සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 26

2022 අප්‍රේල් 06, සාරාංශය

දයාබර කලණ මිතුරනි, සදහම් සැඳෑවේ ආධ්‍යාත්මික අම්බලමට ගොඩවුණු සෑම දෙනාම ආදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා. විටක ජීවිතය මොනතරම් දුෂ්කර ක්‍රියාවක් ද නපුරු ද රුදුරු ද කියා හිතෙනවා, දැනෙනවා. ජීවිතය මල් යහනාවක් කියා දැනෙන අවස්ථා ද නැතුවාම නොවේ. නමුත්, ඒ හැඟීම අභිබවා ‘ජීවත්වීම තරම් දුෂ්කර ක්‍රියාවක්’ තවත් නැතැයි කියන ඒ විනිශ්චයට එන්නට ඇති තරම් සාධක තිබෙනවා. ඒ සියල්ල මැද ජීවත්වීමට ජීවන මාර්ගයේ යන ගමනට අමතරව ආධ්‍යාත්මික මාර්ගයකත්, දහම් මඟකත් යනවා. එවිට ගමන් දෙකක්. එක පැත්තකින් කෑම-බීම, ඇඳුම්-පැළදුම් සොයාගන්න, වැඩිහිටියන් බලාගන්න, රට, ලෝකය බලාගන්න ගමනක් යනවා. ඒ ගමන යන අතරම ඇතුළතින් ආධ්‍යාත්මික ගමනකුත් යනවා. එළියෙන් යන ගමනක් සහ ඇතුළතින් යන තව ගමනක් තිබෙනවා. බොහෝ මිනිසුන්ට තිබෙන්නේ මේ බාහිර ගමන පමණයි. කන-බොන, අඳින-පළඳින, හම්බ කරන, ඉතිරි කරන, ඇවිදින, වඳින-පුදන, යුතුකම් ඉටුකරන, සමාජ සේවා කරන ඒ ගමන පමණයි. වෙන ගමනක් පේන්නෙ, ඇහෙන්නෙ, දැනෙන්නෙ නෑ. ඒ අතරින් බොහෝම ස්වල්ප දෙනෙකුට පමණයි ඇතුළතින් යායුතු ගමනක් තිබෙන බව හැඟෙන්නේ, පෙනෙන්නේ, ඒ ඕනකම ඇතිවන්නේ.

ඕනෑම ගමනක් යන්න ‘සිතක්, සිතුවිල්ලක්, චේතනාවක්’ ඇතිවිය යුතුයි. ගමනක් යන්න මේ සිත, සිතුවිල්ල, චේතනාව බොහෝවිට ඇතිවන්නේ කාගේ හෝ ඇරයුමක් නිසා. කවුරුන් හෝ කතා කළාම, ආරාධනා කළාම, පෙළඹවුවාම තමා බොහෝ ගමන්වලට පෙළඹෙන්නේ. මේ අභ්‍යන්තර ගමන ආධ්‍යාත්මික ගමන යෑමට ඇතුළතින් ආරාධනාවක්, ඇරයුමක් එනවා.  බොහෝවිට මේ ඇරඹුම, අත වැනීම, කැඳවීම පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ නෑ.  එහෙම පාරක් තිබෙන බව අපට බොහෝවිට දර්ශනය වෙන්නේ නෑ. එළියේ පාරවල් තමා පෙන්නේ. හම්බකරන, ඉගෙන ගන්න, වියදම් කරන, වඳින-පුදන, ලස්සන බලන මේ පාරවල් තමයි පේන්නේ. නමුත් ඇතුළතට යන්න පුළුවන් පාරක්, ප්‍රවේශ මාර්ගයක්, එහෙම ගමනක් තිබෙනවා. කැඳවීමක්, ඇරයුමක් කෙරෙනවා. මේවා කවදත් කියන විදිහට ඇතුළතට අන්ධවුණු, බිහිරිවුණු, අභ්‍යන්තර සංවේදීතාවයේ ස්නායු නිර්වින්දනය වුණු සිත්සතන්, හදවත්වලට ඇහෙන්නේ පෙනෙන්නේ නෑ. නිර්වින්දනය කර ගැනීම හරි පහසුයි. නමුත් එතනින් එළියට ඒම ලේසි නෑ. ඇස් දෙක අන්ධ කරගැනීම හරීම පහසුයි. නමුත් නැවත පෙනීම ලබාගැනීම හරීම දුෂ්කරයි. ඒ නිසයි කියන්නේ මේ ගමන බොහොම දුර්ලභ අවස්ථාවක්, අත්දැකීමක් කියා.

බාහිර ගමනක් යන බව අන් අයට පෙනුනද, අභ්‍යන්තර ගමනක් යන බව නම් කිසිකෙනෙකුට පේන්නෙත් නෑ, පේන්න යන්නත් බෑ, පේන්න යන්න බැරි එකම එක ගමන මේ ආධ්‍යාත්මික ගමනයි. කාටවත් පේන්නේ නෑ. ප්‍රදර්ශනාත්මක ගමනක් නොවේ. කෙනෙකුට පාරක් අයිනේ ඇස් වහගෙන පර්යංකයෙන් ඉන්න පුළුවනි. එය පෙනෙනවා. දකින කෙනෙකුට හිතන්නත් පුළුවන් “භාවනා කරන කෙනෙකු”, “හරියට භාවනා කරනවා” කියා. ඡායාරූප තුළින් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියක් ලබන්නත් පුළුවන්. නමුත් එයින් ගමනක් යන බවක් නෙමෙයිනේ පේන්නේ. ගමනක් ගියා හෝ නැතා හෝ ඒ යන ගමන කාටවත් පේන්නේ නෑ, පෙන්නන්නත් බෑනේ. හොඳම දේ තමා නොපෙනෙන්නට යන ගමන. ‘ගමනක් යන බව පෙන්නන්න’ සිතන කෙනෙක් ඇතුළේ ඉන්නවා. කැපීපෙනෙන්න හදන කෙනෙකු, අනිත් අයට වැඩිය තමන් වෙනස් කියා සිතන කෙනෙකු ඉන්නවා. ඒ වෙනස්කම මොන විදිහෙන් හරි පෙන්නනවා. අඳින, කථාකරන, හිනාවෙන, ඇවිදින විදිහෙන්, මේ විවිධ ආකාරවලින් පෙන්නන්න හදන්න පුළුවන් තමන් අනිත් අයට වඩා වෙනස් අයෙකු කියා. වෙනස්කම් තිබෙන්න පුළුවන්. නමුත් තිබෙන වෙනස්කම් සිතාමතාම පෙන්නන්න උත්සාහ කරන අයෙකු ඇතුළේ ඉන්නවා. එයාට තමයි ‘පෘතග්ජන’ කියන්නේ. පෘතග්ජන කියන වචනයේ තේරුම ‘මම අනිත් අයට වැඩිය වෙනස් කියන සිතුවිල්ල’.  එයා මොන දෙයකින් හරි තමන් අනිත් අයට වැඩිය වෙනස් බව අනිත් අයට පෙන්නන්න හදනවා. සොරකම් කරන්න, රණ්ඩු වෙන්න, භාවනා කරන්න ගියත් පෙන්නන්න හදනවා. කෙයිදෙයින් හරි පෙන්නන්න හදනවා.  මෙයාවත් අපට පේනවා. “අනිත් අයට වඩා වෙනස්” කියා සිතන කෙනෙකු සහ ඒ ‘වෙනස්බව අනිත් අයට පෙන්නන්න’ හදන කෙනාව පේනවා. එයාව පේන්නේ සිහිබුද්ධියට තමා. එහෙම නැතිනම් වෙන්නේ, ඒ ‘මම’ කියලා සිතා ඒ වෙනස්කම පෙන්නන්න හදන කෙනාව තමන්ට ආරූඪ කරගන්නවා. එවිට ගමනක් නෑ, ගමන සම්පූර්ණයෙන් නවතිනවා, නමුත් ගමනක් යනබව අනිත් අයට පෙන්නන්න හදනවා. ඉතින් මෙය දැන දැනම අමාරුවේ වැටෙන්න පුළුවන් තැනක්. ඔළුව වෙනම පැත්තකට හැරවෙන්න පුළුවන් තැනක්. මේ ගැන අපි කවුරුත් දැනුවත්ව ඉන්න ඕනේ. එය “සිතුවිල්ලක් විතරයි” කියලා හිතන්නේ නැතිව ඇත්තම විදිහට ගන්න ගියොත් ලොකු අමාරුවක වැටෙනවා.

