියහැකිවීම් තුනෙන් එකකින්. සම්භාවිතාවයන් තුනක් තියෙනවා. ඉතින් මේ තුනෙන්ම ගැලවීමක් තියෙනවා.

එයින් එකක් තමා පිස්සු හැදෙන්න පුළුවන්. පිස්සු හැදුනාමත් ගැලවෙනවා. දෝමනස්සයක් සමග සිටිනවිට තියෙන දුක නෑ පිස්සු හැදුනාම. දරාගන්න බැරිතැනකට ඇවිල්ලා මනස පුපුරා ගියාවිට ලොකු ප්‍රශ්නයක් නෑ. තමන්ට ඕන විදිහට ඉන්නවා. නානවානම් නානවා, නැත්නම් නෑ. කනවානම් කනවා, කන්නේ නැත්නම් නෑ. කියවනවානම් කියවනවා, තමන් එක්කම කතා කරනවා. අඬනවානම් අඬනවා, හිනාවෙනවානම් හිනාවෙනවා. මේවා විනිශ්චය කිරීම් අඩුයි. පිස්සු හැදුනාම විනිශ්චය කරගන්නේ නෑ. සාමාන්‍ය කෙනෙකුටත් ඔය හැඟීම් එනවා නමුත් ඒවා විනිශ්චය කරනවා. මේ සුදුසු තැනද? කෑගහන්න පුළුවන් තැනක්ද? කෑ ගැහුවොත් තමන්ගේ තත්වයට මොකද වෙන්නේ? අවට ඉන්න අයට මොකද වෙන්නේ? මේ විනිශ්චයන් නිසයි අපේ පිස්සුව පෙන්නන්නේ නැතිව ඉන්නේ. පිස්සෙකුට ඒ විනිශ්චය පේන්නේ නෑ. ලොකු නිදහසක්. උසාවියක් නෑ පිස්සෙකු ඇතුළේ. පොලිසියකුත් නෑ සිරගෙයකුත් නෑ. පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ පොලිසියෙන්, විභාග කරන්නෙ විනිශ්චකාරවරයා, දඬුවම දෙන්නේ සිරගෙදර. ඉතින් මේ තුනම පිස්සෙකුගේ මනසේ නෑ. සාමාන්‍ය කෙනෙකුගේ මනසේ ඔය තුන්දෙනාම ඉන්නවා. චෝදනා කරන කෙනෙකුත් ඉන්නවා, වැරදි වැරදි වැරදි කියා ඒගැන විභාග කරන කෙනෙකුත් ඉන්නවා. ඔව් වැරදිතමයි ඔබට මේ දඬුවම හිමිවෙනවා. දඩුවම් විඳින කෙනෙකු සහ දඬුවම් දෙන කෙනෙකුත් ඉන්නවා. තුන්දෙනාම ඉන්නේ මනස ඇතුළේ. සාමාන්‍ය කෙනෙකුගේ මනස ඇතුළේ මේ තුන්දෙනාම ඉන්නවා. මෙයට කර්මය කිව්වත් කමක් නෑ. කර්මයේ එක්තරා ප්‍රකාශනයක්. මේ නිසා සාමාන්‍ය කෙනෙකු හරියට විඳිනවා. විඳවනවා. පිස්සෙක් එහෙම විඳවන්නේ නෑ. එයාට වෙනම විඳවීමක් තියෙන්නේ. ඔය විඳවීම් තුන එයාට නෑ. චෝදනා වලින් ඒ කියන්නේ පොලිසියෙන් කරන විඳවීම, නඬුවිභාගයේදි කරන විඳවීම සහ දඬුවමේදි කරන විඳවීම මේ එකක්වත් පිස්සෙකුගේ මනසේ නෑ. දුකෙන් නිදහස්වෙලාත් නෑ. එයා වෙනම ආකාරයට විඳවනවා.

මිළඟ කාරණසියදිවි නසාගැනීම. සියදිවි නසා ගත්විටත් එවෙලෙට ඒ ප්‍රශ්නේ ඉවරයි කියා සිතනවා. හැබැයි මරණයේදි ඇත්තටම මැරෙන්න ඕනේද කියන ඒ ප්‍රශ්නේ එනවා. තොණ්ඩුවක් දාගෙන හිරවෙන කොට තොණ්ඩුව දාගත්ත සිත නොවේ සිරවෙනකොට, අමාරුවෙනකොට පහළවෙන්නේ. ඒ සිතට ඇත්තටම මැරෙන්න ඕනේද නැතිනම් ජීවත් වෙන්නද ඕනේ?  දැන් ප්‍රමාද වැඩියි. සිත් දහස් ගණනක්, ලක්ෂ ගණනක් පහළවෙනවා. ඒ පහළවෙන සෑම සිතකටම මැරෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ නෑ. එක දිගට පහළවෙන සියළුම සිත්වලට එකම කාරණයක් මේ මොහොතේ සිතෙන්නේ නැත්නම්, මැරෙන වේලාවේදි සිතෙයි ද? තමන්ගෙම පණ නහගන්න වේලාවෙදි සිතෙයිද? සිතෙන්නේ නෑනේ. සිතෙන්නට විදිහක් නෑ. එහෙමනම් ඉතින් හොඳ ඒකාග්‍රතාවයක්, චතුර්ත ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන වගේ ඉන්න ඕනේ. එහෙම ඉන්නවා නම් ඔය මෝඩ වැඩේ කරගන්නේ නෑනේ. එතනදි මෙලොව වශයෙනුත් විඳිනවා. විඳවලා තමයි මැරෙන්නේ. සියදිවි නසාගැනීම් තාවකාලික ගැලවීමක් කියලා සිතුනට මැරෙණකනුත් විඳවනවා. මැරුණට පස්සේ මොන විදිහේ විඳවීමක් කරයිද දන්නේ නෑ.

තුන්වෙනි තැනට එන්නේ භාවනාවට, දහමට, ආධ්‍යාත්මික පැත්තට යොමුවීම. එහෙම ආවාම නම් ඔන්න හොඳ ගමනක් යන්න පුළුවන්. එහෙම නැතිව දෝමනස්සයත් එක්ක කෙනෙකු දිගටම ඉන්නේ නෑ. ඉන්න බෑ මනුස්සයෙකුට දෝමනස්සයත් එක්ක එක දිගටම. බොහොම ටික කාලයයි.

