සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 12


2021 දෙසැම්බර් 22, සාරාංශය 


සන්සුන් හිත, තැන්පත් හිත, කැඩපතක් බඳු හිත ආදී වශයෙන් හිතේ වෙනස් වෙනස් තලයන් මානයන් අත්දකින්න භාවනාවේදී අවස්ථාවක් ලැබෙනවා. ඒ සියල්ල හරහා ඉන් එහාට යන අත්දැකීමකට, ගමනකට , නිදහස් වීමට  ගන්නා උත්සාහයකුයි ‘සිහිබුද්ධියට හෝරාව’ තුළින් අපේක්ෂා කරන්නේ.


සාමාන්‍යයෙන් හිත වැඩි තැනක් වැඩි වටිනාකමක් දෙන්නේ තමන්ට ඒවගේම එතැනින් නොනැවතී ‘මම තමා හරි’ කියා හිතනවා. මෙසේ සිතන ස්වභාවයට තමා පුහුදුන් (පෘථජ්ජන) කියන්නේ. එහෙම නම් ‘මම වැරදියි’ කිව්වොත් මේ පුහුදුන් තත්ත්වයෙන් ගොඩ එන්න පුලුවන්ද? පුහුදුන් බව ඉක්මවා යන්න පුලුවන්ද?  ‘මම’ කියා කියන්නේ හිතන දේට, ‘මම’ හරි කියන්නේ හිතන හරි කීමයි. ‘මම’යි හිතන දෙයයි එකක් විදිහටයි ගන්නේ. පහුගිය සති කිහිපයේදීම මේ කාරණය සොයා බැලුවා. හිතනවා කියන්නේ මනෝ විඤ්ඤාණය පහළ වීමක්, සිතුවිල්ලක්, අදහසක්. 


ගිය සතියේ කථා කළා සිහිය තමා ‘මම’ත් එක්ක ගනුදෙනු කරන්නේ, ‘මම’ කවුද ‘මම’ මොනවද කරන්නේ ‘මට’ හිතෙන්නේ මොනවාද, දැනෙන්නේ මොනවද, මේ ආදී වශයෙන් ගනුදෙනු කළ හැකි භාෂාවට තමා  සතිමත් බව කියන්නේ. සතිමත් බව අඩු නම් තමන් සමග තිබෙන සම්බන්ධය අඩුයි, තමන් කරන කියන දේ තමන්ම දන්නේ නෑ. සිහිබුද්ධිය ගනුදෙනු කරන්නේ යථාර්ථයත් සමඟයි. මේ දෙක දෙකක්, ‘මම’යි යථාර්ථයයි. ‘මට’ හිතෙන දෙයයි සැබෑ ස්වභාවයයි එකක් වෙන්නේ බොහොම කලාතුරකින්. සිහිබුද්ධිය අඩුවන අවස්ථා වල අප ජීවත් වෙන්නේ යථාර්ථයෙන් බෙහෝ ඈත, නමුත් අප හිතනවා සත්‍යය සමගයි අප ජීවත් වෙන්නේ කියා. හිතෙන, කියන හා.කරන දේ ඇත්තටම තියෙන දේවල් කියන විශ්වාසයක් සහ ඉන් එහා ගිය පිළිගැනීමක් සමගයි ජීවත් වෙන්නේ. 


සාමාන්‍යයෙන් සිහිබුද්ධිය අඩු, නැත්නම් නැත්තටම නැතිවන අවස්ථා පහක් විතර හොයාගන්න පුළුවන්. මේ අවස්ථා පහේම ස්වභාවය අඩු වැඩි වශයෙන් එක සමානයි. එක් අවස්ථාවක් නින්ද, නින්දේදී සිහිබුද්ධියක් නෑ. නිදාගෙන සිටින විට ඇත්ත කියා දකින හීනයට ඇත්තක් යථාර්ථයක් නෑ. 

දෙවන අවස්ථාව සිහිමද තත්වය. මේ තත්ත්වයෙන් සිටින විටත් ඒ සිහිමද තත්ත්වයට දැනෙන දේ තමා ඇත්ත. 

තුන්වන අවස්ථාව මත්ද්‍රව්‍යවලින් මත් වීම, ඒ මත්ද්‍රව්‍යයෙන් මත්වුනු ඉන්ද්‍රියයන්ට දැනෙන දේ තමා ඇත්ත. හතර වන අවස්ථාව කම්පනයට පත් වීම, දැඩි කම්පනයකින් සිටින විට ඒ කම්පනයට දැණුනදේ තමා  ඇත්ත. 

පස්වන අවස්ථාව ලොකු සතුටකින් අනුකම්පාවකින් රාගයකින් බියකින් වැනි දැඩි ආවේගශීලී වීම. දැඩිව හැගීම් බරව සිටින විටත් සත්‍යය ඒ ආවේගයට සාපේක්ෂයි. 

