සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 16

2022 ජනවාරි 19, සාරාංශය 


ජීවිතයක් පිරෙන්න අවශ්‍ය වැදගත්ම මූලිකම කාරණයක් තමා හිතවත්කම. ලෞකික වේවා ආධ්‍යාත්මික වේවා ඕනෑ ම ජීවිතයක හිතවත්කම් තිබෙනවා නම් පොහොසත් බවක් හදවතට දැනෙනවා, ලොකු හයියක්. පුද්ගලික හිතවත්කම ලස්සනයි, පොදු හිතවත්කම් එයටත් වඩා ලස්සනයි. මේ සදහම් මගේ යන ගමනට හිතවත්කම අත්‍යවශ්‍යයි, පියවරෙන් පියවරට අත්‍යාවශ්‍යයි. ඉන් කියවෙන්නේ නෑ අත්වැල් බැඳගෙන, කරට අත දාගෙන, අතින් ඇදගෙන, වඩාගෙන, කරේ තියාගෙන යන්න පුළුවන් රැගෙන යන්න පුළුවන් කියා. ඒ එසේ නොවන බව අප කවුරුත් දන්නවා. ජීවිතයේ තනිව යා නොහැකි ගමනක් කොපමණ තනි වුණත් තනිව යා නොහැකි ගමනක් තමා ආධ්‍යාත්මික ගමන. භෞතික වශයෙන් කෙනෙකු  තනියම ගල්ගුහාවක, කැලයක, කුටියක ඉන්න පුළුවනි. ඒ භෞතික තනිකම හෝ භෞතික සාමාජිකත්වය ඉක්මවා ගිය වඩා සියුම් හා ගැඹුරු අන්‍යෝන්‍ය බෙදාගැනීමක්, මගපෙන්වීමක්, ආලෝකයක් අත්‍යවශ්‍යයි. තමන් තමන්ට පහනක් විය යුතුයි. එය තමයි ඉලක්කය එය ආරම්භය නොවේ, එතනින් පටන් ගන්න කාටවත් බෑ. එයයි අවසානය, ගමනාන්තය, ඉලක්කය, නිෂ්ඨාව, නිමාව, පරමාර්ථය. 


අත්දකින ධර්මතා බෙදාගැනීමට සහ මෙතෙක් නොදුටු ධර්මතා ගවේෂණය කිරීමට අනාවරණය කර ගැනීමටයි අප එකමුතුව ඉන්නේ. බෙදා ගැනීමයි ගවේෂණය කිරීමයි සිදුවෙන්නේ, මේ මුළු ගමනම යැවෙන්නේ හිතවත්කම මුල්කරගෙනයි. දහම සම්ප්‍රේෂණය වෙන්නේත් හිතවත්කම මතයි. මේ වැඩසටහන් මාලාව පුරාම පවතින්නේ කතා කළත් නොකළත්, මුන ගැහුනත් නොගැහුනත්, කතා කරන මුණගැසෙන දෙනෝ දහසකට වඩා ලස්සන හිතවත්කමක්. ඒ හිතවත්කම තමා මෙපමණ දුරක් අපව මේ මගෙහි රැගෙන ආවේ. කිසියම් තැනක, මානසික මට්ටමක හා ආධ්‍යාත්මික ස්ථානයක ඉන්නවද, සිටිනවාද, එතනට එන්න, මෙතැනට එන්නට, කල්‍යාණ මිත්‍රයන් කීදෙනෙකු නම් උපකාර කරන්න ඇතිද, මතක් කරන්න පුළුවන් සහ මතකයට නගා ගන්න බැරි තරම් කල්‍යාණ මිත්‍රයින් සංඛ්‍යාවකගේ  තල්ලුව, මගපෙන්වීම, දිරිගැන්වීම, ආදර්ශය හේතු වුණා සාධක වුණා, එබඳු දුර්ලභ ලැබීමත් සඳහා මොන තරම් හේතු වාසනා තිබෙනවාද. ඒ ගැන සතුටු වනවා වගේම ඒ සියලුම කල්‍යාණ මිත්‍රයන්ට අප කෘතඥ විය යුතු වෙනවා.


එක අතකින් ගන්න දේ තමන් අනුභව නොකර, ජීරණය කර ගන්නේ නැතිව, එහි රසය අත්හදා බලන්නේ නැතිව අනිත් අතින් දෙන්න පුළුවන්. එවැනි හුවමාරුවකින් ආධ්‍යාත්මික සම්ප්‍රේෂණයක් වෙන්නේ නෑ අත්දකින ධර්මතා බෙදාගැනීමක් වෙන්නේ නෑ. පිටපත් කිරිමක් පමණයි එතන තියෙන්නේ. copy and paste. copy කරනවා, paste කරනවා, වාර්තාකරණය. වාර්තාකරණයක් අවශ්‍යයි හැමදේටම, හැබැයි මේ කාර්යයට නම් එහි ලොකු අත්‍යවශ්‍යයතාවයක් නෑ. ලබා ගත්ත දේ තමුනුත් අනුභව කරන අතරම තමුනුත් දිරවා ගන්න අතරම අතින් අත බෙදා ගැනීමටයි භාවනාව කියන්නේ. 


වඩා වෙනස් සන්නිවේදනයක්, වෙනස් ගනුදෙනුවක් හා සම්ප්‍රේෂණයකුයි දහම් සන්නිවේදනයේදී කවදත් සිදුවුණේ, සිදුවිය යුත්තේ. කෙනෙකුගෙන් පණිවිඩයක් ලබාගන්න විට එය කොතරම් නිවැරදිව සිදු වෙනවද කියන කාරණය ඉතාම වැදගත්. ධර්ම දේශනා ශ්‍රවනය කරන විට, පොත පත කියවන විට කරන්නේ කෙනකුගේ පණිවිඩයක් ලබාගන්නවා , බාරගන්නවා කණින් ඇසින්. ඒ බාර ගැනීම ලබා ගැනීම මොනතරම් දුරට නිවැරදිව වෙනවද? ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. එම නිසා ධර්මශ්‍රවණය අතිශයින්ම දුර්ලභ කාරණයක් විදිහට දහමේ සඳහන් කරනවා. බණ ඇසීම කොහොමද දුර්ලභ වෙන්නේ?. මෙතන තියෙන්නෙ ඇසීමේ ගුණාත්මකභාවය පිළිබඳ කාරණයක්, ප්‍රමාණාත්මකව නොවෙයි. ගීතයක් කතන්දරයක් ඇසීමට අවශ්‍ය වෙන්නේ වින්දනය, රසය. බොහෝවිට ඒ රසයට තමා ඇහුම්කන් දෙන්නේ. ඊළඟට ඇහුම්කන් දෙන්නේ තර්කානුකුල බව. රසය අහන්නේ ඒ වින්දනයට කැමති හදවත, තර්කයේ දී ඉදිරියට එන්නේ තාර්කික මනස. හදවතයි බුද්ධියයි අතර සාමාන්‍ය ගනුදෙනුවක් තමා බොහෝවිට ශ්‍රවණයේදී සිදුවෙන්නේ. එයට  ධර්මශ්‍රවණය කියන්න බෑ, සාමාන්‍ය ශ්‍රවණය රස විඳීමක් හා බුද්ධිමය සන්නිවේදනයක් පමණයි.


