සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 18


2022 පෙබරවාරි 2, සාරාංශය


විශ්වයේ හැම දෙයක්ම කරකැවෙනවා, දිවා රාත්‍රී, අඳුර එළිය, සීතල උනුසුම, ගින්න ජලය, දුක සැප, සතුට අසතුට චක්‍රාකාර පෙරළීමක් හැසිරීමක් තමා තියෙන්නේ. අත්දැකීමෙන්ම අප දන්නවා මේ සියල්යෙහිම තිබෙන ද්විත්වා’කාර හැසිරීම. රාත්‍රිය සහ දවාල, දහවලින් පසු රාත්‍රියක්, රාත්‍රියෙන් පසු දහවලක් සදාකාලික රාත්‍රියක් හෝ දහවලක් නෑ. මේ චක්‍රයෙන් පිට වීමේ ක්‍රමයක්, දොරටුවක්, විවරයක් සොයමින්, ඒ වෙනුවෙන් ඒ අරමුණින් එකතුවී, ඒ ඉලක්කයට සාමූහිකව සමීපවීමේ ප්‍රයත්නයක තමා  ඔබ අප යෙදී සිටින්නේ.


ගෙවත්තේ පිපෙන මලක් යන්නෙත් ගමනක. අලංකාරයට හිටුවන මල් පැලයකට ගහකට කළ යුතු සියලු සත්කාර කළ පසු දවසක එයින් මලක් පූදිනවා. කොහෙන් ඒ මලට පාට සුවඳ ආවාද, කවුරුන් විචිත්‍ර වූ හැඩයක් දුන්නද, දුන්නු කෙනෙක් පෙනෙන්නේ නෑ, ගත්ත තැනක් හොයා ගන්නත් නෑ. නමුත් කවදාවත් කෘතිමව හදන්න කෘතීමව දෙන්න බැරි වර්ණ හැඩ සුවඳ සමග මලක් පිපෙනවා, විකසිත වෙනවා. ඒ පුෂ්පය පැමිණි තැන අප දන්නේ නෑ, ගහ ඇතුළේ තිබුණේ නෑ ගහ ඇතුලෙන් නොවේ ආවේ. පොළොව තුළ තිබුණෙත් නෑ, පොළොවෙන් නොවෙයි ආවේ. ඉර එළියේ තිබුණාද, ඉතින් අපට හොයාගන්න බෑ. පැළයට ලබාදුන් පොහොරවල තිබුණද ජලයෙද තිබුණේ වාතයේද නෑ. ගහේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන ඉර එළියෙත් ජලයේත් වාතයේත් පොලොවෙත් නොතිබුණු නමුත් මේ කිසිවක් නොමැතිව නොලැබෙන හා නොපිපෙන විසිතුරු මලක් මේ ගහ අපට දෙනවා, ගෙවත්ත ලස්සන කරනවා සුවඳවත් කරනවා. කොපමණ කාලයකටද?. එය සාපේක්ෂයි, නමුත් දීර්ඝ කාලයකට නොවේ, සදා කාලයකට නම් කොහොමවත් නෑ. ඉන්පසු අර පොහොට්ටුවක් සේ ගහෙන් එළියට ඇවිත් විකසිත වුණු ඒ පුෂ්පය නැවත පෙති හකුලා ගන්නවා. එයට අප වෙන නමක් දෙනවා. පරවෙනවා මිලාන වෙනවා කියා. එය නැවත පොහොට්ටුවක් බවට කොහොමවත් පත්වෙන්නේ නෑ. පොහොට්ටුව හා පරවෙන මල අතර ලොකු වෙනසක් තියෙනවා, එකක් උපදිනවා අනිත් එක මියයනවා. ඒ මල් පෙති එකින් එක එකින් එක ගලවලා ගහ මුලට, ඒ තමන් මතුවූ පාදමට දානවා. වැටුණු මල් පෙති ගහ මුල ටික දවසකින් දකින්න ලැබෙනවා. ඒවා දුර්වර්ණ වෙමින් අවර්ණ වෙමින් විසිතුරු හැඩ විකෘති වෙමින් අවලස්සන වෙමින් සුවඳවත් වූ රේණු දුගඳ හමන්නට පටන් ගනිමින් ගමනක් යනවා, දැන් පිපුණු ගමන ඉවරයි, නමුත් ගමන ඉවර නෑ. තවත් ටික දවසකින් ඒ හැලුණු පෙති හොයාගන්න ලැබෙන්නෙ නෑ, වැස්සට දියවෙලා පොළොවට දිරා ගිහිල්ලා අව්වට පිච්චිලා, සමහර විට ඊළඟට මතු වෙන්නට තිබෙන පොහොට්ටුවට අවශ්‍ය කිසියම් උදව්වක් කරනවා ඇති මේ පරවුණ මල නැවත ගහ පාමුලින්. මේ තමා චක්‍රය. ඒ පර වුණු මලමද අලුත් මලක් විදිහට ආයේ ආවේ, එහෙම කියන්න බෑ. හැබැයි ඒ පරවුණු මලින් යමක් මේ අලුතින් සුපිපෙන පුෂ්පයට ලැබෙන්න ඇති. මේ තමා චක්‍රය. විශ්වයේ තිබෙන හැමදේකම පැවැත්මේ ස්වභාවය.

  

විශ්වයේ හැම දෙයක්ම දන්නවා තමන් පවතින්නේ තමන් නොවන දේවල් වල ආධාරයෙන් හා උපකාරයෙන් බව, තමන් පිපෙන්නේ විකසිතවෙන්නේ තමන් නිසා නොවන බව, එමෙන්ම මුකුලිත වන්නේත් මිලාන වන්නේත් ධර්මතා වලට අනුව බව. විශ්වයේ හැම දෙයක්ම උත්පත්තිය ලබනවා තමන් නොවන දේවල් වල උදව්වෙන්. ගෙවත්තේ සින්නක්කර අයිතිය අපට තියෙන්න පුලුවන්. සමහර විට ඒ අයිතිකරුම තමන්ගේම උදැල්ලෙන් තමන්ගේම ගෙවත්තේ වළක් හාරා පොහොර දාලා පැලයක් හිටවලා එයට අවශ්‍ය වතුරත් දවසගානේ දැම්මා වෙන්න පුළුවන්, දිනපතා සාත්තු කළා වෙන්නත් පුළුවන්. නමුත් ඒ පැලෙන් මලක් පිපෙන්නට තමන්ගෙ වත්තෙ තමන්ගේ අයිතිය විතරක් මදි. අපට අයිතියක් නැති පාලනයක් ඔප්පුවක් නැති ඈත තිබෙන සූර්යයාගේ උදව්ව අවශ්‍යයයි. අපේ ගෙවත්තක අපේම දෑතින් හිටවන පැලයකට වැඩෙන දළු දාන්න පොහොට්ටුවක් මලක් පිපෙන්න හුලඟ ඕනේ, හුළඟ අපේ නොවෙයි. තව බොහෝ දේවල් වල උපකාරය අවශ්‍යයි. මෙය තමා ධර්මතාවයය, මෙය තමා චක්‍රය. ඒ බව හිත විතරක් දන්නේ නෑ. අපට වඩා බලවත් විශාල මේ චක්‍රයේ අපත් කොහේ හරි කොනක ඉන්නවා, මැදක නොවේ, පුංචි කෙළවරක. හැබැයි ඒ ඉන්නේ හරියට මේ මුළු විශ්වයම තමන්ගේ අතේ කියන හැඟීමෙන්, මේ සියල්ලේ හිමිකරු මමයි කියන හැඟීමෙන්. නමුත් මේ චක්‍රයේ ස්වභාවය නොදන්නාකම නිසාම හිත කැලඹෙන්වා, උද්දාමයට පත් වෙනවා, එමෙන්ම අඩපණ වෙනවා, ඇදගෙන වැටෙනවා. 