මේ අවස්ථා පහම අරගෙන බලන්න අත්දකින්නේ සත්‍යයන් පහක්. එකම පුද්ගලයාට මත්වී සිටින විට ඇහෙන්නේ එසේ මත්  නොවී සිටින විට ඇහෙන දේ නොවෙයි. මත් නොවූ කෙනෙකු කිව්වොත් නෑ එසේ නොවේ කියා අර මත්වුනු කෙනා එය පිළිගන්නේ නෑ, බොරුවක් විදිහටයි ගණන් ගන්නෙ. එමෙන්ම ආවේගශීලී ව සිටින විට ආවේගය විසින් නිර්මාණය කරන දේ තමා ඇත්ත. එවැනි ආවේගශීලී නැති කෙනෙකුට පෙනෙන දේ නොවෙයි ආවේගශීලීව කෙනාට පෙනෙන්නේ. එහෙම කෙනෙකුට මොනවා කිව්වත් පිළිගන්නේ නෑ, මොකද එයාට පේන්නෙ වෙනම ලෝකයක් වෙනම අත්දැකීමක් වෙනම තොරතුරක්. මේ අවස්ථා පහේදීම ඇත්ත පොදු ඇත්තක් නොවේ, ‘පොදු’ කියන්නේ පිළිගත් ඇත්තවත් සම්මුතියේ ඇත්තවත් එතන නෑ, හරිම පටු විකෘති වුනු ඇත්තක් තමා මේ අවස්ථා පහේදීම කෙනෙකු දකින්නේ. නිදගෙන සිටින විට හා කම්පනයට පත්වුණ විට හැරෙන්නට අනිකුත් අවස්ථා තුනේදීම අනිත් අයත් එක්ක වාද කරනවා තර්ක කරනවා තමන් අත්දකින දේ ඇත්ත කරන්න. 


සිහිබුද්ධිය අඩු තැනකදී ඇහෙන්නේ පේන්නේ සාමාන්‍ය ඇහැට කනට පේන ඇහෙන දේට වඩා විකෘති වෙලා. පේන ඇහෙන දේ විකෘතියක් නම් හිතෙන දේ කොහොමත් විකෘතියක්. නමුත් මෙම අවස්ථාවේ පහේදීම ‘මම’ හරි කියන තැනයි ඉන්නේ. ‘මම’ කියන්නේ පුද්ගලයකුට නොවෙයි අත්දැකීමකට. ‘මම’ හරි කියා ඒ වෙලාවේ හිතන්නේ ඇහෙන දේට, දැනෙන දේට, පෙනෙන දේට, හිතන දේට, හා ඒ සියල්ල ඇසුරෙන් ගනු ලබන තීරණ වලට, හා ඒවා ක්‍රියාත්මක කිරීම් වලට. මේ හැම අවස්ථාවකම;

අත්දැකීම්, අත්දැකීම් පිළිබඳ හිත කරන විනිශ්චයන්, ඒ විනිශ්චයන් මත ගනු ලබන තීරණ, හා  තීරණ ක්‍රියාත්මක කිරීම් වලටයි ‘මම’ හරි කියන්නේ එයයි, එහෙම නැතුව මෙතන පුද්ගලයෙකු හරි කියා හොයාගන්න නෑ. ඇඟිල්ල තමන් දෙසට දික් කර පෙන්නන්න පුළුවන් මේ තමා ‘මම’ කියා. නමුත් මම කියා කියන්නේ මෙන්න මේ ක්‍රියාවන් කිහිපයට. 

පලවෙනි ක්‍රියාව තමා අත්දැකීම. අත්දැකීම කියන්නේ ඇහෙන පෙනෙන, දැනෙන, මතක් වෙන දේ, ඒ තමා  අත්දැකීම. 

ඊළඟට මේ අත්දැකීම තේරුම් ගන්න විදිහ, විනිශ්චය කරන විදිය. 

තුන්වන කාරණය ඒ අත්දැකීමයි අත්දැකීම නිර්වචනය කිරීම මත කුමක්ද කළ යුත්තේ කියා තීරණයකටඒම.

 හතර වන කාරණය ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. මේ හතරම හරියි, වැරදි නම් කරන්නෙ නෑ, හරි කියලා හිතාගෙනයි ඔය ක්‍රියා හතරම සිදුවෙන්නේ. මේවා ක්‍රියාත්මක වෙන්න හරි ලකුණ ඕනේ, ok එක ඕනේ, හොඳට බලන්න ඕනම වෙලාවක සිහිබුද්ධිය තිබුණත් නැතත් මේ ‍ක්‍රියාවන්ට හරි ලකුණක් අවශ්‍යයි, හරි ලකුණ දැම්මේ නැත්නම් නවතිනවා. 


