සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 02


2021 ඔක්තෝබර් 13, සාරාංශය


“යහපත් ජීවිතය හරවත් ජීවිතයක් බවට පරිවර්තනය කරන්නේ සිහිබුද්ධියයි.”


අපි කරන හොඳ හෝ නරක ක්‍රියාවට අනුරූපව ප්‍රතිඵල ලැබෙනවා. පුරුද්දට, පෙළඹීමට, බලකිරීම නිසා, අනකිරීම නිසා, හෝ යාන්ත්‍රිකව කෙනෙකුට තමන්ටත් අන් අයටත් පලක් ප්‍රයෝජනයක් වන ආකාරයේ ජීවිතයක් ගත කරන්නට පිළිවන්. ඒ වගේම ත්‍යාගශීලී සිල්වත් ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. සංස්කෘතික හෝ සමාජ බලපෑම නිසා, පෙළඹවීම නිසා, කාලීන පුරුද්දක් නිසා, හෝ  යාන්ත්‍රිකව කළත් කර්මය ස්වභාවික නීතියක්, කාටත් පොදුයි, බොහෝ දුරට සාධාරණයි, නමුත් සර්ව සර්ව සාධාරණ නෑ. මේ සංසාරයේ කිසිම දෙයක් සර්ව සාධාරණ නෑ


සංසාරය කියන්නෙම සමස්ත අසාධාරණයකට, අයුක්තියකට. ඒ බව පිළිගන්න අකැමැති  අපේ හිත කියනවා එබඳු සර්ව සාධාරණ තැනක් හෝ මොහොතක් සංසාරේ කොහේ හෝ ඇති කියා.මේ රැවටීම තමා අපිව සංසාරයේ තබාගන්නේ. මේ රැවටීම පසුපස දුවන කෙනාටයි සත්වයා කියන්නේ, සංසාරික සංක්‍රමණිකයන් කියන්නේ. අපි සර්ව සාධාරණත්වයක් හොයනවා මේ අසාධාරණ සංසාරයෙන්. 

“නැති දෙයක් ඔබ ඉල්ලන්නේ, දිය නොහැකි දෙයක් තමා ඔබ ඉල්ලන්නේ” කියා මේ රැවටීම පසුපස දුවන අපට, සසර හිනැහෙනවා. ඒ නිසාමයි අපි මෙයින් නික්ම යා යුත්තේ. 


අප රැවටෙන්නේ කෙසේදැයි සිහිබුද්ධිය අපට පෙන්වා දෙනවා.හැම සිදුවීමක්ම මෙහෙමයි වෙන්න ඕන, මෙහෙම නොවෙන්නට ඕන කියලා අපිම හදාගන්න රාමුවකට සියල්ල දානවා, අපි අපවත් රාමුවකට දානවා, අනිත් අයත් දාන්න උත්සාහ කරනවා. කොටින්ම ආගමත්, පින්කමත්, සහ භාවනාවත්. මේ හැම කෙනෙක්ම දෙයක්ම ඒ රාමුව තුළ තියෙනකම්, පවතිනකම් අපි සතුටු වෙනවා, අපි හිතනවා සාධාරණත්වය මෙයයි කියා. නමුත් ඒ රාමුවෙන් පිට පනින කොට (භාවනාව වුණත්) ඒ රාමු හදාගත්ත හිතට රිදෙනවා. 

නිතර ඇහෙන පැමිණිල්ලක් තමයි “මම කාටවත් කරදරයක් කළේ නෑ, හොඳින් ජීවත් වුණා, ඇයි මට මෙහෙම විපතක් උනේ?”. නමුත් ඒක එහෙම නොවෙයි කියන්න නීතියක් නෑ. එතනදී අපි හිතින් හදා ගත්තු නීති බලාපොරොත්තු මේ සසරට දාන්න හදනවා. නමුත් සසර දුවන්නේ එයට අදාල නීති රීතිවලට අනුව. අපි හදාගන්න මේ රාමු හරියට කූඩු වගේ. අපි කූඩු හදනවා සුරතල් සතුන්ට. ඒ සතුන් අපේ කූඩු ඇතුලේ ඉන්නකම් අපිට සතුටුයි. අපි හිතෙන් හදාගන්න නොපෙනෙන කූඩු මේ පේන කුඩු වලට වඩා වැඩි.