මේ චක්‍රය මේ චක්‍රාකාර හැසිරීම ගැන විවිධ කෝණ වලින් අප කතා කළා, සාකච්ඡා කළා, මෙනෙහි කළා, භාවනා කළා, ගවේෂණය කළා. හැම දෙයක්ම පේන්න තියන ස්වභාවයෙන් එහි විරුද්ධ ස්වභාවයට හැරෙන බව, එය එසේ නොවන මොනම දෙයක් හරි අප කාට හරි මේ ජීවිතයේ මුණ ගැසී තිබෙනවාද? යමක් හෝ යමෙකු භෞතික වේවා මානසික වේවා චෛතසික වේවා, මේ හැම දෙයක්ම බැලුවොත් ගමනක තියෙන්නේ. කෙලින් ගමනක්. කෙළින් ඉරක් ඇඳලා ඒ ඉරේ ආරම්භයේ සිට අවසානයට යන ගමනක් නොවේ. කෙලින් ගමනක ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා, දීර්ඝ වෙන්න පුලුවන් නමුත් ඉවරයක් තියෙනවා. ඉවරයක් නැත්තෙ රවුමේ යන ගමනකට. රවුම් ගහන ගමනකට ඇරඹුමක් ද නැත නිමාවක් ද නැත, තිබෙන්නේ වෙහෙසට පත්වීම පමණයි. වෙහෙසක් මිස ඇරඹුමක් හෝ අවසානයක් හෝ ගිය තැනක් නැත.


හැම දෙයක්ම, මේ ‘දෙයක්’ කියන්නේ කවුද, හිත. හිත අත්දකින වෙලාවෙදි ඒ දෙය ඒ හිතට පේන විදිහ හිත දැනගන්න විදිහ අනුව දෙයක් ගැන තීරණයකට එළැඹෙනවා. තීරණය ගන්නේ හිත. තමන් අත්දකින මොහොතේ තමන්ට පේන විදිහ ඇහෙන විදිහ දැනෙන විදිහ අනුව මේ සියල්ල එකට එකතු කර ඒ හිත ඒ අත්දැකීම පිළිබඳ තීරණයකට හා නිගමනයකට එනවා, මේ දෙයක්, මේ දේ මොන වගේද, මේ කෙනා මොන වගේද, පාට කොහොමද, හැඩය කොහොමද, ලස්සන-අවලස්සන, හොද නරක කොහොමද, මේ දෙපැත්තෙන් එක පැත්තකට බර වෙනවා. දෙපැත්තටම නොවෙයි. හිත එක පැත්තක කරුණු ටිකක් එකතු කර නිගමනයකට එනවා හරි ලස්සනයි හොඳයි නිවැරදි යහපත් කියා. මේ දෙය යහපත් දෙයක් මේ කෙනා යහපත් කෙනෙක් එහෙම නිගමනයකට එනවා. එහෙම නැත්නම් ඒ හිත ඒ මොහොතේ ලබු අත්දැකීමට අනුව අවලස්සන දෙයක්, අවලස්සන කෙනෙක්, නරක නපුරු කෙනෙක්, දෙයක් කියා හිත දෙයක් හදා ගන්නවා. ‘දෙයක්’ කියූ විට මෙන්න මේ  ලක්ෂණ ටික එතන තියෙනවා. තවත් ආකාර වලින් දේවල් හදා ගන්නවා. හැබැයි ඒ ආකාර වලට හදාගන්න දේවල් වලට වඩා ඕනෑම අත්දැකීමකට හිත විසින් දෙනු ලබන ගුණ කිහිපයක් තිබෙනවා. ඒ ගුණ තමා ඔය කියූ කාරණා, හොඳයි, ලස්සනයි, යහපත්, හිතකරයි, නිවරදි, වැරදියි, අහිතකරයි, නරකයි, නපුරුයි වගේ. සාමාන්‍යයෙන් මේවා කවලම් කර නිගමන දෙන්නේ නෑ සමහරවිටක දන්නෑ කියන නිගමනයට එන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් එන්නේ හොඳයි නැත්නම් නරකයි. හැම ‘දේකම’ හිත හඳුනාගත් ලක්ෂණ එහි ලක්ෂණ හඳුනා ගන්නේ හිත. සමහරවිට ඒ දේ තුළ තියෙන ලක්ෂණද නැත්නම් හිත දකින්න කැමති ලක්ෂණද කියන කාරණය විමසන්නට වටිනවා. 


සිහිබුද්ධිය අහන පලවෙනි ප්‍රශ්නය, “කෙනෙක් දුටුවහම ඒ කෙනා පිළිබඳ හිත ගනු ලබන තීරණ නිගමන ඇත්තටම ඒ කෙනාට අදාල නිගමන ද නැත්නම් තමන්ගේ හිතට අවශ්‍ය නිගමනද?”. මේ එළියෙ තියෙනවා කියා දුටු මේ ගුණ ඇත්තටම එලියේද තිබෙන්නේ මේ කෙනා ළඟද තිබෙන්නේ නැත්නම් ඔබ දකින්න කැමති දේවල් ද හිතන්න කැමති දේවල්ද, ඇත්තටම ඔය දේවල් ඇතුලෙද තියෙන්නේ එලියෙද තියෙන්නෙ, හොඳ තියෙන්නේ ඇතුලෙද එලියේද, නරක තියෙන්නේ එලියෙද ඇතුලෙද, ලස්සන-අවලස්සන කොහෙද තියෙන්නේ, නරක නපුර කොහෙද තියෙන්නේ, ආදරය හා වෛරය කොහෙද තියෙන්නේ?. ඒකාන්ත නිගමනයකට එන්න හදිස්සි වෙන්න එපා. සමහරවිට හිත හදිසි වෙලා කියන්න පුළුවන් ඇතුළෙ තියෙන්නෙ කියා, මේ ඔක්කොම ඇතුලේ තියෙන්නේ. හිතවතුනි බැලූ බැල්මට ඒ උත්තරය හරි වගේ නේ පේන්නේ. සාමාන්‍යයෙන් කෙනකු අහන්නේ නෑ බුද්ධිය අහන්නේ නෑ. සිහිබුද්ධිය පමණයි මේ ප්‍රශ්නය අහන්නේ. 


බුද්ධිය අහන්නේ, ඔබට හිතුනොත් ලස්සනයි කියා ඇත්තටම ලස්සනද කැතද?. බුද්ධියට ඕන මේ දෙකින් එකකට යන්න කොයි අර්ධයට ගියත් දහවලට ගියත් රාත්‍රියට ගියත් බුද්ධියට ගැටලුවක් නෑ, හැබැයි බුද්ධියට නිශ්චිත බවක් අවශ්‍යයි, ඒකාන්ත බවක් අවශ්‍යයි, වැට උඩ ඉන්නවට බුද්ධිය කැමති නෑ, බුද්ධිය ඉඩ දෙන්නේ නෑ හිතකට වැට උඩ ඉන්න ,දන්නේ නෑ කියන තැනක ඉන්න. බුද්ධිය හැමවිටම කළු සුදු. කළු නම් කළු සුදු නම් සුදු. ඉතින් සිහිබුද්ධිය මේ ප්‍රශ්නය අහන විට “දයාබර හිත ඔබ කිව්වනේ මේ දේ හොඳයි කියලා ලස්සනයි කියා මේ කෙනා නරකයි කිව්වනේ, ඒ හොඳ ලස්සන නරක ඇත්තටම දැක්කද, ඇත්තටම දැකලද කියන්නේ, නැත්නම් අතින් දාලද කියන්නේ, දැකලද අතින් දාලද?. මේ හරස් ප්‍රශ්නය ඉදිරියේ අර බුද්ධිමත් හිත, සිහිබුද්ධියේ ප්‍රශ්නය ඇහෙන්නේ බුද්ධියට, එය බාර ගන්නවා උත්තර දෙන්න මම දන්නවා උත්තර දෙන්න කියා. ඉතින් බුද්ධියට කියන්න තියෙන්නේ එක්කෝ “ඔව් මම දැක්කා මේ කෙනා හොඳ කෙනෙක් නැත්නම් නරක කෙනෙක්”, එහෙම නැත්නම් බුද්ධිය කියනවා “මම කැමතියි එහෙම හිතන්න මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් කියා හිතන්න කැමතියි”. 