බොහෝ විට කෙනෙකු ආධ්‍යාත්මික මාර්ගයට එන්නට, ඇතුළතින් ලැබෙන කැඳවීමට කලින්, පිටින් එන පෙළඹවීමක් තමයි හේතුවන්නේ. විවිධ හේතුනිසා ඒ පෙළඹවීම පිටින් එන්නට පුළුවන්. සමහරවිට තමන් ආදරය කරන‍, ගරුකරන  කෙනෙකු යමක් කරනවිට, ඒ දේ හොඳ වුවත් නරක වුවත් කරන්න හිතෙනවා. එහි ප්‍රයෝජනය දැනගෙන හිටියත්  නොදැනගෙන හිටියත් ඒ දේ කරන්න හිතෙනවා. තමන් වීරයෙකු කියා සිතන, තමන් අගයක් දුන්න අයෙකු කළ කී දෑ අනුකරණය කරන්න පෙළඹවීමක් තිබෙනවා. ඔහු පවුලේ කෙනෙකු, රටේ ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙකු, ඉතිහාසයේ සිටි කෙනෙකු හරි වෙන්න පුළුවන්, ඔහු ව හෝ ඇයව අනුකරණය කරන්න පෙළඹවීමක් තිබෙනවා. ඒ පෙළඹවීම නිසා කෙනෙකු මේ මාර්ගයට එන්න පුළුවනි. පෙළඹවීමක් නිසා ඒ පිළිබඳ සොයා බලන්න පුළුවන්. පොත-පත කියවන්න, ඒ විදිහට අඳින්න, එහෙම ජීවත් වෙන්න උත්සාහ කරන්න පුළුවන්. සරල, චාම් වෙන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල තුළ තිබෙන්නේ අනුකරණයක්. ඒ අනුකරණය අනුකරණයෙන් ඉවර වෙනවා. අනුකරණයේ තිබෙන ලස්සනම කාරණයක් තමා දක්ෂතාවය මත අපට ඒ අනුකරණය හොඳට කරන්න පුළුවනි. “තමන් වෙනස් කෙනෙක්” කියා සිතන, ඇතුළේ ඉන්න කෙනාට පුළුවන් අනුකරණය කරන්න. ඒ දක්ෂතාවය එයාට තියෙනවා. තමන් අනිත් අයට වඩා වෙනස් කියා හිතනම තමා, “අරයා වගේ මට ඉන්න පුළුවන්, හැමෝටම එහෙම ඉන්න බෑ, නමුත් මට පුළුවන්” කියා සිතන්නේ. මේ පිළිබඳ කතන්දර තියෙනවා.

පසුගිය සියවසේ හිටිය චාලි චැප්ලින් නම් අති දක්ෂ රංගධරයාට උපහාර පිණිස එංගලන්තයේ උපහාර උළෙලක් පවත්වා තිබෙනවා. එහි අංගයක් ලෙස තිබුණු චාලි චැප්ලින් මහත්මයා වගේ අනුකරණය කිරීමේ තරගයකට බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා. ඒ තරගයට තමනුත් යන්න ඕනේ යැයි සිතූ චාලි චැප්ලින් ඒ තරගයට ගියා. හැමෝම චාලි චැප්ලින් වගේ ඇඳගෙන ඇවිල්ලා ඉන්න නිසා ඇත්තම චාලි චැප්ලින් හඳුනාගැනීමටත් බෑ. හැබැයි මේ තරඟයේදී මෙතුමාට තුන්වෙනි තැන ලැබුණු බවයි කියන්නේ. එතුමාත් පුදුම වෙලා තියෙනවා, එතුමාට  එක දෙක ස්ථාන නොලැබීම ගැන. 

මෙහි පුදුම වෙන්න දෙයක් නෑ. මම වගේ ‘මම’ ඉන්න හැදුවොත් ඉන්න බෑ. හැබැයි තවකෙනෙක් වගේ ඉන්න හැදුවොත් ඉන්න පුළුවන්. මෙතන තිබෙනවා තේරුම් ගන්න අමාරු, තේරුම් ගතයුතු පරස්පරයක්. තමන් වගේ ඉන්න උත්සාහ කරලා බලන්න, එය ලේසි නෑ. තව කෙනෙක් වගේ ඉන්න, තව කෙනෙක් අවිදින විදිහට ඇවිදින්න, කතා කරන විදිහට කතා කරන්න පුළුවනි. සමහර විට එයාටත් වැඩිය පුළුවනි. අනුකරණය ඇතුළේ ඉන්න කෙනාගේ දක්ෂතාවයක්. එයාට තියෙනවා කොපි කිරීමේ හැකියාවක්. පෘතග්ජන සිත කොපි කරන්න හරි දක්ෂයි. හොඳට බැලුවොත් පෘතග්ජන හිතට එයාගේ කියන්න මොලෝ දෙයක් නෑ. තියෙන්නෙම කොපි කරගත්ත දේවල්. එයාගෙන් ටිකක්, මෙයාගෙන් ටිකක් කොපි කරගෙන කොපි කරගෙන හදාගත්ත දෙයක්. හරියට සත්තු බය කරන පඹයෙක් වගේ. පඹයාට කියා කියන්න කිසිදෙයක් නෑ. කෙනෙක්ගේ සපත්තු දෙකයි, තව කෙනෙක්ගේ කලිසමකුයි, කෝට් එක, බස්තම, අව්කන්ණාඩි තවත් අයගේ. ඉතින් මේ සියල්ලම දාගෙන රිටක් උඩ හිටියාම ඕනෑම කෙනෙක් බයවෙනවා. හැබැයි පඹයෙක් කියන්නේ තමන්ගේ කියා කිසිම දෙයක් නැති, හෑමදෙයක් ම අනුන්ගෙන් පිරුවටට ගත්ත කෙනෙකු.

පුහුදුන් පුද්ගලයාත්  ඒ වගේ. බාහිර දේවල් පමණක් නොව, ‘මගේ හැටි මෙහෙමයි’ කියා කියන දේවල් පවා කොපි කරපු දේවල්. කාලයක් යනකොට අමතක වෙනවා, මේවා කොපි කළ දේවල් බව. තමන්ගේ කියායි හිතෙන්නේ. එහෙම කොපි කරගත් කාරණා ගොඩකින් තමයි තමන්ව හදාගෙන ඉන්නේ, ‘මෙන්න මම’ කියලා, ‘මෙන්න මගේ හැටි’ කියලා. එයාට හොඳට අනුකරණය කරන්න පුළුවන්. කොපි කරන්න පුළුවන් කෙනාට තමයි හොඳටම අනුකරණය කරන්න පුළුවන්. හැබැයි එයාට කිව්වොත් ඔයාවගේ ඉන්න කියලා කවදාකවත් ඉන්න බෑ. ඒ අවස්ථාවේ සමහර විට විශාල තරඟකරුවන් පිරිසක් ආවා නම් චාලි චැප්ලින් අනුකරණය කිරිමේ තරගයෙන් චාලි චැප්ලින්ම අන්තිමයා වෙන්නත් පුළුවන්,  එතුමාට වැඩිය දක්ෂ අනුකාරකයින් ඒ තරඟයට පෙනී සිටියා නම්. චාලි චැප්ලින්ට වැඩිය හොඳට චාලි චැප්ලින් අනුකරණය කරන්න පුළුවන් උනාට, කාටවත් චාලි චැප්ලින් වෙන්න බෑ. මෙය තමා සැබෑම ප්‍රශ්නය. 

තමන්ට තමන් වෙන්න බැරිකම නිසා පුහුදුන් සිත කරන්නේ කුමක්ද?  අනුකරණය කිරීම. නමුත් මේ කරන්නේ අනුකරණයක් බව එයා දන්නේ නෑ. එයාගෙන් මෙයාගෙන් ඉල්ලගත් ඇඳුම් බව පඹයා දන්නේ නෑනේ, සිතන්න පුළුවන් නම් තමන්ගේ කියලා සිතයි. පෘතග්ජන සිතත් මානසික පිරුවටවලින්, අතමාරුවට ඉල්ල ගත්ත දේවල් වලින් හැදුන දෙයක්. මෙතන සම්පූර්ණයෙන් වෙන්නේ අනුකරණයක්. හරයක් නෑ. කෙනෙක් වෙන්න බෑ එයාට. කිසිම කෙනෙක් වෙන්න බෑ එයාට. හැබැයි වෙන කෙනෙකු වගේ වෙන්න පුළුවන්. පෙන්නන්න පුළුවන්. ඒ පෙන්වීමට පුහුදුන් හිත් රැවටෙනවා. මේ විදිහේ කෙනෙකු ඉන්නවා කියා තව පුහුදුන් හිතක්ම තමා රැවටෙන්නේ. ‘මම’ මෙහෙමයි කියා පෙන්නන කෙනත් රැවටෙනවා. එයා එහෙමයි කියා, එහෙම කෙනෙකු ඉන්නවා කියා සිතන අනිත් අයත් රැවටෙනවා. රැවටීමක් මිස ඇත්තටම එහෙම කෙනෙක් නෑ. නමුත් අනුකරණයක් තියෙනවා. අනුකරණයක් නෑ කියන්න බෑ, අනුකරණයක් තියෙනවා. එකක් නොවෙයි අනුකරණ සියදහස් ගණනක් තියෙනවා. කෙනෙකු වගේ ටික වෙලාවක් ඉන්නවා. තවත් කෙනෙකු වගේ තව ටික වෙලාවක් ඉන්නවා. එක්කෙනෙකු වගේ හැම දෙයක් ම කරන්න බෑ. එක එක්කෙනා වගේ එක එක දේවල් කරනවා. හොඳට බලන්න. හොඳට බැලුවොත් මේ කාරණය පැහැදිලිව තේරෙනවා, මෙතන හැම වෙලාවෙම එකම විදිහට ඉන්න කෙනෙක් නැති බව. එක එක වෙලාවට එක එක්කෙනා විදිහට තමයි ඉන්නේ. ඉතින් එතකොට සමහර කෙනෙකු, ඔයා මොකද අම්මා වගේ ඉන්නේ, තාත්තා වගේ ඉන්නේ, ආච්චි වගේ, සීයා වගේ, අරයා වගේ, මෙයා වගේ ඉන්නේ කියලා අහනවා. එහෙම අහන්නේ හොඳටම පේන වෙලාවට.