හීනයකදීත් කෙනෙක් මේ අදියර හතරටම යනවා. හීනයක්දී වුවත් යන්ත්‍රයක් වගේ වැඩ කෙරෙන්නේ නෑ, මේ ‘හරි ලකුණු’ හතරම දානවා. ආවේගශීලීව හෝ සිහිමද ගතියෙන් හෝ මත් වුණු විටත් එහෙමයි. කම්පනයට පත් වුනාමත් එහෙමයි. මේ අවස්ථා හඳුනා ගැනීම වටිනවා. ඒවාගේම මේ අදියර හතරත් දැනගැනීම වටිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් බොහොම ඉක්මනට ක්ෂණිකව ක්‍රියා කරනවා කියා, හරි ලකුණු හතරක් හිතට දාගන්න අපට දැනෙන වෙලාව අවශ්‍ය නෑ, මේ හරි ලකුණු දාන්නෙත් සිහිබුද්ධියෙන් තොරව. එක හරි ලකුණක් දැමූ පසුවයි අනිත් හරි ලකුණ දාන පිටුව විවෘත වෙන්නේ. ඒ ආකාරයටයි පිටුවෙන් පිටුව විවෘත කරන්නේ, අන්තිම පිටුවට එනම් ක්‍රියාත්මක වීමට මුලින්ම හරි ලකුණ දාන්න බෑ. පළමුව තමන්ගේ අත්දැකීම හරි කියන නිගමනයට ආයුතුයි, ‘මට’ ඇහුන දේ හරි ‘මට’ පේන දේ හරි මතක්වෙන දේ හරි. ඊළඟට එය හඳුනා ගන්න විදිහ හෝ තේරුම් ගන්න විදිහ එයත් හරි. එහෙම නම් කුමක්ද කළ යුත්තේ කියන තීරණයකට එනවා. ඒ තීරණයත් හරි. ඒ තීරණේ හරි කියන නිගමනයට ආවොත් පමණයි එය ක්‍රියාත්මක කරන්නේ. ඒ ගන්න ක්‍රියාමාර්ගයත් හරි. මේ තමා මමත්වය කියා කියන්නේ, මමත්වයේ ප්‍රායෝගික පැත්ත, එහි දාර්ශනික පැත්තක් තියෙන්න පුළුවන් එමෙන්ම ගුප්ත පැත්තක් තියෙන්නත් පුළුවන්. නමුත් සිහිබුද්ධියෙන් බලන විට මමත්වය මේ විදිහට තමා හැඩ ගැන්වෙන්නේ වෙස් ගැන්වෙන්නේ, රඟ දැක්වෙන්නේ, වේදිකා ගත වෙන්නේ. මේ හැම අවස්ථාවකදීම ‘මම’ හරි, ‘මම’ හරි, කියන තීරණයට අවොත් ඉන් එහා ඇත්තක් හොයන්නේ නෑ. ඇත්ත එකක්, ‘මම’ තව දෙයක්. මේ දෙක බොහෝ විට ප්‍රතිවිරුද්ධ දිශාවලට තමා යන්නේ, යථාර්ථය ගලන්නේ එක දිශාවකට ‘මට’ යන්න ඕනෙ තවත් දිශාවකට, යථාර්ථයේ දිශාව අමතක කර මමත්වයේ දිශාවට යන්න ගන්න උත්සාහයටයි සංසාරය කියන්නේ, පුහුදුන් ගමන කියන්නේ. එතනයි මේ සියලුම අර්බුද. ඒ ගැන අවශ්‍ය පමටත් වඩා ලියවුනු පොත්පත් තියෙනවා, ‘මම’ පිළිබඳව මේ කාරණා හඳුනා ගන්නේ කොහොමද, ‘මම’ නිවැරදි කර ගන්නේ කොහොමද කියා. ඒ සඳහා සිහිබුද්ධියක් නම් අවශ්‍ය නෑ.


සිහිබුද්ධිය අවශ්‍ය වෙනම කාරණයකට, කුමන කාරණයකට ද? ‘මම’ මගෙන්ම වහගෙන තිබෙන ඇත්ත දකින්නට. ඇත්ත දැන් වැසී තියෙන්නේ මගෙන්මයි, ‘මට’ තියන බාධකය ‘මමම’යි වෙන ආවරණ නෑ, ඒ ආවරණය, ‘මම’ කියන ආවරණය නිසා මට මා පිළිබඳවම ඇත්ත වැහිලා, අනුන් පිළිබඳව නොවෙයි, ඉර හඳ පිළිබඳව නොවෙයි, ‘මා’ පිළිබඳ සත්‍යය ‘මට’ වැහිල තිබෙන්නේ ‘මම හරි’ කියන තැනින්ම තමා. ‘මම’ දිහා කොපමණ බැලුවත්, බොහෝ දේ හඳුනා ගන්න පුළුවන්, නමුත් ඉන් එහාට යන්න බෑ, ඔය ආවර්ණය සම්පූර්ණයෙන් ඉවත් කරගන්න බෑ. එම නිසා තමා සිහිබුද්ධිය ඇති කරගන්න ඕන වෙන්නේ. මත්වෙලා ඉන්න විට, මොනතරම් දේවල් කවුරු කීවත්, කොහොම බැලුවත් ඒ මත්වුනු ස්වභාවයට ඇත්ත පේන්නේ නෑ. බලන්න එහෙම කෙනෙක් එක්කෝ නිහඬ වෙයි නැතිනම් ඔව් කියයි නමුත් එසේ කියන්නෙත් කියන දේ තේරුම් අරගෙන නොවෙයි. කම්පනයෙන් සිටින කෙනාටත් කිසිවක් කියලා වැඩක් නෑ ඒ කම්පනයෙන් එළියට ගන්න ඕන. අවශ්‍ය වෙන්නේ මුලින්ම සිහිබුද්ධිය ඇති කර ගැනීමයි. 


කල්‍යාණ මිත්‍රයෙකුට කළ හැකි හා කළ යුතු එමෙන්ම දිය හැකි හොඳම උපදේශය තමා සිහිබුද්ධිය ඇති කරගන්න කීම. ඒ උපදේශයි පටාචාරා සොහොයුරියට අපේ කල්‍යාණමිත්‍ර ශාස්තෘන් වහන්සේ දුන්නේ, බොහොම සෘජුවම ‘නැඟණියනි සිහිය එලවා ගන්න’ කියා. මෙතැනදී පමණක් නොවේ උන්වහන්සේ සෑම තැනකම විවිධ ස්වරූපයෙන් සඳහන් කළේ සිහිබුද්ධිය ඇති කරගන්න කියන කාරණය. හැබැයි මේ වචන දෙකකින් කිව්වට සිහිබුද්ධිය ඇති වෙන්නෙ නෑනෙ, ඒ සඳහා විවිධ කමටහන් දුන්නා.  නන්ද ස්වාමීන් වහන්සේට, චුල්ල පන්ථක ස්වාමීන් වහන්සේට, කිසාගෝතමියට දුන් කමටහන් එකිනෙකට වෙනස්, මේ හැම කමටහනක්ම හරිම අපූරුයි. ආනන්ද ස්වාමීන් වහන්සේටත් දුන්නේ එවැනිම හරිම අපූරු කමටහනක්. බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට වඩින අතරතුර ඒ මාර්ගයේ පසුකරගෙන වැඩිය කැලතුනු වතුර වලකින් පැන් ටිකක් ගේන්න කියා, දුන්නු කමටහන, “මේ කැළඹීම ඇතුලේම නිශ්චලත්වය තියෙනවා, කම්පනය ඇතුළෙම අකම්පිත බවත් තිබෙනවා, අවුල ඇතුළෙම නිරවුල් බවත් තිබෙනවා, අවශ්‍ය වෙන්නේ ඉවසීමයි”.