බුද්ධිය මෙසේ ඒකාන්ත උත්තරයක් දෙනවා. බුද්ධිමත් හිත එහෙම ඒකාන්ත උත්තර දෙන්නේ ඇයි?. එතනින් එහා සෙවීම නවත්වන්න, සිහිබුද්ධිය මේ පරීක්ෂණයට අත ගැහුවොත් අන්තිම තැනටම හාරලා හාරලා හොයනවා හරියට සාමාන්‍ය ආයතනයක් නොකරන විමර්ශනයක් විශේෂ විමර්ශන ඒකකයට භාර දුන්නම ඒ ඇත්තන් කෙළවරටම හොයනවා වගේ. එම නිසා සාමාන්‍ය ආයතන කොලේ වහලා දානවා “හරි මේ තමයි කාරණය අපි හොයාගත්තා ඉන් එහා හොයන්න දෙයක් නෑ” කියා. මෙන්න මේ සංසිද්ධිය තමා බුද්ධිමත් හිත කරන්නේ, කෙරෙන්නේ. මේ පරීක්ෂණය සිහිබුද්ධියට බාර දෙන්න ඉඩ දෙන්නේ නෑ. යාන්තම් සිහිබුද්ධිය මේ පරීක්ෂණයට සම්බන්ධ වෙන විටම බුද්ධිමත් හිත කියනවා “මෙහේ හොයන්න දෙයක් නෑ කොහොම හෙව්වත් මේ උත්තර දෙකෙන් එකක්නෙ එන්නෙ. එක්කෝ ඔව් ඇත්තටම ලස්සනයි හෝ මා කැමතියි ලස්සනයි කියල හිතන්න, තුන්වන උත්තරයක් නෑ” කියා. ඉතින් මේ උත්තර දෙකෙන් එකක් දෙනවා ඉස්සරලාම එක උත්තරයක් දෙනවා. ඒ ගැන හරස් ප්‍රශ්න ඇසුවිට දෙවන උත්තරය දෙනවා. ඉතින් බුද්ධිමත් හිත කළු සුදු හිතක්, ඉන් එහා යෑමක් නෑ. බුද්ධිමත් හිතට අවශ්‍යයි මේ සෙවීම නවත්වන්නට නොසොයා ඉන්නට. බුද්ධිමත් හිත හොයන්නේ නෑ හිතනවා මිසක්, තර්ක කරනවා වාද කරනවා විවාද කරනවා නිගමන වලට එනවා තීරණ වලට එනවා තීරණ වෙනස් කරනවා. බුද්ධිමත් හිත තීරණ වෙනස් කරනවා එකම තීරණයේ ඉන්නේ නෑ. හැබැයි සෙවීම අඩුයි, හරස් ප්‍රශ්න අහමින් හාර හාර හොයන්නේ නෑ තමන්ගෙන් හරස් ප්‍රශ්න අහන්නෙ නෑ. සිහිබුද්ධිය තමන්ගෙන් හරස් ප්‍රශ්න අහනවා. ඉතින් සිහිබුද්ධිය පැමිණීයොත් දිගින් දිගටම දිගින් දිගටම මේ පර්යේෂණය අත් හරින්නේ නැතිව කරගෙන කරගෙන යනවා. සිහිබුද්ධියට බාර දුන්නොත් යමක් හොයන්න හිතවතුනි දිවා රෑ නින්දක් නම් ලැබෙන එකක් නම් නෑ, විවේකයක් නෑ, දිගටම වැඩ කරනවා ඇත්ත අනාවරණය වන තුරුම ඒ පර්යේෂණය දිගටම යනවා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නොදැනෙන නිසා අර බුද්ධිමත් හිත තමන්ට තේරෙන ඇත්ත, බොරුවක් නොවේ. තමන්ට තේරෙන තමන් දන්න ඇත්ත ඉදිරියට පැනලා හයියෙන් කියලා සාක්ෂි දෙක තුනකුත් ගෙනල්ලා එතනින් මේ පර්යේෂණය නිමා කරන්න උත්සාහ කරනවා.

 

සිහිබුද්ධිය අහනවා දෙවන ප්‍රශ්නය, “මේ හොඳ හොඳ විදිහටම දිගටම තියෙනවා කියා විශ්වාසද, නරක නරක විදිහට තියෙනවා කියා විශ්වාසද, මේ හොඳයි කියු කෙනා හොඳ කෙනෙකු විදිහටම මේ මොහොතේ ඊළඟ මොහොතේ ඉදීද, නරකයි කිවූ කෙනා නරක විදිහටම මේ මොහොතේ ඉදිද ඊළඟ මොහොතේදීත් ඉදීද, හොඳ කෙනා නරක කෙනෙකු නරක කෙනා හොඳ කෙනෙකු නොවෙයිද, එහෙම වෙන්නෙ නැති වෙයිද?”. එයටත් “ඔව්” කියන්න පුළුවන්, “ඔව් එසේ වෙනස් වෙයි”. එහෙම වෙනස් වෙයි කිව්වට හිතවතුනි අර තීරණයට ආ හිත හොඳයි හෝ නරකයි කියා නිගමනයට පැමිණි හිත තමන් ගත්ත නිගමනයේ එල්ලිලා ඉන්නවා, “වෙනස් වෙන්න පුළුවන් බැරි නෑ, මෙයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන් නරක කෙනෙක් වෙන්නත් පුළුවන්, හැබැයි අද නොවෙයි හෙටත් නොවෙයි සමහර විට, ඒ කියන්නේ තමන් ඉන්න තුරු එසේ වෙන එකක් නෑ”. මේ නිගමන පිළිබඳ සදාකාලික සහතිකයක් බුද්ධිමත් හිතට අවශ්‍යයි. බුද්ධිමත් හිත සහතිකය තමන්ම ලියාගන්නවා, සදාකාලික සහතිකය තමන් ගැනත් ලියනවා අනුන් ගැනත් ලියනවා. ඉතින් බුද්ධිමත් හිතේ තියෙන්නෙ සහතික ගොඩක් පමණයි, තමන්ම ලියා තමන්ම අස්සන් කළ සහතික,  තමන් ද ඇතුළුව හැම කෙනෙකු ගැනම හැම දෙයක් ගැනම,උප්පැන්න සහතික විවාහ මරණ චරිත සහතික මේ වගේ සහතික ගොඩක්. මේවා තමයි දිට්ඨි කියන්නෙ. දිට්ඨි කියන්නෙ “සහතික”, 


මේ තමා දිට්ඨියේ ස්වභාවය. දිට්ඨියක් ඇතිකර ගත් හිතට ඒ ගැන සහතිකයි සත්තයි. දිට්ඨි ගත හිත කියන්නේ හරි දරුණු හිතක්, ඒ දිට්ඨිය  ඉදිරියේ දරුණුයි, සාමාන්‍ය අනෙක් කාරණා ඉදිරියේ දරුණු නොවෙන්න පුළුවන්, නමුත් තමන් ගත්ත දිට්ඨියක් එක්ක හිත දරුණු ස්වභාවයකට පත් වෙනවා. හිතේ සාමාන්‍ය ස්වභාවය කුමක්ද හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ, ඒ පැත්ත හොඳයි කියනවා මේ පැත්ත හොඳයි කියනවා ස්ථිර බවක් නෑ. හැබැයි හිත දිට්ඨියකට ආවහම බුද්ධිමත් නිගමනයකට ආවහම අමුතුම හැසිරීමක් තියෙන්නේ. එතැනදී මේ හිතට මොකද වෙන්නේ?. සාමාන්‍ය හිතේ ස්වභාවය ගලායන ජලය වගේ හැඩයක් නෑ කෝප්පයකට දැම්මහම කෝප්පය වගේ බේසමකට දැම්මහම බේසමක් වගේ. රතු පාට නම් රතු පාටට පේනවා, හරිම සියුමැලි ඕන තැනකට කාන්දු වෙනවා. ඕන තැනක හැඩයක් ගන්න තමන්ට කියා හැඩයක් නැති ස්වභාවයක්. නමුත් දිට්ඨියකට ඇතුල් වුවිට හිතට තම ළඟ නැති දෘඩ භාවයක්,  දැඩි බවක් ලැබෙනවා. ඒ දෙන්නේ ඒ දිට්ඨියෙන්, හරියට ගැල්වනයිස් බටයකින් වතුර යනවා වගේ. ඉතින් මේ යකඩ බටය නමන්න බෑ නැවෙන්නේ නෑ කොහොමවත්, යම්තාක් දුරකට ඒ වතුර බටය  ඇතුලෙන් වතුර යනවද ඒ තාක් දුරකට වෙනස් වෙන්නේ නෑ නැවෙන්නේ නෑ කාන්දු වෙන්නෙත් නෑ. දිට්ඨියක් එක්ක යන ගමන ඒ වගේ තමයි. මොනම දිට්ඨියක් ගත්තත් ආගමික දේශපාලනික සමාජයීය සංස්කෘතික පුද්ගලික දිට්ඨියක් ගත්තත්, ඒ ගත්ත දිට්ඨිය ඇතුළේ සිටින තුරු අර යකඩ බටයක් ඇතුලේ ගමන් කරන ජලය වගේ තමා. ඒ දිට්ඨියේ සිටින තුරු වෙනස්. ඊළඟ දිට්ඨියට ගියහම ඒ දිට්ඨියේ විදිහට. මේ හැම දෙයක් පිළිබඳව මේ බුද්ධිමත් හිත බුද්ධිමත් තීරණ ගන්නවා. බුද්ධිමත් තීරණ කියන්නේ දිට්ඨි වලට එනවා. ආවට ගියාට නම් නොවේ හේතු සාධක කියා, හොඳයි නරකයි ලස්සනයි කැතයි දහවල රාත්‍රිය එබඳු නිගමන වලට එනවා. 


