සිහිබුද්ධිය ට හෝරාවක් - සදහම් සැඳෑව 25

2022 මාර්තු 30, සාරාංශය

සැනසිලි දායක සන්ද්‍යාවක්

දයාබර කළණ මිතුරනි, පැමිණ සිටින ගමනට, පා තබා තිබෙන මාර්ගයට, උත්තේජනයක්, ආලෝකයක්, මඟපෙන්වීමක් ලබා ගන්නට, එමෙන්ම අපේ අත්දැකීම්, අවබෝධයන්, තේරුම් ගැනීම්, බෙදාගැනීමට මෙන්ම තවදුරටත් පැහැදිලි කරගැනීමටත්, අප මෙසේ බදාදා සවස එකතු වෙනවා. බොහෝ විට පිළිතුරු බලාපොරොත්තුවෙන් අසන ප්‍රශ්නයක් තමයි “ජීවිතය කියන්නේ කුමක් ද?, ජීවිත් වීමේ අරුත කුමක් ද?” මෙය පිළිතුරක් අපේක්ෂා කරන ප්‍රශ්නයක්, එමෙන්ම පිළිතුරක් නැති ප්‍රශ්නයක්. ජීවිතයේ තේරුම කුමක් ද? මෙයට පිළිතුරක් නැත්තේ මෙය තව කෙනෙකුගෙන් අසන්නට බැරි ප්‍රශ්නයක් නිසා. තව කෙනෙකුගෙන් නොඇසිය යුතු ප්‍රශ්නයක් නිසා.

ප්‍රශ්න වර්ග කිහිපයක් තිබෙනවා. එක වර්ගයක් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න. සාමාන්‍ය දැනීමේ පොත්වල ප්‍රශ්න-උත්තර තිබෙනවා. මේ ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි කටපාඩම් කළාම සාමාන්‍ය දැනීම පිළිබඳ විශේෂඥවරයෙක් වෙන්න පුළුවන්. කිසියම් දෙයක උස, දිග, පළල ආදි තොරතුරු, යමක ආරම්භය, අවසානය, සොයා ගත්තේ කවුද යනාදි තොරතුරු, එමෙන්ම කිසියම් කන්දක් මුලින්ම නැග්ගේ කවුද, එහි උස කුමක්ද, මෙවැනි තොරතුරුවලටයි සාමාන්‍ය දැනීම කියන්නේ. නමුත් මේවා නෙවෙයි සාමාන්‍ය දැනීම විය යුත්තේ. ‘සාමාන්‍ය දැනීම යනු ජීවත් වීමට අවශ්‍යවන දැනීම’. ඔය සාමාන්‍ය දැනීම පොත් පත් වල, ජීවත් වීමට අවශ්‍ය දැනීම කොච්චර දුරට තිබෙනවා ද? මේ කිසිදෙයක් නොදැන ලස්සනට ජීවත්වන කී දෙනෙක් ඉන්නවා ද. ලෝකේ උසම කන්ද දන්නේ නැති, දිගම ගඟ දන්නේ නැති, අහසේ තරු ගණන දන්නේ නැති කීදෙනෙක් ලස්සනට ජීවත් වෙනවාද? ගින්දර සොයාගත්තේ කවුද, අර වාදයේ පියා කවුද මේ වාදයේ පියා කවුද මේ කිසිදෙයක් දන්නේ නැති, සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ සාමාන්‍ය දැනීම කියන ‘දැනීම’ අල්පෙනෙති තුඩක් පමණවත් නැති, නමුත් කාටවත් බරක් හිංසාවක් නොවී සතුටින් සැහැල්ලුවෙන් බියකින් තොරව ජීවත්වෙන අය ඉන්නවා. අපට තේරෙන විදිහටනම් ඒ අයට ඔය සාමාන්‍ය දැනීම නෑ, ඒ ඇත්තන්ට තමයි නියම සාමාන්‍ය දැනීම තියෙන්නේ, ජීවත් වෙන්න අවශ්‍ය දැනීම අවබෝධය තියෙන්නේ.

සාමාන්‍ය දැනුම ප්‍රශ්න සහ පිළිතුරු පොත්වල තියෙන තවත් දැනුමක්, කටපාඩම් කරගන්න පුළුවන්. තේරුම් ගන්න දෙයකුත් නෑ. දිගම ග‍ඟේ දිග මෙපමණයි කීවාම කුමක් ද තියෙන්නේ තේරුම් ගන්න? උසම කන්දේ උස මෙපමණයි, නම මෙයයි කීවාම තිබනවාද යමක් තේරුම් ගන්න? මුහුදේ ගැඹුරුම තැන මෙන්න, එහි ගැඹුර අඩි වලින් මෙන්න. මේ කිසිදෙයක තේරුම් ගන්න දෙයක් තියෙනවාද?  තේරුම් ගන්න දෙයක් පේන්න නෑ. ‘වචන ටික’ තේරුම් ගන්න පමණයි තියෙන්නේ. උස-ගැඹුර, දිග-පළල, පළමු දිනය ... මේ වචන තේරුම් ගැනීම පමණයි කළයුත්තේ. ප්‍රශ්නයේ තේරුම් ගන්න දෙයකුත් නෑ, පිළිතුරේ තේරුම් ගන්න දෙයකුත් නෑ. මේ ප්‍රශ්න අහන්න පුළුවන්. උත්තර දන්නවා නම් දෙන්න පුළුවන්. දැනගත්තා හා උත්තර දුන්නා කියා ජීවිතයට ප්‍රයෝජනයක් නෑ. සමහර විට තරඟයකින් දිනන්න පුළුවන්. තෑගි ලැබෙන්නත්, අත්පුඩි හඬ ඇහෙන්නත් පුළුවන්. ආඩම්බරයකුත් එයි. නැත්නම් පරදින්නත් පුළුවන්. පැරදුනොත් හූ හඩ ඇහෙන්නත් පුළුවන්. හීන මානයකුත් එයි. ඉන් එහානම් දෙයක් නෑ.

දෙවෙනියට අහන ප්‍රශ්න තමයි යම් යම් අය කරන ප්‍රකාශන වල තේරුම කුමක්ද කියා. ඒ ප්‍රශ්නය පළමු ප්‍රශ්න වලට වඩා වෙනස්. දිගම ගඟ කුමක්ද කියා අසන ප්‍රශ්නයට වඩා, යම් යම් ඇත්තන් කළ ප්‍රකාශ, කිසියම් පොතක ඇති ප්‍රකාශ යන මේවා තේරුම් ගත නොහැකිව අසන ප්‍රශ්න තියෙනවා. එකපාරටම ඇසුවාම තේරෙන්නේ නැති, එක වතාවක් ඇසුවාට හරි අදහසක් ඔළුවට යන්නේ නැති ප්‍රශ්න තියෙනවා. එවිට ඒ විෂය පිළිබඳ අපට වඩා දැනුමක් තිබෙන, අපට වඩා කාලයක් ඒ වෙනුවෙන් කැප කළ කෙනෙකුගෙන් අහන්න පුළුවන්. ඒ උගතා, බුද්ධිමතා, විශේෂඥයා ඒ පිළිබඳ පරිචයක් තියෙන විදිහට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. අප ඒ තරම් දුරට සිතා නැත්නම් ඒ පැහැදිලි කිරීම අපව විශ්මයට පත් කරවනවා. අප ඊට වඩා පොත් කියවලා නැත්නම් ඇත්තටම අප පුදුමයට පත්වෙයි. මේ තමා දෙවැනි වර්ගයේ ප්‍රශ්න. යමක් තේරුම් ගන්න විදිහ.

