සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 11


2021 දෙසැම්බර් 15, සාරාංශය 


අතින් අතට, හිතින් හිතට, පොතින් පොතට, හදවතින් හදවතට දිය හැකි දේ එමටයි, ගන්න දේත් එමටයි. නමුත් එසේ දෙන්න ගන්න බැරි දේවල් ස්වල්පය අතරින් ප්‍රධාන දෙයක් තමා  සිහිබුද්ධිය. දෙමව්පියන්ගෙන් දරුවන්ට ජාන වලින් බුද්ධිය යම්තාක් දුරකට උරුම වුනාට සිහිබුද්ධිය ප්‍රවේණිගතව උරුම වන දෙයක් නොවේ. අත මාරුවකට ගත නොහැකි, සින්නක්කරයට, කුලියට,හෝ ණයට ගන්න බැරි, හොරකම් කරගන්නත් බැරි දෙයක්සිහිබුද්ධිය.


සිහිබුද්ධිය පිළිබඳ කරන සාකච්ඡාමය, භාවනාමය, ආවර්ජනාමය වැඩසටහනට සම්බන්ධව කටයුතු කිරීමේදී බොහෝ දෙනාගේ යම් කිසි වෙනසක් සිදුව ඇතැයි හිතනවා, ඒ වාගේම දැනෙනවා, කොහොමත් වෙනස් වීම් වෙනවා. මොනවත් නොකර පැය විසිහතරම නිදාගෙන හිටියත් වෙනස් වීම නවත්වන්න බෑ. හිතින් සහ ගතින් වෙනස් වෙනවා. වෙනස්වීමකට එහා ගිය පරිවර්තනයකුයි අවශ්‍ය වෙන්නේ. වෙනස්වීම මතුපිටින් වන දෙයක්. කන බොන දේ, ඇඳුම් පැළඳුම්, භාෂාව, සංස්කෘතිය මේ හැම දෙයක්ම වෙනස් කරන්න පුලුවන්. එහෙම බැලූවහම මොනවද වෙනස් කරන්න බැරි. මේ සියල්ල මතුපිට වෙනස්කම් විතරයි, ආගම වෙනස් කළත්  පුද්ගලයා වෙනස් වෙන්නෙ නෑ. එමෙන්ම වෙනස් වෙලා වෙනස් වෙලා ආපහු හිටිය තැනටත් එන්න පුළුවන්, ආපහු පරණ කෙනාම මතුවෙන්නත් පුළුවන්. නැවත නොඑන, ආපසු පෙරළා නොඑන වෙනස්වීමකටයි පරිවර්තනයක් කියන්නේ. කවදාවත් හිටපු කෙනා බවට පත් නොවෙන, හිටිය කෙනා ආපහු නොඑන පරිවර්තනයකුයි සිදුවිය යුත්තේ.


දැනුමට එහා ගිය හැඟීමක්, දැනීමක්, නිරීක්ෂණයක් මේ වැඩසටහන් මාලාව පුරාම සිදුවන්නට ඇතැයි  හා සිදුවෙමින් ඇතැයි හිතනවා, එමෙන්ම දැනෙනවා. කෙනෙකු කියන්න පුළුවන් “මම බොහෝ දේ දැනගත්තා” කියා, එයනම් හොඳ දෙයක් නොවේ. සමහර විට එය ගෞරවය ප්‍රණාමය පුද කරන්න හදවතින්ම කරන ප්‍රකාශයක් වෙන්න පුළුවන්. එත් එය ලොකු අගෞරවයක් විදිහටයි දැනෙන්නේ. තවත් එක් තොරතුරු හා දත්ත සම්ප්‍රේෂණය කරන වැඩසටහනකට සීමා කළොත් මේ උත්සාහයෙන් පලක් නෑ. කෙනෙකුට දහම් දැනුම අවශ්‍ය නම් ඒ සඳහා ඕනෑ තරම් පහසුකම් තියෙනවා. ඒ කාර්යය අතිවිශිෂ්ට ලෙස කරන ගෞරවනීය උතුමන් වහන්සේලා ඉන්නවා. ඒ ශේෂ්ඨ ධර්මදූත සේවාව අප බෙහෙවින් අගය කරනවා. නමුත් මෙතනදි උත්සාහ කරන්නේ වෙනස් ගමනක් යන්න. කිසිම දෙයක් නොදැන ගත්තත්, මේ කිසිම වචනයක් මතක නොතිබුනත් කමක් නෑ, සිහිබුද්ධියට එන්න සිහිබුද්ධිය හඳුනාගන්න. තමන්ගේ සිහිබුද්ධිය තව කෙනෙකුගේ සිහිබුද්ධිය නොවෙයි, තවත් කෙනෙකුට සිහිබුද්ධිය තියෙනවාද, සිහිබුද්ධියෙන්ද වැඩ කරන්නේ නැද්ද, කියා සිහිබුද්ධිය නැති කෙනෙකුට තේරෙන්නෙ නෑ. හරියට කිසියම් භාෂාවක් එහි හෝඩිය වත් දන්නේ නැත්නම් ඒ භාෂාවෙන් තමයි කතා කරන්නේ කියා අපට කොහොමවත් තේරෙන්නෙ නෑ. ප්‍රංශ භාෂාවෙ අකුරක්වත් ශබ්දයක්වත් දන්නේ නැත්නම්, නෑ කියන්නත් බෑ, ඔව් කියන්නත් බෑ, හරියට කොහොමද කියන්නේ ඒ තැනැත්තා කතා කරන්නේ ප්‍රංශ භාෂාවෙන් කියා. 