ධර්මශ්‍රවනයේදී එතනින් එහාට ගොස් විචාරශීලි වීම අත්‍යවශ්‍යයි, විචාරශීලි වීම. විචාරශීලී බව කියන්නේ copy and paste නොවේ, පිටපත් කිරීමක් නොවේ. විචාර බුද්ධියක්, සිහිබුද්ධියක් ඕනෙ නෑ පිටපත් කරන්න, බුද්ධිය පමණක් ප්‍රමාණවත්. බුද්ධිය විශ්වයේ තියෙන තිබෙන දෙයක්. විශ්වයේ සෑම දේකටම යම්කිසි බුද්ධියක් තිබෙනවා. බෞද්ධයෙක් කියන්නේ බුද්ධිමත් කියන අදහස එපමණටම අංගසම්පූර්ණ අර්ථකථනයක් නොවේ, එසේ නම් විශ්වයේ හැම දෙයක්ම බෞද්ධ වෙන්න ඕන, එහෙම වෙන්නේ නෑ, විචාර බුද්ධිය අත්‍යවශ්‍යයි. පිටපත් කරන යන්ත්‍රයක් දන්නවා තමන් පිටපත් කරන බව. පිටපත් කරන දේවල් යන්ත්‍රය මතක තියාගෙන ඉන්නවා. මේ තමයි සාමාන්‍ය බුද්ධිය. නමුත් යන්ත්‍රයකට නැති බුද්ධියකුත් අවශ්‍යයි. කුමක්ද නැත්තේ යන්ත්‍රයට?. තමන් පිටපත් කරන පොතක තියෙන කාරණාවලින් ගන්න තියෙන යමක් අරගෙන ඒ අනුව වෙනස් වෙන්න යන්ත්‍රයට බෑ, කොපමණ පිටපත් කළත්. ත්‍රිපිටකම පිටපත් කළත් යත්‍රයකින්, ත්‍රිපිටකය පිටපත් කළා කියා ඒ යන්ත්‍රයට බෞද්ධ යන්ත්‍රයක් වෙන්න බෑ. එය හොඳ යන්ත්‍රයක් බුද්ධිමත් යන්ත්‍රයක් වෙන්න පුළුවන්, හැබැයි එපමණයි. මේ විදිහට නම් ආධ්‍යාත්මික ගනුදෙනුව සිදුවන්නේ අප සහ ඒ යන්ත්‍ර අතර වෙනසක් නෑ, බුද්ධිය තිබෙනවා, බුද්ධිමත්, නමුත් මොන තරම් කියෙව්වත් ඒ කියවූ දේ කී දෙනෙකුට කියා දුන්නත්, මොනතරම් ඇහුවාත් ඒ ඇසූ දෙය මොන තරම් බෙදා ගත්තත් අප අපමයි, ගනුදෙනුවක් සිදුවෙනවා, ඒ ලබාගැනීම-ලබාදීම දීම, අහනවා-කියනවා කියවනවා-ලියනවා, නමුත් අප අපම තමා. 


බෞද්ධ සන්නිවේදනයට වැදගත් කාරණයක් නොකියා කියන්නේ, ‘විචාර බුද්ධිය’. මේ කාරණය මුණගැසෙන්නේ බෞද්ධ සන්නිවේදනයේ දී පමණයි. ධර්ම ප්‍රචාරය බෞද්ධ පමණක් නොවෙයි නේ, විවිධ ආගම් දර්ම ප්‍රචාරය කරලා තියෙනවා කරමින් ඉන්නවා. නමුත් බෞද්ධ ධර්ම ප්‍රචාරයේ දී පමණක් මුණගැසෙන අතිවිශිෂ්ට සාධකයක් තිබෙනවා, ගුණාත්මක සාධකයක් තමා විචාර බුද්ධිය, copy and paste නොවේ, විචාර බුද්ධිය. ඕනම ධර්මයක් ප්‍රචාරය කරන්න බුද්ධියක් අවශ්‍යයි. බුද්ධිය තිබුනොත් පමණයි ධර්ම ප්‍රචාරය කරන්න පුළුවන්. හැබැයි එයින් එහාට යන්න සිහිබුද්ධිය අවශ්‍යයි. 