වෙන වෙන අය විදිහට තමයි සෑම පුහුදුන් සිතක්ම ක්‍රියා කරන්නේ, තමන් විදිහට නෙවෙයි. තමන්, ‘තමන්’ විදිහට ජීවත් වීමට නම්, තමන්ව හඳුනාගෙන සිටිය යුතුයි. තමන්ව හඳුනාගැනිම පුහුදුන් සිතකට ආගන්තුක කාර්යයක්. ඒ ගැන හුරුවකුත් නෑ, උනන්දුවකුත් නෑ. ඉන් එහාට ගියොත් වෙලාවකුත් නෑ. එය කිසිම තේරුමක් නැති කතාවක් වගේ. ඔබට ‘ඔබ’ විදිහට ඉන්න කිව්වොත් එය දාර්ශනික ප්‍රකාශයක් විදිහට බාරගනියි. හැබැයි “එහෙම ඉන්න ඕනේ” කියලා හිතුවොත් නම් ඒ ඉන්න විදිහ හිතාගන්න බැරිවෙනවා, මොකක්ද මේ “ ‘මම’ විදිහට මම ඉන්න ඕනේ කියන්නේ” කියා. තමන්  කියන හැඟීම තියෙනවා, ඒ සිතීම ගැන කිසිම අවබෝධයක් නෑ. ඒ අවබෝධයක් නැතිකම නිසා ප්‍රකාශය දාර්ශනික ප්‍රකාශයක් විදිහට ගත්තාට ඉන් එහාට ප්‍රායෝගිකභාවයක් පේන්න නෑ. පුහුදුන් සිතක් පරිවර්තනය වන්නේ කොහොමද? එයයි සොයන්න ඕනේ කාරණය. පුහුදුන් සිතකට බැණලා වැඩක් නෑ. කොහොමද මේ පරිවර්තනය වෙන්නේ?. ඒ පරිවර්තනය සඳහාත් භාවිතා කළයුතු වන්නේ මේ චරිත ස්වභාවයම තමා, වෙන දොරක්, වෙන ක්‍රමයක් නෑ. මේ ගැන ඉතිහාසය පුරාම කතන්දර තිබෙනවා. පෘතග්ජන සිත් ආධ්‍යාත්මික සිත් බවට පරිවර්තනය වීමේ තීරණාත්මක සාධක පිළිබඳව. ඒ හැම සාධකයකදීම කියවෙන්නේ වෙන මොකුත් නෙවෙයි අනුකරණය කිරීමේ ඕනකම.

කලිනුත් කියපු කතන්දරයක් මේ වෙලාවේ මතක් කරගනිමු.  එක්තරා කාලයක වන්දනීය පූජනීය මුනිවරයෙක් ඉඳලා තියෙනවා. බොහෝ දෙනෙකු ගරුකළ, අවංකවම ඒ මුනිතත්වයට පත්වූ මෙතුමාට ඒ රටේ රජතුමාත් ඉහළින්ම ගරු කළා. දවසක් මේ රජතුමා මුනිවරයාට තාපසයන් වහන්සේට මාළිගාව තුළදී දානයක් පිළිගැන්වූවා. දානය වැළදීමෙන් පසුව මේ තාපසයන් වහන්සේ රජතුමා අමතා

 “ඔබතුමා මෙහෙම දන්පැන් දුන්නාට, ගරු කලාට  අතීතයේ දවසක කඩුවක් අරන් මා මරන්න පස්සෙන් පැන්නුවා” කියා කීවා. 

රජතුමා වෙව්ළලා කීවා “මම කවමදාකවත් ඔබතුමාව මරන්න කඩුවක් අරන් පස්සෙන් පන්නලා නෑ, මට එහෙම කියන්න එපා.”  

“නෑ මුනිවරයාව මරන්න නෙවෙයි, හොරෙකුව මරන්න” කියා තාපසයන් වහන්සේ කීවාම, 

රජතුමා “ඔව්, හොරෙක්ව මරන්න නම් මං යන්න ඇති” කියා කීවා.

 “මීට වසර විසිපහකට තිහකට කලින් මැණික් මංකොල්ලයක් වුණා මතකද?” 

“ඔව් මතකයි. හොඳම මැණික් ටික තමයි නැතිවුණේ, තාමත් සොයාගන්න බැරිවුනා.” 

“අන්න ඒවා සොරකම් කළේ මං තමයි. මං ඒ කාලේ ප්‍රසිද්ධ හොරෙක්.” 

රජතුමා විශ්වාස නොකළමුත්, “බොරු කියන්න එපා” කියලා කිව්වෙත් නෑ. මන්ද ඉතාම ගෞරවයෙන්, කියන දේවල් අහගෙන හිටපු, බුද්ධිමත් රජකෙනෙකු නිසා. රජතුමා ගල් ගැහිලා බලාගෙන සිටියා.

 “එදා රෑ ඇවිල්ලා මාළිගයේ වහලයෙන් බැහැලා, වටිනාම මැණික් අරන් මා වහළයෙන් ආපහු යනවිට, ඔබට ඇහැරුණා. ඔබ යුධ භටයොත් සමඟ මා මරන්න පැන්නුවා. මමත් මැණික් ටිකට ආසාවෙන් දිව්වා. පසුව ජීවිතය බේරාගන්න ආසාවෙන් දිව්වා, දිව්වා. කොහේ දිව්වාද දන්නේ නෑ. අන්තිමේදි ගඟක් ළඟදී තමයි නැවතුනේ. මහා සැඩපහරක්. ඒකට පැන්නානම් මං මැරෙන්නත් තිබුණා. නමුත් ඔබ ළඟින්ම එනවා. වටපිට බලනවිට වෙරළේ තාපසයෙක් පර්යංකයෙන් වාඩිවෙලා ඉන්නවා දැක්කා. හරියට ගල් පිළිමයක් වගේ, ඇඟේ කිසිම ඇඳුමක් නෑ, ලොකු සමාධියක ඉන්නවා. මේ දුටු සැනින්ම හොරාට ගණදෙවි නුවණ පහළවෙනවා වගේ මට තේරුණා, මෙතන තමයි මගේ ගැලවීම තියෙන්නේ, නැත්නම් මරණය කියා. මැණික් ටිකත් ගඟට විසිකරලා ඇඳුම් ටිකත් ගඟට විසිකරලා, එතනම ජීවිතේ පළමු වතාවට පද්මාසනයෙන් වාඩි උණා.” සාමාන්‍යයෙන් කෙනෙකුට පද්මාසනය හුරු නැත්නම් එහෙම වාඩිවෙන්නත් බෑ, හැබැයි මරණ බය ඉදිරියේ කළ නොහැක්කක් නැත. මරණ බය ආවාම නඟින්න බැරි ගස්වලට නඟිනවා, පනින්න බැරි තාප්ප වලින් පනිනවා, උස්සන්න බැරි වාහන උස්සනවා, කරන්න බැරි දෙයක් නෑ. “අර තාපසතුමා ඉදිරියේ මාත් වාඩිවෙලා ඇස් වහගෙන හිටියා. ඔබතුමාත් සේවකයොත් කඩු, හෙලි, දුනු අරගෙන දුවගෙන දුවගෙන ඇවිත් ගඟ ළඟ තමා නැවතුනේ. බැලුවා කවුරුත් නෑ. අප දෙන්නා විතරයි හිටියේ. 

රජතුමාට එක පැත්තකින් මැණික් ටික නැතිවෙලා, අනිත් පැත්තෙන් අභිමානය නැතිවෙලා. මෙච්චර දුවලත් අල්ලගන්න බැරිවීම නිසා ලැජ්ජාව. මේ සියල්ල එක්ක ගැටළුවේ සිටින විට, අපව දැක්කාම ඔබතුමා එකපාරටම වෙනස් වුනා.” 

“ඔව්, මම වෙනස් වුණා. මැණික් වලට මට ලොකු තණ්හාවක් තිබුණා. තමන්ගේ ඇඳුමටවත් කිසීම ආසාවක් නැතිව මේ රෑ හීතලේ පර්යංකව සිටින ඒ තාපසයන් දැක්කාම, මට හිතුණා මම මොනතරම් මෝඩයෙක් ද කියලා. කිසි වැඩක් නැති මැණික් වලට ආසාවේ මේ මහ රෑ මෙච්චර දුරක් දුවගෙන ආවා. මාහිතුවා ඒවා නැතිව මට ජීවත් වෙන්න බෑ කියලා. මහ රෑ සීතලේ ඇඳුනුත් නැතිව ඔබ දෙදෙනා මොන තරම් සංසුන්ව සිටියාද? මගේ තිබුණු තණ්හාවයි, වෛරයයි සියල්ල නැතිවෙලා ගියා. ඊට පසුව මම ඒ තාපසයන් දෙදෙනාගේම දෙපා සිපගත්තා.”