සිහිබුද්ධියත් භාෂාවක්. සිංහල දෙමළ වගේ භාෂාවක් නොවෙයි. භාෂාවක් අවශ්‍ය වෙන්නේ වෙනත් කෙනෙකු සමග සන්නිවේදනය කරන්න, තව කෙනෙකු කියන දෙයකට ඇහුම්කන් දෙන්න නැතිනම් ලියූ දෙයක් කියවන්න තේරුම් ගන්න. එහෙමනම් සිහිබුද්ධිය සන්නිවේදනය කරන්නේ කවුරුන් එක්කද? තමන් තනියම නම් ඉන්නේ භාෂාවක ඇති ඵලය කුමක්ද? භාෂාව නොදැන හිටියා කියා සිදුවන පාඩුව කුමක්ද?  සිංහල දන්නවා නම් සිංහලෙන් ලියවුනු පොත් කියවන්න පුළුවන්. මොන පොතද සිහිබුද්ධිය කියවන්නේ?. එක්වරම උත්තරයක් එයි ‘මම’ කියන පොතයි.කියවන්නේ, තමන් සමගයි සන්නිවේදනය කරන්නේ කියා, ඒ පිළිතුරෙන් බොහෝදෙනකු සෑහීමකට පත් වෙන්නත් පුළුවන්, අනෙක් සියලුම භාෂාවන් හරහා අප ගනුදෙනු කරන්නේ අනුන් සමගයි, නමුත් සිහිබුද්ධිය නැමැති භාෂාවෙන් සම්බන්ධ වෙන්නේ කියවන්නෙ ඇහුම්කන් දෙන්නේ තමන්ටයි කියා. එය පිළිගන්න පුළුවන් උත්තරයක් වගේනේ පෙන්නේ. 


තමන් සමග ගනුදෙනු කරන භාෂාවට තමා සිහිය, සතිය කියන්නේ. ඉතින් සතිය තිබුනොත් පමණක් තමන්ට තමන්ව ඇහෙනවා, තමන් හුස්ම ගන්න බව තමන්ට දැනෙන්නේ, අතීතය මතක් වෙන බව අනාගතය ගොඩනගන බව දැනෙන්නේ සිහිය තිබුනොත්නේ. ‘මම’ කියන පොතත් අලුතෙන් අලුතෙන් එකතුවෙන වාක්‍ය හා ඡේද කියවන්න පුළුවන්. ‘මම’ නැමැති පොත කියවන්න පුළුවන් සිහිය නමැති භාෂාව හොඳට හසුරුවන කෙනෙකුට පමණයි. වෙන කිසිම භාෂාවකින් එය කියවන්න බෑ, එය කියවිය යුතුයි එයට ඇහුම්කන් දිය යුතුයි කියාවත් තේරෙන්නේ නෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ලෙඩේ සෑහෙන දුරකට සුව කරගන්න සිහියට  පුළුවන් කියල. ඇත්ත, සංසාර රෝගය සෑහෙන දුරකට සමනය කරගන්න සිහිය නැමැති ඔසුවෙන් පුළුවන්. සරල භාවනාවක දී වුණත් හිත දුවන බව දැනගත් මොහොතේම හිත දිවීම නවතිනවා, තරහ එන බව දැන ගත්තාම තරහ නවතිනවා. ඉන් එහාට තරහ : වෛරයක්, බද්ධ වෛරයක්, බවට පෙරලෙන්නේ සිහිය ආවේ නැත්නම්. ආදරණීය හිතවතුනි සිහිය අත්‍යාවශ්‍යයි. නමුත් ඒ මදි වැඩක් නෑ නෙමේ. 


අප දවසක් කතා කලානේ එගොඩ වෙන්න ඕන පාරුව ගැන. දහම එගොඩ වෙන්න පාරුවක් කරගන්න කියූවිට අප ලොකුවටම ගන්නේ කරේ තියාගන්න එපා කියන කොටස. නමුත් වඩාත් වැදගත්ම කාරණය තමයි බුදුන් වහන්සේ පාරුව හදාගන්න විදිය පැහැදිලි කරන ආකාරය, කොහේටවත් ගිහින් නොවෙයි, ළඟ පාත තියෙන කෝටු කෑලි ටිකක් අරගෙන  පාරුවක් හදාගන්නෙ එගොඩවෙන්න කියන කරණය. ‘මම’ කියා කියන්නේත් අටවාගත් දේකට සහ අටවා ගන්න දේකට. ‘මම’ කියන්නේ කිසියම් කර්මාන්ත ශාලාවකින් එලියට ආ නිමි භාණ්ඩයක් නොවේ, එහෙන් මෙහෙන් අටවා ගත් දෙයකට වගේම අටවා ගන්න දේකට. ඒ නිසායි දහමේ වචන දෙකක් කතා කරන්නේ සංඛාර හා සංඛත කියා. සංඛත කියන්නේ අටවාගත් හා සංඛාර කියන්නේ අටවා ගනු ලබන, ඒ කියන්නේ දැනුත් හදනවා. ‘මම’ කියන පොත කියවන්න පටන් ගත්තාම වෙනසක් වෙනවා, පොත දිගින් දිගට ලියවීම නවතිනවා, දැන් තරහ දුක ආදී කවර හෝ කාරණයක් ගැන ලියවෙන්නේ පටන් ගත්තහම දිගින් දිගටම ලියවෙනවා පතරංග ජාතකයක් වගේ. සිහිය ආවහම ඒ ලියවීම  හා ඇටවීම නවතිනවා, ඉන් එහාට යන්නෙ නෑ. හැබැයි කිසිවක් නැවත අටවන්නේ නෑ කියන තැනට යන්නෙ නෑ, ආයෙත් කුමක් හෝ ගැට ගහ ගන්නවා, ආයෙත් සිහිය ආවම ආයෙත් නවතිනවා, ඉතින් මේ තමන්ට රැවටීම නවතින්නේ නෑ. 