මේ විදිහට සිහිබුද්ධිය ඇති කරගන්න දුන් කමටහන් වලටයි දහම කියන්නේ, ධර්මතා නොවෙයි බුදුදහම කියන්නේ. ධර්මතා කියන්නේ කමටහනකින් පෙනෙන ඇත්තට, මාව නොවෙයි, තමන්ව නොවෙයි, ඇත්තෙ පෙනීම, ‘මම’ නොවෙයි ඇත්ත කියන කාරණය. ‘මම’ නොවෙයි ඇත්ත සාරය හරය, ධර්මතාවයයි ඇත්ත සාරය හරය කියා. එසේ දකින මට්ටමට කෙනකුගේ හදවතේ ඉඩ ඇති වෙනවා දහමට. හදවත පිරී තිබුණේ මමත්වයෙන්, මම හරි කියන තැනින්. දෙදෙනෙකුට ඉන්න බෑ එක හදවතක. එක්කෝ ‘මම’ නැතිනම් ධර්මතා. හදවත,චිත්තය සම්පූර්ණයෙන් තමන්ගෙන් පිරී තියෙන කෙනෙකුටයි පෘථග්ජන කියන්නේ, මමත්වය උපරිමයි. මමත්වය උපරිමයි කිව්වහම හිතෙන්න පුළුවන් නරකයි කියා, නෑ නරක නෑ හොඳ අය ඉන්නව, බොහෝම හොඳ කෙනෙක් ඉන්න පුළුවන් මමත්වය වැඩි උනාට. ඒ මමත්වයයි හොඳ කමයි අතර සම්බන්ධයක් නෑ. නමුත් සිහිබුද්ධිය ඇති වෙන්න ඇති වෙන්න ‘මම’ නොවේ හරය, ඒ කියන්නේ මට හිතෙන දේ නොවෙයි හරය, ධර්මතායි හරය කියන කාරණය පේනවා. ඒ පේන පේන මට්ටමට, ඉගෙන ගන්න මට්ටමට නොවෙයි, අත්දකින මට්ටමට, හදවතේ අවකාශයක් ඉඩක් ඇතිවෙනවා ධර්මතාවලට. යම් පමණකට හදවත ධර්මතා සමඟ ජීවත් වෙනවද යම් පමණකට හදවත ධර්මතා වලට විවෘත වෙනවද ඉඩ අරගෙන දෙනවාද ඒ මට්ටමට ‘මම’ අඩු වෙනවා. ‘මම’ අඩු වෙනවා කියන්නේ ‘ මම’ හරි, මගේ අත්දැකීම් හරි, මගේ තීරණ හරි, නිගමන විනිශ්චයන් හරි, කරන දේ හරි,  කියන මමත්වය අඩු වෙනවා. මේ විදිහට බැලුවොත් යම් කිසි මොහොතක කෙනකුගේ හදවත, අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම ධර්මතාවලින් පිරුණහම එතැන ශූන්‍යයි. මේ තමා ලස්සනම කාරණය, ධර්මතාවලින් පිරිපුන් නම් ශූන්‍යයි, ධර්මතා හිස් නම් පිරිලා, ‘මම’ පිරිලා ඉන්නේ, මගෙන් පිරිලා. ලස්සනයි නේද, ඒ ලස්සනත් එක්ක අපි භාවනානුයෝගී වෙමු.


භාවනාව


  • මෙතෙක් ඇසූ දේ පිළිබඳව මොන විදිහේ තීන්දු තීරණ වලටද හිත පැමිණෙන්නේ? පැමිණුනේ? ඒ හැම තීන්දුවක් තීරණයක් විනිශ්චයක් නිගමනයක් සමගම ‘මම’ ඉන්න බව පෙනෙනවද?

  • කලින් දේශනය කරන විට දේශනයේ කියූ කාරණා හරි වැරදි, එය වෙනම දෙයක්, නමුත් යම් විදිහකට ඇහුනද ඒ ඇහුණ විදිය හරි, ඇහුන දේ වැරදි වෙන්න පුලුවන්, නමුත් ඇහුන විදිහ හරි, පලවෙනි හරි ලකුණ. මෙය පැහැදිලිව තේරුම් ගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය කියපු දේ වැරදි කියා, කියපු දේ හරි හෝ වැරදි වෙනම කාරණයක්, නමුත් ඒ ඇහුනු විදිහ හරි, ඇහුනු විදිහ හරි කියන නිගමනයට පැමිණි නිසා තමයි ඇහුනු දේ වැරදියි කියන නිගමනයට ආවේ. මේ විදිහට හරි ලකුණු වැටෙන විදිහ පිටුවෙන් පිටුවට හඳුනාගන්න.

  • යම් පමණකට යාන්ත්‍රික හරි ලකුණු දැමීමේ ක්‍රියාවලියට සිහිබුද්ධිය ඇති වෙන විට හිස්ව ඉන්න, හරිත් නෑ වැරදිත් නෑ, හිස්ව, නමුත් මනා වූ අවදිමත් බවකින් ඉන්න හැකියාව ලැබෙනවා.
  • ඒ හිස් අවකාශය සජීවම අත්දකිමින් සිහිබුද්ධියේ හෝරාවේ සාකච්ඡාවට සංවාදයට එන්න හිතවතුනි, මේ සාකච්ඡාවට අවස්ථාව. 