 “ඔබතුමා මගේ දෙපා සිපගත්තා. මම බයේ ගැහි ගැහී හිටියේ, කොයිවෙලේ කඩු පහරකින් මගේ ජීවිතය නැතිවෙයිද කියා. ඒ බයින් ඉන්න විට ඔබතුමා මගේ දෙපා සිප, පාද වන්දනා කළා. අනිත් තාපසතුමාටත් ඒ විදිහටම දෙපා සිප, පාද වන්දනා කර ආපහු ගියා. මරණ බයෙන් සිටි මට ඒ ඉරියව්වේදීම සිතුණා අනුකරණයක් කරලා මෙහෙම සැනසිල්ලක්, ගැලවිල්ලක්, මරණයෙන් නිදහස්වීමක් ලැබෙනවානම්, ඇත්තටම තාපසයෙක් වෙන්න ලැබුණොත්, ධ්‍යාන ඇත්තටම ලැබුණොත් මොනතරම් ගැලවීමක් ලැබෙයිද කියා. එක මරණයකින් නොවෙයි, සියලුම මරණවලින් නිදහස්වෙන්න පුළුවන් වෙයි. ඒ නිසා එළිවෙනකම් බලන් ඉඳලා, අර තාපසතුමා කොයිවෙලාවේද ඇස් අරින්නේ, ඒ වෙනකම් මාත් ඒ විදිහට ඉඳලා, ඒ ධ්‍යාන වඩන හැටි අහගෙන, ඒ උපදෙස් අනුව කමටහන් අරගෙන ධ්‍යාන වැඩුවා. එහෙම තමයි මේ මුනිවරයා බිහිවුණේ.” කාටවත් විශ්වාස කරන්න බැරි වුණත් එතුමාම කියූ නිසා රජතුමා විශ්වාස කළා.

මේ ‘අනුකරණය’ නිසා තමයි කෙනෙකු මේ පාරට එන්නෙත්. අනුකරණය නිසාමයි කෙනෙකු මේ සංසාරයේ ඉන්නෙත්. සංසාරයේ ඉන්නෙම අනුකාරකයන්. සංසාරයත් එකපැත්තකින් විහිළුවක්, හීනයක් වගේ දෙයක්. ඒකේ ඇත්තක් තියෙන්න බෑ. “අනේ තව කෙනෙකු වගේ ඉන්න”, කවුරුහරි දැක්කාම “අනේ මටත් එහෙම ඉන්න පුළුවන්නම්” එතනත් තියෙන්නේ අනුකරණයක්. අනුකරණය කිරීමකට පමණයි සංසාරයේ පවතින්න පුළුවන්. ඇත්තකට පවතින්න බෑ සංසාරයේ. හැබැයි එතනින් එළියට එන්නත් වෙන විකල්පයක් නෑ. දොරක් නෑ. ඒ පිළිබඳ බෞද්ධ කතන්දර බොහොමයක් තියෙනවා. අස්සජි මහරහතන් වහන්සේ දැක්කාම, උපතිස්ස පරිබ්‍රාජක තුමාට ඇතිවුණු හැඟීම, නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක්කාම, ධර්මාශෝක අධිරාජ්‍යාට ඇති වුනා කියන සිතුවිල්ල ඇතුළු තව බොහෝ අනුකරණයන්. සිද්ධාර්ථ කුමාරයා කුසලය සොයාගෙන “කිං කුසල ගවේශී” “කුසලය කුමක්ද” කියා සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කිරීමේ අවසන් තීරණයට ආවේ, සතර පෙර නිමිති වල පැවිදි රුවක් දැකලා. එතනත් අනුකරණයක්. මේ තමා විශ්වයේ හැටි ‘හොඳට නරකට දෙකටම එකමයි’ තියෙන්නේ. අප එය භාවිතා කරන ආකාරය අනුව තමා මොන පැත්තට ද යන්නේ කියා තීරණය වන්නේ. සංසාරයේ ඉන්නත් අනුකරණය ඕන වෙනවා වගේම සංසාරයෙන් යන්න හිතෙන්නෙත් අනුකරණය නිසාමයි.

බෞද්ධ සාහිත්‍යයේ තියෙන තව එක ජනප්‍රිය කතාවක, එක් භාවනානුයෝගී ස්වාමීන් වහන්සේ නමක් ඉතාම කැපවීමෙන් භාවනා කරමින් සිටියා. උන්වහන්සේ බෝ මළුව අතුගාලා, කොළ ටික වෙනදා එකතු කරන තැනටම එකතු කරලා, වාඩිවෙලා ඉන්නවා. භාවනානුයෝගී වෙනවිටම සුළඟක් ඇවිල්ලා ආයේ කොළ වැටෙනවා. උන්වහන්සේ කල්පනා කළා “මේක අසාමාන්‍ය සිදුවීමක්. එහෙම වෙන්නේ නෑ”. එහෙම හිතලා උන්වහන්සේ ආයේ අතුගාන්න ගියේ නෑ. ඇස් වහගෙන දිගටම භාවනානුයෝගීව හිටියා. එහෙම ඉන්නවිට හරකෙක් ඇවිල්ලා මුළු මළුවෙම ගොම දාගෙන ගියා. උන්වහන්සේ කල්පනා කළා “මේ ගොම අයින් කරනවා ද? සුද්ධ කරනවා ද?, කවදාවත් නොවුනු දෙයක්. ඕන නෑ.” කියා හිතා උන්වහන්සේ දිගටම භාවනා කළා. එවිට නොණ්ඩි මනුස්සයෙක් ඇවිත් හයියෙන් “ටොක් ටොක්” ගා හැරමිටිය ගසමින් මළුවේ ඇවිද්දා. මේ වේලාවේ නම් උන්වහන්සේට තේරුණා “මෙය නම් මාරයාගේ වැඩක්. මගේ සමාධියත් අද බොහෝම හොඳයි, කාරණාත් හොඳට පේනවා, කිසියම් පරිවර්තනයක් වෙන්න යන වෙලාවේ ඒකට බාධා කරන්න තමයි මාරයා මේ සියල්ල කරන්නේ”. උන්වහන්සේ අර නොණ්ඩි ගසන මනුස්සයාගෙන් ඇසුවා “ඔබ මාරයානේද?” කියලා. සාමාන්‍ය මිනුස්සුන්ට නැති මාරයාට තියෙන හොඳ ගුණයක් තමයි ඇත්ත කථා කිරීම. “මාරයාද?” කියලා ඇහුවොත් “ඔව්” කියනවා. නෑ කියන්නේ නෑ.

 “ඔව් මාරයා තමයි”.

 උන්වහන්සේ කල්පනා කළා “මාරයත් එක්ක සටන් කරලා දිනන්න බෑ”, ඒ නිසා උපක්‍රමශීලිව ඇසුවා “මාරයා, ඔබ බුදුරජාණන් වහන්සේව දැකලා තියෙනවානේද?” කියා. 

“ඔව්. දැකලා තියෙනවා. කාටත් වැඩිය හොඳින් මාතමයි දැක්කේ. බුදුවෙන්න කලිනුත්, බුදුවීමෙන් පසුවත්, බොහෝ අවස්ථාවල මුණගැසිලත්, කථාකරලත් තියෙනවා”. 

“සුළඟේ වේසේ‍්, නොණ්ඩි ගසන මනුස්සයෙකුගේ වේසේ වගේ ඔබට එක එක වේෂ ගන්න පුළුවන්නේ. ඔබට බුදුරජාණන් වහන්සේගේ වේසේ ගන්න පුළුවන්ද” කියා ස්වාමින් වහන්සේ ඇසුවා. 

එවිට මාරයා කීවා “ඒ අනුකරණය නම් ලේසි නෑ. නමුත් බුදුන්වහන්සේ නොදුටු කෙනෙකුව රවට්ටන්න මට පුළුවන්. ඒ මට්ටමට අනුකරණය කරන්න පුළුවනි”. 

“එහෙනම් කරලා පෙන්නන්න” 

දන්න විදිහට අනුකරණය කරන්න පටන් ගත්තා. මුන්වහන්සේ බුද්ධානුස්සතියට සිත ගෙනල්ලා, ඒ සමාධිය ඇතුළෙම රහත් වුනා. මාරයා බුද්ධ වේෂය ගන්න විට සිටිය කෙනා නෙවෙයි මාරයා නැවත මාරයාගේ වේෂය ගන්නවිට ඉන්නේ. ආයේ මොනවා කරලාවත් රවට්ටන්න බැරි නිසා මාරයා පැරදිලා ගියා කියා ඒ කථාවේ තියෙනවා.