‘මම’ කියා දෙයක් තියෙනවනේ, සිහිය තිබුණත් ‘මම’ කියන දෙයක් තියෙනවා, සිහිය තිබුණත් “මට තරහ ආවා”, “මගේ හිත දුවනවා”, “මම සිහියෙන් ඉන්නවා”. ඉතින් මේ දුක හදාගන්න කෙනෙකුත් ඉන්නවා, දුක් විඳින කෙනෙකුත් ඉන්නවා, ‘මම’ හදාගෙන ‘මම’ විදින දුක දිහා ‘මම’ සිහියෙන් බලනවා, එසේ බලනවිටදී ‘මගේ’ දුක නැති වෙනවා. මේ වචනෙ නොවෙයි, මෙම වචනය අල්ලාගෙන “මම” කියා කෙනෙක් නෑ කියා හිතුවට, කිව්වට හෝ කෑගැහුවට ප්‍රශ්න විසඳෙන්නේ නෑ, හොඳට බලන්න සිහිය තිබුනත් මේ ‘මම’ කියන සංඥාව නැතිවෙනවද. ‘මම’ කියන වචනෙ නැති වෙන්න පුළුවන්, නමුත් සංඥාවක් තියෙනවා. දැන් “මම” නෙමේ මේ ප්‍රශ්නේ, එය විසඳන්න හදන්නත් එපා, “මම” නැති කරන්න හදන්නත් එපා, එය නොවෙයි මේ කියන්න හදන්නේ, මේ “මම” කියන ඇටවිල්ල පදාර්ථයක් විදිහට ඇත්තටම තියෙන දෙයක් විදිහට ගන්නවා, කලිනුත් ගත්තා, දැනුත් ගන්නවා.


‘මම’ කියන පොත කියවන්න කියවන්න ‘මම’ වෙනස් වෙන කෙනෙකු බව පේනවා, වෙනස් වෙන බව පේනවා, වෙනස් වෙවී වෙනස් වේවි දිගටම යනවා, එක එක දේවල් අටවාගෙන යනවා. හොඳ සිහියෙන් සිටින විට මොහොතකට නවතින්න පුළුවන් මොනම දෙයක්වත් අටවා ගන්නේ නැති තප්පර ගානක් විනාඩි ගානක් තියෙන්නෙ පුළුවන්. නමුත් ඉතින් ඒ සිහිය අඩුවන විට හා වීරිය අවධානය අඩු වනවිටදි ආයෙත් අටවන්න පටන් ගන්නවා. මේ හැම එකක්ම ඇත්තක් විදියට ගන්නවා. “මම” ඇත්තක් විදිහට නොගත්තත් හිත දිවීම කියන කාරණය ඇත්තක්, දුවපු හිතකුත් තියෙනවා, ආපු තරහකුත් තියෙනවා, තරහ දිහා බැලුවා, බැලුවහම තරහ නැති වුණා, මෙසේ කෙනෙකු සහ දෙයක් තිබෙනවා කියන ඒ සංඥාව ඇත්තක් විදියට ගැනීම නවතින්නේ නෑ. හැබැයි බැරෑරුම් විදිහට ගන්නේ නෑ, බද්ධ වෙන්නෙත් නෑ. සිහිය ඇති වෙන්න ඇතිවෙන්න ‘මමයි’ ඒ විඳින දෙයයි ඒ දිහා බැලීමයි ඒ බලන කෙනායි මේ සියල්ලම ටිකක් ඈත් වෙන්න පටන් ගන්නවා, බලපෑම අඩු වෙනවා, ‘මට’ ‘මගෙන්’ වෙන බලපෑම අඩු වෙනවා, ඒ නිදහස ලැබෙනවා. සමාධියේ මූලික කාරණයක් නේ අවකාශය ඇතිවීම. ඉතින් මේ කාරණය දිගටම කතා කරන්න පුළුවන්. 

සිහිබුද්ධියෙන් සන්නිවේදනය කරන්නේ කුමක් සමගද? මේ සිහිබුද්ධිය සන්නිවේදනය කරන්නේ යථාභූතයත් සමඟයි. මෙය සරලව සිංහලට ගේනවා “ඇති-හැටිය” කියා. “ඇති-හැටි” කිව්වට වරදක් නෑ, යථාභූතං කිව්වම “ඇතිවෙමින් යන හැටි”. මෙන්න මේකයි ඇති හිටිය කියලා කියන්න බෑ මොකද ඒ ඇති හැටිය කියන දේත් වෙනස් වෙමින් යන දෙයක්, මතු වෙන දෙයක්. ඉතින් ඇතිවෙමින් යන හැටි, අන්න ඒ ස්වභාවයත් එක්ක, ඒ යථාස්වභාවයත් සමගයි සිහිබුද්ධිය සන්නිවේදනය කරන්නේ. සිහිබුද්ධියෙන් කියවන්නෙ යථාර්ථයේ පොතයි, යථාභූතයේ පොතයි. සිහිබුද්ධිය නැමැති භාෂාව ඉගෙන ගන්න ඉගෙන ගන්න ඇත්ත කියවන්න ලැබෙනවා, මේ තමයි ඇත්ත, මේ තමයි සත්‍යය, මේ තමයි මිත්‍යාව, මේ දෙක වෙන්කර ගන්න පුළුවන්. හරියට රණහංසයකුට දියෙන් කිරි වෙන් කර පානය කරන්න පුළුවන් කියනව වගේ, ඒ තරමට දියුණු වූ යෝගියෙකුට නෙ ‘පරමහංස’ කියන්නේ, අසාරයෙන් සාරය වෙන්කර ගන්න පුළුවන්, අසත්‍යයෙන් සත්‍යය වෙන්කර ගන්න පුළුවන්, බොරුවෙන් ඇත්ත වෙන්කර ගන්න පුළුවන්. එහෙම නැතිනම් හැමදාම කුමකට හෝ රැවටෙනවා අඩුම ගානේ සිහියට හෝ රැවටෙනවා. 


