සිහිබුද්ධිය ට හෝරාවක් -  සදහම් සැඳෑව 


2021 ඔක්තෝබර් 6, ආරම්භක වැඩසටහනේ සාරාංශය 


මේ වැඩසටහනට සම්බන්ධ වීමට කලින් වැඩසටහන් වලට සම්බන්ධ වුණාද නැද්ද, ඔබට පෙර දැනුමක්, අත්දැකීම්, සුදුසුකම්  තියනවද නැද්ද කියන දේ අදාළ නැහැ. “සිහිබුද්ධිය ට හෝරාවක්” මෙම වැඩසටහන සාම්ප්‍රදායික භාවනා වැඩසටහනකට එහා ගිය, සජීවී සාකච්ඡාමය, සංවාදශීලී, වඩාත් අර්ථවත්, ප්‍රායෝගිකව හෝරාවක් විදිහට ගත කරන්නයි අපේ සැලසුම. එම නිසා මෙම වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම කල්‍යාණ මිත්‍රයන් සංසාර දිගු හෝරාවෙන් එකම එක පැයක් සිතින් ගතින් හා හදවතින්ම එකතු වෙමු. අප මේ වැඩසටහන වඩාත් සුහදශීලී ව,  සංවාදාත්මකව,   මේ සංසාරය තේරුම් ගන්න, මේ යන ගමන වටහාගන්න, එමෙන්ම මේ ගමන කෙටි කරගන්න යොදා ගමු . එම නිසා මා කියන දේට වඩා වැදගත් වෙන්නේ ඔබ ලබන පුහුණුවයි, කල්‍යාණ මිත්‍රයන්ගේ අත්දැකීම්, ලබා ගන්නා වැටහීම් සහ මුහුණ දෙන ගැටළු පිලිබඳ විවෘතව කතා කරන එක. සෑම බදාදා දිනකම, මෙම වැඩ සටහනේ අවසාන භාගය ඒ සඳහා අපි යොදා ගනිමු.


භාවනාව විදිහට බෞද්ධ විමුක්ති මාර්ගය අවධාරණය කරන්නේ හිත එකඟ කර ගැනීම නොවෙයි, මෙය පැහැදිලිවම තේරුම් ගන්න. එය පටන් ගන්න සුදුසු තැන නොවෙයි, වාඩි වුණ ගමන්ම මොනම හෝ අරමුණකට හිත එකඟ කරගන්න උත්සාහ කරන්න එපා. එතන සිද්ධ වෙන්නේ භාවනාවක් නොවෙයි, හිතත් එක්ක කරන මානසික ව්‍යායාමයක්. සම්ප්‍රදායිකව භාවනාව කියන්නේ තැන්පත් බවට, එක ඉරියව්වක දෙනෙත් පියාගෙන සිත එක අරමුණකට ගන්නට ගන්නා වෑයමකට. අපි උපතේ සිට පුංචි කාලයේ ඉඳලම අපගේ සංස්කෘතිය ඇතුලෙ මේක අහල තියෙනවා, කියවලා තියෙනවා, එම නිසා ඇති වන පොදු ගැටලුව හිත දුවනවා, විසිරෙනවා, භාවනාව අමතක වෙනවා. බෞද්ධයන් විදිහට අපි නොයෙකුත් පටුරාමු හදාගෙන ඉන්නවා. ඒ නිසාම අපට භාවනාව අපහසු දෙයක් වී තිබෙනවා. මේ පටුරාමු ගැන අපට පසුව කතා කළ හැකියි.


බෞද්ධ භාවනාව ඊට වඩා වෙනස්, එහි පදනම සිහිබුද්ධිය යි, සිහිය නම් අඩු වැඩි වශයෙන් ඕනෑම මනුස්සයෙකුට තියෙනවා. එය තමා අනෙකුත් සත්ත්වයන්ගෙන් මනුෂ්‍යයා වෙන් කරන ප්‍රධානම කාරණාව, නැත්තේ සිහිබුද්ධිය, සිහිකල්පනාව, වෙනත් විදිහකට කිව්වොත් සිහිනුවණ. මේක පාලියෙන් කියන්නේ සති සම්පජඤ්ඤය. ඉතින් විමුක්ති මාර්ගයට වැදගත් වෙන්නේ මේ සති සම්පජඤ්ඤයයි. 