ඉතින් හිතවතුනි, ඒ නිසා පැහැදිලි වෙන කාරණය තමා සොම්නසත් ජීවිතයේ තිබෙන බව. මෙලොව වශයෙනුත් තිබෙනවා. පරලොව වශයෙනුත් තිබෙනවා. ලෞකික, ඒ කියන්නේ එදිනෙදා හරි හම්බකරන වියදම් කරන ජීවිතේ ඇතුළෙත් සොම්නසක් තිබෙනවා. ඔය ආගමික ජීවිතේ ඇතුළෙත් පුණ්‍යකටයුතු වලදිත් සොම්නසක් තියෙනවා.  එය වෙනස්. ගුණාත්මක, ප්‍රමාණාත්මක වෙනස්කම් වලට යටත්ව සොම්නසක් තිබෙනවා. භාවනාවක් ඕනවෙනවා තැන් දෙකකකදී. එක තැනක් තමයි ඔය කියු කාරණය. මොකක්ද දොම්නසක් එක්ක එක දිගටම ඉන්න නම් ලොකු හයිය සිතක් තියෙන්න ඕනේ. එහෙම නැතිව බෑ. ඒ සඳහා භාවනාව උදව් කරගන්න පුළුවන්. කරන කරන දේ හරියන්නේ නෑ. වරදිනවා, වරදිනවා, වරදිනවා. ඒ වුනත් තව උත්සාහ කරන්න නම් හයිය සිතක්, කිසියම් උපේක්ෂා සහගත සිතක්, ඉවසන සිතක් තියෙන්න ඕනේ. භාවනාව ඒ සඳහා උදව් කරගන්න පුළුවන්. සමථ භාවනාවත් පුළුවන් විපස්සනා භාවනාවත් පුළුවන්. දොම්නසක් සමඟ ජීවිතේ යාත්‍රා කරන්න, දොම්නසත් සමඟ ඉන්නම නොවේ. ජිවිතයේ විවිධ වගකීම් තියෙනවානේ, ඒවා කරගෙන යන්න නම් අන්න භාවනාවක් ඕනේ. නැත්නම් අතහරිනවා. බලාපොරොත්තුවන ප්‍රතිඵලය නැත්නම් අතහරිනවා. අතහරිනවා, අතහරිනවා. විවාහය ගන්න, විවාහය අතහරිනවා. හැබැයි ඉතින් එන ප්‍රශ්නත් සමඟ භාවනාවට ආවොත්, හරි උපදේශයකුත් ලැබුණොත්, සමහරවිට ඒ ප්‍රශ්නය, විවාහය ඇතුළේ තියෙන ප්‍රශ්නය විසඳෙයි. විසඳුනේ නැතත් ඒ ගැටළුත් එක්ක ඉඳියි. විවාහය අත්හැරෙන්නේ නෑ.

අතහරින්නට භාවනාව අවශ්‍ය නෑ. විශේෂයෙන් තමන්ට නිශ්ඵලයි කියලා සිතෙන දේ, ඵලයක් නැහැයි කියා දැනෙන දේ, සිතේ දෝමනස්සයක් උපද්දවන දේවල් අතහරින්න නම් කොහොමත් භාවනාව අවශ්‍ය නෑ.  ඒවාත් සමග ඉන්නයි භාවනාව අවශ්‍ය වන්නේ. බලන්න මේ සිහිබුද්ධිය මොනතරම් කණපිට හැරුණු ජීවිතයක්, හොඳපිට හරවලා පෙන්වනවාද? ජීවිතය හොඳපිට හරවන්නේ නෑ. අප කණපිටට දකින ජීවිතයේ හොඳපිට පෙන්වනවා. අප සිතන්නේ නිශ්ඵල, නිස්සාර දේවල් අතහරින්න භාවනාව ඕනේ කියලානේ. නෑ. නිශ්ඵල නිස්සාර දේවල් අතහැරෙනවා කෙහොමත්. භාවනා කරන්නේ ඒවත් එක්ක ඉන්න. රස්සාව එපා වෙනවා. නමුත් එයත් සමග ඉන්නයි භාවනාව ඕන වෙන්නේ. ජීවිතය තියෙනකන් කරන්න තියෙන දේ කරන්න, තමන්ට තේරුණත් වැඩක් නෑ කියා නමුත් නොකර ඉන්න බැරිනම් ඒවා කරන්න භාවනාව ඕන වෙනවා. ‘උපේක්ෂාවක් ඕන වෙනවා. ඉවසීමක් ඕන වෙනවා. කිසියම් දුරකට පරාර්ථකාමිත්වයක් ඕන වෙනවා. මේ ගුණ භාවනාවෙන් වැඩෙනවා’. ඒ භාවනාව කරන්නේ අල්ලා ගැනීමට. තව ටිකක් මේක අල්ලාගෙන යන්න. ‘අතහරින්න නෙමෙයි, අල්ලගන්න’. නමුත් මෙයබකවුරුවත් කියන්නේ නෑ. අප මෙහෙම කිව්වාට කවුරුවත් කියන එකක් නෑ. කිව්වොත් සිනහාවෙයි, මහා අධර්මයක් දේශණා කරනවා කියයි, දහම වරද්දනවා කියයි, මේ අල්ලාගන්න භාවනා කරනවා කිව්වොත්. හැබැයි මේ තමා ඇත්ත. හොඳට සිහිබුද්ධියෙන් බැලුවාම තේරෙනවා, ඔය ප්‍රශ්නත් එක්ක උපදේශනයට භාවනාව භාවිතා වන විට අල්ල ගන්න තමයි භාවනාව භාවිතා කරන්නේ කියා. ඒක වැරදි කියනවා නෙවෙයි. කිසි වරදක් නෑ, එයයි ඇත්ත. ඒ ඇත්ත අප දැකිය යුතුයි, අතහරින්න නෙවෙයි අල්ල ගන්න.