පුද්ගලයෙක් දකින කොටම මෙයා මෙහෙම කෙනෙක් නැත්නම් මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියල හිතනවා, එහෙම හිතනවා කියන්නෙම කුඩුවක් හදල ඉවරයි. පුද්ගලයන් ඉන්නේ අපේ හිත ඇතුලේ, එළිය නොවෙයි, ඒ එළියෙ ඉන්නව කියල හිතන කෙනා පිළිබඳ මවාගත් චරිතයක් හා හදාගත්ත ප්‍රතිරූපයක් හිත ඇතුලෙ තියෙනවා. ඒ ප්‍රතිරූපය හදපු හිත ඒ හිත විසින් ම හදපු කූඩුවක් තුළට දානවා, දාලා වහනවා .ඊට පස්සේ වරින් වර බලනවා ඒ විදිහට හැසිරෙනවාද කියලා. බලන්නේ ඇස් දෙකෙන්, කූඩුව තියෙන්නේ හිතේ, පුද්ගලයා ඉන්නේ එලියේ, එලියේ ඉන්න පුද්ගලයා දිහා ඇස් කරල බලනවා කොහොමද හැසිරෙන්නෙ කියලා, අර හිතේ තියෙන අදුශ්‍යමාන කූඩුව තුළට දාලා බලනවා කූඩුව ඇතුලේ හොඳින් ඉන්නවා ද කියලා. හොඳින් ඉන්නවා නම් හිතට සතුටුයි. හැබැයි එසේ නැත්නම් හිත රිද්ද ගන්නවා. ඒ රිදීම වැරැද්ද අර බාහිර පුද්ගලයාට දානවා. ඉතින් අර්බුදය ගැටුම පටන් ගන්නවා. මේ අර්බුදය බාහිරෙන් ඉන්න පුද්ගලයන් සමග පමණක් නෙමෙයි, අපි අප ගැනමත්, බාහිර හැම දෙයක් සමගත් තියෙනවා. යමක් දුටු සැනින්ම ක්ෂණිකවම අපි කූඩුවක් හදලා ඉවරයි, මේක මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මේ විදියට ඉන්න ඕනේ, මේ විදිහට පවතින්න ඕනේ කියලා. මේ සියල්ලම සිදු වන්නේ නොදැනුවත්වමයි. මේ විදිහටයි අපි සංසාරේ හදාගන්නෙ. එහෙම හදාගන්න සංසාරේ අපිට ඕන විදිහට තියෙන්නෙ නෑ, එතනයි ප්‍රශ්නේ, අපිම නිර්මාණය කළ සංසාරේ පවතින්නේ අපිට ඕන විදිහට නෙමෙයි.

 

මේ අච්චුත් අච්චු හදන හිතත් නම්‍යශීලි නෑ, මේ භෞතික ලෝකය නම්‍යශීලී නොවන අච්චුවකට හිර කරන්න හදනවා. මේ අරගලය තමයි සංසාරය තුළ පවතින්නේ.අපේ සියලුම ගැටලු, ප්‍රශ්න, ආරවුල්, අසහනයන්ට, කලකිරීම් වලට මූලිකම හේතුව තමා මේ අච්චු. වෙනස් වන සංසාරයකට නොවෙනස්වන අච්චු හදා ගැනීම, නොවෙනස්වන පැවැත්මක් සොයන එක,සොයන දේ සොයන ප්‍රමාණයට නොලැබෙන කොට හිත රිද්ද ගන්නවා, එවිට සිතනවා මට අසාධාරණයක් අයුක්තියක් වුණේ කියා. 