ආනන්ද ස්වාමීන් වහන්සේට මොනතරම් සිහිබුද්ධියක් තියෙන්න ඇත්ද  ‘ඒවං මේ සුතං’ කියන්න, මා විසින් මෙසේ අසන ලදී, ‘මා ඇහුවෙ මෙහෙමයි, මට ඇහුනෙ මෙහෙමයි, ඇහුන දේ මා තේරුම් ගත්තේ මෙහෙමයි’. හිතවතුනි කොතනක හෝ මෙබඳු විචාරශීලී අදහසක් ධර්ම ප්‍රචාරයකදී මුණගැසි තිබෙනවාද?. බුදුන් වහන්සේ පමණක් නොවෙයි බුදුන් වහන්සේ සමග විවිධ අය ඇවිත් සාකච්ඡා කළා නේ. ඒ සාකච්ඡාවනුත් ආනන්ද ස්වාමීන් වහන්සේ වාර්තා කළා, හැබැයි ඒ වාර්තා වලත් තියෙන්නේ ඒ අතින් අරගෙන මේ අතින් දීමක් නොවෙයි, ‘මට ඇහුනෙ මෙහෙමයි’. මේ විචාර බුද්ධිය සහ සාමාන්‍ය බුද්ධියෙන් වෙනස දන්න ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ට කියාදෙන කාරණයක් තිබෙනවා, සාකච්ඡාවක දී කවුරුන් හෝ ශිෂ්‍යයෙක් කිව්වොත් ‘මා මෙහෙම පොතක් කියෙව්වා, ඒ පොතේ මෙහෙම තිබුණා’ කියා, එවිට ඒ ගුරුවරයා කියනවා, ‘එහෙම කියන්න එපා, පොතේ තිබුණේ කුමක් ද කියා ඔබ දන්නෙ නෑ, ඒ පොතේ තිබුන දේ ඔබට තේරුනේ මෙහෙමයි කියා කියන්න’. ඉතින් එබඳු ගුරුවරයෙකු සමග හරිම අමාරුයි කෙනෙකුට ඉගෙන ගන්න සාකච්ඡා කරන්න, මොකද සාමාන්‍ය මනස හැම විටම පිටපත් කරන මනසක්, බුද්ධිමත් මනස් හැම විටම පිටපත් කරන මනසක්. මනස බුද්ධිමත් වෙන්න වෙන්න මනස කරන්නේ copy and paste, තමන්ට දෙයක් නෑ, තියාගන්න අවශ්‍යයත් නෑ කිසිවක්. මේ අතින් ගන්න දේ ඒ අතේ නහර දිගේ තමන්ගේ හදවතට මොළේට ගිහිල්ලා තමයි අනිත් අතට එන්න ඕනේ, එහෙම වුණොත් පමණයි තමන්ට පෝෂණයක් ලැබෙන්නේ, ආධ්‍යාත්මික ශරීරයට පෝෂණය ලැබෙන්නේ. හැබැයි මේ අතට ගන්න දේ අනිත් අතින් කෙනෙකුට දුන්නත් අත්දෙකෙන්ම මිට මොලවාගෙන කාටවත් නොදී හිටියත් කිසිම වෙනසක්  වෙන්නේ නෑ, පෝෂණයක් නෑ. විචාරශීලී බව කියන්නේ copy and paste නොවේ, පිටපත් කිරීමක් නොවේ. 


අවිචාරශීලී වෙනවා කියන්නේ කුමක්ද?. අවිචාරශීලී බව කියන්නේ කිසියම් තරාදියක එක පැත්තකට තමන් අතීතයේ දැමූ පඩියකට අනුව වර්තමානය මනිනවා, කිරනවා. පොතක් කියවන්නේ මේ වෙලාවේ, ඇහුම්කන් දෙන්නේ මේ වෙලාවේ, වර්තමානයේ. වර්තමානය මනින්නෙ අතීතයේ දවසක තරාදියට දැමූ පඩියකින්. අදහස් වලට ඇලෙන්නෙ ගැටෙන්නෙ හා තුලනය වෙන්නේ මෙසේයි.එවිට පිළිගන්නවා, තුලනය නොවන විට ප්‍රතික්ෂේප කරනවා. මේ ක්‍රියාව අවිචාරශීලී ක්‍රියාවක්. මේ තමා සාමාන්‍ය බුද්ධිමත් මනසේ ස්වභාවය, සාමාන්‍ය මනස බුද්ධිමත්, මෝඩ නෑ, ඒ බුද්ධිමත් මනසේ ස්වභාවය තමා අවිචාරශීලී බව, නමුත් එය එක්තරා විදිහක වහල් බවක්. යම්කිසි අධිකාරියකට වහල් වෙලා, ආගමකට, ගුරුවරයෙකුට, දර්ශනයකට, පොතකට, විද්‍යාවකට, කලාවකට,සම්ප්‍රදායකට වහල් වෙලා, එය ගුරු කොට තබා ගන්නවා. ඒ තමා තරාදියේ එක පැත්තකට හැමවෙලේම දාලා තියෙන්නේ. ඒ පඩිය ලේසියෙන් වෙනස් කරන්නෙ නෑ උපතේ සිට මරණය දක්වාම එකම පඩියක් තියෙනවා කියා නොවෙයි කියන්නේ, මාරු වෙනවා, නමුත් එහෙම දවසින් දවස පැයෙන් පැයට මාරු වෙන්නේ නෑ මුල් ඇදලා වගේ තියනවා. අවිචාරශීලී කියන්නේ මෙන්න මේ ස්වභාවයට.


හිතවතුනි අප අතීතයට රැවටිලා ඉන්නේ, අතීතයට රැවටුනු අය වර්තමානයට නොවේ. ඒ නිසානේ මේ සංසාරයේ ඉන්නේ. අතීතයට රැවටිලා දැන් කියනවා ඒ අතීතයට රැවටුණු විදිහට මේ වර්තමානයටත් රැවටෙන්න කියා. ඒ විදියටම වර්තමානයට රැවටුනොත් හොඳයි, අතීතයට රැවටුනා නම් කිසියම් කාරණයකට එයට සමාන කාරණාවලටම වර්තමානයේත් රැවටෙන්න, මේ තමා අවිචාරශීලී බව. අවිචාරශීලී කෙනා සියල්ලටම රැවටෙන්නේ නෑ, එයා රැවටෙන්නේ අතීතයේ රැවටුණු දේවල් වලට සමාන දේවල් වලට පමණයි, එයට අසමාන දේවල් වලට රැවටෙන්නේ නෑ, හැබැයි රැවටීම තියෙනවා, මොනවට හරි රැවටිලා. හිතවතුනි මේ මුළු උත්සාහයම ගන්නෙ නොරැවටී ඉන්න. අතීතයට රැවටීමෙන් නිදහස් වෙන්න. මෙතන තමයි ලොකුම රැවටීම ලොකුම මුළාව ලොකුම වහල්භාවය, අතීතය. අතීතයේ කියවූ දේ ඇසූ දේ පිළිගත් දේ ගුරුකොට ගත්ත දේ, මේවා හෙවනැලි වගේ වර්තමානය වහලා දාලා. ඒ නිසා වර්තමානය ඇහෙන්නේ නෑ කවුරු බණ කිව්වත්, වර්තමානය ඇහෙන්නේ නෑ, ඇහෙන්නේ වචනයයි දෙකයි, ඒ වචන දෙක තුනත් අර අතීත පඩියෙන් ගැලපුනොත් පමණයි.