නිගමනයකට ආවහම ඒ නිගමනයට අනුව තමා දේවල් පේන්නේ සිදුවන දේ පේන්නේ නෑ. පවතින දේ, සිදුවෙමින් පවතින දේ, සිදුවෙන්නේ යන දේ පේන්නේ නෑ. ඒ නිගමනය තමා පේන්නෙ. ලෝකය පේන්නෙත් නෑ, තමන්ව පේන්නෙත් නෑ. ඒ තමා දිට්ඨිය කියන්නේ. දිට්ඨි වලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ “දෘෂ්ටි”. දෘෂ්ටි කියන එක ටිකක් සමීපයි දිට්ඨි කියනවාට වඩා. දෘෂ්ඨි කියන්නේ පේන විදිහ පෙනීම කියන අදහස. දෘෂ්ටි සිංහලට කියන්නේ “දිෂ්ටි” කියලා, “දිෂ්ටියක් වැහිලා”. දිෂ්ටියක් වහුනහම එතන ඉන්නෙ කවුද කියලා කවුරුවත් දන්නේ නෑ, හැබැයි අප දන්න කෙනා නම් නොවෙයි ඉන්නේ, හැසිරෙන විදිය කතා කරන විදිය දේවතා දිෂ්ටියක් නම් හොඳයි ලස්සනයි බෝහොම කරුණාවන්තයි, හැබැයි යක්ෂ ප්‍රේත දිෂ්ටියක් නම් හරිම දරුණුයි. මේ වගේ අත්දැකීම්නේ තියෙන්නෙ.


චක්‍රය චක්‍රයක් බව පේන්නේ නෑ. චක්‍රයක් කියන්නේ තමන් ගන්න නිගමනයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්වභාවයට මේ දේ පත් වෙනවා කියන කාරණය. නමුත් මෙහෙම වෙනස් වෙමින් පවතින බව දිෂ්ටියට පේන්නේ නෑ. මේ අච්චුවක් ඇතුලට දාන්න හදන දෙය දාන්න හදනකොටම අච්චුවෙන් වෙනස් හැඩයකට හැරෙමින් පවතින බව පෙනෙන්නේ නෑ. ඒ වෙනස්වීම චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සිදු වෙනවා, හැබැයි දිට්ඨිය හරි දෘඩයි,මේ සියුම් වෙනස් වීම දිට්ඨියේ ඉන්න තුරු ඒ දීර්ඝ කාලයටම බුද්ධිමත් හිතට පේන්නේ නෑ. දිට්ඨිය අන්ධකාරයි දිට්ඨිය කරන්නේ සිහිබුද්ධිය ඇතුළු වෙන දොර වහලා දානවා. මෙතන තියෙන භයානකම කාරණය හිතවතුනි ලෝකය ලස්සනද කැතද, මිනිස්සු ලස්සන ද කැත ද, හොඳ ද නරක ද, තමන් හොඳ ද නරක ද, කියන කාරණය නොවේ. ඒවායේ ලොකු ඇත්තක් නෑ, ඒවා ඇත්ත වුණත් බොරු උනත් එපමණ ලොකු බලපෑමක් නෑ. ඒවා ගැන කතා කරන්න නොවෙයි අප මේ එකතු වෙන්නේ. දිට්ඨිගත හිත අන්ධ හිතක්, අන්ධ හිතට ඇහෙන්නෙ නෑ, බණ පොත් කියවන්න පුළුවන්, අකුරු පෙනෙනවා, වාක්‍ය පේනවා කනට සද්දත් ඇහෙනවා, හැබැයි ඒ පෙනීමයි ඇසීමයි දිට්ඨියේ වැදිලා ආපහු විසිවෙනවා, දිට්ඨිගත හිතක ස්වභාවය එයයි. ඕනෑම දිට්ඨියක් කරන්නේ ආපහු කොහාට හරි විසි කරලා දානවා, හිතට එකතු වෙන්න දෙන්නෙ නෑ. හිත  තියෙන්නේ යකඩ බටයක් ඇතුලෙනේ, ඉතින් එකතු වෙන්නේ නෑ, හිත වෙනස් වෙන්නෙ නෑ, මොනවා කියෙව්වත් මොනවා ඇහුවත්. දිට්ඨිය හොඳද නරකද වැදගත් නෑ. 


දහම පිළිබඳ, දහම ඇසුරින් බුද්ධිය හදාගන්නවා දිට්ඨි ටිකක් මේක තමා භයානක කාරණය. බුද්ධිය තමන්ව බේරා ගන්න, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරන විදිහ. බුද්ධිමත් හිතක් තමා මේ කරන්නේ, මෙනෙහි කර විමසා භාවනා කර විපස්සනා කර අවබෝධ කරගත යුතු ධර්මතා. ඒ කිසිවකට නොයා ගවේෂණය කරන්නේ නෑ, සාකච්ඡා කරන්නෙත් නෑ, අත්හදා බලන්නෙ නෑ, අත් දකින්නෙත් නෑ ඒ කිසිවකට නොයා දිට්ඨියක් හදාගන්නව “සියල්ල අනිත්‍යයි” කියා. මේ එක උදාහරණයක්, “සියල්ල අනිත්‍යයි”, එහෙම කිව්වම කවුද නෑ කියන්නේ, කාටද නෑ කියන්න පුළුවන්?, “සියල්ල දුකයි”, “මගේ නොවෙයි” කියලා දැන් මෙහෙම කියන හිතක්,, තමන් රැවටී සිටින බව දන්නෙ නෑ. මේ ඇත්තක් කියන්නේ කියන හැඟීමෙන් කියන්නේ. මෙහෙම කිව්වත් නොකිව්වත් හිතුවොත් නැතිනම් ලිව්වොත් ලෝකයම පිළිගනී, හිතත් පිළිගන්නවා, ඒ කියන ලියන හිතන හිතත් පිළිගන්නවා, හැබැයි මේ ධර්මතාවය අවබෝධ කරගෙන නෑ. අවබෝධය වන වැඩපිළිවෙළේ පලවෙනි පියවරටවත් ඇවිත් නෑ, හරියට අහලවත් නෑ, ඇහිලා තියෙනවා අහලා නෑ, හරියට කියවලා නෑ, වචන දැකලා තියෙනවා, කල්පනා කරල ඇති නමුත්  මෙනෙහි කරලා නෑ, තර්ක කර ඇති නමුත් සාකච්ඡා කර නෑ, ඉතින් එහාට කොහොමවත් ධම්මවිචය බොජ්ජංගය පැත්තට කොහොමවත් ගිහිල්ලා නෑ, නමුත් මොනවා නැතත් මෙහෙම කියන්න පුළුවන් “සියල්ල අනිච්චයි”. හිතවතුනි බුද්ධිමත්ව මෙය ඔප්පු කරන්නත් පුළුවන්, විවිධ සූත්‍ර පාඨ වලින් නූතන පර්යේෂණවලින්, හැබැයි මේවා දිටඨි පමණයි. මෙහි භයානක කාරණය පුද්ගලයව විමුක්ති මාර්ගයට යන්න තියෙන අවස්ථාවට යන්න නොදී වළක්වනවා. දිෂ්ටි කරන්නේ එයයි, මාර්ගයේ යන්න අවශ්‍ය නෑ, මේ කියූ ටික දන්නවා, හරි, භාවනා කරන්න දෙන්නේ නෑ. සමහරවිට තර්කයක් ගේන්න පුළුවන් “ මෙසේ සියල්ල අවබෝධ වෙලා නම් තියෙන්නේ සියල්ල අනිච්චයි දුක්ඛයි අනත්තයි කියා, එසේනම් ඔබ ගැලවිලානේ ඉන්නේ එතෙර වෙලා නේ. එහෙනම් කෙලෙස් තියෙන්න බෑ”, එහෙම කියන්න පුළුවන්නේ. ඒ අත්දැකීමත් දිට්ඨි වලට දෙන්න පුළුවන් එයට කිට්ටු අත්දැකීම් ටිකක් දිට්ඨියට පුළුවන් මවල දෙන්න, ඒ නිසයි දිෂ්ටි කියන්නේ, එහෙම දිට්ඨි වූවිට ඕනම බොරුවක් ඇත්තක් කරන්න පුළුවන්. හිතවතුනී මොනවා ගැන දිට්ඨිය ඇති කර ගත්තත් කමක් නෑ, දේශපාලනය සංස්කෘතිය සමාජය පැත්තෙන් දිට්ඨියක් ගත්තට කමක් නෑ, ලොකු හානියක් වෙන්නේ නෑ, සමහරවිට යහපතක් වෙයි, හැබැයි ධර්මතා ගැන නම් දිට්ඨි හදාගත්තොත් ඉවරයි, ආයෙ ගමනක් නෑ.