තුන්වෙනි වර්ගයේ ප්‍රශ්න. මේවා පොත්වලත් නැති කවුරුවත් කියලත් නැති ප්‍රශ්න. පළමු වර්ගයේ දී හිතන්න දෙයක් නෑ. ප්‍රශ්නෙයි උත්තරෙයි මතක තියාගන්න පමණයි තියෙන්නේ. දෙවෙනි වර්ගයේ දී  මතක තියාගන්නත් පුළුවන් නමුත් තේරෙන්නේ නෑ. එහිදි යමක් තියෙනවා තේරුම් ගන්න. තුන්වන අවස්ථාව තමයි අප හිරවුණු අවස්ථාවල ඇතිවන ප්‍රශ්න. අසනීපයක් ඇති වුනාම මොකද කරන්නේ? ඒ පිළිබඳ යමක් දන්නවානම් දන්න විදිහට කරන්න පුළුවන්. නමුත් අප දන්නේ නැත්නම් කළයුත්තේ කුමක් ද කියා, කෙනෙකුගෙන් අහන්න වෙනවා. එතන දී කලින්ට වඩා වෙනස් ප්‍රශ්නයක් අපට තියෙනවා. හිතන නිසා ඇතිවන ප්‍රශ්නයක් නොවෙයි. විඳීමක් තියෙනවා. වේදනාවක් තියෙනවා. නමුත් මේ වේදනාව නැති කරගන්නේ කොහොමද දන්නේ නෑ. ඒ වේදනාව කායික වෙන්න පුළුවන්. මානසිකව වෙන්න පුළුවන්. වෙන බාහිර අර්බුදයක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් අප විඳිනවා. එතනදී සාමාන්‍ය දැනීම උදව් වෙන්නේ නෑ. ඒවගේම අර දෙවැනි වර්ගයත් උදව් වෙන්නේ නෑ. ඒ මොනවා දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් අප අර්බුදයක ඉන්නවා “මොකද කරන්නේ” කියා. අපට සොයා ගන්න වෙනවා මේ ප්‍රශ්නයේදීත් කාගෙන්ද අහන්නේ කියා. ඒ තමා මේ වර්ගයේ ප්‍රශ්නවල පළමුවෙනිම කාරණය. අසනීපයක් තියෙන විට දකින දකින කෙනාගෙන් බෙහෙත් අහන්නේ නෑ. නමුත් දකින දකින කෙනාගෙන් අහන්න පුළුවන් කාගෙන්ද බෙහෙත් ගන්නේ කියා. “මට මෙහෙම හිසේරදයක්, බඩේ කැක්කුමක්, උණක් තියෙනවා. මේකට කාගෙන් බෙහෙත් ගත්තොත් හොඳයි ද?” කියන මේ ප්‍රශ්නයයි අප දන්න අයගෙන් අහන්න ඕනේ, බෙහෙත් නෙමෙයි. මොකද බෙහෙත් හැමෝම දන්නේ නෑ. ඉතින් ඒ අය වෛද්‍යවරුන්ගේ නම් කියන්න පුළුවන්. එයින් කෙනෙකුව තෝරාගෙන අපේ ප්‍රශ්නය කියන්නට වෙනවා. කායික රෝගයක් පිළිබඳව නම් වෛද්‍යවරයෙකුට, විදුලිය පිළිබඳ ප්‍රශ්නයක් නම් විදුලි කාර්මික ශිල්පියෙකුට කියන්න වෙනවා. වෙන දෙයක් පිළිබඳ ප්‍රශ්නයක් නම් ඒ පිළිබඳ දැනුමක් තියෙන, උපදෙස් දෙන්න පුලුවන් කෙනෙකුගෙන් තමයි ඒ අහන්න වෙන්නේ. එතනදි පිළිතුරක් ම පමණක් නොවේ විසඳුමකුත් බලාපොරොත්තු වෙනවා. තමන් මොකද කළයුත්තේ කුමක්ද? එතනදි අපට තියෙනවා කරන්නට යමක්. 

තුන්වන කාණ්ඩයේ ප්‍රශ්නත් එක්ක අපට වගකීමක් පැවරෙනවා. මොකද විඳින්නේ අප. ඒ වේදනාවෙන් අපව නිදහස් කරදෙන්න කියා නොවෙයි කාටවත් කියන්නේ. එසේ කීම තමා  යාඥාව. යාඥාවෙන් කරන්නේ ගලවාගන්න, නිදහස් කරගන්න, මේ වේදනාවෙන් මාව මුදවා ගන්න, මේ ප්‍රශ්නයෙන් මාව නිදහස් කරන්න කියා ඉල්ලා සිටීම. ඒ තමා යාඥාව. යාඥාවෙනුත් ප්‍රතිඵල තියෙනවා. එහෙම ප්‍රතිඵල නැත්නම් යාඥාව අවුරුදු දහස් ගණනක් පවතින්නේ නෑ. යාඥාවෙන්ම හැම ප්‍රශ්නයක් ම විසඳෙනවා ද නැද්ද? විසඳන්න පුළුවන්ද බැරිද? පුලුවන්නම් වෙන කිසීම දෙයක් අවශ්‍ය නෑ. යාඥාව පමණක් ම ඇති. හැබැයි තව දේවල් තියෙනවානේ ලෝකේ. යාඥාවට කලින් තිබුණ දේවල්. ඊට පසුව පැමිණි දේවල්. ඊට වඩා ප්‍රබලව ව්‍යාප්ත වූ දේ තියෙනවා. මෙතනදි කළයුතු යමක් තියෙනවා.  බෙහෙත් ගන්නට වෙනවා, නැත්නම් කෑම කන්නට වෙනවා ලෙඩක් නම්. එහෙම නැත්නම් ඊට අදාල ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න වෙනවා විසඳගන්න. මේ ආකාරයට තුන්වන වර්ගයේ ප්‍රශ්නවල බොහෝ කාරණා ඇතුළත් වෙනවා. ඒ අපේ වර්තමාන ගැටළුවක්, විඳීමක් සමඟ ඇති කරගන්න ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න තමා බොහෝවිට අපව අර්බුදවලට ලක් කරන්නෙත්, අපව ගැටළුවෙන් ගැටළුවට තල්ලු කරලා දාන්නෙත්. වැඩිපුර අවධානය යොමුකරන්න ඕනේ තුන්වන වර්ගයේ ප්‍රශ්න වලටයි. පළමු සහ දෙවන ප්‍රශ්න වලට එපමණ ලොකු අවධානයක් යොමු කිරීම අවශ්‍ය වන්නේ නෑ. නමුත් අවාසනාවකට බොහෝ විට ජීවිතයේ වැඩි කාලයක් නාස්ති කරන්නේ පළමු සහ දෙවන ප්‍රශ්න වලටයි. අනවශ්‍ය දැනුමක් පුරවාගන්න. අනවශ්‍ය දේවල් පිළිබඳ තර්ක කරන්න, විතර්ක කරන්න, වාද කරන්න, ඇහුම්කන් දෙන්න හා කියවන්න. එසේ ගොස් ඔළුව පුරවාගෙන ඉන්නේ. ජීවිතයේ කවදාකවත් ප්‍රයෝජනයක් ගන්න බැරිවුණු, ප්‍රයෝජනයක් ගන්න කවදා ලැබෙයිද කියලා දන්නෙත් නැති, තොරතුරු, දත්ත ගබඩා කරගන්න. ඒ මොළෙන් නම් වෙන වැඩක් අරගෙන නෑ. හැබැයි ප්‍රශ්න රාශියකට ජීවිතයේ මුහුණ දීලා තියෙනවා. එකම ප්‍රශ්නෙට නැවත නැවත මුහුණ දෙනවා. එකම මෝඩකම නැවත නැවත කරනවා. පුද්ගලයින්ගේ වෙනසක් නෑ. ඒ කියන්නේ අවාබෝධය පැත්තේ, ප්‍රතික්‍රියා දක්වන පැත්තේ ලොකු පැහැදිලි සංවර්ධනයක් නෑ.