ඒ වෙනුවට විචාරශීලී වෙන්න, අතීතය පැත්තකින් තියන්න, එය තිබුණාවේ. විචාරශීලී බව අතීතය පඩියක් විදිහට භාවිතා කරන්නේ නෑ, තරාදියක පඩියකට අතීතය දාන්නේ නෑ, වර්තමානය මැන ගන්න. ඒ වෙනුවට වර්තමානයේ අපට ඉගෙන ගන්න බැරිද?. වර්තමානයේ ශිෂ්‍යයකු වෙන්න බැරිද? මේ තමා පරිණාමය. කුමක්ද, අතීතයේ වහලකු ( අතීතයේ වහලකු කියන්නේ ඉස්සර කාලේ වහලෙකු දැන් වහලෙකු නොවෙයි කියන එක නොවේ, වහලෙක් තමයි දැනුත් හැබැයි ඒ වහල් වෙලා ඉන්නේ අතීතයට ) වර්තමානයට ශිෂ්‍යයකු වෙනවා. මේ තමා විචාර බුද්ධිය. මෙය පැහැදිලිව තේරුම් ගන්න, අතීතයට වහල් වූ කෙනෙකු වර්තමානයට ශිෂ්‍යයකු වෙනවා, මෙන්න පරිවර්තනය, මෙන්න පරිණාමය, මෙන්න අවිචාරශීලීත්වයෙන් විචාරශීලීත්වයට එනවා. දැන් මෙයා අතීතයට වහලෙක් නොවේ, ශිෂ්‍යයෙක්, කාටද වර්තමානයට, කාගෙන්ද ඉගෙන ගන්නේ වර්තමානයෙහි ඉගෙන ගන්නේ කාගෙන්ද? බොහෝ ගුරුවරු ඉන්නවා නේ. මොන ගුරුවරයාගෙන් ද ඉගෙන ගන්නේ? නෑ පුද්ගලයෙකුගෙන් නොවෙයි පුද්ගලයෙකුගෙන් වෙන්නත් පුළුවන්, 


මේ ඉගෙන ගන්නේ වර්තමානයෙන්. වර්තමානයෙන් ඉගෙනගන්න අතීතය එපමණටම අවශ්‍ය නෑ, බුද්ධිමත් බවට අතීතය අත්‍යාවශ්‍යයි, නමුත් සිහිබුද්ධියට වැඩියෙන් අවශ්‍ය වෙන්නේ වර්තමානය. නමුත් අතීතය ලෙහෙසිනේ ඉඩ දෙන්නේ නැහැ වර්තමානයෙහි ශිෂ්‍යයකු වෙන්න. අතීතය ස්වාමියා වහලා අපයි. ස්වාමියා ඉඩ දෙන්නේ නෑ තමන්ගේ වහලුන්ට නිවහල් කෙනෙක් වෙන්න. මේ තමා අමාරුම අපහසුම ගැලවීම, අතීතයෙන් නිදහස් වීම, හරිම අමාරුයි, ඒ සඳහා බොහොම තියුණු සිහිබුද්ධියක් තිබිය යුතුයි. ඊයේ කුමන දේට හරි කිව්වත් කුමන දේට වැරදියි කිව්වත් ඒ පසෙකින් තබා මේ මොහොතේ පේන ඇහෙන දේ කෙරෙහි පූර්ණ වශයෙන්ම සාවධාන වෙන්න පුළුවන්, අතීතය එහෙම වෙන්න ඉඩ දෙන්නේ නෑ. එයා කියනවා ‘ වැරදියි, වැරදියිනෙ, ඉතින් වැරදි දේකට මොකටද අවධානය යොමු කරන්නේ’, හරි දේටත් කියනවා ‘හරි, හරි දේකට මොකටද අවධානය යොමුකරන්නේ, අවශ්‍ය නෑ, ඒක හරි’, ඉතින් හරි දේට අවධානය යොමු කරන්න දෙන්නෙත් නෑ වැරදි දේට අවධානය යොමු කරන්න දෙන්නෙත් නෑ, කුමකින්වත් ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. ඉගනගැනීමක් නෑ මෙතන තියෙන්නේ පිළිගැනීමක් හා ප්‍රතික්ෂේප කිරීමක් පමණයි. පිළිගැනීමක් හා ප්‍රතික්ෂේප කිරීමෙන් විචාර බුද්ධියක් ඇති වෙන්නේ නෑ, සිහිබුද්ධියක් ඇති වෙන්නේ නෑ, පිටපත් කිරීමක් පමණයි වෙන්නේ. කිසියම් ගුරුවරයෙක්ගේ පිටපතක් වෙන්න පුළුවන්, අනුකාරකයෙක් වෙන්න පුළුවන්, කිසියම් දර්ශනයක සම්ප්‍රදායක පොතක දහමක විද්‍යාව කලාවක පිටපත් වෙන්න පුළුවන්, ලස්සන අංගසම්පූර්ණ පිටපතක් වෙන්න පුළුවන්, හැබැයි අප පිටපතක් පමණයි, බුද්ධියට යන්න පුළුවන් උපරිම දුර එපමණයි. හරි අංගසම්පූර්ණ පිටපතක් වෙන්න පුළුවන්. ඒ වෙනුවට හිතවතුනි, සජීවී, සජීවී ශිෂ්‍යයකු වීම, ඉගෙන ගන්න කෙනෙකු වීම, කාගෙවත් ශිෂ්‍යයකු නොවේ ධර්මතාවල ශිෂ්‍යයකු. මේ ඉගෙන ගන්නේ ධර්මතා. බය නැතුව කියන්න පුලුවන් කාගේද ශිෂ්‍යයා කියා.


ධර්මතා ඉගෙන ගන්න කලින් කතා කළ කල්‍යාණ මිත්‍ර හිතවත්කම උදව් වෙනවා. එතන තියෙන්නේ මිත්‍රත්වයක් මිස ගුරු-ගෝල සම්බන්ධයක් නොවෙයි. ගුරු-ගෝල සම්බන්ධය, මේ වචන දෙකම දහමේ නැති වචන, ශිෂ්‍යයා කියන වචනය තියෙනවා, කාගෙවත් ශිෂ්‍යයකු නොවෙයි ධර්මතාවල ශිෂ්‍යයෙක්. මේ සදහම් සැදෑව ආරම්භ කළේ ඒ සඳහා, ශිෂ්‍යයන් හදාගන්න. පිටපත් හදන්න, photo copy machine ටිකක් හදන්න, පොටෝකොපි ටිකක් හදන්න නොවෙයි. අප එකට ඉගෙන ගන්නෙ, එකට ඉගෙන ගන්නවා. මෙතැන සිදු වෙන්නේ අර මුලින්ම කියු කාර්යයන් දෙකයි. අත්දකින ධර්මතා අප බෙදා ගන්නවා සහ එතෙක් මෙතෙක් දකින්නට බැරිවූ ධර්මතා අප එකට එකතුවී  හාරා අනාවරණය කර ගන්නවා. අප හැමෝම ශිෂ්‍යයෝ වෙමු, යම්තාක් දුරක් යන්න පුළුවන් ද ඒතාක් මේ හැදෑරීමේ යෙදෙමු, අපි ධර්මතාවල ශිෂ්‍යයෝ වෙමු. ඒ විවෘත භාවයයෙන් ටික වෙලාවක් සාවධාන වෙමු. නිහඬ වෙමු. විචාර බුද්ධියට අවදි වෙන්නට ඉඩ දෙමු.