සිහිබුද්ධිය අවශ්‍ය වෙන්නේ යථාර්ථයත් එක්ක කරන ගනුදෙනුවටයි. මතුපිටත් එක්ක කරන ගනුදෙනුවට සිහිබුද්ධිය අවශ්‍ය නෑ, පෙරළෙන මතුපිටින් පාට වෙනස් කරන කටුස්සෙක් එක්ක ගනුදෙනු කරන්න සිහිබුද්ධිය අවශ්‍ය නෑ. නමුත් මෙය කටුස්සෙක් බව තේරුම් ගන්න නම් සිහිබුද්ධිය අවශ්‍යයි. යම් පමණකට සිහිබුද්ධිය ඇති වෙනවාද ඒ පමණට, මේ හැම දෙයක්ම, අප දෙයක් කියා ගන්න යම්තාක් කාරණා තිබෙනවාද, කෙනෙකු කියා ගන්න යම්තාක් කාරණා තිබෙනවා ද මේ කාරණා සියල්ලම පාට වෙනස් වෙන කටුස්සන් පමණයි. තමන්ට ඕන පාටක් තමන්ට ඕන කාලයක් ගාගෙන ඉන්න බෑ, තමන්ට ඕන පාට ගා ගන්නත් බෑ, ඕන තරම් කාලයක් ගහගෙන ඉන්නත් බෑ, එපා කියපු ගමන් අයින් කරන්නත් බෑ. 


කටුස්සා පාට වෙනස් කරනවා කිව්වට හිතලා වෙන්නේ නෑ, පරිසර සාධක අනුව තමන්ගේ පාලනයෙන් තොරව සිදුවන දෙයක්. හැබැයි ඒ සිදුවීම පැවැත්මට හොඳයි. මේ ස්වභාවය තමයි හැම දේකම තියෙන්නෙ, පවත්නා හැම දෙයක්ම මේ කටුස්සන්, හැබැයි තමන්ට ඕන විදිහට නොවෙයි පැවැත්මට ඕන විදිහට. මොන පාටද ගන්නේ මොන තරම් කාලයක් ද ඒ පාට තියෙන්නෙ කියන කාරණා පැවැත්මයි තීරණය කරන්නේ. මේ අවබෝධය නැති තැන “මම” කියලා ගන්නවා. හැබැයි  “මම” කියන්නේ පැවැත්මට. මේ ඇත්ත කියවෙන දැනෙන භාෂාවයි සිහිබුද්ධිය කියන්නේ. ආදරණීය හිතවතුනි ඒ සිහිබුද්ධියට අප හැමදෙනාම පුංචි වෙලාවකට හරි එකතු වෙමු, පුහුණුවෙමු මේ  මායාවෙන් ඇහැරෙන්නට, යථාර්ථයත් සමඟ සිහිබුද්ධියේ භාෂාව භාවිතා කරමු, සංනිවේදනය කරමු.



භාවනාව 


  • මේ මොහොතේ දැනීමක් තියනවද? මේ මොහොත දැනෙනවද?

  • කායිකව දැනෙන්නේ කුමක්ද? මානසිකව දැනෙන්නේ කුමක්ද?

  • දැනෙන දෙයයි දැනගන්න කෙනයි, මහන මැසිමක මහණ මැස්මක් වගේ, නූල් පොටවල් දෙක එකතු වෙනවා, වෙන් වෙනවා, එකතු වෙනවා, වෙන් වෙනවා.

  • දැනෙන දෙයයි දැනගන්න කෙනයි, ඇහෙන ශබ්දයයි ඒ ශබ්දය අසන කෙනයි, ලබන ස්පර්ශයයි ස්පර්ශය ලබන කෙනයි,  මතක්වුන දෙයයි මතක් වුන හෝ මතක් කළ කෙනයි.

  • බලන්න දිගින් දිගටම දිගින් දිගටම මේ ගෙත්තම ගෙතෙන හැටි, ඇටවෙන හැටි, ‘මම’ සහ ලෝකය.

  • ‘මම’යි ලෝකයයි එකතු වෙනවා වෙන් වෙනවා එකතු වෙනවා වෙන් වෙනවා එකතු වුන තැන ‘මම’යි ලෝකයයි දෙකම තියෙනවා.

  • යථාභූතං ඇතිවෙමින් යන හැටි අටවා ගනිමින් යන හැටි. ඇටවෙමින් යන හැටි, අටවා ගනිමින් යන හැටි, දකිමින් හිතවතුනි පිවිසෙමු සාකච්ඡාවට. 


සාකච්ඡාව


ප්‍ර : දැන් කළ භාවනාවේදී මට දැනුනු දෙයක් තමයි, පිටින් සද්දයක් ඇහුණහම මම ඒ සද්දයට අනුරූපව එක් චරිතයක් රඟපානවා, සමහරවිට සිතුවිල්ලක් එන විට ඒ සිතුවිල්ලට සම්බන්ධ වෙනම තවත් චරිතයක් රඟපානවා, ඒ විදිහට භාවනා කරනකොට මට හුස්ම දැනෙනවා. එවිට මා හුස්මත් එක්ක ඉන්නවා. ඒ වගේ විවිධ චරිත වෙනස් වන ස්වරූපයක් මට දැනෙනවා. ඒ දැනීම තමයි මට මතුපිටින් දැනුනේ. හැබැයි ඒ වගේම මට සියුම් විදිහට දැනෙනවා තනි විදිහට යටින් යන චරිතයකුත් තියෙනවද කියලා, එකම චරිතද එක් එක් ආකාරයෙන් මතු කරන්නේ කියලා. ඔබතුමා දේශනයෙදී මැස්මක් ගැන සදහන් කලා. ඒ මැස්මේ විදිහට එකක් එනවා ඊගාවට තව එකක් එනවා, ඒ වගේ මැස්මේ යට නූලක් තියෙනවා දිගට සම්බන්ධ වෙන. ඒ වගේ මතුපිටින් චරිත වෙනස් වෙනවා තව චරිතයක් යටින් දුවනවා වගේ. මොකක්ද ඒ අත්දැකීම? 