සිහියයි සිහිබුද්ධිය කියන්නේ දෙකක්.සිහිය කියන්නේ වෙන්නේ මොනවාද දැනගන්න එක. වර්තමානය දැනගැනීමයි සිහිය කියන්නේ(mindfulness). සිහිබුද්ධිය කියන්නේ අපි හිතා මතා කරන කියන හිතන දේවල් පිළිබඳව ඇතිකරගන්න අවබෝධය, වැටහීම, දැනීම. අපි හිතලා නොවේ හුස්ම ගන්නේ එය ඉබේ සිද්ධ වෙන දෙයක්, විවිධ හේතූන් නිසා අපට සද්ද ඇහෙනවා, අපිට ස්පර්ශ දැනෙනවා. හැබැයි අප මේ දේවල් හිතා මතා කරන දේවල් නොවෙයි, වැදගත් වෙන්නේ හිතාමතා කරන දේ ගැන ඇතිකරගන්න දැනුවත් බව. එතනින් තමා අපට ජීවිතය පරිවර්තනය කරගන්න හරවාගන්න පුළුවන් වෙන්නේ, සිහියට වඩා සිහිනුවණින්, මොකද අපි කරන දේටයි අප වග කියන්න ඕනෙ, ඉබේ වෙන දේට නොවෙයි. ඉබේ වෙන දේට වග කියන්න අපි බැඳිලා නෑ.


සිදුවන දේ පිළිබඳ බලා සිටීමෙන් අපට ඒ දේ පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. අපට වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන්, දුවන හිත එක්තැන් කර ගන්න පුළුවන්, වර්තමානයේ සිදුවන දෙයින් අපට මදක් ඈත් වෙලා ඉන්න පුළුවන් සහ බොහෝ ප්‍රථිපල ලබන්න පුළුවන්, හැබැයි ඒ තැනැත්තා ම තමයි අභ්‍යන්තර වෙනස් වීමක් වෙන්නේ නෑ. අභ්‍යන්තරය වෙනස් වීම සඳහා සිහි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ, අපි වගකියන්න ඕනේ කර්මයටත්, දහමටත්, සංසාරයටත් කියන මේ කාරණා තුනටම. අපි වගකියන්න ඕනේ අපි හිතා මතා කරන කියන හිතන දේවල් වලට පමණයි. 


ඉතින් අපිට මේවා වෙනස් කරන්නට ඕන නම් අපි මුලින්ම දැන ගන්ට ඕනෙ අපි මොනවද හිතාමතා කියන්නෙ කරන්නෙ හිතන්නේ කියලා. අන්න ඒ දැක්ම අපට ලබාදෙන්නේ සිහිබුද්ධිය යි. මෙම කාරණාව තේරුම් ගැනීම ඉතාම වැදගත්, අර හිත තැන්පත්කරගන්න කෙනෙකු වීමට අමතරව අලුත් කෙනෙකු වෙන්නට, සම්පුර්ණයෙන්ම වෙනස් කෙනෙකු වෙන්නට, අර උපන්න කෙනා නොවෙයි නූපන් කෙනෙකු බවට පත් වෙන්නට නම් සිහිබුද්ධිය තේරුම් ගත යුතුයි, හඳුනාගත යුතුයි, වැඩිදියුණු කරගත යුතුයි, සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසයි මේ කාරණාවට මුල්තැන දෙන්නෙ, විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ.


----------------------------------------------

භාවනාව


අපි බලමු භාවනාමය අත්දැකීමක් තුලින්,කුමක්ද මේ සිහිබුද්ධිය කියන්නේ? , අපට කොපමණ ප්‍රමාණයක සිහිබුද්ධියක් තියෙනවාද?, සිහිබුද්ධියෙන් මොන වගේ ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද? කියන කාරණා. දැන් පහසු ඉරියව්වක ඉන්න,හේත්තු නොවී  උඩු කය ඍජුව තබා ගන්න. 