මෙතන තියෙන්නේ එකම එක ගැටලුවයි, ඒ සිහිබුද්ධිය නැති ගැටලුව පමණයි. අපි  හිතෙන් හදාගන්න, නොපෙනෙන කූඩු පේන්නෙ සිහිබුද්ධියෙන් බැලුවොත් පමණයි. මේ දැක්ම ඇති කරගන්න පුළුවන් නම්, මේ පටු කූඩු වලින් අපිට අපිවත් අනිත් අයවත් නිදහස් කරගන්න පුළුවන්. එක තැනකදී අපට ලැබුණු අත්දැකීමක් මුල්කරගෙන අපේ මනස දෙන අර්ථකථනයක් හරහා තමයි අපි මේ කූඩු හදා ගන්නේ. මෙන්න මේ සිද්ධිය වෙනකොටම සිහිබුද්ධිය තිබුණා නම් අපට තේරුම් ගන්න පුළුවන් මේ කූඩුව හැදෙන හැටි. එසේ දැක්මක් ඇති කරගත්තේ නැත්නම් අර බාහිරින් ඉන්නවාය කියලා හිතන කෙනාත් එක්ක ඇලීමෙන් හෝ ගැටීමෙන් අපි දිගු සංසාරයක් හදා ගන්නවා.


හැම දෙයක්ම, හැම කෙනෙක්ම,නොනැවතුණු ගමනක තමා ඉන්නේ. මේ සංසාරේ නැවතුන කිසිවක් නෑ. ඉතින් කිසිම දෙයක් කූඩුවකට කොටු කරන්න බෑ. අපි කූඩුවක් ඇතුලේ එක මොහොතයි ඉන්නේ, ඒ අත්දැකීම ලබන මොහොතේ පමණයි, ඊට පෙරත් පසුත් එහෙම නෙමෙයි. ඉතින් මෙය තමා මොහොතෙන් මොහොත ජීවත්වීම කියන්නේ. මේ සඳහා ඉතා සියුම් වූ මුවහත් වූ සිහි කල්පනාවක් අත්‍යවශ්‍යයි. දහමේ තව බොහෝ කාරණා ගැන කියනවා, නමුත් අත්‍යවශ්‍යම කාරණය අඩුවෙන්ම කියන කාරණය සහ වැඩියෙන්ම තිබිය යුතු කාරණය, ඒතමා සිහිබුද්ධියයි. ඒ නිසයි අපි මේ ගැන විශේෂයෙන් කතා කරන්නේ, සිහිබුද්ධිය, එහි වටිනාකමයි, භාවිතයයි, අත්දැකීමයි ගැන.


මේ ඇහෙන දේ සිහිබුද්ධියෙන් අහන්න. කන දන්නෙ නෑ සිහිබුද්ධිය ගැන, මොලය දන්නෙත් නෑ. සිහිබුද්ධියෙන් හිටියත් නැතත් මේ සන්නිවේදනය වෙනවා, එය ඕන වෙන්නේ එතනින් එහාට. සිහිබුද්ධියෙන් තොරව ඇහුවොත් එය ඇහිලා තියෙනවා, මතකත් තියෙනවා, උත්තර දෙන්නත් පුළුවන්, තව කාටහරි කියන්නත් පුළුවන්. සිහිබුද්ධිය අවශ්‍ය වෙන්නේ දෙන පණිවිඩය තේරුම් ගන්න සහ නොදුන් පණිවිඩය තේරුම් ගන්න. භාෂාවෙන් යන්න පුළුවන් සීමාවක් තියෙනවා, කියන කාරණාවත්, නොකියා කියන, කියවෙන පණිවිඩයත් තේරුම් ගන්නයි සිහිබුද්ධිය අවශ්‍ය වෙන්නේ. ඇහුම්කම් දීම තමයි පළමු පියවර.


-------------------------------------------------------

භාවනාව


මේ ටික වෙලාවකට කලින්මොන විදිහේ හිතකින්ද හිටියේ, ඒ වෙලාවේ හිතේ හැටි මතක් කර ගන්න පුළුවන්ද, බලාපොරොත්තුවකින් නම් හිටියේ මොන වගේ බලාපොරොත්තුවකින් ද, කලබලයකින් නම් මොනවගේ කලබලයකින් ද, නොසන්සුන්ව නම් ඒ නොසන්සුන් බව, තැන්පත් බවකින් නම් මොන විදිහේ තැන්පත් බවකින් ද, ආපස්සට ආපස්සට ආවර්ජනය කර සිහිපත් කර ගන්න පිළිවන්ද අද මේ වැඩසටහනට මේ මොහොතකට පෙර තිබුණු මනස මොනවගේද?