පි : ඔව් මුල් කාරණය බොහෝ දෙනෙකුට පැහැදිලි ඇති. ඇහෙනවා එතකොට ඒ ඇසීමෙන් පස්සේ අහන කෙනෙක් ඒ ශබ්දය විඳින කෙනෙක් ඒ ශබ්දය හඳුනාගන්න කෙනෙක් ඒ ශබ්දයට කැමති අකමැති වෙන කෙනෙක් ඒ ශබ්දය දිහා සිහියෙන් බලන කෙනෙක් උපදිනවා. මේ හැම දෙනාම උපදින්නේ ඇහුනට පස්සේ. ඇහෙන්න කලින් හිටියේ නැ. ඉතින් එහි කෙළවරක් නෑ, එක එක පුද්ගලයන්. මේ විදිහටම එකම වතාවේ නොවෙයි එක ක්ෂණයකදීත් නොවෙයි, එකකට පසු එකක්. මේ විදියට දිගටම පුද්ගල සමූහයක් ඇති වෙනව. දැන් සද්දෙ ඉවරයි තවදුරටත් සද්දේ ඇහෙන්නේ නෑ, නමුත් ඉන්පසු වීදි නාට්‍යයක් වගේ, මේ නාට්‍යයේ චරිත ගණනාවක් තිබෙනවා, ඉවරයක් නෑ චරිත වැඩි වෙන්න පුළුවනි. හොඳට බලන් හිටියොත් පේනවා සංසාරය කියන නාඩගම නිෂ්පාදනය වෙන ආකාරය. එක පැත්තකින් හරි රසවත්, අනිත් පැත්තෙන් හරියට බය හිතෙනවා. මොකද බය හිතෙන්න එක හේතුවක් තමා අප හිතුවෙ වත් නැති චරිත වලට රඟපාන්න සිදු වෙනවා. එහෙම දැනගෙන හිටියෙත් නැති, ප්‍රාර්ථනා කළෙත් නැති, සූදානම් වෙලත්, නැති භයානක චරිත රඟපාන්න වෙනවා. මේ කාරණයත් සිහිබුද්ධියට පේන විදර්ශනාවට ගන්න පුළුවන් හොඳ කමටහනක්. මේ එක එක චරිත කොහොමද මතු වෙන්නේ, ඒ ඒ චරිතයට ගැළපෙන වේශනිරූපනය, ගැළපෙන දෙබස් කොහොමද එන්නේ කියලා.


මීළඟ කාරණය, මෙහෙම මතුපිටින් විවිධ වේශ අරගෙන විවිධ චරිත වලට යනවා. එක් එක් ඉන්ද්‍රියන් එක්ක සහ එකම ශබ්දය ගත්තත් ඒ ශබ්දය අල්ලාගෙන ඒ මත චරිත ගණනාවක් ගොඩනැගෙනවා. එබඳු විවිධ චරිත ලැබෙනවා එහෙම නැත්නම් අප එහෙම චරිත මවා ගන්නවා, එහෙම නැත්නම් චරිත බව නොදැන ඇත්ත කියා රඟපානවා. සිහිබුද්ධියට තමයි පෙනෙන්නෙ මෙය බොරුවක්, රඟපෑමක් බව, ඕන නම් රඟපාන්නෙ නැතුවත් ඉන්න පුළුවන් බවත්. ඇහුනා කියලා නැවතුනොත් ඉන් එහාට කිසිම චරිතයක් නෑ, හඳුනාගන්න, විනිශ්චය කරන, ඇලෙන ගැටෙන කිසිම චරිතයක් නෑ, එතකොට බොහොම කෙටි නාට්‍යයක්. සංසාරය කෙටි නාට්‍යයක් කරගන්න පුළුවන් නම් හරි වටිනවා, එහෙම නැත්නම් මෙහි ඉවරයක් නැති මහා දිග කතාවක් හැදෙන්නේ. මේ විදිහට මෙතනින් ගොඩ එන්න පුළුවන්.


ඔබතුමා අහන කාරණය, මේ මතුපිටින් වෙනස් වෙනස් චරිත වලට පරිවර්තනය වුනාට අභ්‍යන්තරයේ පොදු බවක් සමාන බවක් තියෙනවා දිගටම. එහෙම තමයි, මේ කාරණයට තමා අනන්‍යතාවය කියන්නේ, විවිධත්වය මතුපිට තියෙන්නෙ, අනන්‍යතාවය එයට යටින් තියෙන්නේ, වෙනස් නමුත් සමානයි. ගිය සතියේ අප කතා කළානේ ‘මම’ වෙනස් කෙනෙක් කියා, අන්න එතැන ගැනයි මේ ප්‍රශ්න කරන්නේ, විශේෂ කියන හැඟීම ඇති වෙන්නේ මෙන්න මේ තට්ටුවට, අප ඉන්නේ, කන්නේ, වැඩ කරන්නේ එකට, ඒ සමානත්වය අතර ‘මම’ අසමානයි, පෘථග්ජන කියන්නේ, සක්කාය දිට්ඨිය කියන්නේ එයට, ඒ හැඟීම එන්නේ ඔන්න ඔතනින්. අනන්‍යතාවක් පිළිබඳ ‘මම’ කියන හැඟීම තදේට දැනෙනවා. ඉතින් එහෙම එකක් තියෙනවා, අනන්‍යතාවයක් තියෙනවා, හැබැයි එය පතුලම නොවෙයි ටිකක් උඩ, කිව්වට ඇතුලේ අභ්‍යන්තරය කියා, ඒ පතුලම නොවෙයි, පතුලේ මතුපිටින් තමයි අනන්‍යතාවය කියන ගංගාව ගලාගෙන යන්නේ. වෙනස් වෙන ‘මම’ ඉන්නවා ඊයේ හිටියේත් එයාමයි, අදත් ඉන්නේ එයාමයි, හෙටත් ඉන්නේ එයාමයි. එහෙම එකක් තියෙනවා, නැත්තෙ නෑ, ඒ තැන ඉඳලා බැලුවොත් එහෙම පේනවා. උඩ ඉඳලා බැලුවොත්  එක එක චරිත වෙනස් වෙනවා කියලා පේනවා, ඊගාවට මෙතනට ආවහම එක දිගට යන මමෙක් ඉන්නව බවකුත් පේනවා. 