මේ තමයා අනුකරණය. මාරයාත් අනුකරණයක්, මුණිවරයාත් අනුකරණයක්. සාමාන්‍ය පුහුදුන් සිතට මේ ස්වභාවයන් දෙකම අනුකරණයන්. සිතුවිලි, අපේ අදහස්, මාරයාගේ අදහස් අරගෙන ඒ විදිහට අනුකරණය කරන්නත් පුළුවන්. එහෙම අනුකරණයක් තමයි සංසාරය කියන්නේ. එතකොට පේන්නේ සංසාරය. යන්නේ සංසාරයේ. පිං පව් කරනවා ඇති, නමුත් පේන්නේ සංසාරය. ඇතිවන්නේ කෙලෙස්. ඒ වගේම ඕනෑම සිදුවීමක දී බුද්ධ ස්වභාවයේ අනුකරණයක් දකින්නත් ලැබෙනවා. ඕනෑම සිදුවීමකදී ඒ අනුකරණය දකින්න පුළුවන්. එය අනුකරණයක්, සැබෑ බුද්ධ ස්වභාවය නෙවෙයි අපේ පුහුදුන් සිත්වලට දර්ශනය වන්නේ. හැබැයි මෙහෙමත් පුළුවන්. අල්ලගන්නත්, අතහරින්නත් පුළුවන්. රණ්ඩුවෙන්නත්, රණ්ඩුනොවී ඉන්නත් පුළුවන්. වෛර කරන්නත්, වෛර නොකරන්නත් පුළුවන්. මෙහෙම හිතෙනවානේ. ඊර්ශ්‍යාව නම් අපට හොඳට පේනවා. නමුත් ඊර්ශ්‍යා නොකර සිටීම, ගිජූ නොවී සිටීම, ඒ ඇත්ත ස්වභාවය අපට පේන්නෙ නෑ. එහි අනුකරණයක්, ඡායාවක් පේන්නේ. අප කලින් දවසක් කීවා වගේ අපට පේන විශාල කන්දක් තියෙනවා. ඒ කන්ද නැග්ගාම මුඳුන කොයි වගේද කියලා පාමුල ඉඳලා කියන්න බෑනේ. තරණය කරලාම බලන්න ඕනේ. හැබැයි ඒ කන්ද පාමුල ජලාශයක් වැවක් තියෙනවා නම්, ඒ වැවේ වැටෙනවා අර කන්ද මුදුනේ පිළිබිඹුවක්. ඒ ජලාශය දිහා බැලුවාම ඒ කන්ද ලස්සනට පේනවා, ආයේ නඟින්න ඕනේ නෑ. අන්න ඒ වගේ ස්වභාවයක්. ඇත්ත නෙමෙයිනේ. අප අවෛරය දැක්කේ නෑ. හැබැයි “වෛර කරන්නැතිව ඉන්න පුළුවන්” කියන අනුකරණය, “අපට කරන්න පුළුවන්” කියන සිතුවිල්ල එනවා. “බණින් නැතිව ඉන්න පුළුවන්” කියන සිතුවිල්ල එනවා. “ඇනුම්පදයක් කියන්නේ නැතිව ඉන්න පුළුවන්” කියන සිතුවිල්ල එනවා. නමුත් එය ඇත්තටම පුළුවන් වෙන්නේ ඒ ස්වභාවයට පත්වුණාම.

නොඇලෙන, නොගැටෙන, රැවටෙනේ නැති ඒ ලෝභ, ද්වේශ, මෝහ සම්පූර්ණයෙන්ම නැති ස්වභාවයට ගියාම තමයි ඇත්තටම එහෙම ඉන්නේ. එහෙම ගිහිල්ලා නෑති මෙතන තියෙන්නේ අනුකරණයක්. හැබැයි එතනින් තමයි පටන්ගන්නේ.  පටන්ගන්නෙම අනුකරණයකින්, එක්කෝ බාහිර වශයෙන් දකින කෙනෙකුට පැහැදිලා  අනුකරණයෙන්. එහෙම තමයි බොහෝවිට, එහෙම නැත්නම් කලාතුරකින් තමන්ගෙන්ම “මේ සිතුවිල්ල මෙහෙම නම් ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ලක් තියෙන්න ඕනේ” කියලා තමන්ගේම තර්කයකට වැටිලා, ඒ සිතුවිල්ල අනුකරණය කරනවා. අල්පේච්ඡව ඉන්න පුළුවන්. හැමදෙයක්ම ලැබිලත් සතුටු නොවෙනවා වෙනුවට වැඩිය දේවල් නැතිව ඉන්න පුළුවන්.  “එහෙම කෙනෙකු වෙන්න ඕනේ”ඒ අනුකරණයක්. අල්පේච්ඡ බව අනුකරණය කරනවා. එය නෙමෙයි අල්පේච්ඡ බව කියන්නේ, පැහැදිලිව තේරුම් ගන්න. අවෛරය කියන්නේ අප ඔය කියන තරහා නොගැනීම නොවෙයි. “තරහා ගන්න හොඳ නෑ, තරහා නොගෙන ඉන්න ඕනේ”, අප උත්සාහ කරනවා. එහෙම අවස්ථාත් තියෙනවා. හැබැයි එය නෙවෙයි අවෛරය කියන්නේ. ඒකට නෙවෙයි අලෝභය කියන්නේ. ඒකට නෙවෙයි අමෝහය කියන්නේ. අප කරන්නේ අනුකරණයක්, වෙන මොනවා කරන්නද අපි. නමුත් ඒ අනුකරණය ඇතුළේ ආස්වාදයක් තියෙනවා. එහෙම සිතීම තුළ ආස්වාදයක් තියෙනවා. අර සොරාට හිතුනානේ “මෙහෙම ඉන්න එක ඇතුළේ පුදුම සැනසිල්ලක්, ගැලවිල්ලක් තියෙනවා” කියලා. අන්න ඒ සැනසිල්ල දැනෙන්න පටන් ගන්නවා. දැනෙන්න දැනෙන්න වැඩි වැඩියෙන් අනුකරණය කරන්න සිතෙනවා. මේ අනුකරණය කරන්නේ බාහිර කෙනෙකු නෙමෙයි අර සිතුවිල්ල. “තරහා නොගෙන ඉන්න ඕනේ” කියන සිතුවිල්ල.

ඒ සිත්විල්ලත් සමග යා හැකි දුරක් තියෙනවා. සමහරවිට අර චාලි චැප්ලින් මහත්මයාට උනා වගේ, රහතන් වහන්සේ කෙනෙකුට වැඩිය හොඳට, බුද්ධ චරිතය ගැන දන්න කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුව අනුකරණය කරන්න පුළුවන්. මොකද රහතන් වහන්සේලා අනුකරණය කරන්න හා රඟපාන්න යන්නේ නෑනේ. උන්වහන්සේ උන්වහන්සේ විදිහට ඉන්නවා, වැඩ කරනවා. හැබැයි අනුකරණය කරන කෙනාට පුළුවන් ඊට වැඩිය හොඳට ඒ චරිතය රඟපාන්න. මෙහි  ආස්වාදයක් තියෙනවා. අනිත් අය රවට්ටන්න කිරීමක්ම නෙවෙයි. අනිත් අයව රැවටීම පවක්. ලොකුම පව, ඒ අනුකරණය. හැබැයි මේ ඇතුළේ තියෙන අනුකරණය පවක් නෑ. පවක් නෙවෙයි එතන තියෙන්නේ. එතන ආස්වාදයකට රැවටීමක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදය නිසා වැඩි වැඩියෙන් ඒ අනුකරණය කරන්න පෙළඹෙනවා. ඒ පෙළඹීම තුළ එක තැනකට එනවා තවදුරටත් අනුකරණය කරන්න බැරි තැනකට. මෙවිට බොහෝ අය හැලෙනවා. හැබැයි බොහොම කලාතුරකින් කෙනෙකුට අර අභ්‍යන්තර කැඳවීම ලැබෙනවා, දැනගන්න ලැබෙනවා. ඒ කියන්නේ ‘අලෝභය’ එයාට කතා කරනවා. ලෝභකම නෑ වගේ අනුකරණය කරකර හිටිය කෙනාට, ඇත්තටම ලෝභකම නැත්තේ නෑනේ තියෙනවානේ. ඒ නිසා වැඩිදුරක් යන්න බෑ. එහෙම ටික දුරක් ගිහිල්ලා එක්කෝ අතහරිනවා. එක්කෝ ජාම බේරාගෙන ඉන්නවා. ඒ අතර බොහොම කලාතුරකින් කෙනෙකුට අලෝභය කියනවා ‘එන්න’. අලෝභය කැඳවීමක් කරනවා. අදෝෂය ඇරයුම් කරනවා. අමෝහය කැඳවීමක් කරනවා. අන්න ඒ කැඳවීම හරහා ඉන් පසුව අනුකරණය අතහැර එයින් එහාට යන ගමන යන්න පුළුවන්. ඒ අනුකරණය කොපමණ දුර ගියත් ඒ පුහුදුන් භූමිකාව ඇතුළේමයි ඉන්නේ. ඉන් එහාට යෑමක් නෑ අනුකරණයේ. හැබැයි ඒ දුර යන්නේ නැතිව නම් අනිත් ගමන එකපාරට පටන්ගන්න බෑ. පටන්ගත්ත කෙනෙකුත් නෑ. අනුකරණයෙන් තොරව පටන්ගත්ත කෙනෙකු නෑ.