හිතවතුනි, මේ සියල්ල අතර මුලින් ප්‍රශ්නයක් ඇහුවානේ ජීවිතයේ තේරුම කුමක්ද? ජීවිතයේ අර්ථය කුමක්ද? කියා. මේ ප්‍රශ්නෙත් අහනවා. මේ ප්‍රශ්නේ ‘ඇහෙන්නේ කොහෙන්ද?’ බොහෝවිට එබඳු ප්‍රශ්නයක් ඇසෙන විට උත්තරයක් දෙන්න පුළුවන්. ජීවිතයේ අර්ථය කුමක්ද? ඔය පොතක තියෙන කාරණයක් කියන්න පුළුවනි. ආගමික ඉගැන්වීමක් කියන්න පුළුවනි. එයින් අහන කෙනා සෑහීමකට පත්වෙන්නත් පුළුවනි. නමුත් ඉන් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නය අහන්නේ කවුද? අහන කෙනාගේ නම නොවෙයි. ඇහෙන්නේ කොහෙන්ද?. අහන කෙනාට ඇහෙන්නේ කොහෙන්ද? එයාට කොහෙන් හරි ඇහුන නිසානේ හඬනගා කටින් එළියට දමා විමසුවේ. බොහෝවිට කියනවා නිශ්ශබ්ද වෙලා ඔය ප්‍රශ්නය මතුවෙන තැන සොයාගන්න. ඇතුළේ ඉඳලා කවුද ඔබෙන් මේ ප්‍රශ්නය අහන්නේ? ජීවිතයේ අරුත කුමක්ද? ජීවිතයේ තේරුම මොකක්ද? කවුද මේ ප්‍රශ්නය අහන්නේ ඔබෙන්. ඒ තමා වැදගත්දේ. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ලේසියි. මොනවා හරි උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් ඒ පිළිතුරට වඩා වැදගත් වන්නේ ප්‍රශ්නය එන්නේ කොහෙන්ද? මතුවෙන්නේ කොහෙන්ද? කියන කාරණය. මෙය සාමාන්‍යයෙන් උපන් දවසේම ඇසෙන ප්‍රශ්නයක් නොවේ. එය බොහෝ අසාමාන්‍ය කාරණයක්. උපන් මොහොතෙම ඇයි ඉපදුනේ? මොකටද ඉපදුනේ? ඉපදෙනවා කියන්නේ කුමක්ද? ඉපදුනේ කොහේද? ජීවත් වෙන්නේ ඇයි? ඇයි ජීවිතේට ආවේ? මේවාගේ ප්‍රශ්න ඉපදුන ගමන් කෙනෙකුගේ සිතට නැඟෙන්නේ නෑ වගේ. එය බොහෝම අසාමාන්‍ය කාරණයක්. කුඩාම දරුවෙකුට උනත් වෙන වෙන දේවල් පිළිබඳව අර්ථය අහයි ජීවිතය  පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නෑ.

 නමුත් ජීවිතය පිළිබඳ ‘බොහෝ දේ කරන්නට තිබෙනවා’. ජීවිතය පිළිබඳ බොහෝ දෙනෙකුට කරන්නට දේවල් තිබෙනවා. ඒ දේවල් කරමින් සිටිනවා මිස ඇයි මේ දේවල් කරන්නේ? මේ සියල්ල කිරීමෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? මෙතෙක් කාලයක් මේ දේවල් කිරීමෙන් මොනවාද ලැබුනේ.? නොලැබුනේ කුමක්ද? මේවා ලැබුනාට ඇති ඵලය කුමක්ද? මෙහෙම හිතන්න වෙලාවකුත් නෑ. ජීවිතය කාර්ය බහුල වුනාම සිතන්න තියෙන වෙලාව අඩුවෙලා යනවා. විමසන්න තිබෙන කාලයත් අඩු වෙනවා. සිතන්නයි විමසන්නයි කාලය අඩුවන විට ජීවිතය යන්ත්‍රයක් බවට පත්වෙනවා. යන්ත්‍ර ප්‍රශ්න කරන්නේ නෑ. සාමාන්‍ය යන්ත්‍ර ප්‍රශ්න අහන්නේ නෑ අණ පිළිපදිනවා පමණයි. කළයුතු දේ කරනවා ප්‍රශ්න කිරීමකින් තොරව. ඉතින් එහෙම කාලයක් මනුෂ්‍යා යනවා (ගතකරනවා). ක්‍රීඩා කරමින්, විනෝද වෙමින්, ඉගෙන ගනිමින්, උපයමින්, විවාහ වෙමින්, ගෙවල් හදමින්, සංචාරය කරමින් කාලයක් යනවා (ගතකරනවා). එයින් වින්දනයකුත් ලබනවා. අත්දැකීමකුත් ලබා ගන්නවා. අගය කිරීමකුත් ලැබෙනවා. ප්‍රශංසාත් ලැබෙනවා. මේ සියල්ල අතර තමන් වැඩදායි, ඵලදායි පුද්ගලයෙක් කියන හැඟීම පුද්ගලයා තුළ ඇතිවෙනවා. නමුත් මේ හිස්බව පිළිබඳ දැනීමකුත් ඇතිවන්න පටන්ගන්නවා. මේ හිස් බව බිංදුව ගැන අප කළින් කථාකලා. ක්‍රීඩා වලින්, විනෝදයෙන්, අධ්‍යාපනයෙන්, සම්බන්ධතාවලින්, සමාජ සේවාවන්වලින්, දේශපාලනයෙන්, ආගමික කටයුතුවලින්, ඉපයීමෙන්, වියදම් කිරීමෙන්, ඉතිරි කිරීමෙන්, ගෙවල් සෑදීමෙන්, සංචාරය කිරීමෙන්, කියවීමෙන් මේ හැම දෙයකින්ම බිංදුව එහෙම නැත්නම් ‘හිස් බව වැහිලා’ යනවා. වැහිලා යනවා මිසක් නැතිවෙලා යන්නේ නෑ. ලෝකේ නැති කරන්න බැරි දේවල් වලින් එකක් තමයි මේ හිස්බව. මෙසේ කාලයක් මේ හිස්බව වැහිලා ගිහිල්ලා ‘කොහෙන් හරි එළියට එනවා’. ඒ තමා ස්වභාවය. කොහෙන් හරි එළියට එනවා. එළියට එන වේලාවල් තියෙනවා. අවස්ථා ගණනාවක් තිබෙනවා. සුලභම අවස්ථාව තමා විශාල බලාපොරොත්තුවකින්, ලොකු සතුටක් බලාපොරොත්තුවෙන් ලොකු ආයෝජනයක් කළාම, මූල්‍යමය ආයෝජනයක් හරි, කාලය පැත්තෙන් හරි, සිතුවිලි විදිහට හරි ලොකු ආයෝජනයක් කළාට පසුව එහි ප්‍රතිලාභයක් නැති තැන බිඳවැටෙනවානේ. අපේක්ෂාභංගත්වය ඇති වෙනවානේ. එවිට අපට දැනෙන්නේ හිස්බවක්.  එය ලොකුවට දැනෙනවා. මොනතරම් බලාපොරෙත්තු උනාද ඒ මට්ටමට ම හිස්බව දැනෙනවා ප්‍රතිලාභය නැත්නම්. දෙවෙනි අවස්ථාව තමයි සතුටක් නැති, සතුටුවෙන්න කුමක්ද කරන්නේ කියා සොයාගන්නත් නැති අවස්ථාව.  පළවෙනි අවස්ථාවේ සතුටු වෙන්න කරන්න ඕනේ කුමක්ද කියා දන්නා නමුත් එයින් සතුටක් නොලැබෙන අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ සතුටුවෙන්න කරන්න පුළුවන් සියල්ලම කර දැන් මොකක්ද කරන්න ඉතිරිව තියෙන්නේ කියා දන්නේ නැති අවස්ථාව. ආයේ අළුත් දෙයක් නැති වේලාවක් එනවා. හිතාගන්න බෑ. හැබැයි තාම සතුට ඉල්ලනවා. ජීවිතය ඇතුළින් කියනවා “මම හිස්, මම හිස්. මාව පුරවන්න”. මාව පුරවන්න කියන ඉල්ලීම දිගින් දිගටම කියනවා. හැබැයි දැන් මොනවාගෙන් පුරවන්න ද? එකතු කළ සියල්ලෙන්මවත් මේ භාජනය පිරුණේ නෑ. දැන් අලුතින් එකතු කරන්න දෙයක් නෑ. අන්න එතනදි ඔය හිස් බව ඇවිත් අපට තර්ජනය කරනවා, අභියෝග කරනවා. එතනදීත් ඔය ප්‍රශ්නය මතුවෙනවා. කුමක්ද මෙහි තේරුම? මොකක්ද ජීවිතයේ අර්ථය? ඒ සමඟම තමන්ට නොවුනත් වෙන අයට වෙන දේවල් දිහා බලලා. ඉතාම ධනවත්, ඉතාම ප්‍රබල, ඉතාම බුද්ධිමත්, ඉතාමත්ම ආගමිකව ජීවිතය ගතකළ ඇත්තන්ට එක්වරම විපත්ති වුණාම, ඒ අය කඩාගෙන වැටුනාම කායිකව හෝ මානසිකව නැතිනම් සමාජමය පැත්තෙන් කඩා වැටුනාම අප හිතනවා මොකක් ද මෙහි තේරුම. මේ තරම් ධනයක් තිබිලත් මේ මනුස්සයාට උදව්වක් වුණේනෑ. මෙච්චර බලයක් තිබිලත් පාරට වැටුණා. මෙපමණ දැනුමක් තිබිලත් වැඩක් වුණේ නෑ, ඇඳටම වැටුණා. මෙච්චර හොඳ ආගමික ජීවිතයක් ගත කරලත් මෙහෙම වැටිලා ඉන්නවා. අප තාම ඒ මට්ටමට වැටිලාවත්, එච්චර ඉහළට ගිහිල්ලාවත් නෑනේ. ධනයෙන්වත්-බලයෙන්වත් එච්චර ඉහළට ගිහිල්ලා නෑනේ. දැනුමෙන්-උගත්කමෙන්වත්, සමාජ පිළිගැනිමෙන්වත්, ආගමික ජීවිතවලින්වත් අප එපමණ ඉහළට ගිහින් නෑ තාම. අප සිතාගෙන සිටිනවා ඒ මට්ටමටවත් යන්න ඕනේ කියා. ඔවුන් පරමාදර්ශී චරිත විදිහට අපි පිළිගන්න නිසා. හැබැයි එතනට යන්න කලින් කන්ද පාමුලදීම දකිනවා අප තරණය කරන්න යන කන්දේ  මුදුන නාය යනහැටි. එතනදීත් අපිට ලොකු කම්පනයක් ඇතිවෙනවා මේ අයට මෙහෙම වෙනවා නම් අපිට මොනවා නොවෙයිද? ඒ කම්පනය එන්නෙත් මමත්වයෙන්. මමත්වයෙන් තමයි සියලුම කම්පන ඇතිවෙන්නේ. එවිට හිතනවා තේරුම මොකක්ද? හම්බකිරීමේ තේරුම කුමක් ද? දැනගැනීමේ තේරුම කුමක් ද? බලවත්වීමේ තේරුම කුමක් ද? සමාජ සේවාවල, ආගමික කටයුතුවල තේරුම මොකක් ද? මෙහෙමනම් අන්තිමට වෙන්නේ, ඒ කිසිදෙයක පිහිටක් නැති තැනකට නම් එන්නේ, ඒ කිසිදෙයකට බැරිවුනානම් මනුස්සයාව බලාගන්න, බේරගන්න ‘මොකක්ද තේරුම ජීවිතේ?’  තව පැතිවලිනුත් මේ ප්‍රශ්නය මතුවෙනවා.