ඕනෑකමෙන් යමක් ගැන හිතනවද,මේ වෙලාවේ වටපිටාවෙන් විවිධ ශබ්ද ඇසෙනවා, ඒ අතර යමක්  මතක් වෙනවා, සිතිවිලි එනවා. සමහර සිතුවිලි මතක් උනා කියලවත් දන්නේ නෑ...


ඇහෙන ශබ්ද අතරින් එකක් තෝරාගෙන හිතන හැටි බලන්න, හිතෙන හැටි. මතක් වීම් ගණනාවක් අතරින් එක මතකයක් දිගේ දිගටම හිතෙන හැටි, හිතන හැටි බලන්න. සමහර ශබ්ද ඇහුන බවක් දන්නෙ නෑ, තවත් සමහර ශබ්ද ඇහුනා එතනින් ඉවරයි, නමුත් ක්ෂණිකව සමහර ශබ්ද ඇහෙන විටම හිතන්න පටන් ගන්නවා... 


තවත් සමහර සිතිවිලි මතක් වුන බව දන්නවා, එතනම අමතක වෙනවා. නමුත් අතරින් පතර මතකයක් ගැන හිතනවා. මේ ක්‍රියාකාරීත්වය හඳුනගන්න පුළුවන් ද, මෙතන අවස්ථා තුනක් තියනවා,1. ඇහුන බව වැඩිය දැනෙන්නේ නෑ,2. ඇහුන බව දන්නවා එපමනයි,3. ඇහුනු දේ ගැන හිතනවා….


මේ මොහොතේ ශාරීරිකව කිසිවක් කරන්නේ නෑ, කතාබහෙනුත් අක්‍රීයයි,  ක්‍රියාකාරී සිත පමණයි. සමහර දේ ගැන හිතනවා, සමහර දේ ගැන නොසිතාම ඉන්නවා, අත්හරිනවා, කුමක්ද රහස? මේ ස්වභාවයන් දෙක. සමහර දේ ගැන හිතනවා, සමහර දේවල් දන්නෙත් නෑ, හිතන්නෙත් නෑ, දැනගත්තත්, හිතන්නේ නෑ, හිතෙන්නෙත් නෑ, ඕනකමින් හිතන ස්වභාවයත් හොඳින් දකින්න, හඳුනාගන්න...


ඉබේටම ඇහෙන දේ දැනගැනීම සිහියයි. ඕනෑකමෙන් ඇහුම්කන්දීම, ඕනෑකමින් ඇහුම්කන් දෙන බව දැන ගැනීම, ඕනෑකමින් සිතීම, ඒ සිතන්නට පෙළඹෙන ඕනෑකම තේරුම් ගැනීමයි සිහිනුවණ.


----------------------------------------------

සාකච්චාව


අපි එකම ආධ්‍යාත්මික පවුලක එකතු වෙනවා මේ නිහඩ රාත්‍රියේ දවසේ ආගිය තොරතුරු කතා කරන්න.


ඇහෙනවා අහනවා කියලා ක්‍රියාවන් දෙකක් තියෙනවා. ඇසීම අපේ අතේ නොවේ තියෙන්නේ, එය අපිට පාලනය කරන්න බෑ. සාමාන්‍යයෙන් ඇහෙන එක ඇහෙනවා, හැබැයි ඒ ඇහෙන ශබ්ද වලින් එකක් තෝරාගෙන අහනවා දිගටම. ඒ ඇහීම වෙනම කාර්යයක්. එතකොට අපි කරන්නේ ඇහෙන එක නොවේ, අහන එක. ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඇහෙන එක නිසා නොවේ, අහන ශබ්ද නිසා. මේ කාරණය තේරුම් ගන්න. 


කර්මයක් රැස් වෙන්නේ, කර්මයක් උපදින්නේ ඇහෙන දේ නිසා නොවෙයි අහන දේ නිසා. එතකොට මේ අපි ඇහෙන දේවල් වලින් එකක් දිගටම අහන්න ඕන කියන ඕනෑකම ඇතිකරගන්නවා. ඒ ඕනෙකම ඇතිකර ගත්තොත් පමණයි දිගින් දිගටම අහගෙන ඉන්නේ, දිගින් දිගටම හිතන්නේ. මේ ඕනකමට තමා චේතනාව කියන්නේ එතකොට චේතනාවත් එක්ක කරන වැඩක් තියෙනවා, චේතනාවකින් තොරව කරන වැඩක් තියෙනවා. කර්මයක් ඇතිවෙන්නේ මේ චේතනාවක් එක්ක කරන දේට. ඉතින් සංසාරය හැදෙන්නේ චේතනාත්මක ක්‍රියා වලින්, ශබ්දයකින් කර්මයක් ඇති වෙන්නේ නෑ, අහන ශබ්දයක් නිසා කර්මයක් ඇතිවෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. 