භාවනාව 


  • වඩ වඩාත් විචාරශීලී වනවිට පිළිගැනීම් හා ප්‍රතික්ෂේප කිරීම් වලට ඉක්මන් නොවන විට, පැහැදිලි වෙනවා අතීතයේ පිටපත් බව, අතීතයේ ඇසූ කියපු දේවල් වල වර්තමාන පිටපත, එයට කියන නම තමා ‘මම’, මම කියන්නේ අතීතයේ ඇසූ කියු සිතූ කාරණා වල වර්තමාන පිටපත, එය එසේදැයි  විචාරශීලීව විමසා බලන්න.

  • අතීතයේ සිටි කී දෙනෙකුගේ නම් වර්තමාන පිටපත බවට අප පත්ව තිබෙනවාද?, අතීතය යනු අද උදෑසන විය හැකියි, වසර 25, 30, 50 කටත් එහා විය හැකියි.

  • පිටපත් යනු දැනටමත් අතීතය විසින් කුරුටු ගෑම් වලින් පුරවනු ලැබූවක්, අලුතින් ලියන්න එහි ඉඩක් නෑ.

  • පිටපත් නැමැති හැව අරිමින් එළියට එන්න ශිෂ්‍යයකු සේ වර්තමානයට, හිස් කොලයක් වගේ.

  • අතීතය නැමැති ස්වාමියාගෙන් අවිචාරශීලී වහල් බව නැමැති හැව අත්හරිමින් වර්තමානය නැමැති විශ්වවිද්‍යාලයෙහි විචාරශීලී ශිෂ්‍යයකු ශිෂ්‍යාවක වෙන්න.

  • ඒ විවෘත නැවුම් හිස් සජීවී හා නිරහංකාර ස්වභාවයත් සමඟ විචාරශීලී සාකච්ඡාවකට එළඹෙමු.


සාකච්ඡාව


ප්‍ර : බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන රාත්‍රියේ පිළිවෙලින් පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය සහ ආසවක්ඛය ඤාණය ඇතිකරගත්තා. ඒ තුළින් සිදු වුණේ බුදුන් වහන්සේ අතීතය පිළිබඳ විචාරශීලීව බලා ඉන්පසු අනාගතය පිළිබඳවත් විචාරශීලිව බලා අවසානයේ වර්තමානයේ ශිෂ්‍යයෙකු වීමද? වර්තමානය පිළිබඳ විචාරශීලි වීම ද ආසවක්ඛ්‍ය ඤාණය කියලා කියන්නේ?


පි : බොහොම ලස්සන විග්‍රහයක්, ඒ ගැන මා කලින් සිතා තිබුණේ නෑ. පුබ්බේනිවාසානුස්සති ඤාණය අතීත ආත්ම භවයන් පිළිබඳ කරන ආවර්ජනයක්. චුතූපපාත ඤාණයෙන් කරන්නේ අනුන් පිළිබඳ බැලීමක් චුති වෙන උත්පත්තිය ලබන ආකාරය නුවණින් දැකීමක්. 


කෙසේ හෝ, බුද්ධත්වය ලබා ගැනීමට හෝ ලබාගන්න තැනේ දී හෝ ලබා ගැනීමෙන් පසු හෝ කළ වැදගත්ම ආවර්ජනයක් තමා පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම. එතන වර්තමානය. මේ සියල්ලම අත්හැර අන්තිමට ආවේ වර්තමානයට. පටිච්චසමුප්පාදය කියන්නේ වර්තමානයේ තියෙන දෙයක්. ඒ නිසායි ‘කෙනකු දහම දකීද ඔහු පටිච්චසමුප්පාදය දකියි, කෙනෙකු පටිච්චසමුප්පාදය දකියි ද ඔහු දහම දකී’ කියා කියන්නේ. දහමේ ගුණයක් තමා අකාලික බව. පටිච්චසමුප්පාදයත් අකාලික දෙයක්, මෙතන තියෙන දෙයක්, මේ මොහොතේ සිදුවන දෙයක් තමා පටිච්චසමුප්පාදය. එතකොට වර්තමානය දකින්න පටන් ගත්තා වර්තමානයෙහි ශිෂ්‍යයකු වුණා. වර්තමානයේ ශිෂ්‍යයකුට පමණයි පටිච්චසමුප්පාදය පෙනෙන්නේ, හේතුඵල පේන්නේ වර්තමානයේ ශිෂ්‍යයකුට. එහෙම නැත්නම් වෙන්නේ, හේතු ඵල දැකීම නොවෙයි වෙන්නේ දිට්ඨියකට යනවා මතයකට යනවා. මතයකට යෑම දිට්ඨියකට යෑම එකක්, හේතු ඵලය දැකීම තව දෙයක්. මතයකටහා දිට්ඨියකට යාමෙන් යන්නේ අතීතයට. අතීතය ස්වාමියා වූ විට තමන් වහලෙක් වෙනවා, එතැන තියෙන්නේ මතයක් දිට්ඨියක්. ඉතින් දිට්ඨි අත්හරිමින් දිට්ඨි ඉක්මවා යමින් වර්තමානයේ ශිෂ්‍යයකු වීම තමා අපටත් දී තියෙන අවවාදය. ‘දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ’, අතීතයට දිට්ඨිගත කෙනෙක් වෙනවා වෙනුවට වර්තමානය දකින කෙනෙක් වෙන්න. එයයි සිදුවෙලා තියෙන්නෙ, එය තමයි සිදුවෙන්නෙත්, එය තමයි සිදුවිය යුත්තේත්, අප උත්සාහ කළ යුත්තේත් ඒ සඳහාමයි. 


ප්‍ර : ධර්මතාවල ශිෂ්‍යයකු වීමට නම් ඒ ධර්මතාවයන් හොඳින් පළමුව අවබෝධ කරගන්න අවශ්‍යයි නේද?