මෙතැනිනුත් පහලට තවත් ගියොත් එයටත් වෙනස් අවබෝධයක් තමා ඇති වෙන්නේ. ඒ නිසා නවතින්න එපා කොතනකවත්. ඔය එක එක තැන්වල නැවතුන අය තමා එක් එක් දර්ශන හදාගන්නෙ, දාර්ශනිකයින් කියන්නෙ. ඒ අය කියු දේවල් බොරු නෙමෙයි ඇත්ත, හැබැයි ඒ ඇත්ත සාධාර්‍රණ එතනට පමණයි. ඒ ඉන්න ස්ථරයට පමණයි, ඒ ස්ථරයෙන් වෙනත් ස්ථරයකට ගියහම බොරු. ඉතින් ඔබතුමාට කරන්න තියන හොඳම දේ තමා ඒ ඒ යටින් දිගටම පවතින නොවෙනස්වන ‘මම’ පිළිබඳ හොඳට බලන්න, පොතේ ඒ පරිච්ඡේදයත් කියවන්න, දිගටම කියවන්න.


ප්‍ර: අද භාවනාවට සම්බන්ධ වෙන විට කාමරයේ විශාල මකුළුවෙක් හිටිය, කුඩා කල සිට මට “මහා බියක්” මකුළුවන් ගැන හිතේ තියනවා. අද සාකච්ඡාවේදී කිව්වේ, මතකය ගෙනාවේ මකුළුවා, මතක් උනේ මා විඳි අතීත අමිහිරි අත්දැකීමක් මකුළුවන් ගැන, මතක් කළේ මම. මේ ගැන තමයි මට අද භාවනාවේදී දැනුනේ. මට අද කමටහනට ලැබුණේ මකුළුවෙක්, අහනන ලැබුන ශබ්දයක් නොවේ. මට ඇස් වහන් ඉන්න බැරි නිසා ඇස් ඇරගෙන හිටියෙ. මම මේ සිදුවීම කෙසේ කමටහනක් කරගත යුතුද?.


පි : ඒ කමටහන ඒ භාවනාවේ දී ලැබූ අත්දැකීම නැතිනම් ගැටලුව පොදු මාතෘකාවක් බවට පත් කිරීම ගැන බොහොම සතුටුයි, මේ තමා භාවනාව. මා නිතරම කියන දෙයක් නමුත් කොපමණ කිව්වත් නිතර ඇහෙන්නේ නැති දෙයක්, කොපමණ ඇහුනත් වැඩිය කෙරෙන බවක් පෙනෙන්නෙ නෑ. භාවනා කරනවා කියා හිතා වාඩිවෙන්න එපා, එහෙම වාඩි වෙන්න එපා, එහෙම භාවනා කරන්න බෑ. සමථ භාවනාවට නම් කමක් නෑ. ඔහේ වාඩිවෙන්න, ඇස් වහගන්න අවශ්‍යයත් නෑ, ඇස් වහගත්ත කියා විශේෂයෙන් කෙරෙන දෙයක් නැ, ඔහේ වාඩිවෙන්න, කැමතිනම් හිටගෙන ඉන්න, කැමතිනම් නින්ද යන්නෙ නෑ කියන විශ්වාසයක් තියෙනවා නම් හාන්සි වෙන්න. ඒ එකක්වත් ඉඳගැනීම, සිටගැනීම භාවනාව නොවෙයි, වාඩිවෙන්න ඕන ඇස් වහ ගන්න ඕන වම් අත උඩ දකුණු අත තියා ගන්න ඕන කියන ඉරියව්ව පර්යංකය අවතක්සේරු කරනවා නොවෙයි, ඒවා භාවනා විදිහට ගැනීම තේරුමක් නැති දෙයක්. එතකොට කමටහන කුමක්ද?, ඒ වෙලාවේ ලබන අත්දැකීම. මේ තමා වැදගත්ම දේ, සම්බෝලයක් හෝ තේ හදනවා වගේ කලින් තීරණයක් කර භාවනාව කරන්න බෑ, එයට වඩා විවෘත බවක් වර්තමානයේ සිටීමක් මොහොතින් මොහොත අවධානයෙන් සිටීමක් අවශ්‍යයි. ඉතින් ඒ වෙලාවෙ සිදුවන දේ තමා භාවනාව. ඒ විදිහට මකුළුවා හිටියත් නැතත් ඒ භාවනාව කරන්න. 