මේ ප්‍රශ්නයට දෙන දාර්ශනික උත්තරයක් තියෙනවා කටඋත්තර නැතිවෙන (නිරුත්තරවන). එයනම් ජීවිතය කිසි තේරුමක් නෑ. අර්ථ ශූන්‍යයි. එහෙම කිව්වාම ඉන් එහාට කතා කරන්නත් බෑ. මේ සියළු අත්දැකීම් එක්ක, විඳවීම් සමඟ පිළිගන්න වෙනවා. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තියෙන්නට පුළුවන්. වෙනත් ශාස්තෘන්ගේ ඉගැන්වීම් ගෙනැල්ලා ඔප්පු කරන්නත් පුළුවන්. ජීවිතය කිසි තේරුමක් නෑ, හිස්, අනිච්ඡයි-දුක්ඛයි-අනත්තයි. මෙහෙම කිව්වාම මොකක්ද ජීවිතයේ තියෙන තේරුම. දූවිල්ලෙන් හැදිලා තියෙන්නේ. එහෙමත් ජීවිතය පිළිබඳව අර්ථකතන තියෙනවානේ. නැතිනම් සතර මහා භූතයන්ගෙන්. ධාතූවලින්. ඒවායේ තියෙන්නේ මොනවාද පඨවි-ආපෝ-තේජෝ-වායෝ. මේවා එකතුවෙනවා වෙන්වෙනවා. මේවායේ කිසි තේරුමක් නෑ. ඉතින් මේවගේ උත්තරයක් සමඟ ගමනක් යෑමක් නෑ. මෙයින් ප්‍රශ්නය විසඳෙන්නෙත් නෑ. හැබැයි සිත හදාගන්න පුළුවන්. ජීවිතයට අර්ථයක් නෑ කියලා හිත හදා ගන්න පුළුවනි. තාවකාලික වශයෙන් කෙනෙකුට නිශ්චල වෙන්නත් පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නය දිගින් දිගටම අභ්‍යන්තරයේ තියෙනවා. අහන අහන වේලාවට නැවත නැවත කියන්න පුළුවන්. “ජීවිතය අර්ථ ශුන්‍යයි. කිසිම තේරුමක් නෑ”. එහෙම වැඩිහිටි කෙනෙක් කියන විට ළමයෙකු සිතන්න පුළුවන් “එසේ කියන්නේ එම තැනැත්තා සියල්ල අත්දැකලා වෙන්න ඇති” කියා. “අප තාම අත්දැකලා නෑනේ. අපත් ඔය වයසට ආවාම ඒවා අත්දැක්කාම එහෙම කියන්නම්” කියා. මෙතන වයස පිළිබඳ ගැටළුවක්වත් අත්දැකීම් පිළිබඳ ගැටළුවක්වත් නොවෙයි තියෙන්නේ. ඒ වගේම මෙම ප්‍රකාශය, ජීවිතය අර්ථයක් නෑ කියන කාරණය ප්‍රඥාවෙන්  කියන දෙයකුත් නොවෙයි. අනවබෝධයෙන් කියන්නේ. ප්‍රශ්නයත් ඇහෙන්නේ අනවබෝධයෙන් පිළිතුරත් මතුවෙන්නේ අනවබෝධයෙන් අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් නඟන ප්‍රශ්නයකට අවිද්‍යාවෙන්ම දෙන පිළිතුරක් තමා මේ. අවිද්‍යාවෙන් තමයි ප්‍රශ්නය අහන්නේ, ජීවිතයේ අර්ථය කුමක්ද? ජීවිතයට අර්ථයක් නෑ, තේරුමක් නෑ කියලා පිළිතුර දෙන්නෙත් අවිද්‍යාවෙන්. මේ දෙක අල්ලගෙන පොත් ලක්ෂ කෝටි ගණනක් ලියලා තියෙනවා. මිනිස් ඉතිහාසයේ එදා-මෙදාතුර මේ සම්බන්ධයෙන් දේශනා කෝටි ප්‍රකෝටි ගණනක් සොයාගත හැකියි. විද්‍යාව ද, කලාව ද, ආගම ද මේ සියල්ලම මතුවෙලා තියෙන්නේ, ජීවිතයේ අර්ථය කුමක් ද යන ප්‍රශ්නය හා ජීවිතයට අර්ථයක් නෑ කියන පිළිතුර මුල්කරගෙන. මේ ප්‍රශ්නයට හා පිළිතුරට සියලුම විද්‍යාවන් හා සියළුම ආගම් ඇතුළත් කරන්න පුළුවන්.