අපි අවධානය යොමු කරනවා නම් කිසියම් වැඩකට, ඕනෑකමින් කරන්නේ, ඕනෑකමින් අහන්නේ, ඕනකමින් හිතන්නේ, ඕනෑකමෙන් නාහඉන්නේ, ඕනෑකමෙන් නොසිතා ඉන්නේ මොකක් නිසාද. අන්න ඒ ඕනෑකම ඇතිවෙනකොටම අඳුන ගන්න, එය තමා සිහිබුද්ධිය කියා කියන්නේ. එතනින් තමා අපිට අපිව වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ.

 

හිතට එක අරමුණක් එක්ක ඉන්න පුහුණුව අවශ්‍යයි. ආනාපානසතියේ දී අපි කරන්නේ ඒ පුහුණුව. හිත දුවන විසිරෙන, මාතෘකා වෙනස් කරන පුරුද්ද තමා අපේ දීර්ඝ කාලීණ පුරුද්ද. ඒක කෙටි කාලයකින් වෙනස් කරන්න අමාරුයි, හැබැයි බැරි නෑ. එයට යම්කිසි කාලයක් යනවා. අරමුණ වෙනස් වෙනවා කියන කාරණාව කරදරයක් කරගන්න එපා. භාවනාවට වාඩිවීමදී අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න හිත දුවනවා කියන එක. මේ යථාර්ථය පිළිගන්න. නිරායාසයෙන්ම හිත හුස්මත් එක්ක ඉන්නවනම් අපිට භාවනාවක් අවශ්‍ය කරන්නේ නැහැ. එම නිසා අධිෂ්ඨානයක් ඇති කරගන්න. සිහිබුද්ධිය හීන වෙන එක, අතුරුදහන් වෙන එකේ පලය තමා දුවන හිත. සිහිබුද්ධිය හීන වෙන එක, අතුරුදහන් වෙන එක ඒ විදිහට දැක්කොත් අපි ප්‍රශ්නයක් හදා ගන්නේ නෑ, ඒ වෙනුවට අපි බලනව වඩ වඩාත් සිහිබුද්ධිය ඇති කරගන්න, දියුණු කරගන්න.


සිහි බුද්ධියෙන් කෙරෙන පලවෙනිම කාර්ය තමා, කෙරෙන්න යන්නේ කුමක් ද කියා දැන ගන්න එක. අපේ ඇබ්බැහිවීම් නිසා, පුරුද්ද නිසා, යාන්ත්‍රික ස්වභාවය නිසා, කෙරෙන්න යන්නේ මොකක්ද, හිතෙන්න යන්නේ මොකක්ද, කියවෙන්න යන්නේ මොකක්ද කියලා මූලිකව දැනගන්න අමාරුයි. එහෙම දැන ගත්තොත් අපිට අවස්ථාවක් ලැබෙනවා ඒ දේ සිතනවා ද, ඒ දේ කරනවද ඒ දේ කියනවද කියලා තීරණය කරන්න, එසේ නැත්නම් නොසිතා නොඅසා නොකර ඉන්නවාද කියලා තීරණය කරන්න. ඒ තීරණය අපේ අතට ගන්න. සිහිබුද්ධිය තිබුනොත් විතරයි අපට ඉබේට සිද්ද වෙන්න, යන දේ දැනගන්න පුළුවන්,  නවත්තගන්නත් පුළුවන්, ඒ වෙනුවට වඩාත් ස්ථානෝචිත කාලෝචිත යහපත් ආදේශකයක් පාවිච්චි කරන්නත් පුළුවන් වෙන්නේ.