ඒ නිසා කළ්‍යාණ මිත්‍රවරුනි, මේවා වෙන්කර ගන්න තරම් සිහිබුද්ධියක් අවශ්‍ය වන්නේ ඒ නිසා. සිහිබුද්ධියේ වටිනාකම බලන්න මොනතරම් තියෙනවාද? මොනතරම් ප්‍රයෝජනවත් වෙනවාද? මේවා තේරුම් බේරුම් කර ගැනීම. හරියට හඳුනා ගැනීම, වෙන්කර ගැනීම, ප්‍රයෝජනයට ගැනීම, මේ අනුකරණයෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගැනීම. ඒ ඇඳුම් එක්ක මොනතරම් දුර යන්න පුළුවන්ද? බැරි තැනක් එනවා. එතනදි මොකද කරන්නේ? අන්න එතනදි අර අභ්‍යන්තරයට ඇහුම්කන් දෙන්න පුළුවන් නම් ඒක බොහොම කලාතුරකින් තමයි සිදුවන්නේ. එතනදි තමයි සැබෑම ගමන පටන් ගන්නේ. ආපසු නොඑන ගමන පටන් ගන්නේ එතනදී. එතෙක් ආපහු ඕනෑම වෙලාවක මාරයාව අනුකරණය කරන්න පුළුවන්. මාරයාව අනුකරණය නොකරන ගමන, නැවත මොනම හේතුවක් නිසාවත් මාරයාගේ අනුකරණයකට නොරැවටෙන ගමන පටන් ගන්නේ අන්න එතනදි. ඒ සිහිබුද්ධියේ විශිෂ්ඨත්වය පිළිබඳ හැඟීමකින්, අපි ටික වෙලාවක් මේ අපි ඇතුළින්ම එන අනුකාරකයන් දිහා අපක්ෂපාතීව බලන්න උත්සාහ කරමු සාකච්ඡාවට කලින් .     

භාවනාව

බලන්න බලන්න අනුකරණයත් අනුකරණය කරන්නාත් වැඩි වැඩියෙන් ඉඩ ලැබෙනවා ඇතුලේ

අනුකරණයන් හා අනුකරණයන් හඳුනාගනිමින් හඳුනාගනිමින්

රැවටෙමින් රවට්ටමින් ආ ගමන ගැන කිසියම් පැහැදිලි හැඟීමක් දැක්මක් ඇති කර ගනිමින් දයාබර ආධ්‍යාත්මික මිත්‍රයනි අපි සාකච්ඡාවට අවස්ථාව කරගනිමු දැන්.


සාකච්චාව

ප්‍ර : අපිට ගමන් දෙකක් තියෙනවා. එකක් සංසාරික ගමන අනිත් එක අධ්‍යාත්මික ගමන. අපි පෘථග්ජනයො විදිහට මේ සංසාරික ගමන යන විට අපේ මේ වෘත්තිමය අවශ්‍යතාවයනුත් එක්ක ගනුදෙනු කරුවන් හම්බවෙනවා. ඒ ගනුදෙනු කරුවන් එක්ක සමහරවිට අපිට අනුකරණ චරිතයකට යන්න වෙනවා, නැත්නම් ඒ වෘත්තියට ආවේණික තත්ත්වය පවත්වා ගන්න බැරි වෙනවා. ඒත් එක්කම ආධ්‍යාත්මික ගමනකුත් යනවා. එතැනදි මේ දෙක සමබර කර ගන්නේ කොහොමද?

පි : ඔය තමා අමාරුම දේ. ඔය දෙකෙන් එකක් නම් කරන්න තියෙන්නේ ටිකක් ලේසියි. ලෞකික ජීවිතේ විතරක් නම් තියෙන්නෙ එතැනදී ප්‍රශ්නයක් නෑ, තරහ නම් තරහ, තරහින් කෑ ගහනවා නම් කෑගහනවා, එය හරි කියලා හිතනවා, එසේ නොකර මේ වැඩ කරගන්න බෑ කියලා හිතනවා. ඉතින් ඒ වගේ යන්න පුළුවන්. හැබැයි මේ ආධ්‍යාත්මික ගමනයි මේ දෙකම යන්න පටන් ගත්තහම ඒ දෙක ගැනම පසුතැවිල්ලක් එනවා. සමහරවිට මේ වෙලාව අධ්‍යාත්මික වැඩකට නොයොදා ලෞකික වෙන වැඩකට යොදවන්න තිබුණා, එසේ උනා නම් ඒ කාර්යය සාර්ථක කරගන්න තිබුණා කියන පසුතැවිල්ලක් එනවා. ඒ වාගේම ලෞකික මඩ ගොහොරුවේ එරෙන කොටත් හිතෙනවා මොන හේතුවකටද මේ සියල්ල කරන්නේ, මේ සියල්ල අතහැරලා විමුක්තිය ගැන හිතුවා නම් හරි නේ කියලා. එතනත් පසුතැවෙනවා. ඉතින් කොතන ගියත් පසුතැවෙන කෙනෙක් ඉන්නවා. එයාව හඳුනාගන්න. නමුත් අහුවෙන්න නම් එපා. පසුතැවිල්ල නිසා නම් මේ මාර්ග දෙකෙන් එකක් වත් අතහරින්න නම් එපා. එයාව අල්ලාගෙන එකක් අතහැරලා අනිකට ගියොත් ඒකෙත් මොකක් හරි අල්ලාගෙන ආයෙත් පසුතැවෙනවා. 

ලෞකික වැඩ වලදී අනුකරණයක් කරන්න වෙනවා. එය අනුකරණයක් බව දැනගෙන කරන්න. අවශ්‍ය නම් තදින් ඉන්න, තදින් කතා කරන්න, බැරිම තැනකදි දඬුවමකුත් දෙන්න. හැබැයි ඔය එකක්වත් කරන්න තරහ ගන්න අවශ්‍ය නෑ, බනින්න තරවටු කරන්න තරහ ගන්න අවශ්‍ය නෑ, දඬුවම් කරන්නත් තරහ අවශ්‍ය නෑ. එයා එක්ක ගමනක් යන්නේ නැතිව සෑහෙන දුරකට ලෞකික වැඩ කරගන්න පිළිවන්. වැදගත් වෙන්නේ තමන් නොරැවටී සිටීම. අප අපට රැවටුනොත් ඒ රැවටිල්ලෙන් ගොඩ එන්න ලේසි නෑ. ඒ වාගේම අනිත් අය අපව රවට්ටන ඒවාට රැවටෙන්නත් එපා, අනිත් අය අපට යම් යම් දේ කියල අපවමව රැවැට්ටීම. ඒ අය ඒ අය ගැන කියලා රවට්ටන එක ලොකු දෙයක් නොවේ, කවුරුහරි ඇවිත් හොඳ කෙනෙකු ශාන්තුවරයෙකු වගේ රඟපාන්න පුළුවන්, ඉතින් අප රැවටෙන්නත් පුළුවන්, එය එච්චර ලොකු රැවටීමක් නොවේ, ඒ රැවටීම තුළ ලොකු ප්‍රශ්නයකුත් නෑ. ලොකුම ප්‍රශ්නය අනිත් අය අප ගැන කියලා අපව. රැවැට්ටීම. ඒකටනම් රැවටෙන්න එපා. සාමාන්‍ය ලෞකික ජීවිතයේදී කෙනෙක් ඇවිත් කියන්න පිළිවන් “ඔබ හරි ත්‍යාගශීලියි, කිසි නපුරු කමක් නෑ, අනිත් අය වගේ නොවේ”, ඔය වගේ දේවල් කියන්න පුළුවන්. ඒවාට අප රැවටුනොත් නම් අප ඉවරයි, එහෙම මහලා දෙන ඇඳුම් නම් අඳින්න එපා, ඒ අනුකරණ වලට නම් යන්න එපා, එතනට ගියොත් නම් ලෞකික පැත්තක් අසාර්ථකයි, අධ්‍යාත්මික පැත්තට ආවත් එතනත් රවට්ටන්න පුළුවන්. “ ඔබ බෝධිසත්වයෙක් වගේ”, ඒවටත් රැවටෙනවා. ඒ නිසා අනිත් අය අප ගැන කියලා අපව රවට්ටන්න හදන එක ගැන හොඳ සිහිබුද්ධියෙන් ඉන්න මොනවා කළත්. මොකද ඒ අය ගැන දන්නෙ නෑ. සමහර විට ඇත්ත කියනවා වෙන්නත් පුළුවන්, ඒ අයට පේන දේ, හැබැයි ඇත්තම දැනගෙන නෙවෙයිනෙ කියන්නේ, පේන දේ කියනවා. අපේ අඩුපාඩුවක් ගැන කියනව නම් ඒක හදාගන්න ඇහුම්කන් දෙන්න. හැබැයි වර්ණනාවක් කරනවා නම් ඒ ගැන දෙතුන් වරක් හිතුවට කමක් නෑ, මොකද ඒ ඇඳුම් නිකම්ම ඇන්ඳෙනවා, අපි ඇඳගත්තේ නැතත් අපි අසිහියෙන් හිටියොත්. හොඳම උදාහරණයක් තමයි බාහිය දාරුචීරිය තුමාගේ කතාන්දරය (මේ කතාන්දරය ඇතුළෙ අද දේශනයට සම්බන්ධ බොහෝ කාරණා තියෙනවා නුකරණය සහ ඇතුළතින් එන ආමන්ත්‍රණය ගැන) 

ඔබතුමාගේ ප්‍රශ්නය ගැන කියන්න තියෙන්නේ, අවංකව ඉන්න. හිත රිදුනොත් හිත රිදුනු බව පෙන්නන්න. එය වහගන්න එපා. තමන් භාවනා කරන කෙනෙකු ඒ නිසා හිත රිදෙන්නේ නෑ, හිත රිදුණා කියා පෙන්නන්න හොඳ නෑ. නෑ, වහන එක තමා හොඳ නැත්තේ. කිවයුතු තැනකදි කියලා ප්‍රයෝජනයක් වෙනවා නම් ඒක කියන්න. ඒ වාගේම තදින් ඉන්න බය වෙන්නත් එපා. තදින් සිටීම සෘජුව සිටීම විශිෂ්ට ගුණයක්. 