මේ සියල්ලත් සමඟ පටලැවි පටලැවි සිටින්න පුළුවන්. මේ ප්‍රශ්නය කවදාකවත් සිහිබුද්ධිය අහන්නේ නෑ. බුද්ධිය අහන්න පුළුවන්. බුද්ධිය තමයි ඔය ප්‍රශ්න අහන්නෙයි, උත්තර දෙන්නෙයි. සිහිබුද්ධිය මතුවුනොත් ඒ සිහිබුද්ධිය ඉදිරියේ ඔය සියළු ප්‍රශ්න නිෂ්ප්‍රභාවෙලා යනවා. හැබැයි සිහිබුද්ධිය අහන ප්‍රශ්නයකුත් තියෙනවා. බුද්ධියට තමයි ජීවිතයක් පේන්නේ. මොකද ජීවිතයක් තියෙනවා කියන පදනමේ සිටගෙනනේ ඔය සියලූම ප්‍රශ්න ඇහෙන්නේ. බුද්ධිය කියනවා තියෙනවා කියලා. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් තියෙන එකනේ ජීවිතය කියන්නේ. ඒ පදනමේ ඉඳගෙන අහන ප්‍රශ්නයක්. හැබැයි වෙලාවක පේන්න පුළුවන් කෙනෙකුට මෙතන ජීවිතයක් නෑ, තියෙන්නේ ජීවත් වීමක් කියා. ජීවත්වීමක් මිස ජීවිතයක් නෑ. පෙන්නන්න පුළුවන්ද ජීවිතය. මෙන්න මෙයයි ජීවිතය කියා පෙන්නා දෙන්න පුළුවන් ද? පණ නෙවෙයි. අප දන්නේ නෑනේ. නමුත් පණ කියලා දෙයක් තියෙනවානේ. පණට නෙමෙයි නේ ජීවිතය කියන්නේ. කුමකටද ජීවිතය කියන්නේ. එහෙම පෙන්නන්න දෙයක් නෑ . එය වචනයක් පමණයි. වචනයකුයි ජීවිතේ. එච්චරයි ඉන් එහා දෙයක් නෑ. හැබැයි තිබිය යුත්තේ ජීවත්වීමක්. ජීවත්වීමකින් තොර ජීවිතයක් පිළිබඳවයි කතා කරන්නේ. එතනයි වරද. ඔය ප්‍රශ්නය අසන හා ඊට උත්තර දෙන හැම මොහොතකම ජීවිතයක් පිළිබඳව විශ්වාසයක් තියෙනවා. හැබැයි ජීවත්වීමක් නෑ. තියෙන්නේ ජීවත්වීමක් හැබැයි ඒ ජීවත්වීම ඇතුලේ නොසිට ඒ කියන්නේ ජීවත්නොවී විඳින්න පුළුවන්. අහන්න පුළුවන්. උත්තර දෙන්න පුළුවනි. 

මේ සිහිබුද්ධිය අහන පළමුවන ප්‍රශ්නය තමයි, ඔබ ජීවත් වෙනවාද? ඔබ ජීවත් වෙන බව දන්නවාද? මේ ප්‍රශ්නත් එක්ක එක පාරට අන් සියළු ප්‍රශ්න නිශ්ප්‍රභා වෙනවානේ. අර්ථයක් තියෙනවාද? නැද්ද? මොකක්ද ඒ අර්ථය?. ජීවිතය තියෙන්නේ මේ ලෝකේද? මැරුණට පස්සේද? මේ ප්‍රශ්න සියල්ලම අවලංගු කාසි බවට පත්වෙනවානේ සිහිබුද්ධිය මේ ප්‍රශ්නය ඇහෙන විට. අප ජීවත් වෙනවාද? ජීවිතය පැත්තකින් තියන්න. අප ජීවත් වෙනවාද? ඔබ දන්නවා ද ඔබ ජීවත් වෙනබව? කොහොමද දන්නේ? ඔබයි ජීවත්වීමයි කියන්නේ එකක් ද දෙකක් ද? ඔබ පැත්තකින් ඉන්නවා ජීවිතය වෙනම පැත්තක තියෙනවා එහෙම ද? නැතිනම් ඔබට ද ජීවිතය කියන්නේ? මෙන්න මේ කාරණා එක්කනම් අපට ගමනක් යන්න පුළුවනි. යා යුතු ගමනක් තිබෙනවා. ජීවිතය කියන්නේ උපතේ සිට කරන සෑම සියලු දෙයකට ම කියන නමක් නම් එහෙම කිවුවාට කමක් නෑ. මනුෂ්‍යයෙක් ඉපදිලා මැරෙන තුරු  කරන කියන හැමදෙයකටම එක නමක් කියන්න පුළුවන් නම් ඒ සියල්ලටම අන්න ජීවිතය කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් නෑ. ඒ ඇතුළේ හිතනවා, මතක් කරනවා, විඳිනවා, වැඩකරනවා, රණ්ඩුවෙනවා, බැණුම් අහනවා, ගහගන්නවා, සිල් ගන්නවා, භාවනා කරනවා, දන් දෙනවා, දේශපාලනය කරනවා මේ සියල්ලටම නමක් ඕන වුනාම ඔන්න ජීවිතය කියා කියන්න පුළුවනි. හැබැයි එහෙම දෙයක් නෑ. කොහෙවත් සොයාගන්න දෙයක් නෑ. මෙතන තියෙන්නේ ජීවත් වීමක්. ජීවත්වීමක් තිබෙනවා. එය තිබෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ තිබෙන්නේ. පළමුවන කාරණය මේ මොහොතේ ජීවත්වෙනවාද නැද්ද කියන කාරණය. මේ මොහොතේ ජීවත්වෙන බව  දන්නවාද නැද්ද කියන කාරණය. දෙවෙනි කාරණය තමයි, එහෙම නම් මේ මොහොතේ තේරුම කුමක්ද? ඔය ප්‍රශ්නය එන්නේ එතෙන්ට. අවසානයේ එතෙන්ට තමයි මේ ප්‍රශ්නය සිහිබුද්ධිය ගේන්නේ. මේ මොහොතේ අර්ථය කුමක්ද? කාගෙන්ද මේ ප්‍රශ්නය අප ඇසිය යුත්තේ? අහන්න කෙනෙක් නෑ. පිළිතුරු දෙන්න කෙනෙක් නෑ. හැබැයි ප්‍රශ්නය තිබෙනවා. මෙතෙන්ට අපි එන්න ඕනේ හිතවතුනි. මේ ප්‍රශ්නය අහන්න කෙනෙක් නෑ අපට. හැබැයි මේ තමා සැබෑම ප්‍රශ්නය හා එකම ප්‍රශ්නය. මේ මොහොතේ අප ජීවත්වෙනවාද? මේ මොහොතේ අර්ථය කුමක්ද? තේරුම කුමක්ද? තේරුමක් අර්ථයක් මේ මොහොත ඇතුළේ තියෙනවාද? නැත්නම් මේ මොහොත අර්ථවත් කර ගැනීම, අපේ අතේ ඇති කාර්යයක් ද? බලන්න මේ ප්‍රශ්නය කොපමණ දුරට අප අපේ ලඟට, අපේ අතට, අපේ කරමතට, උර මතට ගන්න පුළුවන්ද කියා. මේ මොහොත අරුත්බර මොහොතක් කර ගැනීමේ වගකීම තියෙන්නේ අපිට. අර්ථශූන්‍ය කර ගැනීමත් අපේ අතේ තියෙන්නේ. වැඩිපුර කරන්නේ මේ මොහොත අර්ථශූන්‍ය කරගැනීම. ඒ නිසානේ කාලයක් යනකොට කියන්නේ කරගත්ත දෙයකුත් නෑ. ඉතිරි වුනු දෙයකුත් නෑ. මතකයන් ටිකක් පමණයි තියෙන්නේ. මොකක්ද තියෙන ඵලය. මේ අතීතයට දුක්වෙලා වැඩක් නෑ. අතීතයට දුක් වෙන්නත් නාස්ති කරන්නේ මේ මොහොතනේ. පසුතැවෙන්න නාස්ති කරන්නෙත් මේ මොහොත. කොහොමත් ඵලක් නෑ පසුතැවෙන්න පාවිච්චි කළොත් මේ මොහොත. පසුතැවෙන්න නොවෙයි හිතවතුනි, මේ මොහොත අරුත්බර මොහොතක් කරගන්න. මේ මොහොතට පණ දෙන්න. මේ මොහොතට ජීවය දෙන්න. මේ මොහොතට සජීවි වෙන්න. මේ මොහොත ආයේ එන්නේ නෑ. අප දන්නවානේ මේ මොහොත ආයේ එන්නේ නෑ. හැබැයි අපට විශ්වාසයක් තියෙනවා, මේ මොහොත නැති වුනාට කමක් නෑ, මොහොතක් නෙමෙයි අවුරුදු ගණනක් අපට ඉස්සරහට තියෙනවා. එහෙම විශ්වාසයක් තියෙනවා. රුපියලක් නැති වුනාට කමක් නෑනේ කෝටියක් ලැබෙන්න තියෙනවා නම්. කවුද නැතිවෙන රුපියලක් ගැන දුක්වෙන්නේ කෝටියක් හම්බවෙන්න තියෙනවා නම්. මුදල් පැත්තෙන් නම් එහෙම විශ්වාසයක් තියන්න පුළුවන්. කාලය පැත්තෙනුත් පුළුවන් විශ්වාසයක් තියන්න. හැබැයි අවුරුදු ගණනක් ලැබුණත් හිතවතුනි, මේ මොහොත ආයේ ලැබෙන්නේ නෑ. මෙතෙක් කල් අපට ලැබුණු අවුරුදු ගණනින් මේ මොහොත ලබාගෙන තියෙනවාද? මේ මොහොත කියන්නේ ලැබෙන දෙයක් නොවෙයි. ලබා ගතයුතු දෙයක්. ඒ නිසා හැම දෙනාටම මේ මොහොත ලැබෙන්නේ නෑ. කාලය ලැබෙනවා. මේ මොහොත ලැබෙන්නේ නෑ. මේ මොහොත ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුටයි. මේ මොහොත ලබා ගන්නේ බොහොම ටික දෙනෙක්. මේ මොහොත ලබාගත්ත කෙනාට පමණයි, මේ මොහොත අර්ථවත් කරගන්න පුළුවන්. එහෙම නැතිනම් අර්ථශුන්‍ය නිෂ්ඵල අවුරුදු ගණනක ජීවිතයක් පමණයි, ජීවිතයක් පිළිබඳ මතකයන් පමණයි ඉතිරි වෙන්නේ සහ අරගෙන යන්න වෙන්නේ. ජීවත් වෙලා නෑ. සිහිබුද්ධිය ඇතිවුන මොහොතේ තමයි මේ මොහොත පහළ වෙන්නේ. වෙන කිසිම දෙයක්වත් නොවෙයි මේ මොහොත දෙන්නේ. ඔරලෝසුවවත්, දින දර්ශණයවත් නොවෙයි. මේ මොහොත දෙන්නේ සිහිබුද්ධිය. මේ මොහොතේ කළයුතු වඩාත් සුදුසුම දේ සිහිබුද්ධියට තමයි තේරෙන්නේ. සිහිබුද්ධිය නැතිනම් පසුවට ඉතිරි වෙන්නේ,  අපරාදේ කළේ, අපරාදේ කිව්වේ, අපරාදේ නොකර හිටියේ ආදි ලෙසින් පසු තැවිල්ල පමණයි.