මේ සියල්ල අතර අප කරන කටයුතුවල ප්‍රතිඵල තියෙනවා. ඒ නිසාමයි සොම්නසින් ඉන්නේ. කිසියම් මොහොතක සොම්නසකින් කෙනෙකු ඉන්නවාද, ඒ ඉන්නේ බලාපොරොත්තුවක් ඉටුවුන නිසා, ප්‍රාර්ථනාවක් ඉෂ්ට වූ නිසා, චේතනාවක් සමෘධ වූ නිසා, සොම්නසින් ඉන්නේ. සොම්නසින් ඉන්නවිට අතහරින්න ඕනකමක් නෑ. හරියනවානම් අතහරින්න කාටද ඕනේ?  ගන්න ගන්න විභාගය සමත් වෙනවානම් අතහරින්නේ නෑනේ. දිගටම දිගටම අසමත් වෙනවා නම් අතහැරෙනවා. සොම්නසේදී වෙන්නේ තව තව බැඳෙනවා. පුද්ගලයන්ට, දේවල්වලට, තමන්ටම, රටට-ලෝකයට, ආගමට තව තව බැඳෙනවා. දොම්නසේදී තමා ප්‍රතික්ෂේප වීම එන්නේ, ගැටීම් එන්නේ. සොම්නසේදී බදාගන්නවා, වැළඳ ගන්නවා. එතන තමා ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ එතන. අතහැරීම ඕනවෙන්නේ එතෙන්ට. අතහරින්න ඕනේ හරියන විටයි, සමර්ථවනවිට, සාර්ථකත්වයේදී, අසාර්ථකත්වයේදී නෙවෙයි, නිස්සාරත්වයේ නොවෙයි, නිශ්ඵලත්වයේ නොවෙයි, අසමර්ථයේ නොවෙයි සාමාර්ථයේදී ජයග්‍රහණයේදී පුළුවන්ද වෙන් වෙන්න. වෙන් වෙන්න කියන්නේ බැඳීම් අඩු කරගන්න. ඒ දෙයත් සමඟ තියෙන බන්ධනය, ඒ දෙයත් සමඟ තිබෙන ආත්මීය සබඳතාව, ඒ වැළඳගැනීම ලිහිල් කරන්න පුළුවන්ද? අමාරුයි, අමාරුයි හරිම අමාරුයි. සොම්නස අතහැරිම අමාරුයි, සොම්නසින් ඈත්වීම අමාරුයි, සොම්නසින් දුරස්වීම අමාරුයි. සොම්නස කාන්දම් ශක්තියක් වගේ, ආකර්ෂණ ශක්තියක් වගේ. දෙකක් එකට කිට්ටු කරනවා, හොඳටම කිට්ටු කරනවා, ලංකරනවා. සොම්නසත් ගම් එකක් වගේ. ලිස්සලායන දේවල් දෙකක් අතරට ගම් ටිකක් ගාලා කිට්ටු කලාම ආයේ ලිස්සන්නේ නෑ, වැටෙන්නේ නෑ. යන යන තැන එනවා, එකක් යන තැනට අනික එනවා. එකක් වැටෙනකොට අනිත් දෙය එයට වැටෙන්නට නොදී එය අල්ලගන්නවා. තමන් වැටුනේ නැත්නම් අනිත් දෙය වැටෙන්නෙත් නෑ. සොම්නසේදී සුරක්ෂිතතාවය පිළිබඳ මනෝමය සහතිකයක් ලැබෙනවා. ලෝකයෙන් හේ යථාර්ථයෙන් දෙන සහතිකයක් නොවේ, තමා සිතින් හදාගන්නා සහතිකයක්. සුරක්ෂිත බවක් ඒ සොම්නස දෙනවා. ඒ නිසා ප්‍රශ්නය තියෙන්නේ සොම්නසේ, දොම්නසේ නෙවෙයි. වැරදීමේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, නිශ්ඵලත්වයේ හා නිස්සාරත්වයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, සාංසාරික ප්‍රශ්න තියෙන්නේ.

මේ ලෝකේ ප්‍රශ්න කියලා ගන්න දේවල් තියෙනවානේ. ප්‍රශ්න, අර්බුද, ගැටලු, අසීරුතා, දුෂ්කරතා යම්තාක් තියෙනවාද, ආගමික, දේශපාලනික, ආර්ථිකමය, සමාජමය, පවුල් පැත්තේ, ජාත්‍යන්තර මට්ටමේ, පාරිසරික මේ සියල්ල එන්නේ දොම්නසින්, දොම්නසත් එක්ක. දොම්නස තමයි ඔය සියළුම ප්‍රශ්න හදන්නේ. මොනවාහරි පුංචි අත්දැකිමක් අරගෙන එයා මහලොකු ප්‍රශ්නයක් හදනවා. දොම්නස යම්තාක් කල් තියෙනවාද, ඒතාක් කල් ප්‍රශ්නය සංකීර්ණ කරනවා. දොම්නස තමයි, ප්‍රශ්නය විදිහට මුළු ලෝකයම දකින්නේ. ආගම දකින්නෙත්, දොම්නස තමා ප්‍රශ්නේ. දේශපාලන විද්‍යාඥයින්, ආර්ථික විද්‍යාඥයින්, භෞතික විද්‍යාඥයින් මේ හැම දෙනාම දාර්ශනිකයන්. නමුත් සිහිබුද්ධියට පේනවා ප්‍රශ්නය සොම්නස බව. සොම්නස තමයි ප්‍රශ්නය, එහි වරදක් නෑ. සොම්නස වැරැද්දක් කරන්නේ නෑ. නමුත් එතනින් තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ඒ නිසා සිහිබුද්ධිය අපට කියනවා සොම්නස ගැන භාවනා කරන්න. 

ඉන්න ඕනේ නම් දොම්නස ගැන භාවනා කරන්න, යන්න ඕනේ නම් සොම්නස ගැන භාවනා කරන්න, තේරීම අපේ. යමක දිගින් දිගටම ඉන්න ඕනේ නම්, හැබැයි ඉන්නම බැරිනම් ඒ දේ ගැන භාවනා කරන්න, කළොත් ඉන්න පුළුවන්. භාවනාවෙන් ඉවසීම ඇතිවෙනවා, උපේක්ෂාව ඇතිවෙනවා. පිළිකුල් භාවනාව කියන්නේ “මේ ශරීරය මොනතරම් පිළිකුල්ද” කියලා. එහෙම කිව්වා කියලා ශරීරය අතහැරෙන්නේ නෑනේ, පිළිකුලත් සමඟ ඉන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට භාවනාව උදව් වෙනවා ඉන්න. ඉන්න ඕනේ නම්, ඉන්න බැරිනම්, හැබැයි ඉන්නම ඕනේ නම් දෝමනස්සය ගැන භාවනා කරන්න. ඉන්න පුළුවන් නම්, හොඳටම ඉන්නවානම්, හැබැයි යන්න නම් ඕනේ, සෝමනස්සය ගැන භාවනා කරන්න. එහෙම නොකර “මේවා නිස්සාරයි, නිශ්ඵලයි, ශූන්‍යයි, කිසි තේරුමක් නෑ” එහෙම කිව්වට වැඩක් නෑ. කියන්න පුළුවන්, මන්තරයක් වගේ කිව්වාම මොනවා දැක්කත් එහෙම සිතෙනවා, සිත ඒ විදිහට හැඩගැස්සුවාම. හැඩගැස්සුවාම කියන්නේ පදම් කරපුවාම.