සාකච්චාව


ප්‍ර : පවුලක් විදිහට එදිනෙදා ජීවිතය ගත කරන කොට එක එක්කෙනා ඉන්නේ එක එක තලයන් වල. ඒ අනුව ඒ අයගේ අත්දැකීම් තීරණ ගැනීම් ක්‍රියාත්මක කිරීම් වෙනස්. පවුලක් විදිහට පොදුවේ යම් යම් තීන්දු ගන්න වෙනවා. එතකොට ලොකු ගැටුම්කාරී තත්ත්වයක් මතු වෙනවා කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් භාවනා කරන අය විදිහට සමහරවිට සිහිබුද්ධිය දියුණු කරගෙන ඉදිරියට යනකොට ධර්මතාවයන් පේනකොට අපි නිහඬ වෙනවා. හැබැයි  සමහර විට අපිට තීන්දු ක්‍රිරියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒවා ධර්මතාවයන්ට එකග තීරණ වෙන්න පුළුවන්, නමුත් පවුලේ අනිත් අය එයට එකග නොවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල දී කොහොමද තීරණ ක්‍රියාත්මක කරන්නේ? 


පි : කෙනෙකුට හිතන්න පුළුවන් නිහඬව ඉන්න ඔහේ ගල්ගැහුණා වගෙයි කියලා, නැහැ එහෙම නොවෙයි ක්‍රියාමාර්ග ගන්න වෙනවා ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා. ප්‍රතිචාර දක්වන්න නම් තීරණයකට එන්න වෙනවා. තීරණයකට එන්න නම්, විනිශ්චයක් කරන්න වෙනවා. විනිශ්චයක් කරන්න නම්, වෙන දේ දැනගන්න ඕන.  ඕනම වෙලාවක මේ අදියර හතරට අපි අනිවාර්යයෙන්ම එනවා. නින්දකදීත් ඔය අදියර හතරට එනවා, හැබැයි දැනුවත්ව නොවේ, දැනගෙන නොවෙයි, යාන්ත්‍රිකවයි වෙන්නේ. මෙතැනදී සිහි බුද්ධියෙන් පුළුවන් ඔය පලවෙනි පිටුව අධ්‍යයනය කරන්න, මම පැත්තකට දාලා මාව පැත්තකින් තියලා, සිද්ධිය හොඳට දැනගන්න සිද්ධියට හොදට ඇහුම්කම් දෙන්න, සිද්ධිය දිහා හොඳින් බලන්න පුළුවන්කම ලැබෙනවා, එය පුහුණු වෙන්න. මාව පැත්තකින් තියන්න, ‘මම’ දන්න දේ, හිතෙන දේ, කලින් කරපු දේ, මේ ‘මම’ කලින් කළ දේවල්, මේ ටික පැත්තකින් තියන්න. ඕන නම් පස්සේ පාවච්චි කරන්න පුළුවන්, නමුත් මුලින්ම ඒවායින් පුරවා ගත්තොත් වර්තමානයේ වෙන දේ දැන ගැනීම අවුල්වෙනවා. මෙයට කියනවා විපරීත සංඥා, සංඥාව විකෘති වෙලා විපර්යාසයකට ලක් වෙලා. එම නිසා ‘මම’ කියන මූලාශ්‍රය පැත්තකින් තියන්න. එය එක් මූලාශ්‍රයක් පමණයි. මේ තමා වැදගත්ම දේ, ‘මම’ කියන්නේ මූලාශ්‍රයක්. මගේ අතීතය දැනුම අත්දැකීම් හරිගිය තැන් වැරදුණ තැන් මූලාශ්‍ර, හැබැයි එය එකම මූලාශ්‍රය නොවේ ‘මම’ කියන්නේ. පුහුදුන් චින්තනයට එකම හා පරම මූලාශ්‍රය තමා ‘මම’, පරම කියන්නේ ඉන් එහා එකක් නෑ ‘මම’ තමා. නමුත් සිහිබුද්ධිය අවදිවන විට ‘මම’ කියන්නේ එක් මූලාශ්‍රයක් පමණයි තව මූලාශ්‍ර තියෙනවා, වැඩි මූලාශ්‍ර ප්‍රමාණයකින් තොරතුරු ගන්න පුළුවන්, පවුලේ අයට අසල්වාසීන්ට ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒ අයගේ ස්ථාවරය දැනගන්න පුළුවන්. ඒ අය කියන දේ පිටුපස මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ ඒ හැඟීමට ඇහුම්කන් දෙන්න පුළුවන්. සමහර විට ඒ කියන දේ හරි මෝඩයි. එහෙම කියන්න ඒ පිටුපස කුමක් හෝ හැඟීමක් තියෙනවා, ඒ හැඟීමයි මනුස්සයාව මෝඩ කරන්නේ. ආවේගයකින් වෙන්නේ අපේ සිහිබුද්ධිය අඩු වෙනවා, මෝඩ වෙනවා. මෝඩයි කියා බැණල වැඩක් නෑ, එසේ කියන්න පෙළඹවන හැඟීම, අනාගතයේදී තනි වෙයි කියා බය වෙන්න පුළුවන්, කියනවා කරනවා වෙන්න පුළුවන්. කියන කරන දේ අමුම අමු මෝඩ වෙන්න පුළුවන්. නමුත් එහෙම කියන්න හේතුව, අර හැඟීම, අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම, එයට ඇහුම්කන් දෙන්න, එතනට සංවේදී බවක් කරුණාවක් දක්වන්න. සිහිබුද්ධිය තිබුනොත් අර වචන වලට පටල වෙන්නෙ නැතිව වචන කියන දැල අස්සෙන් රිංගලා හදවතට ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒ හදවතට විසඳුමක් දෙන්න පුළුවන් නම් කියන දේ වැදගත් නෑ. අනිත් අය කියන දේවල් කරන්න ගියොත් හරි අමාරුවක වැටෙන්න පුළුවන්, ඒවා කරන්න අවශ්‍ය නෑ. නමුත් එහෙම දෙයක් ඉල්ලන්න හේතුව, කිසියම් දුර්වල තැනක නම් අනිත් කෙනා හැඟීම් පැත්තෙන් ඉන්නේ, අන්න ඒ දුර්වල තැනට උදවු කරන්න. ඒ විදිහට විසඳන්න පුළුවන් බොහෝ ප්‍රශ්න. ඇත්ත කුමක්ද හරි/වැරද්ද කුමක්ද දන්නේ/නොදන්නේ කවුද වැඩිය අත්දැකීම් තියෙන්නේ කාටද නැත්තෙ කාටද, මේවා නොවෙයි වැදගත් සාමාන්‍ය ප්‍රශ්න වලදී. මේවා ඉදිරියට ගෙනවිත් අර මූලික ප්‍රශ්න වහල ඒවා විසඳන්න බැරි තැනකට, හැම කාරණයක්ම සංකීර්ණ තැනකට ගිහින්. සිහිබුද්ධියට පුළුවන් ඒ අපායට යන්නේ නැතිව තමනුත් පැත්තකට කර කියන දේත් පැත්තකට දාලා අර හැඟීමට යන්න චේතනාවට යන්න. චේතනාවට විසඳුමක් දුන්නොත් ඉන් එහාට ප්‍රශ්නයක් නෑ. 