හිතවතුනි මේ කාරණය දිගටම සාකච්චා කරන්න පුළුවන්, දිගටම හිතන්නත් පුළුවන්. සිතීම සහ සාකච්ඡා කිරීම වෙනුවට, මේ අපි විවෘත වුනු තැනට, අපි එකතු වූ තැනට අවධානය යොමුකර බලමු. මේ මොහොත තියෙන දෙයක් ද? අපි නිදාගෙන හිටියත් ඇවිද්දත් මේ මොහොත කියලා දෙයක් තියෙනවාද? නැතිනම් සිහි බුද්ධියට පමණක් ස්පර්ශ කරන්න පුළුවන්, අත් දකින්න පුළුවන්, සිහිබුද්ධිය ඇතිවෙන විට ඇතිවෙලා සිහිබුද්ධිය නැති වෙන විට නැතිවෙන දෙයක්ද? හරියට විදුලි අකුණක් ඇතිවන විට මතු වන ආලෝකය වගේ දෙයක් ද? එහෙම නම් මේ මොහොතින් කළ යුතු වඩාත්ම අර්ථවත් කාර්ය කුමක්ද? මේවා තව කෙනෙක් ගෙන් අසන්න නෙමෙයි, අපි මේවා අපේම භාවනාවෙන් අසමු.

භාවනාව 

ජීවත් නොවන ජීවිතයක්ද, ජීවත් වීමක් මිස ජීවිතයක් නැති ස්වභාවයක්ද පෙනෙන්නේ අත් දකින්නේ?. නැවතත්  අවධාරණය කළොත් දකින්නේ කුමක්ද, හිතන්නේ නොවෙයි අත් දකින්නේ කුමක්ද, ජීවත්වීමකින් තොර  ජීවිතයක්ද නැත්නම් ජීවිතයක් නෑ ජීවත් වීමක් තිබෙනවා, හිතන්නේ පිළිගන්නෙ විශ්වාස කරන්නේ කුමක්ද කියන කාරණය නොවේ වැදගත්, අත්දකින්නේ කුමක්ද, ඒ ගැන වඩ වඩාත් දැනුවත් වෙන්න ඒ කෙරෙහි වඩ වඩාත් සජීවී වෙන්න.

මේ විමසිලි බවත් විවෘතභාවයත් සමග දයාබර කළණ මිතුරනි අහන්න කියන්න යමක් තිබෙනවා නම් එයට මෙය අවස්ථාව කර ගනිමු.

සාකච්ඡාව

ප්‍රශ්නය : පසුගිය දේශනයේදී ඔබතුමා සඳහන් කළා බිංදුව ඉතාමත් ප්‍රභලයි, ඒ වාගේම එය හැම විටම හිස් බවින් තියාගන්න ඕන කියලා. ඒකට එකතු වෙද්දී ගැටෙන ගතිය වැඩියි සංකීර්ණ තත්ත්වයක් ඇතිවෙනවා කියලා.  බිංදුව තුළට ලබා නොගත යුත්තේ උපාදාන වලින් හැදෙන ස්පර්ශයන්ද?