සිත කියන්නේ පදම්කරන්න පුළුවන් දෙයක්. ඕනේ විදිහකට පදම් කරන්න  පුළුවන්. පදම් කලාම, condition කලාම, පදම් කළ ආකාරයට තමයි සිතෙන්නේ. “පිළිකුල් පිළිකුල්” කියලා දිගටම සිත පදම් කළොත්, condition කළොත් “පිළිකුල්” කියලා සිතෙනවා. “නිස්සාරයි” කියලා පදම් කළොත් “නිස්සාරයි”. “අර්ථශුන්‍යයි” කියලා පදම් කළොත් “අර්ථශුන්‍යයි”. ඒ ප්‍රමාණයට පදම් කරන්න ඕනේ. එක දවසක් කීවට මදි, ටික දවසක් කීවාම ඔන්න “අර්ථශූන්‍යයි” කියනවා. ඒ කියන්නේ යථාරථය දැකීම නොවේ. යථාර්ථය දකින්න ඕනේ නෑ ඒවා කියන්න. “සියල්ල දෙවියන්” කියන්නේ, “මේ හැම දෙයක්ම දෙවියන්” කියන්නේ, දෙවියන් දැකලා නෙවෙයි නේ. හැබැයි ඒ අය ‘ඇත්ත කියනවා’ කියා අදහමින් හදවතින්ම භක්තියෙන්ම කියන්නේ. බොරුවක් කියනවා කියා සිතා නෙමෙයි කියන්නේ. එහෙම පුංචි කාලේ ඉඳලා මේ කාරණය කිව්වොත් ‘සියල්ල දෙවියන්, සියල්ල දෙවියන් කියලා’, ‘මේ හැම එකක්ම මැවුවේ දෙවියන්’ ‘අපිව මැව්වෙත් දෙවියන්’ ‘ආපසු අප යන්නෙත් දෙවියන් ලඟට’, ‘ආවෙත් දෙවියන්ගෙන්’, මේ මන්ත්‍රයක් වගේ කිව්වොත්, දිගටම දිගටම කිව්වොත්, පොතක ලියලා කියවන්නට සැලැස්සුවොත්, අහන්නට සැලැස්සුවොත් දවසක ‘හැමදෙයක්ම දෙවියන්’ විදිහට පෙනෙයි. පේනදේ ඊට පස්සේ කියනවා. ‘මං දෙවියන් දැක්කා’ කියලා. මෙය පදම් කිරීම, condition කිරීම. එහෙම condition කරන්න පුළුවන් ‘මේ සියල්ලම අනිච්ඡයි, දුක්ඛයි, අනත්තයි’ කියා condition කළාම පෙනෙන දේ නෙමෙයි ඇත්ත. ඕන දේනේ පේන්නේ, ඒ විදිහට පදම් කළාම ඕන දේ පේනවා.

හිතවතුනි,  මේ නිසා සතුටින් ඉන්නවිට ඒ ගැන භාවනා කරන්න. ... එක දෙයක් හරි හරියනකොට ඒ ගැන භාවනා කරන්න. ඒ ගැන භාවනා කරන්න කියන්නේ එපා කරවන්න නෙවෙයි. වැඩක් නෑ කියා සිතවන්න නෙවෙයි. ඒ සාර්ථකත්වය තේරුම් ගන්න. ඒ වගේම එයින් ලැබෙන සොම්නස. එයත් දකින්න. සෝමනස්සය. සෝමනස්සයේ සීමාව දකින්න. අසීමිත සොම්නසක් කවුරුවත් මොනම දෙයක් නිසාවත් විඳින්නේ නැත. නිමා නොවන සොම්නසක් විඳින්නේ නැත. එහෙම විඳින්නේ නෑ. ඒ බව අන්න පෙනෙනවා. එහෙම පේනකොට තමයි මේ සොම්නස සීමිත දෙයක් ලෙස පේන්නේ. සීමිතයි. සීමිත සොම්නසකට බෑ සදහටම සැපක් දෙන්න. ඒ කාරණය පැත්තකින් තියලා මේ කථා කළ කාරණා ගැන නිහඬව භාවනානුයෝගී වෙමු.

භාවනාව.

හොඳට මෙනෙහි කරන්න බලන්න, මේ දොම්නසක් සමඟ එපාවෙන ගතිය, දමලා ගහලා යන්න සිතෙන ගතිය. ඒ නිසා මොනතරම් කාලයක් දමලා ගහලා ගියාද? මොනතරම් දේවල් වලට පයින් ගැහුවාද? ...

හොඳටම එපා වුණු යමක්, හොඳටම වේදනා දෙන යමක්. දිගටම දිගටම වැරදුණු දෙයක් අතහරින්න, ඉන් ඉවත්වෙන්න භාවනා කරලා තියෙනවාද? නැතිනම් එබඳු අවස්ථාවල භාවනාවට පෙළඹුනේ සිත හදාගෙන ඒ ඍණ ස්වභාවයත් සමඟ ජීවත් වෙන්නද? ...

සොම්නසින් සිතන, සොම්නසින් කථා කරන, වැඩකරන, සොම්නසම ඇති කරවන, සොම්නසම උපදවන, සොම්නසින් පිරී ඉතිරී ගිය දේවල්, අත්දැකීම්, පුද්ගලයන් සමඟ දිගටම ඉන්න, දිගටම වැඩකරන්න, දිගටම ගමන් බිමන් යන්න, ජීවත් වෙන්න අමුතුවෙන් වීර්ය කරන්න අවශ්‍යද? තල්ලුවක් ඕනේද සිත හදාගන්න?. භාවනා කරන්න ඕනේද? ...

ඒ අනාවරණයන් සමඟ හිතවතුනි එන්න සංවාදයට, කියන්න යමක් තියෙනවා නම් කියන්න. අහන්න යමක් තිබෙනවා නම් අහන්න.

සාකච්ඡාව

ප්‍ර : මම ජීවිතේ ගොඩක් වෙලාවට සතුටින් ඉන්නේ. ජිවිතේ නොයෙකුත් ප්‍රශ්න එනවා. ඒවාට මොකක්ද කරන්න ඕන කියලා හිතෙනවා. සර්ගෙනුත් උපදෙස් ගන්නවා. අනිත් හැම වෙලාවටම මම හොඳ සංහිඳියාවකින් ඉන්නවා. ඒ නිසා වෙලාවකට මට බයක් ඇති වෙනවා මම මේ භාවනාවෙන් එළියට යයිද කියලා, එච්චරකට සතුටින් ඉන්න වෙලාවල් තියෙනවා. කොහොමද මම භාවනාවේ දිගටම රැඳීල ඉන්නවා කියලා සහතික කර ගන්නේ?.