දැන් “විශාල මකුලුවෙක්” හිටිය කිව්වනේ, මේ වචනෙ ගැන බලන්න. “විශාල” කියන එක ඇත්තටම ප්‍රමාණයෙන් බලන්න. ඇයි ඒකට “විශාල” මකුලුවෙක් කියන්නේ?. අප මකුලුවෙක් කියන වචනයටත් දක්වන ප්‍රතිචාරයක් තිබෙනවා, ඒකට “විශාල” කියන විශේෂණය එකතු කළවිට ඒ ප්‍රතිචාරය දෙගුණ තෙගුණ වෙනවා. ඒ වචන වලට තමා ප්‍රතිචාර එන්නේ, අප ප්‍රතික්‍රියා දක්වන්නෙ සංඥාවලට, ඇත්තකට නොවෙයි. ඉතින් මේ සංඥා හඳුනාගන්න. ප්‍රතික්‍රියා දක්වන්නෙ එළියෙ ඉන්න මකුලුවට නොවෙයි, ඔය බය වුණේ එළියෙ ඉන්න මකුලුවට නොවෙයි, හිත ඇතුලේ වියාගත් දැලක හිටිය මකුළුවා කියන සංඥාවට. බය වුනේ අතීතයට, එහෙම කිව්වම හිතෙන්න පුළුවන් නෑ මේ මෙතන ඉන්න මකුළුවටනේ බය වුණේ කියා. ඒ මකුළුවට මොකාටද බය වෙන්නේ? මොනවා හරි කළාද? කරනවා කියලා බය කළාද?, නෑ, එහෙම වුණේ නෑ. එහෙම නම් මීට කලින් අතීතයේ කවදාහරි කාල ඇති කියා හිතන්න පුළුවන්, නමුත් එහෙමත් කාලාත් නෑ නේ. හදාගත්ත අටවාගත් සංඛතයක්, “මකුළුවා භයානකයි, ‘මම’ මකුළුවන්ට බයයි, ‘මම’ මකුළුවන්ට බය වෙන කෙනෙක්”. මේ තමයි මුලින්ම තියන ප්‍රශ්නය. මෙන්න අටවාගත් සංඛතය. ‘මම’ කියන්නේ අටවාගත් දෙයක් කිව්වනේ. ඒ හදාගත්ත දේ දිගටම ඉදිරියට ගෙනියනවා. අර යටින් යන නෙවෙනස් වන නුලක් තියෙනවා කිව්වනේ උඩින් යන නූල වෙනස් වුනාට, මෙන්න යටින් තියෙන දේ, ”මම මකුළුවන්ට බය කෙනෙන්” කියන සංඥාව දිගටම ගෙනියනවා, මකුළුවා හිටියත් නැතත්. එය.මකුළුවා සමග කිසිම සම්බන්ධයක් නෑ, දැන් ඉන්න මකුළුවා ඒබව කොහොමත් දන්නෙ නෑ, නමුත් මේක දිගටම දිගටම ගෙනියනවා. එමනිසා මෙතනමයි භාවනාව තියෙන්නෙ. ඒ නිසා ඇනේ ගහන්න ඕන තැනටමයි ඇනේ ගහලා තියෙන්නෙ. හොඳට බලන්න, මකුළුවා දිහාත් බලන්න, මකුළුවා දිහා බලන් ඉන්න කෙනා දිහාත් බලන්න, බය වෙන කෙනා දිහාත් බලන්න, බයවෙන්න එපා කියා නීති දාන්න එපා, පුංචි කාලේ ඉඳන්ම බය වුණු කෙනාට මොකද වෙලා තියෙන්නේ මකුළුවා නිසා, ඇයි මේ මකුළුවන්ට බය?. ඇත්තටම ඇත්ත මොකක්ද, මකුළුවන් ගෙන් අපට වෙන හානියට වඩා අපෙන් මකුළුවන්ට වෙන හානිය වැඩියි. එසේ කරමින් අපි කියනවා අප මකුළුවන්ට බයයි කියා, එය තමා ඇත්ත. මකුළුවා තමයි අපට බය වෙන්න ඕන. බලන්න අපම හදාගත් සංඥාවට අපම රැවටෙන වෙන හැටි, අපම උගුලක් හදලා අපම අහු වෙනවා. ඔතැනමයි ඔබට තිබෙන්නේ භාවනාව. ගිය සතියේ කථා කළානේ එකම සිදුවීමේ තමා සංසාරෙට වැටෙන දොරටුවයි ඉන් ගැලවෙන දොරටුවයි දෙකම තියෙන්නෙ කියලා. මකුළුවා යම්තාක් කල් ඉන්නවද ඒ තාක් කල් හිටපුවාවේ, ඒ දිහා හොඳට බලන්න. හොඳට මකුළුවා දිහා බලාගෙන භාවනා කරන්න. මකුලුවා දිහා බලන් ඉන්නකොට ඒ දිහා බලන් ඉන්න කෙනාවත් පේනවා, බය වුණු කෙනෙක් පේනවා, ඒ බය හදාගත් කෙනෙකුත් පෙනෙනවා. මේ සියල්ලටම හිනා වෙන කෙනෙකුත් ඉන්න බව පේනවා, මේ විහිළුවට හිනා යන කෙනෙක් ඉන්නවා, අන්න එයාවත් දකින්න. 


ප්‍ර : දහමට අනුව පුද්ගලයන්ගේ පරිවර්තනයක් කියලා කියන්නේ ඒ පුද්ගලයන්ගේ තියෙන සංඥාවන් වෙනස් කිරීමද?. අප තුළ පොඩි කාලේ සිට  විවිධ මට්ටම්වලින් ගොඩනැගුණු විවිධ සංඥා තියෙනවා. ඒ සංඥා වෙනස් කරගැනීමද පරිවර්තනයක් කියලාද අදහස් කරන්නේ?


පි : සංඥා පිළිබඳව තියෙන දිට්ඨි වෙනස් වෙන්න ඕන. දිට්ඨි කියන්නේ සංඥා වලට වඩා බර දේවල්, සංඥා වලට වඩා දැඩිව අල්ලා ගත්ත, හිතන විදිය, පිළිගැනීම්, විශ්වාස, ඇදහීම් සියල්ලම වෙන්නේ දිට්ඨි නිසා. ඉතින් ඒ දිට්ඨි වෙනස්වීම් තමයි වෙන්න ඕන. තව විදියකට කියනව නම් මිච්ඡා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට එන එක තමා පරිවර්තනය.