ධර්මතා පිළිබඳව දිට්ඨි ද තියෙන්නේ, අවබෝධයක්ද තියෙන්නේ, මේ කාරණය නැවත නැවත විමසන්න නැවත නැවත විමසන්න. අවබෝධයක් ලැබී තිබුනත් නෑ කියලා හිතන එක වැඩිය හොඳයි. කිසියම් අවබෝධයක් ලැබිලා තිබුණත් නොලැබුණු අවබෝධයක් ලැබුණා කියලා හිතනවට වඩා, ලැබුණු අවබෝධයක් තවම ලැබී නෑ කියා සිතීම සෞඛ්‍ය සම්පන්නයි, දීර්ඝකාලීනව යහපතක්. එම නිසා දිට්ඨි  ගැන දැකීමෙන් යුක්ත වෙන්න ඕනේ. එම නිසා දිෂ්ටි දකින්න ඒවා ගැන නැවත නැවත ‍ප්‍රශ්න කරන්න. අප බලමු අපට තියන දිට්ඨි දහම ගැන, ඒවා ඇත්තටම දිට්ඨි ද නැත්නම් අවබෝධයක්ද, ඒ ප්‍රශ්න කිරීමට අප අපවම විත්ති කූඩුවට නග්ගමු. 


භාවනාව


  • තේරුම් ගොස් තිබෙන වැටහී තිබෙන ‍ප්‍රත්‍යක්ෂවී තිබෙන ධර්මතා මොනවාද, මේ ප්‍රශ්නය වෙඩි උණ්ඩයක් වගේ සිහිබුද්ධිය බුද්ධිමත් හිතින් අහනවා, ඇහෙන්න දෙන්න. “ඔබ බුද්ධිමත්, බුද්ධිමත් හිත මට කියන්න මෙපමණ කාලයක් ඔබ ජීවත් වුණා එයිනුත් මෙපමණ කාලයක් ඔබ පොත පත කියෙව්වා සවන් දුන්නා සාකච්ඡා කළා සමහර විට භාවනා කළා. දැන් කියන්න වටහාගත්තා කියා නිශ්චිතව කිව හැකි ධර්මතාවයක් හෝ ධර්මතාවයන් මොනවාද?”

  • කළු නම් කලුයි, සුදු නම් සුදුම සුදුයි, හොඳ නම් දැනුත් හොඳයි හෙටත් හොඳයි, නරක නම් දැනුත් නරකයි දිගටම නරක් වෙමින් තමා ඉන්නේ, හොඳ නම් දැනුත් හොඳයි, මේ මොහොතේත් හොඳ වෙමින් තමා ඉන්නේ. මෙන්න මේ රාමුව මේ යකඩ කෝවේ ඇතුලෙද, එහෙමද ඉන්නේ, හිත තියෙන්නේ?

  • නැවතුන දෙයක් හෝ කෙනකු සිටිනවාද, හොදේ හෝ නරකේ නැවතුන, ලස්සනේ හෝ අවලස්සනේ නතරවුන, පිවිතුරු බවේ හෝ අපිවිතුරු බවේ නතර වූ කෙනකු හෝ නතර වූ දෙයක්, ඔව්ද නැද්ද වැදගත් නෑ, පේන්නෙ කොහොමද?

  • හොඳේ සිට නරකට, නරකේ සිට හොඳට, ලස්සනේ සිට අවලස්සනට, අවලස්සනේ සිට ලස්සනට චක්‍රයක යන රවුම් ගමනක්.

  • එබඳු ගමනක් ද පෙනෙන්නේ, නැතිනම් මුල් ඇදගත් එක තැනක නතර වුණු ස්වභාවයක්ද?

  • ඒ සොයා බැලීම කරමින් දිගටම හිතවතුනි අපි සොයා බැලීමකට එමු, සාකච්ඡාවට.


 සාකච්ඡාව


ප්‍ර : සංඥා උපාදානස්කන්ධයයි දිට්ඨියයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා ද?


පි : ඕනෑම දෙයක් ගැන දිට්ඨී ඇති කරගන්න පුළුවන්. සංඥා ගැනත් දිෂ්ටි ඇති කරගන්න පුළුවන්, උපාදානය ගැනත් දිට්ඨිය ඇතිකර ගන්න පුළුවන්, ස්කන්ධය ගැනත් දිට්ඨිය ඇතිකර ගන්න පුලුවන්. ඉතින් අනිවාර්ය සම්බන්ධයක් තියෙනවා කියන්න බෑ, නමුත් තියෙන්න පුළුවන්. දිට්ඨියක් ඇතිවෙන්නෙම තමන්ගේ ඉන්ද්‍රිය අත්දැකීමක් ගැන, බොහෝවිට දිට්ඨි ඇතිකර ගන්නේ මනීන්ද්‍රිය අත්දැකීම් ගැන. මනීන්ද්‍රිය අත්දැකීම් දැනෙන්නේ සංඥා වේදනා විදිහට. අත්දැකීමක් දැනෙන්නේ සංඥා හා වේදනා විදිහට. එම නිසා දිට්ඨියක් ඇති වෙන්නේ මුලින්ම සංඥා වේදනා වලට. ඇතිවෙන දිට්ඨිය සංඛාර ස්කන්ධයට තමයි නම් කරනවා නම් නම්කරන්න වෙන්නේ. දිට්ඨිය තියෙන්නේ සංඛාර ස්කන්ධයේ. එසේ දිට්ඨියක් ඇති කර ගත් ගමන්ම  සංඛාර උපාදානස්ඛන්ධයටයි යන්නේ. මේවා නම් පමණයි. වැදගත් වෙන්නේ, සංඥා කියන්නේ “හඳුනාගැනීම” නේ. හඳුනාගන්න අපට යම්කිසි මිම්මක් අවශ්‍ය වෙනවා. ඡායාරූපයක් අපට දීලා මෙහෙම කෙනෙක් මෙතනින් ගියොත් කියන්න කියලා කිව්වොත් අප ඡායාරූපයට අනුව තමයි මිනිසුන්ගේ මුහුණ දිහා බලන්නේ. සංඥා කියන්නේ මෙයට තමයි, කිසියම් ඡායාරූපයක් හිතේ තියෙනවා හදාගෙන, ඒ ඡායාරූපයට අනුව වර්තමානයේ හඳුනාගැනීමයි සංඥාවෙන් කරන්නේ. ඡායාරූපය ස්ථිරයි කියන පදනමට එන්න වෙනවා, සංඥාව ස්ථිරයි. ඒ නිසා සෑම සංඥාවක් එක්කම නිත්‍ය සංඥව යනවා. නිච්ච සංඥා කියන්නේ අප ලෝකය හඳුනාගන්න භාවිතා කරන ඡායාරූප ටිකක් තියෙනවා, සෑම හිතක් ඇතුලේම අතීතයේ ගත් ඡායාරූප ටිකක් තියෙනවා ඒ ඡායාරූප ආශ්‍රයෙන් තමා වර්තමානය හඳුනාගන්නේ. ඡායාරූපය ස්ථිරයි නිවැරදියි කියන කියන ඒ නිච්ච ස්වභාවයට ඇවිත් තමා සංඥා පාවිච්චි කරන්නේ. ඉතින් එතනත් නිත්‍ය තියෙනවා. ඒ නිසා තමා රැවටෙන්නේ. ඉතින් සංඥාවල වරදක් නෑ වරද තියෙන්නේ නිත්‍ය සංඥවල. සඥා නැති කරන්න අවශ්‍ය නෑ. අයින් වෙන්න ඕන නිත්‍ය සංඥාවෙන්, සංඥාව නිත්‍යයි කියන එකෙන්, ඡායාරූප වෙනස් වෙන්නෑ කියන එකෙන්, එතනින් තමා වරදින්නේ අපට. එතැන නිවැරදි කරගත්තොත් මොන සංඥාව තිබ්බත් කමක් නෑ. සංඥාව එකක් වර්තමානය තව එකක්. සංඥාවට අනුව වර්තමානයේ දේවල් වෙන්නත් පුළුවන් ඊට වෙනස් විදිහට වෙන්නත් පුළුවන්.