පි : ඒ සතුටෙ වරදක් නෑ. එහි සැබෑ ස්වභාවය දකින්න. එයයි අවශ්‍යය. එහි එක කාරණයක් අප අද යන්තම් ස්පර්ශ කරා, දිගට කතා කරේ නෑ, සතුට සීමිත බව. කිසිම සතුටකට බෑ සදාකාලිකවම ඒ සතුට ඇතුලේ අපව තියාගන්න. එබඳු අසීමිත කිසිම සතුටක් නැහැ. සතුට තියෙනවා, ඒ සතුට ඇතුලේ අප ඉන්නවා. නමුත් එතනින් යම් වෙලාවක ඉවතට යනවා, යාවජීව කාලයක් නෑ, කිසියම් කාලයයි තියෙන්නේ. එක සතුටක් නැති වෙද්දි තව සතුටක් ඇති කරගන්නවා, එය ඉවර වෙද්දි තවත් සතුටක්, මේ විදිහට ඉන්න කෙනෙකුට දිගු කාලයක් සතුටින් ඉන්නවා කියලා කියන්න පුළුවන්, එකම දෙයින් නොවෙයි, වෙනස් වෙනස් දේවල් වලින්. මේ කාරණය දකින්න. තව කාරණාත් තියෙනවා. මේ කාරණයත් වෙනම දවසක තව ටිකක් කතා කරමු, සතුටේ තිබෙන සීමිත බව, කාලය පැත්තෙනුත් සීමිතයි. සතුටට අපව බේරා ගන්නත් පුළුවන් සීමිත දේවල් ටිකකින් පමණයි. කිසිම සතුටකට බෑ අසීමිත රැකවරණයක් දෙන්න. නමුත් අප සතුටින් ඉන්න වෙලාවට හිතෙනවා හොඳ සුරක්ෂිතභාවයක් තියෙනවා, ප්‍රශ්නයක් වෙන්නේ නෑ, වුණත් කමක් නෑ වගේ ඉන්නේ. සතුට අප වටේ හදනවා බුබුලක් වගේ දෙයක්, ආවරණයක්. එය ඇතුළෙ තමයි අප ඉන්නෙ. හැබැයි ඒ ආවරණය තුළින් ප්‍රශ්න වලට ඇතුළු වන්න පුළුවන්. එසේ නොවන තාක් කල් සතුටින් ඉන්න පුළුවන්. මේ සීමිත බව දකින්න.

ප්‍ර : ඒ වගේම මට ප්‍රශ්න එනකොට හොඳ විසඳුමුත් ලැබෙනවා. ඒ වගේ පැත්තකුත් තියෙනවා. ධර්මය ආරක්ෂා කරනවා කියන එක තමයි මම හිතන්නේ. ඒකයි මට බය මම කම්මැලි වෙයිද කියලා?

පි : එසේ  බය විම සාධාරණයි. බිය විය යුතු දෙයකටයි බය වෙන්නේ. ඒ බයත් එක්ක බලන්න කම්මැලි වෙනවද කියා, සංසාරේ තියෙන භයානකම ගැන හිතනවා අඩුද කියලා. එහෙම අඩු වෙනවද? බලාගන්න තියෙන්නේ අප භාවනාවට ගන්න කාලය අඩු වෙන්න පුළුවන්, සාමාන්‍ය ජීවිතේ තියෙන වලවල් වලට වැටෙනවා, එහෙම වැටුණාම ඒවායෙන් ගොඩ එන්න හදිසියක් නෑ, ඔහේ හිටියට මොකද වෙන්නේ, ප්‍රශ්නයක් නෑ වගේ. අන්න ඒ කාරණා වලින් තමයි මනින්න තක්සේරුවක් කර ගන්න පිළිවන් වෙන්නේ වීරිය අඩු වෙලාද කියලා.

ප්‍ර : ශාරීරික වේදනාවක් තියෙනවිට ඒ වේදනාව යටපත් කරගෙන අවංකවම භාවනාවක් කරන්න පුලුවන්ද?

පි : පුළුවනි. කායික වේදනාවක් තියෙන විට හෝ උග්‍ර ප්‍රශ්නයක් තියෙන විට කවදාවත් භාවනාව නොකළ කෙනකුට පටන් ගන්න නම් අමාරුයි. හැබැයි භාවනාවක් පටන් ගන්නත් හොදම තැනක් තමයි, අමාරුයි. කලක් භාවනාවක් පුහුණු කළ කෙනකුට නම් ඒ කායික වේදනාව කිසියම් ප්‍රමාණයකට තිබුනට භාවනාව කරගන්න පුළුවනි. එසේ කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.

එකක් තමයි, පුහුණු කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාව වගේ දෙයක් නම්, තමන්ගේ කයට මෛත්‍රී කරන්න පුළුවන්, “නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න” කියා. එහෙම නැතිනම් නීරෝගී නැති හැමෝම නිරෝගී වේවා කියා මෛත්‍රී කරන්නත් පුළුවන්. “මේ වගේ වේදනා විදින අය මේ ලෝකේ කොච්චර ඇතිද”, ඒ විදියට බලනවිට ඇතිවෙන සංවේදීතාවය හා කරුණාවත් සමග, තමන්ගේ වේදනාව නැතිකරගන්න නොවෙයි, අනිත් අයගේ වේදනාව නැති වෙන්න කියලා හිතන්න පුළුවන්. වේදනාවක් තිබෙද්දී මෛත්‍රී භාවනාව මේ ක්‍රම දෙකටම කරන්න පුළුවන්.

ඊළඟට ආනාපානසති භාවනාව පිළිබඳ, එය පුහුණු කර තියෙනවා නම් හුස්මට සිහිය පවත්වාගෙන යද්දි වේදනාවකට හිත නිරායාසීවම ඇදී යනවා. ඒ වෙලාවෙදි නැවතත් ආයෙ හුස්මට අවධානය ගේනවා, නැවත වේදනාවට යනවා, නැවතත් හුස්මට හිත ගෙනෙනවා. වෙනදා වගේ හුස්මේ හිත සමාධිගත නොවුනත් නැවත නැවත හුස්මට හිත ගෙන එන්න පුළුවන්. හිත හුස්මට ගෙනෙන විට වේදනාව අඩුවෙන් දැනෙනවා. වේදනාවට ගියාම වැඩියෙන් දැනෙනවා. හුස්මත් එක්ක ඉන්න විට වේදනාව ටිකක් සුවපත්වෙන්නත් උදව් වෙනවා, විවිධ හේතු නිසා උදව් වෙනවා.