යම්තාක් දුරකට ඒ හිත හඳුනා ගත්තා නම්, ඒ හිත දැන් තියෙන්නෙ ඒ විදියට ද, ඒ හිතමද ඒ කලබලය, තැන්පත් බව ඒ විදිහටම ද තියෙන්නෙ. ඒ වෙනස වුනේ කොතනකදී ද, කොහොමද උනේ එකවර ද, ටික ටික සිදුවුනාද ?


අද මේ වැඩසටහනේදී ඇසුණු දේ වලින් කීයක් මතකද, උත්සාහයක් ගනිමු කරුණු වශයෙන් මතක් කර ගන්න. මතක් කර ගත් කරුණුවලින් එකක් හෝ දෙකක් වත් වැටහුනාද, හොඳින්ම තේරුම් ගත්ත කාරණය, හොඳටම හිතට වැදුණු කාරණය කුමක්ද?


ගැඹුරින් හිතට කා වැදුණු කාරණයක් තියෙනවා නම්, ඒ පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඇහුණ දේට, තේරුන දේට එහා ගිය පණිවිඩයක් තිබෙන බව පෙනෙන්නට පටන් ගනී, වඩ වඩාත් අවධානය යොමු කරන විට වඩ වඩාත් විමසිලිමත් වන විට, ඇසීමට හා වැටහීමට එහා ගිය අර්ථයක් ගැඹුරින් ම පෙනෙන්නට පටන් ගනියි.


ඒ සිහිබුද්ධියත් සමග විමර්ශනය අවසන් කරමු, සංසුන්ව හිතලා දැන් ඇස් අරින්න.


-------------------------------------------------------

සාකච්ඡාව/ සංවාදය/ විචාරය 


භාවනාවේදී අපි හිතනවානම් සමාධියක් ඇතිවෙන්න ඕනේ, ඒ ඇතිවෙන සමාධිය දිගටම පවතින්න ඕනේ කියල,  ඒ කියන්නේ  අපි භාවනාවත් කූඩුවකට දාන්න හදනවා. සමාධිය කියන්නේ හදාගන්න දෙයක්. සදාකාලික සමාධියක් ගැන දහම කතාකරන්නේ නැ. 


ස්වභාවික ක්‍රියා හිතාමතා කරන ක්‍රියා කියලා දෙකක් තියෙනවා, මේ දෙක වෙන් කර ගන්න. ඇහෙන දේට අපි වගකියන්න බැඳිලා නෑ, අපේ කන නිරෝගී නම් ඇහෙනවා, අප ඉන්න ඕනේ නෑ ඇහෙන්න, හැබැයි අපි අහනවා කියන්නේ අපි තෝරා ගන්නවා, හිතලා හිත යොමු කරනවා, අහන්නේ අපි මුල්වෙලා. එතනින් තමයි කර්මය හැදෙන්නේ, ඒවා උඩයි සසර ගමන හැදෙන්නේ.


සිහිබුද්ධිය නැති නිසයි අපි කර්මය දහම හා සංසාරය කියන ත්‍රිකෝණයේ හිර වෙලා ඉන්නේ, අපි කාට වග නොකිව්වත් මේ කාරණා තුනට වගකියන්න ඕනේ. මෙහෙම වගකීමක් තියන බව දැනගන්න ලැබෙන්නේ සිහිබුද්ධියට, සිහිබුද්ධිය නෙමේ මේවට වගකියන්නේ, මෙය උපතින්ම ගෙනා වගකීමක්, ඒ බව අනාවරණය කරන්නේ සිහිබුද්ධිය, ඒවගේම එයින් නිදහස් වෙන්න උදවු කරන්නෙත් සිහිබුද්ධිය. අප වගකියන්න බැඳිලා ඉන්නේ මොනවටද කියලා දන්නෙ නෑ, හැබැයි ඒ වගකීම අපි ඉටු කළේ නැත්නම් විපාක තියෙනවා, අනතුරු වෙනවා, කරදර වෙනවා, අපි දන්නේ නෑ ඇයි මෙහෙම විපාක කරදර වුනේ කියලා, හිතාගන්න බෑ. හැබැයි හේතුව බැලුවොත් අපි අපේ වගකීමක් පැහැර හැරලා තිබෙනවා. නමුත් මේ කාරණය වෙන කිසි කෙනෙක් කියන්නේ නෑ, කැමති විදියට නිදහසේ ඉන්න කියල තමයි කියන්නේ.