ප්‍ර : එතනදී කෙනෙක්ව නිවැරදි කරනවා නම් ගතයුතු ක්‍රියා මාර්ගය මොකක්ද? අපට දැනෙනවා නම් වැරැද්දක් කරනවා අඩුපාඩු සහගතයි, අපි නිවැරදි කරන්න ඕන නිහඬ වෙලා බෑ කියා, ඒ වගේ අවස්ථාවේදී කොහොමද ක්‍රියා කලයුත්තේ?


පි : එතනදි අවස්ථාව අනුව තමා ක්‍රියාමාර්ගයක් ගන්න වෙන්නේ. කෙනෙක් වටපිට බලන්නේ නැතිව පාර හරහා පනිනවා නම් එතැනදී අනතුරක් සිදු වෙන්න යනවා නම් එවිට ඔහු කරන වැරැද්ද පැහැදිලියි කර කර ඉන්න වෙලාවක් නෑ, එතනදී කරන්න වෙන්නේ අහු වෙන තැනකින් ඇදලා ගන්න එක. කතාව දේශනය තර්ක කිරීම පස්සේ කරන්න පුළුවන්, ක්‍රියාවයි වැදගත් වෙන්නේ මුලින්ම ඒ තැනේ හැටියට. සමහර වෙලාවල් තියෙනවා කියන්න පුළුවන් කතා කරන්න පුළුවන් අපේ අත්දැකීමක් කියන්න පුළුවන්. කෙනෙකු කරන්න යන දෙයින් වෙන හානිය අපේ අත්දැකීමක් එක්ක පැහැදිලි කරලා දෙන්න පුළුවන්, අත්දැකීම් බෙදා ගන්න පුළුවන්, මගේ අත්දැකීම නම් මෙහෙමයි වුණේ ඔයාටත් එසේ වෙන්න පුළුවන් එසේ වෙන්න ඉඩ තියෙනවා කියන අදහස බෙදා ගන්න පුළුවන්. එහෙම කතා කරන්න පුළුවන් වෙලාවක කතා කරන්න එහෙම කතා කරන්න පුළුවන් වෙලාවක් එනකන් ඉවසන්න ඕන. එහෙම නැත්නම් එසේ කතා කරන්න පුළුවන් මානසික ස්වභාවයකට අනිත් කෙනා ගේන්න ඕන ප්‍රශ්න කතා නොකර. ප්‍රශ්නේ කතා කරන්න ගියොත් ඒ මානසික ස්වභාවය එන්නේ නෑනේ. එතකොට ඒ හිතවත් බව, සම්බන්ධතාවය වැඩි වන ආදරය වැඩි වන ඇහුම්කන් දෙන නම්‍යශීලී වන තැනකට අනිත් කෙනා මුලින් ගේන්න ඕන. එහෙම ගේන්න නම් මුලින්ම එහෙම තැනකට පැමිණෙන්න ඕන. ‘මම දන්නවා, ඔබ දන්නෙ නෑ’, ඒ තැන හිටියොත් නම් කාගෙවත් හදවතක් විවෘත වෙන්නේ නෑ, ඔලුවත් එක්ක තර්ක කරන්න පුළුවන්, ඔලුවත් එක්ක තර්ක කරලා වැඩක් නෑ, කෙනෙක් නිවැරදි කරනවා නම් හදවතින් තමා නිවැරදි කරන්න ඕන. හදවත ඒ නිවැරදිභාවයත් සමග එකතු වුණොත්, හදවත විවෘත වුනොත් නිවැරදිභාවයට ඉන් පසු ඉතිරිය පහසුයි. ඒ නිසා වැදගත්ම දේ තමා කෙනකු සමග අපි ඇතිකරගන්නා සම්බන්ධය. ඒ සම්බන්ධය කඩල බිඳල දාල කෙනෙකුව නිවැරදි කරන්න බෑ. දඬුවම් දෙන්න පුළුවන් බය කරන්න පුළුවන්. නමුත් එයින් ඇත්තටම කෙනෙකු නිවැරදි වෙනවාද නැද්ද, නැත්නම් දඬුවම නිසා බය නිසා එළියට ඒ වැරැද්ද නොකර ඉන්නවද, ඒ නිසා අපට බෑ කාවවත් නිවැරදි කරන්න. හැබැයි නිවැරදි වෙන්න උදව්වක් කරන්න පුළුවනි. එය පමණයි කරන්න පුළුවන්. 