ප්‍ර : අපි සිහිබුද්ධියෙන් සාමාන්‍ය ජීවිතයේ රිපෝට් එකක් කියවනකොට අපිට එහි තියෙන අඩුපාඩුවක් අහු වෙනවා. එතකොට ඒක සම්මා දිට්ඨිය කියල ගන්න පුළුවන්ද? ඒ විදිහට අපි සම්මා දිට්ඨියෙන් බලන විට අඩුපාඩු පේනවා. ඊට පස්සේ අපිට සම්මා සතිය ගොඩනැගෙනවා. ඊගාවට අපි ඒක වෙනස් කරන්න සම්මා වායාම කරනවා. අන්න ඒ විදිහටද සම්මා දිට්ඨි, සති, වායාම කියන මේ ත්‍රිකෝණය ගමන් කරන්නේ?


පි : එහෙම කියන්න පුළුවන්. මේ ඔක්කොම වචනනේ. ඕන කෙනෙකුට ඔය වචන ඕන දේකට භාවිතා කරන්න නිදහස තියෙනවා, කාටවත් එහි වරදක් කියන්න බෑ, මොකද බුදුන් වහන්සේ පවා සමාජයේ තිබුණු වචනනේ පාවිච්චි කළේ. උන්වහන්සේ හදපු වචන තියනව නම් එකක් දෙකක් පමණයි, ඉතිරි සියලුම වචන සමාජයේ තිබුණ භාවිතා කළ වචන. එතකොට අපි කාටත් නිදහස තියෙනවා සම්මුතියට අනුව ඒ වචන භාවිතා කරන්න. එම නිසා ඔබතුමා කියූ විදියට එය උදාහරණයක් විදියට හරි වටිනවා, වරදක් වෙනව ඊළඟට වරද හඳුනා ගන්නවා ඊට පස්සේ ඒක නිවැරදි කරන්න උත්සාහ කරනවා. මේ විදිහට ආර්ය මාර්ගයේ වැදගත්ම අංග තුන විස්තර කරන්න පුළුවන්. එහි භාවිත අර්ථය ගත්තොත්, තමන්ගේ වරද තමා පේන්න ඕනේ. රිපෝට් එකේ වරදක් දැකීම හරි දැක්මක්, එය නිවැරදි කරගන්න ගන්න උත්සාහය නිවැරදි උත්සාහයක් වෙනවා. හැබැයි ආර්ය මාර්ගය විදිහට ගත්තොත්, මේ ත්‍රිකෝණය ආර්ය මාර්ගයට වැටෙන්නෙ නෑ. ආර්ය මාර්ගයට වැටෙන්නට නම් තමන්ගේ වැරැද්ද පේන්න ඕන, ඒ වැරැද්දත්, මම තේ එකට සීනි දාන එකේ වැරැද්ද, මම වාහනය එලවන වැරැද්ද, ඒවා නොවෙයි මේ සංසාරයේ යන විදිහේ තියෙන වැරැද්ද. ඔන්න ඔය අර්ථයෙන් ගත්තොත් එතනට පමණයි සම්මා දිට්ඨිය පාවිච්චි කරන්න පුළුවන්, මේ සංසාරේ යන විදිහ වැරැද්දක් තියේනවා, ඒ ගමනම වැරදියි. අන්න ඒ වැරැද්ද දැක්කොත් ඒකට කියනවා සම්මා දිට්ඨිය. එතකොට ඒ වැරැද්ද නිවැරදි කිරීමට ගන්නා උත්සාහය තමා සම්මා වායාමය කියන්නේ. සංසාර ගමනම වැරැද්දක්, හරියට යන්න පුළුවන් ගමනක් නොවෙයි සංසාරේ කියන්නේ. සංසාර ගමන හරියට යන සම්මා දිට්ඨියකුත් තියනවා, එයට කියනවා ලෞකික සම්මා දිට්ඨිය කියලා. එතන වෙන්නේ හරියට යන එක, සංසාරේ යම්තාක් සාපේක්ෂ වශයෙන් හොඳට යනවා. හැබැයි ඉතින් අවසාන වශයෙන් තියෙන්නෙ මේ කොහොම ගියත් ඒක වැරැද්දක්. ඉතින් සම්මා දිට්ඨියෙන් කරන්නේ ඒ ගමනම වැරදියි කියලා දැකලා පුළුවන් තරම් රවුනම් ගැසීම අඩු කරන එක කෙටි කරන එක.


හිතවතුනි, බොහෝ දේ කතා කළා, භාවනාවටත් අපේ ඒ අත්දැකීම් ගෙනාවා. මෙතැනදී පැහැදිලි කර ගන්න පිළිවන් නම්, හැමදාම කතා කරපු දේ, මේ මොහොත තමයි කමටහන. එතකොට මේ මොහොත නැමති කමටහන අපි භාවනාවට යොදාගන්නවද නැද්ද?. භාවනාවට යොදා ගන්නේ නැත්නම් ප්‍රමාදයි, ඒ තමයි ප්‍රමාද කියන්නේ. මේ මොහොත භාවනා කමටහනක් කර ගත්තොත් අප්‍රමාදයි. අන්න ඒ චේතනාවෙන් හිතවතුනි, අපි යන්නේ බොහෝම ලස්සන ගමනක්. ඉන් කියන්නේ නෑ සංසන්දනයක්, අපි ශේෂ්ටයි කියලා. එහෙම කතාවක් නොවේ, අපි ටික දෙනා බදාදා හැන්දෑවෙ මේ මණ්ඩියට ගොඩවෙලා අපි යන්නේ ලස්සන ගමනක්. ඒ ලස්සන ගමන තවත් ලස්සන වෙනවා සතියේ අනිකුත් දවසුත් මේ යන ගමනත් එක්ක එකතු කරගන්න පුළුවන් නම්. අන්න ඒ චේතනාවෙන් අපි මේ සදහම් සැන්දෑවේ සමුගනිමු. සැමදෙනාටම සෙතක් ශාන්තියක්ම වේවා !.