සිහිබුද්ධියෙන් යුතු වර්තමානයට පුළුවන් අතීතය වෙනස් කරන්න. අපි සිහිබුද්ධියෙන් ජීවත් වෙනවා නම්, අපිට තේරෙනවා අපේ වර්තමාන ජීවන රටාව අතීත කර්ම වලට, අනතුරුවලට අත වනනවා කියලා, ඒ බව දැන ගත්තහම අපිට පුළුවනි ඊට සුදුසු නැති පරිසරයක් හදන්න, ආරක්ෂිත වර්තමානයක්, වේදිකාවක්. එවිට කර්මයට ඵල දෙන්න අවශ්‍ය පරිසරය නැතිව යනවා. සිහිබුද්ධිය කියන්නේ අපිට භාවිතා කරන්න පුලුවන් සූක්ෂම උපකරණයක්, එය අපි භාවිතා නොකරනවානම් අප යන්ත්‍ර පමණයි.


බලාපොරොත්තුවක් කියන්නේ යථාර්ථයක් නෙමේ, එය බලාපොරොත්තුවක් පමණයි කියල අදුරගන්න පුළුවන් වෙන්නේ සිහිබුද්ධියටයි. රාමුව රාමුවක් විදිහට දැනගෙන ඉන්න පුළුවන්, රාමුව ඇත්තක්, යථාර්ථයක් කියල හිතුවොත් තමා ප්‍රශ්නෙ. බලාපොරොත්තුවක් ඉටුකරගන්න දැනගෙන සැලසුම් කරන්න, දැනගෙන උත්සාහකරන්න, එය ඉෂ්ට වීම, නොවීම උපේක්ෂාවෙන් බාරගන්නත් පුළුවන් වෙන්නේ සිහිබුද්ධියට පමණයි. 


මේ මොහොතේ හිතන, කියන,කරන දේ ගැන විචාරය, විමසීම තමයි සිහිබුද්ධියට හේතු වෙන්නේ. විචාරයෙන්, විමසීමෙන් තොරව කටයුතු කරනවා නම් සිහිබුද්ධියක් ඇතිවෙන්නේ නැ. එතන පුරුද්දට තමයි දේවල් සිද්ද වෙන්නේ. විචාරශීලීව අපි හිතන්න, කියන්න, කතාකරන්න පටන් ගන්න ඕනේ, ඒ භාවනාවට ක්‍රමයක් නැ, ජීවිතය තමයි සිහිබුද්ධියට කමටහන, වෙන කමටහන් නැ. මේ මොහොතේ හිතන්නේ මොකක්ද, කියන්නේ මොකක්ද, කරන්නේ මොකක්ද, ඒ ගැන අපි විචාරශීලිවද විමර්ශනත්මකවද ඉන්නේ, නැද්ද, ඒ  තමා කමටහන. ඒ නිසා ඉඩ ලැබෙන වෙලාවක, පොඩි සිදුවීමකින් සිදුවීමකට පස්සේ ආපහු හැරිලා බලන්න, අවර්ජනයක් කරන්න. උදාහරණයකට කෝල් එකක් ආවට පස්සේ තප්පර 5ක් 10ක් අරන් ආපහු බලන්න, කෝල් එක එන්න කලින් තමන් කොහොමද හිටියේ, දැන් කොහොමද ඉන්නේ, කෝල්එක  කොහොමද තමන්ව වෙනස් කළේ කොතන දී ද වෙනස් වුණේ, මේ අභ්‍යාසය හරි සරලයි, වෙලාවක් යන්නේ නෑ. එකම දේ කම්මැලිකමත් එක්ක බෑ, උත්සාහයක් ගන්න ඕනේ. උත්සාහ කළොත් මෙය බොහොම රසවත් භාවනාවක් වෙනවා, ඒ වගේම අපට අප ගැනම, අපට සිදුවෙන දේ ගැනම හා අප කරන දේවල් ගැනම ලොකු සිහි කල්පනාවක් ඇති වෙනවා.