පි : මෙතන වැදගත් වෙන්නේ වර්තමානයට විවෘත වීමයි, මෙතන සිද්ධ වෙන්නේ මොනවාද?, දැන් මොකද වෙන්නේ?, මොනවද වෙන්න ඕන නෙවෙයි. අප ඉන්නේ මොනවද විය යුත්තේ කියන තැන නම්, එහෙනම් ඉන්නේ අතීතයේ, අප තීරණය කර තිබෙනවා වෙන්න ඕනේ මොකක්ද කියා, ඒ දෙයද වෙන්නේ නැද්ද කියා බලන් ඉන්නවා, එහෙම නොවෙයි කුමක්ද විය යුත්තේ නොවෙයි, වෙන්නෙ මොනවාද, අන්න ඒ ආකල්පය ඇති කරගන්න පුළුවන් නම් වර්තමානයේ ශිෂ්‍යයකු වෙනවා. මේ වෙලාවේ වෙන්නේ මොනවාද, ඒ විවෘතභාවයේ  ඉන්න විට වෙන දේ පේනවා දැනෙනවා. ඉන්පසුවයි අර විචාර බුද්ධිය එන්න ඕනේ, ඇයි එහෙම වෙන්නේ, මොනවා වුණත් කමක් නෑ, ඇයි එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ මොන හේතු නිසාද කියා විචාරශීලීව හොයන විටයි ධර්මතා පේන්නේ, කලින්ම ධර්මතා දැනගෙන ඒ අප දන්න ධර්මතා තියෙනවද නැද්ද කියා බැලීම එක කාරණයක්. කෑමක රස බලනවා වගේ, එසේ බලන්නේ අතීතයෙන් ගත් ප්‍රමිතියකින්, ඒ පඩිය තරාදියෙ එක පැත්තකට සවි කර තිබෙන්නෙ, දැන් ලබන අත්දැකීම තරාදියේ අනිත් පැත්තට දාලා බලනවා, ඉතින් ඒ දෙක සමබරයි නම් හොඳයි, සමබර නැත්නම් මේ පැත්ත සමබර කරනවා, අතීත පැත්ත නොවෙයි වර්තමාන පැත්ත, අතීතයත් එක්ක තුලනය කරගන්න බලනවා. 


ඒ එක විදිහක්. ඒ වෙනුවට, අතීතයත් සමගසැසදීමක් නෑ, කෙලින්ම වර්තමානයට පමණයි අවධානය යොමු කරන්නේ. දන්නේ නෑ ධර්මතා, පොතේ දැනුම ඇති, හැබැයි පොතේ දැනුම නොවෙයිනේ ධර්මතා කියන්නේ, ධර්මතා පොත්වල නෑ, මොනම ධර්මතාවයක් වත් පොත් වල නෑ, පොත් වල තියෙන්නේ ධර්මතා හොයා ගන්න කරන්න ඕන දේවල්. ධර්මතා දැනගන්න නම් කුමක් ද කළ යුත්තේ කියන කාරණයටයි ඉගැන්වීම් කියන්නේ, එහෙම නැතුව විද්‍යාවේ සමීකරණ වගේ ධර්මතා කියා දෙන්න බෑ, එහෙම කියන්න බෑ, එහෙම කිව්වට වැඩක් නෑ, ඒ සියල්ල හිස්ම හිස් වචන ටිකක් පමණයි. හැබැයි ඒ වෙනුවට ධර්මතාවයන් අවබෝධ කරගන්න නම් කුමක්ද කළ යුත්තේ, එය නම් කියාදිය යුතු දෙයක්. 


ගුරුවරයෙකුගේ කාර්යභාරය වෙන්නේ කල්‍යාණ මිත්‍රයෙකුගේ වගකීම වෙන්නේ ධර්මතා කියා දීම නොවේ, ධර්මතා අවබෝධ කරගන්න නම් මොන විදිහේ පිළිවෙතක් ද අනුගමනය කරන්න ඕන කියන කාරණය කියා දීමයි. පොත්වල එපමණයි තියෙන්නේ, දැනුමේ තියෙන්නේ ඒ ටික, ඒ ටික දැන ගත්තා නම් හොඳටම ඇති, ඉන් එහා දැනගන්න දේවල් වලින් පලක් නෑ. ඒ දැනීම අරගෙන බලන්න ඕන ඇයි මෙහෙම වෙන්නේ, අන්න ඒ ප්‍රශ්නේ අහන්න, හොයලා බලන්න මොකක්ද වෙන්නේ, ඇයි එහෙම වෙන්නේ, එහෙම හොයන්න බලන්න විමසන්න, අන්න ඒ විමසන විට පේනවා එසේ වෙන්නේ මේ මේ හේතු තියෙන නිසා, මෙන්න මේ හේතු ටික තියන නිසා මෙහෙම වෙනවා, වෙන හේතු ටිකක් තිබුනොත් වෙන දෙයක් වෙන්නේ, අන්න හේතු ඵලය පේන්න පටන් ගන්නවා, හේතු ඵලය පටිච්චසමුප්පාදය, හේතු වලිනුයි ධර්මතා අවබෝධ වෙන්නේ, ධර්මතා අවබෝධ වෙන්න වෙන්න අපේ ළඟ තියෙන දිට්ඨි මත ආකල්ප අයින් වෙනවා, ‘නෑ එහෙම නෙවෙයි වෙන්න ඕන’, ‘මෙහෙමයි වෙන්න ඕන’, ඔය විදිහට අප ළඟ තිබෙනවා දිට්ඨි ටිකක්. ඒ දිට්ඨි අයින් වෙන්නෙ හේතු ඵලය දැක්කහම, ධර්මතා දැක්කහම. ධර්මතා අවබෝධ වෙන්නට නම් විචාර බුද්ධිය ඕන. ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ දිගින් දිගටම දිගින් දිගටම අහන්න. මේ ආකාරයටයි වර්තමානයෙහි සජීවී ශිෂ්‍යයකු වීම සිදුවෙන්නේ. එහෙම නැත්නම්  හැමදාම අතීතයේ  පිටපත් විදිහටයි ඉන්න වෙන්නේ. පිටපත් හොඳයි, හොඳ පිටපතකට පුළුවන් පින්  කරන්න, පව් කරන පිටපතකට වඩා පින් කරන පිටපතක් වීම හොදයි. හැබැයි පව් කළත් පින් කළත් සංසාරික පිටපතක් පමණයි. 


ප්‍ර : දැනගැනීමේදී හිතන නේද අප පුහුණු කරන්නට ඕන, එහෙම නැතුව මේ කල්පනා කරන විතර්ක ඇති කරන හිත නොවේ නේද? කල්පනා කරන විතර්ක ඇති කරන හිත අතීතයේ කොටසක් නේද?