 පිළිතුර : බිංදුව තුළට භෞතික දේවල් නම් දාන්න බෑ. හැබැයි උපාදාන කරගන්නේ භෞතික දේවල් තමයි, මොකද උපාදාන කියන්නේ අල්ලා ගැනීම. එතකොට අල්ලාගන්නේ භෞතික දේවල්. භෞතික දේවල් අල්ලා ගන්නවා කියන්නේ මනස විසින් කරන කාර්යයක්. මනසින් කරන හැබැයි මනසින් අල්ලා ගන්න බැරි දේවල් මනසින් අල්ලගත්තා කියලා මනසම රැවටීමක් වෙන්නේ. භෞතික දේවල් භෞතිකව අල්ලා ගන්න පුළුවන් හැබැයි මේවා හිතින් අල්ලා ගන්න බෑ. බැරි උනාට හිතට ඒවා අල්ලා ගත්තා කියා හිතාගන්න පුළුවන්. මේවා මගේ කියලා හිතාගන්න පුළුවන් හිතට. මම මේවයෙ අයිතිකරු කියලා හිතාගන්න පුලුවන්. හැබැයි කිසිම දේක අයිතිකාරයෙක් වෙන්න බෑ. ශරීරයට පිළිවන් යම් යම් දේවල් අයිතිකරගන්න නමුත් හිතට බෑ. බැරි උනාට එයාට හිතාගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඉතින් මේ තමා ලොකුම මුලාව. එයාගේම සිතිවිලිවලට එයාම රැවටෙනවා. උපාදානය කියන්නේ රැවටීමක් මිස ඇත්තටම සිදු වන දෙයක් නොවේ. හැබැයි රැවටුනු ලෝකය ඇතුලේ උපාදානය ඇත්ත. හීනයක් ඇතුලෙ විඳීම සතුටුවීම ඒ සියල්ල ඇත්ත. හැබැයි හීනය ඇතුළෙ පමණයි. ඒ වගේ මේ රැවටීම ඇතුලේ මේ උපාදානය ඇත්ත. නමුත් ඇත්තටම නම් ඔය හීන ඇතුලේ කිසි දෙයක් නෑ, රත්තරං මුතු මැණික් කිසි දෙයක් තබා ගන්න බෑ. එතකොට බිංදුව බිංදුවම තමයි. බිංදුව ඇතුලේ අප හිතුවට තියෙනවා කියලා කිසි දෙයක් නෑ. නැති වුණාට තියනවා කියලා හිතාගන්න පිළිවන්. එතකොට මෙතන තියෙන්නේ හිතා ගැනීමක් මිස සැබෑවටම ලංවුන දේවල් හා අයිති කර ගත්ත දේවල් නොවෙයි. ඒ නිසා උපාදානය නැති කරගන්න ඕනෙ හිතින්මයි. බිංදුව බිංදුවම තමයි. ඒ නිසා එය පිරිමවත් හිස් වෙන්නේවත් අඩු වැඩි වෙන්නේ වත් නෑ.ශුන්‍ය අඩු වැඩි කරන්න බෑ. හැබැයි ඉතින් හිතාගන්න පුළුවන්නේ. ඕන දෙයක් හිතා ගන්න පිළිවන්. මෙතන තියෙන්නේ වැරදි හිතීමක්. වැරදි සිතීම තමයි හඳුනාගෙන අත්හරින්න තිබෙන්නේ.

ප්‍රශ්නය : තමන් ඉන්න තැන  තේරුම් අරගෙන වෙනස් වෙන්න ඕනේ කියන සිතිවිල්ලක් තියෙනවා. හැබැයි ඒ සමගම ඒ සිතුවිල්ලට දේවල් එකතු වෙනවා. එතකොට ගැටුමක් ඇතිවෙනවා. කොහොමද මේක වෙන් කර ගන්නේ?.

පිළිතුර : ගැටුමින්ම තමයි ඔය සිතිවිල්ල ඇති වෙන්නේ. ඉන්න මම මගේ අඩුවක් තියෙනවා. ඒ නිසා නේ මම වෙනස් වෙන්න ඕන. මගේ මොනවා හරි අඩුවක් තිබෙනවා. අඩුවක් තියෙනවා කියලා අප හිතනවා. සිතූ විට පෙනෙනවා දැනෙනවා. ඒ නිසා සිතිවිල්ලක් ඇති වෙනවා එහෙම නම් මෙහෙම නොවෙන මමෙක් ඊට වෙනස් කෙනෙක් වෙන්න ඕන කියලා. එතකොට ඇත්තටම ඔය සිතුවිල්ල නිසාම ගැටෙනවා නොවෙයි, ගැටීම නිසා තමයි ඔය සිතිවිල්ල ඇති වෙන්නේ. ඉන්න මමට මම කැමති නෑ, ඉන්න මට මම පිළිගන්න බෑ, ඉන්න මම මමව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ මොහොතේ ජීවත් වීම නැත්තෙ ඔය නිසා. මේ මොහොතේ අප කරන්නේ එක්කෝ පිළිගැනීමක් නැත්නම් ප්‍රතික්ෂේප කිරීමක්, එක්කෝ ඇලීමක් නැත්නම් ගැටීමක්. ඒ දෙක නොකර මේ මොහොත තේරුම් ගන්න අප උත්සාහ කරනවා අඩුයි. ඒ නිසා ඔය සිතිවිල්ල අල්ලාගෙන තව ඉස්සරහට යනව වෙනුවට ඇයි මම වෙනස් වෙන්න ඕන, මොකක්ද මේ මොහොතේ තියෙන ප්‍රශ්නය, එතනට එන්න.  සිතිවිල්ලත් එක්ක ඉස්සරහට යෑම වෙනුවට ඇයි මෙහෙම හිතෙන්නෙ කියල බලන්න. දැන් යෝනිසෝමනසිකාරයෙ එක ක්‍රියාකාරිත්වයක් තමයි ඇතිවුණේ කොහොමත් කියලා බලන එක. එතකොට මේ මොහොත් එහෙම හිතෙන්නේ ඇයි, මොකක්ද මේ මොහොතේ තියන වරද, එහෙම බලන්න. මෙතන දකින්නේ නැතුව අපි ඇලෙනවා ගැටෙනවා, ඇලීම ගැටීම උඩ තමා අනිත් ප්‍රශ්න සියල්ලම මතුවෙන්නේ. අපි ඇලෙන්නෙ ගැටෙන්නෙ මේ මොහොතට, මේ මොහොතේ වෙන දේට සිදුවන දේකට. හැබැයි ඒ සිදුවන දේ අපි තේරුම් ගන්න ඕන. තේරුම් නොගැනීම නිසයි ඇලෙන්නෙ ගැටෙන්නෙ. ඇලුනොත් මේ විදිහට අපි දිගටම ඉන්න බලනවා, ගැටුනොත් වෙනස් වෙන්න බලනවා. මේ දෙකම වෙන්නේ තේරුම් නොගැනීම නිසා. ඉතින් මෙතන කරන්න තියෙන්නේ තේරුම් ගැනීම පමණයි, අවබෝධ කර ගැනීම පමණයි. අවබෝධය ආවොත් ඉන් එහාට එතන බිංදුවට ඇලෙන්න දේකුත් නෑ ගැටෙන්න දේකුත් නෑ, කවුද බිංදුවක් එක්ක ඇලෙන්නෙ ගැටෙන්නෙ?. ඇලෙන්නෙ ගැටෙන්නෙ එතන ප්‍රශ්නයක් දැක්කොත්. ප්‍රශ්නයක් නැත්නම් ඇලෙන්න ගැටෙන්න දෙයක් නෑ. වෙනස්වීමක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. හැබැයි වෙනස් වීම වෙන්න ඕන ඇලිලා ගැටිලා නොවෙයි. ඇලුනොත් ඒ දේ තියාගන්න අපි වෙනස් වෙන්න බලනවා, ගැටුනොත් ඒ දේ නැති කරගන්න වෙනස් වෙන්න බලනවා. මුළු ජීවිතේම අපි වෙනස් වෙමින් ගියේ ආකර්ෂණ හා විකර්ෂණ නිසා, එහි ඉවරයක් නෑ. ආකර්ෂණයකට වෙනස් උනහම ටික දවසකින් ඒකටත් ආයෙ විකර්ෂණයක් ඇතිවෙනවා, මේකට අවසානයක් නෑ. මේකට තමා සංසාරය කියන්නේ. හැබැයි මේ මොහොතේ බැලුවොත් මෙතන ඇලෙන්න දේකුත් නෑ ඇලෙන්න හැකියාවකුත් නෑ, ගැටෙන්න දේකුත් නැහැ ගැටෙන්න ක්‍රමයකුත් නෑ, නැති වුණාට අපි හිතලා ඇලෙනවා ගැටෙනවා. හිතල අඬන්න සතුටු වෙන්න දුක් වෙන්න පුළුවන්, සිදුවීමක් අවශ්‍යය නෑ. මේ මොහොතට අවධානය යොමු කරන්න යොමු කරන්න වෙනස් වීමකට වඩා පැවැත්මකට වඩා, වෙනස්වීම සහ පැවැත්ම මේ දෙක අතර තමා  අපි දොලනය වෙන්නේ, එක්කෝ වෙනස් වෙන්න බලනවා නැත්නම් පවතින්න බලනවා. ඔතුමාගේ ප්‍රශ්නය තිබෙන්නේ මීට වඩා අපි සිහිබුද්ධිය ඇති කරගන්න ඕන, ආධ්‍යාත්මිකව වැඩි දියුණු වෙන්න ඕන කියන කාරණය, ඒ වෙනස් වීම ගැන නේ. ඒ වෙනස් වීම උනත් මෙතනින් පටන් ගන්න පුළුවන් නම් මේ මොහොත ඇතුලෙ සියල්ලම තිබෙනවා, වෙන කොහෙවත් නෑ මේ මොහොත ඇතුලේ තමයි සියල්ලම තිබෙන්නේ. එතකොට අපි බලන්න ඕන මේ මොහොතේ අපි යම්කිසි දෙයකට බැදෙනවද  බැඳිලා ඒ විදිහට දිගටම ඉන්න බලනවද එහෙම නැත්නම් එහි ප්‍රශ්නයක් දැකලා වෙනස් වෙන්න බලනවද. ඒ දෙදිශාවටම අපි යන්න හදන්නේ මේ මොහොත අපි හරියට තේරුම් නොගන්න නිසා, මේ වෙලාවේ වෙන දේ හරියට දන්නෙ නැති නිසා. ඒ නිසා වෙනසක් කරගන්න ඕන නම් කරගත යුතු එකම වෙනස තමයි වඩාත් ගැඹුරින් මේ මොහොත දැකීම, වෙන වෙනසක් නෑ, එක වෙනසයි තියෙන්නෙ, මේ මොහොතට වඩාත් සාවධාන වීම සහ වඩාත් අවදිමත් වීම.