ප්‍ර : මේ වාණිජ ලෝකය තුළ සිහිය සහ සිහිබුද්ධිය අතර වාණිජමය වටිනාකමේ වෙනසක් තියෙනවා නේද?

පි : සිහිය ගත්තොත් සිහියෙන් හොරකම් කරන්නත් පුළුවන්. සිහිය හොඳට තියන තරමට හොදට හොරකම් කරන්න පුළුවන්, සැලසුම් කරන්න, ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒ සිහියට ලෞකික වටිනාකමක් තියනවා. ලෞකික ලෝකයේ දේවල් තියාගන්න අයිති කරගන්න සිහිය උදව් කරගන්න පුළුවන්. හැබැයි සිහිබුද්ධිය ගත්තොත් එයට තියෙන්නෙ ආධ්‍යාත්මික වටිනාකමක් පමණයි. දෙපැත්තට පාවිච්චි කරන්න බෑ. සිහිය දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසයි මිච්ඡා සති සම්මා සති කියලා දෙකක් විදිහට දහමේ සඳහන් කරන්නේ, මිච්ඡා සතියෙන් පරිස්සම් වෙන්න. සිහිබුද්ධියට වාණිජමය වටිනාකමක් නෑ, තියෙන්නෙ ආධ්‍යාත්මික වටිනාකමක් පමණයි. ඒ නිසායි වැඩිපුර සිහිබුද්ධිය ඇති කරගන්න, සිහිබුද්ධියෙන් හැම දෙයක් දිහාම බලන්න. එතනදි අපේ ආධ්‍යාත්මික ගමනට හානියක් නොවන විදිහට තමයි අන් හැම දෙයක්ම පාවිච්චි කරන්නේ, භාවිතා කරන්නේ, ඒවාට එකතු වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන පමා කර ගන්නේ නැතිව, නවත්වා ගන්නෙත් නැතුව, වෙන පැත්තකට හරවා ගන්නෙත් නැතිව. 

ප්‍ර : මම මෙපමණ කල් හිතාගෙන හිටියේ තමන් තමන් වීම වඩා පහසුයි  අනුන්ව අනුකරණය කරනවාට වඩා කියා.

පි : සම්පූර්ණ ආගන්තුක චරිතයක රගපාන එක ලේසියි. සියයට සියයක්ම ආගන්තුක චරිතයක් සම්පූර්ණයෙන්ම රඟපාන එක ලේසි නෑ. හැබැයි මෙපමණ කල් රඟපාපු චරිතයක් දිගටම රඟපාන එක ලේසියි. මෙපමණ කලක් කළේ රඟපෑමක්ම තමයි. ඇත්තටම ජීවත් වෙලා නෑ. හැබෑම ජීවත් වීම ආධ්‍යාත්මික ජීවත්වීම කියන එකට අපි ඇවිත් නැතුව ඇති. හැබැයි කාලයක් රඟපාලා තියෙන නිසා ඒ චරිත දෙක තුන දිගටම රඟපාන එක ලේසියි. සම්පූර්ණයෙන්ම අලුත් චරිත රඟපාන එක අමාරුයි. ටික වෙලාවක් රඟපාන විට අමතක වෙලා යනවා. අමතක උනාම අර පරණ පුරුදු චරිත වලින් එකකට තමයි වැටෙන්නේ. හැබැයි ඒ වැටෙන්නේ ඇත්තම චරිතයට නොවෙයි එයත් රඟපෑමක්ම තමයි.

මෙතන තියෙන්නේ කෙළවරක් නැති රඟපෑම්. එක වෙස්මූණක් වැහෙන්න තව වෙස් මුහුණක්, ඒක වැහෙන්න තව වෙස්මුහුණක්. දැන් එක වෙස්මූණක් ගැලපෙන්නෙ නැති වෙලාවට කරන්නේ ඒක ගලවලා දාන එක නෙවෙයි, එතෙන්ට ගැලපෙන වෙස් මූණක් දාගන්න එක, ගැලපෙන්නෙ නැති වෙනකොට ඒ වෙස්මුහුණු ගලවන්න අපි දන්නේ නෑ. ඒ වෙනුවට කරන්නේ වෙන වෙස්මුනක් දාගන්න එක. වෙස්මූණක් උඩින් වෙස්මූණක්, ඒ වෙස්මූණ උඩින් තවත් වෙස් මූණක් දාගන්නව. ඉතින් ඔහොම ගිහිල්ලා එකක් ගැලෙව්වා කියලා ඇත්ත මූණ නොවෙයි පෙනෙන්නේ, තවත් වෙස්මූණක් පේන්නේ. මේ තමයි ලූණු ගෙඩියේ උදාහරණයෙන් කියන්නේ, එක සිවියක් ගැනවුනහම තව සිවියක්, ඒ සිවිය ගැලවුනාම තවත් සිවියක්, අන්තිම සිවිය ගැලවුනාම කිසිම දෙයක් නෑ.

ප්‍ර : පුද්ගලයෙක් දිගින් දිගටම අනුකරණය කරන විට ඒ පුද්ගලයාට තමන්ට ආවේණික වූ අනන්‍යතාවයක් ඇතිවෙනවා. ඒ අනන්‍යතාවය අවශ්‍ය දේවල් අභ්‍යන්තරව හා බාහිරව එකතු කරනවා. අනන්‍යතාවය තමයි එයා පෝෂණය කරන්නෙ. ඒ අනන්‍යතාවය බාහිර ගමනට යොදා ගන්න පුළුවන්, ඒ වගේම අභ්‍යන්තර ගමනට යොදා ගන්නත් පිළිවන්. අනන්‍යතාවය රහතන් වහන්සේලාටත් තියෙනවා පෘථග්ජනයන්ටත් තියෙනවා. හැබැයි මේ අනන්‍යතාවයට සිහිබුද්ධිය අභියෝග කරනවා. සිහිබුද්ධිය අනන්‍යතාවය තියාගෙන යනවාට වඩා හොඳ ගමනක් එය නැතිව යන්න පුළුවන් නේද කියන තැනට ඇදලා දානවා. අනුකරණයට පස්සේ අනන්‍යතාවය එනවා, එයිනුත් එහාට යමක් තමයි සිහිබුද්ධියෙන් කෙරෙන්නේ. අනුකරණයක් අනන්‍යතාවයත්  සිහිබුද්ධියක් අතර සම්බන්ධය පැහැදිලි කරන්න පුලුවන්ද?

පි : අනුකරණය කියන්නේ කෙනෙකඅ වගේ හෝ දෙයක් වගේ ඉන්න හදන එක. අලෝභය කියන්නේ කෙනෙකු නෙමෙයි දෙයක්. ඒ වගේ ඉන්න හදන්න පුළුවන්, එහෙම ස්වභාවයක් අනුකරණය කරන්නත් පුළුවන්. මෙතන තියෙන ප්‍රශ්නය කොච්චර අනුකරණය කරත් ඒ දේ බවට පත්වෙන්න බෑ. ඒ වගේ ඉන්න පුළුවන් ඊටත් වඩා හොඳට ඒ වගේ ඉන්න පුළුවන්, ගහකටත් වැඩිය හොඳට ගහක් වගේ ඉන්න පුළුවන් අනුකරණයට. හැබැයි ගහක් වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බැරි හේතුව තමයි අනන්‍යතාවය. අනන්‍යතාව තමයි ඔතන තියෙන ප්‍රශ්නය. අනන්‍යතාවය තමයි කියන්නේ ”අනුකරණය කළාට ඔයාට එහෙම වෙන්න බෑ” කියල. අනුකරණය කරගෙන කරගෙන ගිහිල්ලා එක තැනකදී ඔය අනන්‍යතාවය කියනවා මින් එහාට ඔය චරිතයත් එක්ක යන්න බෑ කියල. මොකද ‘මම’ මතුවෙන වෙලාව ඒ. ඔක්කොම අතහැරලා අතහැරලා යනවිට එයාට ඉන් එහාට වෙනස් වෙන්න බෑ. ලෝභය නැති කෙනෙකු වගේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම හිටියා කියලා ඒ බවට පත්වෙන්න බෑ. එහෙම බැරි වෙලාවක් එනවා. එහෙම වෙන්නේ අප ලෝභයත් එක්ක අනන්‍ය වෙලා ඉන්න හින්දා. එතකොට ඒ ලෝභයත් එක්ක අනන්‍ය වීම අත්හරින්න ඕන. අනන්‍යතාවයට තමයි මේ කර්ම විපාක දෙකම සම්බන්ධ වෙන්නේ. කර්මය කළ කෙනාට තමයි විපාක ලැබෙන්නේ, අනන්‍යතාවය නිසා. එතකොට අනන්‍යතාවයෙන් කරන හැම ක්‍රියාවකටම අනිවාර්යෙන්ම ආපසු ලිපිනය එයා ලියල තියෙනවා. එයටයි අනන්‍යතාවය කියන්නේ. මේ අනන්‍යතාවය තමයි අන්තිමට එන බාධකය. ලෝබ කමක් නෑ වගේ අවංකවම ඉන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම ඉන්නකොට තේරෙනවා එහෙම ඉන්න බෑ කියලා. වගේ ඉන්න පුළුවන්, හැබැයි අලෝභය වෙන්න බෑ. වෙන්න බැරි මොකද ලෝභයත් එක්ක මම අනන්‍ය වෙලා ඉන්නේ. ලෝභයත් එක්ක තමයි මේ මුළු සංසාරෙම ඇවිත් තියෙන්නෙ. අලෝභය වෙන්න ඕන කමත් ලෝබකමක්. අලෝභය වගේ ඉන්න ඕනකම ලෝභයක් වගේ තේරෙනවා. ඒ ලොභයේ අනන්‍යතාවය නිසා තමයි අලෝභය බවට පත් වෙන්න බැරි. මෙතැන තමයි නවතින්නේ. එතකොට දැන් තීරණයක් ගන්න වෙනවා, එක්කෝ ලෝභයට මම කියන එක අත්හරින්න වෙනවා නැත්නම් අලෝභ කෙනෙක් වගේ හැසිරීම අතාරින්න වෙනවා. ඔය දෙකෙන් එකක් අත්හරින වෙනවා. ඔතනදි තමයි අනන්‍යතාවේ පිම්ම පනින්නේ. 