ප්‍ර : සම්මා දිට්ඨිය ද එතන තියෙන්නේ?

පි : සම්මා දිට්ඨිය කිව්වහම එතනත් දිට්ඨියක්නේ තියෙන්නෙ. ඉතින් මෙතන තියෙන වැදගත් කාරණය තමයි, මෙතන බලන්න ඕනේ ප්‍රායෝගික පැත්ත, කොහොමද මේ ලෙඩේ මේ සංසාර රෝගය සනීප කර ගන්නේ කියලා, එය තමයි ඉලක්කය වෙන්න ඕනේ. එහෙම නැතිව මේ සියල්ලම හෙළා දැකලා සියල්ලම විවේචනය කළා කියා ලෙඩේ හොඳ වෙන්නේ නෑ. විවේචනය බෙහෙතක් වෙන්නේ නෑ. එම නිසා මෙතන ප්‍රායෝගික පැත්තයි බලන්න ඕනේ. මේ හැම එකක්ම දිට්ඨි, සම්මා දිට්ඨියත් දිට්ඨියක්, මිච්ඡා දිට්ඨියත් දිට්ඨියක්, එහෙම කියන එකත් දිට්ඨියක්, මේ සියල්ලම දිට්ඨි කියන එකත් දිට්ඨියක්. එහෙම කියන්න ගියොත් මෙහි ඉවරයක් නෑ. එහෙම කිව්වා කියලා දිට්ඨි නැති වෙන්නේ නෑ. හරියට එක ඇනයකින් තවත් ඇනයක් ගලවනවා වාගේ ඉවරයක් නෑ. එක ඇණයක් ගලවන්න තව ඇණයක් ගහනවා, ආයෙමත් ඉන්නෙ මේ සංසාර ක්‍රීඩාවේම තමයි. එහෙම නොවෙයි බලන්න මේ හිර වෙලා තියෙන මිච්ඡාදිට්ඨි නැමති ඇණය බුරුල් කරන්න සම්මා දිට්ඨිය කියන ඇණයෙන් ගහනවා, සම්මාදිට්ටිය හිර නොවන විදිහට. සම්මා දිට්ඨිය කියන්නේ හිර නොවෙන ඇණයක්. ඒක ඕන වෙලාවක බුරුල් වෙනවා ගලවලා දාන්න පුළුවන්. මිච්ඡාදිට්ඨි කියන ඇනේ එහෙම නෑ, ඒ ඇනේ හිර උනාම හිර උනා තමයි, බොහොම කාලයක් යනවා එතනින් ගැලවෙන්න. එසේම මේ සියල්ල දුකයි පලවෙනි සම්මා දිට්ඨිය එයනේ. ඉතින් සියල්ල සැපයි කියන දිට්ඨියට වඩා සියල්ල දුකයි කියන දිට්ටිය හොඳයි. හොඳයි කියන්නේ සංසාරෙන් එළියට යන්න උදව් වෙන්නේ සියල්ල සැපයි කියන දිට්ඨිය නොවේ සියල්ල දුකයි කියන දිට්ඨිය. සැපයි කියන දිට්ඨියත් එක්ක ඉන්නනේ හිතෙන්නේ. හොඳයි කියන්නේ සාපේක්ෂ වශයෙන් ප්‍රායෝගික වශයෙන් උදව්වක්. ඒ අර්ථයෙන් තමා මේවට සම්මා දිට්ඨි කියන්නෙ. චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනම එකක්. දිට්ඨිය පැත්තෙන් ගන්න උදව්ව වෙනම උදව්වක්. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්නේ නෑ ඔය සම්මා දිට්ඨියෙන්. සම්මා සංකල්පයේ ඉඳන් ගමනක් ඕන කරන්නේ නෑනේ සම්මා දිට්ඨියෙන්ම ගමන ඉවර කරන්න තිබුණානේ. නෑ, එතන අවබෝධයක් නෙමේ වෙන්නේ, දිට්ඨි පැත්තෙන් උදව්වෙන දිට්ඨි ටිකක් ඇතිකරගන්නවා සංසාරේ ඉන්න. ඒ කියන්නේ ලෙඩේ වැඩි වෙන දිට්ඨි අයින්කරගන්න ගලවලා දාන්න පහසුවක් වෙන විදිහට. 


ප්‍ර : දරුවෙක් ලෝකයට ඉපදෙනකොට එයාගෙ හිත සුදු කොලයක් කියල හිතමු. එතකොට එයා ලෝකය දිහා බලන්නේ සුදු විදිහටනේ. ඔහුට හොදක් නරකක් තේරෙන්නේ නෑ. වටේ පරිසරයේ අය තමයි එයාගේ මනසට සුදු රෙද්දට දේවල් එකතු කරන්නේ. ඊට පස්සේ එයා ඒ හරහා තමයි ලෝකෙ දිහා බලන්නේ. ඒ විදිහට අපි පිටින් දුන්න සංඥා වලින්ද ලෝකය දිහා බලන්නේ?