ප්‍ර : අපි මේ විදිහට ධර්ම සාකච්ඡා කරන විට අපේ ගැටලුව ඔබතුමන්ට ඉදිරිපත් කරලා උපදෙස් ලබාගන්නවා කමටහන් ලබා ගන්නවා. නමුත් මේ අවස්ථාව නොලැබුනොත් මම භාවනා කරනකොට ගැටළු මතු වුනොත්, ගුරුවරයෙක් නොමැති අවස්ථාවකදී මම කොහොමද කමටහනක් ලබාගන්නේ? මම කොහොමද සිහි බුද්ධියෙන් මේ ගමන ඉදිරියට යන්නේ? 


පි : එසේ හැමවෙලේම ගුරුවරයකු සිටීම නම් මහා අපරාධයක් කරදරයක් බාධාවක්. කවුරුන් හෝ අපේ අතින් අල්ලාගෙන දිගටම යනවා නම් අපට අපේ දෙපයින් නැගිටින්න අමාරුයිනේ, අපට පාර හොයා ගන්නත් බෑ. එම නිසා ගුරුවරෙක් ඉඳීමත් හොඳයි, ගුරුවරයෙක් නොසිටීමත් හොඳයි. මේ දෙකම එක වගේ හොඳයි. මෙතැනදී ධර්මය ගුරුවරයෙක් කරගන්න. බාහිර ගුරුවරයෙක් හිටියත් ධර්මයනේ අවසානයේ අපේ ගුරුවරයා වෙලා තියෙන්නේ. දහමනේ ගුරුවරයෙක් වෙන්නේ, පුද්ගලයෙකු නොවෙයිනේ, කියා දෙන දේ තමා වැදගත්. ඒ නිසා දහම ගුරුවරයෙක් කරගන්න. තවත් ගුරුවරයෙක් හිටියත් එතුමන් කියන දේ කියූ නිසාම පිළිගන්න එපා, මෙයා මගේ ගුරුවරයා ඒ නිසා කියන දේ හරි කියලා පිලිගන්න එපා, තර්කයටත් හරි, පොතටත් හරි නිසා පිළිගන්නත් එපා. එයාව පැත්තකින් තියලා කිව්ව දේ විග්‍රහ කර බලන්න. කිව්ව දේ අත්දැකීමට ගෙනවිත් බලන්න. එසේ බලනවිටදී පේනවා නම් ප්‍රායෝගිකව භාවිතයක් තියෙනවා හේතුඵල දහමට එකඟයි එම නිසා මේ ප්‍රශ්නේ විසඳෙයි, අන්න එවිට ඒ දේ කරන්න. එතෙක් කිවූ පමණින් කරන්න ගියොත් නම් දහම ගුරුවරයෙක් වෙන්නේ නෑ දහම ගුරුවරයෙක් කරගන්න ලැබෙන්නේත් නෑ, ඒ හැකියාව දියුණු කරගත්තොත් පුද්ගලයෙකු හිටියත් පුද්ගලයෙකු නැති වුණත් අපට පුළුවන් දහමත් සමග කතා කරන්න ගනුදෙනු කරන්න සන්නිවේදනය කරන්න. 


හිතන්න මේ ප්‍රශ්නේ බුදුන්වහන්සේ ගෙන් ඇහුවා නම් මොන වගේ උත්තරයක් දෙයිද කියා විමසා බලන්න, අපටම හිතෙන දේ එසේ විග්‍රහ කර බලන්න, ඒ කියන දේ හරි යයිද පෙර අත්දැකීමක්  තිබෙනවාද?, ඔව් තියෙනවා නමුත් හරි ගියේ නෑ, එහෙම නම් ඒ උත්තරය බුදුන් වහන්සේ කෙනෙකු දෙන උත්තරයක් නොවේ. ආයෙත් ඒ ප්‍රශ්නේ අහන්න. මේ විදිහට ගුරුවරයෙකු ඉන්නවා කියා හිතාගෙන ඒ සංඥාවෙන් අප දහමත් සමග සන්නිවේදනය කරන්න හදනවා, හරියට ඇන්ටනාවක් වගේ, ඒ හරහා අප සම්බන්ධ වෙන්නේ ධර්මතාවයකට, කෙලින්ම අපට ධර්මතා එක්ක සම්බන්ධ වෙන්න බැරි නම්, අර ඉන්නවා කියන සංඥාව, ඇන්ටනාවක් හරහා. අපට වැරදි සංඥා එන්න පුළුවන්, කමක් නෑ. වැරදි වැරදි කරන කොට අපට සුසර කරගන්න පුළුවන් ධර්මය ඇහෙන සංඛ්‍යාතයට, ධර්මතා සමග සන්නිවේදනය කරන්න පුළුවන් සංඛ්‍යාතයට අපේ හිත සිහිබුද්ධිය සුසර කරගන්න පුළුවන්. එවිට ගුරුවරයෙකු හිටියත් ඒ හරහාමයි අප අහන්නේ, ඒ නැතත් සෘජුවම දහමින් කමටහන් ගන්න පුළුවන් වෙනවා.


ප්‍ර : ධර්මතා කියලා අදහස් කරන්නේ ස්වභාව ධර්මයේ ජීවින්ගේ, ඇලදොල වල ගලායෑම් එක්කම අපේ සිත් සතන් වල එන චිත්තවේග කොහොමද ඇති වෙන්නෙ කියන එක තේරුම් ගැනීමද?