ඊළඟට සතිපට්ඨානයේ කියන වේදනානුපස්සනාව කියන භාවනාව කරන්නත් පුළුවන්, වේදනාවම අරමුණු කරගෙන. හිසේරදයක් වගේ නම් ටිකක් අමාරුයි, හිසේ වේදනාවට අවධානය යොමු කරද්දී වැඩි වෙනවා. එක තැනක් පන්න ගන්නකම් හිටියොත් නම් හිසේ රුදාව සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්නත් පුළුවන්. හැබැයි අනිත් වේදනා සම්බන්ධයෙන් නම් එතනට යද්දි වේදනාව වැඩියෙන් දැනෙනවා, හැබැයි වේදනාව වැඩිවෙන්නේ නෑ එතනට හිත යොමු කළා කියලා. ඉරුවාරදය තත්ත්වය වෙනස්, අප අවධානය යොමු කරන්න හදද්දි වැඩි වෙනවා. නමුත් අනිත් තැන්වලදී වේදනාව වැඩි වෙන්නේ නෑ, වැඩියෙන් දැනෙන්න පුළුවන්. වේදනානුපස්සනාවේදී හිතට වේදනාව වැඩියෙන් දරාගෙන ඉන්න පුළුවන් කම වැඩි වෙනවා. ඒ හැකියාව දියුණු වෙනකොට ඒ ධාරිතාවට සාපේක්ෂව වේදනාව අඩු වෙනවා. උග්‍ර වේදනාවක් කියන්නේ හිතට දරාගන්න බැරි කමට. දැන් දරාගන්න පුළුවන්කම වැඩි වෙන විට ඊට සාපේක්ෂව වේදනාව ටිකක් අඩු වෙනවා. මේ විදිහට දරාගැනීමේ ධාරිතාව වැඩිකර ගන්න පුලුවන්නම් බොහෝ උග්‍රයි කියන වේදනා ඉවසාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා, සදහටම නොවෙයි, සියලුම වේදනාත් නොවෙයි.

“අවංක” කියන වචනය හරි වටිනවා, ඒ වචනය එකතු කිරීම. සමහරවිට අවංක නොවී වේදනාවෙන් පලායන්න භාවනා කරන්න පුළුවන්. එතනදී අප වේදනා නාශකයක් විදියට භාවනාව භාවිතා කරනවා. එහෙම නැතිව මේ වේදනාවට කිසිම වෙස් මුහුණක් දාගන්නේ නැතිව වේදනාවන් නැති කරගන්න හිතන්නේ නැතිව භාවනා කරන්නත් පුළුවන්. එතැනදී වේදනාව ඇතුළෙන්ම කෙටි පාරකුත් ඇරෙනවා විදර්ශනාවටයි විමුක්තියටයි ආර්ය මාර්ගයටයි. එය තමයි මේ ධර්ම මාර්ගයේ තියෙන ලස්සන සහ සුවිශේෂීබව. මෙය ධර්මයට තියෙන අනන්‍යතාවයක්. වෙන කිසි දෙයකට නැති දෙයක්. ඕනෑම අන්ධකාරයක් ඇතුලේ පාරක් ඇරෙනවා. 

ප්‍ර : භාවනාව නිසා ලෙඩ දුක් සුව වීමේ හැකියාවක් තියෙනවා නේද?

පි : භාවනාව ඕනම ප්‍රශ්නයකට විසඳුමක් නොවෙයි. හැබැයි භාවනාව විසඳුමක් හොයාගන්න උදව් වෙනවා. ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි කියන තැනට එන්න ලැබෙනවා. සමහරවිට අප ප්‍රශ්නයක් කියන ඒවා ඇත්තටම ප්‍රශ්න නොවෙයි කියන එක භාවනාව කියලා දෙනවා. එතකොට ඒවාට උත්තර හොයන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒවාට අපි කියනවා භාවනාවෙන් විසඳුනා කියලා. හැබැයි විසඳුනා හෝ නොවුනා ඒවා ප්‍රශ්න නොවෙයි කියන එක තේරෙනවා.

ප්‍ර : ආනාපානාසති භාවනාවට සූදානම් වෙන විට අප හිතා ගන්නවා අභිජ්ඣා දෝමනස්ස ඇති කරගන්නේ නෑ කියා. අද කතා කළ විදියට එතනට කොහොමද භාවිතා වෙන්නේ?

පි : බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් ඔබතුමා අහන්නේ. ආනාපාන සතියට අවශ්‍ය සුදුසුකමක්, කොහොමද මේ සුදුසුකම් සම්පූර්ණ කර ගන්නේ කියලා.