ප්‍රශ්නය : හැමවෙලේම හිත ඇතුලේ ඉන්නවා මදි මදි කියන කෙනෙක්, ඉදිරියට යන්න උත්තරයක් හොයන්න කියන කෙනෙක්.

පිළිතුර : එහෙම කෙනෙක් ඉන්නවා එහෙම ස්වභාවයක් තිබෙනවා. එහෙම නැත්නම් ලෝකෙ මෙහෙම වෙන්න බැහැ අප මෙහෙම ඉන්නෙත් නෑ. එයා තමයි මෙපමණ කල් අපව එක්කන් අවේ. මොන කාරණය පිළිබඳවද අප උනන්දු වෙන්නෙ, ඒ ඔස්සේ අපව දක්කනවා මදි මදි කියලා. දැන් එයාට වැදගත් නැහැ අප උනන්දු වෙන්නෙ කුමකටද කියන කාරණය. කුමක් සම්බන්ධයෙන් වුණත් පැවැත්මයි අවශ්‍යය. ඉතින් මේ අපව දක්කන කෙනා දකින්න ඕනේ. අපේ ඔලුව හැරෙන්නේ කොහාටද ඒ දිශාවට අපව දක්වනවා. එයා කවදාවත් අපේ ඔලුව හරවන්නෙ නෑ. ඔලුව හරවන්නේ වෙනම කෙනෙක් ඒ පැත්ත නෙමේ මේ පැත්ත හොඳයි කියා. මෙහෙම බැලුවම අප ඒ මේ පැත්තට හැරි හැරී දිව්වා මිස ගිය තැනක්වත් ගමනාන්තයක් වත් ලැබූ දෙයක් වත් නෑ. මොනවා හරි ලැබෙන්න නම් අප ගමනාන්තයකට යන්න අවශ්‍යයි. හොඳට බලන්න ගිය පාරවල් වල කෙළවරකට ගිහින් තියෙනවද කියලා?. කෙළවරකට ගිහිල්ලා යන්න තැනක් නැති නිසාද ආපහු හැරුනේ නැත්නම් යන අතරමග වෙන සිතිවිල්ලක් ඇවිල්ලා ඔලුව එකපාරටම හැරුණද?. ඊට පස්සේ ඒ පැත්තට දුවනවා. ඉතින් මේ විදිහට බාගෙට කාලෙට දිව්වොත් දිවීමක් හැර කවදාවත් ගමනාන්තයට ගිහින් නෑ, කවදාවත් ගමනාන්තයකුත් නෑ මේ ගමනේ. මෙයත් හිටපුවාවේ. මෙයත් එක්ක අපට ගැටුමක් නෑ. එයා කියන දේටත් ඇහුම්කම් දෙන්න. එයා විතරක් නෙවෙයි මෙතන ඉන්නේ. එයා විතරක් නම් ඉන්නෙ මෙතන තේරීමක් නෑ, එහෙ මෙහෙ දුව දුවා ඉන්න එක තමයි තියෙන්නේ. නෑ, මෙතන තව කෙනෙක් ඉන්නවා. “ දුවන්න එපා, නවතින්න ! ” කියන කෙනෙකුත් ඉන්නවා. එයාවත් අපිට ඇහෙන්න ඕන මේ වෙලාවේ. වැඩිපුර එයාට ඇහුම්කන් දෙන්න. මෙතන ඉන්න කාලය වැඩි කරගන්න ටික ටික. දිවීම එකපාර නැවතුනෙ නැති වුණාට කමක් නෑ, හැබැයි දිවීම් දෙකක් අතර නැවතීමේ කාලය වැඩි කරගන්න. දැන් අපි නවතින්නේ නැතිව දිවීමක තමයි ඉන්නේ. එක තැනකවත් විරාමයක් නෑ විවේකයක් නෑ. දැන් සිහිබුද්ධියෙ කාලයත් එක්ක නැවතීමේ කාලය වැඩි වෙනවා. දිවීමේ කාලය අඩු වෙනවා. මෙන්න මේ තැනට එන්න. මෙතනින් තමයි අපිට මේ ප්‍රශ්නේ විසදාගන්න පිලිවන්.

දයාබර අධ්‍යාත්මිකව මිතුරනි, අවස්ථාවන් අඩු වෙවී යනවා. එනිසා මෙය අවසාන අවස්ථාව කියලා හිතුවට කමක් නෑ, මොකද එය ඇත්ත වෙන්න තියෙන ඉඩ වැඩියි, තව අවස්ථා ලැබෙයි කියන හීනයට වඩා. ඉතින් මේ අවසාන අවස්ථාව නම් අපි කොයි විදිහට අහයිද හිතයිද භාවනා කරයිද වැඩ කරයිද වැඩ අත්හරියිද, එහි ලොකු වෙනසක් තියෙනවා.

අද අපි ප්‍රශ්න වර්ග තුනක් ගැන කතා කළා. තුන්වන වර්ගය ප්‍රශ්න වලට තමයි මේ ජීවිතයේ අර්ථය පිළිබඳ ගැටලුව එන්නේ. එතනදී ඒ කාරනය මතු වෙන හේතු තුනක් ගැන කතා කළා, මෙතන වැදගත් වෙන්නේ ජීවත් වීම මිස ජීවිතය නොවන බව. ජීවිතය කියන්නේ සිතිවිල්ලක්, ජීවත් වීම කියන්නේ අත්දැකීමක්. මේ මොහොත තමයි අපට තියෙන එකම සම්පත. හැබැයි ඒ සම්පතත් විපතක් කරගන්නේ ලොකු අවාසනාවකට. අපිට අපි ඇතුලෙන්ම ලැබෙන ලොකු උදව්වක් තිබෙනවා මේ මොහොත සජීවී කරගන්න, බාහිරින් නොවෙයි ඇතුළෙන්ම. ඒ ඇතුළෙන්ම ලැබෙන උදව්වට කෘතවේදී වෙමින් කල්‍යාණ මිත්‍රවරුනි අපි සමුගනිමු.

 සැමදෙනාටම සෙතක්ම වේවා ! ශාන්තියක්ම වේවා !!  සැනසිල්ලක්ම වේවා  !!!