පි : එහෙම කියන්න පුළුවනි. සාමාන්‍යයෙන් හිත හිතීම තමා කරන්නේ, වෙන කිසිවක් කරන්නේ නෑ, හිතනවා හිතනවා හිතනවා. ඒ නිසා කියන්න පුළුවන්නේ බොහෝ දේවල් හිතෙනවා කියා, ඊයේ හිතූ දේ නොවේ අද හිතන්නේ, අද අලුත් දෙයක්, අද සිදුවන්නේ වෙනම දෙයක් ඒ ගැන හිතනවා කියා. නමුත් හිතන මාතෘකා වෙනස් වුණාට හිතන්නේ එකම විදිහට, ඒ හිතන රටාවේ වෙනසක් සිතිවිලි ගමන් කරන දිශාවේ වෙනසක් නෑ, හිතන මාතෘකා පමණයි වෙනස්. එම නිසා එකම අඳුරු ගුහාවකයි හිත හැමවෙලේම ගමන් කරන්නේ, උපන්දාසිට යන්නේ එකම පාරේ බව අඳුර නිසා පේන්නෙ නැහැ, හැමදාම අලුත් කියා සිතනවා. නමුත් මෙතන අලුත් දෙයක් නෑ පරණ සිතිවිලි. සිතිවිලි කියන්නේ පරණම පරණ දේවල්, මේ විශ්වයේ තියෙන පරණම දේ තමා සිතිවිලි, අනිත් හැම දෙයක්ම අලුත්, ඒවා මොහොතින් මොහොත අලුත් වෙනවා, අලුත් නොවන එකම දේ සිතිවිලි. ඒ යල්පැනගිය පිළුණු වුන සිතුවිලි එකඑක විදිහට අනමින් අනුභව කර කර ඉන්නවා. පිළුණු සිතිවිලි අනුභව කරන කෙනෙකුට තමයි සාංසාරික සත්වයා කියා කියන්නේ. තමන්ගේම සංස්කාර කියන්නේ ඒවා. 


ඒ වෙනුවට භාවනාවේදී විශේෂයෙන් ප්‍රඥා භාවනාවේදී මනස කියනවා සිතීමේ වහලෙක් හෝ මෙහෙකරුවෙක් වෙන්න එපා, ඔබට අලුත්ම අලුත් දෙයක් කරන්න පිළිවන්, මෙතෙක් ඔබ හඳුනා නොගත් හැකියාවල් ඔබට තියෙනවා. ඉන් එක හැකියාවක් තමයි අපට දැන ගන්න පුළුවන්කමක්. ඉතින් මනස දැනගැනීමට වඩා පුරුදු පුහුණු වෙලා තියෙන්නෙ දැනුම එකතු කරගන්න. එසේ එකතු කරගන්න දැනුම ගැනයි කෙනෙකු හිත හිතා ඉන්නේ. දැනුම රැස් කිරීම එකක් දැනගැනීම තව දෙයක්. දැනුම රැස් කිරීමෙන් වෙන්නේ තවදුරටත් අතීතයේ කොටසක් බවට පත්වීම. නමුත් දැනගැනීම වර්තමාන ක්‍රියාවක්. දැනගැනීම මේ මොහොතේ උත්සාහයෙන් වීරියෙන් සිහියෙන් කළ යුතු ක්‍රියාවක්. ඒ ක්‍රියාව මනසට හඳුන්වලා දෙන්න. සතිමත් බව පුහුණු කිරීම තුළ සිදුවන්නේ එය. කල්පනා කරන විතර්ක උත්පාදනය කරන මනස සිදුවන දෙය දැනගන්න මනසක් බවට පත්වෙනවා. එතනට ආවම ඊළඟ පියවර යාම පහසුයි, හේතු හොයන තැනට, ඇයි එහෙම වෙන්නේ, ධර්මතා හොයන තැනට යන්න ලේසියි. ඒ නිසයි පළවෙනි ධර්ම දේශනාවෙන් කියන්නේ ‘පින්වත් කොණ්ඩඤ්ඤයන් දැන ගන්නා කෙනෙකු බවට පත් වුණා’. මොනවා දැනගන්න කෙනෙකු බවට ද, ‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං’, වර්තමානයේ යමක් උපදිනවා ද එය වර්තමානයේම නිරුද්ධ වෙනවා, ඒ බව දන්න දැනගන්න කෙනෙකු බවට පත්වුණා.


අතීතයේ වරදක් නෑ. එකම වරද අතීතයට ස්වාමි තනතුර ප්‍රදානය කර අප එහි දාසයෙකු හා සිරකරුවෙකු  වීම. ඒ වෙනුවට වර්තමානයේ හොඳින් විවෘතව ඉන්න පුළුවනි. එසේ ඉන්නවිට  වර්තමානයෙන් ඉගෙන ගන්න පුළුවන්, අතීතයත් ඇවිදින් එක එක දේවල් කියනවා ඒවත් අහනවා, එයිනුත් යමක් ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙන ගන්නවා. අතීතය කියන දෙයක් තමා දනවා බව, ‘ ඔබ දන්නවා, තව තව හොයන්න ඕනෙ නෑ’ කියා. සමහරවිට ඒ දේ ගැන දන්න දේවල් අතීතය මතක් කර දෙන්නත් පුළුවන්, දන්නවා කියා අතීතය හිතන්නේ පිටපත් වීමටයි, ඉන් එහා දැක්මක් අතීතයට නෑ, හොඳ පිටපතක් වෙන්න පුළුවන් නම් එය තමයි උපරිමය අතීතයේ. අතීතය මේ විදිහට දෙන්නේ ලණුවක් නොවෙයි, එයා දෙන්නෙ එයා දන්න දේ, හැබැයි වර්තමානයට එය ලණුවක්, අප ඒ ලනුව ගිල්ලොත් මේ ගමන එතැනින් ඉවරයි. අන්න එතැනදීයි හොඳට සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ, එය අතීතයේ පටු නිගමනයක් බව තේරුම් ගන්න ඕනේ. අතීතය පටුයි කොහොමත්, එයට පුළුල් නිගමන දෙන්න බෑ, ඒක එයාගෙ නිගමනයක්, එය නොවෙයි පරම සත්‍යය. අප ඒ දිහා විචාරශීලිව බලන්න ඕනේ. අතීතය කියනවා නම් ඔබ දන්නා කෙනෙක් කියා, පෙරලා ආපසු අපෙන්ම අහන්න පුළුවන් ‘මා මොනවද ඇත්තටම දන්නේ?’ කියා. ඒ ප්‍රශ්නෙත් සමග අපට විවෘතව ලොකු දුරක් යන්න පුළුවන්, මොකද ප්‍රශ්නයක් අහන්නේ ශිෂ්‍යයෙක්, මේ ප්‍රශ්නය අප වෙන කෙනෙක්ගෙන් නොවෙයි අහන්නේ අප අපෙන්මයි අහන්නේ, අප අපේම ශිෂ්‍යයකු බවට පත්වෙනවා. ඒ ගැන නැවත නැවත අහනවා, එසේ දිගින් දිගටම විමසන විට තේරෙනවා මෙතන පිටපත් රාශියක් මිස ධර්මතා පිළිබඳ ඥානයක් අවබෝධයක් නෑ කියන කාරණය. ඒ අවබෝධ වීමත් ධර්මතා අවබෝධයක්ම තමයි, එතන තමා ධර්මතාව අවබෝධ වීමේ හැරවුම් ලක්ෂය. 