ආනාපානසති භාවනාවට ඔය සුදුසුකම අත්‍යාවශ්‍යයි. භාවනා කරන කොටත් ඒ සුදුසුකම සම්පූර්ණ වෙනවා. හැබැයි යම් ප්‍රමාණයකට ඒ සුදුසුකම තියෙන්න ඕන භාවනාව පටන් ගන්න. ලෝකය කියන්නේ අපට අයිති දෙයක් නොවෙයි. එහෙම අයිති නැති දෙයකටයි අප සතුටු වෙන්නේ සහ අසතුටු වෙන්නේ, දැඩිව බදා ගන්නේ සහ පයින් ගහලා විසි කරන්නේ අපට අයිති නැති දේවල්. ඇත්තටම යමක් අයිති නම් ඔය දෙකම කරන්නේ නැහැ. ඇත්තටම අයිති නම් බදා ගන්න ඕනෙත් නෑ, විසි කරන්නත් බෑ. මේ දෙකට බලපාන මානසික පෙළඹවීම් වලටයි.අභිජ්ඣා දෝමනස්ස කියා කියන්නේ. ලෝකය කියන්නේ සිදුවීම් වලට. දේවල් විදිහට දැක්කට ඒවා සිදුවීම්, දෙයක් නොවේ සිදුවීමක්. කෙනෙකු ලස්සනට සිටීම දෙයක් නොවේ සිදුවීමක්, පෙනීමක්, කෙනෙකු මිහිරිට කතා කිරීම සිදුවීමක්. අප අත්දකින්නේ මිහිරි හඬක්, වර්ණයක්, හැඩයක්, සුවඳක්, රහක්, සනීපයක්. අභිජ්ඣා පැත්තට අත්දකින්නේ ඔය ටික. ඒ අත්දැකීම් හරි හොඳයි, තව පාරක් අත්දකින්න ඕන, මතකයෙන් හරි අත් විඳින්න ඕන, දිගටම විඳින්න ඕන කියන තීරණයට එනවා. ඒ තීරණය ගන්නේ මෝඩකම, මොකද එය කරන්න බැරි දෙයක්. බැරි දෙයක් පුළුවන් කියා හිතන්නේ මෝඩකම. ඒ ස්පර්ශය ඉවරයි, සුවඳ, රහ දැනීම ඉවරයි. ඒ නිසයි ඒවාට සිදුවීම් කියන්නේ. දේවල් නොවේ සිදුවීම් වලට තමයි අපි ඇලෙන්නේ. හැබැයි ඒ සිදුවීම් වලට දිගට ඇවිල්ල ඉන්න බෑ. දිගට තියාගන්න නම් අප දෙයක් හදාගන්න ඕන. එතකොට දෙයක් හදාගන්නෙ අප. ඇත්තට දෙයක් නෑ එතන, තියෙන්නේ සිදුවීමක්. සිදුවීම් හරහා අප දේවල් හදා ගන්නවා, කෙනෙකු හදාගන්නව. හදාගෙන ඒ කෙනාව තමයි තියාගන්නේ. ඒ අත්දැකීම ඕන විදිහට නොලැබෙනවිට දොම්නසට පත්වෙනවා ඒ දේ ගැන. එතකොට මේවා සිදුවීම් විදිහට බලන්න පුළුවන් නම්, මුලින්ම බලන්න ඕන සිදුවීම, මෙතන දේවල් පුද්ගලයන් නෑ , සිදුවීම් තියෙන්නෙ. ලස්සන පේනවා සුවද ආඝ්‍රහණය වෙනවා සුවයක් ඇඟට දැනෙනවා රසක් දිවට දැනෙනවා, සිදුවීම්, එච්චරයි. සිදුවීම් ගත්තහම ඒ සිදුවීම් ඇතුලේ අප ජීවත් වෙන්න අවශ්‍ය නෑ, අප ඇතුලට සිදුවීම් ගේන්න ඕනෙත් නෑ. “විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්ස”. ඒවා ලෝක සිදුවීම් විදිහට තිබුණාවේ. ලෝක කියන්නේ අපෙන් බාහිර කියන අදහස. බාහිර සිදුවීම්, ඒ දෙක හික්මවා ගන්නවා පාලනය කරගන්නවා. සිදුවීම් සිදුවීම් විදිහට විතරක් දකින්න, අපිට අදාල නැති සම්බන්ධ නැති සිදුවීම් විදිහට දකින්න. ආනාපානසතියේදී ඒ එකක් වත් ඕනේ නෑ, ඒ සිදුවීම් අපේ විමුක්තියට උදව් වෙන්නේ නෑ කියන එක දකින්න, බාධාවක් මිස.

ප්‍ර : ඔය සිදුවීම් එක්ක එල්ලෙන්න යන නිසා නේද අපි සංසාරය දික් කරගන්නේ?

පි : ඔව්. සිදුවීම් වලටනේ අපි කෙලෙස් ඇති කරගන්නේ. සිදුවීම සිදුවීමක් විදියට දකිනවා නම් හරි, දෙයක් විදිහට ගැනීමත් ක්ලේශයක් “මෝහය”. ඊළඟට ඒ මෝහය උඩ ඒ දේ නැති කරන්න ක්ලේශයක් ඇති කරගන්නවා නැත්නම් තියාගන්න ක්ලේශයක් ඇතිකරගන්නවා. කෙලෙස් ඇති වෙන්නෙම සිදුවීම් මුල් කරගෙන. සංසාරේ දික් වෙන්නේ ඒ නිසා.

ප්‍ර : හැම පුද්ගලයෙක්ම අත්දැකීම් හරහා සෝමනස්ස සිතුවිලි  අත්දකින්න තමයි උත්සාහ කරන්නේ, ඉන්ද්‍රිය පහ හරහා. මේ ඉන්ද්‍රිය පහ හරහා අප ලබන සෝමනස්සයට වඩා වැඩි සෝමනස්සයක් සිහිබුද්ධිය ලබා දෙනවා කියලා සහතිකයක් කොහොමද භාවනාවෙන් මතු කරලා දෙන්නෙ?

පි : ඒ සහතිකය අපි හැමවෙලේම හොයනවා, හිත හොයනවා. ඔබතුමා කියූ කාරණය තමයි අපි කලින් කතා කළේ හිත පදම් කරනවා කියලා. දැන් මේක පදම් වුණ හිතක්. පදම් කරපු හිත ඒ පදම් කළ ආකාරයට තමයි නටන්නෙ කැරකෙන්නේ, ගියපු පාරෙම තමයි නැවත නැවත යන්නේ, මොකද වෙන දෙයක් දන්නේ නැති නිසා. එය තමා හැටි. පදම් වුණ හිතකින් වෙන හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි එයාට තාලය වරදින තැන් තියෙනවා. ඔය සොම්නසක් එක්ක නටන්න ගියාම වෙන්නේ සොම්නසේ උපරිමයටම එයාව නටවනවා. වැඩි සොම්නසකදී වැඩියෙන්ම නටවනවා. හැබැයි එහෙම නටන කොට එයා නටන්නෙ අර සොම්නසේ music එකටම නොවෙයි, එයාම ආවේශ වෙලා නටන්නෙ, හොඳට බලන්න නටන අය දිහා මුලින් පටන් ගන්නේ music එකේ රිද්මයට. නමුත් නටලා නටලා එයාගේම රිද්මයකට ආවට පස්සේ බාහිරින් ඇහෙන රිද්මය මොකක් උනත් ඒක එයාට ඇහෙන්නෙත් නෑ, එයා එයාගෙම රිද්මයකට නටන්න පටන් ගන්නවා, මෝහනය වීමක් වගේ, රැවටිලා තමයි එතෙන්ට එන්නේ, බාහිර දේකට නෙමේ තමන්ගේම අභ්‍යන්තරයට රැවටිලා. එතකොට අර සොම්නස දැන් නැති වුනත් එයා දන්නෙ නෑ දැන් ඒ සොම්නස නැතිවෙලා කියා, එයා දැනගන්නේ හුඟාක් කල් ගිහින්. මොකද ඒ සොම්නසේ වේගය අඩුවෙන්න පටන් ගත්තට ආවේශයෙන් නටන කෙනාගේ සොම්නස අඩුවෙන්න පටන් ගන්නේ නෑ, උපරිම සොම්නස අපේ ඔළුවට ඇවිල්ලා ඒක අපේ ඔළුව ඇතුලෙ තියෙනවා, එය අනුනාද වෙනවා. නමුත් මේ මවාගත්ත සොම්නස නොවේ ඇත්තටම දැනෙන සොම්නස ටික ටික අඩු වෙනවා. එය තමයි සොම්නසේ ස්වභාවය, පටන්ගෙන වැඩි වෙලා අඩුවෙලා යනවා. හැබැයි මේක එකපාරටම තේරෙන්නේ නෑ නටන කෙනාට. ටිකක් ඇස් ඇරලා බලනකොට තේරෙනවා බාහිර සොම්නස අඩුවෙලා තියෙන්නේ. හැබැයි නටන කෙනාට තව වැඩියෙන් ඒ සොම්නස ඕන කරනවා. නමුත් අපට නටන්න ඕන වේගයට දැන් සොම්නස සහයෝගයක් දෙන්නෙ නෑ කියල තේරෙනවා. එතනදී ඇදගෙන වැටෙනවා. 