රහතන් වහන්සේටත් අනන්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒ අනන්‍යතාවය තියෙන්නේ අලෝභය අද්වේශය අමෝහය එක්ක. ඒකත් එක්ක රහතන් වහන්සේලා දෙදෙනෙක් ක්‍රියාත්මක වන ආකාරයේ වෙනස්කම් තියෙනවා. හැබැයි රහතන් වහන්සේලාගේ මූලික ස්වභාවය සමානයි. මොකද හැම රහතන් වහන්සේ කෙනෙක් අනන්‍ය වෙලා තියෙන්නෙ අලෝභ අද්වේෂ අමෝහ එක්ක. එතන වෙනසක් නෑ. එතකොට අලෝභ අද්වේෂ අමෝහ කර්ම කරන්නේ නෑ. ඒ නිසා විපාක නෑ. ඒ අනන්‍යතාවය කර්මයයෙන් හා විපාකයෙන් නිදහස්. ඉතින් මෙතනට යන්න තමයි  කියන්නේ ” තරහ මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි” කියලා. මේ විදිහට අනිත් කෙළෙසුත් අරගෙන බලන්න කියනවා, “මේවා මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි” කියලා ( අනත්තනුපස්සනාව). එතනදී කරන්නේ අනන්‍යතාවය අත්හැරීමක් තමයි. ඒ අනන්‍යතාවය අත්හැරියොත් තමයි අනන්‍යතාවයට යන්න පුළුවන් වෙන්නේ.

අනන්‍යතාවය නැති වෙන අවස්ථාවක් තමයි ගැඹුරු නින්ද. දැන් ගැඹුරු නින්දේ කවුද නිදාගෙන ඉන්නේ කියන හැඟීම නෑ. හීන දකින නින්දේ අනන්‍යතාවය තියෙනවා, ගැඹුරුම නින්දෙදි අනන්‍යතාවයක් නෑ. මෙතන වෙනස අනන්‍යතාවය නිදි. ඇහැරුනහම ආයෙ අනන්‍යතාවය එනවා, එය නැති වෙන්නේ නෑ, ගැඹුරු නින්දට බෑ අනන්‍යතාවය නැති කරන්න. ඒ වාගේම සිහි නැති උනහමත් අනන්‍යතාවයක් නෑ. හැබැයි ඒ අනන්‍යතාවය ශූන්‍ය වෙන්නේ නිරෝධ සමාපත්තියෙන්. අප අහලා තියෙන විදියට එතනදී ලෞකික හෝ ලෝකෝත්තර මොනම අනන්‍යතාවයක් වත් නෑ.

ප්‍ර : තවත් විදිහකින් කියනවා නම් අනන්‍යතාවය කියන්නේ මමත්වයද?

පි : අනන්‍යතාවය කියන්නේ මම මෙහෙමයි කියන එක. එය මුලින් ලැබෙන්නේ අනුකරණයෙන්. අනුකරණයෙන් තමයි අනන්‍යතාවය එන්නෙ. කෙනෙකු වෙන්න ඕන කියන හැඟීම තියෙනවා. මම කවුරු හරි වගේ වෙන්න ඕන මොකක් හරි වගේ වෙන්න ඕන කියන ඕනකම තියෙනවා. ඒ ඕනෑකම තමයි බලන්නේ කවුරු වගේද වෙන්න ඕනේ, මොනවා වගේද වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම බලනකොට මොනව හරි ලස්සන දෙයක් දැක්කහම ඒ වගේ වෙන්න බලනවා. දැන් රහතන් වහන්සේ කෙනෙක් ගත්තහම ඒ ඕන කම නෑ. ඒ ඕන කම නැති වුණාම ඒ නැති බව තමයි එතන තියෙන අනන්‍යතාවය.

ප්‍ර : ලෝභකම කියලා දෙයක් තියනවා. නමුත් අලෝභය කියලා දෙයක් නෑ නේද?

පි : මම අලෝභ කෙනෙක් වෙන්න ඕන කියලා හිතනවා. එහෙම හිතන්න පුළුවන්. ඒවගේම ලෝභකම අනුව වැඩ නොකර ඉන්නත් පුළුවන්. එහෙම බැලුවහම ඇත්තටම තියෙන්නේ ලෝභය, අලෝභය කියලා දෙයක් නෑ කියලා හිතන්න පුළුවනි. අප ඉන්න පැත්තෙ සිට බලනකොට එහෙම තමයි පෙනෙන්නේ. හැබැයි එගොඩවුන පැත්තේ ඉඳලා බැලුවොත් පේන්නෙ වෙන විදිහකට. ඇත්තටම තියෙන්නේ අලෝභය, ලෝභය නොවෙයි. ලෝභය කියන්නේ අවිද්‍යාව නිසා හදාගත් දෙයක්, සංස්කාරයක්, ඇත්තටම තියෙන දෙයක් නොවෙයි. තරහ කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි හදාගත් දෙයක්. එතකොට හදා නොගෙන ඉන්නවිට තිබෙන ස්වභාවය තමයි ඇත්තම ස්වභාවය. අප ඉන්න තැන ඉඳලා බලනකොට තමයි තීරණය වෙන්නේ, අප මේ ඉවුරේ ඉඳන් බලනකොට පේන්නේ මේ දේවල් ඇත්ත වගේ. මේ ඉවුරේ දේවල් එහා ඉවුරේ නෑ. ඒ නිසා ලෝභය කියලා දෙයක් තිබුනට අලෝභය කියලා දෙයක් නෑ, ලෝභය නැති කම මිසක් ආලෝභයක් නෑ. හැබැයි එහා ඉවුරට ගිය කෙනෙක් ඊට වෙනස් කතාවක් කියයි. මේ ඉවුරේ තියෙනවා කියලා හිතන් ඉන්න දේවල් සියල්ල හිතෙන් හදාගත්ත දේවල්. ඇත්තටම එහෙම දේවල් නෑ, මේක සාපේක්ෂයි. 

ප්‍ර : බුද්ධ ශාසනයක් පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත. මග වැඩූ කල්‍යාණ මිත්‍රයෙක් ගෙන් පණිවිඩයක් ලැබුනහම අධ්‍යාත්මික ජීවිතයේ දී ඇතුළතින් එන අනුකරණයක් තමයි ඇති වෙන්නේ. ඒ අනුකරණය ගැන නේද අද දේශනාවේදී හඳුන්වා දුන්නේ?

පි : බුද්ධෝත්පාද කාලයකදී තමයි පුද්ගල අනුකරණයක් කරන්න පුළුවන්. මොකද කල්‍යාණ මිත්‍රයන් ඉන්නේ සාසනය තියෙන කාලයකදී. සාසනයක් නැති කාලයකදී කල්‍යාණ මිත්‍ර අනුකරණයක් නෑ. අබුද්ධෝත්පාද කාලයකදී පසේබුදු කෙනෙක් බිහි වෙන්න පුළුවන්. හැබැයි එතනදි අනුකරණය කරන්නේ ධර්මතා, පුද්ගලයෙක් නෙවෙයි. ධර්මතා අනුකරණය කිරීම ලේසි නැහැ, අමාරුම දේ තමයි ධර්මතා අනුකරණය කරන එක. අපට පුද්ගල හැඟීමක් තියෙන නිසා අපිට පේන්න තියෙන පුද්ගලයෙක් අනුකරණය කරන එක තමයි ලේසිම දේ. ගඟක් එතෙර වෙද්දී පාලමකින් ගොඩවෙන එක පහසුයි පීනන්න ඉගෙන ගෙන පීනලා ගොඩ වෙනවාට වඩා. ඒ වගේ තමයි කල්‍යාණ මිත්‍රයින් කියන්නේ එගොඩ වෙන්න තියෙන පාලමක්. හැබැයි මේ පාලම් හරිම තාවකාලිකයි. පාලම් නැති කාලයකදී ඉතා සුළු පිරිසක් පීනලා ගොඩවෙනවා.  

හැම දෙනාටම,

සෙතක්ම වේවා ! 

ශාන්තියක්ම වේවා !!

සැනසිල්ලක් ම වේවා !!!