ප්‍ර : සිහි බුද්ධියේ සහ විචාරශීලීත්වය අතර වෙනස කුමක්ද?


පි : සිහිබුද්ධිය ඇති වෙන්න අවශය මූලිකම සුදුසුකමක් තමා විචාරශීලීත්වය. විචාරශීලීත්වය තියෙන හිතකට තමයි සිහිබුද්ධිය පහළ කරගන්න පුළුවන් වෙන්නේ. අවිචාරශීලීත්වය කියන්නේ යමක් පිළිබඳ ප්‍රමාණාත්මක විමසීමකින් තොරව හරි වැරදියි හොඳයි නරකයි ඇත්ත බොරු ආදී අවසාන නිගමන වලට පැමිණීම. එසේ වන්නේ අර අතීත දැනුම පිළිගැනීම් විශ්වාසයන් පඩියක් විදියට මේ පැත්තෙ තියෙන නිසා. ඉතින් අනිත් පැත්තට යමක් වැටුනහම ඒ දේ ගැන තීරණයක් ගන්නවා අතීත පඩියට සාපේක්ෂව. මෙය තමා අවිචාරශීලී බව කියන්නේ. විචාරශීලී බව කියන්නේ නිගමන වලට එන්න හදිසි වෙන්නේ නෑ, හොයනවා දිගින් දිගටම හොයනවා, හොයන්න හොයන්න තමන් දන්නේ නෑ කියන කාරණය තේරෙනවා, අතීතය විසින් කුරුටු ගෑ කොළයක් නේ ‘මම’ කියන්නේ. දැන් ඒ කොලය  වෙනස් වෙනවා ටික ටික හිස් වෙලා ගිහිල්ලා අන්තිමට අතීතයේ කිසිම සටහනක් නැති හිස්ම හිස් සුදු කොළයක් බවට පත්වෙනවා, අමතක වෙනවා නොවෙයි, අතීතය විසින් කුරුටු ගෑවේ නැති හිතක්. ඒ හිතට තමා ධර්මය අවබෝධ වෙන්නේ, ධර්මතා දකින්න පුළුවන් වෙන්නේ, ධර්මතා කියන්නේ මේ වෙලාවේ සිදුවන දෙයක්.


මේ ගැන මෙනෙහි කරන්න කරන්න අලුත් ප්‍රශ්න ඇතිවෙයි. නොතිබුණු ප්‍රශ්න තමා ඇති වෙන්නේ. සාමාන්‍ය දර්ශන ධර්ම දේශනාවකදී කවුරු කළත් සාමාන්‍යයෙන් වෙන්නේ තිබුණු ප්‍රශ්නයක් විසඳෙනවා, නමුත් මේ විචාර බුද්ධිය සිහිබුද්ධිය පිළිබඳ කරන දේශනාවලදී විය යුත්තේ තිබුණු ප්‍රශ්න විසඳීම නොවෙයි, එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ, නොතිබුණු ප්‍රශ්න ඇතිවෙනවා, අතීතයේ නොතිබුණු ප්‍රශ්නයක් ඇති වෙනවා නම් එයින් මේ වැඩසටහනේ සාර්ථකත්වය මනින්න පුළුවන්, හැබැයි එහෙම ඇති වුණේ නැත්නම් කුමක් හෝ හරි අඩුවක් තියෙනවා. ඉතින් නැවත නැවත ආවර්ජනය කරන්න, ඒ සඳහා සාරාංශය උදව්වක් කරගන්න පුළුවන්, එසේ ආවර්ජනය කරන්න කරන්න අලුත් ප්‍රශ්න ඇති වෙනවා. එසේ ප්‍රශ්න ඇතිවීමම විචාර බුද්ධිය පහළවීමේ ලක්ෂණයක්, විචාර බුද්ධිය තියෙන කෙනාට විතරයි ප්‍රශ්න, නැති කෙනා හොයන්නේ උත්, එයාට ඕන උත්තර ටිකක්, තියෙන ප්‍රශ්න ටික විසඳ ගත්තා නම් ඇති, තියන ප්‍රශ්න නොවේ ඇත්තම ප්‍රශ්නය, අපි ඇත්තම ප්‍රශ්නේ දන්නෙ නෑ, විචාර බුද්ධිය ඇති වෙන්න ඇති වෙන්න තමයි ඇත්ත ප්‍රශ්නය තේරෙන්නේ, ඇත්ත ප්‍රශ්නය හෙව්වොත් තමයි සිහිබුද්ධිය ඇති වෙන්නේ. ඒ සඳහා හිතවතුනි විවෘතව ඉඩක් ලබාගෙන මේ ගවේෂණයේ යෙදෙන, යෙදෙන්න යෙදෙන්න මෙය හරි රසවත් බව තේරෙනවා, භාවනාව කොහොමත් රසවත්, දහමත් රසවත් එහි අතිරසම දේ තමා විචාරශීලිවීම සහ සිහිබුද්ධිය ඇති කර ගැනීම, මේ ව්‍යායාම දෙක.


ඉතින් මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙන හැම දෙනාම හැමදෙනාටම ශක්තියක්, අපි කවුරුත් අපි කාටත් හයියක් භෞතිකවත් මානසිකවත් ආධ්‍යාත්මිකවත්. එනිසා අපි කාටවත් පින් දෙන්න අවශ්‍ය නෑ අපි අපිටම තමයි පින් දී ගන්න ඕන, හැමෝම හැමෝටම… 

හැම දෙනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක් වේවා !!!