ඉතාම කුඩා කාලයකදී සිහිබුද්ධිය වෙනස් වෙන්න පුළුවන්, මොකද හිතත් එක්කමනේ මේ හැමදේම තියෙන්නෙ. චේතනාවක් හිතේ කොටසක්, සිහිබුද්ධියත් හිතේ කොටසක්. හිත කියන්නේ චිත්තක්ෂණ ගණනකින් වෙනස්වන දෙයක්. නමුත් මෙතන වැදගත්ම දේ තමයි මොන තරම් ඉක්මනට මේ දේවල් වෙනස් වුණත් ඊට වඩා ඉක්මනට සිහිබුද්ධිය ඇති කරගන්න, සිහිබුද්ධිය පවත්වාගෙන යන්න, සිහිබුද්ධියෙන් දකින්නත් පුලුවන්ද කියන එක.  මේ තමා අපිට තියෙන එකම ගැලවුම. එසේ නොවුනා නම් අපට කවදාවත් ගැලවීමක් නෑ. හිත වේගවත්, සිතිවිලි වේගයෙන් එනවා, බොහොම ඉක්මනට අපි කර්ම රැස් කරනවා ඒ සියල්ලටම වඩා සිහිබුද්ධිය ඉක්මන්, වේගවත්, දියුණුයි, මුවහත්, ඒ කියන්නේ  අපට ගැළවුමක් තියෙනවා, විමුක්තියක් තිබෙනවා. ඒ මට්ටමට අපට සිහි බුද්ධිය දියුණු කරගන්න බලමු.


ඇහෙන දේකට සති සම්පජඤ්ඤය වැදගත් නැහැ, හැබැයි එහෙම ඇහෙන දේකට අපිට පුළුවන් තීරණයක් ගන්න, ඒකට ඇලෙනවද, ගැටෙනවාද, රැවටෙනවාද, දිගටම අහනවාද නොඅසා ඉන්නවාද කියලා. මෙම තීරණය ගන්නා අවස්ථාවට තමයි සම්පජඤ්ඤය ඕනේ. ඒ තීරණය ගන්න පුළුවන් පුරුද්දට, එහෙම නැත්නම් ආවේගශීලීව, එහෙමත් නැත්නම් යාන්ත්‍රිකව. එතන හැබැයි සිහිබුද්ධියක් නෑ. එතනදී අවබෝධයෙන්, ආවේගශීලී නොවී, යථාර්ථයත් එක්ක ඉඳගෙන තීරණයක් ගන්න පුළුවන් නම් එය තමා සිහිබුද්ධිය.


සිහිබුද්ධියට නියමිත වෙලාවක් නෑ, අවස්ථාවක් නෑ, තැනක් නෑ, මේ තමා වැදගත්ම දේ. එමනිසා සිහිබුද්ධිය ට දවසේ වැඩි ඉඩක් දෙන්න, මෙය තමා එකම ගැලවීම. පර්යංක භාවනාවේදී මේ දේ නොකළාට කමක් නෑ,එතනදි සාමාන්‍ය පුරුදු වන භාවනාවක් කරන්න. අනෙකුත් වෙලාවල්වලදී සිහිබුද්ධිය ට ලොකු තැනක් දෙන්න. නැවත නැවත තමන්ගෙන් අහන්න මා ඉන්නේ සිහි බුද්ධියෙන් ද, මම දන්නවාද මම කරන්නේ මොනවද කියලා, අඩුම ගානේ වුන දේ ගැන හරි අහන්න මම ඒ දේ කළේ සිහි බුද්ධියෙන් ද කියල. සිහි බුද්ධියත් එක්ක අපි වැඩිපුර ගනුදෙනු කරන තරමට තමයි සිහිබුද්ධිය අපිත් එක්කත් ගනුදෙනු කරන්නේ.  අපි සිහිබුද්ධියේ ගනුදෙනු කාරයන් වෙමු.


සම්ප්‍රදායට එහා ගිය ගමනක් තමයි අපි මේ සදහම් සැන්දෑවේන් යන්න පටන් ගත්තේ.එය ලස්සනට පටන් ගත්තා වගේම, එකටම යමු, එකටම ඉවර කරමු. සැමට සෙතක් ශාන්තියක් සැනසිල්ලක්ම වේවා!