පි :  සාමාන්‍ය අදහස තමා කුඩා දරුවෙකුගේ හිත හරි නිර්මලයි බොහොම පිරිසුදු හිතන් තමයි තියෙන්නේ කියා. බුද්ධ දේශනාවේ නැතිවුනත්, සාමාන්‍යයෙන් ධර්මයට සම්බන්ධ සාහිත්‍යයේත් තියෙන කාරණයක්. ඒ හිත ටික ටික බාහිර ලෝකයත්  එක්ක එකතු වුනාම කෙලෙස් වලට එන හැටි. එහෙනම් එයින් කියවෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් ඉපදිලා කාලයත් එක්ක පෘථග්ජන වෙනවා කියන එකද? එහෙම වෙනවා නම් රහත් වෙලා වැඩක් නෑ, රහත් වුණත් ආපහු කාලයත් එක්ක පෘථග්ජන වෙනවා. එහෙම කියන්න අමාරුයි. දරුවෙකුගෙ නරක පැත්ත අඩුයි, පේන නරක අඩුයි, අහිංසකයි, ඒක ඇත්ත. නරක ප්‍රතික්‍රියා නෑ, පළිගන්න ගති නෑ, බොහොම ඉක්මනට තරහ අමතක කරනවා. හැබැයි මේවා නැත්තෙ නෑ, මව්කුස ඇතුලෙත් තියෙනවා, අපට අමතක වෙලා තියෙන්නේ, මතක් කර ගන්න පුලුවන්නම් මව්කුස ඇතුළෙත් ඇඬුවා හිනා වුනා තරහා ගත්තා බය වුනා  සෑම ප්‍රතික්‍රියාවක්ම අරගෙන තියෙනවා. මෝහනය කරාම මව්කුස ඇතුලේ අත්දැකීම් කියන්න කියුවිට ඕවා තමයි කියන්නේ. මේවා ඉපදුනේ කවද්ද කියා නම් කියන්න බෑ, හැබැයි කෙලෙස් උපදිනකොට දැනගන්න පුළුවන් නම් සංසාරේ උපදින හැටි දැනගන්න පුළුවන්. ඒ මට්ටමට සිහිබුද්ධිය තිබුනොත් ක්ලේශයක් උපදිනකොට දැනගන්න පුළුවන්. එය තමයි අපට වැදගත් වන උපත. හඳුනාගතයුතු අවබෝධ කළ ගතයුතු උපත තමයි කෙලෙස් ඉපදීම. ඒ උප්පත්තිය ඇදගෙන යනවද පණ දිදී නැත්නම් ඒ ඉපදුන තැනම අභාවයට යන්න අවශ්‍ය අනිත් සුදුසුකම් ඇතිකර ගන්නවාද?. සමාජය නිසා හොඳ වෙනවට වඩා නරක් වෙන එක තමයි වෙන්නේ, පරාර්ථකාමී වෙනවට වඩා ආත්මාර්ථකාමී වෙනවා. හැබැයි මේක කරන්න පුළුවන් හැකියාවක් එක්කයි ඉපදිලා තියෙන්නේ. එම නිසා තමයි එහෙම කරන්නේ. සමාජයට කෙනෙක් නරක් කරන්න බෑ එසේ නරක් වෙන ස්වභාවයක් නැත්නම්, ඒ මුල් නැත්නම් ඒ ධර්මතා නැත්නම්. සියලු ධර්මතා එක්කයි මනුෂ්‍යයෙක් උපදින්නේ. 


ඒ නිසා කියන්න අමාරුයි තනිකර සුදු හිතක් තමයි උපදින්නේ කියා. එහෙම නොවෙයි එහි බීජ තිබෙනවා ඒ බීජ වලට නියමිත පරිසරය ඇති වූවිට පැලවෙනවා, කොයි කොයි දවසේ පැලවෙයිද කියන්න බෑ, හැබැයි බීජ ගබඩාවක් එක්කයි ඉපදෙන්නේ. මේ විඤ්ඤාණය ප්‍රතිසන්ධිය වෙන්නේ හිස් විඥානයක් නොවෙයි, සියලුම හොඳ සහ සියලුම නරකවල් එක්කයි. එතකොට විඤ්ඤාණය ගමන් කරන්නේ බීජ සමග. කොපමණ හොඳ බීජ සහ නරක බීජ තිබෙනවාද කවුරුවත් දන්නෙ නෑ. මේ වෙලාවේ වුණත් කොපමණ හොඳ සහ නරක තියෙනවාද කියන්න දන්නේ නෑ, පේන්න තියෙන්නේ එකයි දෙකයි, නමුත් බීජ මට්ටමෙන් දාස් ගානක් තියනවා සාමාන්‍ය හිතක. සියලුම ප්‍රේත ගති යක්ෂ ගති තිරිසන් ගති ගති දේව ගති බ්‍රහ්ම ගති තියෙනවා බීජ මට්ටමින්. ඒ නිසයි කෙනෙකු භාවනා කළොත් ධ්‍යාන මට්ටමට එන්න පුළුවන් වෙන්නේ. ධ්‍යාන වලට ඇවිල්ලා ඒවා පිරිහුනේ නැතිව කලුරිය කලොත් බ්‍රහ්ම ලෝකෙට යනවා, දේව ගති දියුණු කළොත් දෙව්ලොවට යනවා, තිරිසන් ගති දියුණු කළොත් තිරිසන් ලෝකයට යනවා. මනුෂ්‍ය ගති කියලා දේවල් නෑ, මේ තමයි වැදගත්ම දේ මනුෂ්‍ය කියන්නේ විශ්වයේ තියෙන යම්තාක් හොඳයි නරකයි කියන බීජ ගබඩාවකට, සියලුම බීජ ගබඩාවකට. ඉතින් අහම්බෙන් පැලවෙන ඒවා තියෙනවා පරිසරය විසින් පැලකරන වැලක් තියෙනවා පාරම්පරිකව පැලවෙන දේත් තියෙනවා හිතාමතාම පැල කරගන්න දේවලුත් තියෙනවා. හැබැයි මේ විදිහට පැළවෙලා මල්ඵල ගන්නෙ බොහෝම ස්වල්පයක්. එම නිසා එක ජීවිත කාලයකදී කෙනකුගේ අපට පේන්නෙ ගතිගුණ බොහොම ටිකයි. මේ බීජ මැරෙන්නෙ නෑ. මේ බීජ භවයෙන් භවයට විඤ්ඤාණය පවතින තාක් කල් යනවා. මේ බීජ නිරෝධයට තමයි ආශ්‍රවක්ෂය කියන්නේ, ඒ මට්ටමකට ගියහම. රතනසූත්‍රයේ අවසාන ගාථාවෙි කියන්නේ,


ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං - විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං

තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා - නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ

ඉදම්පි සඞඝෙ රතනං පණීතං - එතෙන සච්චේන සුවත්ථි හොතු”, 

පැරණි කියලා යමක් තිබ්බද ඒවා ක්ෂය වෙලා, අලුතෙන් කියලා යමක් ගන්නෙත් නෑ, පැරණි කියලා තිබ්බ දේවල් ගෙනියන්නේත් නෑ, ඒවත් ක්ෂය වෙලා, නොඇලුණු හිතක් කියන්නේ නොබැඳුණු හිතක් කියන්නේ තමන් පිළිබඳව මතු පැවැත්ම ගැන බීජ කියලා කියන්න පුළුවන් යම්තාක් සාංසාරික ගති තියනවද ඒ සියල්ල ක්ෂය වෙලා ආයෙ පැලවීමක් නම් නැත. ඔය කියපු ලක්ෂණ වලට ඔය ස්වභාවයට තමයි “ධීරා” කියන්නේ. ඔය කියන ලක්ෂණ වලින් යුක්ත කෙනයි පහනක් සේ නිවෙන්නේ. 


ප්‍ර : ආයතනයන්ගෙන් එන සංඥාව තමයි මනසට යන්නේ.  මනස ඒ සංඥා එකතු කරලා තියාගන්නවා. මේවා එකතුවීමේ ඉවරයක් නෑ. මේ නිසා දිට්ඨිගත වෙනවද?


පි :  දිට්ඨි කියන්නෙ අවබෝධ කරගන්නේ නැතිව ගනු ලබන නිගමනයකට. ඉතින් “මැරුනට පස්සේ මොකද වෙන්නේ?” කියන ප්‍රශ්නයට, “දන්නේ නෑ” කිව්වොත් එතන දිට්ඨියක් නෑ, දන්නෙ නෑ. එහෙම කෙනා මිච්ඡා දිට්ඨියට යන්නෙ නෑ. හැබැයි “මැරුනට පස්සෙ මුකුත් වෙන්නේ නෑ ඔක්කොම ඉවරයි” කියලා කියනවා නම් ඒක අවබෝධයෙන් නොවේනේ කියන්නේ. එහෙම අනවබෝධයෙන් නම් කියන්නේ එය දිට්ඨියක්. දිට්ඨියක් පමණක් නෙවෙයි මිච්ඡාදිට්ඨියක් වෙනවා මොකද ඒ දිට්ඨිය මෙලෝ වශයෙන් තමන්ට හා අනුන්ට හානියක් වෙනවා පරලොව වශයෙනුත් හානියක් වෙන්න පුළුවන්.