කියන දෙ, නො කියන දේ, කියූ දෙ නොකිව් දේ අපිට තේරෙනවා නම් එය තමා සිහිබුද්ධියේ ලක්ෂණ. එක ප්‍රපංචයක් නෙමේ දැක්මක්. ප්‍රඥාවේ දොර ඇරෙන්නේ එතකොට. නැත්නම් අපි දැනුම ඇතුළේ ඉන්නේ. අපි බණ අහනවා, ඇහෙනවා සාකච්ඡා කරනවා, අනිත් අයට කියලා දෙනවා, ප්‍රශ්න අහනවා, උත්තර දෙනවා, එතන තියෙන්නේ දැනුමක් විතරයි. නමුත් සිහිබුද්ධිය පාවිච්චි කළොත් අපිට නිශ්ශබ්දතාවයේ පණිවිඩය ඇහෙන්න ගන්නවා. ආවර්ජනයෙන්, මෙනෙහි කිරීමෙන්, යෝනිසෝමනසිකාරය, ධම්මානුපස්සනාව, ධම්මවිචය සම්බොජ්ඣංගය. 


මේ මාතෘකාව ප්‍රශ්න ඇති කරන මාතෘකාවක්, මේ මාතෘකාව කෙලින්ම සිහිබුද්ධියට තමයි කතා කරන්නේ.  සිහිබුද්ධිය තිබුනොත් විතරයි අපට ප්‍රශ්න මතු වෙන්නේ, එහෙම නැත්නම් විමසීම තුළින් එන ප්‍රශ්න නෑ. ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම් තමයි වරදක් තියෙන්නේ. මෙම වැඩසටහන සාම්ප්‍රදායික, හිත තැන්පත් කරලා අවසන් කරන වැඩසටහනක් නොවේ, හිත අවදි කරන වැඩසටහනක්, ඊට ක්‍රියාකාරී සාකච්ඡාව අත්‍යවශ්‍යයි, පුළුවන් තරම් සජීවීව එකතුවෙන්න. 


ඒ වාගේම උත්සාහ කරන්න මේ කථා කරන කාරණා නැවත නැවත මතක් කර ගන්න මොකක්ද තමන්ට ලැබුණු සමස්ත පණිවිඩය, ඒ පණිවිඩය තේරුම් ගන්න බලන්න පණිවිඩය ගැන නැවත නැවත හිතන්න. එතකොට අපට අද කණට අහන්න නොලැබුණු දෙයක්  ඇහෙන්න පටන් ගන්නවා, එතැනටයි අපි එන්න ඕනේ.


ඒ වගේම ප්‍රශ්න තියනවනම් අත්දැකීම් තියෙනවා නම් සුදුසු පරිදි වට්සප් ගෲප් එකේ හෝ පුද්ගලිකව ඒ ගැන විමසන්න බෙදාහදාගන්න. වට්ස් අප් සමූහයට දාන සාරාංශය කියවන්න ඒ ගැන ගැටළු නොගැලපෙන තැන් තියනවනම් ඒවත් ගෲප් එකට දාන්න.


සිහිබුද්ධිය ඇති වෙන්නේ විචාරයෙන් ම තමයි, ගොළුව බිහිරිව ඉන්නව නම් සිහිබුද්ධියක් නෑ. ඉතින් අප උත්සාහ කරන්නේ සාමූහිකව සිහිබුද්ධියක් ඇති කරගෙන එහි ප්‍රතිඵල ආනිශංස නෙලාගන්න. එය අලුත් ගමනක්, එක් වුණ හැම දෙනාටම බොහොම පින්!. සිහිබුද්ධියට නැවතුම් තිතක් නෑ, සිහිබුද්ධිය යම්තාක් දුරක් පවතිනවාද සංසාරයට තමා එයන් නැවතුම් තිතක් ලැබෙන්නේ. සිහිබුද්ධිය සසරට නැවතුම් තිත තියනවා. එය එසේම වේවා! එසේ කරගන්නට අදිටන් කර ගනිමු!.ඒ අදිටනින් අපේ මේ සදහම් සැන්දෑවේන් සමුගනිමු, සැමට සෙතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා


මෙම සාරාංශය කියවා ඔබට ඇති ගැටළු අදහස් මෙහි ඇති comments යටතේ සඳහන් කරන්න පුළුවන්. ඊළඟ සාකච්චාවේදී ගුරුතුමා විසින් පිළිතුරු ලබාදේවි.