එතැනදී තමයි සිහිබුද්ධිය උදව් වෙන්නේ. පලවෙනි උදව්ව තමයි, මෙතන ලොකු කලකිරීමක් ඇතිවෙනවා. මොකද බාහිර සොම්නස ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසයත් සමගයි ඒ තාලෙට නට නටා ගියේ.  විශ්වාසයක් තිබුණා නොකඩවා වේගය වැඩිකර කරයි කියා. නමුත් සොම්නස එහෙම කරන්නේ නෑ. එතකොට සොම්නස ගැන කලකිරීමක් ඇතිවෙනවා. එතැනදී සියල්ල එපා වෙන ගතියකුත් එනවා. නමුත් එය වැරදියි. සියල්ල එපා වීම නෙවෙයි වෙන්න ඕන. එහෙම වුණාට එයින් අධ්‍යාත්මික ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. මේ සොම්නස කෙරේ තිබුණු විශ්වාසය තමයි වැරදි. කලකිරෙන්න ඕන ඒ විශ්වාසය ගැන, සොම්නස ගැනම නොවේ. මේ කාරණය ගැන දිගටම කතා  කරන්න පුළුවන්. නමුත් දැනට මෙතැනින් නවත්වමු

ඔබතුමා මතුකරන කාරණය සිහිබුද්ධිය සහතිකයක් දෙනවාද මීට වඩා සොම්නසක් දෙනවා කියලා, මේ තියෙන සොම්නසින් අයින් වෙන්න. මේකට හොඳම වචනය “සැනසිල්ල”, එයත් සොම්නසක් කිව්වට වරදක් නෑ. සැනසිල්ල පිළිබඳ තමයි සිහිබුද්ධිය දෙන්නේ සහතිකයක්, ආයෙ වැටෙන්නෙ නෑ කියන සහතිකයක් දෙනවා. සොම්නසටවත් දොම්නසටවත් ආයෙ අපව වට්ටන්න බෑ කියන සහතිකය අපට දෙනවා.

 ප්‍ර : ඒ සමගම ශ්‍රද්ධාවත් වැඩි වෙනවා නේද?

පි : සිහිබුද්ධිය අපට උදව් කරනවා කියන කාරණය පෙනෙන විට ලොකු ශ්‍රද්ධාවක් එනවා, වඳින පුදන භක්තියට එහා ගිය.

ප්‍ර : ශ්‍රද්ධාව අත්දැකීමක් තුළින් එනවිට එය කිසියම් බාහිර පුද්ගලයෙක් නිසා ඇතිවුණු ශ්‍රද්ධාවට වඩා එය ප්‍රබලයි නේද?

කෙනෙකු කියු දෙයක් නිසා ඇතිවෙන ශ්‍රද්ධාව තවත් කෙනෙකු කියන විරුද්ධ දෙයක් නිසා නැති වෙන්න පුළුවන්. ඒවාගේම කියන කෙනා කියන වෙලාවේ ඉන්න හැසුරුණු විදිහට වඩා වෙනස් විදිහකින් ජිවත් වෙනවා දකින විටත් ශ්‍රද්ධාව නැති වෙනවා, ඒ පුද්ගලයා ගැන විතරක් නෙමෙයි ධර්මය ගැනත්. හැබැයි සිහිබුද්ධියෙන් ඉන්න විට අනිත් දේවල් පැහැදිලි වෙලා එයින් ප්‍රතිඵල ලැබිලා ඇතිවන “ප්‍රසාදය”, එය තමයි හොඳම වචනය, ශ්‍රද්ධාවෙන් කරන්නේ ප්‍රසාදයට පත් කරන එක (පහදිනවා). ඒ ප්‍රසාදය පැහැදිලියි, හරි බලවත්, එහි තියනවා ස්ථාවරත්වයක්, ලෝකයම මොනවා කිව්වත් ප්‍රශ්නයක් වෙනස් වීමක් සෙලවීමක් නෑ.

මුලදි තමයි බෙහෙත් ගැන කියන අය ඒ බෙහෙත් ගන්නෙ නැති උනාම ප්‍රශ්න එන්නේ. නමුත් අපි බෙහෙත් ගන්න පටන් ගෙන එහි ප්‍රතිඵල අත් දකින විට කවුරු බෙහෙත් ගත්තත් නැතත් ප්‍රශ්නයක් නෑ, නොගන්නා අය ගැන කරුණාවක් සංවේගයක් එනවා එපමණයි. ශ්‍රද්ධාවට හානි වීමක් වෙන්නේ නෑ. 

මේ සියලු කාරණා භාවිතයට ගත යුතු සහ ගත හැකි කාරණා, ඉන් එපිට දෙයක් ගැන අපි කතා කරන්නේ නෑ. ජීවිතේට ඈඳා ගන්න යොදාගන්න භාවිතා කරන්න එහි සාර්ථක අසාර්ථක බව අපටම සොයා බලන්න පුළුවන් දේවල් තමා අහන්න ලැබෙන්නේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා එයින් ප්‍රයෝජනය අපි ගනිමු, මොකද තව කොපමණ කලක් මේ දේවල් කියන්න අහන්න ලැබෙයිද දන්නේ නෑ,  භාවිතා කරන්න ලැබෙයිද දන්නෙත් නෑ. ඉතින් මේ ලැබුණු විරාමයේ විවේකයේ හොඳටම අවශෝෂණය කරගනිමු. ඒ අධිෂ්ඨානයත් සමග හිතවතුනි අද අපි සදහම් සැඳෑවෙන් සමුගනිමු.

සැමදෙනාටම,

සෙතක්ම වේවා !  ශාන්තියක්ම වේවා !! සැනසිල්ලක් ම වේවා !!!