පි : ඕනෑම දෙයක් වෙන්නේ හේතුවක් නිසා,හොඳක් වෙන්නෙත් නරකක් වෙන්නේ ධර්මතා නිසානේ. හිත කලබල වෙන්නේ සන්සුන් වෙන්නෙත් හේතු නිසා. ඕනෑම අත්දැකීමකදී හිත සන්සුන් කියා නැවතුම් තිත තැබීම සමථය. විපස්සනාවේදී කරන්න පුළුවන් දෙයක් තමා ඇයි මේ හිත සංසුන් වෙලා තියෙන්නෙ කියා සොයාබැලීම, ඇයි මේ? සාමාන්‍යයෙන් අප ප්‍රශ්නයක් වූවිටදී පමණයි හොයල බලන්නේ ඇයි එහෙම වුණේ කියා. නීරෝගීව නම් හොයන්නේ නෑ ඇයි නීරෝගීව ඉන්නේ කියා. ලෙඩ වුණොත් පමණයි හොයන්නේ. විපස්සනාවේදී මේ දෙකම ගන්නවා, ලෙඩක් උනත් නිරෝගි උනත්, දෙකම කමටහන් ඇයි කියා හේතු හොයන්න. චිත්තාවේග වෙලාවකදි ඇයි එසේ චිත්තවේග ඇවිත් තියෙන්නෙ, හේතු හොයා ගන්න පුළුවන්. එවිට හේතු වල ඵලයක් තමා මේ චිත්තවේග, මේ හේතු තියෙනකම් මේ චිත්තවේගය තියෙනවා, මේ හේතු නැති වූවිට චිත්තවේග නෑ.එය ධර්මතාවයක්. චිත්තවේග ආවේ මේ හේතු නිසා වෙන හේතුන් ටිකක් නිසා එන්නේ වෙන චිත්තවේගයක් එයත් ධර්මතාවයක්. මේ හේතු එකක් හෝ නැති වුනොත් මේ චිත්තවේගයත් නැති වෙනවා. එය ධර්මතාවයක්. මේ විදිහට හැම අත්දැකීමක්ම හේතු විදිහට බලන්න පුලුවන්නම්, හේතු විදියට හොයාගන්න පුළුවන් නම්, හේතු ඵලයන් විදියට දකින්න පුළුවන් නම් සහ හේතු ඉවත් වීමේ මග හොයාගන්න පුළුවන් නම් ඒ ධර්මතා මේ ගමනට හරි වැදගත් වෙනවා. ඉන් පිටත් ධර්මතා තියෙනවා. උදේ වීම දවල් රෑ වීමත් ධර්මතාවයක්. ඇයි උදේ වෙන්නේ?, ඇයි දෙසැම්බර් මාසෙට සීතල වෙන්නේ?, මේවත් ධර්මතා. හැබැයි මේවා දැනගත්තා කියා නම් අපේ සංසාර ගමන නවතන්නට එපමණ උදව්වක් වෙන එකක් නෑ. 


ප්‍ර : එතකොට අපෙන් හැදෙන සංස්කාර තිබෙනවා නේ එතැනදී අපි සිහිබුද්ධිය ඇතිකරගන්න එක ද කරගන්න ඕන?


පි :සංස්කාර කියන්නේ හැදීම නේ. සංස්කාර හැදෙනවා කියල කිව්වට සංස්කාර කියන්නෙම හැදීම. මේ සංස්කාර හැදෙන තැන සංසාරයත් හැදෙනවා. මේ හැදීම සිදුවන්නේම, මොන සංස්කාර වුණත්, සිහිබුද්ධියේ අඩුවක් නිසා. එහෙම නැත්නම් හොඳ සිහිබුද්ධියක් තිබුනොත් සංස්කාර ගොඩගසා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. ‘මම’ මෙහෙම කෙනෙක් වෙනවා අරහෙම කෙනෙක් වෙනවා එහෙම අවශ්‍යතාවයක් එන්නෙ නෑ. අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න ‘මම’ තව කෙනෙකු බවට, ‘මම’ මෙහෙම නොවේ අරෙහෙම වියයුතුය.කියන ඕනකම අඩුවෙලා යනවා. අඩුවෙන්න අඩුවෙන්න සංස්කාර පේනවා. එසේ පේනවා වගේම ඒවාට පොහොර වැටෙන්නෙත් නෑ, ඒ නිසා ඒවත් ඇතිවන තැනම වගේ පැළවෙන්නේ නැතිව නිරුද්ධ වෙලා යනවා.


දයාබර හිතවතුනි, මේ ආධ්‍යාත්මික අම්බලමින් නික්මෙන්නට මොහොතයි. එකතු වුන තැන සිට මේ නික්මෙන තැන තෙක් බොහෝම පොහොසත් සාරවත් හමුවීමක් බෙදාගැනීමක් ගනුදෙනුවක් සන්නිවේදනය වෙන්න ඇති කියා හිතනවා. මේ සියල්ල හරහා සැබැවින්ම අප සන්නිවේදනය කරන්නේ දහමත් සමගයි. ඒ බව හොඳට පැහැදිලි කරගන්න. කෙනෙක් කියනවා, කෙනෙක් දන්නවා, අප දන්නේ නෑ. එහෙම කාරණයක් නොවෙයි, දහමත් සමගයි මේ ගනුදෙනුව කරන්නේ සහ ඉදිරියටත් සිදුවිය යුත්තේ. ඒ තැනට එන්න පුළුවන්නම් අපට දහමේ පිළිසරණ තිබෙනවා. ඒ විවෘතභාවයක්, හදවතේ දහමට අවකාශයක් නිර්මාණය කරමින් අද සදහම් සැදෑවෙන් සතුටින් සමුගනිමු.


සැමදෙනාටම සෙතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා !!!