අප ඉන්ද්‍රිය අත්දැකීමක් ආශ්‍රයෙන් තමයි හැමදේකටම එළඹෙන්නේ, හිතලා ඕනෑම දෙයක් ගැන දිට්ඨියකට එන්නත් පුළුවන්, අත්දැකීමක් ලැබුණා ද නැද්ද වැදගත් නෑ. හිතට පුළුවනි හිත කරන දෙයක් තමයි ඔහේ කල්පනාකිරීම. එහෙම උඩට උඩට ගොඩනගනවා තට්ටුවෙන් තට්ටුවට. ඒකට තමා ස්කන්ධ කියන්නේ, සංස්කාර ස්කන්ධය. හැබැයි උඩ තට්ටුව හදන්නේ යට තට්ටුව හරි කියන නිගමනයෙන්, ඒක තමය දිට්ඨි කියන්නෙ. පලවෙනි කල්පනාව හරි කියන මුද්‍රාව ගැහුවම තමයි ඊළඟ තට්ටුව හදන්න අවසර දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි හිත දිට්ඨියෙන් දිට්ඨියට යන්නේ. මුලින් එන සිතුවිල්ල හරියි නම් තමා දෙවන සිතිවිල්ල එන්නේ. ඉතින් හොඳට බැලුවොත් සිතිවිල්ලෙන් සිතිවිල්ලට අපි දිට්ඨිගත වෙනවා, හරි හරි හරි. එතකොට මේ සිතිවිල්ල හරි නෑ කියන සිතිවිල්ල ආවොත් ඒ කල්පනාව ඉන් එහාට යන්නෙ නෑ.  එතකොට වෙන කල්පනාවක්, මෙහෙම තමයි යන්නේ.


ප්‍ර : “මට ඕන විදිහට කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද කියල” මම මගෙන්ම ප්‍රශ්ණ කරනවිට මගේ බුද්ධිය තමයි කියන්නේ “ඔව්, එක තමයි වෙන්නේ”. එතකොට මම එතනින් එයා පල්ලෙහාට කොහොමද යන්නේ?. මේක මම හිතා ගත්ත දෙයක් දිට්ඨියක් කියලා දන්නවා. එතනින් එහා අවබෝධයකට යන්නේ 

කොහොමද?


පි : බුද්ධිය හැමදේටම ඉස්සරහට පැනලා උත්තර දෙනවා. එයාව පුහුණු කරලා තියෙන්නේ ඒ සඳහායි. එයා ඉන්නෙත් ඔය දේ කරන්න. හැම වෙලාවකම  බුද්ධියට තමයි නායකත්වය දීලා තියෙන්නේ. ඒ නිසා ධර්මයට ආවහම භාවනාවට ආවමත් එයා තමයි නියමුවා වෙන්න හදන්නේ. කමක් නෑ, එයාට තව එක්කෙනෙක් “සිහිය” එකතු කරනවා මෙතැනදී. සාමාන්‍ය ජීවිතේදි සියල්ලම බුද්ධියෙන් කරන්න පුළුවන්, බැරි මේ ගමන විතරයි. මේ ගමනට උදව්වක් සහායකයෙක් ඕනේ. ඒ “සිහිය” කියන සහායකයා එකතු වුණහම තමා සිහිබුද්ධිය වෙන්නේ. එම නිසා බුද්ධිය එහෙම තීරණයකට ඇවිත් කියනවනම් “මට ඕන විදිහට කිසි දෙයක් තියෙන්නෙ නෑ” කියා, එවිට අප බුද්ධියෙන් අහන්නේ නෑ එහෙනම් “ඒ අනුව ද ඔබ ජීවත් වෙන්නේ ඒ අනුව ද ඔබ හිතන්නේ ඒ අනුව ද ඔබ කටයුතු කරන්නේ” කියලා, එයාගෙන් ඇහුවොත් ඉතින් එක්කෝ ඔව් කියයි නැත්නම් නෑ කියයි. ඔව්ද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි බුද්ධියට කියනවා “ඔයාට පේන්නේ නෑනේ, ඒ නිසා සිහිය එකතුකරගෙන බලන්න. එයාට භාරදෙන්න”, “හැමවෙලේම මට ඕන විදිහට කිසි දෙයක් පවතින්නේ නෑ” කියන ඒ ආකල්පයෙන්ද ඒ ධර්මතාවයෙන්ද ජීවත් වෙන්නේ කියලා දැන ගන්න. මේ තමයි කරන්න තියෙන්නේ. එවැනි කාරණයක් කියනකොට බලන්න එහෙමද ඉන්නේ එහෙමද ජීවත් වෙන්නේ කියලා, ඒ බලන්නේ සිහියෙන්. ඒ විදිහට බුද්ධියට සිහිය එකතු කරලා දෙනවා. මේ පරීක්ෂණය ඕනේ. මේ ෆීල්ඩ් එකේ තමයි බලන්න ඕන. ක්ෂත්‍රෙයට ගිහින් තමා හොයන්න වෙන්නේ මේක අවබෝධයක්ද දිට්ඨියක් ද කියලා.


 හිතවතුනි මේ හැම දෙයක්ම කපලා කොටලා පෙරල මිරිකල බලන්න ඕන. එහෙම හැම පැත්තෙන්ම බැලුවම තමා අවබෝධය ලැබෙන්නේ. එක පැත්තකින් බැලුවම ලැබෙන්නේ පටු දැක්මක් පටු දර්ශනයක්. ඒ නිසා බය වෙන්න එපා කිසිම අදහසක් ගැන ප්‍රශ්ණ කරන්න, ඒක එහෙමද නැද්ද කියලා හොයලා බලන්න සාකච්ඡා කරන්න බයවෙන්න එපා, එය පවක් නොවේ, තමන් පිළිගන්න ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න කරන්න බය වෙන්න එපා. නමුත් අනිත් අය පිළිගන්න දේවල් ගැන අපි මොනවටද ප්‍රශ්න කරන්නේ?. අපිට හොඳටම තේරුනොත් මේ ප්‍රශ්නය උදව්වක් වෙයි කියලා ඒ කරුණාවෙන් අහනවා මිසක් අපි අනිත් කෙනා ඉන්නේ මිත්‍යාදෘෂ්ඨියක කියලා පල්ලෙහාට දාන්න මොනවටද අපි ප්‍රශ්න අහන්නේ?. ඒකට බය උනාට කමක් නෑ, එහෙම ප්‍රශ්න අහන්න. තමන්ගේ ප්‍රශ්න අහන්න බයවෙන්න එපා. තමන් පිළිගන්න මත දිට්ඨි නිගමන දිගින් දිගටම දිගින් දිගටම මේවා ප්‍රශ්න කරන්න. තමා ඉන්නෙ කොහොමද, ජීවත් වෙන්නේ කොහොමද, ඒ වගේම ධර්මතා කොහොමද සිද්ධ වෙන්නේ, මේ දෙක එකට ද යන්නේ, ඉන්න විදියයි ධර්මතායි හරියට ගැලපෙනවද එහෙම නැත්නම් ඉන්න විදිය එකක් ධර්මතා තව විදිහක්, ගැටීමක් ද තියෙන්නේ සිදුවීමකදී, හැප්පෙනවද ගැටෙනවාද?. සිදුවීමෙන් සිදුවීමට බලනකොට පේනවා මොන තරම් පරතරයක් තියෙනවාද මමයි ධර්මතායි අතර. ඉතින් අපි මේ පරතරය සමනය කරන්න හදන්නෙ මම වෙනස් වෙලා නොවෙයි ධර්මතා වෙනස් කරලා. අපි බලනවා පුළුවන් තරම් මේ ධර්මතා මට ගැළපෙන විදිහට වෙනස් කරගන්න, ධර්මතාවලට අනුකූලව මම වෙනස් වෙනවා වෙනුවට. ඉතින් මට ඕන විදිහට යමක් තියෙන්නේ නෑ කියලා අවබෝධවීමත් ඊට පස්සේ කරකවලා ගේනවා මට ඕන විදිහට ධර්මතා හැදෙන්න ඕනේ කියලා. හිතවතුනි මේ පරීක්ෂණය දිගටම කරන්න. මෙතනම තමයි යතුරයි පාරයි ගමනයි ගමනාන්තයයි සියල්ල තියෙන්නේ. වෙන කිසි දෙයක් අපිට කරන්න නොලැබුනත් ආයෙ අහන්න නොලැබුනත් සාකච්ඡා කරන්න නොලැබුනත් මේ පණිවිඩය තමයි, මේ තමයි යතුර මේ තමයි පාර මේ තමයි ගමන සහ මේ තමයි ගමනාන්තය.


හැම දෙනාටම,

සෙතක්ම වේවා !

ශාන්තියක්ම වේවා !!

සැනසිල්ලක් ම වේවා !!!